දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරු
අපගේ ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම දක්වා සෑම යහපත් දෙයක්ම ග්‍රහණය කර ගැනීමට අනාගතවක්තෘවරයාගේ හඬට සවන් දීම සහ කීකරු වීම ඉතා වැදගත් වෙනවා.
ආදරණීය යෞවනයනි, අපි පවත්වන සම්මන්ත්‍රණ සැසිය කොතරම් ලස්සනද! අපි දැනටමත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවමාන ප්‍රේරිතවරුන් තිදෙනෙකුගෙන් අසා තියෙනවා. මොනතරම් අපූරු ආශීර්වාදයක්ද! ඒ වගේම අපිට තව කෙනෙක් ගැන අසන්න ලැබෙයි, ඒ තමයි වැඩිහිටි හෙන්රි බී. අයිරින්. ආත්මික මංගල්‍යය දිගටම පවතිනවා!
ගිය අවුරුද්දේ මම කතා කළ විට, ගොලියත් සමඟ දාවිත්ගේ අත්දැකීම තුළින් අපි මේ ලෝකයට මුහුණ දෙන ආකාරය ඉගෙන ගත්තා. මතකද ගල් පහ? අද මම ඔබේ වයසේ දී කියවූ පසු එහි ප්‍රධාන චරිතය වගේ වෙන්න ආසාවක් ඇති වූ පරණ ගිවිසුමේ කතාවක් බෙදා ගන්නවා. බයිබලයේ ඇගේ නම අපට නොකියන නිසා, අපි ඇයට ෂුනෙම්හි ස්ත්‍රිය කියා කියමු, මොකද ඒ ඇගේ නගරයේ නමයි.
දවසක්, අනාගතවක්තෘ එලිෂා ෂුනෙම් හරහා යන විට, අපි එහි මෙසේ කියවනවා “එහි සිටි උත්තම ස්ත්‍රියෙක්; කෑම කන්ට ඔහුට [ආරාධනා] කළාය. මෙසේ ඔහු යන එන සෑම විටම කෑම කන පිණිස එහි නැවතුණේය.” ඇගේ නිවසේ කෑමට පැමිණීමට කළ ආරාධනය ගැන අනාගතවක්තෘ එලිෂා ගොඩක් සතුටු වුණා කියලා මම හිතනවා! ඔහු ඒ වන විටත් කීප වතාවක් ගිහින් තිබුණා, දවසක් කාන්තාව ඇගේ ස්වාමිපුරුෂයාට මෙසේ පැවසුවා: “නිතරම අප ළඟින් යන එන මොහු දෙවියන්වහන්සේගේ ශුද්ධ මනුෂ්‍යයෙක් බව මට පෙනෙයි.
කාන්තාව මෙසේ පැවසුවා, “දැන්, මට පෙනෙයි.” ඇය එලිෂාව ඇගේ නිවසට ආරාධනා කළේ ඔහු අනාගතවක්තෘවරයා බව නොදැන බව පෙනෙනවා; එලිෂා පැවසූ සහ ඉගැන්වූ දේට හොඳින් සවන් දීමෙන් ඇයට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඇගේ සාක්ෂිය ලැබුණා. (මතක තබා ගන්න, ඒ කාලේ පින්තූර තිබුණේ නැහැ! ඒ නිසා අනාගතවක්තෘවරයාගේ මුහුණෙන් පමණක් හඳුනා ගැනීම දුෂ්කර වුණා.)
නමුත් කතාව එතැනින් අවසන් වුණේ නැහැ. දිනක් කාන්තාව ඇගේ සැමියාට මෙසේ පැවසුවා.“අපි බිත්ති ඇති කුඩා උඩුමහලක් සාදා ඇඳකුත් මේසයකුත් පුටුවකුත් පහනකුත් එහි තබමු. එවිට ඔහු අප ළඟට ආ කල එහි සිටින්ට පුළුවනැයි කීවාය.”
නගරය හරහා යන අනාගතවක්තෘවරයාට නවාතැන් ගැනීමට ස්ථානයක් ලබා දෙන්නට මෙම ඇදහිලිවන්ත කාන්තාව ඇගේ නිවසේ කාමරයක් ඉදිකර දෙන්න කැමති වුණා!
අද අපට මෙම අත්දැකීමෙන් බලවත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්.
එලිෂා දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක් බව ෂුනෙම්හි කාන්තාවට ස්වාමින්වහන්සේ සාක්ෂි දුන් අතර, ඇය ඔහුව පිළිගැනීමට තම නිවස විවෘත කිරීමෙන් ක්‍රියා කළා.
අපිටත් දෙවියන්වහන්සේගේ වර්තමාන අනාගතවක්තෘවරුන් පිළිබඳ පෞද්ගලික සාක්ෂියක් ලබා ගත හැකි අතර, මෙම පසුදවස්වල අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අප වෙනුවෙන් ලබා දී ඇති පණිවිඩයට අපගේ හදවත් සහ මනස—අපගේ නිවස—විවෘත කරන්න පුළුවන්.
ආදරණීය යෞවනයෙනි, මම ඔබට මෙම ප්‍රශ්නය ඔබෙන්ම අසන්නට ආරාධනා කරනවා: දෙවියන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයා පිළිබඳ පෞද්ගලික සාක්ෂියක් මා සතුව තිබෙනවා ද?
අපි මුල ඉඳන් පටන් ගමු.
අනාගතවක්තෘවරයෙකු යනු කවුද? අනාගතවක්තෘවරයෙකු යනු දෙවියන්වහන්සේ උන්වහසේ ගැන කතා කිරීමට කැඳවූ මිනිසෙක්. පුරාණ කාලයේ වගේම අදත් පොළොවේ අනාගතවක්තෘවරුන් සිටිනවා.
අනාගතවක්තෘවරු කියන්නේ දකින්නන් සහ හෙළිදරව් කරන්නන්. ඒ කියන්නේ ඔවුන්ට අන් අයට නොපෙනෙන දේ දකින්න පුළුවන් ඒ වගේම අනාගත සිදුවීම් ගැන අනාවැකි කියන්න පුළුවන්. ඒවාට අපිව විපත් සඳහා සූදානම් කරන්න පුළුවන්. අනාගතවක්තෘවරුන්ට ස්වාමින්වහන්සේගෙන් ආඥා සහ එළිදරව් ලැබෙනවා. ඇදහිල්ලේ කරුණු වල නවවන වගන්තිය මේ අවසාන දිනවල අඛණ්ඩ එළිදරව්ව ගැන කථා කරනවා. එහි මෙසේ සඳහන් වෙනවා, “දෙවියන්වහන්සේ එළිදරව් කර ඇති සියල්ලද, උන්වහන්සේ දැන් එළිදරව් කරන සියල්ලද අපි විශ්වාස කරනවා, ඒවගේම දෙවියන්වහන්සේගේ රාජ්‍යයට අදාළ බොහෝ ශ්‍රේෂ්ඨ හා වැදගත් දේවල් උන්වහන්සේ විසින් තවමත් එළිදරව් කරන බව අපි විශ්වාස කරනවා.
වැඩිහිටි ගැරී ඊ. ස්ටීවන්සන් මෙසේ පැවසුවා, “ස්වාමින්වහන්සේ අද දිනත් උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ට උන්වහන්සේගේ ආඥා සහ කැමැත්ත හෙළි කරන්නේ උන්වහන්සේ අපව මේ ජීවිතයේ සතුටටත් ඊළඟ ජීවිතයේ සෙලෙස්ටියල් මහිමයටත් ගෙන යාමට කැමති නිසයි.”
අනාගතවක්තෘවරුන් විසින් ශුභාරංචියද ප්‍රකාශ කරන අතර පොළොවේ සිටින සැමට ආනුභාවලත් ගුරුවරුන් සහ දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවන් වෙනවා.
පළමු සභාපතිත්වයේ සහ දොළොස්දෙනාගේ ගණපූරණයේ සෑම සාමාජිකයෙක්ම අනාගතවක්තෘවරයෙක්, දකින්නෙක් සහ එළිදරව් කරන්නෙක්. ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම යටතේ මන්ත්‍රණ සභාවක් ලෙස සේවය කරමින්, උන්වහන්සේගේ සභාව සඳහා මූලධර්ම ප්‍රකාශ කිරීමට සහ අර්ථ නිරූපණය කිරීමට සහ ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමට ඔවුන්ට බලය තිබෙනවා. මෙම ගණපූරණවල තීරණ ඒකමතික විය යුතු බැවින්, ඔවුන් ප්‍රවේශමෙන් යාච්ඤා කර හිතාමතාම කටයුතු කරනවා. මේ ආකාරයෙන්, ස්වාමින්වහන්සේ අපට සහතික කරන්නේ උන්වහන්සේගේ කැමැත්ත ඉටු වෙන බවයි.
අනාගතවක්තෘවරු ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරනවා—උන්වහන්සේගේ පැවැත්ම, උන්වහන්සේගේ සේවය සහ උන්වහන්සේගේ දේවත්වය.
මොර්මන්ගේ පොතේ අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂි කිහිපයක් අපි කියවමු.
අබිනඩායි මෙසේ ප්‍රකාශ කළා:
“දෙවියන්වහන්සේ උන්වහන්සේ විසින්ම මනුෂ්‍ය දරුවන් අතර පහතට පැමිණ, තවද උන්වහන්සේගේ ජනතාව මුදවා ගන්නවා.
“තවද උන්වහන්සේ මාංශයේ වාසය කරන බැවින් උන්වහන්සේව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙස හඳුන්වනු ලබනවා.”
ලේමන්වර සාමුවෙල් ද මෙසේ සාක්ෂි දැරුවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය, ස්වර්ගයෙහිද, පොළොවෙහිද පියාණෝය, ආරම්භයේ පටන් සියළු දේවල මැවුම්කරුවාණෝය.”
අනාගතවක්තෘ මොරෝනායි මෙසේ පැවසුවා, “මම යේසුස්වහන්සේව දුටු බවත්, තවද … උන්වහන්සේ මා සමඟ මුහුණට මුහුණලා කථා කළ සේක.”
ක්‍රිස්තුස්වහන්සේ නීෆායිවරුන් හමුවීමට ගිය විට, උන්වහන්සේ කළ පළමු දේවලින් එකක් වුණේ ප්‍රේරිතවරුන් දොළොස්දෙනා කැඳවීමයි. උන්වහන්සේ සෙනඟට කතා කොට මෙසේ වදාළ සේක, “නුඹලාගේ සේවකයන් වීමටත් මා නුඹලා අතරින් තෝරාගත් මේ දොළොස්දෙනාගේ වචනවලට නුඹලා සවන් දෙන්නේ නම් නුඹලා ආශිර්වාද ලද්දෝ වන්නෝය.”
දැන්, දරුවන් ඇති දැඩි කරන දෙමාපියන්ට හෝ අනෙකුත් පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වචන කිහිපයක් බෙදා ගැනීමට මට ඉඩ දෙන්න. ස්වාමින්වහන්සේ උන්වහන්සේ විසින්ම ආදම් සහ ඒවට ගැලවීමේ සැලැස්මේ සත්‍යයන් ඉගැන්නුවා. ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට මෙසේ පැවසුවා: “නුඹලාගේ දරුවන්ට මේ දේවල් නිදහසේ ඉගැන්වීමට, මම නුඹලා හට ආඥාවක් දෙන්නෙමි.”
නිදහසේ ඉගැන්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ තමයි ශුභාරංචියේ සත්‍යයන් ඉගෙන ගැනීම, ඒවා පිළිබඳ පෞද්ගලික සාක්ෂියක් තිබීම සහ එම දැනුම අපගේ දරුවන් සමඟ බෙදා ගැනීම. එය විධිමත් සහ අවිධිමත් ඉගැන්වීමේ අවස්ථා දෙකම ප්‍රවර්ධනය කිරීමයි. එය එම දැනුම හා සාක්ෂියට අනුව ජීවත් වෙන එකයි.
මොර්මන්ගේ පොත 2,060ක් තරුණ රණශූරයන්ව මෙසේ විස්තර කරනවා, “ඔවුන් සත්‍යවාදී සහ සන්සුන්කම ඇති පුරුෂයින් වූවෝය, මක්නිසාද ඔවුන් හට දෙවියන්වහන්සේගේ අණ පනත් රකින්නටත් තවද උන්වහන්සේ ඉදිරියේ ඍජුව ගමන් කිරීමටත් උගන්වා තිබුණා.” මෙම තරුණයින් ඒ කාලයේ ඔවුන්ගේ හමුදා නායකයා සහ අනාගතවක්තෘවරයා වූ හීලමන්ට ඇදහිලිවන්තව කීකරු වූ අතර, ඔවුන්ගේ මව්වරුන් ඔවුන්ගේ හදවත් සත්‍යයෙන් හා ඇදහිල්ලෙන් පුරවා ඇති බව ඔවුන් හඳුනා ගත්තා.
දෙමාපියනි, බොහෝ හඬවල් සහ සමහර විට බොහෝ අන්ධකාරයක් ඇති මේ ලෝකයේ, අපගේ දරුවන් ආලෝකයෙන් සහ සත්‍යයෙන් ඇති දැඩි කරන ලෙස දෙවියන්වහන්සේම අපට ආඥා කර තිබෙනවා. අපේ දරුවන්ට ශුභාරංචියේ ගැලවීමේ සත්‍යයන් ඉගැන්වීමේ වගකීම උන්වහන්සේ අපට භාර දුන්නා. අපි ඒ ආකාරයට කිරීමට අපොහොසත් වුනොත්, ලෝකය එය කරන එකක් නැහැ.
ආදරණීය තරුණ මිත්‍රවරුනි, ඉදිරි දිනවලදී, දණ ගසා, ඔබේ හදවත් විවෘත කර, ස්වර්ගික පියාණන්වහන්සේට ඇදහිල්ලෙන් යාච්ඤා කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා, උන්වහන්සේ තෝරාගත් අනාගතවක්තෘවරයා සහ ප්‍රේරිතවරුන් අද පොළොවේ උන්වහන්සේගේ හඬ බව ඔබට ස්ථිර කරන ලෙස ඉල්ලා සිටිනවා.
අපට ශුද්ධාත්මයාණන් තුළින් එම සාක්ෂිය ලබා ගන්න පුළුවන් කියලා ෂුනෙම්හි කාන්තාව අපට ඉගැන්නුවා. අපි ඔවුන් දෙවියන්වහන්සේගේ ආලේප ලත් අය බව දැනගත් පසු, අපගේ අඛණ්ඩ අභියෝග මධ්‍යයේ වුවද, විශ්වාසය, ඇදහිල්ල සහ බලාපොරොත්තුව සමඟ ඔවුන්ගේ හඬවලට කීකරු වන බැවින්, අපගේ ජීවිත පහසු වන බවට මම ඔබට පොරොන්දු වෙනවා. අපගේ ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම දක්වා සෑම යහපත් දෙයක්ම ග්‍රහණය කර ගැනීමට අනාගතවක්තෘවරයාගේ හඬට සවන් දීම සහ කීකරු වීම ඉතා වැදගත් වෙනවා.
ලෝකයේ දුෂ්ටකම වර්ධනය වෙමින් පවතී, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සහ උන්වහන්සේගේ රාජ්‍යය කිසිදා නොවූ විරූ තරම් ශක්තිමත්. සයන් ඇගේ අලංකාර වස්ත්‍ර පැළඳගෙන සිටින අතර, ක්‍රිස්තුස්වහන්සේගේ සිංහාසනය වැටෙන්නේ නැහැ. අපගේ සාක්ෂි වලින් ශක්තිමත් වීම, ඇදහිල්ලෙන් පිරී සිටීම සහ දිනපතා පසුතැවිලි වීම ස්වාමින්වහන්සේ අපේක්ෂා කරනවා. අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සෑම කෙනෙකුගෙන්ම උන්වහන්සේගේ කාර්යය කරගෙන යන ලෙසට බලාපොරොත්තු වෙනවා.
වරක්, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ පැවසුවා, “සහෝදරවරුනි, අපි ඉතා ශ්‍රේෂ්ඨ කාරණාවක් උදෙසා නොයන්නෙමුද?” කෙසේ වෙතත්, මගේ පණිවිඩය ප්‍රධාන වශයෙන් යෞවන ඔබ සඳහා වන බැවින්, සහෝදරවරුනි වෙනුවට යෞවනයනි යන වචනය භාවිත කරන්න මම කැමතියි. සූදානම් ද?
“[යෞවනයනි], අපි ඉතා ශ්‍රේෂ්ඨ කාරණාවක් උදෙසා නොයන්නෙමුද? පසුපසට නොව ඉදිරියට යන්න. ධෛර්යය ගන්න, [යෞවනයනි]; එමෙන්ම, ජයග්‍රහණය කරා යන්න! නුඹලාගේ හදවත් වලට ප්‍රීති ප්‍රමුදිත වන්නටත් තවද බෙහෙවින් ප්‍රීතිමත් වන්නටත් සලස්වන්න.”
ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ මඟ පෙන්වීම සහ කැපවූ උත්සාහයන් සඳහා මම කෘතඥ වෙනවා. අද දින පොළොව මත උන්වහන්සේගේ රාජ්‍යය ඉදිරියට ගෙන යාමට, ස්ථාපිත කිරීමට සහ මෙහෙයවීමට දෙවියන්වහන්සේ විසින් ඔවුන් කැඳවා ඇති බවට මම ඔබට මාගේ බැරෑරුම් සාක්ෂිය දරනවා. එය සැමවිටම එසේ වෙයි. සැමවිටම තම සේවකයන් තෝරා ගන්නේ ස්වාමින්වහන්සේයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.