ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබේ හදවත යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සුසර කරන්න: ප්‍රාථමික සංගීතය යන පූජනීය ත්‍යාගය
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:36

ඔබේ හදවත යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සුසර කරන්න: ප්‍රාථමික සංගීතය යන පූජනීය ත්‍යාගය

ප්‍රාථමික ගීත කියන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් සඳහා වූ දේශනා, නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සත්‍යතාව පිළිබඳ සාක්ෂි සහ සංගීතයට සකස් කරන ලද යාච්ඤාවන්.

ප්‍රාථමිකයේ මගේ සේවයේ එක් ආශිර්වාදයක් තමයි, මගේ දිව කතා නොකරන භාෂාවලට ආදරය කිරීමට මගේ හදවත ඉගෙනගැනීම. පූජනීය සංගීතයේ බෙදාගත් භාෂාව හරහා සෙසු ශුද්ධවන්තයන් සමඟ සම්බන්ධ වීමෙන් මම ප්‍රීතිය අත්විඳ තිබෙනවා. විශේෂයෙන් ප්‍රාථමිකයේ සරල ගීත හරහා, ශුද්ධාත්මයාණන්වහන්සේ භාෂා බාධක ඉක්මවා ගොස් මාගේ හදවත උන්වහන්සේගේ මුමුණන හඬින් පුරවා තිබෙනවා. දරුවන්ගේ හඬින්, දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය පැහැදිලි, කාවදින සත්‍යයකින් ප්‍රකාශ කර තිබෙනබා.

මම ප්‍රාථමිකයේ හැදී වැඩුනේ නැතත්, ආත්මයාණන්වහන්සේ එහි ගීතවල ශුද්ධභාවය ඉක්මනින් මට ඉගැන්වූ අතර, ඒවා මගේ පෞද්ගලික නමස්කාරයේ කොටසක් බවට පත්ව තිබෙනවා. ප්‍රාථමික ගීත මගේ ජීවිතයට ශුද්ධ වූ බලපෑමක් ඇති කර ඇති අතර මගේ ආත්මය ඔසවා තිබෙනවා, ඒවා සදාකාලික සත්‍යයන් මට ඉගැන්වූ අතර ගැලවුම්කරුවාණන් වෙත සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙත මාව සමීප කර තිබෙනවා.

සභාපති ඩැලන් එච්. ඕක්ස් වරක් මෙසේ ඉගැන්නුවා “ගීතිකා ගායනා කිරීම නැවත පිහිටුවන ලද ශුභාරංචියේ මූලධර්මය ඉගෙන ගැනීමට හොඳම ක්‍රමවලින් එකකි.” ඒ වචන අපි හැමෝටම සත්‍යයි, නමුත් විශේෂයෙන්ම දරුවන්ට එය සත්‍යයයි. ප්‍රාථමික සංගීතය කියන්නෙ ගැලවුම්කරුවාණන්ගේ ලාබාලතම ගෝලයන්ගේ හදවත් තුළ සාක්ෂියේ බීජ සිටුවීම සඳහා දෙවියන්වහන්සේගේ වඩාත්ම මුදු මොළොක් මෙවලම්වලින් එකක්. දෙමව්පියන්, නායකයින් සහ ගුරුවරුන් ස්වර්ගික පියාණන්වහන්සේ ගැන, උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ ශුද්ධාත්මයාණන්වහන්සේ ගැන සාක්ෂි දරන විට සහ ඒ පිළිබඳ සාක්ෂි දැරීමට දරුවන්ට ආරාධනා කරන විට, ඔවුන් මෙම බීජයට පෝෂණය ලබා දෙනවා.

මගේ සේවා කාලයේ පසුගිය වසර කිහිපය තුළ, මම ප්‍රාථමිකයේ සංගීතය ඉගෙන ගනිමින් ගායනය සඳහා කාලය ගත කර ඇති අතර, ඒ සමඟම ප්‍රශ්න කිහිපයක් ගැන මෙනෙහි කර තිබෙනවා:

  • ළමා කාලයේ ඉගෙන ගත් ප්‍රාථමික ගීත, දරුවන් තම ජීවිත කාලය පුරාම සාක්ෂි දීමට භාවිතා කරන අධ්‍යාත්මික භාෂාව බවට පත්වන්නේ කෙසේ ද?

  • දරුවන්ට ඔවුන්ගේ ගිවිසුමේ කොටසක් ලෙස ස්වාමින්වහන්සේව සිහිපත් කිරීමට සහ උන්වහන්සේගේ නියෝග සඳහා ඔවුන්ව සූදානම් කිරීමට ශුභාරංචි සත්‍යයන් ගායනා කිරීම උපකාරී වන්නේ කෙසේ ද?

  • එමෙන්ම මෙම ලාබාලතම ගෝලයන්ගේ හදවත් මත දෙවියන්වහන්සේගේ නීතිය ලිවීමට ප්‍රාථමික ගීත උපකාරී වන්නේ කෙසේ ද?

1878 දී ප්‍රාථමිකය ආරම්භ වූ විට, එහි පළමු සභාපතිනිය වූ ඕරෙලියා ස්පෙන්සර් රොජර්ස්, “ගායනය අවශ්‍ය” බව නිරීක්ෂණය කළා. දරුවන්ට ශුභාරංචිය ඉගැන්වීමේ දී සංගීතය සැමවිටම එහි ප්‍රධාන ස්ථානයේ රැඳී තිබෙනවා. ප්‍රාථමික ගීතවලින් සරල, අමතක නොවන තනු ශුභාරංචි සත්‍යයන්ට හඬක් ලබා දෙන නිසා ඒවා දරුවෙකුගේ පළමු අධ්‍යාත්මික භාෂාව බවට පත්වෙන්න පුළුවන්. මෙම ගීතවලට ජීවිත කාලය පුරාම දරුවන් සමඟ රැඳී සිටීමට බලය තිබෙනවා, ඒවගේම ඒවා ඔවුන්ගේ අනුගාමිකත්වයේ කොටසක් බවට පත්වන අතර ගැලවුම්කරුවාණන් ගැන සාක්ෂි දීමට ඔවුන්ට ස්වභාවික සහ සාමාන්‍ය ක්‍රමයක් බවට පත්වෙනවා.

ගීත තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඉගැන්වීම

ප්‍රාථමික ගීතිකා බලවත් මූලධර්ම ඉගැන්වීමේ මෙවලම් ද වෙන්න පුළුවන්. සමහර ගීත ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය හා දේවසේවය පිළිබඳ කථා කියනවා. තවත් සමහර ඒවා උන්වහන්සේගේ ඇදහිල්ල, උන්වහන්සේගේ බලාපොරොත්තුව සහ උන්වහන්සේගේ දයාව වැනි උන්වහන්සේගේ ගුණාංග ගැන උගන්වනවා. ඒවගේම මේ අති පූජනීය ගීත උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම සහ එම ගැලවීමේ ක්‍රියාවෙන් ගලා එන ප්‍රේමය පිළිබඳව සාක්ෂි දරනවා.

ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු වන සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්නුවා: “[සංගීතයට] දරුවන් කුඩා කාලයේ සිටම යහපත සඳහා අඛණ්ඩ බලපෑමක් ඇති කරන්න පුළුවන්. … [එයට] අධ්‍යාත්මික පෝෂණය සැපයීමේ බලය තිබෙනවා. එයට සුව කිරීමේ බලයක් තිබෙනවා. නමස්කාරය පහසු කිරීමේ බලයක් එයට තිබෙනවා; එය [ගැලවුම්කරුවාණන්ගේ] වන්දිගෙවීම සහ ශුභාරංචියේ ගැලවීමේ මූලධර්ම සහ උත්කර්ෂවත් කිරීමේ නියෝග සමඟ එය නැවත පිහිටුවීම ගැන මෙනෙහි කිරීමට අපට ඉඩ සලසනවා. යාච්ඤාපූර්වක සිතුවිලි ප්‍රකාශ කිරීමට සහ පූජනීය සත්‍යයන් පිළිබඳ සාක්ෂි දැරීමට සංගීතය විසින් අපට බලය සපයනවා.

දෙමාපියන්, නායකයින් සහ ගුරුවරුන් වශයෙන්, සංගීතයේ ඇති ශුභාරංචි සත්‍යයන් අභිප්‍රායෙන් යුතුව ඉගැන්වීමෙන් දරුවන්ට මෙම පොරොන්දු වූ ආශිර්වාද වෙත ප්‍රවේශ වීමට උපකාර කිරීම අපගේ උත්සාහයට ඇතුළත් වෙනවා. සභාපති නෙල්සන් මෙසේ ඉගැන්නුවා, “දරුවන්ට පන්තියක දී දහම ඉගෙන ගත හැකි තරමටම, ගායනා කිරීමට ඉගෙන ගන්නා විට ඔවුන්ට දහම ඉගෙන ගන්න පුළුවන්.” මෙම ගීත මගින් දරුවන්ව ගැලවුම්කරුවාණන් වෙත යොමු කරන සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි භක්තිය වර්ධනය කිරීමට උපකාර කරන ඇදහිල්ලෙන් පිරුණු දේශනා රාශියක් සපයා දෙන්න පුළුවන්.

හදවතින් එන ධර්මිෂ්ඨයන්ගේ ගීත ගැලවුම්කරුවාණන්ට ප්‍රීතියක් බව ශුද්ධලියවිලි උගන්වනවා. ගැලවුම්කරුවාණන්ගේ ලාබාලතම ගෝලයන්ගේ කටහඬවල් ගෙනෙන සතුට ගැන මට පුදුමයි. ඔවුන්ගේ යාච්ඤාමය ගීත ස්වර්ගයට ළඟා වන්නේ ඇදහිල්ලේ ප්‍රකාශන ලෙස බවත්, සදාකාලික සත්‍යයන් තහවුරු කිරීමට ශුද්ධාත්මයාණන්ට ආරාධනා කරන බවත්, අපගේ ගැලවුම්කරුවාණන්ව අනුගමනය කර නිවසට පැමිණෙන ලෙස මෘදුව හා කරුණාවන්තව අන් අයට ආරාධනා කරන බවත් මම දන්නවා. වැඩිහිටි හෙන්රි බී. අයිරින් අපට මතක් කර දී ඇති පරිදි, අපගේ ජීවිත තුළ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම ක්‍රියාත්මක වන බවට සාක්ෂි අපට ලැබෙන්නේ ආත්මයාණන්වහන්සේව දැනෙන එම අවස්ථාවන් වලදී යි.

හදවත තුළට සත්‍යය කාවැද්දීම

ප්‍රාථමික සංගීතය, අපගේ දරුවන් ගමන් කරන ජීවිත කාලය පුරාම අනුගාමිකත්වයේ චාපය දිගේ ගෙන යන ආශ්චර්යයක් වෙන්න පුළුවන්. වයස අවුරුදු හයේ දී ඉගෙන ගත් ගීතයකට අප සමඟ රැඳී සිටීමට බලයක් තිබෙනවා—ඒවගේම එය දශක ගණනාවකට පසුව තීරණ, පෙළඹවීම්, ශෝකය හෝ ප්‍රීතියේ අවස්ථාවන් වලදී නැවත පැමිණෙන්න පුළුවන්. සමහරවිට අපගේ පසුකාලීන වසරවලදී, “I Will Follow God’s Plan” යන ගීතිකාවේ වචන, දෙවියන්වහන්සේගේ පොරොන්දු අපට සහතික කිරීම පිළිබඳ ප්‍රේරිත පාවුල්ගේ සාක්ෂිය ප්‍රතිරාවය කරන අධ්‍යාත්මික නැංගුරමක් ලෙස සේවය කරන්න පුළුවන්. නැත්නම් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු ඉටු කරන බැවින්, උන්වහන්සේගේ ගිවිසුම් ශක්තිමත් සැනසීමක් සහ රැකවරණයක් ලබා දෙන බවත්, අපගේ බලාපොරොත්තුව සහ සහතිකය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය කෙරෙහි ස්ථිරව තැබීමට අපට ආරාධනා කරන බවත් ඒවා අපට මතක් කර දෙන්න පුළුවන්.

ලොව පුරා සිටින වැඩිහිටි සාමාජිකයන්, දුෂ්කර කාලවලදී, බොහෝ විට ඔවුන් ළමා කාලයේ දී ඉගෙනගත් මෙම ප්‍රාථමික ගීත සිහි කරගෙන ඒවා වෙත හැරෙනවා. බොහෝ දෙනෙකුට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල මුලින්ම නිර්මාණය කරගැනීමට සහාය වූ සහ බොහෝ විට උන්වහන්සේගේ ශුභාරංචියට හැරීම ආරම්භ වූ පළමු ස්ථානය තමයි මෙම ගීත. දෙමාපියන්, නායකයින් සහ ගුරුවරුන් වසර ගණනාවක් පුරා දරුවන්ට ඉගැන්වීමෙන්, ගායනා කිරීමෙන් සහ සැලකිල්ලෙන් සාක්ෂි දීමෙන් එම ඇදහිල්ල පෝෂණය කර තිබෙනවා.

එක් සහෝදරියක්, ඇය ප්‍රාථමික සංගීතයට ආදරය කළ බවත්, වසර 20 කට පසු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඇයගේ අඛණ්ඩ හැරීම වේගවත් කිරීම සඳහා හේතුවක් ලෙස ඇය එයට ගෞරවය ලබා දෙන බවත් මා සමඟ බෙදාගත්තා. ප්‍රාථමිකය විසින් ඔහු බාල වියේ දී ඇදහිල්ලේ අබ ඇටයක් රෝපණය කළ බවත්, ඔහුගේ වයස අවුරුදු 30 දී ස්වාමින්වහන්සේගේ සභාවට ඔවුන්ට නැවත පැමිණීමට හැකි වූයේ ඒ නිසා බවත් තවත් සාමාජිකයෙක් සාක්ෂි දුන්නා. “සැනසිලිදායකයාණන්වහන්සේ, … නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහිකරවන සේක” යනුවෙන් ගැලවුම්කරුවාණන් පොරොන්දු වුණා. ප්‍රාථමික සංගීතය ඒ පොරොන්දුව ඉටු කරන එක් ක්‍රමයක් වෙන්න පුළුවන්.

තවත් ආදරණීය ප්‍රාථමික ගීතයක් සරල ඇදහිල්ලේ සහ කල් පවතින සාක්ෂියේ බලය ගැන කියනවා:

මම යේසුස්වහන්සේ සමඟ මගේ ඉහළ නිවසට යන විට,

උන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ආශිර්වාද කර උන්වහන්සේගේ ප්‍රේමයෙන් මා පුරවන සේක,

මගේ හදවත සදහටම වෙනස් කර පැහැදිලිව දැකීමට මට උපකාර කරන්න.

මම යේසුස්වහන්සේ සමඟ ඇවිද යන්නෙමි, උන්වහන්සේ මා සමඟ ඇවිදින සේක.

දරුවන් ගායනා කරන විට, ඔවුන් ගෝලයෙකුගේ ආශාව ප්‍රකාශ කරනවා ඒවගේම ගිවිසුම්ගත ජීවන රටාව ඉගෙන ගන්නවා ඔවුන්ගේ මුදු මොළොක් හදවත් මත සදාකාලික සත්‍යයන් කැටයම් කිරීමට ආත්මයාණන්වහන්සේට සංගීතය භාවිතා කරන්න පුළුවන්. කාලයාගේ ඇවෑමෙන්, දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ශුද්ධ ගිවිසුම් ඇති කර ගැනීමෙන් සහ ඒවා පිළිපැදීමෙන් ඔවුන්ගේ හදවත් සහ ජීවිත උන්වහන්සේ වෙත යොමු කිරීමට තෝරා ගන්න පුළුවන්.

අපගේ ගිවිසුම් මතක තබා ගැනීම සහ නියෝග සඳහා සූදානම් වීම

පූජනීය සංගීතයට ක්‍රිස්තුස්වහන්සේගේ දහම අපගේ ආත්මය තුළ ලිවීමට සහ උන්වහන්සේගේ නියෝග ලැබීමට අපව සූදානම් කිරීමට උපකාර කරන්න පුළුවන්. එය ගැලවුම්කරුවාණන්ගේ දහම අපගේ මතකයටත්, එම මතකය උන්වහන්සේ තුළ අපගේ අනුගාමිකත්වයටත් සම්බන්ධ කරනවා.

ප්‍රාථමිකයේ නායකයින් වශයෙන්, ප්‍රාථමිකයේ සංගීතය ප්‍රීතියෙන්, මූලධර්මීය අවබෝධයෙන් සහ ආත්මයාණන්ගෙන් ඉගැන්වීම සහතික කිරීමේ අවස්ථාව සහ පරිශුද්ධ වගකීම අපට තිබෙනවා. මෙයට ඇතුළත් වන්නේ, දරුවන් ගායනා කරන විට ඔවුන්ට දැනෙන දේ දැකීමට ආරාධනා කිරීම සහ එම හැඟීම් ශුද්ධාත්මයාණන්ගෙන් පැමිණෙන බව හඳුනා ගැනීමට ඔවුන්ට උපකාර කිරීමයි. මෙම උත්සාහයන් අපගේ දරුවන්ව බව්තීස්මය සහ ස්ථීර කිරීම වැනි ශුද්ධ වූ නියෝග සඳහා සූදානම් කිරීමට උපකාරී වෙනවා, ඒවගේම ඔවුන් දෙවියන්වහන්සේට දුන් පොරොන්දු නිතිපතා අලුත් කරන විට ඔවුන්ගේ ගිවිසුම් මතකය ප්‍රබෝධමත් කරනවා.

ගැලවුම්කරුවාණන් සක්‍රමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසු, අවසාන රාත්‍රී භෝජන සංග්‍රහයේ දී, මතෙව් වාර්තා කරන්නේ “ඔවුන් ගීතිකාවක් ගායනා කළ පසු, ඔලීව කන්දට ගිය” බවයි. සෑම සතියකම, අවුරුදු අටක් තරම් කුඩා බව්තීස්ම වූ දරුවන් ඇතුළුව, ස්වාමින්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ බව්තීස්ම වූ සහ ස්ථීර කරන ලද සාමාජිකයින්, ස්වාමින්වහන්සේගේ සක්‍රමේන්තුව ගැනීමට සූදානම් වෙනවා. පූජනීය සංගීතය ගායනා කිරීම තුළින්, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ සමූහයන්ට ඔවුන් මත උන්වහන්සේගේ නාමය පිළිගැනීමට, සැමවිටම උන්වහන්සේව සිහිපත් කිරීමට සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට එම පූජනීය නියෝග සඳහා ඔවුන්ගේ හදවත් සූදානම් කිරීමේ අවස්ථාවක් ලබා දෙනවා.

අවසන් කිරීමේ සාක්ෂිය

ආදරණීය මිත්‍රවරුනි, ප්‍රාථමික ගීත මගින් අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය වෙත ගෙන යන සදාකාලික සත්‍යයන් සහ මූලධර්ම උගන්වන බවට මම සාක්ෂි දරනවා. මෙම ගීතවල සරල ඉගැන්වීම් තුළින් ඔබේ හදවත් තුළ ලියා ඇති මූලික සත්‍යයන් මොනවාදැයි සලකා බැලීමටත්, එම ගීත තුළින් ශුභාරංචියේ සුභ ආරංචිය ගැන ඔබ ඔවුන්ට උගන්වන විට, ගැලවුම්කරුවාණන්ගේ ලාබාලතම ගෝලයන්ට එම සත්‍යයන් පිළිබඳව සාක්ෂි දීමටත් මම ඔබට ආරාධනා කරනවා.

අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ, උන්වහන්සේගේ අසීමිත ප්‍රේමයෙන්, අපට ඉගැන්වීමට, අපට මාර්ගය පෙන්වීමට සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් අපව මුදවා ගැනීමට උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ව පොළොවට එවූ බව මම දන්නවා.

ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය සහ දේවසේවය සැබෑ සහ පෞද්ගලික බව මම දන්නවා. ශුද්ධලියවිලි උන්වහන්සේගේ සුව කිරීම, කරුණාව සහ ආශ්චර්යන් පිළිබඳ කථා වලින් පිරී තිබෙනවා.

ස්වර්ගික පියාණන්වහන්සේ තම දරුවන්ගේ වයස, තත්වය හෝ භාෂාව කුමක් වුවත්, ඔවුන්ගේ අවංක යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙන බව මම දන්නවා. උන්වහන්සේ අපගේ හදවත්වල නිහඬ ආයාචනාවලට සවන් දෙනවා.

ගෙත්සෙමනේ දී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුක සහ වේදනාවන් සහ අපගේ පාපයන් හි, බර දරාගත් බවට මම සාක්ෂි දරනවා. උන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය නිසා කැමැත්තෙන්ම දුක් වින්ද නිසා අපට සමාව ලබා නැවත නිවසට යාමට පුළුවන් වෙනවා.

අපි දෙවියන්වහන්සේගේ සැබෑම දරුවන් බවත්, අපව උන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති බවත්, අපි දිව්‍යමය හැකියාවන්ගෙන් යුක්ත බවත්, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට තෝරා ගන්නේ නම්, අපට උන්වහන්සේ සමඟ නැවත ජීවත් වීමට ආරාධනා කර ඇති බවත් මම දන්නවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පරිපූර්ණ ආදර්ශය බව මම දන්නවා, අපි අන් අයට සේවය කිරීමෙන්, සමාව දීමෙන් සහ ප්‍රේම කිරීමෙන් උන්වහන්සේව අනුගමනය කරන විට, අපි දිනෙන් දින උන්වහන්සේ හා සමාන වෙනවා.

ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ දේවමාළිගා පොළොවේ උන්වහන්සේගේ නිවස බව මම දන්නවා. ඒවා තුළ, අපි පරිශුද්ධ ගිවිසුම් ඇති කර ගන්නවා, සදාකාලික ආශිර්වාද ලබා ගන්නවා, ඒවගේම උන්වහන්සේ ගැන වැඩි වැඩියෙන් ඉගෙන ගෙන උන්වහන්සේගේ සහභාගිත්වය වැඩි වැඩියෙන් අත්විඳිනවා. දේවමාළිගාව ඉගෙනීමේ, සාමයේ සහ අපගේ ජීවිත සඳහා සූදානම් වීමේ ස්ථානයක්.

මෙම ප්‍රාථමික ගීත අපගේ දරුවන්ට ඉගැන්වීමට සහ ගායනා කිරීමට අප ගන්නා උත්සාහයන් අපගේ ආගමික සම්ප්‍රදායේ හොඳ කොටසක් පමණක් නොවන බව මම සාක්ෂි දරනවා. ඒවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් සඳහා වූ දේශනා, නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සත්‍යතාව පිළිබඳ සාක්ෂි සහ සංගීතයට සකස් කරන ලද යාච්ඤාවන්. පූජනීය සංගීතයට ශ්‍රාවකයා මත ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය බබළවන්නට පුළුවන්, ඒවගේම ගායකයාගේ හදවතට එම ආලෝකය වත් කරන්න පුළුවන්. ආදරණීය මිත්‍රවරුනි, යේසුස්වහන්සේට තවමත් අපව හිරු කිරණක් මෙන් අවශ්‍යයි. මම එසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. Dallin H. Oaks, “Worship Through Music,” Ensign, Nov. 1994, 10.

  2. “ධර්මිෂ්ඨයින්ගේ ගීතය මා හට යාච්ඤාවක් වන්නේය” (දහම සහ ගිවිසුම් 25:12).

  3. “ශුද්ධ වූ සංගීතය සක්‍රමේන්තු රැස්වීම්වල සහ අනෙකුත් සභා රැස්වීම්වල අත්‍යවශ්‍ය අංගයකි. … සාමාජිකයන් සක්‍රමේන්තු රැස්වීමකට රැස් වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කර සක්‍රමේන්තුවට සහභාගී වෙති. ඔවුන් ඇදහිල්ල හා සාක්ෂිය ගොඩනඟා ගැනීමටත්, ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට නමස්කාර කිරීමටත් රැස්වෙති. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීම සඳහා සංගීතය තෝරා ගත යුතුය. … සක්‍රමේන්තු ගීතිකාව සක්‍රමේන්තුවටම හෝ ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගයට යොමු විය යුතුය” (ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 19.3, 19.3.2, ශුභාරංචි පුස්තකාලය).

  4. “මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි” (යෙරමියා 31:33).

  5. Aurelia Spencer Rogers, in “A History of the Primary Organization,” history.ChurchofJesusChrist.org.

  6. Russell M. Nelson, “Power and Protection Provided by Worthy Music” (Brigham Young University devotional, May 4, 2008), 4, 5, speeches.byu.edu.

  7. Russell M. Nelson, in “Keep Singing Songs That Teach Doctrine, Says President Nelson” (video), ChurchofJesusChrist.org.

  8. “කතා කිරීමට කැඳවනු ලබන නායකයින්, ගුරුවරුන් සහ සාමාජිකයන් බොහෝ විට ගීතිකා පොත වෙත යොමු වී බලවත් ලෙස හා අලංකාර ලෙස පද්‍යයෙන් ඉදිරිපත් කරන ලද දේශනා සොයා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.…

    “පවුල් වඩාත් අධ්‍යාත්මිකත්වයට සහ ශුභාරංචියේ භක්තියට යොමු කිරීමට සංගීතයට අසීමිත බලයක් ඇත. පසුදවස්වල ශුද්ධවන්තයින් විසින් ඔවුන්ගේ නිවෙස් වටිනා සංගීතයේ ශබ්දයෙන් පුරවා ගත යුතුය. …

    “ඔබේ දරුවන්ට ගීතිකා වලට ඇලුම් කිරීමට උගන්වන්න. සබත් දවසේ දී, ගෙදර සවස් කාලයේ දී, ශුද්ධලියවිලි අධ්‍යයනය කරන අතරතුර, යාච්ඤා කරන වේලාවේ දී ඒවා ගායනා කරන්න. ඔබ වැඩ කරන විට, සෙල්ලම් කරන විට සහ එකට ගමන් කරන විට ගායනා කරන්න. ඔබේ දරුවන් තුළ ඇදහිල්ල සහ සාක්ෂිය ගොඩනැගීම සඳහා ගීතිකා නැලවිලි ගී ලෙස ගායනා කරන්න” (“First Presidency Preface,” Hymns, ix, x).

  9. බලන්න දහම සහ ගිවිසුම් 25:12.

  10. “ඔබට ශුද්ධාත්මයාණන්ගේ බලපෑම දැනී ඇත්නම් …, ඔබේ ජීවිතයේ වන්දිගෙවීම ක්‍රියාත්මක වන බවට සාක්ෂියක් ලෙස ඔබට එය ගත හැකිය” (Henry B. Eyring, “Gifts of the Spirit for Hard Times” [Brigham Young University devotional, Sept. 10, 2006], 5, speeches.byu.edu).

  11. බලන්න හෙබ්‍රෙව් 6:17–19.

  12. බලන්න මොරෝනායි 7:41.

  13. යොහාන් 14:26.

  14. “I Will Walk with Jesus,” Hymns—For Home and Church, Gospel Library.

  15. මතෙව් 26:30.

  16. “සක්‍රමේන්තු නියෝගය සභාවේ සාමාජිකයන් සඳහා වුවද, අනෙක් අය එයට සහභාගී වීම වැළැක්වීමට කිසිවක් නොකළ යුතුය” (ප්‍රධාන අත්පොත, 18.9.3). විශේෂයෙන්ම, කුඩා දරුවන් වගවීමේ වයසට පැමිණීමට පෙර සක්‍රමේන්තුවට සහභාගී වීම සුදුසුය, එමගින් ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය කෙරෙහි වැඩි අගයක් වර්ධනය කර ගැනීමට සහ අනාගතයේ දී දෙවියන්වහන්සේ සමඟ පරිශුද්ධ ගිවිසුම්වලට එළඹීමට සූදානම් විය හැකිය.

  17. බලන්න “He Sent His Son,” Children’s Songbook, 34–35.

  18. බලන්න “Tell Me the Stories of Jesus,” Children’s Songbook, 57.

  19. බලන්න “A Child’s Prayer,” Children’s Songbook, 12–13.

  20. බලන්න “Gethsemane,” Hymns—For Home and Church.

  21. බලන්න “I Am a Child of God,” Children’s Songbook, 2–3.

  22. බලන්න “I’m Trying to Be like Jesus,” Children’s Songbook, 78–79.

  23. බලන්න “I Love to See the Temple,” Children’s Songbook, 95.

  24. බලන්න “Jesus Wants Me for a Sunbeam,” Children’s Songbook, 60.