ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ තුළ සරල බව
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:18

ක්‍රිස්තුස්වහන්සේ තුළ සරල බව

ක්‍රිස්තුස්වහන්සේගේ දහම සරල හා අවධානය යොමු කළ ආකාරයකින් ක්‍රියාත්මක කිරීම අපගේ දෛනික ජීවිතයේ දී ප්‍රීතිය සොයා ගැනීමට උපකාරී වෙනවා.

1. හැඳින්වීම

අවුරුදු තිස් තුනකට පෙර, යූටා ඔග්ඩන් ධර්මදූත සේවයේ ධර්මදූතයෙකු ලෙස සේවය කිරීමට මට කැඳවීමක් ලැබුණා. ඇත්ත වශයෙන්ම, යුරෝපයෙන් පැමිණි නිසා මට, “කොළ පැහැති ජෙලෝ සමඟ කැරට්” සහ “අවමංගල්‍ය අර්තාපල්” වැනි සමහර දේශීය යූටා සම්ප්‍රදායන් ටිකක් අමුතුයි!

කෙසේ වෙතත්, බොහෝ ශුද්ධවන්තයන්ගේ භක්තිය හා ගෝලත්වය, සභාවේ රැස්වීම්වලට සහභාගී වන අති විශාල පිරිස සහ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන සභාවේ වැඩසටහන්වල පරිමාණය ගැන මම ගැඹුරින් පැහැදුණා. මගේ ධර්මදූත සේවය අවසන් වූ විට, මට දැනුණු ප්‍රීතිය, මා දුටු අධ්‍යාත්මික ශක්තිය සහ පරිණතභාවය මගේ අනාගත පවුලටද ලබා ගත හැකි බව සහතික කර ගැනීමට මට අවශ්‍ය වුණා. ”සදාකාලික පර්වත සෙවනැලි” තුළ මගේ ජීවිතය ගත කිරීමට ඉක්මනින් ආපසු යාමට මම අධිෂ්ඨාන කරගෙන සිටියා.

කෙසේ වෙතත්, ස්වාමින්වහන්සේට වෙනස් සැලසුම් තිබුණා. මම නිවසට ගිය පළමු ඉරිදා, මගේ ප්‍රඥාවන්ත සභානායකවරයා අපේ කොට්ඨාශයේ තරුණ පිරිමි ළමුන්ගේ සභාපති ලෙස සේවය කිරීමට මාව කැඳවූවා. මේ අපූරු තරුණ පිරිමි ළමුන් කණ්ඩායමට සේවය කරන විට, ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීමෙන් ලැබෙන ප්‍රීතිය, සභාවේ රැස්වීම්වල ප්‍රමාණය හෝ වැඩසටහන් පරිමාණය සමඟ ඉතා සුළු සම්බන්ධයක් ඇති බව මම ඉක්මනින් ඉගෙන ගත්තා.

ඉතින් මම මගේ ලස්සන බිරිඳ, මාග්‍රට් සමඟ විවාහ වූ විට, අපි යුරෝපයේ නැවතී අපේ මව් රට වන ජර්මනියේ අපේ පවුල ගොඩනැඟීමට ප්‍රීතියෙන් තීරණය කළා. අපි එක්ව වසර ගණනාවකට පෙර සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ දේ දුටුවා: ”අපට දැනෙන ප්‍රීතියට අපගේ ජීවිතයේ තත්වයන් හා අපගේ ජීවිතයේ කේන්ද්‍රය සමඟ එතරම් සම්බන්ධයක් නැහැ.” අපගේ ජීවිතයේ අවධානය ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචි පණිවිඩය කෙරෙහි යොමු වූ විට, අප ජීවත් වන ඕනෑම තැනක ගෝලත්වයේ සම්පූර්ණ ආශීර්වාද අපට අත්විඳින්න පුළුවන්.

2. ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සරල බව

කෙසේ වෙතත්, වඩ වඩාත් ලෞකික, සංකීර්ණ සහ ව්‍යාකූල වන, වෙනස් හා බොහෝ විට ගැටෙන පණිවිඩ සහ අභියෝග සහිත ලෝකයක, අපගේ ඇස් අන්ධ වීම සහ අපගේ හදවත් දැඩි වීමෙන් වැළකී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ”පැහැදිලි සහ අනර්ඝ දේවල්” කෙරෙහි අවධානය යොමු කරන්නේ කොහොමද? ව්‍යාකූල කාලයක දී, ප්‍රේරිතවර පාවුල් කොරින්තියේ ශුද්ධවන්තයන්ට ”ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සරල බව” කෙරෙහි අවධානය යොමු කරන ලෙස මතක් කර දෙමින් විශිෂ්ට උපදෙසක් දුන්නා.

ක්‍රිස්තුස්වහන්සේගේ දහම සහ ශුභාරංචියේ නීතිය ඉතා සරල නිසා කුඩා දරුවන්ට පවා ඒවා තේරුම් පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමෙන්, පසුතැවිලි වීමෙන්, බව්තීස්ම වීමෙන්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව තුළින් පවිත්‍ර වීමෙන් සහ අවසානය දක්වා විඳදරා ගැනීමෙන් අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ බලයට ප්‍රවේශ විය හැකි අතර අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර ඇති සියලු අධ්‍යාත්මික ආශීර්වාද ලබා ගන්න පුළුවන්. සභාපති නෙල්සන් මෙම ගමන ”ගිවිසුම් මාවත” සහ ”යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ භක්තිමත් ගෝලයෙකු” වීමේ ක්‍රියාවලිය ලෙස ඉතා අලංකාර ලෙස විස්තර කරනවා.

මෙම පණිවිඩය ඉතා සරල නම්, ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය පිළිපැදීම සහ උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීම බොහෝ විට අභියෝගාත්මක වන්නේ ඇයි? ආයාසයක් හෝ උත්සාහයක් නැතිව පහසුවෙන් සාක්ෂාත් කරගත හැකි දෙයක් ලෙස අපි සරල බව වැරදි ලෙස අර්ථකථනය කරනවා වෙන්න පුළුවන්. ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කිරීමට නිරන්තර උත්සාහය සහ අඛණ්ඩ වෙනසක් අවශ්‍ය වෙනවා. අපි ”ස්වාභාවික මිනිසා [ඉවත දමා] … [කුඩා දරුවෙකු මෙන් විය යුතු]” වෙනවා. මෙයට කුඩා දරුවන් මෙන් අපගේ ”ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය” තැබීම සහ සංකීර්ණතාවයන් අත්හැරීම ඇතුළත් වෙනවා. ක්‍රිස්තුස්වහන්සේගේ දහම සරල හා අවධානය යොමු කළ ආකාරයකින් ක්‍රියාත්මක කිරීම අපගේ දෛනික ජීවිතයේ දී ප්‍රීතිය සොයා ගැනීමටත්, අපගේ කැඳවීම් වල දී මඟපෙන්වීමටත්, ජීවිතයේ වඩාත්ම සංකීර්ණ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමටත්, අපගේ විශාලතම අභියෝගවලට මුහුණ දීමට ශක්තිය ලබා දීමටත් උපකාරී වෙනවා.

නමුත් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් ලෙස අපගේ ජීවිත කාලය පුරාම මෙම සරල බව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කොහොමද? අපි ගැලවුම්කරුවාණන් අනුගමනය කිරීමට උත්සාහ කරන විට “පිවිතුරු සත්‍යය, පිවිතුරු දහම සහ පිවිතුරු එළිදරව්ව” කෙරෙහි අවධානය යොමු කරන ලෙස සභාපති නෙල්සන් අපට මතක් කරනවා. “ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කැමති මම කුමක් කරනවාට ද?” කියා නිතිපතා අසන විට ගැඹුරු මඟ පෙන්වීමක් හෙළි වෙනවා. උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් අවිනිශ්චිතතාවයෙන් ආරක්ෂිත මාවතක් සහ දිනෙන් දින අල්ලා ගැනීමට ප්‍රේමණීය, මඟ පෙන්වන අතක් ලැබෙනවා. උන්වහන්සේ තමයි සාමයේ කුමාරයා සහ යහපත් එඬේරා. උන්වහන්සේ තමයි අපගේ සැනසිලිදායකයා සහ ගැළවුම්කරුවාණන්. උන්වහන්සේ තමයි අපගේ පර්වතය හා සරණ. උන්වහන්සේ මිතුරෙක්—ඔබේ මිතුරා සහ මගේ මිතුරා! දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට සහ අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීමට උන්වහන්සේ අප සැමට ආරාධනා කරනවා.

අපි උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කර ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉදිරියට යාමට තෝරා ගන්නා විට, උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය වැළඳ ගන්නා විට, සහ අපගේ ගිවිසුම් සිහිපත් කරන විට, ප්‍රේමය අපගේ හදවත් පුරවයි, බලාපොරොත්තුව සහ සුවය අපගේ ආත්මයන් ඔසවයි, සහ කටුකකම සහ දුක කෘතඥතාවයෙන් සහ පොරොන්දු වූ ආශිර්වාද සඳහා බලා සිටීමට ඉවසීමෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. සමහර අවස්ථාවලදී, අපට අහිතකර තත්වයකින් ඈත් වීමට හෝ වෘත්තීය උපකාර පැතීමට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් සෑම අවස්ථාවකදීම, ස්වාමින්වහන්සේගේ ආකාරයට ජීවිතයේ අභියෝග හරහා ගමන් කිරීමට සරල ශුභාරංචි මූලධර්ම අදාළ කරගැනීම අපට උපකාරී වෙනවා.

යාච්ඤාව, නිරාහාරව සිටීම, ශුද්ධලියවිලි අධ්‍යයනය, දිනපතා පසුතැවීම, සතිපතා සක්‍රමේන්තුවට සහභාගී වීම සහ ස්වාමින්වහන්සේගේ ගෘහයේ නිතිපතා නමස්කාරය වැනි සරල ක්‍රියාවන්ගෙන් අපට ලැබෙන ශක්තිය අපි සමහර විට අවතක්සේරු කරනවා. නමුත් අපට ”මහත් දෙයක් කරන්ට” අවශ්‍ය නොවන බව දැනගෙන, අපි පිවිතුරු හා සරල දහම යෙදීම කෙරෙහි අවධානය යොමු කරන විට, වඩාත්ම අභියෝගාත්මක අවස්ථාවන්හිදී පවා ශුභාරංචිය අප වෙනුවෙන් ”පුදුම සහගත ලෙස ක්‍රියා කරන” ආකාරය දැකීමට පටන් ගන්නවා. අපි හදවතේ වේදනාව අත්විඳින විට පවා අපට ශක්තිය සහ ”දෙවියන්වහන්සේ ඉදිරියෙහි විශ්වාසය” ලැබෙනවා. වැඩිහිටි එම්. රසල් බැලර්ඩ් අපට බොහෝ වාරයක් මෙසේ මතක් කර දී තිබෙනවා, ”[අපි] සාමය, ප්‍රීතිය සහ සතුට … සොයා ගන්නේ ඒ සරල බව තුළයි.”

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සරල බව අදාළ කර ගැනීමෙන්, අපි ක්‍රියාවලීන්ට වඩා මිනිසුන්ට ප්‍රමුඛත්වය දෙන අතර කෙටි කාලීන හැසිරීම් වලට වඩා සදාකාලික සබඳතාවලට ප්‍රමුඛත්වය දෙනවා. අපගේ දේවසේවය කළමනාකරණය කිරීමේ දී හිරවී සිටීම වෙනුවට, දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් කිරීමේ කාර්යයේ ”වඩාත්ම වැදගත් දේවල්” කෙරෙහි අපි අවධානය යොමු කරනවා. අපට කළ නොහැකි දේවල් වලින් බර නොවී, අපට කළ හැකි දේවලට ප්‍රමුඛත්වය දීමට අපි අපවම නිදහස් කර ගන්නවා. ස්වාමින්වහන්සේ අපට මෙසේ මතක් කර දුන් සේක: ”එසේහෙයින්, යහපත කිරීමේදී විඩාපත් නොවන්න, මක්නිසාද නුඹලා මහත් ක්‍රියාවක් උදෙසා අත්තිවාරම දමන්නෙහුය. ‘’තවද එනම් කුඩා දේවල් වලින් එම ශ්‍රේෂ්ඨ වූ දේ ඉදිරියට යන්නේය’’. අපගේ තත්වයන් කුමක් වුවත්, සරලව හා නිහතමානීව ක්‍රියා කිරීමට මොනතරම් බලවත් දිරිගැන්වීමක්ද!

3. චෙස්ලා ආච්චි

මගේ ආච්චි මාර්තා චෙස්ලා, ”කුඩා හා සරල දේවල්” කිරීමෙන් ශ්‍රේෂ්ඨ දේවල් සාක්ෂාත් කර ගැනීම පිළිබඳ අපූරු උදාහරණයක්. අපි ඇයට ආදරයෙන් චෙස්ලා ආච්චි කියලා කතා කළා. 1926 මැයි 30 වන දින මගේ ආච්චි, මී-මිත්තණිය සමඟ නැගෙනහිර ප්‍රුෂියාවේ සෙල්බොන්ගන් නම් කුඩා ගම්මානයේදී ශුභාරංචිය වැළඳ ගත්තා.

වැඩිහිටි චෙස්ලාගේ ආච්චි (දකුණේ)

මාර්තා චෙස්ලා බව්තීස්ම වූ දිනයේ (දකුණේ).

ඇය ස්වාමින්වහන්සේට සහ උන්වහන්සේගේ ශුභාරංචියට ප්‍රේම කළ අතර ඇය ඇති කරගත් ගිවිසුම් පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටියා. 1930 දී ඇය සභාවේ සාමාජිකයෙකු නොවූ මගේ සීයා සමඟ විවාහ වුණා. මේ අවස්ථාවේ දී මගේ සීයාගේ ගොවිපල, ළඟම ඇති සභාවට ඉතා දුරින් පිහිටා තිබූ නිසා, ආච්චිට සභාවේ රැස්වීම්වලට සහභාගී වීමට නොහැකි වුණා. නමුත් ඇය අවධානය යොමු කළේ ඇයට කරන්න පුළුවන් දේවල් ගැනයි. ආච්චි දිගටම යාච්ඤා කළා, ශුද්ධලියවිලි කියෙව්වා, සහ සයන් හි ගීත ගායනා කළා.

ඇය තවදුරටත් ඇගේ ඇදහිල්ලේ ක්‍රියා නොකරන බව සමහර අය සිතන්නට ඇති, නමුත් එය සත්‍යයෙන් බොහෝ දුරස් වුණා. මගේ නැන්දා සහ පියා ඉපදුණු විට, නිවසේ පූජකවරය නොමැතිව සහ සභාවේ රැස්වීම් හෝ ළඟපාත වත්පිළිවෙත් සඳහා ප්‍රවේශයක් නොමැතිව, ඇය නැවතත් ඇයට කළ හැකි දේ කළ අතර ”යාච්ඤා කිරීමටද, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඍජුව ගමන් කිරීමටද” ඇගේ දරුවන්ට ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කළා. ඇය ඔවුන්ට ශුද්ධලියවිලි කියෙව්වා, ඔවුන් සමඟ සයන් හි ගීත ගායනා කළා, සැබැවින්ම ඔවුන් සමඟ සෑම දිනකම යාච්ඤා කළා. එය සියයට සියයක්ම නිවස කේන්ද්‍ර කරගත් සභාවේ අත්දැකීමක්.

1945 දී, මගේ සීයා ගෙදරින් බොහෝ දුරින් යුද්ධයේ සේවය කරමින් සිටියා. සතුරන් ඔවුන්ගේ ගොවිපළට ළඟා වූ විට, ආච්චි ඇගේ කුඩා දරුවන් දෙදෙනා රැගෙන ඔවුන්ගේ ආදරණීය ගොවිපළ අතහැර ආරක්ෂිත ස්ථානයකට රැකවරණය පතා ගියා. දුෂ්කර හා ජීවිතයට තර්ජනාත්මක ගමනකින් පසු, ඔවුන් අවසානයේ 1945 මැයි මාසයේ දී උතුරු ජර්මනියේ රැකවරණය සොයා ගත්තා. ඔවුන්ගේ ශරීර වල තිබූ ඇඳුම් හැර වෙන කිසිවක් ඉතිරිව තිබුණේ නැහැ. නමුත් ආච්චි ඇයට කළ හැකි දේ දිගටම කරගෙන ගියා: ඇය සෑම දිනකම ඇගේ දරුවන් සමඟ යාච්ඤා කළා. ඇය කටපාඩම් කළ සයන්හි ගීත ඔවුන් සමඟ සෑම දිනකම ගායනා කළා.

ජීවිතය අතිශයින් දුෂ්කර වූ අතර, වසර ගණනාවක් යනතුරු සරලවම අවධානය යොමු වුණේ මේසය මත ආහාර ඇති බව සහතික කිරීම ගැනයි. නමුත් 1955 දී, එවකට 17 හැවිරිදි මගේ පියා රෙන්ඩ්ස්බර්ග් නගරයේ වෙළඳ පාසලකට යමින් සිටියා. ඔහු ගොඩනැගිල්ලක් අසලින් ඇවිද යන විට, පිටතින් ”Kirche Jesu Christi der Heiligen der Letzten Tage”—”යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව” යනුවෙන් ලියා තිබූ කුඩා පුවරුවක් දුටුවා. ඔහු මෙසේ සිතුවා, ”මේක වැදගත්; මේ අම්මාගේ සභාව. ඉතින්, ඔහු නිවසට පැමිණි විට, ඇයගේ සභාව සොයාගත් බව ඔහු ආච්චිට පැවසුවා.

සභාව සමඟ කිසිඳු සම්බන්ධයක් නොමැතිව වසර 25 කට ආසන්න කාලයක් ගත කිරීමෙන් පසු ඇයට හැඟෙන්නට ඇත්තේ කෙසේදැයි ඔබට සිතා ගන්න පුළුවන්. ඇය ඊළඟ ඉරිදා සහභාගි වීමට අධිෂ්ඨාන කරගෙන සිටි අතර මගේ පියාට ඇය සමඟ පැමිණෙන්නට ඒත්තු ගැන්වුවා. ඔවුන් ජීවත් වූ කුඩා ගම්මානයේ සිට රෙන්ඩ්ස්බර්ග් සැතපුම් 20කට (32 km) වඩා දුරින් පිහිටා තිබුණා. නමුත් මෙයට ආච්චි සභාවට යාම වැලැක්වීමට නොහැකි වුණා. ඊළඟ ඉරිදා, ඇය මගේ පියා සමඟ බයිසිකලයේ නැගී සභාවට ගියා.

සක්‍රමේන්තු රැස්වීම ආරම්භ වූ විට, මගේ පියා අන්තිම පේළියේ වාඩි වූයේ එය ඉක්මනින් අවසන් වෙයි කියලා බලාපොරොත්තුවෙන්. මේක ආච්චිගේ මිසක් එයාගේ සභාව නෙවෙයි. ඔහු දුටු දෙය එතරම් දිරිගන්වන සුළු වුණේ නැහැ: පැමිණ සිටියේ වැඩිහිටි කාන්තාවන් කිහිප දෙනෙකු සහ රැස්වීමේ සෑම දෙයක්ම කඩිසර ලෙස මෙහෙයවූ තරුණ ධර්මදූතයන් දෙදෙනෙකු විතරයි. නමුත් පසුව ඔවුන් ගායනා කිරීමට පටන් ගත් අතර, මගේ පියා කුඩා කාලයේ සිට අසා තිබූ සයන් හි ගීත ගායනා කළා: ”Come, Come, Ye Saints,” ”O My Father,” ”Praise to the Man.” මේ කුඩා සමූහය කුඩා කාලයේ සිට ඔහු දන්නා සයන්හි ගීත ගායනා කරන ආකාරය ඇසීමෙන් ඔහුගේ හදවත පසාරු කරගෙන ගිය අතර, සභාව සත්‍ය බව ඔහු වහාම, එමෙන්ම සැකයකින් තොරව දැන ගත්තා.

අවුරුදු 25 කට පසු මගේ ආච්චි සහභාගී වූ පළමු සක්‍රමේන්තු රැස්වීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සත්‍යතාව පිළිබඳ මගේ පියාට පෞද්ගලික තහවුරු කිරීමක් ලැබුණු රැස්වීමයි. සති තුනකට පසු 1955 සැප්තැම්බර් 25 වන දින ඔහු මගේ සීයා සහ නැන්දා සමඟ බව්තීස්ම වුණා.

රෙන්ඩ්ස්බර්ග්හි පැවති ඒ කුඩා සක්‍රමේන්තු රැස්වීමෙන් වසර 70 කට වැඩි කාලයක් ගත වෙලා. මම බොහෝ වෙලාවට ආච්චිගේ යාච්ඤා කිරීම, කියවීම සහ ගායනා කිරීම වැනි ඇයට කළ හැකි කුඩා හා සරල දේවල් කරමින්, ඒ හුදකලා රාත්‍රීන් වල ඇයට හැඟුණු ආකාරය කොහොමද කියලා සිතනවා. අද මම මෙහි ප්‍රධාන සම්මන්ත්‍රණයට පැමිණ මගේ ආච්චි ගැන කතා කරන විට, ඇගේ දුෂ්කරතා නොතකා ඇගේ ගිවිසුම් සහ ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට ඇය තුළ ඇති අධිෂ්ඨානය වෙනුවෙන්—එමෙන්ම ඔවුන්ගේ අභියෝගාත්මක තත්වයන් තුළ ක්‍රිස්තුස්වහන්සේ තුළ සරල බව කෙරෙහි අවධානය යොමු කරන, සමහර විට දැන් සුළු වෙනසක් දකින නමුත් අනාගතයේ යම් දිනක මහත් දේවල් සිදුවනු ඇතැයි විශ්වාස කරන ලොව පුරා සිටින අපගේ අපූරු ශුද්ධවන්තයන් බොහෝ දෙනෙකු වෙනුවෙන් මගේ හදවත නිහතමානීව හා කෘතඥතාවයෙන් පිරෙනවා.

4. කුඩා හා සරල දේවල්

ශුභාරංචියේ කුඩා හා සරල දේවල් සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තව අවධානය යොමු කිරීම අපව සැබෑ ප්‍රීතියට ගෙන යන බවත්, බලවත් ප්‍රාතිහාර්යයන් ගෙන එන බවත්, පොරොන්දු වූ සියලු ආශිර්වාද ඉටු වන බවට අපට විශ්වාසයක් ලබා දෙන බවත් මම මගේම අත්දැකීමෙන් ඉගෙනගෙන තියෙනවා. මෙය මට සත්‍ය වන ලෙසම ඔබට ද එකසේ සත්‍ය වෙනවා. වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ වචන වලින් මෙසේ කියනවා,”සමහර ආශිර්වාද ඉක්මනින් පැමිණෙනවා, සමහරක් ප්‍රමාද වී පැමිණෙනවා, සමහරක් ස්වර්ගයට පැමිණෙන තෙක් පැමිණෙන්නේ නැහැ; නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වැළඳ ගන්නා අයට ඒවා පැමිණෙනවා.” මේ ගැන මමත් සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.