ප්‍රධාන සම්මන්ත්‍රණය
මොර්මන්ගේ පොත—අපගේ ගමනේ අපරිමිත වස්තුවක්
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


9:47

මොර්මන්ගේ පොත—අපගේ ගමනේ අපරිමිත වස්තුවක්

මොර්මන්ගේ පොතේ ඇති ක්‍රිස්තුස්වහන්සේගේ වචන අප භුක්ති විඳින විට, ආත්මයාණන්වහන්සේ සදාකාලික සත්‍යයන් තේරුම් ගැනීමට අපිට උපකාර කරනවා.

ඔබේ ජීවිතය වෙනස් කළ ත්‍යාගයක් ඔබට යමෙකු දුන් මොහොතක් ඔබට මතකද? මගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම ත්‍යාගයක් මට ලැබී මේ ඔක්තෝබර් මාසයට වසර 40ක් සපිරෙනවා. මම උසස් පාසලේ ඉන්න කාලේ, අපේ පන්තියේ යාළුවෙකුට අනිත් තරුණයන්ට වඩා වෙනස් ආලෝකයක් තියෙනවා මම දැක්කා. මට ඔහු අවට සිටීම සතුටක් වුණා. දිනක් ඔහු මට කිව්වා ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක් කියලා. ඊට පස්සේ ඔහු මට ත්‍යාගයක් දුන්නා: මොර්මන්ගේ පොතේ පිටපතක්. ඔහු මට පිටු කිහිපයක් කියවා මගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි මිතුරන් දෙදෙනෙකු හමුවන ලෙස ආරාධනා කළා. ඒ මිතුරන් ධර්මදූතයින්.

මම ධර්මදූතයින් හමු වූ විට, ඔවුන් මට ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඉගැන්වූ අතර අනාගතවක්තෘ මොරෝනායිගේ ආරාධනය අනුගමනය කිරීමට මට ආරාධනා කළා: “තවද නුඹලාට මෙම දේවල් ලැබුණු විට, නුඹලා දෙවියන්වහන්සේ, සදාකාලික පියාණන්වහන්සේගෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, එනම් මෙම දේවල් සත්‍ය නොවේ දැයි අසන ලෙසට, මම නුඹලාට අවවාද කරමි; තවද නුඹලා අවංක හදවතකින් යුතුව, සැබෑ අරමුණකින්, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් අසන්නේ නම්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය මඟින්, උන්වහන්සේ නුඹලා හට එහි සත්‍යය ප්‍රකාශ කරන සේක” (මොරෝනායි 10:4).

මම මොර්මන්ගේ පොතේ පිටු කිහිපයක් කියවා යාච්ඤා කළා. ධර්මදූතයින් මට උගන්වමින් සිටි සියලු දේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් මට තවමත් නොතිබුණත්, මම කියවමින් සිටි දේ යහපත් බවත් දෙවියන්වහන්සේගෙන් පැමිණ ඇති බවත් මගේ හදවතට දැනුණා. මොරෝනායිගේ පොරොන්දුවේ තහවුරු කිරීම මට ලැබුණා: “ශුද්ධාත්මයාණන්ගේ බලය මඟින්, නුඹලා හට සියලු දේවල සත්‍යය දැන ගත හැකි වන්නෙහුය” (මොරෝනායි 10:5).

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට බව්තීස්ම වූ පසු, සමහර මිතුරන් මා වැරදි තීරණයක් ගෙන ඇති බව මට ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. නමුත් මම එවැනි සැකයන් හෝ විරුද්ධවාදිකම් වලට මුහුණ දුන් සෑම අවස්ථාවකම, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමෙන් සහ දෙවියන්වහන්සේ සමඟ මා ඇති කරගත් ගිවිසුම් වලට විශ්වාසවන්තව සිටීමට යාච්ඤා කිරීමෙන් මට අලුත් තහවුරු කිරීමක් ලැබුණා. එතැන් සිට, මොර්මන්ගේ පොත මගේ සගයා වී ඇති අතර මගේ ලෞකික ගමනේ අපරිමිත වස්තුවක් බවට පත් වෙලා තියෙනවා.

මොර්මන්ගේ පොත හුදෙක් පොතකට වඩා වැඩි යමක්. එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් වන අතර, එය පුරාණ අනාගතවක්තෘවරුන් බොහෝ දෙනෙකු විසින් අනාවැකි සහ එළිදරව් කිරීමේ ආත්මය මඟින් ලියන ලද්දක්.

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටීමෙන් ටික කලකට පසු නීෆායිවරුන් අතර කළ උන්වහන්සේගේ පෞද්ගලික දේවසේවය තමයි මොර්මන්ගේ පොතේ වාර්තා වී ඇති වැදගත්ම සිදුවීම. මොර්මන්ගේ පොත “ශුභාරංචියේ මූලධර්ම විස්තර කරයි, ගැලවීමේ සැලැස්ම ගෙනහැර දක්වයි, තවද මේ ජීවිතයේ සාමය සහ මතු ජීවිතයේ සදාකාලික ගැලවීම ලබා ගැනීමට ඔවුන් කළ යුතු දේ පිළිබඳව මනුෂ්‍යයන්ට කියා දෙයි” (හැඳින්වීම).

මොර්මන්ගේ පොතේ පළමු සංස්කරණය: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් 1830 මාර්තු මාසයේ දී නිව්යෝර්ක් ප්‍රාන්තයේ කුඩා නගරයක ප්‍රකාශයට පත් කරනු ලැබුවා. 1829 දී අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් පොත පරිවර්තනය කර අවසන් කරන විට ඔහුගේ වයස අවුරුදු 23ක් විතරයි. ඔහු මුළු පොතම වගේ දින 75කටත් අඩු කාලයකින් පරිවර්තනය කළ අතර මුද්‍රණ ක්‍රියාවලියට මාස හතක් පමණ ගත වුණා.

අද වන විට, රටවල් 150 කට වැඩි ගණනක පූර්ණ කාලීන ධර්මදූතයින් 80,000 ක් පමණ ස්වේච්ඡා සේවකයන් ලෙස සේවය කරමින්, මොර්මන්ගේ පොත සත්‍ය බවත් එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන බවත් ප්‍රකාශ කිරීමට, ඔවුන්ගේ ජීවිත කැප කර තිබෙනවා.

මේ වසරේ ජුනි මාසයේ නව ධර්මදූත නායකයින් සඳහා පැවති මෑත කාලීන සමුළුවේ දී, සභාපති රසල් එම්. නෙල්සන්, මොර්මන්ගේ පොත පිළිබඳ ඔහුගේ බලවත් සාක්ෂිය බෙදාගත්තා: “මොර්මන්ගේ පොත … දෙවියන්වහන්සේගේ වචනයයි. එය ක්‍රිස්තුස්වහන්සේගේ දහම උගන්වන අතර වෙනත් ඕනෑම පොතකට වඩා ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම ගැන පැහැදිලි කරනවා.”

මොර්මන්ගේ පොත අධ්‍යයනය කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපගේ හැරීම ගැඹුරු කිරීමට උපකාරී වන යෝජනා තුනක් මම ඉදිරිපත් කිරීමට කැමතියි:

1. ඔබේ දෛනික අධ්‍යයනයේ දී කඩිසරව හා වෙනස් නොවී සිටින්න

ඇල්මා සහ මොසායාගේ පුත්‍රයන් වගේ, අපිත් “එනම් [අපට] දෙවියන්වහන්සේගේ වචනය දැන ගැනීමට හැකි වන පිණිස” සහ සත්‍යයෙන් ශක්තිමත් වෙන්නට, ශුද්ධලියවිලි උද්‍යෝගයෙන් [සෙවිය] යුතු වෙනවා (ඇල්මා 17:2).

ජෝර්ජියා ඇට්ලන්ටා ධර්මදූත සේවයේ ධර්මදූත නායකයන් ලෙස සේවය කරන අතරතුර, මගේ බිරිඳ සහ මම සෑම ධර්මදූතවරයෙකුටම දිනපතා අවම වශයෙන් මිනිත්තු 30 ක්වත් මොර්මන්ගේ පොත අධ්‍යයනය කිරීමට දිරිමත් කළා. ඒ කැපවීම අපේ ඇදහිල්ල වැඩි කළ අතර ප්‍රාතිහාර්යයන් සෙවීමට සහ අපේක්ෂා කිරීමට අපට උපකාර කළා.

ධර්මදූත සේවයෙන් පසු අපට දිනපතා ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා එතරම්ම කාලයක් නොතිබෙන්න පුළුවන්, නමුත් ඔබ සෑම දිනකම යාච්ඤා පූර්වකව මොර්මන්ගේ පොත අධ්‍යයනය කිරීමට අවංකවම ප්‍රමුඛත්වය දෙන්නේ නම්, ඔබට ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි වැඩි අධ්‍යාත්මික ශක්තියක් සහ විශ්වාසයක් ලැබෙනු ඇතැයි මම පොරොන්දු වෙනවා.

2. ක්‍රිස්තුස්වහන්සේගේ වචන භුක්ති විඳීමෙන් ඔබේ අධ්‍යයනය වඩාත් අර්ථවත් කරන්න

නීෆායි අපට මෙසේ ඉගැන්වූවා, “ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භුක්ති විඳපන්න; මක්නිසාද බලන්න, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා කළයුතු සියල්ල නුඹලාට කියනු ලබන්නේය”(2 නීෆායි 32:3).

භුක්ති විඳීම යන්නෙන් කියවීමට වඩා වැඩි යමක් අදහස් කරනවා—එහි තේරුම රසවිඳීම, මෙනෙහි කිරීම සහ අදාළ කර ගැනීමයි. ඔබ මොර්මන්ගේ පොත අධ්‍යයනය කරන විට, ඔබේ ශුද්ධලියවිලි අධ්‍යයනය වඩාත් අර්ථවත් කිරීමට ක්‍රම සලකා බලන්න. උදාහරණයක් ලෙස:

  • ශුභාරංචි පුස්තකාල යෙදුමේ ඇති අධ්‍යයන ආධාරක භාවිත කරන්න.

  • දෙවියන්වහන්සේගේ සැලැස්ම තේරුම් ගැනීමට සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට සහ ඒවා පවත්වා ගැනීමට අපව මෙහෙයවන සදාකාලික සත්‍යයන් හඳුනා ගන්න.

  • ඔබේ අධ්‍යයනයේ දී ඔබ ඉගෙන ගත් දේ ආරක්ෂා කිරීම සඳහා වැදගත් වාක්‍ය ඛණ්ඩ ඉස්මතු කර ඔබේ හැඟීම් සටහන් කරගන්න.

අපගේ ආත්මයේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට මොර්මන්ගේ පොතට බලය තිබෙනවා. නීෆායි පැවසූ පරිදි, “ඒවා අපගේ ලාභය හා ඉගෙනීම සඳහා වන පිණිස, අපි සියලු ශුද්ධලියවිලි අපට අදාළ කර ගත යුතු වෙනවා” (1 නීෆායි 19:23).

ක්‍රිස්තුස්වහන්සේගේ වචන භුක්ති විඳින විට, ඒවා එළිදරව්වට දොර විවර කර අපගේ ජීවිතයේ විවිධ තත්වයන් තුළ උන්වහන්සේ වෙත සමීප වීමට අප කළ යුතු දේ අපට පෙන්වනවා.

3. මොර්මන්ගේ පොතේ සත්‍යතාව පිළිබඳ ඔබේ සාක්ෂිය දරන්න

ජීවන වෘක්ෂයේ ඵලය තම පවුලේ අය සමඟ බෙදා ගැනීමට ලීහායි කැමති වූවාක් මෙන් (බලන්න 1 නීෆායි 8:12), අපි මොර්මන්ගේ පොත පිළිබඳ සාක්ෂියක් ලබා ගන්නා විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දැන ගැනීමෙන් ලැබෙන ප්‍රීතිය බෙදා ගැනීමට අපි ආශාවක් වර්ධනය කරගමු.

මොර්මන්ගේ පොත සමඟ බෙන්සන් සහෝදරිය

මෙම සැසියට අප සමඟ සහභාගී වන අපගේ ධර්මදූතවරියන්ගෙන් කෙනෙකු වන බෙන්සන් සහෝදරිය, ඇගේ තරුණ සහෝදරයාට උපකාර කිරීමට ඇති ඇගේ ආශාව මා සමඟ බෙදාගත්තා. ඒ කාලයේ දී, ඔහු විද්‍යාලයට යාමට සූදානම් වෙමින් සිටි අතර, ධර්මදූත සේවයක නිරත වීම ගැන ඔහුට විශ්වාසයක් තිබුණේ නැහැ. බෙන්සන් සහෝදරියට ඇගේ ධර්මදූත සේවයේ මුල් මාස හතර තුළ මොර්මන්ගේ පොත කියවා, ඇගේ ප්‍රියතම පද සලකුණු කර, පසුව එම පිටපත ඇගේ සහෝදරයාට යැවීමට ආරාධනා කරන්නට මට අවශ්‍ය වුණා.

බෙන්සන් සහෝදරිය මොර්මන්ගේ පොතේ සලකුණු කළ පිටපත යවා සෑම රාත්‍රියකම එය කියවීමට ඇගේ සහෝදරයාට ආරාධනා කළා. පසුව ඇය මා සමඟ මෙසේ බෙදාගත්තා: “මගේ ධර්මදූත සේවයට පෙර, මගේ සහෝදරයාට පූර්ණ කාලීන ධර්මදූත සේවයක් කිරීමට අවශ්‍ය දැයි විශ්වාසයක් තිබුණේ නැහැ. කාලයත් සමඟ, ඔහු මොර්මන්ගේ පොත කියවන විට, ඔහු තම ජීවිතයේ ප්‍රීතිය වැඩි වන බව සොයා ගත් අතර ධර්මදූත සේවයක නිරත වීම ගැන සලකා බැලීමට පටන් ගත්තා.

වැඩිහිටි බෙන්සන්

බෙන්සන් සහෝදරිය ඇගේ ධර්මදූත සේවය සම්පූර්ණ කිරීමට සති දෙකකට පෙර, ඇගේ සහෝදරයා ඔහුගේ ධර්මදූත සේවයේ කැඳවීම ලැබුණා. ඔහු දැන් මෙක්සිකෝවේ ටක්ස්ට්ලා ගුටියරෙස්හි ධර්මදූත සේවයේ යෙදෙනවා. මොර්මන්ගේ පොත තුළින්, වැඩිහිටි බෙන්සන් ඔහුගේ ජීවිතය අධ්‍යාත්මික පැහැදිලිකමකින් දැකීමට සමත් වූ අතර, එය ඔහුව ස්වාමින්වහන්සේට සේවය කිරීමටත්, දේවල් සාර්ථක වනු ඇතැයි විශ්වාස කිරීමටත් හේතු වුණා. ක්‍රිස්තුස්වහන්සේගේ වචනවල බලයෙන් බලපෑමට ලක් වූ—එම තීරණය ආශ්චර්යයක්.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මොර්මන්ගේ පොත පිළිබඳ ඔබේ අධ්‍යයනය ගැඹුරු කරන ලෙස මම ඔබ සැමව දිරිගන්වනවා. මොර්මන්ගේ පොතේ ඇති ක්‍රිස්තුස්වහන්සේගේ වචන අප භුක්ති විඳින විට, ආත්මයාණන්වහන්සේ සදාකාලික සත්‍යයන් තේරුම් ගැනීමටත්, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ පණිවිඩය අසන්නට සූදානම් කර ඇති අයට අපගේ සාක්ෂි ස්ථිර විශ්වාසයෙන් බෙදා ගැනීමටත් අපට උපකාර කරන බව මම දන්නවා. ස්වාමින්වහන්සේ මෙසේ ඉගැන්වූවා: “මාගේ තෝරාගත්තා වූ අය මාගේ හඬ අසා, තවද ඔවුන්ගේ හදවත් දැඩිකර නොගන්නෝය” (දහම සහ ගිවිසුම් 29:7). දෙවියන්වහන්සේගෙන් ඇදහිල්ලෙන් ඉල්ලන අයට ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් මොර්මන්ගේ පොතේ සත්‍යය හා දිව්‍යමයභාවය පිළිබඳ සාක්ෂියක් ලැබෙනු ඇති බවට මම සාක්ෂි දරනවා. මේ ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. Russell M. Nelson, “Sacrament Meeting” (address given at the seminar for new mission leaders, June 23, 2025).