යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ ප්‍රේමය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ ප්‍රේමය තුළ සුවය සහ සමාව දීම යන දෙකම ඒවායේ පූර්ණත්වයෙන් සොයාගෙන තිබෙනවා.
සභාපති රසල් එම්. නෙල්සන් කෙරෙහි මගේ ආදරය සහ අප සෑම කෙනෙකුටම ඔහු ඇති කළ කැපී පෙනෙන බලපෑමට මගේ කෘතඥතාව පළ කරනවා. අපි හැමෝටම, සභාපති ඩැලන් එච්. ඕක්ස්ගේ උතුම් ජීවිතය ආරක්ෂා කර උසස් කිරීම ගැන මම දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙනවා.
ගෙවී යන සෑම වසරකම, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ දයානුකම්පිත වන්දිගෙවීම කෙරෙහි මට වැඩි ප්‍රේමයක් දැනෙනවා. මුළු මිනිස් ඉතිහාසයේම වඩාත්ම විපාකදායක දායකත්වය තමයි මරණයට හා පාපයට එරෙහිව ජයග්‍රහණය ලබා ගැනීම සඳහා උන්වහන්සේගේ උත්තරීතර පරිත්‍යාගය. මට නම්, උන්වහන්සේගේ දිව්‍යමය ත්‍යාගය තේරුම් ගැනීම කියන්නෙ සොහොනෙන් ඔබ්බට යන විවෘත ස්වර්ගීය නිබන්ධනයක්.
පාපයට සමාව දීමේ දී සහ අන් අයගේ පාප නිසා ඇති වූ තුවාල සුව කිරීමේ දී ගැලවුම්කරුවාණන්ගේ බලවත් අනුකම්පාව දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ වඩාත්ම ආශ්චර්යමත් ප්‍රකාශනයක් වෙනවා.
මගේ අභිප්‍රාය වන්නේ ඉතා බරපතළ පාපවලට සමාව සොයන අයට බලාපොරොත්තුවක් ලබා දීම සහ අන් අයගේ බරපතළ පාප නිසා ඇති වන වේදනාකාරී තුවාල වලින් සුවය සොයන අයට සැනසීමක් ලබා දීමයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ ප්‍රේමය තුළ සුවය සහ සමාව දීම යන දෙකම ඒවායේ පූර්ණත්වයෙන් සොයාගෙන තිබෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල
ඔබ බරපතළ පාපයන් කර ඇත්නම් සහ පසුතැවිලි වීමේ ක්‍රියාවලියක යෙදී සිටින්නේ නම් හෝ සම්පූර්ණයෙන්ම පසුතැවිලි වී සමාව දීමේ අප්‍රමාණ ප්‍රීතිය අත්විඳීමට ආශාවක් තිබේ නම්, කරුණාකර මෙම ප්‍රාතිහාර්යය ඔබ වෙනුවෙන් බලා සිටින බව දැන ගන්න. ගැලවුම්කරුවාණන් නිරන්තරයෙන් මෙසේ කියනවා “මා වෙතට එන්න.”
අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කිරීමෙන්, උන්වහන්සේව දැන හඳුනා ගැනීමට, උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට සහ ඔබේ හදවත උන්වහන්සේට භාර දීමට ඔබේ ආත්මය තුළ ඇති ආශාව ප්‍රබෝධමත් වෙනවා. ඊනොස් තමාගේම සමාව ගැන මෙසේ ඇසුවා, “ස්වාමීනි, එය සිදු වන්නේ කෙසේ ද?” ස්වාමින්වහන්සේ මෙසේ පිළිතුරු දුන්නා “තවද උන්වහන්සේ මාහට කියමින්: නුඹ කවරදාකවත් පෙර නොදුටු හෝ අසා නැති ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹේ ඇදහිල්ල නිසාය.”
මොරෝනායි මෙසේ පැවසුවා, “නුඹලා විසින්ම සියලු අභක්තියෙන් වැළකී සිටිමින් නුඹලාගේ සියලු බලයෙන්ද මනසින්ද, ශක්තියෙන්ද දෙවියන්වහන්සේට ආදරය කරන්නේ නම්, එවිට උන්වහන්සේගේ අනුග්‍රහය නුඹලා උදෙසා සෑහෙන්නේය.”
පාපයෙන් හැරීම, දෙවියන්වහන්සේ දෙසට හැරීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සුන්දර ආරම්භයක්. ඔබේ කැමැත්ත දෙවියන්වහන්සේ වෙතට නිහතමානීව යටත් කිරීමට ඔබේ සභානායකවරයා හෝ ශාඛා සභාපතිවරයා ඉදිරියේ බරපතල පාප පිළිගැනීම ඇතුළත් වෙනවා, නමුත් ඔබේ සම්පූර්ණ සමාව පැමිණෙන්නේ ගැලවුම්කරුවාණන්ගෙන්. සමාව දීම කියන්නෙ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින් පිරිනමනු ලබන දිව්‍යමය ත්‍යාගයක්.
අවංක බව
දෙවියන්වහන්සේ වෙත සැබවින්ම නැවත පැමිණීමේ ආශාව, ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ, ඔබ සමඟ, හානියට පත් වූවන් සමඟ සහ ඔබේ පූජකවර නායකයා සමඟ සම්පූර්ණයෙන්ම අවංක වීමට ඇති අධිෂ්ඨානය සමඟ සම්බන්ධ වෙනවා. බිඳුණු හදවතකින් සහ පසුතැවිලි වූ ආත්මයකින් උන්වහන්සේ වෙතට පැමිණීමට ඔබ ගත් අධිෂ්ඨානය ගැන ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේ ප්‍රීති වෙනවා. පසුතැවිලි වූ ආත්මයක් තිබීම යනු නිහතමානීව ඔබව දෙවියන්වහන්සේගේ අතට භාර දීමයි; බිඳුණු හදවතක් තිබීම ප්‍රේරිත පාවුල් විස්තර කළ පරිදි “දේව භක්තික ශෝකය,” එනම් කුමන දේවල් හරහා යාමට සිදු වුවත් උන්වහන්සේ වෙත නැවත පැමිණීමට ආත්මයේ ගැඹුරු ආශාවක් ගෙන එනවා.
බිඳුණු දේ නැවත පිහිටුවීම
ඔබේ ආශාව නිසා ඔබ බිඳ දැමූ දේ අලුත්වැඩියා කිරීමට ඔබට අවශ්‍ය වෙනවා. නමුත්, සමහර දේවල් අලුත්වැඩියා කිරීමට ඔබට බලයක් නැහැ, ඒ වගේම ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කරුණාව තුළින්, ඔබේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක නිසා තුවාල වූ අයව සුව කිරීමට උපකාර කරන ලෙස ඔබ ඉතා උවමනාවෙන් යාච්ඤා කරනවා.
බරපතළ පාපයක් අන් අයට බලපාන විට ඒවා ජය ගැනීම බොහෝ විට වේදනාකාරී ලෙස දුෂ්කර යි. “සභාවට කළ සියලුම තුවාල උද්‍යෝගීමත්ව පිළිසකර කිරීමට පරිශ්‍රම දැරූ” මොසායාගේ පුත්‍රයන්ගේ ආදර්ශය ඔබ අනුගමනය කරනවා ද? ඔබ ගරු කරන අය සමඟ ඔබට නොපෙනෙන දේ ගැන කතා කරන්න.
මම මෙම කතාව සූදානම් කරමින් සිටිය දී, පසුතැවිලි වී නැවත සභාව යාමට ආශාවෙන් සිටින කෙනෙකුගෙන් මට බලාපොරොත්තු නොවූ ඊමේලයක් ලැබුණා. ඔහුගේ පෙර බිරිඳ තවමත් “[ඔවුන්ගේ] සදාකාලික විවාහය අහිමි වීම, [දරුවන් සමඟ ඇති දුෂ්කරතා], මූල්‍ය ආරක්ෂාව අහිමි වීම, … වියදම් දරා ගැනීමට නොහැකි වීම, [සහ] පාවා දීමේ ගැඹුරින් හුස්ම හිර කරන හැඟීම්” වලින් පීඩා විඳිමින් සිටියා.
“[ඔහුගේ හිටපු බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඔහුට තවත් කළ හැකි දේ] යාච්ඤාපූර්වකව සලකා බැලීමට [ඔහුගෙන් ඉල්ලා සිටීමට]” ඔහුගේ පූජකවර නායකයාට හැඟුණු ආකාරය ඔහු මා සමඟ බෙදාගත්තා. අවසරය ඇතිව මම ඔහුගේ ඊමේලයෙන් කොටසක් බෙදා ගන්නම්:
“දික්කසාද නියෝගයෙන් මම ලබාදුන් [මුදල්] ඕනෑවටත් වඩා ත්‍යාගශීලී බව මම [පළමුව] සිතුවා, නමුත් මගේ ශාඛා සභාපතිවරයා නිරාහාරව සිට ඒ ගැන යාච්ඤා කිරීමට මාව දිරිමත් කළා.
“මුල දී, තවදුරටත් වන්දි මුදල් ගෙවීමේ අදහස සමඟ මම අරගල කළා. මගේ පව් මූල්‍යමය නොවන නිසා, ‘ත්‍යාගශීලී වන්දි ගෙවීමක්’ යන්නෙන් ඇත්තටම අදහස් කරන්නේ කුමක්දැයි මම කල්පනා කළා … [නමුත්] එය මුදල් ගැන පමණක් නොවන බව මට ඉක්මනින්ම වැටහුණා.
“මගේ පූජකවර නායකයින් [මගේ හිටපු බිරිඳ] සහ මගේ දරුවන් මුණගැසුණා, ඒවගේම ඔවුන් තවමත් අරගල කරන බවත් සුවපත් වී නොමැති බවත් ඔවුන්ට වැටහුණා. …
“මගේ අලුත් ඉලක්කය වුණේ ඇදහිල්ලෙන් ඉදිරියට යාමයි. … මම කිසිම කොන්දේසියකින් තොරව උදව් කිරීමට මගේ ආශාව ප්‍රකාශ කළා. … මගේ ශුද්ධ වැටුපෙන් සැලකිය යුතු කොටසක්, [මගේ හිටපු බිරිඳට නිශ්චිත මුදලක් යැවීමට] මම තීරණය කළා. පළමු ගෙවීම සිදු කිරීමට පෙර, [එම මුදල මෙන් දෙගුණයක්] ගෙවීමට අවශ්‍ය බව ස්වාමින්වහන්සේ මගේ මනසට කාවැද්දුවා.
“වන්දි මුදල් ගෙවීම කියන්නෙ මුදල් ගැන පමණක් නොවන දෙයක් බව මම ඉගෙන ගත්තා. එයින් කියවෙන්නෙ නිහතමානීව මගේ ජීවිතය ස්වාමින්වහන්සේට කැප කිරීම ගැනයි. … මෙම මුදල් තිබුණේ, මගේ වැරදි තීරණ නිසා මගේ පවුලෙන් මම උදුරා ගත් දේ වෙනුවට ආදේශ කිරීමට යි. එසේ කළ යුතු වුණේ ඇයට ආත්මයාණන් සෙවීමට හැකි වන පරිදි, කිසිවක් ආපසු බලාපොරොත්තු නොවී පොරොන්දු තබාගැනීම සහ ඉටු කිරීම සහ ඇයට බිල්පත් ගැන කරදර නොවී සිටීමට උපකාර කිරීමටයි.”
ඔබ බිඳ දැමූ දේ නැවත පිහිටුවීමට ඔබ ගන්නා උත්සාහයන් වලට මුදල් සමඟ කිසිඳු සම්බන්ධයක් නොතිබෙන්න පුළුවන්, නමුත් ඔබ නිහතමානීව ස්වාමින්වහන්සේගෙන් උපදෙස් ලබා ගනිද්දී, ඔබට කළ හැකි තවත් බොහෝ දේ ඇති බව ඔබට පෙනෙයි.
තත්ව මගින් දිව්‍ය අනුමැතිය
ඔබ ස්වාමින්වහන්සේගේ සමාව සොයන විට, උන්වහන්සේගේ සම්පූර්ණ අනුමැතිය ලැබෙන තෙක් ඉවසිලිවන්ත වන්න. මෙම ශුද්ධලියවිලි පදය සලකා බලන්න:
“නිහතමානීභාවයේ ගැඹුරෙහිම පවා ඔවුන් ඔවුන්ව නිහතමානී කරගත්තෝය; එසේය, එපමණක් නොව මුළු දවස පුරාවෙහිම ඔවුන්ගේ දෙවියන්වහන්සේ හට, … මොරගැසුවෝය. [නමුත්] තවද දැන් ඔවුන්ගේ අයුතුකම් නිසාවෙන් ස්වාමින්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම්වලට සවන් දීමට ඉක්මන් නොවූ සේක.”
“එසේනමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ මොරගැසීම්වලට සවන් දුන් සේක, … එනම් ඔවුන්ගේ බර ඔවුන් පහසු කරගන්නා සේය;… ඔවුන් පිළිවෙළින් දේශයේ සමෘද්ධිමත් වන්නට පටන් ගත්හ.”
ස්වාමින්වහන්සේ ඔබට උන්වහන්සේගේ ආශිර්වාද සහ අනුමැතිය ලබාදෙන්නේ ක්‍රමානුකූලව බැවින් ඉවසිලිවන්ත වන්න.
ස්වාමින්වහන්සේගේ කාලයේ දී, “මෙම දේවල් පිළිබඳ නුඹ තවදුරටත් කරදර විය යුතු නැත” යනුවෙන් උන්වහන්සේගේ හඬ ඔබට පවසනු ඔබට දැනෙයි. යම් දිනක, ඔබ ගැලවුම්කරුවාණන් වෙත හැරෙන විට, ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේ “උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාවන් තුළින්, [ඔබේ හදවතින්] වරදකාරීත්වය ඉවතට [ගන්නා] සේක.”
තුවාල ලැබූ සහ දුක් විඳින
තවත් කෙනෙකුගේ බරපතළ පාප නිසා අසාධාරණ ලෙස තුවාල ලැබූ ඔබ වෙනුවෙන්, ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය සහ අනුකම්පාව, උන්වහන්සේගේ සැනසීම සහ සාමය බෙදා ගැනීම මම ආශා කරනවා.
ඔබට දැනුණු දුක, හද කම්පා කරවන වේදනාව, අහිමි වීම, පාවාදීමේ හුස්ම හිර කරන හැඟීම, ඔබ සිතූ පරිදි ඔබේ ජීවිතය උඩු යටිකුරු වීම—මම ඔබට මගේ සම්පූර්ණ සහතිකය මෙසේ ලබා දෙනවා, ගැලවුම්කරුවාණන් ඔබව දන්නවා ඒවගේම ඔබට ආදරය කරනවා. උන්වහන්සේ වෙත ළඟා වන්න. උන්වහන්සේ තමයි ඔබේ සැනසීම සහ ශක්තිය; උන්වහන්සේ ඔබව උසුලාගෙන යාමට උන්වහන්සේගේ දූතයන් එවනවා. ඔබේ වේදනාව නැති වී, ඔබේ ශෝකය යටපත් වී, අනවශ්‍ය මතකයන් අමතක වී යන්නේ කවදා ද? මම දන්නේ නැහැ. නමුත් මම මෙය දන්නවා: ඔබේ දුක් වේදනා වල අළුවලින් අලංකාරය ගෙන ඒමටත් උන්වහන්සේට බලය තිබෙනවා.
මිචිගන්, ග්‍රෑන්ඩ් බ්ලැන්ක් හි අපගේ ආදරණීය සහෝදර සහෝදරියන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ නොබිඳිය හැකි ඇදහිල්ලෙන්, ඔවුන්ගේ ධෛර්යයෙන් හා පරාර්ථකාමීත්වයෙන්, ඉදිරි සති හා මාසවල දී, ගැලවුම්කරුවාණන්ගේ අසමසම ප්‍රේමය හා කරුණාව බහුල ලෙස ලබාගෙන ඇති අතර තව තවත් ලබාගනී.
ඔබ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම දිගට ම කරගෙන යන විට, ඔබේ අන්ධකාරයේ වලාකුළු සහ රාත්‍රියේ ඔබේ දුක්ඛිත හැඬීම, උදෑසන ආලෝකයේ ප්‍රීතියේ සහ සාමයේ කඳුළු බවට පරිවර්තනය වෙනවා. “ඔබේ දුක ප්‍රීතියට හැරෙනු ඇත. … ඔබේ ප්‍රීතිය කිසිවෙකු ඔබෙන් පැහැර නොගනී.” ඒ මොහොත පැමිණෙයි. එය පැමිණෙන බවට මම සාක්ෂි දරනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ ප්‍රේමය ඉතාමත් දුෂ්කර අවස්ථාවන්හි දී සොයාගත හැකි නමුත්, අප සැමට අපගේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ කරුණාව නිරන්තරයෙන් අවශ්‍ය වෙනවා. සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ උගන්වා තිබෙනවා: “ලෞකික ජීවිතයේ උන්වහන්සේගේ වන්දිගෙවීමේ අත්දැකීම නිසා, අපගේ ගැලවුම්කරුවාණන්ට සෑම තැනකම සිටින සියලුම පිරිමින් සහ කාන්තාවන් සැනසීමට, සුව කිරීමට සහ ශක්තිමත් කිරීමට පුළුවන්, නමුත් උන්වහන්සේ එසේ කරන්නේ උන්වහන්සේව සොයන සහ උන්වහන්සේගේ උපකාරය ඉල්ලන අයට පමණක් බව මම විශ්වාස කරනවා. ප්‍රේරිත ජේකබ් මෙසේ ඉගැන්නුවා, ‘ස්වාමින්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වන්න, එවිට උන්වහන්සේ ඔබව උසස් කරනු ඇත’ (ජේකබ් 4:10). අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කර උන්වහන්සේගේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන විට අපි ඒ ආශිර්වාදයට සුදුසුකම් ලබනවා.”
වැඩිහිටි රොබට් ඊ. වෙල්ස්
මගේ ආදරණීය මිතුරෙකු සහ විශ්‍රාමික ප්‍රධාන අධිකාරියේ හැත්තෑවරුන්ගේ, දැන් වයස අවුරුදු 97 ක් වන වැඩිහිටි රොබට් ඊ. වෙල්ස්ගෙන්, වසර 60 කට පෙර ඔහුගේ අත්දැකීමක් බෙදා ගැනීමට මට අවසර ලැබුණා.
1960 දී පැරගුවේ ජීවත් වෙමින් ජාත්‍යන්තර බැංකුකරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී, එවකට 32 හැවිරිදි රොබට් වෙල්ස් සහ ඔහුගේ බිරිඳ මෙරිල්, උරුගුවේ සිට පැරගුවේ දක්වා පියාසර කරමින් වෙනස් ගුවන් යානා දෙකක නියමුවන් ලෙස කටයුතු කළා. ඝන වලාකුළු හමු වූ රොබට් සහ මෙරිල්ට එකිනෙකා සමඟ දෘශ්‍ය හා ගුවන් විදුලි සම්බන්ධතා නැති වී ගියා. රොබට් ඉක්මනින් ගොඩ බැස්සා, එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ ඔහුගේ බිරිඳගේ ගුවන් යානය කඩා වැටී ඇති බවයි. ඔහුගේ බිරිඳ හෝ ඇය සමඟ පියාසර කරමින් සිටි මිතුරන් දෙදෙනා දිවි ගලවා ගත්තේ නැහැ. අසුන්සියොන් හි නිවසේ සිටි ඔහුගේ දරුවන්ට වයස අවුරුදු හතක්, පහක් සහ දෙකක් වුණා.
වැඩිහිටි වෙල්ස් ඔහුගේ ශෝකය ගැන මෙහෙම කිව්වා:
“මා තුළ ඉදිමී ගිය, මගේ හැඟීම් ගිල ගනිමින් සහ මගේ ඉන්ද්‍රියන් හිරිවැටී ගිය ඒ වේදනාව ප්‍රකාශ කිරීමට වචන සදහටම ප්‍රමාණවත් නොවනු ඇත. ශෝකයේ ගැඹුරු කඳුළු ගලා යාම නතර වූයේ නැහැ. තත්වය තවත් නරක අතට හැරෙමින්, මගේ බිරිඳගේ වියෝව පිළිබඳ විනාශකාරී අවබෝධය සමඟ කටයුතු කිරීමට මගේ මනස උත්සාහ කරන විට, අනතුරට මම වගකිව යුතු යැයි යන හැඟීම නිසා මට දැඩි වරදකාරී හැඟීමක් ඇති වුණා.”
යානය වඩාත් හොඳින් පරීක්ෂා කර නොතිබීම සහ ඔහුගේ බිරිඳට පියාසර කිරීම සඳහා හොඳ උපදෙස් ලබා නොදීම ගැන රොබට් තමාටම දොස් පවරා ගත්තා. නොසලකා හැරීම සම්බන්ධයෙන් තමා වරදකරුවෙකු බව ඔහුට හැඟුණා.
රොබට් මෙසේ කිව්වා:
“මගේ මනස අඳුරු අන්ධකාරයකට වැටුණා.… මම සරලවම ජීවත් වුණේ [දරුවන් වෙනුවෙන්,] ඊට වඩා දෙයක් නැහැ.”
“මට … ඉදිරියට යාමට ඇති ආශාව නැති වුණා.”
කාලයාගේ ඇවෑමෙන්, රොබට්ට ගැඹුරු අධ්‍යාත්මික අත්දැකීමක් ලැබුණා. ඔහු එය මෙසේ විස්තර කළා:
“වසරකට පමණ පසු එක් සැන්දෑවක, මම දණ ගසා යාච්ඤා කරමින් සිටිය දී, ප්‍රාතිහාර්යයක් සිදු වුණා. මගේ ස්වර්ගික පියාණන්වහන්සේට යාච්ඤා කරමින් සහ කන්නලව් කරමින් සිටිය දී, ගැලවුම්කරුවාණන් මගේ පැත්තට පැමිණියාක් මෙන් මට දැනුණා, ඒ වගේම මගේ ආත්මයට සහ මගේ කන්වලට මෙම වචන කතා කරන බව ඇසෙන හඬක් මට ඇසුණා: ‘රොබට්, මගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය මගින් ඔබේ පාප සහ ඔබේ වැරදි සඳහා ගෙවා තිබෙනවා. ඔබේ බිරිඳ ඔබට සමාව දෙනවා. ඔබේ මිතුරන් ඔබට සමාව දෙනවා. මම ඔබේ බර ඔසවන්නම්. …’
“ඒ මොහොතේ සිට, ඒ වරදකාරි හැඟීමේ [සහ බලාපොරොත්තු සුන්වීමේ] බර පුදුම සහගත ලෙස මගෙන් ඉවත් වුණා. මාව බේරගෙන තිබුණා! ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ බලය සහ … එය මට කෙලින්ම අදාළ වන බව මම වහාම තේරුම් ගත්තා. මම … කවදාවත් නොදැන සිටි තරම් ආලෝකය සහ ප්‍රීතිය අත්වින්දා. මට ලබා දී තිබුණේ උපයා නොගත් ත්‍යාගයක්—ඒ තමයි ස්වාමින්වහන්සේගේ දයාවේ ත්‍යාගය. … මම ඒකට සුදුසු නැහැ—ඒකට සුදුසු දෙයක් මම කරලා නැහැ, නමුත් උන්වහන්සේ මට ඒක දුන්නා.”
සහෝදර සහෝදරියනි, අපි සෑම කෙනෙකුම “දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය වැගිරීම තුළින්, … ශුද්ධව, කැළැල් නොමැතිව” පරිශුද්ධ වෙමු.
අපගේ ගැලවුම්කරුවාණන්ගේ සහ මිදුම්කරුවාණන්ගේ ප්‍රේමය, දයාව සහ කරුණාව ගැන මම සාක්ෂි දරනවා. උන්වහන්සේ ජීවමානයි. අපි උන්වහන්සේගේ; අපි තමයි ගිවිසුමේ දරුවන්. අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට, උන්වහන්සේව අනුගමනය කරන විට සහ උන්වහන්සේව විශ්වාස කරන විට, උන්වහන්සේ අපගේ දුකෙන් සහ පාපවලින් අපව ඔසවනවා. ඉන්පසු, මෙම ලෞකික ජීවිතයෙන් ඔබ්බට, අපගේ පියාණන්ගේ නිවසේ, අපි උන්වහන්සේ සමඟ සදහටම ජීවත් වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.