ඔබේ මුළු හදවතින්ම ඔබේ කොටස කරන්න
ගැලවුම්කරුවාණන් කෙරෙහි විශ්වාසය තබා, ඉවසිලිවන්තව හා ඉතා උනන්දුවෙන්, ඔබේ මුළු හදවතින්ම ඔබේ කොටස ඉටු කිරීමට සම්බන්ධ වන්න.
පසුගිය වසරේ යුරෝපයේ සංචාරයක දී මම ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළේ දී මගේ පැරණි රැකියා ස්ථානය වන ලුෆ්තන්සා ජර්මන් ගුවන් සේවයට ගියා.
ඔවුන්ගේ නියමුවන් පුහුණු කිරීම සඳහා, ඔවුන් ඕනෑම සාමාන්‍ය සහ හදිසි පියාසැරි තත්වයක් පාහේ ප්‍රතිනිර්මාණය කළ හැකි නවීන පූර්ණ-චලන පියාසැරි සිමියුලේටර් කිහිපයක් ක්‍රියාත්මක කරනවා. ගුවන් සේවා කපිතාන්වරයෙකු ලෙස මා වසර ගණනාවක් සේවය කළ කාලය තුළ, මගේ නියමු බලපත්‍රය වලංගුව තබා ගැනීම සඳහා සෑම මාස හයකට වරක් පියාසැරි සිමියුලේටරයේ පරීක්ෂා කිරීමේ ගුවන් ගමනක් සමත් වීමට මට සිදු වුණා. ආතතිය හා කාංසාව පිළිබඳ ඒ දැඩි අවස්ථා මට හොඳින් මතකයි, නමුත් විභාගය සමත් වීමෙන් පසු ඇති වූ ජයග්‍රහණයේ හැඟීමත් මට මතකයි. මම ඒ කාලේ තරුණයි, ඒවගේම ඒ අභියෝගයට මම ගොඩක් කැමතියි.
මගේ ඒ සංචාරය අතරතුර, ලුෆ්තන්සා විධායක නිලධාරියෙකු මගෙන් ඇහුවා නැවත උත්සාහ කරලා 747 සිමියුලේටරය තවත් වරක් පියාසර කරන්න කැමති ද කියලා.
ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම මගේ මනස තුළ සැකසීමට කාලය ලැබීමට පෙර, මගේ හඬට සමාන පුදුම සහගත-හඬක්මට ඇසුණා, “ඔව්, මම ඒකට ගොඩක් කැමතියි.”
මම ඒ වචන කිව්ව ගමන්ම සිතුවිලි සුනාමියක් මගේ හිතට ගලාගෙන ආවා. මම 747 යානයක් ගුවන් ගත කරලා ගොඩක් කාලයක් ගත වෙලා තිබුණා. ඒ කාලේ මම තරුණයි ඒවගේම විශ්වාසවන්ත කපිතාන්වරයෙක්. දැන් මට හිටපු ප්‍රධාන ගුවන් නියමුවෙකු ලෙස ජීවත් වීමට කීර්තියක් තිබුණා. මේ වෘත්තිකයන් ඉදිරියේ මම අපහසුතාවයට පත් වෙයි ද?
නමුත් පසුබැසීමට ප්‍රමාද වැඩියි, ඒ නිසා මම කපිතාන් අසුනේ වාඩි වී, හුරුපුරුදු හා ආදරණීය පාලකය මත මගේ දෑත් තැබුවා, විශාල ජෙට් යානය ගුවන් ධාවන පථය දිගේ ගොරවමින් නිල් පැහැයට පියාසර කරන විට නැවත වරක් පියාසර කිරීමේ ප්‍රීතිය මට දැනුණා.
ගුවන් ගමන සාර්ථක වූ බවත්, ගුවන් යානය නොවෙනස්ව පැවති බවත්, මගේ ස්වයං ප්‍රතිරූපයත් එලෙසම පැවති බවත් පැවසීමට මම සතුටුයි.
එසේ වුවද, එම අත්දැකීම මට නිහතමානී එකක් වුණා. මම තරුණ වියේ පසුවන විට, ගුවන් ගමන් මගේ දෙවන ස්වභාවය බවට පත්වෙලා තිබුණා. දැන් මූලික දේවල් කිරීමට මගේ මුළු අවධානයම වැය වුණා.
අනුගාමිකයෙක් වීමට හික්මවීම අවශ්‍යයි
පියාසර කිරීම, ඔරු පැදීම, මැසීම, හෝ දැන ගැනීම වැනි ඕනෑම දෙයකට දක්ෂ වීමට නිරන්තර ස්වයං විනයක් සහ පුහුණුවක් අවශ්‍ය බව පියාසැරි සිමියුලේටරය පිළිබඳ මගේ අත්දැකීම වැදගත් මතක් කිරීමක් වුණා.
ඔබට කුසලතාවක් අත්කර ගැනීමට හෝ දක්ෂතාවයක් වර්ධනය කිරීමට වසර ගණනාවක් ගත වෙන්න පුළුවන්. ඔබ ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන නිසා එය ඔබට දෙවන ස්වභාවයක් බවට පත්වෙන්න පුළුවන්. නමුත් ඔබ සිතන්නේ එයින් ඔබට පුහුණුවීම සහ ඉගෙනීම නැවැත්විය හැකි බව නම්, එවිට ඔබ විශාල වියදමක් දරා වරක් ලබාගත් දැනුම සහ හැකියාවන් ක්‍රමයෙන් ඔබට අහිමි වී යයි.
මෙය භාෂාවක් ඉගෙනීම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීම සහ ගුවන් යානයක් පැදවීම වැනි කුසලතා සඳහා අදාළ වෙනවා. එය ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීමට ද අදාළ වෙනවා.
සරලව කිවහොත්, අනුගාමිකත්වය සඳහා ස්වයං විනයක් අවශ්‍යයි.
එය සාමාන්‍ය දෙයක් නොවේ, ඒවගේම එය අහම්බෙන් සිදු වන දෙයකුත් නොවේ.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කියන්නෙ ත්‍යාගයක්, නමුත් එය ලැබීම අපගේ සියලු “බලය, මනස සහ ශක්තිය” කැපවීම අවශ්‍ය කරන සවිඥානික තේරීමක්. එය දිනපතා කළ යුතු පුහුණු වීමක්. සෑම පැයකම. ඒ සඳහා නිරන්තර ඉගෙනීම සහ අධිෂ්ඨානශීලී කැපවීම අවශ්‍ය වෙනවා. අපගේ ඇදහිල්ල, ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ පක්ෂපාතිත්වය, අප මෙම ලෞකික ජීවිතයේ මුහුණ දෙන විරුද්ධත්වයට එරෙහිව පරීක්ෂාවට ලක් වන විට ශක්තිමත් වෙනවා. අපි එය පෝෂණය කරමින්, ක්‍රියාශීලීව යොදා ගනිමින්, කිසි විටෙකත් එය අත් නොහරින නිසා එය දිගටම පවතිනවා.
අනෙක් අතට, අපි ඇදහිල්ල සහ එහි ඒත්තු ගැන්වීමේ බලය මත ක්‍රියා කිරීමෙන් එය භාවිතා කිරීමට අපොහොසත් වුවහොත්, අපි වරක් ශුද්ධ ලෙස සැලකූ දේවල් ගැන අපට අඩු විශ්වාසයක් ඇති වෙනවා—අප වරක් සත්‍ය බව දැන සිටි දේවල් ගැන අපට අඩු ආත්ම-විශ්වාසයක් ඇති වෙනවා.
කිසිදා අපව පොළඹවා නොගන්නා පෙළඹවීම්, බියජනක බැවින් අඩු හා ආකර්ශනීය ලෙස පෙනෙන්නට පටන් ගනී.
ඊයේ සාක්ෂියේ ගින්නට අපව උණුසුම් කළ හැක්කේ ඉතා කෙටි කාලයකට පමණයි. දීප්තිමත්ව දැල්වෙමින් පැවතීමට එයට නිරන්තර පෝෂණය අවශ්‍ය වෙනවා.
අලුත් ගිවිසුමේ, ගැලවුම්කරුවාණන් තම සෑම සේවකයෙකුටම ශුද්ධ භාරයක්—තලෙන්ත ලෙස හැඳින්වෙන මුදල් ප්‍රමාණයක්—ලබා දුන් ස්වාමියෙකු පිළිබඳ උපමාවක් ඉගැන්නුවා. ඉතා උනන්දුවෙන් තම තලෙන්ත භාවිතා කළ සේවකයින් ඒවා වර්ධනය කර ගත්තා. තම තලෙන්තය වළලා දැමූ සේවකයාට අවසානයේ එය අහිමි වුණා.
මෙහි පාඩම මොකක් ද? දෙවියන්වහන්සේ අපට දැනුම, හැකියාව, අවස්ථාව වැනි ත්‍යාග ලබා දෙනවා ඒවගේම උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප ඒවා භාවිතා කර ඒවා වැඩි දියුණු කර ගැනීමයි, එවිට උන්වහන්සේට ඒවා මගින් අපටත් උන්වහන්සේගේ අනෙකුත් දරුවන්ටත් ආශිර්වාද කරන්න පුළුවන්. අපි ඒ දීමනා, අපි විටින් විට අගය කරන කුසලානයක් වගේ රාක්කයක ඉහළින් තැබුවොත් එහෙම වෙන්නේ නැහැ. අපගේ ත්‍යාග විශාල වී වර්ධනය වන්නේ අප ඒවා ප්‍රයෝජනයට ගත් විට පමණයි.
ඔබ දක්ෂයි
ඔබ මෙහෙම කියන්න පුළුවන් “නමුත් වැඩිහිටි උක්ඩ්‍රොෆ්, මට කිසිම දීමනාවක් හෝ කුසලතාවක් නැහැ—අඩුම තරමින්, ඒ තරම් වටිනා කිසිවක් නැහැ.” සමහරවිට පැහැදිලිව පෙනෙන, ආකර්ෂණීය දක්ෂතා ඇති වෙනත් අය දෙස ඔබ බලන විට, ඔවුන්ට සාපේක්ෂව ඔබේ දීමනා තරමක් සාමාන්‍ය බවක් ඔබට දැනෙනවා වෙන්න පුළුවන්. පෙර ආත්මික ජීවිතයේ දී, ශ්‍රේෂ්ඨ ත්‍යාග සහ කුසලතා ප්‍රදානය කරන දිනයේ දී, ඔබේ පිඟාන විශේෂයෙන් අනෙක් අයගේ ගොඩගැසී පිරී ඉතිරී ගිය පිඟන් හා සසඳන විට—ඉතා දුර්ලභ බවකින් දිස් වෙන්නට ඇතැයි ඔබ සිතනවා වෙන්න පුළුවන්.
අහෝ, මම ඔබව වැළඳගෙන මෙම ශ්‍රේෂ්ඨ සත්‍යය තේරුම් ගැනීමට ඔබට උපකාර කිරීමට කොතරම් කැමති ද: ඔබ ආලෝකයේ ආශීර්වාද ලත් ජීවියෙක්; අසීමිත දෙවියන්වහන්සේගේ ආත්මික දරුවෙක්! ඔබට සිතාගත නොහැකි තරම් විභවයක් ඔබ තුළ තිබෙනවා.
කවියන් සඳහන් කර ඇති පරිදි, ඔබ පොළොවට පැමිණෙන්නේ “මහිමයේ වලාකුළු පසුපස හඹා යමින්”!
ඔබේ මූලාරම්භක කතාව දිව්‍යමයයි, ඒ වගේම ඔබේ දෛවය දිව්‍යමයයි. ඔබ මෙහි පැමිණීමට ස්වර්ගය අතහැරියා, නමුත් ස්වර්ගය කිසිදා ඔබව අතහැරියේ නැහැ!
ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි.
ඔබ දක්ෂයි!
දහම සහ ගිවිසුම් තුළ දෙවියන්වහන්සේ මෙසේ ප්‍රකාශ කර තිබෙනවා:
“එහි දීමනා බොහොමයක් ඇත්තේය, තවද [සෑම පුද්ගලයෙකුටම] දෙවියන්වහන්සේගේ ආත්මය මගින් දීමනාවක් දී ඇත්තේය.
සමහරෙකුට දී ඇත්තේ එකක්ය, තවත් සමහරෙකුට දී ඇත්තේ අනෙකක්ය, එනම් ඒ මගින් සියල්ලන්ම ප්‍රයෝජන ලබන පිණිසය.”
අපගේ සමහර දීමනා ශුද්ධලියවිලි තුළ ලැයිස්තුගත කර තිබෙනවා. ගොඩක් ඒවා ලැයිස්තුගත කරලා නැහැ.
අනාගතවක්තෘ මොරෝනායි පැවසූ පරිදි, “දෙවියන්වහන්සේගේ දීමනා ප්‍රතික්ෂේප නොකරන ලෙස මම නුඹලාට අවවාද කරමි, මක්නිසාද ඒවා බොහෝ වන්නේය; තවද ඒවා එකම දෙවියන්වහන්සේගෙන් පැමිණෙන්නේය.” ඒවා “විවිධ මාර්ගයන් …” ඔස්සේ තිබෙන්නේය; එහෙත් සියල්ලෙහිම සියල්ල ක්‍රියා කරන්නේ එකම දෙවියන්වහන්සේ වන සේක.
අපගේ අධ්‍යාත්මික දීමනා සැමවිටම දීප්තිමත් නොවන බව සත්‍ය වෙන්න පුළුවන්, නමුත් ඒවා එතරම් වැදගත් නොවන බව එයින් අදහස් වෙන්නෙ නෑ. ලොව පුරා සිටින බොහෝ සාමාජිකයන් තුළ මා දැක ඇති අධ්‍යාත්මික දීමනා කිහිපයක් මම ඔබ සමඟ බෙදා ගන්න ද? ඔබට මෙවැනි දීමනා එකක් හෝ කිහිපයක් ලැබී ඇත්දැයි සිතා බලන්න:
-
දයානුකම්පාව පෙන්වීම.
-
නොසලකා හරින ලද පුද්ගලයින් නිරීක්ෂණය කිරීම.
-
ප්‍රීතිමත් වීමට හේතු සොයා ගැනීම.
-
සාමය ඇති කරන්නෙකු වීම.
-
කුඩා ආශ්චර්යයන් දැකීම.
-
අවංක ප්‍රශංසා ලබා දීම.
-
සමාව දීම.
-
පසුතැවිලි වීම.
-
විඳදරාගැනීම.
-
දේවල් සරලව පැහැදිලි කිරීම.
-
දරුවන් සමඟ සම්බන්ධ වීම.
-
සභාවේ නායකයන් ස්ථීර කිරීම.
කොට්ඨාශ කුසලතා ප්‍රදර්ශනයේ දී මෙම දීමනා ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය ඔබට නොපෙන්න පුළුවන්. නමුත් ඒවා ස්වාමින්වහන්සේගේ කාර්යයට කොතරම් වටිනවා ද යන්න සහ ඔබේ දීමනා මගින් ඔබ දෙවියන්වහන්සේගේ දරුවන්ගෙන් කෙනෙකුව ස්පර්ශ කිරීමට, ආශිර්වාද කිරීමට හෝ බේරා ගැනීමට පවා ඉඩ ඇති ආකාරය ඔබට දැකගත හැකි වේවායි මම බලාපොරොත්තු වෙනවා. මතක තබාගන්න “කුඩා හා සරල දේවලින් මහත් දේ ඉදිරියට ගෙන එන්නේය.”
ඔබේ කුඩා කොටස කරන්න
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, හිතවත් මිත්‍රවරුනි, දෙවියන්වහන්සේ ඔබට දී ඇති දීමනා සහ කුසලතා හඳුනා ගැනීමට ආත්මයාණන්වහන්සේ අපට උපකාර කරනු ඇතැයි මම යාච්ඤා කරනවා. එසේනම්, ස්වාමින්වහන්සේගේ උපමාවේ ඇදහිලිවන්ත සේවකයන් මෙන්, අපිත් ඒවා වැඩි වර්ධනය කරගමු.
අපගේ භාරකාරත්වය පිළිබඳ වාර්තාවක් දීමට අපගේ දයානුකම්පිත ස්වර්ගයේ පියාණන්වහන්සේ ඉදිරියේ පෙනී සිටින දිනය පැමිණෙනවා. උන්වහන්සේ අපට දුන් දීමනා සමඟ අප කළේ කුමක්ද—විශේෂයෙන්, උන්වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කිරීමට අපි ඒවා භාවිතා කළේ කෙසේද කියා උන්වහන්සේට දැනගැනීමට අවශ්‍ය වෙයි. අපි ඇත්තටම කවුද කියලා, අපිට කවුරු වෙන්න පුළුවන් ද කියලා දෙවියන්වහන්සේ දන්නවා, ඒ නිසා අපි ගැන උන්වහන්සේගේ අපේක්ෂාවන් ඉහළයි.
නමුත් එතැනට යාමට අපෙන් කිසියම් ශ්‍රේෂ්ඨ, වීරෝදාර හෝ අධිමානුෂික පිම්මක් ගනු ඇතැයි උන්වහන්සේ අපේක්ෂා කරන්නේ නෑ. උන්වහන්සේ නිර්මාණය කළ ලෝකය තුළ, වර්ධනය සිදුවන්නේ ක්‍රමයෙන් හා ඉවසිලිවන්තව යි—නමුත් එය අඛණ්ඩව හා නොනවත්වා සිදු වෙනවා.
මතක තබාගන්න, මරණය සහ පාපය ජය ගන්නා විට, අධිමානුෂික කොටස කළේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි.
අපගේ කොටස ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමයි. පාපයෙන් ඉවත් වී, ගැලවුම්කරුවාණන් දෙසට හැරී, පියවරෙන් පියවර උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීම අපගේ යුතුකමයි. අපි මෙය ඉතා උද්‍යෝගයෙන් හා ඇදහිලිවන්තව කරද්දි, අවසානයේ දී අපි අසම්පූර්ණකම් සහ වැරදි වල විලංගු ඉවත් කර, ක්‍රිස්තුස්වහන්සේ තුළ අප පරිපූර්ණ වන ඒ පරිපූර්ණ දිනය දක්වා සෙමින් පිරිපහදු වෙනවා.
ආශිර්වාද ඇත්තේ ලඟා විය හැකි දුරකින්. පොරොන්දු එලෙසම තිබෙනවා. දොර සම්පූර්ණයෙන්ම විවෘත යි. ඇතුළු වී ආරම්භ කිරීම අපගේ තෝරගැනීමක්.
ආරම්භය කුඩා වෙන්න පුළුවන්. නමුත් ඒක හරි.
ඇදහිල්ල දුර්වල වන තැන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සහ පවිත්‍ර කිරීමට සහ නිර්මල කිරීමට ඇති උන්වහන්සේගේ බලයෙන් ආරම්භ කරන්න.
ඇදහිල්ලේ සහ අනුගාමිකත්වයේ මෙම අභියෝගයට අපට සාමාන්‍ය සංචාරකයින් ලෙස නොව, බබිලෝනිය අතහැර එය පසෙක දමා සියොන් දෙසට තම හදවත්, මනස සහ පියවර තබන මුළු හදවතින්ම ඇදහිලිවන්තයන් ලෙස එළඹෙන්නට කියා අපගේ පියාණන්වහන්සේ අපෙන් ඉල්ලා සිටිනවා.
අපගේ උත්සාහයෙන් වලට පමණක් අපව සෙලෙස්ටියල් කළ නොහැකි බව අපි දන්නවා. නමුත් ඒවාට අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පක්ෂපාතී හා කැපවූවන් බවට පත් කරන්න පුළුවන්, ඒවගේම උන්වහන්සේට අපව ස්වර්ගීය කරන්න පුළුවන්.
අපගේ ආදරණීය ගැලවුම්කරුවාණන් නිසා, ජයග්‍රහණය කළ නොහැකි අවස්ථාවක් නැහැ. අපි උන්වහන්සේ කෙරෙහි අපගේ බලාපොරොත්තුව හා විශ්වාසය තැබුවහොත්, අපගේ ජයග්‍රහණය නියතයි. උන්වහන්සේගේ ශක්තිය, බලය, උන්වහන්සේගේ අධික කරුණාව අපට ලබා දෙන බවට උන්වහන්සේ පොරොන්දු වෙනවා. පියවරෙන් පියවර, ටිකෙන් ටික, අපි උන්වහන්සේ සහ අපගේ ආදරණීයයන් සමඟ සදාකාලික මහිමයෙන් ජීවත් වන ඒ ශ්‍රේෂ්ඨ හා පරිපූර්ණ දවසට අපි තව තවත් සමීප වෙනවා.
එහි යාමට නම්, අපි අද සහ සෑම දිනකම අපගේ කොටස කළ යුතුයි. ඊයේ අපි ගත් පියවර ගැන අපි කෘතඥ වෙනවා, නමුත් අපි එතැනින් නතර වෙන්නේ නැහැ. අපට තවමත් බොහෝ දුර යා යුතු බව අපි දන්නවා, නමුත් අපි එයට අපව අධෛර්යමත් කිරීමට ඉඩ දෙන්නේ නෑ.
ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්-අප කවුරුන්ද යන්නෙහි සාරය එයයි.
සභාවේ සෑම සාමාජිකයෙකුටම සහ එහි කොටස්කරුවෙකු වීමට කැමති සියල්ලන්ටම, ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසත්, යම් දිනක පියාණන්වහන්සේ සතු සියල්ල ඔබට ලැබෙන පිණිසත්—ගැලවුම්කරුවාණන් කෙරෙහි විශ්වාසය තබා, ඉවසිලිවන්තව හා උනන්දුවෙන්, ඔබේ මුළු හදවතින්ම ඔබේ කොටස ඉටු කරන ලෙසත් මම ඉල්ලා සිටිනවා. මේ ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.