කිසිවෙකු තනිවම වාඩි නොවේ
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම කියන්නෙ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ සිටින සියල්ලන්ටම ඉඩ සාදා දීමයි.
I.
අවුරුදු 50ක් තිස්සේ මම ශුභාරංචි සංස්කෘතිය ඇතුළු සංස්කෘතිය අධ්‍යයනය කර තිබෙනවා. මම පටන් ගත්තෙ ෆෝචූන් කුකීස් වලින්.
සැන් ෆ්රැන්සිස්කෝ, චයිනාටවුන් හි ගොන්ග් පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහය අවසන් වූයේ වාසනාවන්ත කුකියක් සහ “සැතපුම් දහසක ගමනක් තනි පියවරකින් ආරම්භ වේ” වැනි ප්‍රඥාවන්ත කියමනකින්.
තරුණ වියේ දී මම ෆෝචූන් කුකීස් හැදුවා. සුදු කපු අත්වැසුම් දාගෙන, මම උඳුනෙන් උණුසුම්ව තැබූ රවුම් කුකීස් නවා හැඩයට තැබුවා.
මගේ පුදුමයට කරුණක් තමයි, ෆෝචූන් කුකීස් කියන්නෙ චීන සංස්කෘතියෙන් පටන් ගත් දෙයක් නොවන බව මම දැනගත්තා. යමෙක් හරියට ලැව් ගින්නක් ත්‍රිකෝණාකාරව වට කිරීමට ස්ථාන කිහිපයක් භාවිතා කරන ආකාරයටම—චීන, ඇමරිකානු සහ යුරෝපීය ෆෝචූන් කුකී සංස්කෘතිය වෙන්කර හඳුනා ගැනීම සඳහා, මම මහාද්වීප ගණනාවක ෆෝචූන් කුකීස් සෙව්වා. සැන් ෆ්රැන්සිස්කෝ, ලොස් ඇන්ජලීස් සහ නිව් යෝර්ක් හි චීන අවන්හල් ෆෝචූන් කුකීස් පිරිනමන නමුත් බීජිං, ලන්ඩන් හෝ සිඩ්නි වල එහෙම නෑ. ජාතික ෆෝචූන් කුකී දිනය සමරන්නේ ඇමරිකානුවන් පමණයි. “සත්‍ය ඇමරිකානු ෆෝචූන් කුකීස්” පිරිනමන්නේ චීන වෙළඳ දැන්වීම් පමණයි.
ෆෝචූන් කුකීස් කියන්නෙ විනෝදජනක, සරල උදාහරණයක්. නමුත් විවිධ සංස්කෘතික සැකසුම් වල භාවිතයන් සංසන්දනය කිරීමේ එකම මූලධර්මය ශුභාරංචි සංස්කෘතිය වෙන්කර හඳුනා ගැනීමට අපට උපකාරී වෙනවා. මොර්මන්ගේ පොතේ රූපක කථා සහ අලුත් ගිවිසුමේ උපමා අනාවැකි ඉටු වන විට, ශුභාරංචි සංස්කෘතිය ඉගෙන ගැනීමට ස්වාමින්වහන්සේ දැන් නව අවස්ථා විවෘත කර දෙනවා.
II.
පුද්ගලයින් හැමතැනම සංචාරය කරනවා. ජාත්‍යන්තර සංක්‍රමණිකයන් මිලියන 281 ක් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරනවා. මෙය 1990 ට වඩා පුද්ගලයින් මිලියන 128 කින් වැඩි වන අතර 1970 ඇස්තමේන්තු කළ අගය මෙන් තුන් ගුණයකට වඩා වැඩියි. සෑම තැනකම, ආගමට හැරුණු අය වාර්තාගත සංඛ්‍යාවක්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව සොයා ගනිමින් සිටිනවා. සෑම සබත් දිනකම, උපන් රටවල් සහ ප්‍රදේශ 195 ක සාමාජිකයන් සහ මිතුරන් සභාවේ සමූහයන් 31,916 ක රැස්වෙනවා. අපි භාෂා 125ක් කතා කරනවා.
මෑතක දී, ඇල්බේනියාව, උතුරු මැසිඩෝනියාව, කොසෝවෝ, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය යන රටවල, ඔලිව් ගස පිළිබඳ මොර්මන්ගේ පොතේ රූපක කථාව සම්පූර්ණ කරන නව සාමාජිකයින්ව මම දුටුවා. ජේකබ් 5 හි, මිදි වත්තේ ස්වාමියා සහ ඔහුගේ සේවකයන් විවිධ ස්ථානවලින් ඔලිව් ගස් මුල් සහ අතු එකතු කර බද්ධ කිරීමෙන් ශක්තිමත් කරනවා. අද දෙවියන්වහන්සේගේ දරුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ එකමුතුව රැස්වෙනවා; උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ අපගේ ජීවමාන පූර්ණත්වය පුළුල් කිරීමට ස්වාමින්වහන්සේ විශිෂ්ට ස්වාභාවික මාධ්‍යයක් ඉදිරිපත් කරනවා.
ස්වර්ග රාජ්‍යය සඳහා අපව සූදානම් කරමින්, යේසුස්වහන්සේ මහා රාත්‍රී භෝජන සංග්‍රහය සහ විවාහ මංගල්‍යය පිළිබඳ උපමා ගැන කියනවා. මෙම උපමාවල, ඒ ආරාධිත අමුත්තන් නොපැමිණීමට නිදහසට කරුණු ඉදිරිපත් කළා. “නුවර වීදිවලට ද අතුරු පාරවලටද වහාම ගොස්” සහ “නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස්” දිළිඳුන්ද අබ්බාගාතයන්ද අන්ධයන්ද කොරුන්ද “මෙහි ගෙනෙන්න” කියා ඒ ස්වාමියා තම සේවකයන්ට උපදෙස් දුන්නා. අධ්‍යාත්මිකව කිවහොත්, ඒ තමයි අපි සෑම කෙනෙක්ම.
ශුද්ධලියවිලි මෙසේ ප්‍රකාශ කරනවා:
“ස්වාමින්වහන්සේගේ ගෘහයෙහි හොඳින් සූදානම් කෙරුනු, රාත්‍රී භෝජන සංග්‍රහයට සියලු ජාතීන් කැඳවනු ලබන්නේය.”
“නුඹලා ස්වාමින්වහන්සේගේ මාර්ගය සූදානම් කරන්න, එනම් උන්වහන්සේගේ රාජ්‍යය පොළොව මත පෙරට යවන පිණිසද, එනම් එහිවූ පදිංචිකරුවන් එය ලබන පිණිස ය, එම පැමිණෙන්නට ඇති දවස් උදෙසා සූදානම් වන්න.”
අද ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කරන ලද අය සෑම ස්ථානයකින්ම සහ සෑම සංස්කෘතියකින්ම පැමිණෙනවා. තරුණ සහ මහලු, පොහොසත් සහ දුප්පත්, දේශීය සහ ගෝලීය වශයෙන්, අපි අපගේ සභාවේ සමූහයන් අපගේ ප්‍රජාවන් මෙන් පෙනෙන්න සලස්වනවා.
ප්‍රධාන ප්‍රේරිතවරයා ලෙස, පේත්‍රැස් ස්වර්ගයේ දර්ශනයක් දුටුවා, “සතර කොනින් මහත් ඇතිරිල්ලක් වැනිවූ එක්තරා භාජනයක් පොළොවට බැස එනවා ඔහු දුටුවේය … පොළොවේ සියලු ආකාර සිවුපාවෝද … එහි සිටියෝය.” පේත්‍රැස් මෙහෙම ඉගැන්නුවා: “සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. … සියලු ජාතීන් අතරේ [ස්වාමින්වහන්සේ] කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.”
යහපත් සමරිතානුවාගේ උපමාවෙන්, යේසුස්වහන්සේ අපට එකිනෙකා වෙතට සහ උන්වහන්සේගේ තානායම වන—උන්වහන්සේගේ සභාවට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. අපට හොඳ අසල්වැසියන් වීමට උන්වහන්සේ ආරාධනා කරනවා. යහපත් සමරිතානුවරයා නැවත පැමිණ ඔහුගේ තානායමේ සිටින අයගේ රැකවරණයට මුදල් ගෙවීමට පොරොන්දු වුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම කියන්නෙ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ සිටින සියල්ලන්ටම ඉඩ සාදා දීමයි.
“තානායමේ ඉඩ”යන වචනයේ තේරුමට “කිසිවෙකු තනිව වාඩි වී නැත” යන අර්ථය ඇතුළත් වෙනවා. ඔබ සභාවට එන විට, තනිව සිටින කෙනෙකුව දුටුවහොත්, ඔබ කරුණාකර ආයුබෝවන් කියා ඔහු හෝ ඇය සමඟ වාඩි වෙනවා ද? මෙය ඔබේ සිරිත නොවෙන්න පුළුවන්. එම පුද්ගලයා ඔබට වඩා වෙනස් ලෙස පෙනීමට හෝ කතා කිරීමට ඉඩ තිබෙනවා. ඇත්ත වශයෙන්ම, ෆෝචූන් කුකීස් පවසන ආකාරයට, “ශුභාරංචි මිත්‍රත්වයේ සහ ප්‍රේමයේ ගමනක් ආරම්භ වන්නේ පළමු ආයුබෝවන් කීමෙන් සහ කිසිවෙකු තනිවම වාඩි නොවීමෙන්.”
“කිසිවෙකු තනිවම වාඩි නොවේ” යන්නෙන් අදහස් කරන්නේ කිසිවෙකු චිත්තවේගීයව හෝ අධ්‍යාත්මිකව තනිවම වාඩි වී නොමැති බවයි. මම බිඳුණු හදවතක් ඇති පියෙකු සමඟ ඔහුගේ පුතා බැලීමට ගියා. වසර ගණනාවකට පෙර, මෙම පුතා නව උපස්ථායකයෙකු වීමට උද්යෝගිමත් වී සිටියා. මෙම අවස්ථාවට ඔහුගේ පවුලේ අය ඔහුගේ පළමු නව සපත්තු යුගලය මිල දී ගැනීමත් ඇතුළත් වී තිබුණා.
නමුත් සභාවේ දී, උපස්ථායකයන් ඔහුට හඬ නගා සිනාසී තිබුණා. ඔහුගේ සපත්තු අලුත් නමුත් ඒවා විලාසිතාවෙන් යුක්ත ඒවා වී තිබුණේ නෑ. ලැජ්ජාවට හා වේදනාවට පත්, මෙම යොවුන් උපස්ථායකයා තමා නැවත කිසි දිනෙක සභාවට නොයන බව කියා තිබුණා. ඔහු සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් මගේ හදවත තවමත් බිඳී තිබෙනවා.
ජෙරිකෝවට යන දූවිලි සහිත මාර්ගවලදී, අප සෑම කෙනෙකුම සිනහවට ලක් වුණා, ලැජ්ජාවට පත් වුණා, රිදුණා, සමහරවිට අපහාසයට හෝ අපයෝජනයට ලක් වුණා. ඒවගේම, විවිධ චේතනාවන් සහිතව, අප සෑම කෙනෙකුම අන් අයව නොසලකා හැර තිබෙනවා, දැක නැති ලෙස, අසා නැති ලෙස සිට තිබෙනවා, සමහර විට හිතාමතාම රිදවා තිබෙනවා. අපට රිදී ඇති නිසාත්, අන් අයට රිදවා ඇති නිසාත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සියල්ලන්වම උන්වහන්සේගේ තානායමට ගෙන යනවා. උන්වහන්සේගේ සභාව තුළ සහ උන්වහන්සේගේ නියෝග සහ ගිවිසුම් තුළින්, අපි එකිනෙකා වෙතටත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතටත් පැමිණෙමු. අපි ආදරය කරනවා, අපට ආදරය ලැබෙනවා, සේවය කරනවා, සේවය ලැබෙනවා, සමාව දෙනවා, සමාව ලැබෙනවා. කරුණාකර මතක තබා ගන්න, “ස්වර්ගයට සුව කළ නොහැකි දුකක් මේ පොළොවේ නෑ”; පොළොවේ බර සැහැල්ලු වෙනවා—අපගේ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රීතිය සැබෑ යි.
1 නීෆායි 19 හි අපි මෙහෙම කියවනවා: “ඊශ්‍රායල්වරුන්ගේ දෙවියන්වහන්සේ පවා මනුෂ්‍යයන් ඔවුන්ගේ පාද යට පාගා දමති; … ඔවුන් උන්වහන්සේව නොසළකා හරිති. … එබැවින් ඔවුන් උන්වහන්සේට කස පහර දෙති, තවද උන්වහන්සේ ඒ වේදනාව විඳ දරා ගන්නා සේක; තවද ඔවුන් උන්වහන්සේට පහර දෙති, තවද උන්වහන්සේ ඒ වේදනාව විඳ දරා ගන්නා සේක. එසේය, ඔවුන් උන්වහන්සේ මත කෙළ ගසති, තවද උන්වහන්සේ ඒ වේදනාව විඳ දරා ගන්නා සේක.”
මගේ මිත්‍ර මහාචාර්ය ටෙරී වෝනර් පවසන්නේ විනිශ්චය කිරීම, කස පහර දීම, පහර දීම සහ කෙළ ගැසීම ක්‍රිස්තුස්වහන්සේගේ ලෞකික ජීවිතයේ දී පමණක් සිදු වූ ඉඳහිට සිදුවීම් නොවන බවයි. අපි එකිනෙකාට සලකන ආකාරයටම—විශේෂයෙන් කුසගින්නෙන් පෙළෙන, පිපාසයෙන් පෙළෙන, තනිව සිටින අයට අප සලකන ආකරයෙන් තමයි අපි උන්වහන්සේටත් සලකන්නෙ.
උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ, කිසිවෙකු තනිවම වාඩි නොවන විට අපි සියල්ලෝම වඩා යහපත් වෙනවා. අපි ඒ ඉඩ තැබීම හෝ පිළිගැනීම නිකන් සරල විදියට නොකර ඉමු. අපි අවංකවම සාදරයෙන් පිළිගනිමු, කතා කරමු, සේවය කරමු, ආදරය කරමු. සෑම මිතුරෙකුටම, සහෝදරියකටම, සහෝදරයෙකුටම; විදේශිකයෙකු හෝ ආගන්තුකයෙකු වන්නට නොදී නිවසේ දරුවෙකු කරගනිමු.
අද බොහෝ දෙනෙකුට තනිකමක් සහ තනි වී ඇති බවක් දැනෙනවා. සමාජ මාධ්‍ය සහ කෘතිම බුද්ධිය අපව මිනිස් සමීපත්වයට සහ මිනිස් ස්පර්ශයට පිපාසයෙන් තබනවා. අපිට එකිනෙකාගේ හඬවල් අහන්න උවමනායි. අපට අවශ්‍ය වන්නේ අව්‍යාජ අයිතිවීම සහ කරුණාවයි.
සභාවේ දී අප නොගැලපෙන බව අපට හැඟෙන බොහෝ හේතු තිබෙනවා—සංකේතාත්මකව කිවහොත්, අපි තනිවම වාඩි වී සිටිනවා. අපි අපේ උච්චාරණය, ඇඳුම් පැළඳුම්, පවුලේ තත්වය ගැන කරදර වෙන්න පුළුවන්. සමහරවිට අපට ප්‍රමාණවත් නොවන බවක් දැනෙනවා; දුම් බීමේ සුවඳ දැනෙනවා; සදාචාරාත්මක පිරිසිඳුකම සඳහා ආශා කරනවා; කෙනෙකු සමඟ වෙන් වී වේදනාවෙන් ඉන්නවා සහ ලැජ්ජාවට පත් වී ඉන්නවා; සභාවේ මේ හෝ ඒ ප්‍රතිපත්තිය ගැන අපි කනස්සලු වෙනවා. අපි තනිකඩ, දික්කසාද වූ, වැන්දඹු වෙන්න පුළුවන්. අපේ ළමයි හරිම ඝෝෂාකාරීයි; අපිට ළමයි නැති වෙන්න පුළුවන්. අපි ධර්මදූත සේවයක් කළේ නැහැ, නැත්නම් කලින් ගෙදර ආවා වෙන්න පුළුවන්. ලැයිස්තුවේ තව බොහෝ දේවල් තිබෙනවා.
අපගේ හදවත් ප්‍රේමයෙන් එකට බැඳීමට මොසායා 18:21 අපට ආරාධනා කරනවා. අඩුවෙන් කරදර වීමට, අඩුවෙන් විනිශ්චය කිරීමට, අන් අයගෙන් අඩුවෙන් බලාපොරොත්තු—සහ අවශ්‍ය විටෙක, අප කෙරෙහි අඩුවෙන් දැඩි වීමට මම අපි සියල්ලන්ටම ආරාධනා කරනවා. අපි එක දවසකින් සියොන් නිර්මාණය කරන්නේ නැහැ. නමුත් සෑම “කොහොමද” කියා පැවසීමක්ම වීමට, සෑම උණුසුම් අභිනයක්ම, සියොන් අපට සමීප කරවනවා. අපි ස්වාමින්වහන්සේ කෙරෙහි වැඩි වැඩියෙන් විශ්වාසය තබා උන්වහන්සේගේ සියලු ආඥාවලට කීකරු වීමට ප්‍රීතියෙන් තෝරා ගනිමු.
III.
මූලධර්මාත්මකව, ශුද්ධවන්තයන්ගේ ඇදහිල්ලේ සහ අනුගාමිකත්වයේ නිවසේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ගිවිසුමට අයත් වීම නිසා කිසිවෙකු තනිව ම වාඩි වන්නේ නැහැ.
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්නුවා: “දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන් සෑම ජාතියකින්ම, ඥාතීන්ගෙන්ම සහ ජනතාවගෙන්ම එක් අයෙකු ලෙස එක්රැස් වන පසු පසුදවස්වල මහිමය, ‘කාලවල පූර්ණත්වයේ කාලපරිච්ඡේදය…’ දැකීමට, සහභාගී වීමට සහ ඉදිරියට ගෙන යාමට අපට ඉතිරිව ඇත්තේ අපටයි.”
දෙවියන්වහන්සේ “ලෝකයේ යහපත පිණිස මිස අන් කිසිවක් නොකරන සේක; … ඒ උන්වහන්සේ සියලු මනුෂ්‍යයන් [කාන්තාවන්] උන්වහන්සේ වෙතට ඇද ගන්නා පිණිස ය. …
“… උන්වහන්සේ ඔවුන් සියල්ලන්ටම උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ යහපත්කමෙ හි පංගුකාරයන් වන ලෙස උන්වහන්සේ ආරාධනා කරන සේක; … තවද දෙවියන්වහන්සේ හට සියල්ලන්ම, එක හා සමාන වන්නේය.”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ හැරීම සඳහා අපට ස්වභාවික මිනිසා සහ ලෞකික සංස්කෘතිය ඉවත දැමීමට අවශ්‍ය වෙනවා. සභාපති ඩැලන් එච්. ඕක්ස් උගන්වන පරිදි, අපි දෙවියන්වහන්සේගේ ආඥාවලට පටහැනි ඕනෑම සම්ප්‍රදායක් සහ සංස්කෘතික පිළිවෙතක් අත්හැර පසුදවස්වල ශුද්ධවන්තයන් බවට පත්විය යුතුයි. ඔහු මෙසේ පැහැදිලි කරනවා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සියලුම සාමාජිකයින්ට පොදු වූ අද්විතීය ශුභාරංචි සංස්කෘතියක්, වටිනාකම් සහ අපේක්ෂාවන් සහ භාවිතයන් සමූහයක් තිබෙනවා.” ශුභාරංචි සංස්කෘතියට පවිත්‍ර බව, සතිපතා සභාවට පැමිණීම, මත්පැන්, දුම්කොළ, තේ සහ කෝපි වලින් වැළකී සිටීම ඇතුළත් වෙනවා. සභාවේ තනතුරු වලදී අපි ඉහළට හෝ පහළට නොව ඉදිරියට යන ආකාරය අවබෝධ කර ගනිමින්; එයට අවංකභාවය සහ අඛණ්ඩතාව ඇතුළත් වෙනවා.
සෑම රටකම සහ සංස්කෘතියකම ඇදහිලිවන්ත සාමාජිකයන්ගෙන් සහ මිතුරන්ගෙන් මම ඉගෙන ගන්නවා. බහු භාෂාවලින් සහ සංස්කෘතික දෘෂ්ටිකෝණවලින් ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම තුළින්, ශුභාරංචිය පිළිබඳ අවබෝධය ගැඹුරු කරනවා. ක්‍රිස්තුමය ගුණාංගවල විවිධ ප්‍රකාශනයන් මගේ ගැලවුම්කරුවාණන් කෙරෙහි මගේ ප්‍රේමය සහ අවබෝධය ගැඹුරු කරනවා. සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ පරිදි, දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස, ගිවිසුමේ දරුවෙකු ලෙස, ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස, අපගේ සංස්කෘතික අනන්‍යතාවය නිර්වචනය කරන විට සියල්ලන්ටම ආශිර්වාද ලැබෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය අප සැමටම පෞද්ගලිකව ලැබෙනවා. මෑතක දී, තරුණයෙක් ඉතා ඕනෑකමින් මෙහෙම ඇහුවා, “වැඩිහිටි ගොන්ග්, මට තවමත් ස්වර්ගයට යන්න පුළුවන් ද?” ඔහුට කවදා හෝ සමාව ලැබේදැයි ඔහු කල්පනා කළා. මම ඔහුගේ නම ඇහුවා, ඔහුට හොඳින් සවන් දුන්නා, ඔහුගේ සභානායකවරයා සමඟ කතා කරන්න කියා ආරාධනා කළා, ඔහුව ඉතා තදින් වැළඳගත්තා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇතිව ඔහු පිටත්ව ගියා.
මම ඒ තරුණයා ගැන වෙනත් අවස්ථාවක සඳහන් කළා. පසුව මට අත්සන් නොකළ ලිපියක් ලැබුණා, එය ආරම්භ වූණේ මෙහෙමයි, “වැඩිහිටි ගොන්ග්, මගේ බිරිඳ සහ මම දරුවන් නව දෙනෙකු ඇති දැඩි කරනවා … ඒවගේම ධර්මදූත සේවා දෙකක් ඉටු කර තිබෙනවා.” නමුත් “තරුණයෙකු ලෙස මා කළ පාප ඉතා දරුණු නිසා … මට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට ඉඩ නොලැබෙන බවක් මට සැමවිටම හැඟුණා!”
ඒ ලිපියේ තවදුරටත් මෙසේ තිබුණා, “වැඩිහිටි ගොන්ග්, ඔබ ඒ තරුණයාට සමාව ලැබීමේ බලාපොරොත්තුව ලැබුණු බව පැවසූ විට, සමහර විට මටත් [සමාව ලැබිය හැකි] බව මට වැටහෙන්නට පටන් ගත් නිසා, මම ප්‍රීතියෙන් පිරී ගියා.” ලිපිය මෙහෙම අවසන් වුණා, “මම දැන් මට කැමතියි!”
අපි එකිනෙකා වෙත සහ උන්වහන්සේගේ තානායමේ දී ස්වාමින්වහන්සේ වෙතට පැමිණෙන විට ගිවිසුමට අයත් වීම ගැඹුරු වෙනවා. කිසිවෙකු තනිව වාඩි වී නොසිටින විට ස්වාමින්වහන්සේ අප සැමට ආශිර්වාද කරනවා. කවුද දන්නෙ? සමහරවිට අපි ළඟ ඉඳගෙන ඉන්න කෙනා අපේ හොඳම වාසනාවන්ත මිතුරා වෙන්න පුළුවන්. බැටළු පැටවාණන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේ දී අපි උන්වහන්සේට සහ එකිනෙකාට ස්ථානයක් සොයාගනීවා කියා, මම නිහතමානීව යාච්ඤා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.