සියල්ලන්ම දැනුමෙන් දියුණු වන පිණිස
අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරද්දි, උන්වහන්සේගේ දහම උගන්වන විට සහ එය උනන්දුවෙන් ඉගෙන ගන්නා විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ගැඹුරු කිරීමට සහ උන්වහන්සේ හා සමාන වීමට අපට උපකාර කිරීමට අපි ශුද්ධාත්මයාණන්ට ආරාධනා කරනවා.
අභියෝගාත්මක පන්තියකට මුහුණ දෙමින් අරගල කළ තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු පිළිබඳ කතාවක් තිබෙනවා, ඒ නිසා ඔහු තමාට උපකාර කිරීම සඳහා උපදේශකයෙකුව සම්බන්ධ කරගත්තා. ඒ පාඨමාලාව අවසානයේ සිසුන්ට තිබූ අවසාන විභාගයට තමන්ට ඕනෑම දෙයක් තිබිය හැකි එක් කඩදාසි කැබැල්ලක් ගෙනැවිත් එහි තබාගත හැකි බව මහාචාර්යවරයා නිවේදනය කළා. සමහර සිසුන් දේශන සහ පෙළපොත් වලින් ලබාගත් තොරතුරු යොදාගෙන කුඩා සටහන් සාදා, විශාලන කාචයක් භාවිතයෙන් පමණක් කියවිය හැකි පරිදි ඒවා සකස් කළා. නමුත් මේ තරුණයා අවසාන විභාගයට ආවෙ හිස් කඩදාසියක් සහ ආගන්තුකයෙකු එක්කගෙනයි. මහාචාර්යවරයා ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කළ විට, තරුණයා මෙසේ පිළිතුරු දුන්නා, “මට ඕනෑම දෙයක් තිබිය හැකි කඩදාසි කැබැල්ලක් ගෙන ඒමට හැකි බව ඔබ පැවසුවා.” ඉන්පසු ඔහු කඩදාසිය ඔහුගේ මේසය අසල බිම තබා මෙසේ පැවසුවා, “මගේ උපදේශකයා මගේ කඩදාසි කැබැල්ල මත සිටගෙන සිටිනවාට මම කැමතියි.”
ශුද්ධාත්මයාණන්වහන්සේ
දේවශීර්ෂයේ සාමාජිකයෙකුගේ සහයෝගීතාවයෙන් ආශිර්වාද ලත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් ලෙස, අපට පරිපූර්ණ උපදේශකයාණන්ගෙන් උපකාරය ලබා ගන්න පුළුවන්. ශුද්ධාත්මයාණන්වහන්සේ සියල්ල දන්නවා, සත්‍යය ගැන සාක්ෂි දරනවා, ඒවගේම “සියල්ල [අපගේ] මතකයට ගෙන එනවා.” ස්වාමින්වහන්සේගේ හඬ ඇසීමේ වැදගත්කම ගැන සභාපති රසල් එම්. නෙල්සන් නිතර කතා කළා. ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීමට ආරාධනා කරන්නේ කෙසේදැයි උන්වහන්සේ අපට ඉගැන්නුවා, එවගේම එළිදරව් ලබා ගැනීමට අපගේ අධ්‍යාත්මික ධාරිතාව වැඩි කරගන්නා ලෙස නැවත නැවතත් අපෙන් ආයාචනා කළා.
අද මම ඔබට ආරාධනා කරන්නේ නිවසේ දී සහ සභාවේ දී ශුභාරංචිය ඉගෙනීමට සහ ඉගැන්වීමට අදාළ ශුද්ධාත්මයාණන්ගේ කාර්යභාරය සලකා බැලීමටයි. ශුද්ධාත්මයාණන් වහන්සේ අපට ලබා දෙන්නේ ඇදහිල්ලේ යාච්ඤාව තුළින් සහ මෙම වටිනා ත්‍යාගයට සුදුසු ලෙස ජීවත් වීමට අප උත්සාහ කරන විටයි. ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම යන දේවානුභාවයෙන් යුත් සභා අත්පොතෙ හි, ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑමට ආරාධනා කිරීමට උපකාරී වන ස්වාමින්වහන්සේ ස්ථාපිත කර ඇති අනෙකුත් මූලධර්ම ගෙනහැර දක්වනවා.
උනන්දුවෙන් ඉගෙනීමට ආරාධනා කරන්න
මෙම මූලධර්මවලින් එකක් වන්නේ කඩිසර ඉගෙනීමට ආරාධනා කිරීමයි. ඉගැන්වීම කියන්නෙ දෙමව්පියන්ට හෝ ගුරුවරයෙකුට ඔවුන්ගේ සූදානමට ආත්මයාණන්වහන්සේට ආරාධනා කර, පසුව ඔවුන් ඉගෙන ගත් දේ සවන් දීමට බලා සිටින දරුවන් හෝ පන්ති සාමාජිකයන් සමඟ බෙදා ගැනීමට අවස්ථාවක් ලෙස අතීතයේ දී අපි සිතුවා. නමුත් ඊටත් වඩා ඵලදායී වන්නේ, ඉගෙන ගන්නන් ලෙස අපිත් සූදානම්ව පැමිණෙන විට සහ අපගේ හදවත් සහ මනසට සෘජුවම පුද්ගලික හෙළිදරව් කිරීම් පෝෂණය කරන ඉගෙනුම් අත්දැකීම් අපේ ගුරුවරුන් විසින් නිර්මාණය කරන විටයි. ඉන්පසු, අපගේ අධ්‍යයනයෙන් සහ ශුද්ධාත්මයාණන්ගෙන් අප ඉගෙන ගන්නා දේ බෙදා ගැනීමට අපට අවස්ථා ලබා දෙන විට, අපි එකිනෙකාට උපදෙස් ලබාදීමට සහ දැනුමෙන් දියුණු වීමට උපකාර කරනවා.. අපි ශුභාරංචි මූලධර්ම අදාළ කර ගන්නා විට, ආත්මයාණන්වහන්සේ නැවතත් ඒවායේ සත්‍යවාදී බව ගැන සාක්ෂි දරනවා.
සෑම දෙයකදීම වගේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි පරිපූර්ණ ආදර්ශය. උන්වහන්සේ අප සෑම කෙනෙකුටම කඩිසර ඉගෙන ගන්නන් වීමට සහ අපගේම සාක්ෂි වල වගකීම භාර ගැනීමට ආරාධනා කර තිබෙනවා. ඉගෙනීමට සූදානම් වන ලෙසත්, ඉගෙන ගන්නා දේ බෙදා ගන්නා ලෙසත්, ඇදහිල්ලෙන් ක්‍රියා කරන ලෙසත් උන්වහන්සේ තම ගෝලයන්ට ආරාධනා කළා. උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළා, ඔවුන්ගේ දිව්‍යමය හැකියාවන් දැක්කා, ඔවුන්ට සවන් දුන්නා, ඔවුන් ආදරය කරන බවත් අවශ්‍ය බවත් ඔවුන්ට දැන ගැනීමට උපකාර කළා.
ගුරුවරුන් වශයෙන්, අපට ඉගෙන ගන්නන්ගේ ප්‍රගතිය, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ ජීවිත කාලය පුරාම ගෝලයෙකු වීමේ අධ්‍යාත්මික පුරුදු වර්ධනය කර ගැනීමට උපකාර කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන්. ඉගෙන ගන්නන් වශයෙන්, අපි ඉගෙනීමේ ක්‍රියාවලියේ දී අපගේ තෝරාගැනීමේ නිදහස ක්‍රියාත්මක කරද්දි, අපි ශුද්ධාත්මයාණන්වහන්සේට සංඥා කරන්නේ උන්වහන්සේගෙන් ඉගැන්වීමට අපගේ කැමැත්ත ගැනයි.
වඩා හොඳ ඉගෙන ගන්නෙකු වීමට මට ආරාධනා කළ ගුරුවරයෙකුට මම කෘතඥ වෙනවා. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරද්දි, ක්‍රීඩා කිරීමට අවසර ලබා ගැනීම සඳහා පාසල කියන්නේ විඳදරාගත යුතු දෙයක් ලෙස මම ඒ ගැන වැරදියට සිතුවා. එක දවසක්, මා ලියූ පත්‍රිකාවක් කියවීමෙන් පස්සෙ, මා දක්ෂ විශ්ලේෂණාත්මක චින්තකයෙකු යැයි ඇය සිතූ බව මගේ මහාචාර්යවරිය මට පැවසුවා. මම ඒකේ තේරුමවත් දැනගෙන හිටියේ නැහැ. වැඩි අවධානයක් යොමු කරමින් උත්සාහ කළොත් මට හොඳ ශිෂ්‍යාවක් විය හැකි බව ඇය පැවසුවා. ඒ සිතුවිල්ල මගේ හිතට කවදාවත් ඇවිත් තිබුනේ නැහැ. ඇයගේ උනන්දුව, දිරිගැන්වීම සහ ආරාධනා මගේ අධ්‍යාපනයේ ගමන් මග වෙනස් කළ අතර මගේ ජීවිතයට බෙහෙවින් ආශිර්වාද කළා.
දහම උගන්වන්න
ශුද්ධාත්මයාණන්ට ආරාධනා කිරීමට අදාළ වන තවත් මූලධර්මයක් තමයි සැබෑ දහම ඉගැන්වීම. මෙයින් අදහස් කරන්නේ අපගේ ශුභාරංචි අධ්‍යයනය සහ උපදෙස් දෙවියන්වහන්සේගේ වචනය තුළ මුල් බැස ඇති බව සහ ස්වාමින්වහන්සේ හෙළි නොකළ දේ පිළිබඳව අපි සංවේදීකරණය හෝ අනුමාන නොකළ යුතු බව. ඒ වෙනුවට, අපි අත්‍යවශ්‍ය සහ සදාකාලික ශුභාරංචි මූලධර්ම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි, එමඟින් ආත්මයාණන්ට සත්‍යය ගැන සාක්ෂි දීමට ඉඩ සැලසෙනවා. නැවතත්, අපි ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කරනවා. උන්වහන්සේ මෙහෙම කිව්වා, “එහෙත් මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ තැනන්වහන්සේගේය.”
සැබෑ දහම, නූතන අනාගතවක්තෘවරුන්ගේ ශුද්ධලියවිලි හා ඉගැන්වීම් වල දක්නට ලැබෙනවා. තනි තනිව සහ පවුල් වශයෙන් ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමටත්, උන්වහන්සේගේ ශුභාරංචිය අධ්‍යයනය කිරීම සඳහා සෑම සතියකම සභාවට යාමටත් ස්වාමින්වහන්සේ ලබාදෙන් අනුශාසනාව, උන්වහන්සේගේ දහම ඉගෙන ගැනීමට සහ උන්වහන්සේගේ හඬට සවන් දීමට කැපී පෙනෙන රාමුවක් සපයනවා. අපි ශුද්ධලියවිලි පද සොයන්නේ ඒවායේ ආඛ්‍යානය, ඒවා උගන්වන මූලධර්ම සහ මෙම සත්‍යයන් අපගේ ජීවිතවලට අදාළ කර ගැනීම තේරුම් ගැනීමටයි. අපගේ ඇඟිලි තුඩුවලට ආසන්නයේ ශුද්ධලියවිලි තිබීම මොනතරම් ආශිර්වාදයක් ද? ආදම් සහ ඒව, අබිනඩායි, හෝ ප්‍රධාන ගුරුවරයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පවා අපට ඉගැන්වීම සඳහා අපගේ නිවෙස්වලට හෝ පන්තිවලට පැමිණෙන බව සිතන්න. අපි දෙවියන්වහන්සේගේ වචනය භුක්ති විඳින විට ඔවුන්ට එය කරන්න පුළුවන්. අඛණ්ඩ උත්සාහයකින්, අපට ශුද්ධලියවිලි තේරුම් ගැනීමට සහ ඒවාට ආදරය කිරීමට ඉගෙන ගන්න පුළුවන්, ඒවගේම ආත්මයේ ප්‍රශ්නවලට පිළිතුරු ඒවායේ ඇති බව විශ්වාස කරන්න පුළුවන්.
අපි විවාහ වෙන්න කලින් මගේ බිරිඳ ක්‍රිස්ටි ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමය දැනීමට සහ ඇය වෙනුවෙන් උන්වහන්සේගේ සැලැස්ම තේරුම් ගැනීමට අරගල කරමින් සිටි කාලයක් තිබුණා. ඇය මගපෙන්වීම සඳහා යාච්ඤා කරන විට, ආයතනික පන්තියට යා යුතු බවට හැඟීමක් ඇති වූ බැවින්, ඇය අලුත් ගිවිසුම උගන්වන පන්තියකට ඇතුළත් වුණා. ඇගේ ආයතනික පන්තියේ ගුරුවරයා ශුද්ධලියවිලි වලින් ඉගැන්වූ ආකාරය, ඔහු ඒවා අල්ලාගෙන සිටි ආකාරය පවා, ඔහු දෙවියන්වහන්සේගේ වචනයට කොතරම් ප්‍රේම කළා ද කියා පෙන්නුම් කළා. ඇය එයට සහභාගී වෙද්දි, ශුද්ධාත්මයාණන්වහන්සේ ඇයට මුමුණමින් පැවසුවේ ඇයට අවශ්‍ය දෙයක් ශුද්ධලියවිලිවල ඇති බවයි. ශුද්ධලියවිලි කෙරෙහි ඇගේ ගුරුවරිය තුළ තිබූ ප්‍රේමය සහ ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් නිසා දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ බැරෑරුම් අධ්‍යයනයක් ආරම්භ කිරීමට ඇය තුළ ආශාවක් තිබුණා—එය ගැඹුරු පරිවර්තනයක සහ කැපවූ සේවයේ ජීවිත කාලය පුරාම ගමන් කරන ගමනක් බවට පත්වුණා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන්න
අවසාන වශයෙන්, ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම පොතේ යෝජනා කරන පරිදි, අපගේ ඉගැන්වීම සහ ඉගෙනීම සැමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අපට උන්වහන්සේ ගැන නිතර නිතර හා වඩාත් ගෞරවාන්විතව කතා කරන්න පුළුවන්, ඒවගේම උන්වහන්සේ කෙරෙහි සාක්ෂිය, කෘතඥතාව සහ ප්‍රේමය ප්‍රකාශ කිරීමට වැඩි අවස්ථාවන් සොයන්න පුළුවන්. පසුබිම කුමක් වුවත්, අපි උන්වහන්සේව සිහිපත් කරද්දි, අපට “[අප] සමඟ සිටීමට උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේව” ලබා ගන්න පුළුවන්.
අපගේ ඉගැන්වීම්වල කේන්ද්‍රයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තබාගැනීමට එක් ක්‍රමයක් තමයි, උන්වහන්සේ සියලු ශුභාරංචි මූලධර්මවල පරිපූර්ණ ආදර්ශය, ප්‍රතිමූර්තිය සහ ප්‍රකාශනය බව අවධාරණය කිරීම. ශුද්ධලියවිලිමය වාර්තාවක උන්වහන්සේ ගැන සෘජුවම සඳහන් කර නොමැති විට දී පවා, උගන්වනු ලබන මූලධර්මයේ උදාහරණය ලෙස අපට උන්වහන්සේව පෙන්වා දෙන්න පුළුවන්. අපට සරලව මෙසේ අසන්නට පුළුවන්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම මූලධර්මය ආදර්ශයට ගත් අවස්ථාවක් ගැන ඔබට සිතන්න පුළුවන් ද?”
උන්වහන්සේගේ නම්, භූමිකාවන් සහ ගුණාංග ඉගෙන ගැනීමෙන්, උන්වහන්සේ කර ඇති දේ ඉගෙන ගැනීමට පමණක් නොවේ, නමුත් උන්වහන්සේ කවුද යන්න වඩා හොඳින් තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙන් අපට උන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස, පසුතැවිලි වීමේ මූලධර්මය අධ්‍යයනය කරද්දි, පසුතැවිලි වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම වැදගත්. නමුත් පසුතැවිලි වීමට හැකි වන පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කර ඇති දේ මතක තබා ගැනීම සහ පසුතැවීම අපට උන්වහන්සේ ගැන, උන්වහන්සේගේ සැබෑ ස්වභාවය සහ ලක්ෂණ ගැන උගන්වන දේ තේරුම් ගැනීම ද අත්‍යවශ්‍යයි. අපට පසුතැවිලි වීමට ලැබෙන අවස්ථාව උන්වහන්සේගේ ප්‍රේමය, ඉවසීම සහ දයාව, අපගේ දිව්‍යමය විභවය කෙරෙහි උන්වහන්සේගේ විශ්වාසය, අපගේ පාපවලට සමාව දීමට උන්වහන්සේගේ කැමැත්ත සහ සමාව දීමෙන් උන්වහන්සේ ලබන ප්‍රීතිය ගැන පවසන්නේ මොනවා ද? දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්, මිදුම්කරුවාණන් සහ සුවය ලබාදෙන තැනැන්වහන්සේ වැනි උන්වහන්සේගේ පදවි නාම තේරුම් ගැනීමෙන්, පසුතැවීම කියන්නේ අපව පවිත්‍ර කිරීමට, වෙනස් කිරීමට සහ සුව කිරීමට උන්වහන්සේගේ ආරාධනය බව අපට දැකගන්න පුළුවන් වෙනවා. උන්වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේ සහ උන්වහන්සේ කවුද යන්න පිළිබඳව එහි පවසන දේ කෙරෙහි අවධානය යොමු කිරීම අපට “පසුතැවිලි වීමට ඇදහිල්ලක්” ඇති කර ගැනීමට උදව් වෙනවා.
සමහර අවස්ථාවල දී, ශුද්ධලියවිලිමය වාර්තාවක දක්වා ඇති ගැලවුම්කරුවාණන්ගේ ගුණාංග අපට එසැණින්ම පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට, නීෆායි බෝට්ටුවක් තැනීම ගැන කියවද්දි, අපි නීෆායි කෙරෙහි පමණක් අවධානය යොමු කරනවා වෙන්න පුළුවන්. නමුත් ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මෙම වාර්තාව නීෆායිගේ ශ්‍රේෂ්ඨත්වය ගැන අපට ඉගැන්වීමට නොව දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අපට පෙන්වන බව—එනම් උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උන්වහන්සේ අපට ශක්තිය ලබා දෙන බවත් අවශ්‍ය අවස්ථාවලදී අපව ගලවා ගන්නා බවත් පෙන්වන බව අපට දැකගන්න පුළුවන්.
ස්වර්ගික පියාණන්වහන්සේගේ පරිපූර්ණ සතුට පිළිබඳ සැලැස්ම තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කේන්ද්‍රීය භූමිකාව කෙරෙහි ද අපට අවධානය යොමු කරන්න පුළුවන්. අපගේ ලෞකික තත්වයන්ගේ කාචයෙන් සැලැස්ම දැකීම වෙනුවට දෙවියන්වහන්සේගේ සදාකාලික සැලැස්මේ කාචයෙන් අපගේ තත්වයන් දැකීමට එයට අපගේ ජීවිතයේ ගමන් මග වෙනස් කරන්න පුළුවන්. ශුභාරංචිය කියන්නෙ ඉල්ලීම් ලැයිස්තුවක් නොවේ; එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පාපය හා මරණය ජය ගත් බවට වන සුභ ආරංචියක්. දෙවියන්වහන්සේ සමඟ අපගේ ගිවිසුම් පවත්වා ගැනීම තුළ උන්වහන්සේගේ විශ්මිත කරුණාවට ප්‍රවේශ වීමෙන් අපට වර්තමානයේ ප්‍රීතියෙන් ජීවත් වෙන්න පුළුවන්, ඒවගේම සදාකාලිකව අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ජීවිතයට සූදානම් වෙන්නත් පුළුවන්. අපි ශුද්ධලියවිලි තුළින් ස්වර්ගික පියාණන්වහන්සේව සහ ගැලවුම්කරුවාණන්ව දැකීමට ඉගෙන ගද්දි, අපි උන්වහන්සේලාව වඩා හොඳින් දැන හඳුනා ගන්නවා, ඒවගේම අපගේම ජීවිත තුළ උන්වහන්සේලාගේ ප්‍රේමය සහ බලපෑම නිතර නිතර සහ බලවත් ලෙස අපට දැකගන්න පුළුවන් වෙනවා.
ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ අවසාන දින ගැන අපගේ ගුරුවරයා ඉගැන්වූ විට තරුණයෙකු ලෙස මට දැනුණු ආත්මයාණන්ව මට සැමවිටම මතකයේ රැඳෙයි. උඩුමහල් කාමරයේ, ගෙත්සෙමනෙ හි, ගොල්ගොතා හි සහ හිස් සොහොනෙ හි සිදුවීම්වල වැදගත්කම දැකීමට ඔහු අපට උපකාර කළා. ඔහු ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති ගැඹුරු කෘතඥතාව සහ උන්වහන්සේව අනුගමනය කිරීමට ඇති ඔහුගේ දැඩි ආශාව බෙදා ගත්තා. ඔහුගේ ඉගැන්වීම් ශුද්ධාත්මයාණන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දීමට ආරාධනාවක් වුණා. එමෙන්ම ඒ පන්තියේ දී මට දැනුණු ආත්මය මගේ ඇදහිල්ල ගැඹුරු කළා ඒවගේම ගැලවුම්කරුවාණන් කෙරෙහි මගේ ආදරය හා අගය වැඩි කළා. ඒ ගුරුවරයාගේ බලපෑම මගේ මුළු ජීවිත කාලය පුරාම මා සමඟ පැවතුණා. තවත් ගුරුවරයෙකු ගැන මෙසේ පවසන්න පුළුවන්, “ඔහුගේ ඇදහිල්ලේ ගින්නෙන් අපට අපගේ දෑත් උණුසුම් කළ හැකිය.”
අවසානය
අපගේ නිවෙස් සහ සභා රැස්වීම්වල දී, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරද්දි, උන්වහන්සේගේ දහම උගන්වන විට සහ එය උනන්දුවෙන් ඉගෙන ගන්නා විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ගැඹුරු කිරීමට සහ උන්වහන්සේ හා සමාන වීමට අපට උපකාර කිරීමට අපි ශුද්ධාත්මයාණන්ට ආරාධනා කරන්නවා, එය තමයි සියලු ශුභාරංචිය ඉගැන්වීමේ සහ ඉගෙනීමේ අරමුණ.
මගේ ජීවිතයේ ගුරුවරුන්ට, යහපත් දෙමව්පියන්ට, ප්‍රාදේශීය නායකයින්ට සහ ගුරුවරුන්ට, මෙම දේශනා කූඩුවේ සිට ඉගැන්වීමට සහ සාක්ෂි දීමට කැඳවනු ලැබූ පිරිමින් සහ කාන්තාවන්ට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැන හඳුනා ගැනීමට සහ අනුගමනය කිරීමට අපට උපකාර කරන අයට මම කෘතඥ වෙනවා. ඒ වගේම පරිපූර්ණ උපදේශකයා වන ශුද්ධාත්මයාණන්වහන්සේට මම කෘතඥ වෙනවා. ස්වර්ගික පියාණන්වහන්සේ අපට ප්‍රේම කරන බවත්, අප වෙනුවෙන් උන්වහන්සේට පරිපූර්ණ සැලැස්මක් ඇති බවත්, යේසුස්වහන්සේ කියන්නෙ ක්‍රිස්තුස්වහන්සේ බවත්, ලෝකයේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් උන්වහන්සේ බවත්, උන්වහන්සේගේ ශුභාරංචිය සහ සභාව නැවත පිහිටුවා ඇති බවත් මම දන්නේ ශුද්ධාත්මයාණන් තුළිනුයි. මේ දේවල් ගැන මම කෘතඥපූර්වකව සාක්ෂි දරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.