සදාකාලික සාක්ෂියේ ත්‍යාගය
දෙවියන්වහන්සේගේ සෑම පුතෙකුටම හෝ දියණියකටම ගැඹුරු, ස්ථිර සහ නිසැක දැනුමක් ලබා ගන්න පුළුවන්.
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෑතක දී මම නැවත පිහිටුවීමේ බලවත් සත්‍යයන් තුනක් ගැන මෙනෙහි කරමින් සිටියා. මෙම සත්‍යයන් මගේ ජීවිතයට බෙහෙවින් ආශිර්වාද කරලා තියෙනවා. අද, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ ස්ථිර සාක්ෂිකරුවෙකු වීමට යන ගමනේ දී මෙම සත්‍යයන් මට මඟ පෙන්වූ ආකාරය ඔබ සමඟ බෙදා ගැනීමට කැමතියි.
1. දෙවියන්වහන්සේ කියන්නේ අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේයි.
උන්වහන්සේ සියල්ල දන්නා සහ සර්වබලධාරී අයෙක්. ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය සහ ශුද්ධාත්මයාණන්ගේ දේවසේවය තුළින්, උන්වහන්සේගේ බලපෑම සෑම තැනකම පවතිනවා. අපට ආශිර්වාද කිරීම උන්වහන්සේගේ ස්වභාවයයි.
උන්වහන්සේ අපගේ අතීතය, වර්තමානය සහ සදාකාලික ඉරණම දකිනවා. උන්වහන්සේගෙන් කිසිවක් සඟවන්නට බැහැ.
සභාපති රසල් එම්. නෙල්සන්ගේ “සෙලෙස්ටියල් ආකාරයෙන් සිතන්න” යන ආරාධනය, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ දර්ශනය සහ ස්වභාවය අනුකරණය කිරීමට අපව දිරිමත් කරනවා.
උන්වහන්සේගේ දිව්‍යමය ගුණාංග නිසා, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපට සෑම යහපත් ත්‍යාගයක්ම ලබා දෙනවා, ඒ සෑම එකක්ම ලබා දෙන්නේ උන්වහන්සේගේ සදාකාලික දෘෂ්ටිකෝණය සහ දැක්ම මනසේ තබාගෙනයි.
2. තෝරා ගැනීමේ නිදහස කියන්නේ අප වෙනුවෙන් තෝරා ගැනීමට සහ ක්‍රියා කිරීමට ඇති ත්‍යාගයයි.
හොඳින් තෝරා ගැනීමත් වගකීමක්.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ වටිනා රුධිරයෙන් එම වරප්‍රසාදය සඳහා අවසාන මිල ගෙවනු ලැබුවා.
සමහර විට තෝරා ගැනීමේ නිදහස කියන්නේ අපට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීම කියලා අපි විශ්වාස කරන්න පුළුවන්. නමුත් මිල ගෙවන ලද බව කියන එකෙන්ම තෝරා ගැනීමේ නිදහස පූජනීය ත්‍යාගයක් කියලා තේරෙනවා.
අපි නියෝජිතයන්, ඒ වගේම නියෝජිතයන් යම් දෙයකට වගකිව යුතු වෙනවා. මෙම අවස්ථාවේ දී, අප සතුව ඇති දැනුම සහ අපට ලබා දී ඇති ත්‍යාග මත පදනම්ව අප ගන්නා තේරීම් සඳහා අපි වගකිව යුතු වෙනවා. ප්‍රතිවිපාක සඳහා වගකිව යුතු නොවී අපට තේරීමක් කරන්න බැහැ.
අපිට තෝරා ගැනීමේ නිදහස තියෙන්නේ ඇයි?
හොඳ දේවල් තෝරගන්න.
ක්‍රිස්තුස්වහන්සේව තෝරගන්න.
3. අපගේ සාක්ෂිය ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුළින් පැමිණෙනවා.
ශුද්ධාත්මයාණන්ගෙන් ලැබෙන සාක්ෂියක් දෙයක් පෙනීමටත් වඩා උතුම්. උන්වහන්සේ තමයි පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්ගේ ප්‍රමුඛතම සාක්ෂිකරුවා. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්නුවා, “එලඹෙන දිනයන්හිදී, මඟපෙන්වීම, මෙහෙයවීම, සැනසීම සහ ශුද්ධාත්මයාණන්ගේ නිසැක ආනුභාවයෙන් තොරව ආත්මිකව බේරෙන්නට අපහසු වේවි.”
සහෝදර සහෝදරියනි, මේ නිසයි අද අපි හැමෝටම ශුද්ධාත්මයාණන්ගේ බලය අවශ්‍ය වෙන්නේ.
ශුද්ධාත්මයාණන් තුළින් සාක්ෂියක් බොහෝ ආකාරවලින් පැමිණෙන්න පුළුවන්. අඳුරු කාමරයක විදුලි බුබුලක් දැල්වෙනවා වගේ, එය නාටකාකාරව හා හදිසියේම පැමිණෙන්න පුළුවන්. එය හිරු උදාව වගේ ක්‍රමයෙන් හා කාලයත් සමඟ පැමිණෙන්න පුළුවන්. එය ආලෝක කිරණ මෙන්, පිරිසිඳු බුද්ධියට වරින් වර නිරාවරණය වීම වගේ පැමිණෙන්න පුළුවන්. මාර්ගය කුමක් වුවත්, එය ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් පැමිණෙනවා.
ජැමෙයිකාවේ දී සාක්ෂි සෙවීම
මම හැදී වැඩුණේ ලස්සන ජැමෙයිකාවේ; එය විනෝදජනක සහ අපූරුයි. කෙසේ වෙතත්, මම උසස් පාසල ආරම්භ කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු වීමට මා ගත් තීරණය මගේ පන්තියේ සමහර මිතුරන්ට සහ මිතුරන්ට තේරුම් ගැනීමට නොහැකි වුණා. “ඔයා කොහොමද ඒ සභාවට සම්බන්ධ වෙන්නේ?” කියලා ඔවුන් ඇහුවා. “ඔයා කොහොමද ඒ කතාව විශ්වාස කරන්නේ?”—පළමු දර්ශනය ගැන සඳහන් කරමින් ඔවුන් ඇහුවා. “ඔයා කොහොමද ඒ පොත කියවන්නේ?”—මොර්මොන්ගේ පොත ගැන සඳහන් කරමින් ඔවුන් ඇහුවා. “ඔයා ඇත්තටම මේ ඔක්කොම විශ්වාස කරනවා ද?” සහ “ඇයි ඔයා ජීවිතේ නාස්ති කරගන්නේ?”
විශේෂයෙන්ම මම ආදරය කරන අය එහෙම කියද්දී ඒක වේදනාකාරී වුණා.
නමුත් ඔවුන් නොදැන සිටි දේ තමයි මේක: මට ශුද්ධාත්මයාණන් සමඟ අත්දැකීමක් තිබුණා. ඒ සාක්ෂිය මගේ හදවත පුරවන විට, එය දින ගණනක වේදනාව අඳුරු කළ අතර, “කෙටි මොහොතකට, ස්වර්ගයේ දර්ශනය මගේ බැල්ම ඉදිරියේ දිස් වුණා.”
සමහරවිට මේ ප්‍රශ්න වලින් සමහර ඒවා ඔබෙනුත් අහලා ඇති. සමහරවිට, දැන් ඔබත් මා මෙන් ප්‍රහාර වලට ලක්වෙමින් ඉන්නවා වෙන්න පුළුවන්.
ශුද්ධාත්මයාණන්ගේ දීමනාව සහ සාක්ෂිය සෑම කෙනෙකුටම ලබා ගන්න පුළුවන්.
මට ජැමෙයිකාව ජෝසෆ් ස්මිත්ට පැල්මයිරාව වගේ. ඒ මගේ පූජනීය වනයයි. ජෝසෆ් යාච්ඤා කිරීමට පූජනීය වනයේ දණ ගැසූ නිශ්චිත ස්ථානය මම දන්නේ නැහැ, නමුත් මගේ පූජනීය වනය යථාර්ථයක් වූ විට මම හරියටම සිටියේ කොහේද කියලා මම දන්නවා. ඒක සිද්ධ වුණේ ජැමෙයිකාවේ මැන්ඩෙවිල් හි ෆෝ ග්‍රෝව් පාරේ, මගේ නාන කාමරයේ, මගේ බව්තීස්මයෙන් අවුරුදු තුනකට පස්සේ බදාදා දවසක උදේ 6:00 ට. මෙම පූජනීය අත්දැකීම ලැබුණේ සති දෙකකට කලින් පෙළඹවීම් ලත් ධර්මදූත සහෝදරියක් මට මොර්මන්ගේ පොත කියවීමට ආරාධනා කරපු හින්දයි. ඕඩ්‍රි ක්‍රවුස් සහෝදරිය අද ඇගේ පවුලේ අය සමඟ මෙම සම්මන්ත්‍රණයට සහභාගී වෙනවා, මම ඇයට සදහටම ආදරෙයි.
ඒ අත්දැකීම මාව වෙනස් කළා.
සහෝදර සහෝදරියනි, සාක්ෂියක් ලබා දෙන්නේ තාවකාලිකව භාවිත කරන්න නෙමේ. දෙන තැනැත්තා සදාකාලික නිසා අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ලැබුණු මෙම ත්‍යාගය සදාකාලික විය යුතු වෙනවා. සාක්ෂියකට කල් ඉකුත් වීමේ දිනයක් තිබිය යුතු නැහැ. මගේ ජීවිතයේ යමක් වෙනස් වී ඇති නිසා හෝ ලෝකයේ යමක් වෙනස් වී ඇති නිසා එය දුර්වල හෝ අඩු විය යුතු නැහැ. එය ශක්තිමත් වෙන්න ඕනේ, මොකද, තලෙන්ත උපමාවේ සේවකයා තලෙන්ත වගේ, මගේ පෞද්ගලික සාක්ෂිය වළලන්න නෙමේ, ගුණ කළ යුතු ත්‍යාගයක්.
ආපසු හැරී බලන විට ළමා කාලයේ මා මුහුණ දුන් දුෂ්කර පරීක්ෂාවන් සහ පීඩාවන් තුලින්, මට දැන් මා විසින්ම දන්නා ස්ථානයට පැමිණීමට උපකාර වී තිබෙනවා. ස්ථිර සාක්ෂිකරුවෙකු වීම කරා යන මාවතේ මේවා ඇදහිල්ලේ සැලකිය යුතු කුඩා කොටස් වූවත්, මම ඒවා විශ්වාස කරනවා, බලාපොරොත්තු වෙනවා හෝ සත්‍යයි කියලා දන්නවා. ප්‍රශ්න ඇසීමෙන්, අධ්‍යයනය කිරීමෙන්, යාච්ඤා කිරීමෙන්, නිරාහාරව සිටීමෙන් සහ මෙනෙහි කිරීමෙන් ඔබේම මාර්ගයක් සකසා ගැනීම ගැන මම ඔබට ප්‍රශංසා කරනවා. කරුණාකර නවත්වන්න එපා. සාක්ෂිය කරා යන මෙම මාවත අනුගමනය කිරීමට සෑම උත්සාහයක්ම වටිනවා. ඔයා ඒක අරන් යන්න ඉඩ දෙන්නේ කාටද නැත්නම් මොකකටද? “දෙවියන්වහන්සේගෙන් ලද සාක්ෂියට වඩා උතුම් සාක්ෂියක් ඔබට තියෙන්න පුළුවන්ද?”
දෙවියන්වහන්සේගේ සෑම පුතෙකුටම හෝ දියණියකටම ගැඹුරු, ස්ථිර සහ නිසැක දැනුමක් ලබා ගන්න පුළුවන්. විරුද්ධත්වය මධ්‍යයේ වුවද තම සාක්ෂිය තහවුරු කළ ජෝසෆ් ස්මිත් මෙන්, අපට නිර්භීතව මෙසේ කියන්න පුළුවන්, “මම එය දනිමි, දෙවියන්වහන්සේ එය දන්නා බවද මම දැන සිටියෙමි, තවද මට එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය, නැතහොත් මා එසේ කීමට නිර්භය වන්නේද නැත.”
මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, සාක්ෂියේ කුඩා බීජය සදාකාලිකව මහිමාන්විත ස්ථිර දැනුමක් දක්වා වර්ධනය වන තුරු ඔබ තුළ ක්‍රියාත්මක වීමට ඉඩ හරින්න.
ඔබ යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ බව්තීස්ම වී ස්ථිර කරන ලද සාමාජිකයෙකු වුවද, “මම දන්නවාද කියලා මට විශ්වාස නැහැ” යන හැඟීමෙන් තවමත් පීඩා විඳිනවා නම්, කරුණාකර සක්‍රමේන්තු යාච්ඤාවේ මෙම පොරොන්දුව මතක තබා ගන්න: “එනම් ඔවුන් සෑමවිටම උන්වහන්සේගේ ආත්මයාණන් ඔවුන් සමඟ පවත්වාගන්නා පිණිසය.” මෙම පොරොන්දුව නිසා, අප සෑම කෙනෙකුටම සාක්ෂිය සහ නිසැක දැනුමක් කරා යන මාර්ගයේ නොනැවතී ගමන් කරන්න පුළුවන්.
ඔබේ සාක්ෂියේ වගකීම භාර ගන්න
දැන් මෙන්න ශ්‍රේෂ්ඨ සත්‍යයක්: සාක්ෂියක් කුමන ආකාරයකින් ලබා දුන්නත්—එය හිරු උදාව මෙන් ටිකෙන් ටික කළත් නැතහොත් තේජාන්විත දර්ශනයකින් පැමිණියත්—මෙම වටිනා ත්‍යාගය ලබා ගැනීමට තවමත් තේරීමක් අවශ්‍ය වෙනවා.
“මම විශ්වාස කිරීමට තෝරා ගන්නවා” කියා පැවසීම දෙවියන්වහන්සේගෙන් සාක්ෂියක් ලබා ගැනීම පහසු කරනවා. අපගේ සාක්ෂිය දුර්වල වන බව අපට පෙනවා නම්, සාක්ෂියේ බලය අඩු කරන්නේ අප ගන්නා තේරීම් බව මතක තබා ගන්න. නමුත් සාක්ෂිය කොහේවත් ගිහින් නැහැ. අපි එය සමඟ නැවත සම්බන්ධ වීමට තෝරා ගත යුතු වෙනවා.
විශ්වාස කිරීමට තෝරා ගැනීම අපගේ තෝරා ගැනීමේ නිදහස භාවිත කිරීමට ප්‍රඥාවන්ත හා බලවත් ක්‍රමයක්.
මගේ සාක්ෂිය ආරක්ෂා කරන එක තරම් මගේ තෝරා ගැනීමේ නිදහස භාවිත කරන්නට හොඳ ක්‍රමයක් මට පෙනෙන්නේ නැහැ.
සභාපති නෙල්සන් මෙසේ ඉගැන්නුවා: “ඔබේ සාක්ෂියේ වගකීම භාර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එය අයිති කරගන්න. ඒ ගැන සැලකිලිමත් වෙන්න. එය වර්ධනය වන පරිදි එය රැක බලා ගන්න. එය සත්‍යයෙන් පෝෂණය කරන්න.”
මට නම්, වගකීම භාර ගැනීම, වැඩ කිරීම, රැකබලා ගැනීම, අයිති කර ගැනීම, ඇතිදැඩි කිරීම සහ පෝෂණය කිරීම යන වචන පෙනෙන්නේ වටිනා සහ වැදගත් දෙයකට භාරකාරත්වය ලබා දෙන නියෝජිතයෙක් වගේ.
මුල් සභාවේ දී, පාර්ලි පී. ප්‍රැට් අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් කෙරෙහි අප්‍රසාදය පළ කළ අතර ඔහුව සහ සභාව විවේචනය කිරීමට ඔහු තෝරා ගත්තා. පාර්ලි ශුභාරංචිය ඉගැන්වූ ජෝන් ටේලර් නගරයට පැමිණි විට, පාර්ලි ඔහුව පැත්තකට ගෙන ගොස් ජෝසෆ් පසුපස නොයන ලෙස අවවාද කළා. ජෝන් ටේලර් පාර්ලිට මෙසේ පැවසුවා:
“ඔබ කැනඩාවෙන් පිටව යාමට පෙර, ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු බවට ඔබ ප්‍රබල සාක්ෂියක් දැරූ අතර, … එළිදරව්වෙන් සහ ශුද්ධාත්මයාණන්ගේ දීමනාවෙන් ඔබ මේ දේවල් දන්නා බව ඔබ පැවසුවා.
“… ඔබ එදා ප්‍රීති වූ එම සාක්ෂියම දැන් මට තිබෙනවා. මාස හයකට කලින් කාර්යය සත්‍ය නම්, අදත් එය සත්‍යයක්. ජෝසෆ් ස්මිත් එදා අනාගතවක්තෘවරයෙක් නම්, දැනුත් ඔහු අනාගතවක්තෘවරයෙක්.
ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු බවත්, ඔහුට ලැබුණු අනාවැකිමය සළුව අද දක්වාත් පවතින බවත් මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම කාර්යය මෙහෙයවනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ ස්ථිර සාක්ෂිකරුවෙකු වීම කරා යන ඔබේ මාර්ගය ගැන සිතා බැලීමට මම ඔබට ආරාධනා කරනවා. ඔබේ සාක්ෂියේ වගකීම භාර ගන්න; ඔබේ තෝරා ගැනීමේ නිදහස ඥානවන්තව භාවිත කර, ලබා දෙන්නා සහ උන්වහන්සේගේ සියලු මහිමාන්විත ගුණාංග පිළිගන්න. බලය ඔබ තුළ ඇති බවට මම සාක්ෂි දරනවා. කිසිවෙකුට ඔබ වෙනුවෙන් තෝරා ගන්න බැහැ. කිසිවෙකුට මෙම ත්‍යාගය ඉවතට රැගෙන යන්න බැහැ. ඔබට විශ්වාස කිරීමට තෝරා ගන්න පුළුවන්.
ඔබ මෙය කරන විට, ඔබේ සාක්ෂිය “සදාකාල ජීවනය දෙසට උතුරන, ජීවනයේ ජලය උල්පතක් මෙන්” වනු ඇතැයි මම පොරොන්දු වෙනවා. එය නැංගුරමක් සහ අභිප්‍රේරකයක් වනු ඇති අතර දුෂ්කර කාලවලදී එය ඔබව උසුලාගෙන සිටිනවා. එය ඔබට අධ්‍යාත්මික දීමනා වර්ධනය කර ගැනීමට හැකියාව ලබා දෙනවා. එය ඔබගේ පෞද්ගලික දේවසේවයට සහ සේවයට උපකාරී වෙනවා. එය සාතන්ට සහ ඔබේ විරුද්ධවාදීන්ට එරෙහිව ආයුධයක් වෙනවා. ඔබේ දරුවන්, මුණුබුරන් සහ මී මුණුබුරන් තුළ සහ ඔබ ආදරය කරන සහ සේවය කරන අය තුළ එය ප්‍රතිනිර්මාණය වන ආකාරය ඔබ දකින විට ඔබේ සාක්ෂිය ප්‍රීතියක් වෙනවා. ඔබ එය බෙදාගෙන සාක්ෂි දීමට භාවිත කරන විට එය බලවත් වෙනවා.
ඔබ දන්නවා නම්, ඔබ දන්නවා. මම දන්නවා කියලා මම දන්නවා. අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ තවත් ස්ථිර සාක්ෂිකරුවන් අවශ්‍යයි. ඒ තැනට යන්න! ඒක සොයන්න! එය ඉතා හදිසියි! මෙය අවසාන කාලපරිච්ඡේදයයි—කාලවල පූර්ණත්වය පිළිබඳ කාලපරිච්ඡේදයයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම සත්‍යය ප්‍රකාශ කළා: “අහසත් පොළොවත් පහව යනු ඇත; එහෙත් මාගේ වචන පහව යන්නේ නැත.”
සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂියක් කිසි විටෙකත් තාවකාලික ත්‍යාගයක් වෙන්නට අදහස් කරලා නැහැ. ඒ ගැන කිසිවක් තාවකාලික නැහැ—දෙන තැනැත්තා, ත්‍යාගය, ත්‍යාගය බෙදා හරින තැනැත්තා, ත්‍යාගය කවුරුන් ගැන ද යන බව වුණත් තාවකාලික නැහැ. ඔබේ සාක්ෂියත් මේ ආකාරයෙන්ම විස්තර කෙරේවා. “අහසත් පොළොවත් පහව” ගියත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ ඔබගේ විශ්වාසය සහ සාක්ෂිය පහව යන්නේ නැහැ. මේ අගනා ත්‍යාගය අල්ලා ගැනීමට දැන් කාලයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.