ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැනීම
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


13:22

ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැනීම

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හඳුනා ගෙන සිහිපත් කරන තරමට, අපට උන්වහන්සේ මෙන් වීමට අවශ්‍ය වෙනවා.

2018 දී, යූටා විශ්ව විද්‍යාලයේ, “වෛද්‍ය රසල් එම්. නෙල්සන් සහ ඩැන්ට්සෙල් ඩබ්ලිව්. නෙල්සන් හෘද සැත්කම් පිළිබඳ මුල් පිටුව” නමින් විශේෂ මහාචාර්ය ධුරයක් නිර්මාණය කළා—cardio යන්නෙහි අර්ථය හෘදය යන්න වන අතර, thoracic යන්නෙහි අර්ථය උරස් මාංශ පේශි යන්නයි. එය හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සභාපති නෙල්සන්ගේ වැදගත් කාර්යයට සහ ඔහුගේ නැසීගිය බිරිඳ ඩැන්ට්සෙල්ගෙන් ලැබුණු සහයෝගයට ගෞරවයක් වුණා. මෙම මහාචාර්ය ධූරය සඳහා ගෙවීම් කරනු ලැබුවේ අනාගතය දක්වා පවතිනු පිණිස නිර්මාණය කරන ලද අරමුදලකින්. මෙම ආකාරයේ කීර්තිමත් මහාචාර්ය ධූරයක් සඳහා තෝරාගත් පුද්ගලයාට පිළිගැනීම, වැටුප් සහාය සහ පර්යේෂණ අරමුදල් ලැබෙනවා.

වෛද්‍ය සෙල්ස්මන් සභාපති නෙල්සන් සමඟ

මෙම මහාචාර්ය ධූරය දැරීමට තෝරාගත් පළමු ශල්‍ය වෛද්‍යවරයා වූයේ අපගේ සභාවේ සාමාජිකයෙකු නොවන දක්ෂ හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ක්‍රේග් එච්. සෙල්ස්මන්. වෛද්‍ය සෙල්ස්මන්ට මෙම මහාචාර්ය පදවිය පිරිනැමීමේ උත්සවයට, සභාපති නෙල්සන් සහ ඔහුගේ බිරිඳ වන වෙන්ඩි ඩබ්ලිව්. නෙල්සන් සහෝදරිය ඇතුළු බොහෝ වැදගත් අමුත්තන් සහභාගී වුණා. මේ රැස්වීම අතරතුර, සභාපති නෙල්සන් ඔහුගේ පුරෝගාමී ශල්‍යකර්ම වෘත්තිය ගැන නිහතමානීව කතා කළා.

ඉන්පසු වෛද්‍ය සෙල්ස්මන් ඔහුගේ කාර්යාලයට යන විට, තමාට දැනුනේ කෙසේදැයි වෛද්‍ය සෙල්ස්මන් බෙදා ගත්තා. දින හතරකට පෙර, ශල්‍යාගාරයේ දිගු දිනක් ගත කිරීමෙන් පසු, ඔහුගේ රෝගියෙකු නැවත ශල්‍යකර්මයකට භාජනය විය යුතු බව ඔහුට වැටහුණු බව ඔහු පැවසුවා. රෝහලේ තවත් රැයක් ගත කිරීමට සිදුවන බව දැන සිටි ඔහු වෙහෙසට හා කලකිරීමට පත්ව සිටියා.

වෛද්‍ය සෙල්ස්මන් සභාපති නෙල්සන් සහ එම සහෝදරිය සමඟ

මේ සන්ධ්‍යාවේ, වෛද්‍ය සෙල්ස්මන් තමා සමඟම ජීවිතය වෙනස් කරන සුළු සංවාදයක නිරත වී තිබුණා. ඒ මොහොතේ ඔහු මෙහෙම සිතුවා: “සිකුරාදා, මාව වෛද්‍ය නෙල්සන්ගේ නමින් මහාචාර්ය ධුරයකට පත් කරනවා. ඔහුව හඳුනා ගැනුනේ තම හැඟීම් පාලනය කර ගත්, සෑම කෙනෙකුටම ගෞරවයෙන් සැලකූ සහ කිසි විටෙකත් කෝපය නැති කර නොගත් කෙනෙකු ලෙසයි. දැන් මගේ නම ඔහුගේ නම සමඟ සම්බන්ධ වන නිසා, මම ඔහු වගේ වෙන්න උත්සාහ කළ යුතුයි.” වෛද්‍ය සෙල්ස්මන් ඒ වන විටත් ඉතා සැලකිලිමත් ශල්‍ය වෛද්‍යවරයෙක්. නමුත් ඔහුට අවශ්‍ය වූයේ ඊටත් වඩා හොඳ වීමටයි.

අතීතයේ දී, ඔහුගේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ඔහුගේ තෙහෙට්ටුව සහ කලකිරීම ගැන දැන සිටින්නට ඇති, මොකද ඔහු එය ඔහුගේ විලාසයෙන් සහ කටහඬේ ස්වරයෙන් පෙන්නුම් කිරීමට ඉඩ හරින්නට ඇති. නමුත් එදින රාත්‍රියේ ශල්‍යාගාරයේ දී, වෛද්‍ය සෙල්ස්මන් තම කණ්ඩායමට විශේෂයෙන් සහයෝගය දැක්වීමට සහ ඔවුන්ව අවබෝධ කර ගැනීමට හෘදයසාක්ෂියට අනුකූල උත්සාහයක් ගත්තා. එය වෙනසක් ඇති කළ බව ඔහුට හැඟුණු අතර, වෛද්‍ය නෙල්සන් මෙන් වීමට දිගටම උත්සාහ කිරීමට ඔහු අධිෂ්ඨාන කර ගත්තා.

වෛද්‍ය සෙල්ස්මන් RMN පින් එකක් පැළඳ සිටිමින්

වසර පහකට පස්සෙ, සභාපති නෙල්සන් ඔහුගේ වෘත්තීය පත්‍රිකා යූටා විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළා. විශ්වවිද්‍යාලයේ සම්භාවනීය අමුත්තන් සභාපති නෙල්සන්ට ස්තූති කිරීමට විධිමත් ලෙස පැමිණියා. මෙම අවස්ථාව අතරතුර, වෛද්‍ය සෙල්ස්මන් නැවත කතාවක් කළා. සභාපති නෙල්සන්ගේ මුලකුරු වන RMN ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසුවා, “යූටා විශ්ව විද්‍යාලයේ හෘද සැත්කම් අංශය පුරා දැන් ‘RMN’ ආචාර ධර්ම පවතිනවා.”

වෛද්‍ය සෙල්ස්මන් මෙසේ පැහැදිලි කළා: කලකිරීමට පත්වන අවස්ථාවන්වල දී, “අපි දැන් අපේ පුහුණුවන්නන්ට උගන්වන දේ මම කරනවා—අවධානය යොමු කරන්න, එයින් මිදෙන්න, සහ ඔබට කළ හැකි උපරිමය කරන්න. මෙම ආචාර ධර්ම අප තුළ සෑම දිනකම ජීවත් වෙනවා. අපි අංශයේ සෑම සාමාජිකයෙකුටම සහ සෑම නව පුහුණුවන්නෙකුටම පින් එකක් ලබා දෙනවා. ඒ පින් එකේ පහළින් ‘RMN’ අකුරු තිබෙනවා. RMN ආචාර ධර්ම අපගේ පුහුණුවට පදනමක්; අපි එය සෑම කෙනෙකුටම උගන්වනවා.” වෛද්‍ය සෙල්ස්මන් ඔහුගේ පෙර ආකල්ප සහ අභිලාෂයන් හිතා මතාම යහපත් ලෙස වෙනස් කර ගත්තේ ඔහුගේ නම දැන් සභාපති නෙල්සන්ගේ නමට සම්බන්ධ වී ඇති නිසයි.

වෛද්‍ය සෙල්ස්මන් සම්බන්ධ මෙම සිදුවීම් මාලාව මට මගෙන්ම මෙසේ අසා ගැනීමට හේතු වුණා, “මගේ නම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සමඟ සම්බන්ධ කළ දා සිට මම වෙනස් වී ඇත්තේ කෙලෙස ද? එහි ප්‍රතිඵලයක් ලෙස මම ක්‍රිස්තුස්වහන්සේ හා සමාන ආචාර ධර්ම අනුගමනය කර තිබෙනවා ද? මම ඇත්තටම යහපත් වෙන්න සහ උන්වහන්සේ වගේ වෙන්න උත්සාහ කර තිබෙනවා ද?”

වෛද්‍ය සෙල්ස්මන්ගේ අත්දැකීම තුළ, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගන්නා ක්‍රියාවලියට අවම වශයෙන් සමාන්තර දේවල් පහක්වත් දකින්න පුළුවන්. එම ක්‍රියාවලිය බව්තීස්මයෙන් ආරම්භ වුවද, අප වඩාත් පිරිසිඳු හා ශුද්ධ වී උන්වහන්සේ හා සමාන වන තුරු එය සම්පූර්ණ වන්නේ නෑ.

පළමු සමාන දේ තමයි හඳුනාගැනීම. වෛද්‍ය සෙල්ස්මන් ඔහුගේ පෙර ආකල්ප සහ අභිලාෂයන් වෙනස් කර ගත්තේ ඔහුගේ නම සභාපති නෙල්සන්ගේ නමට සම්බන්ධ වුණා, ඒවගේම වෛද්‍ය සෙල්ස්මන්ව සභාපති නෙල්සන් සමඟ හඳුනා ගැනීමට පටන් ගැනුණා. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගන්නා විට, අපි අපගේ නාමය උන්වහන්සේගේ නාමය සමඟ සම්බන්ධ කරනවා. අපිව උන්වහන්සේ සමඟ හඳුනා ගැනෙනවා. අපිව සතුටින් කිතුනුවන් ලෙස හඳුන්වනු ලැබෙනවා. අපි ගැලවුම්කරුවාණන්ව පිළිගෙන උන්වහන්සේගේ ලෙස ගණන් ගැනීමට කිසිඳු කරුණු පැහැදිලි කිරීමක නොමැතිව නැගී සිටිමු.

හඳුනාගැනීම හා සමීපව සම්බන්ධ වන තවත් සමාන දෙයක් තමයි—මතක තබා ගැනීම. වෛද්‍ය සෙල්ස්මන් ඔහුගේ කාර්යාලයට යන විට, ඔහුගේ දෑස් නෙල්සන් මහාචාර්ය ධූරයට පත් වූ විට ලැබුණු පදක්කම වෙත ඇදී යනවා. මෙම පදක්කම ඔහුට දිනපතා RMN ආචාර ධර්ම මතක් කර දෙනවා. අපට නම්, සෑම සතියකම සක්‍රමේන්තුවට සහභාගී වීමෙන් සතිය පුරාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කිරීමට උපකාරී වෙනවා. අපි සක්‍රමේන්තුවට සහභාගී වන විට, අපව මුදවා ගැනීමට උන්වහන්සේ ගෙවූ මිල සිහිපත් කිරීම සඳහා අපි එසේ කරනවා. අපි උන්වහන්සේව සිහිපත් කිරීමට, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හඳුනා ගැනීමට සහ උන්වහන්සේගේ යහපත්කම අගය කිරීමට අලුතින් ගිවිසුම් ගත වෙනවා. අප ශාරීරික හා අධ්‍යාත්මික මරණයෙන් ගැලවීම ලබන්නේ උන්වහන්සේගේ කරුණාව තුළින් පමණක් බව අපි නැවත නැවතත් පිළිගන්නවා.

සිහි කිරීම යන්නෙන් අදහස් කරන්නේ මොර්මන්ගේ පොතේ අනාගතවක්තෘ ඇල්මා විසින් දෙන ලද උපදෙස් අප අනුගමනය කිරීමයි. අපි “[අපගේ] සියලු ක්‍රියාවන් ස්වාමීන්වහන්සේ වෙත [කරනවා], තවද [අප] කොතැනක ගියද එය ස්වාමීන්වහන්සේ තුළ [වෙනවා]; එසේය, [අපගේ] සියලු සිතුවිලි ස්වාමීන්වහන්සේ වෙතට යොමු [කරනවා]; එසේය, [අපගේ] හදවතෙහි සෙනෙහස සදාකාලයටම ස්වාමීන්වහන්සේ කෙරෙහි [තබනවා].” අපි වෙනත් කාරණා සමඟ කාර්යබහුල වූ විට පවා, අපි අපගේම නම් මතක තබා ගන්නා ආකාරයටම, අපි වෙනත් දේ කෙරෙහි අවධානය යොමු කළත්, උන්වහන්සේ කෙරෙහි සිහියෙන් සිටිනවා.

ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කර ඇති දේ මතක තබා ගැනීමේ ප්‍රතිඵලයක් තමයි තුන්වෙනි සමාන දේ—ඒ තමයි අනුකරණය. වෛද්‍ය සෙල්ස්මන් ඔහුගේ පෙර ආකල්ප සහ අභිලාෂයන් වෙනස් කර ගත්තේ සභාපති නෙල්සන්ව සහ RMN ආචාර ධර්ම අනුකරණය කිරීමට පටන් ගත්තා. සභාපති නෙල්සන්ගේ ආචාර ධර්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිත කාලය පුරාම ඔහුගේ අනුගාමිකත්වයේ ප්‍රකාශනයක් පමණක් බව මම විශ්වාස කරනවා. අපට නම්, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව හඳුනා ගෙන සිහිපත් කරන තරමට, අපට උන්වහන්සේ මෙන් වීමට අවශ්‍ය වෙනවා. උන්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අපි අප කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා, උන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන විට අපි යහපත් ලෙස වෙනස් වෙනවා. අපි උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කරන අතර උන්වහන්සේගේ ගුණාංගවලින් ආශිර්වාද ලබා ගැනීමට උත්සාහ කරනවා. ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයෙන්, එනම් පිවිතුරු ප්‍රේමයෙන් පිරී සිටීමට හැකි වන ලෙස අපි දැඩි ලෙස යාච්ඤා කරනවා.

සභාපති නෙල්සන් අප්‍රියෙල් මාසයේ දී ඉගැන්වූ පරිදි: “පිවිතුරු ප්‍රේමය අපගේ ස්වභාවයේ කොටසක් බවට පත්වෙද්දි, අන් අයව පහත් කොට සැලකීමේ ආවේගය අපට නැති වී යනවා. අපි අනෙක් අයව විනිශ්චය කිරීම නවත්වනවා. සෑම තරාතිරමකම අය සඳහා අපි පිවිතුරු ප්‍රේමය ඇති කරගන්නවා. අපගේ වර්ධනයට දියුණුවට සෑම කෙනෙක් කෙරෙහිම පිවිතුරු ප්‍රේමය පෙන්වීම අත්‍යවශ්‍යයි. පිවිතුරු ප්‍රේමය කියන්නේ දේවභක්තික චරිතයක පදනමයි. පිවිතුරු ප්‍රේමයට අමතරව, අපි ගැලවුම්කරුවාණන්ගෙන් ලැබෙන අවංකකම, ඉවසීම සහ කඩිසරකම ඇතුළු අනෙකුත් අධ්‍යාත්මික දීමනා සොයනවා, “වර්ධනය කරනවා, භාවිතා කරනවා, සහ පුළුල් කරනවා.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුකරණය කිරීම අපව සිව්වන සමාන දෙයට මග පෙන්වනවා—ඒ තමයි උන්වහන්සේගේ අරමුණු සමඟ පෙළගැසීම. අපි උන්වහන්සේගේ කාර්යයට උන්වහන්සේ හා එක් වෙනවා. ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස, වෛද්‍ය නෙල්සන් ගුරුවරයෙකු, සුව කරන්නෙකු සහ පර්යේෂකයෙකු ලෙස සිටියා. වෛද්‍ය සෙල්ස්මන්ගේ අංශයේ භාවිතා කරන ලද පින් එක මෙම උත්සාහයන් අවධාරණය කරන අතර, ඉගැන්වීම, සුව කිරීම සහ සොයා ගැනීම යන වචන එහි ඇතුළත් වෙනවා. අපට නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගැනීමේ කොටසක් වන්නේ කැමැත්තෙන්, හිතාමතාම සහ උද්යෝගයෙන් අපගේ ඉලක්ක උන්වහන්සේගේ අරමුණු සමඟ පෙළගැස්වීමයි. අපි “ආදරය කරන විට, බෙදා ගන්නා විට සහ ආරාධනා කරන විට” අපි උන්වහන්සේගේ කාර්යයට එක් වෙනවා. අපි අන් අයට, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි අයට සහ ඔවුන්ගේ ලෞකික අත්දැකීම්වලින් තුවාල ලැබූ, බිඳී ගිය හෝ තැළුණු අයට සේවය කරන විට අපි උන්වහන්සේගේ කාර්යයට එක් වෙනවා.

ඉතින් හඳුනාගැනීම, සිහිපත් කිරීම, අනුකරණය කිරීම සහ පෙළගැස්ම තුළින් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය වඩාත් සම්පූර්ණයෙන්ම අප මතට ගන්නවා. මෙම හතර කිරීමෙන් අපව පස්වන සමාන දේ වෙතට ගෙන යනවා—ඒ තමයි බලගැන්වීම. අපි අපගේ ජීවිතවලට දෙවියන්වහන්සේගේ බලය හා ආශිර්වාද ලබා ගන්නවා. නෙල්සන් මහාචාර්ය ධූරය වෛද්‍ය සෙල්ස්මන්ට පිළිගැනීමක් සහ ආධාර අරමුදල් ලබා දෙන අතර ඔහු තම අංශයේ සංස්කෘතිය වෙනස් කිරීමට භාවිතා කරනවා. ඔහු මෙම “බලයෙන් සැරසීමේ බලය” අන් අයට උපකාර කිරීම සඳහා යොදා ගන්නවා. ඒ හා සමානව, අපි ගැලවුම්කරුවාණන්ගේ නාමය අප මතට ගන්නා විට, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ලෞකික ජීවිතයේ අපගේ මෙහෙවර ඉටු කිරීමට අපට උපකාර කිරීමට උන්වහන්සේගේ බලයෙන් අපට ආශිර්වාද කරනවා.

අපි දෙවියන්වහන්සේ සමඟ අමතර ගිවිසුම් ඇති කර ගන්නා විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය වඩාත් සම්පූර්ණයෙන් අප මතට ගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ බලයෙන් තව තවත් අපට ආශිර්වාද කරනවා. සභාපති නෙල්සන් මෙසේ ඉගැන්නුවා: “බව්තීස්ම තටාක වල සහ දේවමාළිගාවල ගිවිසුම් ඇති කරගෙන—ඒවා තබා ගන්නා—සෑම පුද්ගලයෙකුටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයට ප්‍රවේශය වැඩියෙන් තිබෙනවා. … දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් පැවැත්වීමේ විපාකය ස්වර්ගීය බලයයි—ඒ බලය අපගේ අභියෝග, පරීක්ෂාවන් සහ සිත් වේදනාවන්ට අපට තවත් හොඳින් ඔරොත්තු දීමට හැකිවන ලෙස අපව ශක්තිමත් කරන බලයයි.”

අපි වඩාත් අධ්‍යාත්මිකව පිළිගැනීමට නැඹුරු වෙනවා. කළ නොහැකි යැයි පෙනෙන තත්වයන්ට මුහුණ දීමට අපට වැඩි ධෛර්යයක් තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමේ අපගේ අධිෂ්ඨානයෙන් අපි තවත් ශක්තිමත් වෙනවා. අපි වරදක් කළ විට තවත් ඉක්මනින් පසුතැවිලි වී උන්වහන්සේ වෙත නැවත පැමිණෙනවා. උන්වහන්සේගේ බලය හා අධිකාරි බලය සමඟ උන්වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීමට අපි වඩාත් දක්ෂ වෙනවා. අපි විනිශ්චය කිරීම අඩු කරමින්, තව තවත් විනිශ්චය කිරීම අඩු කරමින් අවශ්‍යතා ඇති අයට උදව් කරනවා. අපගේ පව් වලට සමාවක් රඳවා තබා ගන්නවා. අපට වඩා හොඳ සාමයක් ලැබෙනවා, ඒවගේම අපට සැමවිටම ප්‍රීති විය හැකි නිසා අපි වඩාත් ප්‍රීතිමත් වෙනවා. උන්වහන්සේගේ මහිමය අප වටා ඇති අතර, උන්වහන්සේගේ දූතයන් අප කෙරෙහි පාලනය දරනවා.

“මාගේ නාමයෙන් පියාණන් වහන්සේ වෙතට එන්න, නියමිත කාලයේ දී උන්වහන්සේගේ පූර්ණත්වය ලබන්න” කියමින් ගැලවුම්කරුවාණන් අපට ආරාධනා කරනවා. මෙය කිරීමට මම ඔබව උනන්දු කරනවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙතට එන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔබ මතට ගන්න. උන්වහන්සේ සමඟ හැඳින්වෙන්න. සැමවිටම උන්වහන්සේව සිහි කරන්න. උන්වහන්සේ මෙන් වීමට උත්සාහ කරන්න. උන්වහන්සේගේ කාර්යයට එක්වන්න. ඔබේ ජීවිතයට උන්වහන්සේගේ බලය හා ආශිර්වාද ලබා ගන්න. උන්වහන්සේගේ නාමය ඔබේ හදවතේ කැමැත්තෙන් සහ හිතාමතාම තදින් කාවද්දනවා. මෙය ඔබට දෙවියන්වහන්සේ ඉදිරියෙහි “සිටගෙන සිටීමට” ඉඩ ලබා දෙන අතර ඔබ වෙනුවෙන් ගැලවුම්කරුවාණන්ගේ උපදේශනය සඳහා ඔබව සුදුසු කරවනවා. ඔබ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ රාජ්‍යයේ උසස් උරුමක්කාරයෙකු බවට, උන්වහන්සේගේ කුලුඳුල් පුත්‍රයාණන්, අපගේ ආදරණීය ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් සමඟ හවුල් උරුමක්කාරයෙකු බවට පත් වෙනවා.

උන්වහන්සේ ජීවමානයි. මම ඒක නිසැකවම දන්නවා. උන්වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේ ඔබ වෙනුවෙන් තමන්වහන්සේගේ ජීවිතය දුන්නා. උන්වහන්සේ තුළින් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන ලෙස උන්වහන්සේ ඔබෙන් අයැද සිටිනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. අරමුදල පරිත්‍යාගයක් ලෙස හැඳින්වේ.

  2. විවෘත හෘද සැත්කම් සඳහා භාවිතා කරන පළමු හෘද-පෙනහළු බයිපාස් යන්ත්‍රය සංවර්ධනය කිරීම සභාපති නෙල්සන්ගේ කාර්යය එක් කැපී පෙනෙන ජයග්‍රහණයක්.

  3. සහාපති නෙල්සන් වාර්තා කළේ, ඔහුගේ ශල්‍යකර්ම අභ්‍යාසලාභී අවධියේදී, ශල්‍යාගාරයේ සිටි ශල්‍ය වෛද්‍යවරයෙකුට කෝපයක් ඇති වී සහාපති නෙල්සන්ගේ නළලට සැත්කම් උපකරණයක් විසි කළ බවයි. සභාපති නෙල්සන් මෙසේ පැවසීය: “මෙම අත්දැකීම මා තුළ සදාකාලික හැඟීමක් ඇති කළා. මගේ ශල්‍යාගාරයේ කුමක් සිදු වුවද, මගේ හැඟීම් කෙදිනකවත් පාලනයෙන් බැහැර කර නොගන්නා බවට ඒ පැයේදීම මම මටම පොරොන්දු වුණා. ඒ වගේම ඒක සැත්කම් උපකරණයක් හෝ වචන වුණත් කවදාවත් කෝපයෙන් කිසිම දෙයක් විසි කරන්නේ නැහැ කියලා මම ඒ දවසේදී පොරොන්දු වුණා” (“සාමය ඇති කරන්නන් අවශ්‍යයි,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, මැයි 2023, 98).

  4. මෙම පරිත්‍යාගයට ශල්‍යකර්ම වාර්තා 7,000කට අධික ප්‍රමාණයක් ඇතුළත් වූ අතර, සභාපති රසල් එම්. නෙල්සන්ගේ අද්විතීය වෛද්‍ය වෘත්තිය තුළ සම්පාදනය කරන ලද පර්යේෂණ පත්‍රිකා සහ අනෙකුත් වෘත්තීය ලේඛන ද ඇතුළත් විය.

  5. යූටා විශ්ව විද්‍යාලයේ සභාපති, සභාපති ටේලර් ආර්. රැන්ඩල් ඇතුළු කිහිප දෙනෙක් සභාපති රසල් එම්. නෙල්සන් ඇමතූ අතර, ඔහු සභාපති නෙල්සන් යූටා විශ්ව විද්‍යාලයේ වඩාත්ම කීර්තිමත් ආදි ශිෂ්‍යයා ලෙස හැඳින්වීය.

  6. ethos යන වචනය “පුද්ගලයෙකුගේ, කණ්ඩායමක හෝ ආයතනයක කැපී පෙනෙන චරිතය, හැඟීම්, සදාචාරාත්මක ස්වභාවය හෝ මග පෙන්වන විශ්වාසයන්” විස්තර කරයි (Merriam-Webster.com ශබ්දකෝෂය, “ethos”).

  7. 2018 දී, මගේ බිරිඳ රූත් සහ මම වෛද්‍ය සෙල්ස්මන්ව නෙල්සන් මහාචාර්ය ධුරයට පත් කරනු ලැබූ උත්සවයට සහභාගී වුණා. 2023 දී, සභාපති නෙල්සන් ඔහුගේ වෘත්තීය පත්‍රිකා යූටා විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කළ විධිමත් අවස්ථාවට සහභාගී වීමට මට හැකි වුණා.

  8. බලන්න මොරෝනායි 7:48.

  9. “ක්‍රිස්තුස්වහන්සේගේ නාමය භාරගන්න” යන වාක්‍ය ඛණ්ඩයේ “භාරගන්න” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයේ තේරුම “ඉහළට එසවීම” හෝ “රැගෙන යාම,” යන්නයි, එනම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සමඟ තමාව හඳුනා ගන්නා බැනරයක් වැනිය (බලන්න James Strong, The New Strong’s Exhaustive Concordance of the Bible [1984], Hebrew dictionary section, page 80, number 5375).

  10. බලන්න 2 නීෆායි 10:24; මොරෝනායි 10:32–33; දහම සහ ගිවිසුම් 76:69.

  11. ඇල්මා 37:36.

  12. වෛද්‍ය සෙල්ස්මන් මෙසේ පැවසූ බව උපුටා දක්වා ඇත: “ඔබ [සභාපති නෙල්සන්] සමඟ සෞඛ්‍ය සේවා ගැන කතා කිරීමට පටන් ගන්නා සෑම විටම, ඔහුගේ ඇසේ කුඩා දිලිසීමක් ඇති වේ. … ඒ සියලු දේවල් ගැන කතා කරන විට ඔහු කොතරම් ජවසම්පන්නද යන්න දැකීම පුදුම සහගතයි” (in Sydney Walker, “As President Nelson Turns 100, His Family and Associates Reflect on His Life and Legacy,” Church News, Sept. 7, 2024, thechurchnews.com). සභාපති රසල් එම්. නෙල්සන්ගේ දෑස් තුළ “සෞඛ්‍ය සේවා දිලිසීම” මම පෞද්ගලිකව දැක ඇත්තෙමි, නමුත් ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා ක­ළ විට ඔහුට ලැබෙන දීප්තිය හා සසඳන විට එය කිසිවක් නොවේ.

  13. බලන්න මොරෝනායි 7:47–48.

  14. රසල් එම්. නෙල්සන්, “දෙවියන්වහන්සේගේ ඉදිරියේ ආත්ම-විශ්වාසය,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2025.

  15. බලන්න 1 කොරින්ති 12:31; දහම සහ ගිවිසුම් 46:8.

  16. රසල් එම්. නෙල්සන්, “ඊශ්‍රායලය එකතු කිරීමට සහෝදරියන්ගේ දායකත්වය,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2018.

  17. බලන්න මාගේ ශුභාරංචිය දේශනා කරන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීම සඳහා මාර්ගෝපදේශයක් (2023), 123–38.

  18. බලන්න මෝසෙස් 1:39. ආරෝනික පූජක ගණපූරණයේ තේමාව ආරම්භ වන්නේ, “මම දෙවියන්වහන්සේගේ ආදරණීය පුත්‍රයෙකි, උන්වහන්සේට මම කරනවාට කැමති කාර්යයක් තිබේ” (ශුභාරංචි පුස්තකාලය) යනුවෙනි. තරුණ කාන්තා තේමාවේ මෙසේ සඳහන් වෙනවා: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස, මම උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කරමි. මම උන්වහන්සේගේ ශුද්ධවූ නාමයෙන් පුද්ගලික එළිදරව් මත ක්‍රියාකරමින් අන්‍යයන්ට දේවසේවය කරමි” (ශුභාරංචි පුස්තකාලය).

  19. බලන්න ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්, “ධර්මදූත කටයුතු: ඔබේ හදවතේ ඇති දේ බෙදාගැනීම,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, මැයි 2019, 16–18; ගැරී ඊ. ස්ටීවන්සන්, “ප්‍රේම කරන්න, බෙදාගන්න, ආරාධනා කරන්න,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, මැයි 2022, 84–87.

  20. උන්වහන්සේගේ ලෞකික දේවසේවයේ මුල් අවධියේදී, ගැලවුම්කරුවාණන් යෙසායාගෙන් උපුටා දක්වමින් උන්වහන්සේගේ අරමුණ අපට පැහැදිලි කළේය: “ස්වාමින්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය, මක්නිසාද උන්වහන්සේ දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්නට මා ආලේප කළ සේක; බිඳුණු සිත් ඇත්තන් සුව කිරීමටත්, වහලුන්ට මිදීම සහ, අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්නටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද උන්වහන්සේ මා එවූ සේක” (ලූක් 4:18).

  21. ස්වර්ගික පියාණන්වහන්සේට කරන අපගේ යාච්ඤා පවා වෙනස් වනු ඇත. බයිබල් ශබ්දකෝෂයේ “යාච්ඤාව” යන කොටසේ සඳහන් පරිදි: “ක්‍රිස්තියානීන්ට ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කිරීමට උගන්වනු ලැබේ. අපගේ මනස ක්‍රිස්තුස්වහන්සේගේ මනස වන විට සහ අපගේ ප්‍රාර්ථනා ක්‍රිස්තුස්වහන්සේගේ කැමැත්ත වන විට—උන්වහන්සේගේ වචන අප තුළ පවතින විට අපි ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරනවා. ඉන්පසු අපි දෙවියන්වහන්සේට ලබා දිය හැකි දේවල් ඉල්ලා සිටිමු. බොහෝ යාච්ඤාවලට පිළිතුරු නොලැබෙන්නේ ඒවා කිසිසේත්ම ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නොවන බැවිනි; ඒවා කිසිසේත් උන්වහන්සේගේ මනස නියෝජනය නොකරන නමුත් මිනිසාගේ හදවතේ ආත්මාර්ථකාමිත්වයෙන් මතුවන ඒවාය.”

  22. බලන්න දහම සහ ගිවිසුම් 109:26.

  23. රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන විවේකය සොයාගන්න,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2022; අවධාරණය කිරීම් සහිතයි.

  24. බලන්න දහම සහ ගිවිසුම් 109:21–22. “තවද ඔබවහන්සේගේ ජනතාව, ඔවුන්ගෙන් ඕනෑම අයෙකු වරදට පත්වන විට” යන වාක්‍ය ඛණ්ඩය “නම්” නොව “විට” යන වචනය භාවිතා කරයි. මෙයින් ඇඟවෙන්නේ අප සියල්ලන්ම අයහපත කරන බවත්, වැරදි කරන බවත්, පව් කරන බවත් ගැලවුම්කරුවාණන් වටහාගෙන ඇති බවයි. නමුත් සැලැස්ම නම්, අපට පොරොන්දු වූ “ආශිර්වාද නැවත ලබා ගැනීමට” “ඉක්මනින් පසුතැවිලි වීමයි.”

  25. බලන්න යොහාන් 16:33; මොසායා 4:11; 18:26; ඇල්මා 36:2, 28–29; ඊතර් 7:27; මොරෝනායි 9:25.

  26. බලන්න දහම සහ ගිවිසුම් 109:22.

  27. දහම සහ ගිවිසුම් 93:19.

  28. ක්‍රිස්තුස්වහන්සේ තම සෙනඟගේ ජීවිතවලට සම්බන්ධ නොවූ විට ඔවුන්ට සිදු වූ දේ මොර්මන් විස්තර කළේය. උන්වහන්සේගේ සෙනඟ “වරක් ප්‍රීතිමත් ජනතාවක් විය, තවද ඔවුන්ගේ එඬේරාණන් ලෙස ක්‍රිස්තුස්වහන්සේ සිටිය සේක; එසේය, ඔවුන් පියාණන් වන දෙවියන්වහන්සේ විසින් පවා මග පෙන්වනු ලැබූ සේක. එහෙත් දැන්, බලව, ඔවුන්ව සාතන් විසින් මග පෙන්වනු ලැබේ, සුළඟ ඉදිරියේ බොල්පොතු ගසාගෙන යන්නාක් මෙන්, නැතහොත් යාත්‍රාවක් රළ මත විසි කරනු ලබනවාක් මෙන්, රුවලක් හෝ නැංගුරමක් නොමැතිව, නැතහොත් ඇයව මෙහෙයවීමට කිසිවක් නොමැතිව; තවද ඇය සිටින ආකාරයට මෙන්, ඔවුන්ද එසේම විය” (මොර්මන් 5:17–18). අපගේ ජීවිත තුළ ගැලවුම්කරුවාණන් සිටින විට, අපට බලය, ස්ථාවරත්වය සහ මග පෙන්වීම ලැබේ.

  29. දහම සහ ගිවිසුම් 109:24.

  30. බලන්න දහම සහ ගිවිසුම 45:3–5.

  31. බලන්න රෝම 8:17.