එකිනෙකා වෙනුවෙන් ඔල්වරසන් නැඟීම
අපගේ පුද්ගලික සීමාවන් සහ ධාරිතාව සම්පූර්ණයෙන්ම දන්නේ ස්වාමින්වහන්සේ විතරක් වන නිසා, අපගේ ක්‍රියාකාරිත්වය විනිශ්චය කිරීමට සම්පූර්ණයෙන්ම සුදුසුකම් ලත් එකම තැනැත්තා උන්වහන්සේයි.
මම මෑතක දී මට තදින්ම දැනුණ අත්දැකීමක් ගැන කියෙව්වා. ජ්‍යෙෂ්ඨයින් සඳහා වන තරඟයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ මාස්ටර්ස් ජවන හා පිටිය ජාතික ශූරතාවලියේ දී එය සිදු වුණා.
මීටර් 1,500 ඉසව්වට සහභාගී වූ එක් කෙනෙක් තමයි අවුරුදු 100 ක් වයසැති ඕර්විල් රොජර්ස්. කතුවරයා මෙසේ ලියනවා:
“ආරම්භක පිස්තෝලය පත්තු වූ විට, ධාවකයන් ඉදිරියට දිව ගිය අතර, ඕර්විල් වහාම අවසන් ස්ථානයට පත් වුණා, එහි දී ඔහු මුළු තරඟය පුරාම තනිවම සිටි අතර ඉදිරියට ගියේ ඉතා සෙමින්. ඕර්විල් හැරුණු විට අවසන් ධාවකයා අවසන් කළ විට, ඕර්විල්ට තවත් වට දෙකහමාරක් ඉතිරිව තිබුණා. ප්‍රේක්ෂකයින් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් නිහඬව වාඩි වී ඔහු ධාවන පථය වටා—සම්පූර්ණයෙන්ම, නිහඬව සහ අපහසුතාවයෙන් තනිවම, සෙමින් ගමන් කරන ආකාරය බලා සිටියා.
“[නමුත්] ඔහු තම අවසාන වටය ආරම්භ කළ විට, සැවොම නැඟිට, ඔල්වරසන් දෙමින් සහ අත්පොළසන් දෙමින් සිටියා. ඔහු තරඟයේ අවසාන කොටසට ළඟා වන විට, සැවොම ඝෝෂා කරමින් සිටියා. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ දිරිමත් කරවන ඔල්වරසන් හඬ සමඟින්, ඕවිල් ඔහු සතුව ඉතිරිව තිබූ අවසාන ශක්තිය භාවිත කළා. ඔහු අවසන් රේඛාව පසු කර ඔහු සමඟ තරඟ කළ අය විසින් ඔහුව වැළඳ ගන්නා විට, ප්‍රේක්ෂකයින් ප්‍රීතියෙන් ඉපිල ගියා. ඕර්විල් නිහතමානීව හා කෘතඥතාවයෙන් යුතුව පිරිසට අත වනමින් ඔහුගේ නව මිතුරන් සමඟ ධාවන පථයෙන් ඉවත් වුණා.”
මෙය ඕර්විල්ගේ දිවීමේ තරඟයේ පස්වන තරඟ වටය වූ අතර, අනික් හැම ඉසව්වකදීමත් ඔහු අවසන් ස්ථානය ලබාගෙන තිබුණා. ඔහුගේ ඉසව් නිසා ඔහු අනෙක් අයට බොහෝ සෙයින් එය දීර්ඝ කළ නිසාත් ඔහු ධාවන පථයට අයත් නොවන බවත්—ඔහුගේ වයසේ දී තරඟ නොකළ යුතුව තිබුණා කියලත් හිතලා, සමහරු ඕර්විල්ව විනිශ්චය කරන්න පෙළඹෙන්න ඇති.
නමුත් ඔහු සෑම විටම අවසන් ස්ථානයට පත් වුණත්, ඕර්විල් එදා ලෝක වාර්තා පහක් බිඳ දැමුවා. ඔහු තරඟ කළ ආකාරය නරඹන කිසිවෙකුත් එය කළ හැකි යැයි විශ්වාස කළේ නෑ, ප්‍රේක්ෂකයින් හෝ ඔහු සමඟ තරඟ කළ අය සහ විනිශ්චයකරුවන් වුවත් එය විශ්වාස කළේ නෑ. ඕර්විල් කිසිදු නීතියක් කඩ කළේ නැහැ, නිලධාරීන් කිසිදු ප්‍රමිතියක් ලිහිල් කළේ නැහැ. ඔහු එකම තරඟයක දිව ගිය අතර අනෙක් සියලු තරඟකරුවන් මෙන් එම අවශ්‍යතා සැපිරුවා. නමුත් ඔහුගේ දුෂ්කරතා මට්ටම—මෙම අවස්ථාවේ දී ඔහුගේ වයස සහ සීමිත ශාරීරික ධාරිතාව—ඔහුව 100-ට වැඩි වයස් කාණ්ඩයට ඇතුළත් කිරීමෙන් සාධක කරනු ලැබුවා. ඒ වගේම ඒ අංශයේ දී ඔහු ලෝක වාර්තා පහක් බිඳ දැමුවා.
සෑම අවස්ථාවකදීම එම ධාවන පථයට පිවිසීමට ඕර්විල්ට මහත් ධෛර්යයක් අවශ්‍ය වුණා වගේ, අපගේ සහෝදරියන් සහ සහෝදරයන් ගැලවුම්කරුවාණන් අනුගමනය කිරීමට සහ උන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම්වලට ගරු කිරීමට, දුෂ්කර අවස්ථාවන්ට එරෙහිව තමන්ට කළ හැකි උපරිමය කළත්, අසාධාරණ ලෙස විනිශ්චය කළ හැකි බව දන්නා කිහිප දෙනෙකුට සෑම දිනකම ජීවිතයේ කරළියට පිවිසීමට මහත් ධෛර්යයක් අවශ්‍ය වෙනවා.
අපි ලෝකයේ කොතැනක ජීවත් වුවත්, අපේ වයස කුමක් වුවත්, අපගේ තත්වයන් හෝ සීමාවන් කුමක් වුවත්, අප සැමට අයත් බවට හැඟීමක් දැනීම, අපව ඕන බව සහ අවශ්‍ය බව දැනීම සහ අපගේ ජීවිතවලට අරමුණක් සහ අර්ථයක් ඇති බව දැනීම මූලික මිනිස් අවශ්‍යතාවයක්.
තරඟයේ අවසාන වටයේ දී, ප්‍රේක්ෂකයින් ඕර්විල්ට දැඩි ලෙස ඔල්වරසන් දෙමින්, ඔහුට ඉදිරියට යාමට ශක්තිය ලබා දුන්නා. ඔහු අන්තිමට අවසන් කිරීම වැදගත් වුණේ නැහැ. සහභාගීවූවන්ට සහ පිරිසට මෙය තරඟයකට වඩා බොහෝ සෙයින් වැඩි යමක් වුණා. බොහෝ ආකාරවලින්, මෙය ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සුන්දර උදාහරණයක් වුණා. ඕර්විල් අවසන් කළ පසු, ඔවුන් සියල්ලෝම එක්ව ප්‍රීති වුණා.
මාස්ටර්ස් ශූරතාවලිය වගේ, ක්‍රිස්තුස්වහන්සේගේ එකිනෙකා කෙරෙහි ඇති ප්‍රේමයෙන් පෝෂණය වූ ගිවිසුම් ප්‍රජාවක් ලෙස—අපි මුහුණ දෙන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට එකිනෙකාට උපකාර කරමින්, එකිනෙකා විනිශ්චය නොකර, එකිනෙකාට ශක්තිය හා දිරිගැන්වීම ලබා දෙන—අපි එකිනෙකාට ඔල්වරසන් දෙන්නට එක්රැස් වන ස්ථාන බවට අපගේ සමූහයන් සහ පවුල් පත් වෙන්න පුළුවන්. අපට එකිනෙකාව අවශ්‍යයි. දිව්‍යමය ශක්තිය ලැබෙන්නේ එකමුතුකමෙන්, ඒ නිසා තමයි සාතන් අපව බෙදීමට අදහස් කරන්නේ.
අවාසනාවකට මෙන්, අපගෙන් සමහරෙකුට, වෙනස් හේතු රැසක් නිසා සභාවට යාම සමහර වෙලාවට දුෂ්කර වෙන්න පුළුවන්. එය ඇදහිල්ල පිළිබඳ ප්‍රශ්න සමඟ පොරබදමින් සිටින කෙනෙකු හෝ සමාජ කාංසාව හෝ මානසික ආතතියෙන් පෙළෙන කෙනෙකු වෙන්න පුළුවන්. ඒ වෙනස් රටක, ජාතියක කෙනෙකු වෙන්න පුළුවන්, නැතහොත් වෙනස් ජීවන අත්දැකීම් ඇති හෝ දේවල් වෙනස් ආකාරයෙන් දකින, තමන් අච්චුවට නොගැලපෙන බව හැඟෙන කෙනෙකු වෙන්න පුළුවන්. එය නින්ද අහිමි වීම සහ ළදරුවන් සහ කුඩා දරුවන්ගේ දෙමව්පියන් හෝ යුවළයන් සහ පවුල්වලින් පිරුණු සභාවක තනිකඩව සිටින කෙනෙකු පවා වෙන්න පුළුවන්. ඒ වසර ගණනාවක් ඈත්ව සිටීමෙන් පසු නැවත පැමිණීමට ධෛර්යය උපදවා ගන්නා කෙනෙකු වෙන්නත් පුළුවන්, නැතහොත් තමන් කිසිදා සමාන නොවන බවත් කිසිදා අයිති නොවනු ඇති බවත් නිරන්තරයෙන් දැනෙන කෙනෙකු වෙන්න පුළුවන්.
සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා: “ඔබේ කොට්ඨාශයේ සිටින යුවළක් දික්කසාද වුවහොත් හෝ තරුණ ධර්මදූතවරයෙකු කලින් නිවසට පැමිණියහොත් හෝ යෞවනයෙකු ඔහුගේ සාක්ෂිය ගැන සැක කළහොත්, ඔවුන්ට ඔබේ විනිශ්චය අවශ්‍ය වෙන්නෙ නැහැ. ඔවුන් අත්විඳිය යුත්තේ [අපේ] වචනවලින් සහ ක්‍රියාවෙන් පිළිබිඹු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමයයි.”
සභාව තුළ අපගේ අත්දැකීම් අපගේ අධ්‍යාත්මික හා චිත්තවේගීය යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන ස්වාමින්වහන්සේ සමඟ සහ එකිනෙකා සමඟ අත්‍යවශ්‍ය සම්බන්ධතා සැපයීම අරමුණු කරනවා. බව්තීස්මයෙන් පටන් ගෙන, අපි දෙවියන්වහන්සේ සමඟ කරන ගිවිසුම්වලට අන්තර්ගත වන්නේ, දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයන් ලෙස, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සාමාජිකයන් ලෙස, එකිනෙකාට ප්‍රේම කිරීම සහ රැකබලා ගැනීම අපගේ වගකීම මිස, අපෙන් අපේක්ෂා කරන කළ යුතු දේවල් ලැයිස්තුවක කොටුවක් සලකුණු කිරීම නෙමේ.
ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ප්‍රේමය සහ රැකබලා ගැනීම උසස් වගේම ශුද්ධයි. ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමය කියන්නේ දයාව. සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා, “එකිනෙකා මත බර ගොඩගැසීමට වඩා ‘එකිනෙකාගේ බර උසුලන්නට’[මොසායා 18:8] දයාව අපව පොලඹවනවා.”
ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවා: “ඔබ සැම එකිනෙකාට ප්‍රේම කරනවා නම්, ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” සභාපති නෙල්සන් තවදුරටත් මෙසේ පැවසුවා: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකුගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ දයාවයි.” “ගැලවුම්කරුවාණන්ගේ පණිවිඩය පැහැදිලියි: උන්වහන්සේගේ සැබෑ ගෝලයන් අනෙක් අයව ගොඩනගනවා, ඔසවනවා, දිරිගන්වනවා, ඒත්තු ගන්වනවා, සහ ප්‍රබෝධමත් කරනවා. … අපි අන් අය සමඟ කතා කරන ආකාරය සහ ඔවුන් ගැන කතා කරන ආකාරය … ඇත්තෙන්ම වැදගත්.”
මේ පිළිබඳව ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම ඉතා සරලයි. එය රන් අණෙහි මෙසේ සාරාංශගත කර තිබෙනවා: අන් අය ඔබට කරනවාට ඔබ කැමති දේ අන් අයට කරන්න. ඔබ ඒ පුද්ගලයාගේ ස්ථානයේ සිටියා නම්, ඔබට ඔවුන් සලකනවාට කැමති ආකාරයටම ඔබත් ඔවුන්ට සලකන්න.
ක්‍රිස්තුස්වහන්සේ මෙන් අන් අයට සැලකීම අපගේ පවුල් සහ සමූහයන්ට වඩා බොහෝ සෙයින් ඔබ්බට යනවා. එයට අපගේ අනෙකුත් ඇදහිලිවල හෝ කිසිසේත්ම ඇදහිල්ලක් නොමැති සහෝදරියන් සහ සහෝදරයන් ඇතුළත් වෙනවා. එයට වෙනත් රටවලින් සහ සංස්කෘතීන්ගෙන් පැමිණි අපගේ සහෝදර සහෝදරියන් මෙන්ම විවිධ දේශපාලන මතිමතාන්තර ඇති අය ද ඇතුළත් වෙනවා. අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ පවුලේ කොටසක් වන අතර, උන්වහන්සේ තම සියලු දරුවන්ට ප්‍රේම කරනවා. උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේට ප්‍රේම කරනවාට මෙන්ම, එකිනෙකාට ප්‍රේම කරනවාට උන්වහන්සේ ආශා කරනවා.
සමාජය විසින් බැහැර කරන ලද සහ අපවිත්‍ර වූවන් ලෙස විනිශ්චය කරන ලද අයට පවා ප්‍රේම කිරීම, එක්රැස් කිරීම සහ ඔසවා තැබීම පිළිබඳ ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය ආදර්ශයක් වුණා. අපට අනුගමනය කිරීමට අණ කර ඇති ආදර්ශය තමයි උන්වහන්සේ. ක්‍රිස්තුස්වහන්සේට සමාන ගුණාංග වර්ධනය කර ගෙන අවසානයේ අපගේ ගැලවුම්කරුවාණන් මෙන් වෙන්නයි අපි මෙහි සිටින්නේ. උන්වහන්සේගේ ශුභාරංචිය කළ යුතු දේවල් ලැයිස්තු වල ශුභාරංචියක් නෙමේ—එය උන්වහන්සේ සිටින ආකාරය බවට පත්වීම සහ උන්වහන්සේ මෙන් ප්‍රේම කිරීම පිළිබඳ ශුභාරංචියක්. අප සයන් හි ජනතාවක් වීම උන්වහන්සේට අවශ්‍ය වෙනවා.
මට වයස අවුරුදු 20 ගණන්වල අගභාගයේ දී, මම දැඩි මානසික අවපීඩනයකට මුහුණ දුන්නා, ඒ කාලය තුළ, දෙවියන්වහන්සේ සිටින බවට යථාර්ථය හදිසියේම නැති වී ගියා වගේ දැනුණා. මට සම්පූර්ණයෙන්ම අතරමං වුණා වගේ දැනුණා කියන එක ඇරෙන්න ඒ හැඟීම මට සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. මම කුඩා කාලයේ සිටම, ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේ එහි සිටින බවත්, මට උන්වහන්සේ සමඟ කතා කළ හැකි බවත් මම දැන සිටියා. නමුත් ඒ කාලය තුළ, දෙවි කෙනෙක් ඉන්නවාද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මගේ ජීවිතේ කවදාවත් මම ඒ වගේ දෙයක් අත්විඳලා තිබුණේ නැහැ, ඒ වගේම මගේ මුළු අත්තිවාරමම කඩා වැටෙනවා වගේ දැනුණා.
එහි ප්‍රතිඵලයක් විදිහට මට සභාවට යන්න අමාරු වුණා. මම ගියා, නමුත් ඒකට හේතුව වුණේ මාව “අක්‍රිය” හෝ “ඇදහිල්ල අඩු” කියා ලේබල් කරයි යන බිය සහ යමෙකුගේ පවරන ලද කාර්යයක් බවට පත්වීමට මා බිය වීමයි. ඒ කාලය තුළ මට ඇත්තටම අවශ්‍ය වූයේ විනිශ්චය නොව, මා වටා සිටින අයගෙන් සැබෑ ආදරය, අවබෝධය සහ සහයෝගය දැනීමයි.
මිනිසුන් මා ගැන ඇති කර ගනී යැයි මම බිය වූ සමහර උපකල්පන, අනෙක් අය නිතිපතා සභාවට නොයන විට මම ඔවුන් ගැන ද ඇති කර ගත්තා. ඒ වේදනාකාරී පෞද්ගලික අත්දැකීම, එකිනෙකාව අධර්මිෂ්ඨ ලෙස විනිශ්චය නොකරන්න කියා අපට අණ කර ඇත්තේ ඇයි කියලා වටිනා පාඩම් කිහිපයක් මට ඉගැන්නුවා.
ප්‍රතිචාරය කුමක් වේදැයි නොදන්නා නිසා, තම සැඟවුණු පීඩාවන් දැන ගනී යැයි බියෙන්, නිහඬව දුක් විඳින අන් අය අප අතර සිටිනවා ද?
අප එක් එක්කෙනා අපගේ ජීවන ධාවන තරඟය පවත්වාගෙන යන දුෂ්කරතාවේ සැබෑ මට්ටම—බොහෝ විට අන් අයට නොපෙනෙන බර, අභියෝග සහ අප මුහුණ දෙන බාධක, හොඳින්ම දන්නේ ස්වාමින්වහන්සේ විතරයි. අතීතයේ අප අත්විඳ ඇති, වර්තමානයේ පවා අපට බලපාන ජීවිතය වෙනස් කරන තුවාල සහ කම්පනය සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නේ උන්වහන්සේ විතරයි.
බොහෝ විට, අපි ධාවන පථයේ බොහෝ ඉදිරියෙන් සිටිය යුතු යැයි සිතමින්, අපි අපවම දැඩි ලෙස විනිශ්චය කරගන්නවා. අපගේ පුද්ගලික සීමාවන් සහ ධාරිතාව සම්පූර්ණයෙන්ම දන්නේ ස්වාමින්වහන්සේ විතරක්, වන නිසා, අපගේ ක්‍රියාකාරිත්වය විනිශ්චය කිරීමට සම්පූර්ණයෙන්ම සුදුසුකම් ලත් එකම තැනැත්තා උන්වහන්සේයි.
සහෝදරියනි සහ සහෝදරයෙනි, අපගේ තත්වයන් කුමක් වුවත්, කතාවේ සිටින නරඹන්නන් මෙන් වී අපගේ ගෝලත්වයේ ගමනේ දී එකිනෙකාට ඔල්වරසන් දෙමු! ඒ සඳහා අපට නීති කඩ කිරීමට හෝ ප්‍රමිතීන් පහත් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම අප අපටම ප්‍රේම කරනවා මෙන් අපගේ අසල්වැසියාටත් ප්‍රේම කිරීම—දෙවන ශ්‍රේෂ්ඨ ආඥාවයි. අපගේ ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවා, යහපත වුණත් අයහපත වුණත්, “ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටය.” උන්වහන්සේ අපට මෙසේද පැවසුවා; “ඒකත්වයක් වන්න; තවද නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය.”
අපි හැමෝගෙම ජීවිතවල යම් යම් අවස්ථාවල දී උදව් සහ දිරිගැන්වීම් අවශ්‍ය වන අවස්ථා එනවා. දැන් අපි එකිනෙකා වෙනුවෙන් සැමවිටම එසේ කිරීමට කැප වෙමු. අපි එසේ කරන විට, අපි වැඩි එකමුතුවක් වර්ධනය කර ගන්නා අතර, අප සෑම කෙනෙකුම සුව කිරීමේ සහ පරිවර්තනය කිරීමේ උන්වහන්සේගේ පූජනීය කාර්යය කිරීමට ගැලවුම්කරුවාණන්ට අවකාශයක් ලබා දෙනවා.
මේ ජීවන තරඟයේ, මේ ලෞකික ගමනේ දී ඔබ බොහෝ පසුපසින් සිටින බව හැඟෙන ඔබ සෑම කෙනෙකුම, කරුණාකර ඉදිරියට යන්න. මේ අවස්ථාවේ දී ඔබ සිටිය යුත්තේ කොතැනද යන්න සම්පූර්ණයෙන්ම විනිශ්චය කළ හැක්කේ ගැලවුම්කරුවාණන්ට පමණයි, උන්වහන්සේ දයානුකම්පිතයි හා සාධාරණයි. ජීවන තරඟයේ ශ්‍රේෂ්ඨ විනිශ්චයකරු උන්වහන්සේ වන අතර, ඔබ දුවන, ඇවිදින හෝ එහා මෙහා යන දුෂ්කරතා මට්ටම සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නා එකම තැනැත්තා උන්වහන්සේ විතරයි. උන්වහන්සේ ඔබේ සීමාවන්, ඔබේ ධාරිතාව, ඔබේ ජීවිත අත්දැකීම් සහ ඔබ උසුලාගෙන යන සැඟවුණු බර මෙන්ම ඔබේ හදවතේ ආශාවන් ද සැලකිල්ලට ගනු ලබනවා. ඔබ ඇත්තටම සංකේතාත්මක ලෝක වාර්තා බිඳ දමමින් සිටිනවා වෙන්න පුළුවන්. කරුණාකර බලාපොරොත්තු සුන් කරගන්න එපා. කරුණාකර, දිගටම කරගෙන යන්න! කරුණාකර රැඳී සිටින්න! ඔබ ඇත්තෙන්ම අයිතියි! ස්වාමින්වහන්සේට ඔබව අවශ්‍යයි, අපිට ඔබව අවශ්‍යයි!
ඔබ ලෝකයේ කොතැනක ජීවත් වුවත්, එය කොතරම් දුරස්ථ වුවත්, ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ ඔබේ ගැලවුම්කරුවාණන් ඔබව සම්පූර්ණයෙන්ම දන්නා බවත් ඔබට පරිපූර්ණ ලෙස ප්‍රේම කරන බවත් කරුණාකර සැමවිටම මතක තබා ගන්න. උන්වහන්සේලා ඔබව කිසිදා අමතක කරන්නේ නැහැ. උන්වහන්සේලාට ඔබව ගෙදර ගෙනියන්න ඕන.
ගැලවුම්කරුවාණන් වෙතට ඔබේ ඇස තබා ගන්න. උන්වහන්සේ ඔබේ යකඩ අත්වැලයි. උන්වහන්සේව අතහරින්න එපා. උන්වහන්සේ ජීවමාන බවත් ඔබට උන්වහන්සේව විශ්වාස කරන්න පුළුවන් කියලත් මම සාක්ෂි දරනවා. උන්වහන්සේ ඔබව දිරිමත් කරන බවට මම සාක්ෂි දරනවා.
අපි සැවොම ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කර එකිනෙකාට ඔල්වරසන් දෙමු, මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මගේ යාච්ඤාවයි, ආමෙන්.