නුඹලාව කැඳවනු ලබන නාමය
ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් කැඳවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
ස්වාමින්වහන්සේ අපට කෙලින්ම කතා කරන්නේ නම්, උන්වහන්සේ අපට තේරුම් ගැනීමට වග බලා ගන්නා පළමු දෙය වනේ අපගේ සැබෑ අනන්‍යතාවයයි: එනම් අපි දෙවියන්වහන්සේගේ දරුවන්, ගිවිසුමේ දරුවන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් බව සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා තිබෙනවා. වෙනත් ඕනෑම තනතුරක් අවසානයේ අපව කලකිරීමට පත් කරනවා.
මගේ වැඩිමහල් පුතාට ඔහුගේ පළමු ජංගම දුරකථනය ලැබුණු විට මම මේ ගැන තනිවම ඉගෙන ගත්තා. මහත් උනන්දුවෙන් යුතුව, ඔහු තම පවුලේ අයගේ සහ මිතුරන්ගේ නම්, ඔහුගේ සම්බන්ධතා ලැයිස්තුවට ඇතුළත් කිරීමට පටන් ගත්තා. දවසක් මම දැක්කා එයාගේ අම්මා දුරකථන ඇමතුමක් ගන්නවා. තිරය මත “අම්මා” යන නම දිස් වුණා. ඒක ඥානවන්ත හා ගෞරවනීය තේරීමක්—ඒ වගේම ඒක අපේ ගෙදර ඉන්න හොඳම මව්පියාට ගරු කිරීමේ ලකුණක් කියලා මම පිළිගන්නවා. ස්වාභාවිකවම, මට කුතුහලයක් ඇති වුණා. ඔහු මට දුන් නම මොකක් වෙන්න ඇති ද?
වෙන්ඩි “අම්මා” නම්, මම “තාත්තා” විය යුතු යැයි උපකල්පනය කරමින් මම ඔහුගේ සම්බන්ධතා ලැයිස්තුව හරහා අනුචලනය කළා. ඒත් ඒක තිබුණේ නැහැ. මම “Dad” කියලා හෙව්වා. තවමත් කිසිවක් නැහැ. මගේ කුතුහලය මෘදු කනස්සල්ලකට හැරුණා. “එයා මට ‘කෝරි’ කියල ද කියන්නේ?” නෑ. අන්තිම උත්සාහයේ දී, මම හිතුවා, “අපි පාපන්දු ක්‍රීඩකයෝ නිසා—සමහරවිට එයා මට ‘පේලේ’ කියලා කතා කරනවා ඇති.” බලපොරොත්තු සහිත සිතුවිල්ලක්. අන්තිමේ දී, මම ඔහුගේ අංකයට ඇමතුමක් ගත්තා, එවිට ඔහුගේ තිරය මත වචන දෙකක් දිස් වුණා: “අම්මා නෙවෙයි”!
සහෝදර සහෝදරියනි, ඔබව හඳුන්වන්නේ කුමන නමින් ද?
යේසුස්වහන්සේ තම අනුගාමිකයන්ට ගෝලයන් වැනි විවිධ නම්වලින් කතා කළා. පුතුන් සහ දියණියන්. අනාගතවක්තෘවරුන්ගේ දරුවන්. බැටළුවන්. මිතුරන්. ලෝකයේ ආලෝකය. ශුද්ධවන්තයන්. මේ සෑම එකක්ම සදාකාලික වැදගත්කමක් දරන අතර ගැලවුම්කරුවාණන් සමඟ පෞද්ගලික සම්බන්ධතාවයක් අවධාරණය කරනවා.
නමුත් මෙම නම් අතරින් එකක් අනෙක් ඒවාට වඩා ඉහළින් පවතිනවා—ඒ තමයි ක්‍රිස්තුස්වහන්සේගේ නාමය. මොර්මන්ගේ පොතේ, බෙන්ජමින් රජු බලවත් ලෙස මෙසේ ඉගැන්නුවා:
“ගැලවීම ගෙන එන වෙනත් නාමයක් ලබා දී නොමැත; එසේහෙයින්, … නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නුඹලා වෙත ගන්නා බැවින් මම කැමැත්තෙමි. …
“තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් මෙය සිදු කරන්නා වූ කවරෙක් වූවත් දෙවියන්වහන්සේගේ දකුණු හස්තය දෙසින් සිටිනු ඇත, මක්නිසාද ඔහු කැඳවනු ලබන නාමය ඔහු දැන ගනු ඇත්තේය; මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔහුව කැඳවනු ලබන්නේය.”
ක්‍රිස්තුස්වහන්සේගේ නාමය තමන් වෙතට ගන්නා අය උන්වහන්සේගේ ගෝලයන් හා සාක්ෂිකරුවන් බවට පත්වෙනවා. ක්‍රියා පොතේ අපි කියවන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමෙන් පසු, තෝරාගත් සාක්ෂිකරුවන්ට ආඥා කළේ යේසුස්වහන්සේව විශ්වාස කර, බව්තීස්ම වී, ශුද්ධාත්මයාණන් ලැබූ ඕනෑම කෙනෙකුට පව් සමාව ලැබෙන බවට සාක්ෂි දීමටයි. මෙම පූජනීය නියෝග ලැබූ අය සභාව සමඟ එක්රැස් වී, ගෝලයන් බවට පත් වූ අතර, ඔවුන්ව කිතුනුවන් ලෙස හැඳින්නුවා. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ව කිතුනුවන් ලෙසත්, ගිවිසුම්ගත ජනතාවව “ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්, උන්වහන්සේගේ පුත්‍රයන් සහ දූවරුන්” ලෙසත් මොර්මන්ගේ පොත විස්තර කරනවා.
ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් කැඳවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් වන්නෙ ගිවිසුම් ඇති කර ගැනීම සහ පවත්වා ගැනීම, උන්වහන්සේව සැමවිට සිහි කිරීම, උන්වහන්සේගේ ආඥා රක්ෂා කිරීම, සහ “දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස සෑමවිටම සහ සෑම දෙයකදීම සිට ගැනීමට කැමැත්තෙන් සිටීමයි.” එහි තේරුම තමයි, ලොව පුරා ක්‍රිස්තුස්වහන්සේගේ පණිවිඩය—එහි මූලධර්ම, ගිවිසුම් සහ නියෝග සමඟ—රැගෙන යන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් සමඟ සිටීම. එහි තේරුම තමයි දුක් වේදනා සමනය කිරීමට සහ ආලෝකයක් වීමට සහ සියලු මිනිසුන්ට ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුව ගෙන ඒමට අන් අයට සේවය කිරීම. ඇත්ත වශයෙන්ම, මෙය ජීවිත කාලය පුරාම සිදුවන ලුහුබැඳීමක්. “මෙය කිසිවෙක් එක මොහොතකින් නොපැමිණි ස්ථානයක් බව” අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙලෙස ඉගැන්වුවා.
ගෝලත්වයේ ගමන “පේළියෙන් පේළියට, ආඥාවෙන් ආඥාවට” ගොඩනඟා ගැනීමට කාලය සහ වෑයම අවශ්‍ය වන නිසා, ලෞකික නාමයන් වලට හසු වීම පහසුයි. මේවා තාවකාලික වටිනාකමක් පමණක් ලබා දෙන අතර කිසි විටෙකත් ඒවා පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. මිදීම සහ සදාකාලික දේවල් “ශුද්ධ වූ මෙසියස්වහන්සේ තුළින් සහ උන්වහන්සේ මගින් පමණක් පැමිණෙනවා.” එමනිසා, විශේෂයෙන් තරඟකාරී හඬවල් සහ බලපෑම් රාශියක් ඇති යුගයක, අනුගාමිකත්වය ප්‍රමුඛතාවයක් බවට පත් කිරීම සඳහා අනාවැකිමය උපදෙස් අනුගමනය කිරීම කාලෝචිත හා ප්‍රඥාවන්ත දෙයක්. “එනම් නුඹලාගේ හදවත් තුළ ලියා ඇති [ක්‍රිස්තුස්වහන්සේගේ] නාමය සැමවිටම තබා ගැනීමට නුඹලා මතක තබා ගන්නේ නම් මම කැමැත්තෙමි, … එනම් නුඹලා ඇසෙන සහ දන්නා හඬ මඟින් නුඹලා කැඳවනු ලබන්නා වූ, තවද එසේම, උන්වහන්සේ විසින් නුඹලා කැදවනු ලබන නාමය වන්නේය” යනුවෙන් බෙන්ජමින් රජු පැවසූ විට ඔහුගේ උපදෙස තුළ නියම අරුත වූයේ මෙයයි.
මම මේක මගේම පවුලෙන් දැක තිබෙනවා. නිහතමානී ශාඛා සභාපතිවරයෙකු ගැලවුම්කරුවාණන්ගේ ඇමතුමට පිළිතුරු දුන් නිසා මගේ සීයා වන මාටින් ගැස්නර් සදහටම වෙනස් වී තිබුණා. 1909 දී ජර්මනියේ කාලය දුෂ්කර වූ අතර මූල්‍යමය වශයෙන් අසීරු වුණා. මාටින් සේවය කළේ නල නිෂ්පාදන කම්හලක පෑස්සුම්කරුවෙකු ලෙස යි. ඔහුගේම පිළිගැනීමට අනුව, බොහෝ වැටුප් දින අවසන් වූයේ මත්පැන් පානය කිරීම, දුම්පානය කිරීම සහ සුරාසැලේ මිල දී ගැනීම් වටයකින්. ඔහු වෙනස් නොවන්නේ නම් ඇය ඔහුව හැර යන බවට ඔහුගේ බිරිඳ අවසානයේ ඔහුට අනතුරු ඇඟෙව්වා.
දිනක්, මාටින්ගේ සගයා ඔහුව සුරාසැලට යන අතරමග දී මුණගැසුණු විට ඔහුගේ අතේ තැළුණු ආගමික පොත් පිංචක් තිබුණා. ඔහු එය සොයාගෙන තිබුණේ පාරේ වැටී තිබියදීයි, ඉන්පසු එහි තිබූ, Was wissen Sie von den Mormonen? නැත්නම් මොර්මන්වරුන් ගැන ඔබ දන්නේ කුමක් ද? යන පත්‍රිකාව කියවීමෙන් පසු තමාට වෙනස් දෙයක් දැනුණු බව මාටින්ට පැවසුවා. එහි මාතෘකාව වෙනස් වී ඇති බව මට විශ්වාසයි.
පිටුපස ලිපිනයක් මුද්‍රා කර තිබූ අතර, සභාව පිහිටා ඇති ස්ථානය තේරුම් ගැනීමට තරම් එය පැහැදිලිව තිබුණා. එය තිබුණේ සැලකිය යුතු දුරකින්, නමුත් ඔවුන් කියවූ දෙයින් ඔවුන් පෙලඹී, ඒ පිළිබඳව සොයා බැලීමට දුම්රියෙන් යාමට එම ඉරිදා ඔවුන් තීරණය කළා. ඔවුන් පැමිණි විට, ලිපිනය ඔවුන් අපේක්ෂා කළ සභාව නොව නමුත් අවමංගල්‍ය නිවසක් බව ඔවුන්ට පෙනී ගියා. මාටින් පසුබට වුණා—මොකද ඇත්තටම අවමංගල්‍ය නිවසක සභාවක් කියන්නෙ පැකේජ ගනුදෙනුවක් මෙන් ටිකක් ඕනාවට වඩා වැඩි දෙයක්.
නමුත් උඩුමහලේ, කුලියට ගත් ශාලාවක, ශුද්ධවන්තයන්ගේ කුඩා කණ්ඩායමක් ඔවුන් සොයාගත්තා. එක් මිනිසෙක් ඔවුන්ට සාක්ෂි රැස්වීමකට ආරාධනා කළා. මාටින්ව ආත්මයාණන් විසින් ස්පර්ශ කරන ලද අතර සරල, උද්‍යෝගිමත් සාක්ෂිවලින් ඔහු කොතරම් පැහැදුණා ද යත් ඔහු තම සාක්ෂිය දැරුවා. ඒ වඩාත්ම අසම්භාව්‍ය ස්ථානයේ දී, ඒ වගේම ඒක ඇත්ත වෙන්න ඇති කියලා ඔහු දැනටමත් දන්නවා කියලා පැවසුවා.
පසුව, එම පුද්ගලයා ඔහුව ශාඛා සභාපතිවරයා ලෙස හඳුන්වා දී ඔවුන් නැවත පැමිණෙනවා දැයි ඔවුන්ගෙන් විමසුවා. තමා බොහෝ දුර ජීවත් වන බවත් සතිපතා ගමනට මුදල් වැය කළ නොහැකි බවත් මාටින් පැහැදිලි කළා. ශාඛා සභාපතිවරයා සරලව මෙහෙම පැවසුවා “මා සමඟ එන්න.”
ශාඛා සභාපතිවරයාගේ මිතුරා සේවය කළ අසල පිහිටි කර්මාන්ත ශාලාවකට ඔවුන් කෙටි දුරක් පයින් ගමන් කළා. කෙටි සංවාදයකින් පසු, මාටින් සහ ඔහුගේ මිතුරා යන දෙදෙනාටම රැකියා පිරිනමනු ලැබුවා. ඉන්පසු ශාඛා සභාපතිවරයා ඔවුන්ව මහල් නිවාස ගොඩනැගිල්ලකට ගෙන ගොස් ඔවුන්ගේ පවුල් සඳහා නිවාස ලබා දුන්නා.
මේ සියල්ල සිදුවුණේ පැය දෙකක් ඇතුළත. මාටින්ගේ පවුල ඊළඟ සතියේ එහි පදිංචියට ගියා. මාස හයකට පසු ඔවුන් බව්තීස්ම වුණා. බලාපොරොත්තු රහිත බේබද්දෙකු ලෙස කලක් ප්‍රසිද්ධව සිටි මිනිසා තම නව ඇදහිල්ල තුළ කොතරම් උද්‍යෝගිමත් වූවාද කිවහොත් නගරයේ ජනයා ඔහුව “පූජකයා” ලෙස හැඳින්වීමට පටන් ගත්තා, සමහරවිට එසේ කළේ එතරම් ආදරයෙන් නොවේ.
ශාඛා සභාපතිවරයා සම්බන්ධයෙන්, මට ඔහුගේ නම ඔබට කියන්නට බැහැ—ඔහුගේ අනන්‍යතාවය කාලයත් සමඟ නැති වී ගොස් තිබෙනවා. නමුත් මම ඔහුව හඳුන්වන්නේ ගෝලයෙක්, තානාපතිවරයෙක්, කිතුනුවකු, යහපත් සමරිතානුවෙක් සහ මිතුරෙක් ලෙසයි. ඔහුගේ බලපෑම වසර 116 කට පසුවත් තවමත් දැනෙන අතර, මම ඔහුගේ අනුගාමිකත්වයේ උරහිස් මත සිටිනවා.
“ඔබට ඇපල් ගෙඩියක බීජ ගණන් කළ හැකිය නමුත් ඔබට එක් බීජයකින් එන ඇපල් ගණන් කළ නොහැක, ලෙස කියමනක් තිබෙනවා. එම ශාඛා සභාපතිවරයා විසින් රෝපණය කරන ලද බීජය අසංඛ්‍යාත ඵල දරා තිබෙනවා. වසර 48 කට පසු, තිරයේ දෙපස මාටින්ගේ පවුලේ පරම්පරා කිහිපයක් බර්න් ස්විට්සර්ලන්ත දේවමාළිගාවේ මුද්‍රා තබන බව ඔහු දැන සිටියේ නෑ.
සමහරවිට ශ්‍රේෂ්ඨතම දේශනා වන්නේ අපට කිසිදා නොඇසෙන දේශනා වෙන්න පුළුවන්, ඒවා යේසුස්වහන්සේ මෙන් වීමට උත්සාහ කරමින් යහපත කරමින් ගමන් කරන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල නිරීක්ෂණය කරන ලද නිහඬ, නිහතමානී ක්‍රියා සහ ක්‍රියාවන් තුළින් අපට දැකගත හැකි ඒවා වෙන්න පුළුවන්. මෙම කරුණාවන්ත ශාඛා සභාපතිවරයා කළේ පිරික්සුම් ලැයිස්තුවක කොටසක් නොවේ. ඇල්මාගේ පොතේ විස්තර කර ඇති පරිදි ඔහු සරලව ශුභාරංචිය අනුව ජීවත් වෙමින් සිටියා: “ඔවුන් නිර්වස්ත්‍රව හෝ එනම් කුසගින්නෙන් පෙළෙන්නාවූ, හෝ එනම් පිපාසයෙන් පෙළෙන්නාවූ, හෝ එනම් රෝගීවූ, හෝ එනම් පෝෂණය නොලැබූ කිසිවෙකුව පිටත් කර හැරියේ නොමැත, … ඔවුන් සියලුම වයසක සහ තරුණ දෙගොල්ලන්ටම, , … තාග්‍යශිලි වූවෝය.” ඒවගේම, අප නොසලකා හැරිය යුතු නැති කරුණක් තමයි, ඔවුන් “සභාවෙන් පිටත නැතහොත්හෝ සභාව තුළ” කිසිවෙකුව පිටත් කර හැරියේ නැහැ.
ජෝසෆ් ස්මිත් පැවසූ පරිදි, ක්‍රිස්තුස්වහන්සේගේ නාමය තමන් වෙතට ගන්නා අය, “දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරුණු මිනිසෙකු, තම පවුලට පමණක් ආශිර්වාද කිරීමෙන් සෑහීමකට පත් නොවී, මුළු මිනිස් සංහතියටම ආශිර්වාද කිරීමට උත්සුකව, මුළු ලෝකය පුරාම ගමන් කරයි.”
යේසුස්වහන්සේ ජීවත් වුණේ මෙහෙමයි. ඇත්ත වශයෙන්ම, උන්වහන්සේ බොහෝ දේ කළ නිසා උන්වහන්සේගේ ගෝලයන්ට ඒ සියල්ල ලියා තැබිය නොහැකි වුණා. ප්‍රේරිත යොහන් මෙසේ වාර්තා කළා, “යේසුස්වහන්සේ කළ වෙනත් බොහෝ දේවල්ද ඇත්තේය, ඒවා එකින් එක ලියන ලද්දේ නම්, ලියනු ලබන පොත් දරන්ට ලෝකයත් මදියයි සිතමි.”
අපි අන් අය සමඟ අන්තර් ක්‍රියා කරන සෑම අවස්ථාවකම, ඔවුන්ට දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ ශුද්ධාත්මයාණන්ගේ තහවුරු කිරීමේ බලය දැනීමට, යහපත කරමින් සහ අනුගාමිකයෙකු වීම ජීවිත කාලය පුරාම ප්‍රමුඛතාවයක් කර ගනිමින් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරමු. එවිට අපට මගේ සීයා සහ ප්‍රේරිත ඇන්ඩෘ මෙන් “අපට මෙසියස්වහන්සේ සම්බ වූ සේක” යනුවෙන් ප්‍රකාශ කළ මිලියන සංඛ්‍යාත පුද්ගලයින් සමඟ එක්වෙන්න පුළුවන්.
අවසානයේ දී, අපගේ අනන්‍යතාවය ලෝකය විසින් නිර්වචනය කෙරෙන්නේ නෑ. නමුත් අපගේ අනුගාමිකත්වය අර්ථ දැක්වෙන්නේ අපට ලැබෙන නියෝග, අප පවත්වන ගිවිසුම් සහ යහපත කිරීමෙන් දෙවියන්වහන්සේට සහ අසල්වැසියාට පෙන්වන ප්‍රේමය මගින්. සභාපති නෙල්සන් ඉගැන්වූ පරිදි, අපි සැබවින්ම දෙවියන්වහන්සේගේ දරුවන්, ගිවිසුමේ දරුවන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමාන බවත් අපව මුදවා ගත් බවත් මම සාක්ෂි දරනවා. “මම නුඹේ නම කියා හඬගැසීමි, නුඹ මාගේ ය” කියා පැවසූ තැනැන්වහන්සේ උන්වහන්සේයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.