ප්‍රධාන සම්මන්ත්‍රණය
සිනාමුසු මුහුණු සහ කෘතඥපූර්වක හදවත්
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:52

සිනාමුසු මුහුණු සහ කෘතඥපූර්වක හදවත්

ජීවිතයේ අභියෝගවලට සහ වර්ධනය වන සභාවක අවශ්‍යතා වලට මුහුණ දෙන විට, අප්‍රිකාවේ අපගේ ශුද්ධවන්තයන්ගේ ශ්‍රේෂ්ඨත්වය වඩාත් පැහැදිලි වුණා.

වසරකට මඳක් වැඩි කාලයකට කලින්, හැත්තෑවරුන්ගේ සභාපතිත්වයේ මගේ පැවරුමෙන් මාව නිදහස් කළ අතර, මෙම වෙනස ප්‍රධාන සම්මන්ත්‍රණයේ දී නිවේදනය කළා. ගෞරව සහිතව විශ්‍රාමලත් අය බවට පත්වන ප්‍රධාන අධිකාරීවරුන් සමඟම මගේ නම කියවා තිබූ නිසා, බොහෝ දෙනෙක් සිතුවේ මමත් මගේ සේවා කාලය අවසන් කරනවා කියලයි. සම්මන්ත්‍රණයෙන් පසු, මගේ ජීවිතයේ ඊළඟ අදියර සඳහා කෘතඥතාව පළ කරන සහ සුබ පැතුම් එක් කරන පණිවිඩ රාශියක් මට ලැබුණා. සමහරු උතුරු සෝල්ට් ලේක් හි මගේ නිවස මිල දී ගැනීමට පවා ඉදිරිපත් වුණා. මාව ගොඩක් මතක් වෙයි කියලා දැනගන්න ලැබුණු එක සතුටක්, ඒ වගේම මම වැඩ ඉවර උනාම අපේ ගේ විකුණන්න කිසිම කරදරයක් වෙන්නේ නැහැ කියලා දැනගන්න ලැබුණු එකත් සතුටක්. නමුත් මම තවම එතනට ඇවිත් නැහැ.

මගේ අලුත් පැවරුමෙන් මාව සහ මොනිකාව, සභාව සමෘද්ධිමත් වෙමින් පවතින තැනක් වුණු ලස්සන අප්‍රිකාවට ගෙන ගියා. අප්‍රිකානු දකුණු ප්‍රදේශයේ ඇදහිලිවන්ත ශුද්ධවන්තයන් අතර සේවය කිරීමටත්, ඔවුන් කෙරෙහි වූ ස්වාමින්වහන්සේගේ ප්‍රේමය දැකීමටත් ලැබීම ආශිර්වාදයක් වී තිබෙනවා. සාර්ථක හා හොඳින් අධ්‍යාපනය ලැබූ බොහෝ සභා සාමාජිකයින් ඇතුළුව, සියලු පසුබිම්වල පරම්පරාගත පවුල් තම කාලය හා කුසලතා අන් අයට සේවය කිරීම සඳහා කැප කිරීම දැකීම ආශ්වාදජනකයි.

ඒ අතරම, පළාතේ ජන විකාශනය අනුව, බොහෝ සාමාන්‍ය ආදායම්ලාභීන් සභාවට බැඳී, දසයෙන් කොටස ගැන ඇදහිලිමත් වීමේ ආශිර්වාදය සහ සභාව විසින් පිරිනමනු ලබන අධ්‍යාපනික අවස්ථා තුළින් ඔවුන්ගේ ජීවිත පරිවර්තනය කරමින් සිටිනවා. Succeed in School, EnglishConnect, BYU–Pathway Worldwide, සහ Perpetual Education Fund වැනි වැඩසටහන් බොහෝ ජීවිතවලට, විශේෂයෙන් නැගී එන පරම්පරාවේ ජීවිතවලට ආශිර්වාද කරනවා.

සභාපති ජේම්ස් ඊ. ෆවුස්ට් වරක් මෙසේ ප්‍රකාශ කළා, “මේ සභාව අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨ මිනිසුන් ආකර්ෂණය නොකරන නමුත් බොහෝ විට සාමාන්‍ය මිනිසුන් ශ්‍රේෂ්ඨ කරයි කියලා කියනවා.”

ජීවිතයේ අභියෝගවලට සහ වර්ධනය වන සභාවක අවශ්‍යතා වලට මුහුණ දෙන විට, අප්‍රිකාවේ අපගේ ශුද්ධවන්තයන්ගේ ශ්‍රේෂ්ඨත්වය වඩාත් පැහැදිලි වුණා. ඔවුන් සෑම විටම ධනාත්මක ආකල්පයකින් එයට පිවිසෙනවා. ඔවුන් සභාපති රසල් එම්. නෙල්සන්ගේ සුප්‍රසිද්ධ ඉගැන්වීම් හොඳින් පිළිඹිබු කරනවා:

“අපට දැනෙන ප්‍රීතියට අපගේ ජීවිතයේ තත්වයන් හා අපගේ ජීවිතයේ කේන්ද්‍රය සමග එතරම් සම්බන්ධයක් නැහැ.

“අපගේ ජීවිතයේ අවධානය යොමු වී ඇත්තේ දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම … හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය මත නම්, අපගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ—හෝ සිදුනොවන දේ—කුමක් වුවත් අපට ප්‍රීතිය දැනිය හැකියි.”

ඔවුන් අභියෝග මධ්‍යයේ වුවද ඔවුන්ගේ ප්‍රීතිය සොයා ගන්නවා. ගැලවුම්කරුවාණන් සමඟ අපගේ සම්බන්ධතාවය අපට සිනාසෙන මුහුණු සහ කෘතඥපූර්වක හදවත් සමඟ දුෂ්කරතාවන්ට එළඹීමට හැකියාව ලබා දෙන බව ඔවුන් ඉගෙනගෙන තිබෙනවා.

අප්‍රිකානු ශුද්ධවන්තයින්

මොසැම්බික් වලින් පටන් ගෙන, මෙම මූලධර්මය නිරූපණය කරන මෙම ඇදහිලිවන්ත ශුද්ධවන්තයන් සමඟ මගේ අත්දැකීම් කිහිපයක් බෙදා ගැනීමට මට ඉඩ දෙන්න.

මොසැම්බික්

මාස කිහිපයකට පෙර, මම දැනටමත් ඒකක 10 ක් තිබූ අවුරුද්දක් පැරණි ස්ටේක සඳහා ස්ටේක සම්මන්ත්‍රණයක මුලසුන දැරුවා. කුඩා දේවස්ථානය සහ පිටත තබා තිබූ කූඩාරම් තුන 2,000කට අධික පිරිසකින් පිරී ගියා. ස්ටේක සභාපතිවරයාගේ වයස අවුරුදු 31 යි, ඔහුගේ බිරිඳගේ වයස අවුරුදු 26 යි, ඔවුන්ට කුඩා දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔහු මෙම වර්ධනය වන සහ අභියෝගාත්මක ස්ටේකය මෙහෙයවන්නේ කිසිඳු පැමිණිල්ලක් නොමැතිව—සිනාසෙන මුහුණකින් සහ කෘතඥපූර්වක හදවතකින්.

ආදිපීතෘවරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක දී, ඔහුගේ බිරිඳ බරපතල ලෙස රෝගාතුරව සිටින බවත්, ඇයට අවශ්‍ය දේ සැපයීමට ඔහු අරගල කරන බවත් මම දැනගත්තා. ස්ටේක සභාපති සමඟ ගැටලුව කතාබහ කළ පසු, අපි ඇයට පූජකවර ආශිර්වාදයක් ලබා දුන්නා. ඔහු සාමාන්‍යයෙන් ආදිපීතෘ ආශිර්වාද කීයක් ලබා දෙනවා ද කියලා මම ආදිපීතෘවරයාගෙන් විමසුවා.

“අටක් දහයක් පමණ,” කියලා ඔහු කිව්වා.

මම ඇහුවා, “මාසයකට?”

“සතියකට!” කියලා ඔහු පිළිතුරු දුන්නා. සති අන්තයකට එතරම් ගණනක් කිරීම ඥානවන්ත නොවන බවට මම ඔහුට උපදෙස් දුන්නා.

“වැඩිහිටි ගොඩොයි,” ඔහු මෙසේ කිව්වා, “නව සාමාජිකයින් සහ බොහෝ යෞවනයින් ඇතුළුව ඔවුන් සෑම සතියකම එනවා.” නැවතත්, පැමිණිලි නැහැ—සිනාමුසු මුහුණක් සහ කෘතඥපූර්වක හදවතක් විතරයි.

සෙනසුරාදා සවස ස්ටේක සම්මන්ත්‍රණයෙන් පසු, හෝටලයට යන අතරමඟදී, රෑ බෝවී පාර දිගටම ආහාර මිල දී ගන්න පුද්ගලයින් මම දැක්කා. දවල්ට නොකර ගොඩක් කළුවර වැටෙද්දි ඇයි ඔවුන් එහෙම කරන්නේ කියලා මම මගේ රියදුරුගෙන් ඇහුවා. ඔවුන් දවල් කාලයේ වැඩ කරලා පසුව එය කිරීමට මුදල් සොයන බවට ඔහු පිළිතුරු දුන්නා.

“ආහ්, එයාලා අද වැඩ කරන්නේ හෙට ආහාර ගන්න,” මම කිව්වා.

නමුත් ඔහු මාව නිවැරදි කළා: “නැහැ, ඔවුන් දවල් වැඩ කළේ අද රෑට කෑම ගන්න.” අපේ සාමාජිකයින්ට වඩා හොඳ තත්වයක් තිබෙනවා ඇති කියලා මම බලාපොරොත්තු වුණා, නමුත් රටේ ඒ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඒ හා සමානම අභියෝගවලට මුහුණ දුන් බව ඔහු තහවුරු කළා. පසුදා උදෑසන, අපගේ ඉරිදා සැසිවාරය අතරතුර සහ ඔවුන්ගේ තත්වයන් පිළිබඳව අලුතින් දැනගෙන, ඔවුන්ගේ සිනහමුසු මුහුණු සහ කෘතඥපූර්වක හදවත් දැකීමෙන් මම තවත් සංවේගයට පත් වුණා.

සැම්බියාව

ඉරිදා රැස්වීමට යන අතරමග දී, ස්ටේක සභාපතිවරයා සහ මම යුවළක් ළදරුවෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ පාර දිගේ ඇවිදන් යන ආකාරය දැක්කා. අපි ඔවුන්ව වාහනයට නංවා ගන්න නැවැත්තුවා. ඔවුන් පුදුමයටත් සතුටටත් පත් වුණා. දේවස්ථානයට යාමට ඔවුන්ට කොපමණ දුරක් පයින් යන්න ඕනේද කියලා මම ඇසූ විට, දරුවන්ගේ වේගය අනුව එයට විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් ගත වෙන්න පුළුවන් කියා පියා පිළිතුරු දුන්නා ඔවුන් මෙම ගමනට මුහුණ දුන්නේ සෑම ඉරිදාවකම කිසිදු පැමිණිල්ලක් නොමැතිව—සිනාසෙන මුහුණු සහ කෘතඥපූර්වක හදවත් පමණයි.

මලාවි

ස්ටේක සම්මන්ත්‍රණයකට පෙර එක් ඉරිදාවක, මම රජයේ පාසල් රැස්වීම් ශාලා ලෙස භාවිත කරන ශාඛා දෙකකට ගියා. මූලික පහසුකම් පවා නොතිබූ, ගොඩනැගිලිවල තිබූ නිරහංකාර හා නිහතමානී තත්ත්වය ගැන මම කම්පනයට පත් වුණා. මට එහි දී සාමාජිකයන් කිහිප දෙනෙකු මුණගැසුණු නිසා, ඔවුන්ගේ රැස්වීම් ශාලාවේ ප්‍රමාණවත් නොවන තත්වය ගැන මම සමාව අයැදීමට සූදානම්ව සිටියා, නමුත් සුපුරුදු දීර්ඝ ඇවිදීමෙන් වැළකී සිටීමට හැකි වන ලෙස ඔවුන්ට ආසන්නයේම රැස්වීමට ස්ථානයක් තිබීම ගැන ඔවුන් සතුටට පත්ව සිටියා. නැවතත්, පැමිණිලි කිසිවක් තිබුණේ නැහැ—සිනාසෙන මුහුණු සහ කෘතඥපූර්වක හදවත් විතරයි තිබුණේ.

සිම්බාබ්වේ

සෙනසුරාදා නායකත්ව පුහුණුවකින් පස්සේ, ස්ටේක සභාපතිවරයා මාව කුලියට ගත් නිවසක පැවති ඉරිදා මෙහෙයන්ට රැගෙන ගියා. 240 දෙනෙක් සහභාගී වෙලා සිටියා. ඉන්පසු සභානායකවරයා එම සතියේ බව්තීස්ම වූ නව සාමාජිකයින් 10 දෙනෙකු හඳුන්වා දුන්නා. සමූහය කුඩා කාමර දෙකක් පුරා පැතිරී තිබූ අතර, සමහර සාමාජිකයින් ගොඩනැගිල්ලෙන් පිටත වාඩි වී ජනෙල් සහ දොරවල් හරහා රැස්වීම නරඹමින් සිටියා. නැවතත්, පැමිණිලි කිසිවක් තිබුණේ නැහැ—සිනාසෙන මුහුණු සහ කෘතඥපූර්වක හදවත් විතරයි තිබුණේ.

ලෙසෝතෝ

සභාවේ දිස්ත්‍රික්කයක් ස්ටේකයක් වීමට සූදානම් වන ආකාරය බලන්නට “කඳුකර රාජධානිය” ලෙසද හැඳින්වෙන මෙම සුන්දර කුඩා රටට මම ගියා. සෙනසුරාදා රැස්වීම්වලින් පසු, මම ඔවුන්ගේ එක් කුලියට ගත් නිවසක තිබූ ශාඛාවක ඉරිදා මෙහෙයන්ට සහභාගි වුණා. සක්‍රමේන්තු කාමරය පිරී ඉතිරී ගොස් තිබූ අතර, මිනිසුන් සහභාගී වෙන්නට දොරෙන් පිටත සිටගෙන සිටියා. ඔහුට ලොකු නිවසක් අවශ්‍ය බව මම ශාඛාවේ සභාපතිට කිව්වා. මගේ පුදුමයට, ඔහු මට දැනුම් දුන්නේ මේ ඔහුගේ සාමාජිකත්වයෙන් අඩක් පමණක් විතරයි කියලා. අනෙක් භාගය දෙවන පැයෙන් පසු දෙවන සක්‍රමේන්තු රැස්වීමකට සහභාගී වෙනවා. නැවතත්, පැමිණිලි කිසිවක් තිබුණේ නැහැ—සිනාසෙන මුහුණු සහ කෘතඥපූර්වක හදවත් විතරයි තිබුණේ.

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් විසින් කලින් සඳහන් කරන ලද අපගේ යෞවනයන් කිහිප දෙනෙකු සම්බන්ධ වූ මාරක රථවාහන අනතුරක් හේතුවෙන් මම පසුව ලෙසෝතෝ වෙත ආපසු ගියා මම පවුල් සහ නායකයින් බැලීමට ගිය විට, කනස්සල්ලෙන් යුතු වාතාවරණයක් අපේක්ෂා කළා. ඒ වෙනුවට, තත්වය සමඟ උසස් හා ආශ්වාදජනක ආකාරයකින් කටයුතු කළ ශක්තිමත් සහ ඔරොත්තු දෙන ශුද්ධවන්තයන් මට මුණගැසුනා.

එම්ෆෝ ඇනීෂියා න්කු

මෙම පින්තූරයේ සිටින අනතුරකින් දිවි ගලවා ගත් 14 හැවිරිදි එම්ෆෝ ඇනීෂියා න්කු, ඇගේම වචන වලින් එය හොඳින් පැහැදිලි කරනවා: “යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සැමවිටම උන්වහන්සේ දෙස බලන්න, මන්ද උන්වහන්සේ තුළින් ඔබට සාමය ලැබෙනවා, සුව කිරීමේ ක්‍රියාවලියේදී උන්වහන්සේ ඔබට උපකාර කරනවා.”

මේවා ඔවුන් තම ජීවිත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය තුළ කේන්ද්‍රගත කර ඇති නිසා, ඔවුන්ගේ ධනාත්මක ආකල්පය අපට පෙනෙන උදාහරණ කිහිපයක් විතරයි. උදව් සහ බලාපොරොත්තු සොයා ගත හැකි ස්ථානය ඔවුන් දන්නවා.

ගැලවුම්කරුවාණන්ගේ සුව කිරීමේ බලය

අපගේ ජීවිතයේ ඕනෑම තත්වයකදී ගැලවුම්කරුවාණන්ට ඔවුන්ට සහ අපට උපකාර කළ හැක්කේ ඇයි? පිළිතුර ශුද්ධලියවිලි පදවලින් සොයාගන්න පුළුවන්:

“තවද උන්වහන්සේ සියලු ආකාරයේ වේදනාවන් ද පීඩාවන් ද පරීක්ෂාවන් ද විඳිමින්, ඉදිරියට යන සේක. …

“… තවද උන්වහන්සේ ඔවුන්ගේ දුර්වලතා උන්වහන්සේ මත ගන්නා සේක, එනම් උන්වහන්සේගේ අභ්‍යන්තරය කරුණාවෙන් පිරී යනු පිණිසය, … ජනතාවට ඔවුන්ගේ දුර්වලතාවලට අනුව ඔවුන්ට පිහිට වන ආකාරය උන්වහන්සේ දැන ගන්නා පිණිසය.”

වැඩිහිටි ඩේව්ඩ් ඒ. බෙඩ්නර් ඉගැන්වූ පරිදි, ගැලවුම්කරුවාණන් නොදන්නා කිසිඳු ශාරීරික වේදනාවක්, සන්තාපයක් හෝ දුර්වලතාවයක් අප අත්විඳින්නේ නැහැ. “දුර්වල මොහොතක ඔබත් මමත් මෙසේ කෑ ගහන්න පුළුවන්, ‘[මම අත්විඳින දේ] කිසිවෙකුට තේරෙන්නේ නැහැ. …’ කිසිම මිනිසෙකු, සමහරවිට, නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් හොඳින් දන්නා අතර තේරුම් ගන්නවා.” ඒ ඇයි? මොකද, අපට පෙර උන්වහන්සේට අපගේ බර දැනී දරාගත් නිසා.”

මතෙව් 11 හි ඇති ක්‍රිස්තුස්වහන්සේගේ වචන පිළිබඳ මගේ සාක්ෂියෙන් මම අවසන් කරනවා:

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”

අප්‍රිකාවේ ඒ ශුද්ධවන්තයන් වගේ මේ පොරොන්දුව සත්‍ය බව මම දන්නවා. ඒක එතනදිත් ඇත්තයි, හැමතැනදිමත් ඇත්තයි. මේ ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. James E. Faust, “Five Loaves and Two Fishes,” Ensign, May 1994, 5.

  2. Russell M. Nelson, “Joy and Spiritual Survival,” Liahona, Nov. 2016, 82.

  3. ඇල්මා 7:11–12

  4. David A. Bednar, “The Atonement and the Journey of Mortality,” Liahona, Apr. 2012, 19.

  5. මතෙව් 11:28–30.