ප්‍රධාන සම්මන්ත්‍රණය
“නුඹ මට ප්‍රේම කරනවා ද?”
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:42

“නුඹ මට ප්‍රේම කරනවා ද?”

දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වීමට අපට අවශ්‍ය නම්, උන්වහන්සේ අපගේ ප්‍රේමය හඳුනා ගන්නා ආකාරය අප තේරුම් ගත යුතුයි.

නාස්තිකාර පුත්‍රයාගේ උපමාවේ, තම බාල සහෝදරයා “අවකල් ක්‍රියාවෙන් ජීවත්වෙමින්, තමාගේ වස්තුව නාස්ති කරමින්” දුර්වල තේරීම්වලින් කාලයකට පසු නැවත නිවසට පැමිණි විට වැඩිමහල් සහෝදරයාට මුලදී එය සැමරීමට අපහසු වුණා. වැඩිමහල් සහෝදරයාගේ උඩඟුකම සහ ස්වයං-ධර්මිෂ්ඨකම නිසා ඔහුගේ සහෝදරයා පසුතැවිලි වී නැවත පැමිණීමේ ප්‍රීතිය වැළඳ ගැනීමට ඔහුට නොහැකි වුණා. අපගේ ආදරණීයයන්ට අපගේ අවංක ආදරය ගැන අපගේ වචන සහ ක්‍රියාවන් තුළින් දැන ගැනීමට ඉඩ නොදී, අපි අවස්ථාවන් මග හැරෙන්නට ඉඩ දෙන්න පුළුවන්.

බෙදාගත් සහ ලැබුණු අවංක ප්‍රේමය පිළිබඳ බලවත් උදාහරණ රාශියක් ශුද්ධලියවිලිවල තිබෙනවා: ඒ තමයි නයෝමි සහ රූත්, අම්මොන් සහ ලමෝනි රජු, නාස්තිකාර පුත්‍රයා සහ ඔහුගේ පියා, ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ගෝලයන්.

ආදරය නිදහසේ ලබා දී අවංකව ලබා ගන්නා විට, ලබා දෙන්නා සහ ලබන්නා යන දෙදෙනා අතරම ප්‍රේමය වැඩි වීමත් සමඟ ගුණවත් චක්‍රයක් ඇති වෙනවා.

දෙවියන්වහන්සේගේ ප්‍රේමය පරිපූර්ණයි, අසීමිතයි, නොනැසී පවතියි සහ “ඉතාමත්ම මිහිරියි.” එය ආත්මය “බොහෝ සේ මහත් ප්‍රීතියෙන්” පුරවනවා. කෙසේ වෙතත්, සමහර අවස්ථාවලදී අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය හඳුනා ගැනීම අපට අපහසු වෙන්න පුළුවන්. කෙසේ වෙතත්, අපගේ පරිපූර්ණ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේ අප උන්වහන්සේගේ ප්‍රේමය අත්විඳීමට කොතරම් ගැඹුරින් ආශා කරනවාද කියනවා නම්, උන්වහන්සේ “[අපට කථා කරන්නේ] … [අපගේ] අවබෝධය පිණිසයි.” අපට, තනි තනිව හඳුනාගත හැකි ආකාරවලින් උන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය ප්‍රකාශ කරනවා. සොබාදහමේ සුන්දරත්වය නිරීක්ෂණය කරන විට, යාච්ඤාවලට පිළිතුරු ලැබෙන විට, අවශ්‍යතාවයේ මොහොතේදීම අපගේ මනසට සිතුවිලි පැමිණෙන විට, හෝ ප්‍රීතියේ මිහිරි අවස්ථාවන් අත්විඳින විට අපට දෙවියන්වහන්සේගේ ප්‍රේමය අත්විඳින්න පුළුවන්. ස්වර්ගික පියාණන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශනය, මනස හා හදවත යන දෙකෙහිම දෝංකාර දෙන්නේ උන්වහන්සේ තම ආදරණීය පුත්‍රයාණන්ට වන්දිගෙවන තැනැන්වහන්සේ ලෙස තමන්වම පූජා කිරීමට ඉඩ දුන් විටයි.

නාස්තිකාර පුත්‍රයාගේ වැඩිමහල් සහෝදරයා මෙන්, අපගේ අවධානය බොහෝ විට අප කෙරෙහිම කේන්ද්‍රගත වෙනවා. දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය පිළිබඳ සාක්ෂි සෙවීමට අපි බොහෝ සේ වෙහෙසට පත්ව සිටින අතර එය නොපෙනෙන විට අපි කලකිරීමට පත් වෙනවා. සුන්දර නමුත් තේරුම් ගැනීමට දුෂ්කර දේ තමයි, අපි දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වීමට වැඩි වැඩියෙන් අවධානය යොමු කරන තරමට, උන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපට පහසුවෙන් හඳුනා ගත හැකි වීම. “ඉතා උතුම් ආඥාව කොයි එකද?” යන ප්‍රශ්නයට ගැලවුම්කරුවාණන් මෙම සරල හා වැදගත් ආරාධනයෙන් ප්‍රතිචාර දැක්වූයේ මේ නිසා වෙන්න පුළුවන්: ඒ තමයි “තාගේ මුළු හෘදයෙන්ද, තාගේ මුළු ආත්මයෙන්ද, තාගේ මුළු බුද්ධියෙන්ද, තාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේට ප්‍රේම කරව.”

සමහර විට අපි වැඩියෙන්ම ආදරය කරන අයට අපේ ආදරය පෙන්වන ආකාරය, ඔවුන් ආදරය හඳුනා ගන්නා ආකාරයම නොවෙන්න පුළුවන්. මෙය ලබා දෙන්නාට සහ ලබන්නාට කලකිරීමට පත්වෙන්න හේතු වෙන්න පුළුවන්. අපි ආදරය කරන අයගෙන්, ඒ ප්‍රකාශ කරන ආදරය ඔවුන් හඳුනා ගන්නේ කෙසේදැයි විමසීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ හා සමානව, අපට දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වීමට අවශ්‍ය නම්, උන්වහන්සේ අපගේ ප්‍රේමයේ තනි ප්‍රකාශන හඳුනා ගන්නා ආකාරය අප තේරුම් ගත යුතුයි. වාසනාවකට මෙන්, උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්විය හැකි ක්‍රම කිහිපයක් උන්වහන්සේ ශුද්ධලියවිලිවල පැහැදිලිව දක්වා තිබෙනවා.

මොවුන්ට වඩා නුඹ මට ප්‍රේම කරනවා ද?

ටයිබීරියස් මුහුදේ දී පේත්‍රැස් සහ මරණයෙන් නැවත නැගිටි ස්වාමින්වහන්සේ අතර සිදු වූ උපදේශාත්මක හුවමාරුවේදී, ස්වාමින්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්විය හැකි ක්‍රම පිළිබඳව අපි ඉගෙන ගන්නවා.

“යේසුස්වහන්සේ සීමොන් පේත්‍රැස්ට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, මොවුන්ට වඩා නුඹ මට ප්‍රේම කරනවාදැයි ඇසූ සේක. ඔහු: එසේය, ස්වාමිනි; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නා සේකැයි උන්වහන්සේට කීවේය.”

ස්වාමින්වහන්සේ විසින් මෙම විමසීමේ දී මතු කරන ප්‍රධාන ප්‍රශ්නය තමයි “මොවුන්ට වඩා නුඹ මට ප්‍රේම කරනවා ද?” යන ප්‍රශ්නය. අපි ස්වාමින්වහන්සේව “මොවුන්ට” වඩා ඉහළින් තබන විට අපි උන්වහන්සේට අපගේ ප්‍රේමය පෙන්වනවා ඒවගේම “මොවුන්” කියන්නෙ අපගේ ජීවිතයේ වැදගත්ම බලපෑමෙන් උන්වහන්සේව අස්ථානගත කරන ඕනෑම අයෙකු, ඕනෑම ක්‍රියාකාරකමක් හෝ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

අපට අවශ්‍ය හෝ ඉටු කර ගැනීමට අවශ්‍ය සියල්ල කිරීමට දිනක්, සතියක්, මාසයක් හෝ අවුරුද්දක් තුළ ප්‍රමාණවත් කාලයක් කිසිදා ලැබෙන්නේ නෑ. ලෞකිකත්වය පිළිබඳ පරීක්ෂණයේ කොටසක් තමයි අපගේ සදාකාලික යහපත සඳහා වඩාත්ම වැදගත් දේ සඳහා කාලය නැමති වටිනා සම්පත භාවිතා කිරීම සහ අඩු වැදගත්කමක් ඇති දේවල් අත්හැරීම.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා: “අප සෑම කෙනෙකුටම ඇති ප්‍රශ්නය … එක හා සමානයි. … ඔබේ ජීවිතයේ වැදගත්ම බලපෑම දෙවියන්වහන්සේ වීමට සැලැස්වීමට ඔබ කැමති ද? උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ ආඥා, සහ උන්වහන්සේගේ ගිවිසුම් වලට ඔබ දිනපතා කරන දෙයට බලපෑම් කිරීමට ඔබ ඉඩදෙනවා ද? උන්වහන්සේගේ හඬට වෙනත් ඕනෑම දෙයකට වඩා ප්‍රමුඛතාවය ලබාදීමට ඔබ ඉඩදෙනවා ද? අනෙක් සෑම අභිලාෂයකට වඩා ප්‍රමුඛස්ථානය ගැනීමට උන්වහන්සේට අවශ්‍ය ඕනෑම දෙයකට ඉඩදීමට ඔබ කැමති ද? ඔබගේ කැමැත්ත උන්වහන්සේ තුළ ගිල්වා තැබීමට ඔබ කැමති ද?” අපි දෙවියන්වහන්සේව අපගේ ප්‍රමුඛතාවය කර ගන්නා විට, අපි අපගේ අනුගාමිකත්වය සහ දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය පෙන්නුම් කරනවා.

මාගේ බැටළුවන් පෝෂණය කරපන්න

පේත්‍රැස් සහ ගැලවුම්කරුවාණන් අතර මෙම සාකච්ඡාවේම ඊළඟ පදයෙන්, ස්වාමින්වහන්සේ අපගේ ප්‍රේමයේ ප්‍රකාශන හඳුනා ගන්නා තවත් ආකාරයක් ගැන අපි ඉගෙන ගන්නවා: “[ස්වාමින්වහන්සේ] නැවතත් දෙවෙනි වරක්, යොහන්ගේ පුත්‍ර වූ සීමොන්, නුඹ මට ප්‍රේම කරනවාදැයි ඔහුගෙන් ඇසූ සේක? ඔහු: එසේය, ස්වාමිනි; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නා සේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ ඔහුට කථා කොට, මාගේ බැටළුවන් පෝෂණය කරපන්නැයි කී සේක.”

අපි ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට සේවය කරන විට, සවන් දෙන විට, ප්‍රේම කරන විට, ඔවුන්ව ඔසවන විට හෝ දේවසේවය කරන විට අපි උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වනවා. එම සේවාව විනිශ්චයකින් තොරව අන් අයව සැබවින්ම දැකීම තරම් සරල වෙන්න පුළුවන්. දහම සහ ගිවිසුම් 76 වන කොටසේ දී, ස්වර්ගීය මහිමයක් උරුම කර ගන්නා අයගේ චරිතය පිළිබඳ කෙටි දර්ශනයක් අපට ලැබෙනවා: “ඔවුන්ව දකින ආකාරයටම ඔවුන් දකින්නෝය, තවද ඔවුන්ව දන්නා ආකාරයටම දැනගන්නෝය.” ඔවුන් අන් අයව දකින්නේ දෙවියන්වහන්සේ ඔවුන්ව දකින ආකාරයටයි, උන්වහන්සේ ඔවුන්ව දකින්නේ ඔවුන්ට හැකි ආකාරයට, මහිමාන්විත දිව්‍ය විභවයකින් යුතුවයි.

මගේ ධර්මදූත සේවය නිම වී මම ආපසු නිවසට පැමිණි පසු, මම සහ මගේ සහෝදරයන් නව යොවුන් වියේදී ආරම්භ කළ තණකොළ කැපීමේ ව්‍යාපාරය මම භාර ගත්තා. මම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් එක්කත් කාර්යබහුල වුණා. වසන්ත සමයේ එක් සතියක, තද වැස්ස සහ අවසන් විභාග ළඟ ළඟ එන නිසා මම තැති අරන් සිටියා, ඉතින් වත්තේ වැඩ මට මග හැරුණා.

සතියේ මැද අහස පැහැදිලි වූ අතර, පන්තිවලින් පසු වත්තේ වැඩ කිරීමට මම සැලසුම් කළා. නමුත් මම ගෙදර එන විට මගේ ට්‍රක් රථය සහ උපකරණ තිබුණේ නැහැ. කුතුහලයෙන් යුතුව, මම සැලසුම් කර ඇති වතු නැරඹීමට ගියා; ඒ සෑම එකක්ම දැනටමත් අලංකාර ලෙස කපා තිබුණා. සැලසුම් කර තිබූ අවසාන මිදුලේ දී, මගේ මල්ලි ඒ තණකොළ කපන යන්ත්‍රය පිටුපසින් ඇවිදින ආකාරය මම දැක්කා. ඔහු මාව දැකලා හිනාවෙලා අත වැනුවා. කෘතඥතාවයෙන් පිරී ඉතිරී ගිය මම ඔහුව වැළඳගෙන ස්තූති කළා. ඔහුගේ අර්ථවත් සේවාව ඔහු කෙරෙහි ඇති මගේ ආදරය සහ පක්ෂපාතිත්වය ගැඹුරින් ශක්තිමත් කළා. එකිනෙකාට සේවය කිරීම දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ට අපගේ ප්‍රේමය පෙන්විය හැකි නොවරදින ක්‍රමයක්.

සියලු දේවලදී උන්වහන්සේගේ හස්තය පිළිගැනීම

කෘතවේදී හදවතක් තිබීමෙන් ද අපි දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය ප්‍රකාශ කරනවා. ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා, “තවද සියලු දේවලදී උන්වහන්සේගේ හස්තය ඇති බව පිළිනොගන්නන් හැර, … කිසිවකින් මනුෂ්‍යයා දෙවියන්වහන්සේව අමනාප කරන්නේ නැත.” අපගේ ජීවිතයේ සෑම යහපත් දෙයකම උල්පත උන්වහන්සේ බව පිළිගැනීමෙන් අපි දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වනවා.

මම සමාගමක් ආරම්භ කළ මුල් දිනවල, මගේ ව්‍යාපාරික සහකරු සහ මම වැදගත් රැස්වීම්වලට පෙර ස්වර්ගික පියාණන්ගේ උපකාරය ඉල්ලා ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. නැවත නැවතත්, දෙවියන්වහන්සේ අපගේ යාච්ඤාවලට පිළිතුරු දුන් අතර, අපගේ රැස්වීම් හොඳින් සිදු වුණා. අපි උදව් ඉල්ලීමට ඉක්මන් වූ නමුත් ස්තූති කිරීමට ප්‍රමාද වූ බව එක් රැස්වීමකින් පසු, මගේ ව්‍යාපාරික සහකරු පෙන්වා දුන්නා. එතැන් සිට, අපගේ සාර්ථකත්වයන් සඳහා ස්වාමින්වහන්සේගේ හස්තය හඳුනා ගනිමින්, කෘතඥතාවයේ අවංක යාච්ඤා ඉදිරිපත් කිරීම අපි පුරුද්දක් කර ගත්තා. අපි දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අපගේ ප්‍රේමය “කෘතඥතාවේ ආකල්පයකින්” පෙන්වනවා.

නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා රක්ෂා කරන්නහුය

ස්වර්ගික පියාණන්වහන්සේට සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ට අපගේ ප්‍රේමය පෙන්විය හැකි තවත් ක්‍රමයක් තමයි, උන්වහන්සේලාට කීකරු වීමට තෝරා ගැනීම. ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කර තිබෙනවා: “නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා රක්ෂා කරන්නහුය.” මේ ආකාරයේ කීකරුකම අන්ධ හෝ අනිවාර්ය දෙයක් නොවේ, නමුත් එය ප්‍රේමයේ අවංක සහ කැමැත්තෙන් ප්‍රකාශ කිරීමක්. ස්වර්ගයේ සිටින පියාණන්වහන්සේට උවමනා වන්නේ අප කීකරු වීම උවමනා කිරීමයි. තමාරා ඩබ්. රූනියා සහෝදරිය එය “ප්‍රේමණීය කීකරුකමක්” ලෙස හැඳින්නුවා. ඇය මෙසේ පැවසුවා “අපට තවමත් පරිපූර්ණ කීකරුකමක් නොමැති වුනත්, අපි උන්වහන්සේට ප්‍රේම කරන නිසා, නැවත නැවතත් උන්වහන්සේ තුළ රැඳී සිටීමට තෝරා ගනිමින්, ප්‍රේමණීය කීකරුකමක් ඇති කර ගැනීමට අපි දැන් උත්සාහ කරනවා.

ස්වර්ගික පියාණන්වහන්සේ අපට උන්වහන්සේව තෝරා ගැනීමට උවමනා ලෙස තෝරාගැනීමේ නිදහස ලබා දුන්නා. උන්වහන්සේගේ කාර්යය සහ මහිමය අපගේ සදාකාල ජීවනය ගෙන ඒම පමණක් නොවේ නමුත් අපගේ ලොකුම ආශාව වන උන්වහන්සේ වෙත නැවත යාමේ බලාපොරොත්තුව ද එයට ඇතුළත් වෙනවා. කෙසේ වෙතත්, උන්වහන්සේ කිසි විටෙකත් අපට කීකරු වීමට බල කරන්නේ නෑ. “Know This, That Every Soul Is Free” යන ගීතිකාවේ අපි මෙසේ ගායනා කරනවා:

උන්වහන්සේ කතා කරයි, ඒත්තු ගන්වයි, නිවැරදිව මගපෙන්වයි,

ප්‍රඥාව, ආදරය සහ ආලෝකයෙන් ආශිර්වාද කරයි,

නම් කළ නොහැකි ආකාරවලින් යහපත් හා කරුණාවන්ත වෙයි,

නමුත් කිසි විටෙකත් මිනිස් මනසට බල නොකරයි.”

ධර්මදූත ප්‍රමිතියක් නිසා පමණක් නොවේ, නමුත් නිහතමානීව උන්වහන්සේව නියෝජනය කිරීමට තෝරා ගැනීමෙන් ස්වාමින්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ප්‍රේමය පෙන්වීමට ඔවුන්ට අවශ්‍ය වූ නිසා, කීකරු වීමට තෝරාගත් බොහෝ ධර්මදූතයින්ගෙන් ධර්මදූත නායකයන් ලෙස, මගේ බිරිඳ ක්‍රිස්ටිනා සහ මම ආභාෂය ලැබුවා.

වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් මෙසේ පැවසුවා: “දෙවියන්වහන්සේ දෙමාපියෙක් හැටියට ඉලක්කය වන්නේ උන්වහන්සේගේ දරුවන් හරි දේ කිරීම නොවේ; ඒ උන්වහන්සේගේ දරුවන් හරි දේ කිරීමට තෝරාගෙන අවසානයේ උන්වහන්සේගේ හා සමාන වීමටයි.” උන්වහන්සේට අවශ්‍ය වූයේ අප කීකරු වීම පමණක් නම්, උන්වහන්සේ අපගේ හැසිරීම් වලට බලපෑම් කිරීම සඳහා ක්ෂණික විපාක සහ දඬුවම් භාවිතා කරන්නට තිබුණා.” අපි දෙවියන්වහන්සේට කීකරු වී උන්වහන්සේව අනුගමනය කිරීමට තෝරා ගන්නා විට අපි උන්වහන්සේට ඇති අපගේ ප්‍රේමය පෙන්වනවා.

අපි උන්වහන්සේලාව අපගේ ජීවිතවල මුල් තැනට තබන විට, එකිනෙකාට සේවය කරන විට, උන්වහන්සේලාගෙන් ලැබෙන සෑම ආශිර්වාදයක්ම කෘතඥපූර්වකව පිළිගන්නා විට, උන්වහන්සේලාට කීකරු වී අනුගමනය කිරීමට තෝරා ගන්නා විට, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ අපගේ ගැලවුම්කරුවාණන් විසින් උන්වහන්සේලා කෙරෙහි අපගේ ප්‍රේමයේ ප්‍රකාශන හඳුනා ගන්නවා.

අපි සෑම කෙනෙකුම සැබවින්ම දෙවියන්වහන්සේගේ දරුවෙකු බවත්, උන්වහන්සේ අපට පරිපූර්ණ ලෙස ප්‍රේම කරන බවත් මම සාක්ෂි දරනවා. අපි හඳුනා ගන්නා සහ තේරුම් ගන්නා ආකාරයෙන් උන්වහන්සේගේ ප්‍රේමය අපි අත්විඳිනවාට උන්වහන්සේ ආශා කරන බවට මම සාක්ෂි දරනවා. තේරුම් ගැනීමට අසීරු සුන්දර දේ තමයි, අපි උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය පෙන්වන විට, උන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය අපි තවත් ගැඹුරින් අත්විඳියි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ලූක් 15:13.

  2. බලන්න රෝම 8:35–39; Dale G. Renlund, “Experience God’s Love” (Brigham Young University devotional, Dec. 3, 2019), speeches.byu.edu; Russell M. Nelson, “Divine Love,” Liahona, Feb. 2023, 12–17.

  3. 1 නීෆායි 8:24.

  4. 1 නීෆායි 8:12.

  5. 2 නීෆායි 31:3.

  6. බලන්න යොහාන් 3:16.

  7. බලන්න 1 යොහාන් 4:19.

  8. මතෙව් 22:36–37.

  9. අපගේ ක්‍රියාවන් තුළින් අප දෙවියන්වහන්සේගේ ප්‍රේමය උපයා නොගත්තද, අපගේ යාච්ඤාවලට සවන් දීමෙන්, අපට ආශීර්වාද කිරීමෙන් සහ උන්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි අත්විඳීමට උපකාර කිරීමෙන් උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමයේ ප්‍රකාශන පිළිගැනීමට උන්වහන්සේ උනන්දු වන සේක.

  10. යොහාන් 21:15.

  11. “අපේ ජීවිතයේ අනෙක් සෑම දෙයකදීම අපි දෙවියන්වහන්සේට ප්‍රමුඛත්වය දිය යුතුයි. උන්වහන්සේට මුල් තැන දිය යුතුයි. …

    අපි දෙවියන්වහන්සේට මුල් තැන දෙන විට, අනෙක් සියල්ල ඒවායේ නිසි ස්ථානයට වැටේ, නැතහොත් අපගේ ජීවිතයෙන් ඉවත් වේ. අපගේ සෙනෙහස සඳහා වන ඉල්ලීම්, අපගේ කාලය සඳහා වන ඉල්ලීම්, අප අනුගමනය කරන අවශ්‍යතා සහ අපගේ ප්‍රමුඛතා අනුපිළිවෙල පාලනය කරනු ලබන්නේ ස්වාමින්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමයයි” (Teachings of Presidents of the Church: Ezra Taft Benson [2014], 40) තවත් බලන්න Dallin H. Oaks, “Good, Better, Best,” Liahona, Nov. 2007, 104–8.

  12. රසල් එම්. නෙල්සන් “දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදෙන්න,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2020, 94.

  13. යොහාන් 21:16.

  14. බලන්න මොසායා 2:17.

  15. දහම සහ ගිවිසුම් 76:94.

  16. දහම සහ ගිවිසුම 59:21.

  17. බලන්න පිලෙමොන් 1:4–7.

  18. Thomas S. Monson, “An Attitude of Gratitude,” Ensign, May 1992, 54.

  19. යොහාන් 14:15.

  20. තමාරා ඩබ්. රූනියා, “ඔබගේ පසුතැවීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බරක් නොවේ; එය උන්වහන්සේගේ ප්‍රීතිය දීප්තිමත් කරයි,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2025.

  21. බලන්න 2 නීෆායි 10:23–24; හීලමන් 14:30–31.

  22. බලන්න මෝසෙස් 1:39.

  23. “Know This, That Every Soul Is Free,” Hymns, no. 240.

  24. බලන්න මොසායා 5:2–5.

  25. ඩේල් ජී. රෙන්ලන්ඩ්, “මේ දවසේ ඔබව තෝරාගන්න,”ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2018.

  26. බලන්න පැට්‍රික් කීරන්, “උන්වහන්සේගේ ත්‍යාගය ලබාගන්න,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2025.

  27. “සදාකාලික ජීවිතයේ පළමු ශ්‍රේෂ්ඨතම ආඥාව නම් අපේ මුළු හදවතින්, බලයෙන්, මනසින්, හා ශක්තියෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමයි—එය පළමු ශ්‍රේෂ්ඨ ආඥාවයි. වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් ඉගැන්වූ ලෙස, මුළු සදාකාලයටම “පළමු ශ්‍රේෂ්ටතම සත්‍යය නම් දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ මුළු හදවතින්ම, බලයෙන්ම, මනසින්ම, සහ ශක්තියෙන්ම ආදරය කරන බවයි” (Jeffrey R. Holland, “Tomorrow the Lord Will Do Wonders among You,” Liahona, May 2016, 127).

  28. හෙසෙඩ් යනු දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කර ගත් අය කෙරෙහි උන්වහන්සේට හැඟෙන විශේෂ ආකාරයක ප්‍රේමයක් සහ දයාවකි. එමනිසා අපි උන්වහන්සේට හෙසෙඩ් ආකාරයට ප්‍රතිචාර දක්වමු.

    දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගෙන සිටින අය කෙරෙහි හෙසෙඩ් ඇතිකරගන්නා නිසා, උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන සේක. උන්වහන්සේ ඔවුන් සමඟ දිගටම වැඩ කරන අතර ඔවුන්ට වෙනස් වීමට අවස්ථාව ලබා දෙනු ඇත. ඔවුන් පසුතැවිලි වූ විට උන්වහන්සේ ඔවුන්ට සමාව දෙනු ඇත. තවද ඔවුන් අයාලේ ගියහොත්, උන්වහන්සේ වෙත ආපසු යන මාර්ගය සොයා ගැනීමට උන්වහන්සේ ඔවුන්ට උපකාර කරයි.

    “ඔබ සහ මම දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගත් පසු, උන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය අපගේ ගිවිසුමට පෙර තිබුනාට වඩා සමීප එකක් වේ” (රසල් එම්. නෙල්සන්, “සදාකාලික ගිවිසුම,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2022).