ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේ දෙස බලා ජීවත්වන්න
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


14:13

දෙවියන්වහන්සේ දෙස බලා ජීවත්වන්න

පුද්ගලයින්ට, පවුල්වලට, එමෙන්ම රටවල්වලට පවා සාර්ථකව වර්ධනය වෙන්න පුළුවන් වන්නේ දෙවියන්වහන්සේ වෙත බැලීමෙන් පමණයි.

පසුගිය ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාවේ ලෙසෝතෝ රටේ දරුණු අනතුරක් සිදු වුණා. සභාවේ මාපුට්සෝ ශාඛාවේ තරුණ ගැහැණු ළමුන් 20 දෙනෙකු සහ ඔවුන්ගේ නායකයින් හත් දෙනෙකු රැගත් කුඩා බස් රථයක් ඔවුන්ගේ දිස්ත්‍රික්කයේ තරුණ ගැහැණු ළමුන්ගේ රැස්වීමක් සඳහා එහි අගනුවර වන මැසෙරු වෙත යමින් තිබුණා. උදෑසන කාලයේ ඔවුන් මංතීරු දෙකේ අධිවේගී මාර්ගයක ගමන් කරන විට, ප්‍රතිවිරුද්ධ දිශාවට පැමිණි මෝටර් රථයක් තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කරමින්, බස් රථය ධාවනය වෙමින් සිටි මංතීරුවට ඇතුළු වුණා. මුහුණට මුහුණලා ගැටීමක් වළක්වා ගැනීමට ඉඩක් හෝ කාලයක් නොතිබූ අතර, තත්පර කිහිපයකින් වාහන ගැටී, මාර්ගයෙන් ඉවතට පෙරළී, ගිනිගෙන පුපුරා ගියා.

අනතුරින් තරුණ ගැහැණු ළමුන් හය දෙනෙකු, තරුණ ගැහැණු ළමුන්ගේ නායිකාවන් දෙදෙනෙකු සහ ශාඛා සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු 15 දෙනෙකු මිය ගියා. දිවි ගලවා ගත් අය, පවුලේ සාමාජිකයන් සහ මිතුරන් කෝපය, මානසික අවපීඩනය සහ වරදකාරි හැඟීම ඇතුළු විවිධ හැඟීම් ප්‍රකාශ කර තිබෙනවා. මෙම හැඟීම් සහ පිළිතුරු නොලැබුණු ප්‍රශ්න තිබියදීත්, ඔවුන් එකිනෙකාට සැනසීමක් ලබා දී ඇති අතර, පූජනීය සංගීතය, ශුද්ධලියවිලි සහ යාච්ඤාව තුළින් දෙවියන්වහන්සේ වෙත හැරී ඇති අතර, එමගින් ඔවුන් සැනසීම ලබාගෙන තිබෙනවා. “අපේ හදවත් රිදුනත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කරනවා ඒවගේම අප සමඟ සිටිනවා” යැයි කියමින් දිවි ගලවා ගත් දාහත් හැවිරිදි සෙට්සෝනා සෙලෙබෙලි සාක්ෂි දුන්නා.

ලෙසොතෝ හි සාමාජිකයින්

පිළිස්සුම් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද තරුණ ගැහැණු ළමයෙකු සහ නායිකාවක් එක්ව මොර්මන්ගේ පොත අධ්‍යයනය කළා. එක් අයෙක් මෙසේ පැවසුවා, “මෑතක දී, අපි මොරෝනායි පොත කියවමින් සිටියා, මට හැඟෙන දේ හරියටම මොරෝනායි කියනවා. ඔහු කතා කරන විට, එය හරියට ඔහු මෙහෙම කියනවා වගේ, ‘ඔබ මේ වචන ඉගෙන ගත යුතුයි, මොකද ඒවා ඔබට ලියා ඇත්තේ මේ හරහා යාමට උපකාර කිරීම සඳහායි.’”

ලෙසෝතෝ හි අවමංගල්‍යය

මියගිය අය වෙනුවෙන් පැවති ඒකාබද්ධ අවමංගල්‍ය දේව මෙහෙයක දී, ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වැඩිහිටි සියබොන්ගා මඛයිස් මෙසේ උපදෙස් දුන්නා, “අපි හැමෝම මේ අවස්ථාවේ දී ස්වාමින්වහන්සේ වෙත හැරී අපගේ හදවත් සනසන ලෙසත් … අපට දැනෙන වේදනාව සමනය කරන ලෙසත් උන්වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතුයි.” අසල්වැසි ලෙරිබ් ශාඛාවේ තරුණ ගැහැණු ළමුන්ගේ සභාපතිනිය මැම්ෆෝ මකුරා මෙසේ ඉල්ලා සිටියා; “ස්වාමින්වහන්සේ වෙත හැරී, උන්වහන්සේගේ කැමැත්ත පිළිගැනීමට ශක්තිය සොයා ගන්න. ‘අපගේ ඇදහිල්ලේ කර්තෘ සහ අවසන් කරන්නා’ වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි [හෙබ්‍රෙව් 12:2]. උන්වහන්සේගෙන් ඉවත නොබලන්න, නමුත් උන්වහන්සේ දෙස බලන්න.”

උන්වහන්සේ දෙස බලන්න. ඇගේ වචන ඇල්මා ඔහුගේ පුත් හීලමන්ට දුන් උපදෙස් ප්‍රතිරාවය කරනවා: “එනම් නුඹ දෙවියන්වහන්සේ දෙස බලා ජීවත් වන්න.” ලියහෝනාව සමඟ ලීහායි සහ ඔහුගේ ජනතාවගේ අත්දැකීම් ඇල්මා උපුටා දැක්වුවා: “මක්නිසාද බලව, ක්‍රිස්තුස්වහන්සේගේ වචනයට ඇහුකන්දීම පහසු වන අතර, එය නුඹට සදාකාලික ප්‍රීතිය සඳහා සෘජු මාර්ගයක් පෙන්වා දෙන්නේය, අපගේ පියවරුන් මෙම මාලිමාවට සවන් දුන්නාක් මෙන්, එය ඔවුන්ට පොරොන්දු වූ දේශය කරා ඍජු මාර්ගයක් පෙන්වා දෙන්නේය.” ඇල්මා මෙහෙම කිව්වා, “ඔවුන් බලන්නේ නම් ඔවුන් ජීවත් වන්නෝය. … එලෙසම අපි … බලන්නේ නම් අපි සදහටම ජීවත් වන්නෙමු.”

තවත් අවස්ථාවක, පුරාණ ඊශ්‍රායෙල්වරුන් ගිනිමය සර්පයන්ගෙන් පීඩා විඳි විට මෝසෙස් විසින් ඔසවා තැබූ පිත්තල සර්පයාගේ උදාහරණය ඇල්මා උපුටා දැක්වුවා. “දෂ්ටකරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බැලීමෙන් ජීවත්වන්නේය” යන පොරොන්දුව සහිතව, සර්පයෙකුගේ රූපයක් සාදා එය කණුවක් මත ඔසවන ලෙස ස්වාමින්වහන්සේ මෝසෙස්ට පැවසුවා. එම තඹ පිළිරුව ක්‍රිස්තුස්වහන්සේව කුරුසිය මත උස් කරනු ලැබීමේ සංකේතයක් හෝ ආකාරයක් බව ඇල්මා විස්තර කළා. බොහෝ දෙනෙක් ඒ දෙස බලා ජීවත් වුණා, නමුත් අනෙක් අය ඇල්මාගේ වචන වලින් කියනවා නම්, “බෙහො දැඩි වූ” නිසා ඔවුන් බලන්නවත් කැමති නොවී විනාශ වුණා.

ඇල්මා මෙසේ ඇසුවා:

“නුඹලා සුවපත් වන පිණිස, එනම් නුඹලාගේ ඇස් පමණක් අවට හෙළමින් නුඹලාට සුවය ලැබිය හැකි වන්නේ නම්, නුඹලා ඉක්මණින් නොබලන්නෙහිද, එසේත් නැත්නම් නුඹලා විනාශ වන පිණිස, එනම් නුඹලාගේ ඇස් අවට නොහෙළා, නුඹලා අවිශ්වාසයෙන් නුඹලාගේ හදවත් දැඩි කොට, අලස වන්නෙහි ද?”

“ … එවිට නුඹලාගේ ඇස් වටා යොමු කර තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි විශ්වාස කිරීමට පටන් ගන්න, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව මුදවා ගැනීමට පැමිණෙන අතර, තවද එනම් ඔවුන්ගේ පාපවලට වන්දිගෙවීම සඳහා උන්වහන්සේ වේදනාවන් විඳ මරණයට පත් වන්නේය; එනම් සියලු මනුෂ්‍යයන් උන්වහන්සේ අභිමුඛයෙහි සිටගන්නා අතර, ඔවුන්ගේ ක්‍රියාවන්වලට අනුව, අවසාන සහ විනිශ්චය දිනයේදී විනිශ්චය කිරීම පිණිස, තවද උන්වහන්සේ එනම් මළවුන්ගෙන් නැවත නැඟිටින සේක, එමඟින් නැවත නැඟිටීම පැමිණෙන්නේය.”

ඇත්තෙන්ම, “දෙවියන්වහන්සේ වෙත බලා ජීවත් වන්න” යන උපදේශය අපට සදාකාලිකත්වය තුළ පමණක් නොව, නමුත් අපගේ ලෞකික ජීවිතයේ චරිතය සහ ගුණාත්මකත්වය තුළ ද සියල්ල වෙනස් කරන අර්ථයක් ලබා දෙනවා. පෙර සඳහන් කළ ලෙසොතෝ හි තරුණ සොහොයුරියක් වන සෙලිබෙලිගේ වචන මතක තබාගන්න— “අපේ හදවත් රිදුනත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කරනවා ඒවගේම අප සමඟ සිටිනවා.”

එය වැටුණු ලෝකයක ස්වභාවය තුළම තිබෙනවා—යක්ෂයා ප්‍රකෝපයෙන් පිරුණු තැන සහ හැමෝම අසම්පූර්ණ වන තැන—එනම් බලාපොරොත්තු සුන්වීම සහ අපහාස, දුක් සහ වේදනා, අසමත්භාවය සහ නැතිවීම්, පීඩනය සහ අනිත්‍යතාව අනිවාර්යයෙන්ම ඇතිවෙනවා. පුද්ගලයින්ට, පවුල්වලට, එමෙන්ම රටවල්වලට පවා සාර්ථකව වර්ධනය වෙන්න පුළුවන් වන්නේ දෙවියන්වහන්සේ වෙත බැලීමෙන් පමණයි. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ උගන්වා තිබෙනවා: “ගැලවුම්කරුවාණන්, උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින් අප සෑම කෙනෙකුවම දුර්වලකමෙන්, වැරදිවලින් සහ පාපයෙන් මුදවාගත් නිසාත්, ඔබ මෙතෙක් විඳි සෑම වේදනාවක්ම, කනස්සල්ලක්ම සහ බරක්ම උන්වහන්සේත් අත්විඳ ඇති නිසාත්, [බලන්න ඇල්මා 7:11–13] ඔබ සැබවින්ම පසුතැවිලි වී උන්වහන්සේගේ උපකාරය පතන විට, මෙම වර්තමාන අවිනිශ්චිත ලෝකයට ඉහළින් නැගී සිටින්නට ඔබට පුළුවන් වෙනවා.”

මොර්මන්ගේ පොතේ ලියවුණු ශුද්ධලියවිලි තුළ ඕනෑම වෙනත් පොරොන්දුවකට වඩා බොහෝ විට නැවත නැවත කියන පොරොන්දුව මෙයයි: “නුඹලා මාගේ අණ පනත් පිළිපදින තාක්කල් නුඹලා දේශයෙහි සමෘද්ධිමත් වනු ඇත; එහෙත් නුඹලා මාගේ අණපනත් නොපිළිපදින තාක්කල්, නුඹලාව මාගේ අභිමුඛයෙන් කපා හරිනු ලබන්නේය.” ශතවර්ෂ ගණනාවක දී මොර්මන්ගේ පොතේ ජනතාවගේ ජීවත් වූ අත්දැකීම මේ වචනවල සත්‍යය තුළින් පෙන්වනවා. “සමෘද්ධිමත් වීම” යනු ඔවුන්ගේ ජීවිතවලදී ස්වර්ගීය මගපෙන්වීම සහ ආශිර්වාද භුක්ති විඳීමයි. “සමෘද්ධිය” යන්නෙන් අදහස් කළේ විවාහ වීමට, පවුල් ඇති කිරීමට සහ අන් අයගේ අවශ්‍යතා සපුරාලීමට හැකි වන පරිදි ආර්ථික යහපැවැත්මේ මට්ටම් අත්කර ගැනීමයි. “සමෘද්ධිමත් වීම” යන්නට අභියෝග සහ දුෂ්කරතා අභිබවා නැගී සිටීමට ඇති හැකියාව ද ඇතුළත්. ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව තුළින්, “සියලු දේම [ඔවුන්ගේ] යහපත පිණිස එකට ක්‍රියා කළා,” ඔවුන්ව පිරිපහදු කළා, සහ උන්වහන්සේ සමඟ ඔවුන්ගේ සම්බන්ධය ගැඹුරු කළා.

දෙවියන්වහන්සේ වෙත බැලීම යනු උන්වහන්සේගේ ආඥා තබමින්, උන්වහන්සේගෙන් සහාය ඉල්ලා නිරන්තරයෙන් මොරගසමින්, ඔබේ සියලු කටයුතු වලදී උන්වහන්සේ සමඟ උපදේශ ගනිමින්, එමෙන්ම දහවලේ සහ රාත්‍රියේ යන දෙකෙහිම ඔබේ හදවත උන්වහන්සේට ස්තූතියෙන් පිරවීම බව ඇල්මා විස්තර කළා. ශුද්ධලියවිලි තුළ සහ උන්වහන්සේගේ සේවකයන්ගේ වචන තුළ දෙවියන්වහන්සේගේ ආඥා සහ උපදේශ සොයාගන්නට තිබෙනවා. “පවුල: ලෝකයට ප්‍රකාශනයකි” තුළ සඳහන් කර ඇති මූලධර්ම සහ ආදර්ශයන් ඒ සඳහා ප්‍රධාන උදාහරණයක්. තවත් එකක් තමයි යෞවනයින්ගේ ශක්තිය සඳහා පොත් පිංච තුළ සොයාගත හැකි මාර්ගෝපදේශ. මේ වර්ශය සඳහා තරුණ පිරිමි ළමුන් සහ තරුණ ගැහැණු ළමුන් සඳහා වන තේමාව වන්නේ “ක්‍රිස්තුස්වහන්සේ වෙත බලන්න” යන්නයි, එය ජෝසෆ් ස්මිත් හා ඔලිවර් කව්ඩ්‍රි හට ස්වාමින්වහන්සේ දුන් සැනසුම්දායක උපදෙස් වලින් උපුටා ගත් එකක්: “හැම සිතුවිල්ලකදීම මාවෙත බලන්න, සැක නොසිතන්න, බිය නොවන්න.” යෞවනයින්ගේ ශක්තිය සඳහා පොත, දෙවියන්වහන්සේගේ වැදගත්ම ආඥා සහ මාර්ගෝපදේශ කිහිපයක් පිළිබඳ කථා කරනවා, ඒවගේම හොඳ තීරණ ගන්නා විට ස්වාමින්වහන්සේ වෙත බලන්නේ කෙසේද කියා උගන්වනවා. එය යෞවනයන් සඳහා පමණක් නොව අප සියලු දෙනා සඳහා මාර්ගෝපදේශයක්.

ඉතා වැදගත් උදාහරණයක් ලෙස, යෞවනයේ ශක්තිය සඳහා පොතේ “ඔබගේ ශරීරය ශුද්ධ ය” ලෙස නම් කළ අත්‍යවශ්‍ය මාර්ගෝපදේශ තිබෙනවා. එහි “ඔබගේ ශරීරය—සහ අන් අයගේ ශරීරවලට—ගෞරවයෙන් සලකන්න” කියා උපදෙස් දෙනවා. ඔබේ ඇඳුම්, හිස්කෙස් රටාව සහ පෙනුම ගැන තීරණ ගන්නා විට, ඔබ ඔබගෙන්ම මෙසේ අසන්න: ‘මම දෙවියන්වහන්සේගෙන් ලැබුණු ශුද්ධ ත්‍යාගයක් ලෙස මගේ ශරීරයට ගෞරවය දක්වනවා ද?’”

යෞවනයේ ශක්තිය සඳහා පොත තවදුරටත් මෙසේ කියනවා: “ලිංගිකත්වය සහ ලිංගික හැඟීම් ශුද්ධව තබා ගන්න.” ඒවා විහිළු හෝ විනෝදාස්වාද සඳහා විෂයයක් නොවිය යුතුයි. විවාහයෙන් පිටත, එනම් පුරුෂයෙකු සහ ස්ත්‍රීයෙකු අතර විවාහයෙන් තොරව, වෙනත් අයෙකුගේ ශරීරයේ පුද්ගලික සහ රහසිගත කොටස්—ඇඳුම් ඇඳ තිබුණත්—ස්පර්ශ කිරීම වැරදියි. ඔබ කරන දේ, බලන දේ, කියවන දේ, ඇහුම්කන් දෙන දේ, සිතන දේ, පළ කරන දේ, හෝ පණිවිඩ යවන දේ පිළිබඳ ඔබේ තෝරාගැනීම්වලදී, ඔබ තුළ හෝ අන් අය තුළ කැමැත්තෙන්ම කාමය ඇති කරන හැඟීම් එල්ල කරන ඕනෑම දෙයකින් වළකින්න.”

සභාපති නෙල්සන්ගේ මෑතකදී කළ අවවාදය මේ ගැන මතක් කරනවා:

“මෙම දිව්‍යමය [­නිර්මල බවේ] නීතිය උල්ලංඝණය කරනවාට වඩා සමහර දේවල් ඔබේ ජීවිතය ඉක්මනින් සංකීර්ණ කරනවා. දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගත් අය සඳහා, දුරාචාරය ඔබේ සාක්ෂිය නැති කර ගැනීමට ඇති වේගවත්ම ක්‍රමයක් වෙනවා.

“… ජීවය මැවීමේ බලය යනු ස්වර්ගීය පියාණන්වහන්සේ උන්වහන්සේගේ මනුෂ්‍ය දරුවන්ට ඉඩ දෙන දේවත්වයේ එක් වරප්‍රසාදයක්. මේ අනුව, දෙවියන්වහන්සේ මෙම ජීවමාන, දිව්‍ය බලය භාවිතා කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සකස් කළා. ශාරීරික ළෙන්ගතුකම වලංගු වන්නේ එකිනෙකා සමඟ විවාහ වී සිටින පිරිමියෙකුට සහ කාන්තාවකට පමණි.

“ලෝකයේ බොහෝ දෙනෙක් මෙය විශ්වාස කරන්නේ නැහැ, නමුත් මහජන මතය සත්‍යයේ තීරකයා නොවේ. කිසිම අපවිත්‍ර පුද්ගලයෙක් ස්වර්ග රාජ්‍යය නොලබන බව ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. … ඔබ අපවිත්‍ර වී ඇත්නම්, පසුතැවිලි වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ ඔබ ඔබේ පව් ගැන සම්පූර්ණයෙන් පසුතැවිලි වී උන්වහන්සේගේ පූර්ණ ලෙස සමාව දීමේ පොරොන්දුව ලබා ගන්න [බලන්න යෙසායා 1:16–18; දහම සහ ගිවිසුම් 58:42–43].”

මතක තබා ගන්න, මොර්මන්ගේ පොතේ පොරොන්දුව තුළ, සමෘද්ධිමත් වීමට ප්‍රතිවිරුද්ධ දෙය දුප්පත්කම නොවේ—එය ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් කපා හැරීමයි. උන්වහන්සේගේ අභිමුඛය කියන්නේ, යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ උන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලපෑමයි. ලෝකය වෙත පැමිණෙන විට සියල්ලන්ම පැමිණෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයෙන් පිරී සිටිමිනුයි. ඊට අමතරව, සමහරුන් බව්තීස්මය ලබන්නට සහ දීමනාව ලබාගන්නට ක්‍රියා කර ශුද්ධාත්මයාණන්වහන්සේගේ ආලෝකය එකතු කරගන්නවා. උන්වහන්සේ පෙළඹවීමත් මගපෙන්වීමත් ගෙන එනවා, පුද්ගලයෙකුගේ ස්වභාවික දීමනා සහ හැකියාවන් වැඩිදියුණු කර පිරිපහදු කරනවා, එමෙන්ම නපුරු බලපෑම්, නරක තීරණ සහ නරක ප්‍රතිඵල වලක්වාගන්නට උපකාර කරනවා.

ඔබ වගේම, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව වරක් භුක්ති විඳි නමුත් දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට අපොහොසත් වීමෙන් එම ආශිර්වාදය අහිමි කරගත් සමහරුන් ගැන මම දන්නවා. විශේෂයෙන් එක් අයෙකුව මතකයට එනවා, ඒ පුද්ගලයාගේ අපරාධයක් හේතුවෙන් ඒ සභාවේ සාමාජිකත්වය අහිමි වූ අයෙක්. ඔහුගේ මුල් ප්‍රතිචාරය ලෙස ඔහුට අමනාපයක් දැනුණු බව ඔහු පැවසුවා. අසම්පූර්ණ නායකයන් විසින් ඔහුව විනිශ්චය කරනු ලැබූ බවක් ඔහුට හැඟුණා. ඔහුගේ හැසිරීම වැරදි බව ඔහු දැන සිටියත්, අන් අයගේ වැරදි සහ අසාර්ථකත්වයන් පෙන්වා දීමෙන් ඔහු එය සාධාරණීකරණය කරගෙන තිබුණා. ටික කලකට පසු, කැඳවීම් සහ නමස්කාර සේවාවන්ට සහභාගී වීමේ අපේක්ෂාවන් සහ අන් අයට සේවය කිරීමේ අපේක්ෂාවන් නොමැතිව ඔහුට සභාවෙන් පිටත ජීවන රටාවක් තුළ සුවපහසුවක් දැනෙන්නට පටන් ගත්තා.

මෙය ටික කලක් පැවතුනත්, ඔහුගේ ජීවිතයේ ශුද්ධාත්මයාණන් නොමැතිකම—දෙවියන්වහන්සේගේ සහභාගීත්වය නොමැති කම—ඔහුට වඩ වඩාත් තියුණු ලෙස දැනෙන්නට පටන් ගත්තා. අත්දැකීමෙන්, ආත්මයාණන් විසින් ලබන සැනසීම, මගපෙන්වීම සහ විශ්වාසය දිනෙන් දින ලැබීම කෙබඳුදැයි ඔහු දැන සිටි අතර, ඔහුට එය මග හැරුණා. අවසානයේ දී, ඔහු පසුතැවිලි වීමට සහ ජලයෙන් සහ ආත්මයාණන්ගෙන් බව්තීස්ම වීමට නැවත වරක් සුදුසුකම් ලැබීමට අවශ්‍ය දේ කළා.

අර්ථය, සතුට සහ උපකාරය සඳහා මිනිසුන් සොයන විවිධ මූලාශ්‍රවල අවසානයක් නැති බව පෙනෙන්නට තිබෙනවා. බොහෝ දෙනෙක් “ලකුණෙන් ඔබ්බට බලමින්” සිටිනවා. නමුත් අපි “සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත වීසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන්” විය යුතු නැහැ. දෙවියන්වහන්සේ දෙස බැලීමෙන්, අපට දුෂ්කරතාවලදී සාමය සොයාගත හැකි අතර, සැක සහිත හා අධ්‍යාත්මික අභියෝග පවතින කාලවලදී පවා අපගේ ඇදහිල්ල වර්ධනය කරගන්න පුළුවන්. විරුද්ධවාදිකම් සහ හුදකලාව හමුවේ අපට ශක්තිය ලබා ගන්න පුළුවන්. අපට පරමාදර්ශය, වර්තමාන යථාර්ථය සමඟ සංසන්දනය කරන්න පුළුවන්. සැබවින්ම, දෙවියන්වහන්සේ විසින්ම නියම කර ඇති දෙයට වඩා වෙනත් මාර්ගයක් නැහැ: “පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවියල්ලා. මක්නිසාද මම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත.”

දෙවියන්වහන්සේ දෙස බැලීම යන්නෙන් අදහස් කරන්නේ උන්වහන්සේ අපගේ ප්‍රමුඛතාවන්ගෙන් එකක් පමණක් නොවන බවයි; එහි තේරුම උන්වහන්සේ අපගේ ඉහළම ප්‍රමුඛතාවය බවයි. පසුගිය ජුනි මාසයේ දී ලෙසෝතෝ හි සිදු වූ එම බිහිසුණු අනතුර මට නැවතත් මතකයට එනවා. සභාවට බැඳීමට පෙර දෙවියන්වහන්සේව විශ්වාස නොකළ, දිවි ගලවා ගත් තරුණ ගැහැණු ළමුන්ගේ නායිකාවන්ගෙන් එක් අයෙකු රෝහල් ඇඳේ සිට පැවසුවේ ඇගේ ජීවිතය බේරුණේ මන්දැයි සොයා ගැනීම දැන් ඇගේ අරමුණ බවයි. ඇය මෙසේ පැවසුවා, “මට පිළිතුරක් ලැබෙන්නේ නම්, මම නිරන්තරයෙන් දෙවියන්වහන්සේට සේවය කිරීම තමයි ඒ පිළිතුර.” “මම කලින් හිතුවේ මම දෙවියන්වහන්සේට ආදරෙයි කියලා, නමුත් දැන් මම ඇත්තටම, ඇත්තටම, ඇත්තටම උන්වහන්සේට ආදරෙයි. දැන් මගේ ජීවිතයේ අංක එකේ ප්‍රමුඛතාවය උන්වහන්සේයි.”

වචනයෙන්, සිතුවිල්ලෙන්, අරමුණෙන් සහ ක්‍රියාවෙන් පරිපූර්ණ එකමුතුවෙන්, සියලු යහපත් දේ සඳහා අපට බලා සිටිය හැකි එකම දෙවියන් වන්නේ පියාණන්වහන්සේ, පුත්‍රයාණන්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ බව මම සාක්ෂි දරනවා. “මා දෙස බලව, තවද අවසානය දක්වා විඳදරාගන්න, තවද නුඹලා ජීවත්වන්නහුය; මක්නිසාද අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තාටම, මම සදාකාලික ජීවනය ලබා දෙන්නෙමි” යන මෙම අපූරු පොරොන්දුව ඉටු කිරීමට බලය ලැබෙන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ගැන මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. See Ryan Jensen, “Survivors of Deadly Bus Crash in Lesotho Share Grief—and Faith—in Wake of Tragedy,” Church News, July 18, 2025, thechurchnews.com; Ryan Jensen, “‘God Is Still God’—Remembering the Lives Lost in Lesotho Bus Accident,” Church News, July 19, 2025, thechurchnews.com.

  2. ඇල්මා 37:47.

  3. ඇල්මා 37:44.

  4. ඇල්මා 37:46; අවධාරණය කිරීම් සහිතයි.

  5. බලන්න ගණන් කථාව 21:5–6.

  6. ගණන් කථාව 21:8.

  7. බලන්න ඇල්මා 33:19.

  8. ඇල්මා 33:20.

  9. ඇල්මා 33:21–22. ඇල්මාගේ මුනුපුරා වන නීෆායි, ගැලවුම්කරුවාණන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය, “තවද සර්පයා දෙස බලන අයවලුන් ජීවත්වනවා සේම, එසේම ඇදහිල්ලෙන්, තැළුණු ආත්මයක් ඇතිව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි බලන අයවලුන් හට, සදාකාලික වූ එම ජීවිතය කරා පවා, ජීවත් විය හැකි වන්නේය” (හීලමන් 8:15).

  10. රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන සහනය සොයා ගන්න,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2022, 96.

  11. 2 නීෆායි 1:20.

  12. රෝම 8:28.

  13. දෙවියන්වහන්සේ දෙස බැලීමේ සහ උන්වහන්සේගේ ආත්මය අප සමඟ සිටීමේ ඵල අප වටා අපට දැකිය හැකිය. උදාහරණයක් ලෙස, පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ “ආත්මික සංවර්ධනය මානසික අවපීඩනයෙන් හා මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව ආරක්ෂාව සැපයීම සහ තරුණ වැඩිහිටියන්ට සෞඛ්‍ය සම්පන්න සබඳතා, වඩාත් අරමුණු සහිත වැඩ සහ වැඩි චිත්තවේගීය ඔරොත්තු දීමේ හැකියාව ලබා දීම සමඟ සම්බන්ධ වේ” යනුවෙනි (Cornelia Powers, “The New Spiritual Leader on Campus,” Atlantic, May 18, 2025, theatlantic.com).

    සාමාන්‍ය ජනගහනයේ නිදන්ගත තනිකම, චිත්තවේගීය හුදකලාව සහ කාංසාව යන මට්ටම්, පසුදවස්වල ශුද්ධවන්තයන් අතර ඇදහිල්ල මත පදනම් වූ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන්, ශාරීරික හා මානසික ජීව ශක්තිය, උසස් අධ්‍යාපන මට්ටම් සහ ධනාත්මක දෘෂ්ටිකෝණයන්ට වඩා වෙනස් ය. අපි ජනතාවක් ලෙස, ලෝකයේ බහුලව පවතින අභියෝග කිසිදා අත්විඳින්නේ නැති බව එයින් කියවෙන්නේ නැත. ඒ වෙනුවට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීමෙන් අපට ජය ගත හැකි බව එයින් අදහස් කරයි.

  14. බලන්න ඇල්මා 37:35–37.

  15. බලන්න දහම සහ ගිවිසුම් 68:4.

  16. දහම සහ ගිවිසුම් 6:36.

  17. යෞවනයින්ගේ ශක්තිය සඳහා: තෝරා ගැනීම් කිරීම සඳහා මාර්ගෝපදේශයකි (2022), 24, 25.

  18. රසල් එම්. නෙල්සන් “සෙලෙස්ටියල් මහිමය සිතන්න,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2023; මුල් කෘතියට අවධාරණය කිරීම් එකතු කරන ලදී.

  19. බලන්න යොහාන් 1:9; මොරෝනායි 7:16; දහම සහ ගිවිසුම් 84:45–46; 93:2.

  20. යාකොබ් 4:14.

  21. එපීස 4:14.

  22. යෙසායා 45:22

  23. Mapule Joyce Takane, in Jensen, “Survivors of Deadly Bus Crash in Lesotho Share Grief—and Faith—in Wake of Tragedy,” thechurchnews.com.

  24. බලන්න 1 යොහාන් 5:7; 3 නීෆායි 11:36; දහම සහ ගිවිසුම් 20:28; Guide to the Scriptures, “God, Godhead,” Gospel Library.

  25. 3 නීෆායි 15:9.