ප්‍රධාන සම්මන්ත්‍රණය
පූජාසනවල දණ ගසන නිහතමානී ප්‍රාණයන්
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:23

පූජාසනවල දණ ගසන නිහතමානී ප්‍රාණයන්

අපි අපගේ ගිවිසුම් ඇති කරගෙන ඒවාට ගරු කරන විට, අපි ගැලවුම්කරුවාණන්ට බැඳී, උන්වහන්සේගේ දයාව, ආරක්ෂාව, පාරිශුද්ධිකරණය, සුව කිරීම සහ විවේකය සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගන්නවා.

ගීතිකා කණ්ඩායම, ඒ නව ගීතිකාව තුළින් ලබාදුන් ඔබගේ සාක්ෂියට ස්තූතියි.

“Bread of Life, Living Water” යන නව සක්‍රමේන්තු ගීතිකාව මගේ ආත්මය පුරවනවා. ගීතිකාවේ එක් පේළියක මෙසේ සඳහන් වෙනවා, “දැන් මම පූජාසනය ඉදිරියට ඇවිත් මගේ බිඳුණු හදවත උන්වහන්සේට පුද කරනවා.”

2015 දී අපේ පවුල කැලිෆෝනියාවේ, නිව්බරි උද්‍යානයෙන්, යූටා ඔග්ඩන් ධර්මදූතයේ සේවය කිරීමට පිටත්ව ගිය විගසම ඒ වචන පිළිබඳ මගේ අවබෝධය ගැඹුරු වුණා. මට යූටා, ලේටන් අසල ඇති හිල් ගුවන් හමුදා කඳවුර නැරඹීමට ආරාධනාවක් ලැබුණා. මම කවදාවත් හමුදා කඳවුරක ඉඳලා නැහැ, හමුදා දේවගැතිවරයෙක් හෝ තම රටට ආරක්ෂාව සහ ආරක්ෂාව සැපයීමට සේවය කරන පිරිමින් සහ කාන්තාවන් මට හමු වෙලා නැහැ.

ලොව පුරා බන්ධනාගාර, රෝහල් සහ හමුදා ස්ථාන වල සේවය කරන දහස් ගණනක් ස්වේච්ඡා සහ වෘත්තීය දේවගැතිවරුන් මෙන්, චැප්ලින් හාප් ද මා තුළ ආශ්වාදයක් සහ ධෛර්යයක් ඇති කළා. අපගේ අවසාන නැවතුම වූයේ ශුද්ධස්ථානයයි. මෙනෙහි කිරීමට, යාච්ඤා කිරීමට, භාවනා කිරීමට සහ නමස්කාර කිරීමට කැමති සියලු දෙනාටම සේවාවන් සපයනවා ද කියා මම ඒ දේවගැතිවරයාගෙන් ඇසුවා. ඔහු දේවස්ථානයේ ඉදිරිපස බිත්තියට ගොස් තිර රෙදි පිටුපසින් කුරුසියක් එළියට ගත්තා. රෙපරමාදු සහ කතෝලික සේවාවන් සඳහා ඔහු කුරුසය භාවිත කළ බව ඔහු පැවසුවා. අපේ යුදෙව් සහෝදර සහෝදරියන් සඳහා ඔහු භාවිත කළේ කුමක්දැයි මම ඇසුවා, ඔහු ඉදිරිපස බිත්තියේ අනෙක් පැත්තට ගොස් දාවිත්ගේ තාරකාවක් එළියට ගත්තා.

ඊට පස්සේ මම ඇහුවා, “පසුදවස්වල ශුද්ධවන්තයන්ගේ සේවාවන් සඳහා ඔබ කරන්නේ කුමක්ද?” කියලා. ඔහු එම සංකේත ඉවතට තල්ලු කර ශුද්ධස්ථානය මැද ඇති විශාල ලී පූජාසනය පෙන්නුවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් ඒ පූජාසනය මත පාන් සහ ජලය සකස් කර ආශිර්වාද කරන බව ඔහු පැවසුවා. අපේ යුදෙව්, මුස්ලිම්, කතෝලික හෝ රෙපරමාදු සහෝදර සහෝදරියන්ගේ සේවාවන්ට පෙර විශාල, සවි කර ඇති බව පෙනෙන පූජාසනය ඉවත් කළා ද කියා මම ඇසුවා. ආගම් කිහිපයක් ද යම් ආකාරයකින් ඒ පූජාසනය භාවිතා කරන බැවින්, එම පූජාසනය එලෙසම පවතින බව ඔහු පැවසුවා.

ආබ්‍රහම් පූජාසනයක් ගොඩනගා, ඊසාක්ව බැඳ, ඔහුගේ එකම පුත්‍රයාව පූජා කිරීමට සූදානම්ව සිටියා, නමුත් ඔහුගේ අත නතර කෙරුණා, ඒවගේම ඔහු, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළ පරිදි මෙසේ ප්‍රකාශ කළා, “මම මෙහි ය”! ශ්‍රේෂ්ඨ තැනැන්වහන්සේ හෝ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු “මම මෙහි ය” කියා කී වතාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබෙනවා ද?

උන්වහන්සේගේ කන්ද උඩ දේශනාව අතරතුර, පූජාසනය වෙත ළඟා වීමට පෙර අපගේ සහෝදර සහෝදරියන් සමඟ සමාදාන වීමට ගැලවුම්කරුවාණන් අපට ආරාධනා කළා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් අපිව ඒ පූජාසනයේදී “පරිශුද්ධ කරනු ලබන” බව පාවුල් ඉගැන්නුවා.

අනාගතවක්තෘ ලීහායි “තම නිවස … සහ ඔහුගේ වටිනා දේවල් අත්හැර, … [පසුව] ඔහු පූජාසනයක් ගොඩනඟා … පූජාවක් ඔප්පු කර … ස්වාමීන්වහන්සේට ස්තුති කළා.”

පූජාසනවලදී දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ට නමස්කාර කරන ලෙස බයිබලය සහ මොර්මන්ගේ පොත අපට උගන්වනවා. ඒ ඇයි?

අපේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒව පූජාසන ගොඩනඟා ඒවා මත නමස්කාර කළා. ඔවුන්ව ඒදන් උයනෙන් නෙරපා දැමීමෙන් පසු ඔවුන් “බොහෝ දිනක්” නමස්කාර කළ පසු, දේවදූතයෙක් පැමිණ අප සෑම කෙනෙකුගෙන්ම අසන්නට හැකි තියුණු ප්‍රශ්නයක් ඇසුවා: “නුඔ ස්වාමින්වහන්සේට පූජා ඔප්පු කරන්නේ මක්නිසාද?”

ආදම් පිළිතුරු දෙමින් මෙහෙම කිව්වා, “මා දන්නේ නැත.”

ආදම්ගේ නිහතමානී පිළිගැනීමට දේවදූතයා දැක්වූ ප්‍රතිචාරය විශ්මයජනකයි: “මෙය පියාණන්වහන්සේගේ ඒකජාකයාණන්ගේ පරිත්‍යාගයට සමානය. … එසේහෙයින්, නුඹ කරන්නාවූ සියලුම දේවල් නුඹ පුත්‍රයාණන්වහන්සේගේ නාමයෙන් කළ යුතු වන්නේය, තවද නුඹ පසුතැවිලි වී තවද සදහටම දෙවියන්වහන්සේට ප්‍රත්‍රයාණන්ගේ නාමයෙන් මොරගැසිය යුතු වන්නේය.”

සක්‍රමේන්තු මේසය සහ දේවමාළිගාවේ පූජාසන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය සහ උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම සංකේතවත් කරනවා.

අපි අපගේ ගිවිසුම් ඇති කරගෙන ඒවාට ගරු කරද්දි, සභාවේ දී සක්‍රමේන්තුවේ නියෝග සහ දේවමාළිගාවේ දී ඉහළ බලයෙන් සැරසීම සහ මුද්‍රා තැබීම ලබා ගද්දි, අපි ගැලවුම්කරුවාණන් සමඟ බැඳී, උන්වහන්සේගේ දයාව, ආරක්ෂාව, ශුද්ධකම, සුව කිරීම සහ විවේකය සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගන්නවා.

ගිවිසුම් හරහා දයාව සහ ආරක්ෂාව

අවුරුදු 15ක කුඩා තරුණයෙක් විදිහට, ජනවාරි මාසයේ එක ඉරිදා දවසක විශේෂ ඇමරිකානු පාපන්දු තරඟයක් සඳහා සක්‍රමේන්තු රැස්වීම මඟ හරින්න පුළුවන්ද කියලා මම මගේ තාත්තාගෙන් ඇහුවා. මට ඒ තීරණය ගන්න පුළුවන් තරමේ වයසක මම සිටින බව ඔහු පැවසුවා, ඒවගේම එක උපදෙසක් ගැන සලකා බලන ලෙසත් පැවසුවා. ඔහු මෙසේ පැවසුවා “ඔබ එක් වරක් සක්‍රමේන්තුව මග හැරීමට තෝරා ගත්තොත්, නැවත එය මග හැරීමට තෝරා ගැනීම පහසුයි.”

ගැලවුම්කරුවාණන් ශ්‍රේෂ්ඨ සම්බන්ධකයාණන් නම්, විරුද්ධවාදියා කියන්නෙ වෙන් කරන්නෙක්. අපගේ කැප වූ නමස්කාර ස්ථානවලින් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආරක්ෂාවෙන් වෙන් වීමට සාතන් වන ඔහු අපව පොළඹවනවා. අපි ගැලවුම්කරුවාණන්ට නමස්කාර කරද්දි, අපට “ස්වභාවික ලෞකික ප්‍රවාහයට එරෙහිව යාමට බලය” ලැබෙනවා. අපි උන්වහන්සේ සමඟ හවුල් වීමෙන් කාලය ගත කරද්දි, අපට “සාතන්ගෙන් ගැලවීමට” පොරොන්දුවක් තිබෙනවා. “ඉන්පසුව, අපි අපේ ගිවිසුම් තබන විට, උන්වහන්සේගේ සුවකිරීම මගින්, ශක්තිමත් කිරීමේ බලය මගින් උන්වහන්සේ අපව බලයෙන් සරසවනවා.” අහෝ, ශුද්ධ වූ පූජාසනවලදී ඇති කරගත් ගිවිසුම් තුළින් ගැලවුම්කරුවාණන් සමඟ හවුල් වීමේ අත්දැකීම මම කොතරම් අගය කරනවාද.

ගැලවුම්කරුවාණන්ගේ සදාකාලික වන්දිගෙවීම පිළිබඳව පේළියෙන් පේළියට, ආඥාවෙන් ආඥාවට අවබෝධයක් ගොඩනගා ගැනීම මගින්, සතුරාගේ උපායන්ට එරෙහිව අධ්‍යාත්මික එන්නතක් සපයනවා. මෙක්සිකෝවේ තරුණ වැඩිහිටි ජගි, බෙල්ජියමේ සස්ටර් ජගි සහ ලොව පුරා සිටින අනෙකුත් ධර්මදූතයින්, ඔවුන්ගේ මිතුරන්ව ඔවුන් සම්බන්ධ කරගැනීමෙන් පසු පළමු සතිය තුළ ඔවුන් සක්‍රමේන්තු රැස්වීමට සහභාගී වුවහොත්, එම මිතුරන් බව්තීස්මයේ ආශිර්වාද ලබා ගැනීම සහ ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබීම දැකීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ටොංගා හෝ සැමෝවා හි තරුණ වැඩිහිටියෙකු උසස් පාසලෙන් උපාධිය ලැබීමෙන් පසු ඉක්මනින් තම ඉහළ බලයෙන් සැරසීම සඳහා සූදානම් වී එය ලබාගෙන තිබේ නම්, ඔවුන් ස්වාමින්වහන්සේගේ ගෘහයේ මුද්‍රා තැබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. බලයෙන් සැරසීමේ දී, සාමාජිකයින්ට තම ජීවිතවලට බලය සහ ආරක්ෂාව ලබා දෙන නීති පහක් අනුව ජීවත් වීමට, කීකරු වීමට සහ පිළිපැදීමට ආරාධනා කෙරෙනවා. අපි ස්වාමින්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගන්නා විට, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. අපි උන්වහන්සේට අපගේ පක්ෂපාතිත්වය සහ ප්‍රේමය පෙන්වනවා. තබාගන්නා ලද සහ ඉටු කරන ලද සෑම පොරොන්දුවක් සමඟම අපගේ ශක්තිය හා බලය වර්ධනය වෙනවා

පරාවර්තනය සහ ශුද්ධිකරණය

අපි නිහතමානීව සහ සංකේතාත්මකව ස්වාමින්වහන්සේගේ පූජාසන අසල දණ ගසන විට, එය “[අපගේ] හදවත්වල උඩඟුකම අනුව පරීක්ෂා කර,… දෙවියන්වහන්සේ ඉදිරියෙහි [තමන්ව නිහතමානී කරගන්නට]” මෙනෙහි කිරීම සඳහා අවස්ථාවක් වෙනවා. මම තරුණ වියේ දී මගේ මිතුරන් සමඟ එළියට යන්න කලින් අම්මා නිතරම මෙහෙම කිව්වා, “ඔයා කවුද කියලා මතක තියාගන්න, ඒවගේම කරුණාකරලා ගෙදර ආවම මට විස්තර කියන්න.” සමහර රාත්‍රීන්වල මම ගෙදර එන්න පරක්කු වුණු නිසා මට අම්මට විස්තර කියන එක මග හැරුණා. අම්මා එක්ක ඒ වැදගත් හමුවීම් මගහැරුණු එක ගැන මට දුකයි.

අද මම ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ විස්තර පැවසීමේ ඒ සම්බන්ධතාවය වෙනුවෙන් මග බලන් ඉන්නවා. මගේ දෛනික පෞද්ගලික නමස්කාර රටාව තුළ, මම මගේ ඇඳ අසල හෝ පවුලේ අය සමඟ රැස්ව යාච්ඤා කරමින් දණ ගසනවා, මගේ ජීවිතය ගැන මෙනෙහි කරමින් සහ පරීක්ෂා කරමින් පූජාසන අසල දණ ගසා සිටින ආකාරය මම සිතින් මවා ගන්නවා. අපගේ ගැලවුම්කරුවාණන්ගේ කැඩුණු ශරීරයේ සංකේතයක් ලෙස, අපි වෙනුවෙන් කැඩුණු සහ ඉරා දැමූ පාන් කැබලි ගැන පවා, ඒ කියන්නෙ සක්‍රමේන්තුව ගැන මම සිතනවා. “එය අනුභව කරන පුද්ගලයින් අද්විතීය වනවා සේම, සෑම පාන් කැබැල්ලක්ම අද්විතීයයි” යන සභාපති ඩැලන් එච්. ඕක්ස්ගේ ඉගැන්වීම මට මතක් වෙනවා. මම දණ ගසා යාච්ඤා කරද්දි, මගේ කැමැත්ත දෙවියන්වහන්සේට දිය හැක්කේ කෙසේදැයි මම සිතනවා.

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වූවා “සක්‍රමේන්තුව පිළිබඳ වත්පිළිවෙත අවංකව පසුතැවිලි වීමට හා අධ්‍යාත්මිකව අලුත් වීමට කරන්නා වූ ශුද්ධ වූ හා නැවත නැවත කරන ආරාධනයකි. සක්‍රමේන්තුවෙ හි ලබාගැනීමේ ක්‍රියාව, ඒ තුලින්ම පමණක්, පව් කමා නොකරයි. නමුත් අපි හෘද සාක්ෂියට එකඟව මෙම ශුද්ධ වූ වත්පිළිවෙතට බිඳුණු හදවතකින් හා පසුතැවුණු ආත්මයකින් සහභාගි වන විට ලැබෙන පොරොන්දුව තමයි ස්වාමින්වහන්සේගේ ආත්මය අප සමග සැමවිටම සිටීම. ඒවගේම අපගේ නිරන්තර සහකරු ලෙස ශුද්ධාත්මයාණන්ගේ පාරිශුද්ධ කිරීමේ බලයෙන්, අපට සැමවිටම අපගේ පව් වලට සමාව ලබා ගන්න පුළුවන්.”

ඒමි සහ මම අපේ ජීවිත අත්දැකීම් දෙස සමීපව බලන විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය සහ පරිත්‍යාගයේ ත්‍යාගය සමරනවා. නිරයේ කෝපය මුදා හැර ඇති ආකාරය ද අපට පෙනෙනවා. විනිශ්චයේ බැල්ම, කාංසාව, මානසික අවපීඩනය, පිළිකා, දියවැඩියාව, අන්තර්ජාලය හරහා වන හිරිහැර කිරීම්, සොරකම් කරන ලද අනන්‍යතාවය, නැති වූ ගැබ්ගැනීම් සහ දරුවෙකු, සහෝදරයෙකු සහ පියෙකු අහිමි වීම අපට ජය ගත හැක්කේ කෙසේ ද? යේසුස්වහන්සේ වෙව්ලීමේ තිත්ත කුසලානෙන්, කෝපයේ කුසලානෙන්—මා වෙනුවෙන්, මගේ පවුල වෙනුවෙන්, අප සැම වෙනුවෙන් ගත් නිසා ඒවා ජය ගන්න පුළුවන්!

ගැලවුම්කරුවාණන් ගෙත්සෙමනෙහිදී

ඇඩම් ඒබ්‍රම් විසින්, Gethsemane [ගෙත්සෙමන] altusfineart.com © 2025 අනුග්‍රහයෙනි.

ගෙත්සෙමන උයනේ දී උන්වහන්සේ පානය කළ “තිත්ත කුසලානය” සහ කල්වාරියේ කුරුසියේ දී උන්වහන්සේගේ දුක් වේදනා “කෲර” වීම, දැඩි, අහංකාර, ප්‍රචණ්ඩකාරී, කෝපාවිෂ්ඨ සහ වෙව්ලීම ස්වාමින්වහන්සේගේ පූජාසන මත තැබීමට සහ සැමවිටම “ශුද්ධාත්මයාණන ලබා ගැනීමෙන් පවිත්‍ර වීමට” අපට ඉඩ සලසනවා.

පැට්‍රීෂියා හොලන්ඩ් සහෝදරිය මෙසේ පැවසුවා, “අද ඔබ වෙනුවෙන් සහ මා වෙනුවෙන් මගේ ගැඹුරුම යාච්ඤාව නම්, අපි කොතැනක සිටියත්, කුමක් කළත්, දෙවියන්වහන්සේගේ පොරොන්දු සහ සාමයේ පූජාසනය මත සම්පූර්ණයෙන්ම අපි යටත් වෙමු.”

සුවය සහ විවේකය ලබා දෙන ස්ථානයක්

අපි පූජාසනයට පැමිණෙන විට, අපි දීමනාවක් උපයා ගන්නේ නෑ; අපි දීමනා ලබා දෙන්නා ගැන ඉගෙන ගනිමින් සිටිනවා. ඒ ඉගෙනීම හා ගිවිසුම් බැඳීම තුළ සුවය ලැබෙනවා. නීෆායි මෙසේ පැවසුවා, “මාගේ මාංශය පිළිස්සෙන තරමට, උන්වහන්සේ මා උන්වහන්සේගේ ප්‍රේමයෙන් පුරවන සේක.” ඒවගේම අපගේ ආදරණිය ගැලවුම්කරුවාණන් මෙසේ ආරාධනා කළා, “නුඹලා දැන් මා වෙතට හැරී, තවද නුඹලාගේ පාපයන් ගැන පසුතැවිලි වී, එනම් මා නුඹලාව සුව කරන පිණිස, හැරෙන්නේ නැත්තේහුද?”

අපේ වැඩිමහල් දියණියන් දෙදෙනා වන මැකෙන්සි සහ එමා කුඩා කාලයේ ඔවුන්ගේ ප්‍රියතම කතාවලින් එකක් වූයේ නාර්නියා හි වික්‍රමය: සිංහයා, මායාකාරිය සහ ඇඳුම් ආයිත්තම් කට්ටලය යන නවකාතාව. අපි හැමෝම සිංහයා වන අස්ලන්ට ආදරය කළා. මේ පොත කියවන විට අපට අමතක නොවන රාත්‍රියක් වූයේ ඒ මහා සිංහයා එඩ්මන්ඩ් වෙනුවෙන් තම ජීවිතය දුන් අවස්ථාවයි. මායාකාරිය විසින් ගල් මේසය මත සිංහයාගේ ජීවිතය උදුරා ගන්නා විට දෙමාපියන් සහ දියණියන් කඳුළු සැලූ නිසා එය මතකයේ රැඳුණා. ඒ ඛේදවාචකය නොතකා, දර්ශනීය සිදුවීම සිදුවන තුරු බලාපොරොත්තුව පැවතුන නිසා එය මතකයේ රැඳුණා. “මායාකාරිය පූජාවේ සැබෑ අරුත දැන සිටියා නම්, … ද්‍රෝහිකමක් නොකළ කැමැත්තෙන් ගොදුරු වූවෙකු ද්‍රෝහියෙකු වෙනුවට මිය ගියහොත්, ගල් මේසය ඉරිතලා මරණයම ලිහිල් වීමට පටන් ගන්නා බව ඇය දැන ගනු ඇත,” කියමින් අස්ලාන් නැවත මරණයෙන් නැගිටි විට එම කුඩා නිදන කාමරය තුළ ප්‍රීති ඝෝෂා නැගුණා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියලු තුවාල සුව කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත ජීවත් වීමට හැකියාව ලබා දෙනවා.

2022 ඔක්තෝම්බර් මාසයේ ඔහුගේ ප්‍රධාන සම්මන්ත්‍රණ කතාවේ දී, සභාපති රසල් එම්. නෙල්සන් දේවමාළිගාවේ විවෘත නිවසක් හරහා පැමිණෙන සංචාරක කණ්ඩායමක් ගැන විස්තර කළා. එතන තරුණ පිරිමි ළමයෙක් හිටියා. සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා:

“මේ සංචාරක කණ්ඩායම බලයෙන් සැරසීමේ කාමරයකට ඇතුළු වූ විට, මේ පිරිමි ළමයා, මිනිසුන් දණින් වැටී දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගන්නා පූජාසනය පෙන්වා, මෙහෙම කිව්වා, “අනේ ඒක ලස්සනයි. දේවමාළිගා ගමනේ දී මිනිසුන්ට විවේක ගැනීමට තැනක් මෙන්න.’

“… දේවමාළිගාවේ දී දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කර ගැනීම සහ ගැලවුම්කරුවාණන්ගේ විස්මිත පොරොන්දුව අතර සෘජු සම්බන්ධය ගැන ඔහුට අවබෝධයක් නොතිබෙන්නට ඇති:

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඔලාට සහනය දෙමි.”

“මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා; … තවද නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය” (මතෙව් 11:28–30 අවධාරණය කිරීම් සහිතයි].”

“මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්නට තැනක් නැත,” එහෙත් උන්වහන්සේ තම ගෝලයන්ට, ඔබට සහ මට, තමන් සමඟ එහි විවේක ගැනීමට සක්‍රමේන්තු මේසයට ආරාධනා කළ සේක. “නිහතමානී ආත්මයන් පූජාසනවල දණ ගසන විට” සාමය බහුල වෙනවා. අපගේ ගැලවුම්කරුවාණන්ගේ දෑත් දිගු කර ඇත; උන්වහන්සේගේ මේසය පැතිර ඇත. එන්න දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ට, උන්වහන්සේගේ ශුද්ධ පූජාසන අසල දී නමස්කාර කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.