ප්‍රධාන සම්මන්ත්‍රණය
එක් අයෙකුට දේවසේවය කිරීමේ බලය
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:27

එක් අයෙකුට දේවසේවය කිරීමේ බලය

අපි එක් අයෙකුට දේවසේවය කරන විට, අපි එම එක් කෙනාට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ ස්වාමින්වහන්සේගේ ගෘහයේ නමස්කාර කිරීමට ආරාධනා කරනවා.

සහෝදර, සහෝදරියනි, මෙම අභියෝගාත්මක කාලවල දී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමේ දී ඔබගේ ඇදහිලිවන්ත භක්තියට ස්තූතියි. ඔබ අපූරුයි; ඔබ ලස්සනයි; ඔබ සෑම කෙනෙක්ම දෙවියන්වහන්සේගේ දරුවෙක්. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ම කැප වූ ගෝලයන් බවට පත්වන විට සහ ස්වාමින්වහන්සේගේ ගෘහයේ නමස්කාර කිරීමෙන් උන්වහන්සේගේ ප්‍රීතිය ලබාගන්නා විට ශුද්ධාත්මයාණන්ගේ බලපෑම හඳුනාගෙන එකිනෙකාට උපකාර කිරීමට හැකි වේවා කියා මම යාච්ඤා කරනවා.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා, “සහෝදර සහෝදරියනි, අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ඔබටත් මටත් සූදානම් වීමට කාලය දැන් ඇවිත් තිබෙනවා. අපගේ අනුගාමිකත්වය අපගේ ඉහළම ප්‍රමුඛතාවය බවට පත් කිරීමට කාලය දැනුයි. කරකැවෙන බාධාවලින් පිරුණු ලෝකයක, අපට මෙය කරන්න පුළුවන් කොහොම ද?

ඔහු පිළිතුර ලබා දුන්නා: “දේවමාළිගාවේ නිතිපතා නමස්කාරය අපට ඒ සඳහා උදව් වෙයි. ස්වාමින්වහන්සේගේ ගෘහයේ දී, අපි අවධානය යොමු කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේටයි. … අපි උන්වහන්සේව දැන හඳුනා ගන්නවා. … යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සෑම අවංක සොයන්නෙකුටම දේවමාළිගාවේ දී උන්වහන්සේව හමුවෙනවා.”

ඉතින් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කැපවූ ගෝලයන් බවට පත් වී එකිනෙකාට උපකාර කරන්නේ කෙසේ ද? අපි එක් අයෙකුට දේවසේවය කරනවා. ගැලවුම්කරුවාණන්ගේ ආකාරයෙන් සේවය කිරීමට අනුකම්පාව, කරුණාව, ඉවසීම සහ විනිශ්චයකින් තොරව ප්‍රේමය ඇතුළත් වෙනවා. අපි එක් කෙනෙකුට දේවසේවය කරන විට, අපි එම එක් කෙනාට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ මිදීමේ බලය ලබා ගැනීම සඳහා ස්වාමින්වහන්සේගේ ගෘහයේ නමස්කාර කිරීමට ආරාධනා කරනවා. වෙනත් වචන වලින් කිවහොත්, අපි ස්වාමින්වහන්සේගේ ගෘහයට යන ආකාර වලින් එක පුද්ගලයෙකුට දේවසේවය කරන විට, අපි එකිනෙකාට කැපවූ ගෝලයන් වීමට උදව් කරනවා.

ප්‍රේමයෙන් සහ විනිශ්චයකින් තොරව එක් අයෙකුට දේවසේවය කිරීමේ බලය අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ඉගෙන ගන්නවා. ළිඳ අසළ සමාරියේ ස්ත්‍රිය ඔබට මතකයි. මෙම ස්ත්‍රියට තමා නොවැදගත්, තනි වූ, අධෛර්යමත් බවක් සහ නොපෙනෙන බවක් දැනිලා ඇති. ඇයට තමන් අයිති නැති බව දැනෙන්නට ඇති. ඇගේ ජීවිත කාලය පුරාම ඇයට ස්වාමිපුරුෂයන් පස් දෙනෙකු සිටි අතර, ඇය සමඟ ජීවත් වෙමින් සිටි පුරුෂයා ඇගේ ස්වාමිපුරුෂයා නෙමේ. තවත් සමහරු ඇගේ ජීවිතයේ තත්වයන් නොදැන අධර්මිෂ්ඨ විනිශ්චයක් දක්වන්න ඇති. දවසේ උණුසුම්ම වේලාවේ ඇය තනිවම ළිඳට පැමිණීමට මෙය එක් හේතුවක් වෙන්න පුළුවන් එහෙත්, ඇය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමන් මෙසියස්වහන්සේ බව ප්‍රකාශ කළ පළමු අයගෙන් කෙනෙක්. උන්වහන්සේට, මෙම කාන්තාව දෙවියන්වහන්සේගේ දියණියක් වුණා.

ජීවනදායක ජලය පානය කිරීමෙන් තමන් තුළින් සදාකාල ජීවනය ලබා ගත හැකි බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එම කාන්තාවට ඉගැන්වූවා. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය … මා දෙන වතුර … සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේය.”

සමාරියේ කාන්තාවට ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය දැනුණු අතර උන්වහන්සේ මෙසියස්වහන්සේ බව ආත්මයාණන්වහන්සේ තුළින් සාක්ෂියක් ලැබුවා. මෙම සාක්ෂියෙන් පසු, ඇය නැවත නගරයට ගොස් අනික් අයට බලන්නට ආරාධනා කළ අතර, බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ “සැබෑවටම මුන්වහන්සේ ලෝකයාගේ ගැළවුම්කාරයාණන් බව” විශ්වාස කළා. ක්‍රිස්තුස්වහන්සේ ප්‍රේමයෙන් යුතුව එක් අයෙකුට දේවසේවය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අනෙක් අය උන්වහන්සේගේ කැපවූ ගෝලයන් බවට පත් වුණා.

ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරුන් වන පේත්‍රැස් සහ යොහන් ගෙන් දයානුකම්පාවෙන් යුතුව එක් අයෙකුට දේවසේවය කිරීමේ බලය ගැන අපි ඉගෙන ගන්නවා. උපන් දා සිට කොර වූ එක්තරා මිනිසෙක් දිනපතා දේවමාළිගාවේ දොරටුව අසල වැතිරී මුදල් ඉල්ලමින් සිටියා ඔබට මතකයි. මේ මිනිසාට තමා නොවැදගත්, තනි වූ, අධෛර්යමත් බවක් සහ නොපෙනෙන බවක් දැනිලා ඇති. තමා අයිති නැති බව ඔහුට හැඟෙන්නට ඇති.

“පේත්‍රැස්ද: රන් රිදී මට නැත; නුමුත් මට ඇති දේ [මම]නුඹට දෙමි: නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන්, ඇවිදපන්නැයි කීවේය.”

පේත්‍රැස් ඒ මිනිසාගේ දකුණු අත අල්ලාගෙන ඔහුව නැඟිට්ට වූ විට මිනිසා සුවපත් වුණා. ප්‍රාතිහාර්යයෙන් පසු වහාම, මිනිසා පේත්‍රැස් සහ යොහන් සමඟ දේවමාළිගාවට ඇතුළු වී, “ඇවිදිමින්ද පැනනගිමින්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්ද” සිටියා. පේත්‍රැස් සහ යොහන් ස්වාමින්වහන්සේගේ ගෘහයට යන මාර්ගයෙන් එක් අයෙකුට දේවසේවය කළ අතර, මේ මිනිසා ක්‍රිස්තුස්වහන්සේගේ කැපවූ ගෝලයෙකු බවට පත් වුණා.

මගේ මිත්‍රවරුනි, මගේ ජීවිතයේත් මම නොවැදගත්, තනි වූ, අධෛර්යයක් සහ නොපෙනෙන බවක් දැනුණු අවස්ථා තිබුණා. මට දැනුනේ මම අයිති නැති කෙනෙක් වගේ. මට වයස අවුරුදු 19 දී මම බව්තීස්ම වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු ලෙස ස්ථිර කළා. වසරකට පසු, පූර්ණ කාලීන ධර්මදූතයෙකු ලෙස සේවය කිරීමේ කැඳවීම මම පිළිගත්තා, නමුත් සභාවේ ඉතිහාසය ගැන මම ඒ වන විටත් ඉගෙනගෙන නොතිබූ බොහෝ දේ තිබුණා.

මගේ ධර්මදූත සේවයේ මුල් අවධියේ දී, කළු අප්‍රිකානු සම්භවයක් ඇති අයට ස්වාමින්වහන්සේගේ ගෘහයේ නමස්කාර කිරීමේ සියලු ආශීර්වාද භුක්ති විඳීමට අවසර නොතිබූ කාල පරිච්ඡේදයක් තිබුණු බව මම ඉගෙන ගත්තා. මෙය පළමු වරට ඉගෙන ගැනීමෙන් කෝපය, ව්‍යාකූලත්වය, සැකය සහ බිය වැනි හැඟීම් ඇති වුණා. මේ හැඟීම් කොතරම් බලවත්ද කිව්වොත්, ශුද්ධාත්මයාණන්ව හඳුනා ගැනීමේ මගේ හැකියාව ටික කාලයකට මට නැති වෙලා ගියා.

වාසනාවකට මෙන්, මට කෙවින් වික් නම් අපූරු ධර්මදූත සගයෙක් සිටියා, ඔහු මට ආදරයෙන්, ඉවසීමෙන් සහ කරුණාවෙන් දේවසේවය කළා. සෑම රාත්‍රියකම ඔහු මගේ සැකය සහ අවිනිශ්චිතභාවය දුටු විට, ඔහු බාල වැඩිහිටි ජොන්සන්ට සරලව මෙසේ කිව්වා “මම ඔයාට ආදරෙයි.” සති දෙකකට පමණ පසු, මම කෙවින්ගේ ආදරය දැනෙන්නට ඉඩ හැරියා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ස්වර්ගික පියාණන්වහන්සේට යාච්ඤා කිරීමට මට ධෛර්යය ලැබුණා. මම යාච්ඤා කරන විට, දහම සහ ගිවිසුම් වල 6 වන කොටසට, 21–23 පදවලට මා ඇදී ගියා, එහි මෙසේ සඳහන් වෙනවා:

“බලන්න, මම දෙවියන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. … අඳුරේ බබළන ආලෝකය මමය. …

“… මෙම දේවල් සම්බන්ධ සත්‍යය නුඹ දැනගන්නා පිණිස, නුඹගේ හදවතින් මා හට හැඬූ රාත්‍රිය මනසින් සිහිපත් කරපන්න.

එම කාරණාව සම්බන්ධයෙන් නුඹගේ මනසට සමාදානය ලැබෙන පිණිස මා නුඹ හට කතා නොකළේ ද? දෙවියන්වහන්සේගෙන් ලද සාක්ෂියට වඩා උතුම් සාක්ෂියක් ඔබට තිබිය හැකි ද?”

කියවගෙන යද්දි, මට මතක් වුණා. මොර්මන්ගේ පොත දෙවියන්වහන්සේගේ වචනය බව සහ ජෝසෆ් ස්මිත් නැවත පිහිටුවීමේ අනාගතවක්තෘවරයා බව දැන ගැනීමට මම නිරාහාරව සිට යාච්ඤා කළ දිනය මට මතක් වුණා. මාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ පෞද්ගලිකව හා සමීපව සම්බන්ධ කළ ස්වාමින්වහන්සේගේ ගෘහයේ දී ඇති කරගත් ගිවිසුම් මට මතක් වුණා. ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය, දයාව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව පොළොව මත උන්වහන්සේගේ රාජ්‍යය බවත් උන්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා අපව සූදානම් කිරීමට අවශ්‍ය බවත් උන්වහන්සේගේ සහතිකය මට දැනුණා. මට මතක් වූ නිසා, මට නැවතත් ශුද්ධාත්මයාණන්ව හඳුනා ගැනීමටත්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බවත්, මම උන්වහන්සේගේ ගෝලයා බවත් වඩාත් හොඳින් තේරුම් ගැනීමටත් හැකි වුණා.

සමහර අවස්ථාවල දී අපට පිළිතුරු නොලැබෙන ප්‍රශ්න සහ නොවැදගත්, අධෛර්යමත්, තනි වූ සහ නොපෙනෙන හැඟීම් ඇති වෙනවා. කෙසේ වෙතත්, මගේ මිත්‍රවරුනි, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉදිරියට ගොස් උන්වහන්සේගේ වචන මතක තබා ගත යුතු වෙනවා:

“නුඹලාගේ සිත් කැලඹෙන්ට නොදෙන්න.”

“ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙයල්ලා; මම ලෝකයෙන් ජයගතිමි.”

මම මේ යථාර්ථය සහ ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දු වූ ආශිර්වාදය ගැන සාක්ෂිකරුවෙක්.

ඉතින්, ගැලවුම්කරුවාණන්ගේ ආකාරයෙන් අපගේ දේවසේවය වඩාත් ඵලදායී බව සහතික කිරීමට අපට කරන්න පුළුවන් මොකක්ද? ක්‍රිස්තුස්වහන්සේගේ දහම අනුව ජීවත් වීම අපට උපකාර වෙයි සභාපති නෙල්සන් විස්තර කළ පරිදි “ක්‍රිස්තුස්වහන්සේගේ දහමට අනුව ජීවත් වීම” “අපගේ ජීවිතවල අධ්‍යාත්මික ගම්‍යතාවයක් ඇති කරමින් බලවත්ම, ගුණවත් චක්‍රයක් නිපදවා ගන්න පුළුවන්.

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උසස් නීති අනුව ජීවත් වීමට උත්සාහ කරන විට … ගැලවුම්කරුවාණන් අපව මේ වැටුණු ලෝකයේ ඇද ගැනීමෙන් ඔසවන්නේ අපට වැඩි දයාවෙන්, නිහතමානිකමෙන්, ත්‍යාගශීලීත්වයෙන්, කරුණාවෙන්, ස්වයං විනයකින්, සාමයෙන් සහ විවේකයෙන් ආශිර්වාද කිරීමෙනුයි.”

“[මෙම අධ්‍යාත්මික] ගම්‍යතාවය, ක්‍රිස්තුස්වහන්සේගේ දහම අනුව ජීවත් වීමෙන් නිපදවනු ලැබේ,” වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් පැහැදිලි කරන පරිදි, “අපගේ දිව්‍යමය ස්වභාවය අපගේ සදාකාලික ඉරණම බවට පරිවර්තනය කිරීමට බලය ලබා දෙනවා පමණක් නොව, සුදුසු ආකාරවලින් අන් අයට [සේවය කිරීමට] උපකාර කිරීමට අපව පොළඹවයි.” වැඩිහිටි රෙන්ලන්ඩ් අපට මෙසේ මතක් කර දෙනවා “ගැලවුම්කරුවාණන්ගේ කාර්යය වන්නේ [අපව සම්පූර්ණ කිරීම] සුව කිරීමයි. අපගේ කාර්යය වන්නේ ප්‍රේම කිරීම—අන්‍යයන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ඇදී යන ආකාරයෙන් ප්‍රේම කිරීම සහ දේවසේවය කිරීමයි.”

ක්‍රිස්තුස්වහන්සේගේ දහම අනුව ජීවත් වීමට අපට ඇති හැකියාව, දිනපතා මොර්මන්ගේ පොත අධ්‍යයනය කිරීමෙන් සහ සතිපතා සක්‍රමේන්තුවෙහි කොටස්කරුවන් වීමෙන් පොහොසත් වෙනවා. සභාපති නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා, මොර්මන්ගේ පොත “ක්‍රිස්තුස්වහන්සේගේ දහම උගන්වන අතර ඕනෑම තැනක සොයාගත හැකි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ සම්පූර්ණ සහ [පැහැදිලි] අවබෝධය සපයනවා.” මම මේ පොත අගයනවා. සෑම සතියකම යාච්ඤාපූර්වකව සක්‍රමේන්තුවට සහභාගි වීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ අපගේ අවබෝධය වැඩි වන අතර, අපගේ ජීවිතවලට අධ්‍යාත්මික අලුත් කිරීම, සැනසීම සහ දේවභක්තික බලය ලබා දෙනවා. මතක තබා ගන්න, “[පූජකත්වයේ] නියෝගයන්ට අනුව, දේවත්වයේ බලය එළිදරව් කරනු ලබනවා,” තවද මෙම බලය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතින් පැමිණෙන සහ උන්වහසේගෙන් ලැබෙන බලය, අපගේ ආශාව සහ එක් අයෙකුට දේවසේවය කිරීමේ අපගේ හැකියාව ශක්තිමත් කරනවා.

මොර්මන්ගේ පොත අධ්‍යයනය කිරීම සහ සක්‍රමේන්තුවට සහභාගී වීම අධෛර්යමත් වීමේ හැඟීම් අවම කරනවා, ගැලවුම්කරුවාණන්ගේ ආකාරයෙන් සේවය කිරීමට මගේ අධිෂ්ඨානය වැඩි කරනවා, සහ ගෝලත්වය මගේ ඉහළම ප්‍රමුඛතාවය බවට පත් කිරීමට උපකාරී වෙනවා.

මගේ මිත්‍රවරුනි, අපි ක්‍රිස්තුස්වහන්සේගේ දහම අනුව ජීවත් වන අතර ස්වාමින්වහන්සේගේ ගෘහයට මඟ පෙන්වන ආකාරයට සේවය කරන විට, පිළිතුරු නොලැබෙන ප්‍රශ්න සහ නොවැදගත්, තනි, අධෛර්යමත් සහ නොපෙනෙන හැඟීම් මධ්‍යයේ වුවද, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉදිරියට යන බවට මම පොරොන්දු වෙනවා. අපි ඕනෑම කෙනෙකුට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ ස්වාමින්වහන්සේගේ ගෘහයේ නමස්කාර කර උන්වහන්සේගේ මිදීමේ බලය සහ ප්‍රේමය ලබා ගැනීමට ආරාධනා කරනවා. ස්වාමින්වහන්සේගේ ගෘහයේ දී, අපට “[ගැලවුම්කරුවාණන්ගේ] දයාව දැනෙනවා. [අපගේ] වඩාත්ම කරදරකාරී ප්‍රශ්නවලට පිළිතුරු [අපි] සොයා ගන්නවා. [තවද අපි] උන්වහන්සේගේ ශුභාරංචියේ ප්‍රීතිය වඩා හොඳින් වටහා ගන්නවා.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. රසල් එම්. නෙල්සන්, “ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත,” ­ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2024.

  2. බලන්න යොහන් 4:5–42.

  3. ඓතිහාසික වශයෙන්, බොහෝ දෙනෙක් උදේ පාන්දරින්ම යාකොබ්ගේ ළිඳට ගියා. එය එකිනෙකා සමඟ එක්රැස් වී ඇසුරු කිරීමට ස්ථානයක් වුණා. දවසේ මැද හා උණුසුම්ම වේලාව වන හයවන පැයේදී, එනම් දහවල් කාලයේදී සමරිතානු කාන්තාව තනිවම යාකොබ්ගේ ළිඳ වෙත පැමිණියා. මෙම කාල‍යේ පැමිණීමෙන්, අන් අයට ඇය ගැන හැඟුණු දේ සහ ඇයට තමා ගැන හැඟුණු ආකාරය ඇය වටහා ගත් ආකාරය පෙන්නුම් කරන්න පුළුවන්.

  4. යොහන් 4:13–14.

  5. යොහන් 4:42.

  6. බලන්න ඇල්මා 3:1–11.

  7. ක්‍රියා 3:6.

  8. බලන්න ක්‍රියා 3:7.

  9. ක්‍රියා 3:8.

  10. 1986 අගෝස්තු මාසයේදී මම බව්තීස්ම වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු ලෙස ස්ථිර කළා. 1987 අගෝස්තු සිට 1989 අගෝස්තු දක්වා, මම ඇලබාමා බර්මින්හැම් ධර්මදූත සේවයේ ධර්මදූතයෙකු ලෙස සේවය කළා.

  11. බලන්න Church and Gospel Questions, “Race and The Church of Jesus Christ of Latter-day Saints,” Gospel Library.

  12. මෙම අත්දැකීම පීටර් එම්. ජොන්සන් හි වඩාත් විස්තරාත්මකව විස්තර කර ඇත, “Applying the Doctrine of Jesus Christ into Our Lives” (Brigham Young University–Idaho devotional, Mar. 14, 2023), byui.edu.

  13. දහම සහ ගිවිසුම් 6:21–23.

  14. යොහාන් 14:27.

  15. යොහාන් 16:33

  16. ක්‍රිස්තුස්වහන්සේගේ දහම අන්තර් සම්බන්ධිත අංග පහකින් සමන්විත වේ: ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි ඇදහිල්ල; පසුතැවීම; වත්පිළිවෙත් ලැබීම සහ ගිවිසුම්වලට ගරු කිරීම; ශුද්ධාත්මයාණන් විසින් විශුද්ධ කරනු ලැබීම; සහ අවසානය දක්වා විඳදරා ගැනීම. ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවේ සහ දිව්‍ය බලයේ මූලධර්මයකි. පසුතැවීම යනු අපගේ හදවත් සහ ආත්මයන් උන්වහන්සේ දෙසට හරවා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමයි. පසුතැවීම දඬුවමක් නොවේ. එය යේසුස්වහන්සේගෙන් අධ්‍යාත්මිකව ඉපදී අපගේ මුහුණට උන්වහන්සේගේ ස්වරූපය ලබා ගැනීමේ ක්‍රියාවලියයි. දෙවියන්වහන්සේ හා ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති කරගත් නියෝග ලැබීම සහ ගිවිසුම් වලට ගරු කිරීම, අපට උන්වහන්සේගේ බලය හා ප්‍රේමය වෙත වැඩි ප්‍රවේශයක් ලබා දෙන අතර ශුද්ධාත්මයාණන් විසින් අපට පරිශුද්ධ වීමට ඉඩ සලසයි. ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ අවසාන අංගය අවසානය දක්වා නොනැසී පවතී, එය ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ සෑම අංගයක්ම “නැවත නැවතත් සහ පුනරාවර්තනයෙන්” ජීවත් වීමයි, එවිට අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කැපවූ ගෝලයන් වීමට සහ එකිනෙකාට උපකාර කිරීමට සහ ස්වාමින්වහන්සේගේ ගෘහයේ නමස්කාර කරන විට උන්වහන්සේගේ ප්‍රීතිය දැනිය හැකිය (Dale G. Renlund, “The Powerful, Virtuous Cycle of the Doctrine of Christ,” Liahona, May 2024, 81; see also Russell M. Nelson, “Overcome the World and Find Rest,” Liahona, Nov. 2022, 97).

  17. Russell M. Nelson, “Overcome the World and Find Rest,” 97.

  18. ඩේල් ජී. රෙන්ලන්ඩ් “ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ බලවත්, ගුණවත් චක්‍රය,” අවධාරණය එකතු කරන ලදී.

  19. රසල් එම්. නෙල්සන්, “මොර්මන්ගේ පොත: එය නොමැතිව ඔබේ ජීවිතය කෙබඳු වේවිද?,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්: 2017.

  20. දහම සහ ගිවිසුම් 84:20.

  21. රසල් එම්. නෙල්සන්, ”ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත,” ­ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2024.