ගොස් එලෙසම කරන්න
සේවා පැවරුම් සඳහා කැඳවනු ලබන එම ධර්මදූතයින් ඉස්මතු කරන්නට මම කැමතියි. ඔවුන් අපට ආදර්ශයක්.
ගැලවුම්කරුවාණන් බෙත්සයිදා හරහා ගමන් කරන අතරතුර, පුද්ගලයන් කිහිප දෙනෙක් විසින් අන්ධ මිනිසෙකුව උන්වහන්සේ වෙත ගෙනාවා. සමහරවිට ඔවුන් ආශ්චර්යයක් එක් වරම දැකීමට බලාපොරොත්තු වුණා වෙන්න පුළුවන්. ගැලවුම්කරුවාණන් “අන්ධයා අතින් අල්ලා, ගමෙන් පිටතට ගෙනැවිත්” ඔහුව පෞද්ගලිකව සුව කළා. මුල දී, සුව කිරීම එතරම් ඵලදායී නොවන බව පෙනෙන්නට තිබුණා. ඒ මිනිසා “ඇස් ඔසවා කියනුයේ: මට මනුෂ්‍යයන් පෙනේ; මක්නිසාද ගස් වාගේ (ඔවුන්) ඇවිදිනවා මට පෙනේ.” යේසුස්වහන්සේ දයානුකම්පිතව, “ඔහුගේ ඇස් පිට නැවත අත් තැබූ සේක.” ගැලවුම්කරුවාණන්ගේ දෑත්වල එම අමතර ස්පර්ශයත් සමඟ, අන්ධ මිනිසා දැන් “පැහැදිලි ලෙස දුටුවේය.”
මෙය ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය නිහතමානී සේවා ක්‍රියාවන් මගින් විදහා පෙන්වන ආකාරය පිළිබඳ එක් උදාහරණයක් විතරයි. උන්වහන්සේ අපට මතක් කර දෙන්නේ උන්වහන්සේ “සේවය ලබන්ට නොව සේවය කරන්ට පැමිණි” බවයි, ඉන්පසු උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට අපට ආරාධනා කරන්නේ, අපෙන් ඉල්ලන අයට දීමෙන් සහ අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීමෙන් අමතර එක සැතැප්මයක් යාමෙනුයි. “මගේ අසල්වැසියා කවුද?” කියලා ඇහුවම. ක්‍රිස්තුස්වහන්සේ යහපත් සමරිතානුවාගේ උපමාව බෙදා ගනිමින් “නුඹත් ගොස් එලෙසම කරන්න” යන ආඥාව ඉදිරිපත් කළා.
යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ධර්මදූතයින් තමයි ක්‍රිස්තුස්වහන්සේ අපට ආරාධනා කරන යහපත් සමරිතානුවරයෙකුගේ නූතන උදාහරණ. සේවා පැවරුම් සඳහා කැඳවනු ලබන එම ධර්මදූතයින් ඉස්මතු කරන්නට මම කැමතියි. සේවය (1) යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට හදවත් විවෘත කරන ආකාරය, (2) අපගේ තත්වයන් නොසලකා අප සැමට දේවසේවය කිරීමට ඉඩ සලසන ආකාරය සහ (3) අපගේ ජීවිතවලට ක්‍රිස්තුස්වහන්සේගේ බලය ගෙන එන ආකාරය පිළිබඳව ඔවුන් අපට ආදර්ශයක්.
පළමුව, සේවය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට හදවත් විවෘත කරනවා.
ක්‍රි.පූ. 91 දී පමණ, මොර්මන්ගේ පොතේ ධර්මදූතවරයෙකු වූ, ඇමන්, තමාව ලැමෝනායි රජුට හඳුන්වා දෙමින් මෙසේ පැවසුවා, “මෙම ජනතාව අතර වාසය කිරීමට මම කැමැත්තෙමි; … [සහ] මම නුඹගේ දාසයෙකු වන්නෙමි.” රජුට ඔහු කළ සේවය නිසා, ඇමන්ට “නිර්භීතව කතා කරන්න, … ඔහු තම සේවය කළේ කුමන බලයකින්දැයි [ලැමෝනායි රජුට] … පැවසීමට” අවස්ථාවක් ලබා දුන්නා. ඒ වෙනුවට, රජතුමා “[ඇමන්] කැමති ඕනෑම දෙයක් … [රජතුමා] එය ලබා දෙන බවට” පොරොන්දු වුණා. ඇමන්ගේ එකම ඉල්ලීම වුණේ රජු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පණිවිඩයට සවන් දෙන එකයි. ඇමන්ගේ සේවයේ ප්‍රතිඵලයක් ලෙස “පසුතැවිලි වීම කරා ප්‍රාණයන් දහස්ගණනක් [ගෙන ඒමට]” සිදු වුණා.
අපේ කාලයේ දී, සේවය අන් අයව ශුභාරංචිය වෙත ගෙන යාම දිගටම කරගෙන යනවා. බෙවන් සහෝදරිය ඉගැන්වීමේ ධර්මදූතවරියක් ලෙස සේවය කරමින් සිටිය දී ඇය සෞඛ්‍ය ගැටලු අත්විඳීමට පටන් ගත් අතර, ප්‍රතිකාර සඳහා ඇයට නැවත නිවසට යාමට සිදු වුණා. මුදා හැරීම වෙනුවට, ඇයට නිවසේ සිට සේවා ධර්මදූතවරියක් ලෙස දිගටම සේවය කරගෙන යාමට හැකි වුණා.
උද්‍යානයක් බැලීමට ගිය අතරතුර, බෙවන් සහෝදරිය සහ මිතුරියක් කුඩා දරුවන් හතර දෙනෙකු සිටින මවක් සමඟ කතා කිරීමට පෙළඹවීමක් ලැබුණු නමුත්, ඔවුන් පසුබට වූ අතර පවුලේ අය පිටත්ව ගියා. මෙම පවුල එහි සිටිනු ඇතැයි යාච්ඤා කරමින් පසුදා ඔවුන් උද්‍යානයට ආපසු පැමිණියා. ආශ්චර්යමත් ලෙස, මව පෙර දින වගේම හරියටම එම ස්ථානයේම වාඩි වී සිටියා. මේ වතාවේ, බෙවන් සහෝදරිය සහ ඇගේ මිතුරිය මේ මව වෙත ළඟා වී, ඇයව දැන හඳුනාගත් අතර, ඇයට ලෞකික උපකාරයක් ඉතා අවශ්‍ය බව දැන ගත්තා. ඔවුන් ඇයට සහාය ලබා දුන් අතර පසුව ශුභාරංචිය ගැන ඉගෙන ගැනීමට ඇයට ආරාධනා කළා.
එම සේවාව සහ ආරාධනය නිසා, මව සහ ඇගේ වැඩිමහල් දරුවා බව්තීස්ම වූ අතර, වසරකට පසුව ඊළඟ වැඩිමහල් දරුවා බව්තීස්ම වුණා. ඔවුන් අදටත් ක්‍රියාකාරී සාමාජිකයන් ලෙසින් ඉන්නවා. මෙම අත්දැකීම දිව්‍යමය ආනුභාවයෙන් ලැබුණු බව බෙවන් සහෝදරිය දැන සිටි අතර එය “[ඇය] දෙවියන්වහන්සේට [ඇය] සිටීමට අවශ්‍ය තැන හරියටම සිටින බව [ඇයට] ඔප්පු කළා.”
ඇමන් සහ බෙවන් සහෝදරිය මෙන්, අපි අන් අයට සේවය කරන විට, අපි “ඔවුන්ට හොඳ ආදර්ශයන් පෙන්වනවා” සහ ඔවුන් “[අප] තුළ ඇති බලාපොරොත්තුවේ හේතුව” දැන ගැනීමට කැමති වෙනවා.
යේසුස්වහන්සේ අපට මෙසේ ආරාධනා කරනවා, “නුඹත් ගොස් එලෙසම කරන්න.”
දෙවනුව, අපගේ තත්වයන් නොසලකා සේවය අප සැමට දේවසේවය කිරීමට ඉඩ සලසනවා.
“සුදුසු, හැකියාව ඇති සෑම තරුණ පිරිමි ළමයෙකුටම ධර්මදූත සේවයක් කිරීම සඳහා සූදානම් වන ලෙසත්” එමෙන්ම සෑම හැකියාව ඇති ගැහැණු ළමයෙකුටම “තමන් ධර්මදූතයක සේවය කරනවාට ස්වාමින්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙ උදෙසා යාච්ඤා කරන ලෙසත්” සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා තිබෙනවා. “ධර්මදූත මෙහෙවරකට සේවය කිරීමට ඔබ ගත් තීරණය, එය ආගමට හැරවීමක් හෝ සේවා ධර්මදූත මෙහෙවරක් වේවා, ඔබට සහ තවත් බොහෝ දෙනෙකුට එමගින් ආශිර්වාද ලැබෙනු ඇත” යනුවෙන් ඔහු පොරොන්දු වුණා. සේවා ධර්මදූත මෙහෙවර හැකියාව ඇති යන වචනයේ අර්ථ දැක්වීම වෙනස් කර තිබෙනවා. දැන් ස්වාමින්වහන්සේ වෙනුවෙන් පූර්ණ කාලීන ධර්මදූත මෙහෙවරක් කිරීමට කැමති සෑම වටිනා තරුණ පිරිමි ළමයෙකුටම සහ ගැහැණු ළමයෙකුටම, ඉතා සුළු ව්‍යතිරේක සහිතව, එසේ කරන්න පුළුවන්.
වැඩිහිටි හොල්ගාඩෝ කියන්නේ පෞද්ගලික තත්වයන් නොසලකා සේවය කිරීමට හැකි බව පිළිබඳ උදාහරණයක්. ඔහු උපත ලැබුවේ දුර්ලභ ජානමය ආබාධයකින් වන අතර එම නිසා ඔහුට ඉගැන්වීමේ ධර්මදූතයක සේවය කිරීමට නොහැකි වුණා. වැඩිහිටි හොල්ගාඩෝව සේවා ධර්මදූතවරයෙකු ලෙස කැඳවනු ලැබූ අතර සභානායකවරුන්ගේ ගබඩාවේ ඔහු ස්වේච්ඡාවෙන් සේවය කළ අතර එහි දී ඔහු අන් අයට අවශ්‍ය උපකාර ලබා දීමට උදව් කළා. ඔහු රාක්ක, එළවළු බෑග සහ තැළුණු කාඩ්බෝඩ් පෙට්ටි ඇසිරුවා.
තම ධර්මදූත මෙහෙවරෙන් පසු සක්‍රමේන්තු රැස්වීමේ දී වැඩිහිටි හොල්ගාඩෝ කතා කරමින් මෙසේ බෙදාගත්තා. “දෙවියන්වහන්සේට සේවා ධර්මදූතයින් අවශ්‍යයි. උන්වහන්සේට අන් අයට ආදරය කිරීමට සහ සේවය කිරීමට මිනිසුන් අවශ්‍යයි. මේ අය වැසිකිළි කඩදාසි ගබඩා කරනවා, බ්‍රොකොලි බෑග වලට දමනවා, ගෘහ භාණ්ඩ හදනවා, ඒ වගේම මිනිස්සුන්ට හොඳින් සලකනවා.”
යහපත කිරීමට ඔබට සේවා පැවරුමක් තිබීමට හෝ නාම ටැගයක් පැළඳීමට අවශ්‍ය නැහැ. සෑම සේවාවක්ම ගැලවුම්කරුවාණන් විසින් දකිනවා. ප්‍රේමනීය කරුණාවෙන් සේවය කිරීමෙන් අන් අයට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කිරීමට අප සැමට පුළුවන්. අපි සැමට ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින් කෙනෙකුට දේවසේවය කළ හැකි අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ උදාහරණ ලෙස ජීවත් වෙන්න පුළුවන්. දෙවියන්වහන්සේට පිළිගත හැකි ජීවමාන පරිත්‍යාගයන් ලෙස අපව ඉදිරිපත් කිරීමට සේවය අපට ඉඩ සලසනවා.
යේසුස්වහන්සේ අපට මෙසේ ආරාධනා කරනවා, “නුඹත් ගොස් එලෙසම කරන්න.”
තෙවනුව, සේවය අපගේ ජීවිතවලට ක්‍රිස්තුස්වහන්සේගේ බලය ගෙන එනවා.
ඉගැන්වීමේ පැවරුමකින් සේවා පැවරුමකට මාරු වූ තරුණ ධර්මදූතවරයෙකුට ක්‍රිස්තුස්වහන්සේගේ සුව කිරීමේ බලය අවශ්‍ය වූ පෞද්ගලික අභියෝග කිහිපයක් සමඟ පීඩා විඳීමට සිදු වුණා. කැපවූ සේවය එම බලය ඔහුගේ ජීවිතයට ගෙන ආවා. ඔහු මෙසේ කිව්වා, “මම පීඩා විඳීන විට, ක්‍රිස්තුස්වහන්සේ මාව ඔසවනවා මෙන් මට දැනුණා. ආහාර ගබඩාවක් හරහා, දේවමාළිගාවේ දී සහ උන්වහන්සේගේ ශුභාරංචිය තුළින් උන්වහන්සේ මිනිසුන්ට ආශිර්වාද කරනවා දැකීමේ විශේෂ දෙයක් තිබෙනවා.
මේ වැඩිහිටියාට ගැඹුරු ප්‍රීතියක් දැනෙන්නට පටන් ගත් අතර, ඔහුගේ අලුතින් සොයාගත් උද්යෝගය ඔහුට සහ ඔහුගේ මුළු පවුලටම ආශීර්වාද කළා. ආත්මයාණන්වහන්සේ ඔවුන්ගේ නිවසට බහුල ලෙස ඇතුළු වූ අතර, ඔවුන් නිතිපතා එකට දේවමාළිගාවට ගිය අතර, ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔවුන්ගේ පවුල තුළ වැඩි අවධානයක් යොමු වුණා. ක්‍රිස්තුස්වහන්සේ තම ජීවිතය බේරා ගත් බවත්, සේවය තුළින් තම පවුලට ආශීර්වාද කළ බවත් මෙම ධර්මදූතයා විශ්වාස කරනවා.
සභාපති නෙල්සන් මෙසේ උගන්වනවා, “අන් අයට සේවය කිරීමට සහ ශක්තිමත් කිරීමට ඇති කැමැත්ත, ගැලවුම්කරුවාණන්ගේ මිදීමේ බලයෙන් සුවය ලැබීමට ඇති සූදානමේ සංකේතයක් ලෙස පවතී.”
යේසුස්වහන්සේ අපට මෙසේ ආරාධනා කරනවා, “නුඹත් ගොස් එලෙසම කරන්න.”
සේවා ධර්මදූතයින් කියන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කැපවූ ගෝලයන්ගේ උදාහරණයි.
ඔබ හෝ පවුලේ සාමාජිකයෙකු සේවා ධර්මදූතයෙකු ලෙස කැඳවීමකින් ආශිර්වාද ලැබූ විට, එය සැමරීමට මොහොතක්. දැන් ඔබේ පවුල තුළ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුවිශේෂී නියෝජිතයෙකු ඔබේ නිවසේ වාසය කරනවා. එය ඔබ සැමගේම යහපතට හේතු වෙනවා. සේවය කිරීමට කරන ඕනෑම කැඳවීමක දී කලකිරීමක් තිබෙන්න ඕනේ නැහැ. අපි මෙසේ ගායනා කරනවා, “I’ll go where you want me to go” සහ “I’ll be what you want me to be.” අපි කියන දේ ඇත්තටම අදහස් කරන බව පෙන්වීමට මෙන්න අවස්ථාවක්!
සේවය කරන ඔබ සැමට, විශේෂයෙන් 4,000 කට අධික තරුණ සේවා ධර්මදූතයිනි, අපි ඔබට ආදරෙයි! ඉගැන්වීමේ ධර්මදූතයින් ස්වාමින්වහන්සේගේ මුඛය නම්, සේවා ධර්මදූතයින් ස්වාමින්වහන්සේගේ දෑත් වන අතර, ඔබ දෙවන පන්තියේ ධර්මදූතයින් නොවේ. ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට ඔබ සෑම කෙනෙකුම අත්‍යවශ්‍ය වෙනවා. සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා, “දෙවියන්වහන්සේ සමඟ ඔවුන්ගේ ගිවිසුම් ඇතිකර ගැනීමට හා පවත්වා ගැනීමට ඕනෑම කෙනෙකුට උදව් කරන්නට ඕනෑම දෙයක් අපි කරන ඕනෑම අවස්ථාවක … අපි ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට උදව් කරනවා.”
ඔබ සේවය කරන ධර්මදූතයින් ඊශ්‍රායෙලය බොහෝ ආකාරවලින් එක්රැස් කරන අතර, ඔබේ සේවය ජීවිත වෙනස් කරයි. බොහෝ විට ඔබේ සේවයේ ප්‍රතිලාභියා කවුදැයි ඔබ දන්නේ නැහැ, නමුත් දෙවියන්වහන්සේ දන්නවා. “මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා [සේවය කරන තරමට] ඒ [සේවය කළේ උන්වහසේට] යයි කියන සේක.” ඔබ සභාවේ ඇමතුම් මධ්‍යස්ථානවල ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන විට අපට ඔබේ හඬ ඇසෙනවා; ඔබ ප්‍රජා සංවිධානවලට උදව් කරන විට අපට ඔබේ සිනහව පෙනෙනවා; ඔබ දේවමාළිගාවන් වල සේවය කරන විට අපට ඔබේ ආලෝකය දැනෙනවා. ඔබ කුසගින්නෙන් පෙළෙන්නන්ට කන්න දෙනවා, නිරුවත් අයට ඇඳුම් අන්දවනවා, පිපාසයෙන් පෙළෙන්නන්ට බීමට දෙනවා.
අපි හැමෝම ගොස් එලෙසම කරන්නට අවශ්‍යයි.
සේවය කියන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්.
සේවය කිරීමට, ශුභාරංචිය කෙරෙහි හදවත් විවෘත කිරීමේ බලය ඇති අතර අපගේ මුළු ආත්මයම ක්‍රිස්තුස්වහන්සේට දීමට එයින් අප සැමට ඉඩ සලසවනවා. එය අපගේ හදවත් උන්වහන්සේගේ හදවතට වඩාත් සමාන වීමට වෙනස් කරන අතර, එම ක්‍රියාවලියේ දී අපි අන් අයව ඔසවනවා. සභාපති නෙල්සන් වරක් මෙසේ ඇසුවා, “අධ්‍යාත්මික පරිහානියෙන් පහර ලැබ සිටින මේ ලෝකයේ, පුද්ගලයන්ට … වෙනසක් කළ හැකි ද?” ඔහුගේ පිළිතුර: “ඔව්!… ‘ස්වාමින්වහන්සේගේ ගිවිසුම්ගත ජනතාවට, … දෙවියන්වහන්සේගේ බලයෙන් මහත් තේජසින් සන්නද්ධව,’ … සියලු මනුෂ්‍ය වර්ගයාගේ ජීවිත ඔසවා තබන්න පුළුවන්.” සේවය තුළින් අපි හදවත්—සහ ලෝකය වෙනස් කරනවා.
ක්‍රිස්තුස්වහන්සේ “යහපත් දේ කරමින් ගිය සේක.” උන්වහන්සේ රෝගීන්ට උපස්ථාන කළා, අන්ධයන්ට පෙනීම ලබා දුන්නා, පීඩිතයන් බැහැදැක්කා. උන්වහන්සේ ආහාර පිසුවා, විවාහ මංගල්‍යවල දී උදව් කළා, කුසගින්නෙන් පෙළෙන දහස් ගණනකට ආහාර ලබා දුන්නා. අපි ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් කෙනෙකුට සේවය දෙන විට, අපි වඩ වඩාත් ශුද්ධ වන අතර සදාකාල ජීවනයේ ත්‍යාගයට සුදුස්සන් බවට පත් වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මගේ සහ ඔබේ ගැලවුම්කරුවාණන්. උන්වහන්සේ තමයි අපගේ මිදුම්කරුවාණන්. උන්වහන්සේ අපගේ දේවසේවය පිළිබඳ ශ්‍රේෂ්ඨ ආදර්ශයයි. ඉදිරියට ගොස් එලෙසම කරන ලෙස මම අපි සෑම කෙනෙක්ටම ආරාධනා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.