“ස්වාමින්වහන්සේ සිත බලන සේක”
දෙවියන්වහන්සේට උන්වහන්සේගේ අරමුණු ඉටු කර ගැනීමට සහ උන්වහන්සේට අවශ්‍ය ආකාරයට අපව පත් කිරීමට අපට උපකාර කිරීමට නම්, අප සෑම කෙනෙකුම අපගේ හදවත් සම්පූර්ණයෙන්ම උන්වහන්සේ වෙත යොමු කිරීම අවශ්‍යයි.
යෙස්සේගේ පුත්‍රයන් අතරින් ඊශ්‍රායෙලයේ නව රජු තෝරා ගැනීමට ආඥා කළ විට, අනාගතවක්තෘ සාමුවෙල්, යෙස්සේගේ වැඩිමහල් පුත්‍රයා වන එලියාබ් දෙස බලා, “ස්වාමින්වහන්සේගෙන් ආලේප ලත් තැනැත්තා සැබවින්ම උන්වහන්සේ ඉදිරියෙහි සිටී” කියා උද්‍යෝගයෙන් ප්‍රකාශ කළා. නමුත් එලියාබ් ස්වාමින්වහන්සේගේ තෝරාගත් සේවකයා වුණේ නෑ. ගැලවුම්කරුවාණන් සාමුවෙල්ට මෙසේ අනතුරු ඇඟෙව්වා: “ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපා කෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලන සේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලන සේකැයි කීසේක.”
දාවිත් ඔහුගේ සහෝදරයන් අතරින් ශාරීරිකව ශක්තිමත්ම හෝ දක්ෂම තැනැත්තා නොවූවත්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔහුගේ සිත ශක්තිමත් වුණා. ඔහු මුළු හදවතින්ම දෙවියන්වහන්සේට ප්‍රේම කළා ඒවගේම ඔහුට කීකරු වීමට ගැඹුරු ආශාවක් තිබුණා. දෙවියන්වහන්සේගේ ප්‍රේමය, බලය සහ පොරොන්දු වූ ආශිර්වාද කෙරෙහි ඔහුට නොසැලෙන ඇදහිල්ලක් තිබුණා, ඒවගේම පසුව ඔහු නිර්භීතව සටන් කර ස්වාමින්වහන්සේගේ උපකාරයෙන් ගොලියත්ව පරාජය කළ විට ඔහු ඒ බව පෙන්නුම් කළා.
දෙවියන්වහන්සේට උන්වහන්සේගේ අරමුණු ඉටු කර ගැනීමට සහ උන්වහන්සේට අවශ්‍ය ආකාරයට අපව පත් කිරීමට අපට උපකාර කිරීමට නම්, අප සෑම කෙනෙකුම අපගේ හදවත් සම්පූර්ණයෙන්ම උන්වහන්සේ වෙත යොමු කිරීම අවශ්‍ය බව මෙම කතාව අපට උගන්වනවා. නීතිඥයෙකුට උන්වහන්සේ මෙසේ ආඥා කළා, “නුඹේ මුළු සිතින් නුඹේ දෙවි වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්න.” අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට, උන්වහන්සේ මෙසේ පැවසුවා, “බලන්න, තවද ස්වාමීන්වහන්සේට අවශ්‍ය වන්නේ සම්පූර්ණ හදවත සහ කැමැත්ත ඇති මනසක්ය.” එමෙන්ම නීෆායිවරුන්ට, මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් මෙම ආරාධනය ඉදිරිපත් කළා, “නුඹලා මා වෙත බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයක් පූජා කළ යුතු වන්නෝය.”
එහෙම කළේ ඇයි? උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය නිසා, අපගේ හදවත් සම්පූර්ණයෙන්ම උන්වහන්සේ වෙතට හැරුනහොත්, අපගේ ලෞකික අභියෝග ජය ගැනීමට, පරීක්ෂාවන්ට එරෙහි වීමට, මගපෙන්වීම සහ අවබෝධය ලබා ගැනීමට සහ අපගේ ජීවිතවල ප්‍රීතිය හා සාමය දැනීමට අවශ්‍ය ශක්තිය හා අධ්‍යාත්මික දීමනා වලින් අපට ආශිර්වාද ලැබිය හැකි බව ගැලවුම්කරුවාණන් ඉගැන්වූවා. “කුඩා දේවල් වලින් එම ශ්‍රේෂ්ඨ වූ දේ ඉදිරියට යන්නේය.” උන්වහන්සේට “දුර්වල දේවල් ශක්තිමත් කිරීමට” හැකි බවත්, මෙම ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට සහ සදාකාල ජීවනය ලබා ගැනීමට අපට අවශ්‍ය සියල්ලෙන් අපට ආශිර්වාද කරන බවත් උන්වහන්සේ පැවසුවා. උන්වහන්සේ මෙසේ පැවසුවා, “සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය; මක්නිසාද ඔවුන් හට දෙවියන්වහන්සේව දැකිය හැකිවන්නේය.”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ලෞකික දේවසේවය අතරතුර ලියන්නන්ව සහ පරිසිවරුන්වවත් බොහෝ විට නිවැරදි කළේ මේ නිසා බව මම විශ්වාස කරනවා. උන්වහන්සේගේ නීතිය පිළිපැදීමට ඔවුන් උද්‍යෝගිමත් වුනත්, ඔවුන් ඒවා කළේ වැරදි හේතූ සඳහා. උන්වහන්සේ ඔවුන්ට තරවටු කරමින්, මෙසේ පැවසුවා, “මේ සෙනඟ තොල්වලින් මට ගෞරව කරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ.”
අප කරන දේ—අපගේ වචන සහ ක්‍රියාවන්—පමණක් නොවේ, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපෙන් ඉල්ලා සිටින දේ වන—අපගේ ආශාවන් සහ අභිප්‍රායන්—අප ඇති කරගන්නේ ඇයි යන බව උන්වහන්සේගේ සියලුම ගෝලයන්ට සිහිගැන්වීමක්. උන්වහන්සේ මෙසේ පැවසුවා, “මක්නිසාද ස්වාමින්වහන්සේ වන, මම, සියලු මනුෂ්‍යයන්ව ඔවුන්ගේ ක්‍රියාවන් අනුව, ඔවුන්ගේ හදවත් වල ආශාව අනුව විනිශ්චය කරන්නෙමි.” අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ තම දරුවන්ගෙන් යාන්ත්‍රික කීකරුකමක් සහ සේවයට වඩා වැඩි යමක් අපේක්ෂා කරනවා. උන්වහන්සේට අවශ්‍ය වන්නේ, අපි උන්වහන්සේට මුළු හදවතින්ම ප්‍රේම කරන නිසා, අපි ඒ දේවල් සැබෑ අරමුණකින් කිරීමයි. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේ හා සමාන වීමට ආශා කිරීමයි.
දැන්, අපගේ හදවත්වල අධ්‍යාත්මික සුවතාවය ගැලවුම්කරුවාණන්ගේ ප්‍රධාන සැලකිල්ලක් නම්—උන්වහන්සේ සැබෑ ගෝලයෙකුගෙන් සොයන්නේ ඒ දේ නම්—අපගේ හදවත පරීක්ෂා කර දෙවියන්වහන්සේගේ දෑස් හමුවේ එය නිවැරදි දැයි අපි දැන ගන්නේ කොහොම ද?
මෑතක දී, මගේ බිරිඳ සහ මම පෘතුගාලයේ අපගේ ධර්මදූත සේවයෙන් පසු ආපසු පැමිණි විට, අපගේ ශාරීරික තත්ත්වය තක්සේරු කිරීම සඳහා අපි සෞඛ්‍ය පරීක්ෂණ මාලාවක් කළා. එම පරීක්ෂණවලින් සමහරක් රුධිර පරීක්ෂණ, ඉකොකාඩියෝග්‍රෆි පරීක්ෂණය සහ ආතති පරීක්ෂණ වැනි අපගේ හදවත්වල සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කළා. අපගේ හදවත්වල අධ්‍යාත්මික තත්ත්වය තක්සේරු කිරීමට අපට භාවිතා කළ හැකි අධ්‍යාත්මික පරීක්ෂණ මාලාවක් ද ගැලවුම්කරුවාණන් අපට සපයා ඇති බව මම විශ්වාස කරනවා. මම ඔබ සමඟ ඒවායින් කිහිපයක් බෙදා ගන්නම්.
අධ්‍යාත්මික පරීක්ෂණ මගින් ඔබේ හදවත තක්සේරු කිරීම
මුලින්ම, අපගේ අවධානය, ප්‍රමුඛතා සහ අභිප්‍රායන්
“නුඹේ වස්තුව යම් තැනකහි ද නුඹේ සිතත් එතන්හිම වන්නේය,” ලෙස යේසුස්වහන්සේ ඉගැන්වුවා. වස්තුවක් කියන්නෙ අපට වටිනා දෙයක්, අපි උත්සාහය සහ අවධානය කැප කරන දෙයක්. අපි අපේ කාලය ගත කිරීමට සහ අපගේ අවධානය යොමු කිරීමට තෝරා ගන්නා ස්ථානය වගේම අපි කරන දේ කිරීමට අපව පොලඹවන දේ අපගේ හදවත් ගැන බොහෝ දේ කියා පානවා. ගැලවුම්කරුවාණන් මෙසේ අනතුරු ඇඟෙව්වා, උන්වහන්සේ විසින් බොහෝ දෙනෙකුව කැඳවනු ලැබුවත්, තෝරා ගනු ලබා ඇත්තේ ස්වල්ප දෙනෙකුවයි “මක්නිසාද ඔවුන්ගේ හදවත් මෙම ලෝකයේ දේවල් මත ඉතා මහත්ව රැඳී ඇත්තේය, තවද [ඔවුන්] මනුෂ්‍යයන්ගේ ගෞරවය අපේක්ෂා කරන්නේය.” මම ගැලවුම්කරුවාණන්ට මගේ ජීවිතයේ ප්‍රමුඛතාවයක් දෙනවා ද? මා කරන සෑම දෙයකදීම මාගේ ඇස උන්වහන්සේගේ මහිමය කෙරෙහි පමණක් යොමු වී තිබෙනවා ද?
දෙවනුව, දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමට අප තුළ ඇති කැමැත්ත
ශුද්ධලියවිලි පුරාම ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් දැඩි හදවතක් තිබීම සමඟ උඩඟුකම සහ අකීකරුකම සම්බන්ධ කර තිබෙනවා. නීෆායි තම සහෝදරයන්ට මෙසේ අවවාද කළා: “නුඹලා ස්වාමීන්වහන්සේගේ අණ පනත් නොපිළිපදින්නේ කෙසේ ද? නුඹලාගේ හදවත්වල දැඩිකම නිසා, නුඹලා විනාශ වන්නේ කෙසේ ද?” මිසුරි හි ශුද්ධවන්තයන්ට ස්වාමින්වහන්සේ මෙසේ අනතුරු ඇඟෙව්වා, “නමුත් ඔහුට ආඥා කරන තුරු කිසිවක් නොකරන්නා, එමෙන්ම සැක සහිත හදවතින් ආඥාවක් ලබාගන්නා, අලසකමින් එය පවත්වන්නේද, එවැන්නා විනාශයට පත්වන්නේය.” ගැලවුම්කරුවාණන්ගේ ආඥා පිළිපැදීමෙදී උන්වහන්සේ පරිපූර්ණත්වය අපේක්ෂා නොකරන අතර, උන්වහන්සේ ඉල්ලා සිටින්නේ අපගේ මුළු හදවතින්ම ඒවා පිළිපැදීමට අප ආශාවක් ඇති කරගන්නා ලෙස සහ ඒ සඳහා උත්සාහ කරන ලෙසයි.
තෙවනුව, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමේ දී සහ එළිදරව් සෙවීමේ දී අපගේ උද්‍යෝගය
“මෙම වචන නුඹගේ හදවතේ රැස්කරගන්න” කියා ස්වාමින්වහන්සේ ඔලිවර් කවුඩ්‍රිට අවවාද කළා. ශුද්ධලියවිලි උද්‍යෝගයෙන් කියවීමටත්, ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින්, අපගේ හදවත් තුළ ශුභාරංචියේ සත්‍යතාව පිළිබඳ අවබෝධයක් සහ සාක්ෂියක් ලබා ගැනීමටත් අපට ආරාධනා කර තිබෙනවා.
එසේ නොකිරීම ගැන අබිනඩායි අනාගතවක්තෘවරයා දුෂ්ට නෝවා රජුගේ පූජකයන්ට තරවටු කරමින් මෙසේ පැවසුවා, “නුඹලා නුඹලාගේ හදවත් තෙරුම් ගැනීම කෙරෙහි යොමු කොට නැත්තේය; එසේහෙයින්, නුඹලා ප්‍රඥාවන්ත වී නැත.” මම දිනපතා ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමටත්, යාච්ඤාව තුළින් ඒවා තේරුම් ගැනීමට මගේ හදවත යොමු කිරීමටත් අවංක උත්සාහයක් දරනවා ද?
හතරවනුව, අපගේ සිතුවිලි සහ වචන
“නපුරු සිතිවිලි සිතින් නික්මෙන්නේය” සහ “සිතේ පූර්ණකමෙන් මුඛය කථා කරයි” යනුවෙන් ගැලවුම්කරුවාණන් ඉගැන්නුවා. අපගේ සිතුවිලි සහ වචනවල ගුණාත්මකභාවය අපගේ සිතේ පවිත්‍රභාවය පිළිබඳ හොඳ දර්ශකයක්. මම අන් අයගේ ක්‍රියාවන් හෝ චේතනාවන් ගැන හෝ මා ගැන පවා ඕනෑවට වඩා සෘණාත්මක සිතුවිලි ඇති කර ගන්නවා ද? මම අනිත් අයව විනිශ්චය කරන්න සහ හෙළා දකින්න ඉක්මන් වෙනවා ද? මගේ වැරදි සඳහා නිදහසට කරුණු හෝ සාධාරණීකරණයන් සෙවීමට මම උත්සාහ කරනවා ද? ඒවගේම මගේ වචන මොන වගේ ද? ඒවා මා වටා සිටින අයව ඔසවා යහපත් බලපෑමක් ලබා දෙනවා ද? නැත්නම් ඒවා බොහෝ විට ගැටුම් හා අමනාපකම් ඇති කරනවා ද?
මගේ ශාරීරික පරීක්ෂණ අවසන් වුණාට පස්සෙ, මගේ හදවත සමස්තයක් වශයෙන් නිරෝගී බව මගේ වෛද්‍යවරයා මට පැවසුවා—නමුත් යම් යම් දේවල් බරපතල වීමට පෙර දැන්ම විසඳා ගත යුතු ගැටළු කිහිපයක් තිබුණා. ඉන්පසු ජීවන රටාවේ වෙනස්කම් කිහිපයක් ඔහු මට නියම කළා. ඒ හා සමානව, ඔබ ඔබේ හදවත පිළිබඳ මෙම අධ්‍යාත්මික තක්සේරුව සිදු කරන විට සහ යම් යම් සෘණාත්මක රෝග ලක්ෂණ පිහිටා ගැනීමට පටන් ගන්නා බව දකින විට, කරුණාකර කලබල වෙන්න එපා! ඔබට උපකාර කිරීම සඳහා ගැලවුම්කරුවාණන් විශිෂ්ට අධ්‍යාත්මික ඖෂධ සහ ප්‍රතිකාර ලබා දී තිබෙනවා. උන්වහන්සේ ඔබට අලුත් හදවතක් ලබා දීමට පවා පොරොන්දු වී තිබෙනවා! ඔබේ හදවතේ අධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් මෙන්න.
ඔබේ හදවතේ අධ්‍යාත්මික සුවතාවය වැඩි දියුණු කිරීම
පළමුව, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න
අපි දිනපතා ක්‍රිස්තුස්වහන්සේට සමීප වීම සඳහා කාලය කැප කරන විට, අපගේ හදවත් වෙනස් වෙනවා. දිනපතා ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම, අවංක යාච්ඤාව සහ නිරාහාරව සිටීම, ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ප්‍රේමය වැඩි කරන අතර ඔබේ ඇදහිල්ල සහ පසුතැවිලි වීමට ඇති ආශාව ශක්තිමත් කර ඔබේ හදවත නිහතමානීව දෙවියන්වහන්සේට භාර කරනවා. නීෆායිගේ මෙම උදාහරණය සලකා බලන්න: “එබැවින්, මම ස්වාමීන්වහන්සේට මොරගැසුවෙමි; තවද බලව උන්වහන්සේ මා බැහැ දැක, තවද මාගේ හෘදය මෘදු කළ හෙයින්, එනම් මාගේ පියා පැවසූ සියලු වචන මා විශ්වාස කළෙමි.”
අපගේ ධර්මිෂ්ඨ ආශාවන් සහ ක්‍රියාවන් මගින් ඇදහිල්ලේ බීජය පෝෂණය කිරීම දිගට ම කරගෙන යන විට, නීෆායිවරුන් මෙන් අපගේ හදවත් වල පාරිශුද්ධකරණය අපට අත්විඳින්න පුළුවන් වෙනවා: “එසේනමුත් ඔවුන් නිරතුරුව යාච්ඤා කර නිරාහාරයේ යෙදී, තවද ඔවුන්ගේ නිහතමානීභාවයේ තවත් ශක්තිමත්ව වර්ධනය වූ අතර, ඔවුන්ගේ ප්‍රාණයන් ප්‍රීතියෙන් සහ සැනසීමෙන් සම්පූර්ණ වීම වෙත ද, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉතාමත් ස්ථිරවම, එසේය, ඔවුන්ගේ හදවත්වල පවිත්‍ර කිරීම සහ පාපයෙන් පිරිසිඳු කිරීම වෙත පවා ද, එනම් පවිත්‍ර කිරීම පැමිණෙන්නේ ඔවුන් ඔවුන්ගේ හදවත් දෙවියන්වහන්සේ හට පවරා දෙන නිසාවෙන්ය.”
දෙවනුව, ඔබේ කැමැත්ත උන්වහන්සේගේ කැමැත්ත සමඟ පෙළගස්වන්න
ගැලවුම්කරුවාණන් මෙසේ ඉගැන්නුවා, “නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂා කරන්නහුය.” උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීමෙන් සහ ඒවා පවත්වා ගැනීමෙන් අපගේ ප්‍රේමය පෙන්වීමට උන්වහන්සේ අපට ආරාධනා කරනවා. අපි දිනපතා උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට උත්සාහ කරද්දි, අපගේ පාපවලින් අවංකව පසුතැවිලි වෙද්දි, උන්වහන්සේගේ නාමය අප මතට අරගෙන අපගේ කැමැත්ත උන්වහන්සේගේ කැමැත්ත සමඟ පෙළගස්වද්දි, අපට ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර සහකාරත්වයෙන් ආශිර්වාද ලබන්න පුළුවන්.
නීෆායි මෙහෙම සාක්ෂි දුන්නා, “හදවතේ පූර්ණ අරමුණ සහිතව, නුඹලා පුත්‍රයාණන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, දෙවියන්වහන්සේ අභිමුඛයෙහි කිසිම කුහකකමකින් සහ වංචාවකින් තොරව, එහෙත් සැබෑ චේතනාවකින් යුක්තව, නුඹලාගේ පාපයන් සඳහා පසුතැවිලි වී, නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නුඹලා මතට ගැනීමට සිය කැමැත්තෙන් සිටින බවට පියාණන්වහන්සේ වෙත සාක්ෂි දරන්නේ නම් … එසේය, බෞතිස්‍මය මගින් එවිට නුඹලා ශුද්ධාත්මයාණන් ලබන්නෝය.” ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට මගපෙන්වයි ඒවගේම ස්වාමින්වහන්සේගේ කැමැත්ත දැන ගැනීමට සහ හොඳ තීරණ ගැනීමට ඔබට උපකාර කරයි.
අවසාන වශයෙන්, ඔබේ මුළු හදවතින්ම දෙවියන්වහන්සේට සහ අන් අයට සේවය කරන්න
“ඔබේ මුළු හදවතින්ම උන්වහන්සේට සේවය කරන්න” කියා ගැලවුම්කරුවාණන් සැමට ආරාධනා කරනවා. ආඥා පිළිපැදීම, සක්‍රමේන්තුවට සහභාගී වීම, දේවමාළිගාවේ නමස්කාර කිරීම සහ අන් අයට සේවය කිරීම වැනි—ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා සිටින සෑම දෙයක්ම, අවංක හදවතකින් සහ සැබෑ අභිප්‍රායෙන් කිරීමට අපි තෝරා ගද්දි, සෑම සේවා ක්‍රියාවක්ම සහ නමස්කාරයක්ම, අපගේ ඇදහිල්ල සහ සාක්ෂිය ශක්තිමත් කරන සහ දෙවියන්වහන්සේ සහ අපගේ අනෙක් මිනිසුන් කෙරෙහි ප්‍රීතියෙන් හා ප්‍රේමයෙන් අපගේ හදවත් පුරවන බලවත් අධ්‍යාත්මික අත්දැකීමක් බවට පත්වෙනවා.
අනාගතවක්තෘ ඇල්මාගේ ප්‍රශ්නය අදටත් මෙහෙම දෝංකාර දෙනවා: “නුඹලා ආත්මිකව දෙවියන්වහන්සේගෙන් උපත ලබා තිබේ ද? නුඹලාගේ මුහුණුවරයට උන්වහන්සේගේ රූපය නුඹලාට ලැබී තිබේ ද? නුඹලාගේ හදවත් තුළ මෙම බලවත් වෙනස නුඹලා අත්විඳ තිබේ ද?”
සහෝදර සහෝදරියනි, අද දින ඔබේ මුළු සිතම ගැලවුම්කරුවාණන්ට කැප කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. සෑම නමස්කාර ක්‍රියාවක්ම සහ සේවයක්ම අවංක සහ චේතනාන්විත වන්නට දෙන්න. ලෝකයේ අවධානය වෙනතකට යොමු කරන දේවල් පසෙකලා, ඔබේ ජීවිතයේ සෑම දිනකම ස්වාමින්වහන්සේ වෙනුවෙන් අර්ථවත් කාලයක් ගත කිරීමට උත්සාහ කරන්න. පසුතැවිලි වී ඔබේ මුළු හදවතින්ම උන්වහන්සේ වෙත ආපසු යන්න, එවිට උන්වහන්සේ ඔබට සමාව දී උන්වහන්සේගේ ප්‍රේමයේ දෑතින් ඔබව වට කර ගනියි. මේ ලෝකයේ දේවල් සොයන්න එපා, නමුත් ඔබේ ඇස උන්වහන්සේගේ මහිමය කෙරෙහි යොමු කර තබාගෙන වඩා හොඳ ලෝකයක දේවල් සොයන්න. උන්වහන්සේ ඔබේ සිතුවිලි සහ ඔබේ හදවතේ ආශාවන් දන්නවා, ඒවගේම ඔබ උන්වහන්සේ වෙතට පැමිණෙන විට, උන්වහන්සේ ඔබට මේ ජීවිතයේ ශක්තිය, විශ්වාසය, සාමය සහ ප්‍රීතිය සහ සදාකාලිකවම උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යයේ ස්ථානයක් ලබා දෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වන බව මම දන්නවා. උන්වහන්සේ තමයි අපගේ මිදුම්කරුවාණන්. ඒ වගේම උන්වහන්සේ ඔබටත් මටත් උන්වහන්සේගේ මුළු හදවතින්ම ආදරෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.