පවුල සඳහා ප්‍රකාශනය—දෙවියන්වහන්සේගෙන් ලැබුණු වචන
මෙම ප්‍රකාශනයට දිව්‍යමය සම්භවයක් ඇති බැවින්, අප එය දෙවියන්වහන්සේගේ වචනවලට ලැබිය යුතු ගෞරවයෙන් සැලකිය යුතු වෙනවා.
2025 ඔක්තෝම්බර් මාසයේ පැවැත්වෙන මෙම ප්‍රධාන සම්මන්ත්‍රණය “පවුල: ලෝකයට ප්‍රකාශනයකි” නිවේදනය කිරීමේ 30 වන සංවත්සරය සනිටුහන් කරනවා. දිව්‍යමය සැලැස්මකට අනුව, මෙම ප්‍රකාශනය, එහි එළිදරව් කිරීමේ වචන සමඟින්, “සමාජයේ මූලික ඒකකය ලෙස පවුල පවත්වාගෙන යාම සහ ශක්තිමත් කිරීම” සඳහා නිර්මාණය කර තිබෙනවා.
මවක්, පියෙක්, දියණියක්, පුතෙක්, මුණුපුරෙක්, සීයා කෙනෙක්, නැන්දා කෙනෙක්, මාමා කෙනෙක්, සහෝදරයෙක්, සහෝදරියක් හෝ ඥාති සහෝදරයෙක් වේවා, සෑම කෙනෙක්ම පවුලකට අයත් වෙනවා. වැදගත්ම දේ තමයි, ප්‍රකාශනයේ සඳහන් වන පරිදි, අප සෑම කෙනෙකුම “දිව්‍යමය ස්වභාවයක් සහ ඉරණමක් ඇති … ස්වර්ගික දෙමව්පියන්ගේ ආදරණීය ආත්මික පුත්‍රයෙක් හෝ දියණියක්.”
2015 දී මාව ශුද්ධ වූ ප්‍රේරිතවරභාවයට කැඳවූ විට, මට මෙසේ උපදෙස් දෙනු ලැබුවා, “මෙම ප්‍රකාශය දැන් ඔබගෙයි. ඔබේ නම [මාතෘකාවේ ‘දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාව’ යන වචන පෙන්වමින්] මෙහි තිබෙනවා. එය දැනෙන්න, ඔබ එය අයිති කරගන්නාක් මෙන් උගන්වන්න.”
මම පවුල සඳහා ප්‍රකාශනයට ආදරෙයි. දෙවියන්වහන්සේගේ සදාකාලික සැලැස්ම තුළ පවුලේ කාර්යභාරය පිළිබඳව මම ලොව පුරා අප්‍රිකාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා සහ ඒ අතර සෑම තැනකම සාක්ෂි දරා තිබෙනවා. මෙම ප්‍රකාශනයට දිව්‍යමය සම්භවයක් ඇති බැවින්, අප එය දෙවියන්වහන්සේගේ වචනවලට ලැබිය යුතු ගෞරවයෙන් සැලකිය යුතු වෙනවා.
සහෝදර සහෝදරියනි, මතක තබා ගන්න, මම මීට පෙර ප්‍රධාන සම්මන්ත්‍රණයක දී මෙම දේශනා ආසනයේම සිට පැවසූ පරිදි, “වචන වැදගත්”.
අපි විශ්වාස කරන දේ පිළිබඳ මූලික පණිවිඩයක් ලෙස ප්‍රකාශනය පිළිබඳ පසුබිමක් මම ඔබට ලබා දෙන්නම්.
ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට වසරකට පෙර, 1994 දී, දොළොස්දෙනාගේ ගණපූරණය, පවුල, විවාහය සහ ස්ත්‍රී පුරුෂ භාවය සඳහා දෙවියන්වහන්සේගේ නීතිවලින් සමාජය සහ රජයන් ඉවත් වන ආකාරය සාකච්ඡා කළා. වැඩිහිටි රසල් එම්. නෙල්සන් මෙසේ විස්තර කළා, “නමුත් ඒ අපි දුටු දේවල් වල අවසානය නොවේ.” “සියලු ප්‍රමිති හා ලිංගික ක්‍රියාකාරිත්වයන් මත සීමාවන් ඉවත් කිරීම සඳහා විවිධ ප්‍රජාවන්ගේ උත්සාහයන් අපට දැකගත හැකි වුණා. ස්ත්‍රී පුරුෂ බවේ ව්‍යාකූලත්වය අපි දුටුවා. ඒ හැමදෙයක්ම එන විදිය අපි දුටුවා.”
පවුල පිළිබඳ සභාවේ ස්ථාවරය සාරාංශ කරන ලේඛනයක්, නිල ප්‍රකාශයක්, සකස් කිරීමට දොළොස්දෙනා තීරණය කළා. එම වසර තුළ, දෙවියන්වහන්සේ විසින් කැඳවන ලද අනාගතවක්තෘවරුන් වන මෙම ප්‍රේරිතවරුන් පවුල පිළිබඳ ප්‍රකාශයක් සකස් කළා. “[ඔවුන්] කිව යුතු දේ සහ [ඔවුන්] එය කෙසේ කිව යුතුද” යන්න සඳහා යාච්ඤා පූර්වකව ස්වාමින්වහන්සේ වෙත හැරුණු බව සභාපති ඩැලන් එච්. ඕක්ස් සිහිපත් කළා. හොවාර්ඩ් ඩබ්ලිව්. හන්ටර්, ගෝර්ඩන් බී. හින්ක්ලි සහ තෝමස් එස්. මොන්සන් යන සභාපතිවරු ඔවුන්ගේ සලකා බැලීම සඳහා: ඔවුන් එය පළමු සභාපතිත්වයට ඉදිරිපත් කළා.
මාස කිහිපයකට පසු 1995 මාර්තු මාසයේ දී, සභාපති හන්ටර් මිය ගිය අතර, සභාපති හින්ක්ලි සභාවේ 15 වන සභාපතිවරයා බවට පත් වුණා. ප්‍රකාශනය දැන් ඔහුගේ අතට පත්ව තිබුණා. සභාවට මෙම ප්‍රකාශය කිරීමට සුදුසු කාලය කවදා ද? මාස හයකට පස්සේ ඒ කාලය ආවා.
ප්‍රධාන සම්මන්ත්‍රණයට පෙර පැවති සැප්තැම්බර් 23 වන දින ප්‍රධාන සහන සමිති රැස්වීමට දින කිහිපයකට පෙර, සභාපති හින්ක්ලි සහ ඔහුගේ උපදේශකයින් සහන සමිතියේ ප්‍රධාන සභාපතිත්වය සමඟ උපදේශන රැස්වීමක් පැවැත්වුවා. ප්‍රේරිතවරුන් වගේම, සහෝදරියනුත්, කාන්තාවන් සහ පවුල් පිළිබඳ ගැටළු ගැන සලකා බලමින් සිටියා. ඉදිරි රැස්වීමේ ඔවුන් පවුල් කෙරෙහි අවධානය යොමු කර තිබුණා.
රැස්වීමේ දී කාන්තාවන්ව ඇමතීමට සභාපති හින්ක්ලිට නියම වෙලා තිබුණා. ඔහු තම ප්‍රකාශයේ දිශාව ගැන කල්පනා කරමින් සිටියා. සාකච්ඡාව ඉදිරියට යනකොට, ඔහු අලුතින් නිර්මාණය කරන ලද නමුත් ඒ වන විට ප්‍රසිද්ධියට පත් කරලා තිබුණේ නැති “පවුල: ලෝකයට ප්‍රකාශනයක්” ගැන සඳහන් කළා. පවුල පිළිබඳ තීරණාත්මක ප්‍රකාශය කිරීමට මෙම කාන්තාවන්ගේ රැස්වීම නිවැරදි පසුබිම ද?
සහන සමිතියේ ප්‍රධාන සභාපතිනිය වූ ඉලේන් ජැක් පසුව මෙසේ පැහැදිලි කළා: “ඒ වෙනකොට පවුල පිළිබඳ ප්‍රකාශය මොකක්ද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. … මාතෘකාවෙන්ම අපිට තේරුණා, නමුත් අපට දැනුනා පවුල ගැන … ඕනෑම දෙයක් ධනාත්මක දෙයක් වේවි කියලා. … දොළොස්දෙනාගේ ගණපූරණයේ එළිදරව් කිරීම් ලබන සාමාජිකයින් අප සතුව සිටීම ගැන මට ඉතා ධනාත්මක හැඟීමක් ඇති වුණා.”
එම සෙනසුරාදා සහන සමිතියේ රැස්වීම ඓතිහාසික වුණා. සභාපති හින්ක්ලි මෙම වැදගත් වචන සමඟ පවුල් ප්‍රකාශනය හඳුන්වා දුන්නා: “සත්‍යය ලෙස සම්මත කර ඇති බොහෝ බොරු කතා සමඟ, ප්‍රමිතීන් සහ වටිනාකම් පිළිබඳ බොහෝ රැවටීම් සමඟ, ලෝකයේ මන්දගාමී කැළල ලබා ගැනීමට බොහෝ ආකර්ෂණයන් සහ පෙළඹවීම් සමඟ, මෙම සභාවේ අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් එහි ඉතිහාසය පුරා නැවත නැවතත් ප්‍රකාශ කර ඇති පවුලට සාපේක්ෂව ප්‍රමිතීන්, මූලධර්ම සහ භාවිතයන් පිළිබඳව … අනතුරු ඇඟවීම සහ පූර්ව අනතුරු ඇඟවීම අපට හැඟී තිබෙනවා.”
ඉන්පසු ඔහු ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම කියෙව්වා. ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා, “මාගේම හඬින් වුවද මාගේ සේවකයින්ගේ හඬින් වුවද, එය සමානය.”
ප්‍රකාශනයේ මෙසේ සඳහන් වෙනවා, “පවුල දෙවියන්වහන්සේ විසින් නියම කර ඇත.” ඒ ප්‍රකාශයේ පැහැදිලිකමට මම ගොඩක් කැමතියි. මෙම ප්‍රකාශය අප තුළ ඇති දේවත්වය සහ අප ඉදිරියේ ඇති සදාකාලික අනාගතය ගැන සැමවිටම සිහියෙන්, ලෞකික ජීවිතයේ ජීවත් වීමට කරන කැඳවීමක්. සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා, “ඔබ වචනාර්ථයෙන් දෙවියන්වහන්සේගේ ආත්මික දරුවන්. … ඒ ගැන වරද්ද ගන්න එපා: ඔබේ විභවය දිව්‍යමයයි. ඔබේ උද්‍යෝගයෙන් සෙවීම සමඟ, දෙවියන්වහන්සේ ඔබට කවුරුන් විය හැකිද යන්න පිළිබඳ දර්ශනයක් ලබා දෙයි.”
එම ප්‍රකාශය ඉදිරිපත් කරන විට, ලෝකයේ බොහෝ දෙනෙකුගේ අදහස් සමඟ එය සමපාත වුණේ නැහැ. ඒ කාලයෙත් නැහැ. දැනුත් නැහැ. පවුල, විවාහය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ප්‍රකාශය සම්බන්ධයෙන් ගැටළු ඇති කර ගන්නා අය සිටිනවා. සමහරු එය ආපසු ගැනීමට, සංශෝධනය කිරීමට හෝ ප්‍රකාශය පසෙකට දැමීමට පවා සභාවට යෝජනා කළා.
පවුල පිළිබඳ මෙම ප්‍රකාශය, සභාපති හින්ක්ලි පැවසූ පරිදි, මූලධර්මයක්, මගේ ආදරණීය සහෝදර සහෝදරියනි. මූලධර්ම ස්වාමින්වහන්සේගේ මාර්ග සහ උන්වහන්සේගේ ගිවිසුම් මාර්ගය සමඟ වෙනස් නොවන අතර පරිපූර්ණ ලෙස අනුකූල වෙනවා. අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් එදා සහ අද උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ට ප්‍රකාශනයේ ඉගැන්වීම් හෙළි කළා. මේ උන්වහන්සේගේ සභාවයි; උන්වහන්සේ තමයි අපි ජීවත් වන සත්‍යයන් ස්ථාපිත කරලා තියෙන්නේ.
ඔබගෙන් සමහරෙක් මෙම ප්‍රකාශනය ගැන මෙනෙහි කරලා, “මෙය මට වැඩ කරන්නේ නැහැ” කියලා කියන්න පුළුවන්. “ඒක අසංවේදී බවක් පේනවා.” “මගේ පවුල එහෙම පේන්නේ නැහැ.” “මම ගැලපෙන්නේ නැහැ.”
කනස්සල්ලෙන් පෙළෙන අය, ඔබ ස්වර්ගික දෙමව්පියන්ගේ දරුවෙකු බවත්, ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේගේ පවුලේ කොටසක් බවත් දැනගන්න. උන්වහන්සේ තරම් ඔබව හොඳින් දන්නා හෝ ඔබ ගැන ගැඹුරින් සැලකිලිමත් වන කිසිවෙක් නැහැ. උන්වහන්සේ වෙත හැරෙන්න, ඔබේ හදවත උන්වහන්සේට වගුරුවන්න, උන්වහන්සේ සහ උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරන්න. ඔබට ප්‍රේම කරන, ඔබේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබට පවුලක් තිබෙනවා. අපගේ පාපවලට සමාව දීමටත්, අපගේ වැරදිවල බර සහ අපගේ ඉතා නරක දිනවල බර දරා සිටීමටත් උන්වහන්සේ පොළොවට පැමිණියා. ඔබ මුහුණ දෙන සහ දැනෙන දේ උන්වහන්සේ තේරුම් ගන්නවා. උන්වහන්සේ වෙත හැරෙන්න; උන්වහන්සේ ඔබ සමඟ සිටීමට ශුද්ධාත්මයාණන්ව එවන බවත්, ඔබව ඔසවා තබන බවත්, ඔබට මඟ පෙන්වන බවත් විශ්වාස කරන්න. “මනුෂ්‍ය දරුවන්ගේ හදවත් තුළ වැගිරී එය විහිදනු ලද; ඔවුන්ගේ ප්‍රේමය දනවන්න, එය සියල්ලටම වඩා ප්‍රියමනාපය … තවද ආත්මයට ඉතා ප්‍රීතිමත් වන්නේය.”
ස්වාමින්වහන්සේගේ සියලු ප්‍රේරිතවරුන් ඔබට බොහෝ සේ ප්‍රේම කරනවා. අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරන අතර ඔබ වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ මඟ පෙන්වීම බලාපොරොත්තු වෙනවා. අපිත් සමඟ රැදෙන්න. සතුරා ඔබව ඔහුගේ කර ගැනීමට උත්සාහ කරන අභියෝගාත්මක කාලවලයි ඔබ ජීවත් වෙන්නේ. ඇදගන්න දෙන්න එපා. ඔබ එසේ ගියා නම්, නැවත එන්න. ඔබට ආදරය කරන අන් අයගේ දෑත් මෙන් අපගේ දෑත් ඔබ වෙත දිගු වෙනවා.
මෙම ප්‍රකාශනයේ මෙසේ සඳහන් වෙනවා, “ප්‍රේමය සහ ධර්මිශ්ට බව තුල ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ට ශුද්ධ වූ කාර්යභාරයක් තිබෙනවා.” මොර්මන්ගේ පොත මෙම සත්‍යයට දෙවන සාක්ෂියක් සපයනවා. පළමු පරිච්ඡේදයේ පළමු පදයේ, අපි මෙසේ කියවනවා, “මම, නීෆායි, යහපත් දෙමාපියන්ගෙන් උපත ලැබුවෙමි.” අපෙන් කී දෙනෙක් මොර්මන්ගේ පොත කියවීම ආරම්භ කර—නැවත නැවතත් ආරම්භ කර—එම ක්‍රියාවලියේ දී එම වචන මතකයේ තබාගෙන තිබෙනවා ද? ඒවා හදවතේ මතක තබා ගන්න.
ප්‍රකාශනයේ මගේ ප්‍රියතම ප්‍රකාශවලින් එකක් තමයි මේක: “පවුල් ජීවිතයේ සන්තෝෂය බොහෝ දුරට සාක්ෂාත් කරගනු ලබන්නේ … යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වූ විටය.”
සතුටින් ඉන්න කවුද අකමැති?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් මොනවා ද? නැවතත්, ප්‍රකාශනයේ එයට මෙසේ පිළිතුරු තිබෙනවා:“ඇදහිල්ල, යාච්ඤාව, පසුතැවීම, සමාව දීම, ගෞරවය, ආදරය, අනුකම්පාව, වැඩ කිරීම සහ යහපත් විනෝදාත්මක ක්‍රියාකාරකම්.”
මෙම ප්‍රධාන මූලධර්ම ක්‍රියාත්මක කිරීමෙන් යහපත් නොවෙන්නේ කාගේ ජීවිතය ද? අපි කවුරුත් පරිපූර්ණව කටයුතු කරන්නේ නැහැ; නමුත් අපට සභාපති හින්ක්ලිගේ ඥානවන්ත වචන අනුගමනය කරන්න පුළුවන්: “ඔබට කළ හැකි උපරිමය කරන්න.”
“පියවරුන් ප්‍රේමයෙන් හා ධර්මිෂ්ඨකමින් මූලාසනය දැරිය යුතුය”, සහ “මව්වරුන් තම දරුවන්ගේ පෝෂණය සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතුය” යනුවෙන් අපි මේ ප්‍රකාශනයේ කියවනවා. මූලාසනය දැරීම යන්නෙන් ආධිපත්‍යය දැරීම අදහස් නොවන අතර පෝෂණය කිරීම යන්නෙන් අමතර භූමිකාවක් අදහස් වෙන්නේ නැහැ. දෙවියන්වහන්සේ පුරුෂයින්ට හා කාන්තාවන්ට වෙනස් නමුත් එකිනෙකාට අනුපූරක වන සමාන හා අත්‍යවශ්‍ය භූමිකාවන් ලබා දී තිබෙනවා.
මට පෞද්ගලික කතාවක් බෙදාගන්න ඉඩදෙන්න.
මම මගේ බිරිඳගෙන් විමසන්නේ නැතිව වැදගත් තීරණයක් ගැනීමට තීරණය කළ දවසකින් පසු, අපි එක සමාන හවුල්කරුවන් වීමේ වැදගත්කම ගැන මමත් මගේ බිරිඳත් හොඳින් ඉගෙන ගත්තා. මගේ ක්‍රියාව ඇයව පුදුමයට පත් කළා, ඇයට හිතා ගන්නවත් බැරිව ගියා, ඒ වගේම ඇයව ඉතා අපහසු තත්වයකට පත් කළා. ඊට පස්සේ, ඇය මගේ උරහිස් මත අත් තියලා තදින් කිව්වා, “රොන්, කරුණාකරලා, මට ආයෙත් කවදාවත් එහෙම කරන්න එපා.” අපි එතැන් සිට බොහෝ දුරට එකම තීරණයක සිටියා.
පවුල සඳහා ප්‍රකාශනයේ අපට මෙසේ හමුවෙනවා: “පියවරුන් සහ මව්වරුන් සමාන හවුල්කරුවන් ලෙස එකිනෙකාට උපකාර කිරීමට බැඳී සිටී.”
සමාන කියන්නෙ වැදගත් වචනයක්. වසර ගණනාවක් පුරා, රස්බැන්ඩ් සහෝදරිය සහ මම මේ ප්‍රකාශනයේ “අපගේ පරිශුද්ධ වගකීම්” ලෙස විස්තර කරන දෙයෙ අනුව එකට වැඩ කර තිබෙනවා, ඒවගේම අපි එක සමානව බැඳී ඇති විවාහයක් ඒ තුළින් හැඩගස්වාගෙන තිබෙනවා. අපේ සෑම දරුවෙකුම දැන් විවාහක බැවින්, රස්බැන්ඩ් සහෝදරිය සහ මම, එක සමාන හවුල්කරුවන් වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට සහ ඔවුන්ගේ සහකරුවන්ට උපදෙස් දීම දිගට ම කරගෙන ගියා.
අපි දෙවියන්වහන්සේගේ මහිමය වෙත අපගේ ඇස් ඒකායන අරමුණකින් යොමු කර ජීවත් වන විට, අපි එකිනෙකාට ගරු කර එකිනෙකාට සහයෝගය දක්වනවා. එම දිව්‍යමය ධර්මිෂ්ඨ රටා අපගේ පුද්ගලික ජීවිතවල, අපගේ පවුල්වල සහ සමාජයේ ස්ථාවරත්වයට මඟ පාදනවා.
අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ පවුල පිළිබඳ ප්‍රකාශය ලබා දීලා තියෙන්නේ අපව උන්වහන්සේ වෙතට නිවසට ගෙන යාමට මඟ පෙන්වීමට, ප්‍රේමය, ශක්තිය, අරමුණෙන් පිරී යාමට සහ සදාකාලික අවබෝධයෙන් ඉගෙන ගැනීමට අපට උපකාර කරන්නයි. උන්වහන්සේට සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ට සමීපව ජීවත් වන ලෙස මාගේ මුළු ආත්මයෙන්ම මම ඔබෙන් අයැද සිටිනවා. ඔබ එසේ කරන විට, ආත්මයාණන්වහන්සේ ඔබට අනුභාවයෙන් යුතුව මඟ පෙන්වනු ඇති අතර “සියලු අවබෝධයන් ඉක්මවා යන” උන්වහන්සේලාගේ පොරොන්දු වූ සාමය ඔබේ හදවතට දැනීමට උපකාරී වන බව මම පොරොන්දු වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.