ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත
අපගේ ස්වාමීන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් වීමට ඔබටත් මටත් දැන් කාලයයි.
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සමඟ කතා කිරීමට ස්වාමින්වහන්සේ මට ආශිර්වාද කළ නිසා මම ස්තූතිවන්ත වෙනවා.
මේ සම්මන්ත්‍රණයේදී, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවකයන් මාර්ගයෙන් අපට කතා කර තිබෙනවා. ඔවුන්ගේ පණිවිඩ අධ්‍යයනය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි මාස හය තුළ සත්‍ය කුමක්ද සහ සත්‍ය නොවන්නේ කුමක්ද කියා දැනගැනීමට ලිට්මස් පරීක්ෂණයක් ලෙස ඒවා භාවිතා කරන්න.
සෝල්ට් ලේක් දේවමාළිගාව සහ දේවමාළිගා චතුරශ්‍රයේ අනෙකුත් ප්‍රදේශ සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය කිරීම වසර පහකට ආසන්න කාලයක් තිස්සේ සිදුවෙමින් පවතිනවා. මෙම කාර්යය 2026 වසර අවසන් වන විට අවසන් වනු ඇති බව දැනට පවතින ප්‍රක්ෂේපණවලින් පෙනී යනවා. මෙම දැවැන්ත ව්‍යාපෘතියේ නියැලී සිටින සියලුම දෙනාට අපි අපගේ ස්තූතිය පුදකර සිටිනවා.
පසුගිය මාස හය තුළ, අපි රටවල් පහක දේවමාළිගා නවයක් කැපකර හෝ නැවත කැපකර තිබෙනවා. මෙතැන් සිට මේ වසර අවසන් වනතුරු අපි තවත් ඒවා පහක් කැප කරනවා.
අද, තවත් දේවමාළිගා 17 ක් ඉදිකිරීමේ සැලසුම් නිවේදනය කරන්නට ලැබීම අපට සතුටක්. කරුණාකර මම ඒ ස්ථාන ප්‍රකාශ කරන විට එයට ගෞරවයෙන් සවන් දෙන්න.
-
හුචිටාන් ඩී සරගොර්සා, මෙක්සිකෝව
-
සැන්ටා ආනා, එල් සැල්වදෝරය
-
මෙඩලින්, කොලොම්බියාව
-
සන්තියාගෝ, ඩොමිනිකන් ජනරජය
-
පුවර්ටෝ මොන්ට්, චිලී
-
ඩබ්ලින්, අයර්ලන්තය
-
මිලාන්, ඉතාලිය
-
අබුජා, නයිජීරියාව
-
කම්පාලා, උගන්ඩාව
-
මාපුටෝ, මොසැම්බික්
-
කෝර් ඩෙලේන්, අයිඩාහෝ
-
ක්වීන් ක්‍රීක්, ඇරිසෝනා
-
එල් පැසෝ, ටෙක්සාස්
-
හන්ට්ස්විල්, ඇලබාමා
-
මිල්වෞකි, විස්කොන්සින්
-
සම්මිට්, නිව් ජර්සි
-
ප්‍රයිස්, යුටා
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපේ ඇස් ඉදිරිපිට සිදුවෙමින් පවතින දේ ඔබට පෙනෙනවාද? මේ මොහොතේ ඇති මහිමය අපට අතපසු නොවේවා කියා මම යාච්ඤා කරනවා! ස්වාමින්වහන්සේ සැබවින්ම උන්වහන්සේගේ කාර්යය ඉක්මන් කරමින් සිටිනවා.
ඇයි අපි කවදාවත් නැති තරම් වේගයෙන් මේ දේවමාළිගා ගොඩනගන්නෙ? ඒ ඇයි? මොකද එසේ කිරීමට ස්වාමින්වහන්සේ අපට උපදෙස් දී තිබෙනවා. දේවමාළිගාවේ ආශිර්වාද මගින් තිරය දෙපසම සිටින ඉශ්‍රායෙල්වරුන්ව රැස් කිරීමට උදව් කරනවා. ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට උපකාර වන සෙනඟක් සූදානම් කිරීමටත් මෙම ආශිර්වාද උපකාරී වෙනවා!
අනාගතවක්තෘ යෙසායා අනාවැකි පළ කළ පරිදි සහ හැන්ඩෙල්ගේ මෙසියස් හි, අනුස්මරණය කරන ලද පරිදි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන විට, “ස්වාමීන්වහන්සේගේ තේජස ප්‍රකාශවන්නේය, සියලු මනුෂ්‍යයෝ එක්ව එය දකින්නෝය.”
ඒ දවසේදී “ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.”
“අමෙරිකා මහාද්වීපයෙහි ගොඩනගන”පැරණි යෙරුසලම සහ නව යෙරුසලම යන දෙකෙහිම සිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පාලනය කරයි. මෙම මධ්‍යස්ථාන දෙකෙන්ම, උන්වහන්සේ උන්වහන්සේගේ සභාවේ කටයුතු මෙහෙයවයි.
ඒ දවසේදී ස්වාමින්වහන්සේව “රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය” ලෙස හඳුන්වනු ලබයි. උන්වහන්සේ සමඟ සිටින අයව “කැඳවාගත්, තෝරාගත්, විශ්වාස තැනැත්තෝ” කියා හඳුන්වනු ලැබෙයි.
සහෝදර සහෝදරියනි, අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ඔබටත් මටත් සූදානම් වීමට කාලය දැන් ඇවිත් තිබෙනවා. අපගේ අනුගාමිකත්වය අපගේ ඉහළම ප්‍රමුඛතාවය බවට පත් කිරීමට කාලය දැනුයි. කරකැවෙන බාධාවලින් පිරුණු ලෝකයක, අපට මෙය කරන්න පුළුවන් කොහොමද?
දේවමාළිගාවේ නිතිපතා නමස්කාරය අපට ඒ සඳහා උදව් වෙයි. ස්වාමින්වහන්සේගේ ගෘහයේදී, අපි අවධානය යොමු කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේටයි. අපි උන්වහන්සේගෙන් ඉගෙන ගන්නවා. අපි උන්වහන්සේව අනුගමනය කිරීමට ගිවිසුම් ඇති කරගන්නවා. අපි උන්වහන්සේව දැන හඳුනා ගන්නවා. අප අපගේ දේවමාළිගා ගිවිසුම් තබා ගන්නා විට, අපට ස්වාමින්වහන්සේගේ ශක්තිමත් කිරීමේ බලයට වැඩි ප්‍රවේශයක් ලැබෙනවා. දේවමාළිගාවේදී අපට ලෝකයේ පීඩාවන් වලින් ආරක්ෂාව ලැබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ නිර්මල ප්‍රේමය අපි බහුලව අත්විඳිනවා! ලෝකයේ කැළඹිලිවලට ප්‍රතිවිරුද්ධව, අපට සාමය සහ අධ්‍යාත්මික සහනය දැනෙනවා.
ඔබ වෙනුවෙන් මම ලබාදෙන පොරොන්දුව මෙන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අවංකව සොයන සෑම කෙනෙකුම දේවමාළිගාවේදී උන්වහන්සේව සොයාගනියි. ඔබට උන්වහන්සේගේ දයාව දැනෙයි. ඔබගේ වඩාත්ම කරදරකාරී ප්‍රශ්න වලට පිළිතුරු ඔබ සොයාගනියි. උන්වහන්සේගේ ශුභාරංචියේ ප්‍රීතිය ඔබ වඩාත් හොඳින් වටහා ගනියි.
අප සෑම කෙනෙකුම පිළිතුරු දිය යුතු ඉතා තීරණාත්මක ප්‍රශ්නය මෙය බව මම ඉගෙන ගෙන තිබෙනවා: මම මගේ ජීවිතය ලබාදෙන්නේ කාටද හෝ කුමක් සඳහාද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට මා ගත් තීරණය තමයි මා මෙතෙක් අරගෙන තිබෙන වැදගත්ම තීරණය. වෛද්‍ය විද්‍යාලයේදී, මට පියාණන් වන දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය පිළිබඳ සාක්ෂියක් ලැබුණා. එතැන් සිට මම මගේ ජීවිතය ගොඩනගා ගත් පර්වතය වුණේ අපගේ ගැලවුම්කරුවාණන්. සියලු වෙනස්කම් සිදුවී තිබෙන්නේ ඒ තේරීම නිසයි! එම තීරණය නිසා තවත් බොහෝ තීරණ පහසු වුණා. ඒ තීරණය මට අරමුණක් සහ මගපෙන්වීමක් ලබා දී තිබෙනවා. ජීවිතයේ කුණාටුවලට මුහුණ දීමටත් එය මට උපකාර කර තිබෙනවා. මට උදාහරණ දෙකක් බෙදාගැනීමට ඉඩදෙන්න:
මුලින්ම, මගේ බිරිඳ ඩැන්සෙල් අනපේක්ෂිත ලෙස මිය ගිය විට, මට අපේ කිසිම දරුවෙකුව සම්බන්ධ කරගැනීමට නොහැකි වුණා. එහිදී මම තනි වී, සරණක් නොමැතිව, උදව් ඉල්ලා කෑගසමින් සිටියා. ස්තූතිවන්ත වෙන්නට, ස්වාමින්වහන්සේගේ ආත්මය තුළින්, මගේ ආදරණීය ඩැන්ට්සෙල්ව නිවසට ආපසු ගෙන ගියේ ඇයි කියා උන්වහන්සේ මට ඉගැන්නුවා. ඒ අවබෝධයත් එක්ක මම සැනසුණා. කාලයාගේ ඇවෑමෙන්, මට මගේ දුක දරාගැනීමට හැකි වුණා. පසුව මම මගේ ආදරණීය බිරිඳ වෙන්ඩි සමඟ විවාහ වුණා. ඇය මගේ දෙවන උදාහරණයේ කේන්ද්‍රීය කොටසක්.
වෙන්ඩි සහ මම දුර රටක රාජකාරියකට යද්දී, සන්නද්ධ මංකොල්ලකරුවන් පිරිසක් මගේ ඔළුවට තුවක්කුවක් තියලා වෙඩි තියන්න සූදානම් වුණා. නමුත් ඒ තුවක්කුව ක්‍රියා කළේ නෑ. ඒ අත්දැකීම පුරාම අපි දෙන්නගෙම ජීවිතවලට තර්ජන එල්ල වුණා. ඒත් වෙන්ඩිටයි මටයි කියාගන්න බැරි සැනසීමක් දැනුණා. එය “සියලු අවබෝධය ඉක්මවා යන”සාමයක්.
සහෝදර සහෝදරියනි, ස්වාමින්වහන්සේ ඔබවත් සනසනවා! උන්වහන්සේ ඔබව ශක්තිමත් කරයි. අවුල් වියවුල් මධ්‍යයේ වුවද, උන්වහන්සේ ඔබට සමාදානය සමඟ ආශිර්වාද කරයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට දුන් මේ පොරොන්දුවට සවන් දෙන්න: “මම ඔබේ දකුණතෙහි සහ වම් පැත්තෙහි සිටිමි, එමෙන්ම ඔබ දරා සිටිනු පිණිස මාගේ ආත්මය ඔබ තුළද, මාගේ දූතයන් ඔබ වටාද සිටිනු ඇත.”
ඔබට උපකාර කිරීමට ගැලවුම්කරුවාණන්ට ඇති හැකියාවට සීමාවක් නෑ. ගෙත්සෙමනේදී සහ කල්වාරියේදී උන්වහන්සේ අපට තේරුම්ගන්නවත් නොහැකි ආකාරයෙන් දුක් වින්දේ ඔබ වෙනුවෙන්! උන්වහන්සේගේ ඒ අසීමිත වන්දිගෙවීම ඔබ වෙනුවෙන්මයි!
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ ඔබේ අවබෝධය වැඩි කර ගැනීම සඳහා—ඔබේ ජීවිතයේ ඉතිරි කාලය පුරාවටම—සෑම සතියකම කාලය කැප කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. පාපයේ ගිලී සිටින සහ එයින් මිදෙන්නේ කෙසේදැයි නොදන්නා අය ගැන මගේ හදවත රිදෙනවා. අධ්‍යාත්මිකව අරගල කරන හෝ තනිව බර උසුලන අය වෙනුවෙන් මම අඬන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන් වෙනුවෙන් කළ දේ ඔවුන්ට නොතේරෙන නිසයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ පව්, ඔබේ වේදනාවන්, ඔබේ සිත් වේදනාවන් සහ ඔබේ දුර්වලතා උන්වහන්සේ මතට භාර ගත්තා. ඔබ ඒවා තනිවම දරාගත යුතු නෑ! ඔබ පසුතැවිලි වන විට උන්වහන්සේ ඔබට සමාව දෙයි. ඔබට අවශ්‍ය දේ සමඟ උන්වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ඔබේ තුවාල වූ ප්‍රාණය උන්වහන්සේ සුව කරයි. ඔබ උන්වහන්සේට වියගහකින් මෙන් සම්බන්ධ වන විට, ඔබේ බර සැහැල්ලු වෙයි. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ගිවිසුම් ඇති කරගත් විට, ඔබේ ජීවිතයේ වේදනාකාරී අවස්ථා තාවකාලික බව ඔබට පෙනී යයි. ඔබේ දුක් වේදනා “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රීතිය තුළ ගිල ගනියි.”
ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ භක්තිමත් ගෝලයෙකු වීමට ඉතා ඉක්මන්වත් ඉතා ප්‍රමාදවත් නෑ. ඉන්පසු උන්වහන්සේගේ වන්දිගෙවීමේ ආශිර්වාදය ඔබට සම්පූර්ණයෙන් අත්විඳින්න පුළුවන්. ඉශ්‍රායෙලය එක්රැස් කිරීමට උපකාර කිරීමේදී ඔබ වඩාත් ඵලදායී වෙයි.
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඉදිරි දිනකදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහස්‍රයේ ගැලවුම්කරුවාණන් ලෙස නැවත පොළොවට පැමිණෙනවා. ඒ නිසා අද මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ජීවිතය යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කැප කරන ලෙසයි. විසිරී සිටින ඉශ්‍රායෙලය එක්රැස් කිරීමට සහ ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට උදව් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්න, ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන්න, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිනවා!
ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ “ඔබේ මුළු [ප්‍රාණයම]” උන්වහන්සේට පූජා කරන්න. ප්‍රීතිමත් ජීවිතයක රහස මෙයයි!
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන නිසා, හොඳම දේ තවම පැමිණෙන්නට ඇත! ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කාර්යය ඉක්මන් කරන නිසා, හොඳම දේ තවම පැමිණෙන්නට ඇත. අපගේ හදවත් සහ අපගේ ජීවිතය සම්පූර්ණයෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට හරවන විට, හොඳම දේ තවම පැමිණෙන්නට ඇත.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවට වූ මාගේ ගෞරවනීය සාක්ෂිය මම දරනවා. මම උන්වහන්සේගේ ගෝලයෙක්. උන්වහන්සේගේ සේවකයෙකු වීම මට ගෞරවයක්. උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී, “ස්වාමීන්වහන්සේගේ තේජස ප්‍රකාශ වන්නේය, සියලු මනුෂ්‍යයෝ එක්ව එය දකින්නෝය.” ඒ දවස ධර්මිෂ්ඨයන් සඳහා ප්‍රීතියෙන් පිරී යයි!
මම ඔබට සහ මුළු ලෝකයටම මෙම සත්‍යය ප්‍රකාශ කරන්නේ, මා දරාගෙන සිටින ශුද්ධ වූ පූජකවරයේ යතුරු වල බලයෙන්! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.