2020–2024
එදිනෙදා ජීවිතයේදී ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


14:17

එදිනෙදා ජීවිතයේදී ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම

ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම එදිනෙදා ජිවිතය පරිශුද්ධ කරනවා. එය අපිව ස්වාමින්වහන්සේ සහ එකිනෙකා කෙරෙහි සමීප කර සතුටු කරනවා.

මෑතකාලීනව සිදු වූ අපගේ ගොන්ග් පවුලේ හමුවීමට සරල විහිළු තරඟයක් සමඟින් සම්පූර්ණ විනෝද කුසලතා ප්‍රදර්ශනයක් ඇතුළත් වුණා.

නමුත් මෙම තරඟය අසාමාන්‍ය වුණා. එක් කණ්ඩායමක සීයා (මම) සහ වයස අවුරුදු 12 සහ 11ක් වූ මුණුබුරන් දෙදෙනෙක් සිටියා. අනෙක් කණ්ඩායමේ සිටියේ ගෙරිට් ඩබ්ලිව්. ගොන්ග්ගේ විලාසයෙන් සරල විහිළු කීමට එක් ඥාතියෙකු විසින් පොළඹවන ලද කෘතිම බුද්ධි (AI) වැඩසටහනක්. ගෙරිට් ගොන්ග් සීයාට එදිරිව AI ගෙරිට් ගොන්ග්.

මමයි මුණුබුරනුයි මුලින්ම සෙල්ලම් කළා.

තම මෝටර් රථය කඩා දමන ඩයිනොසෝරයෙකුව ඔබ හඳුන්වන්නේ කොහොමද? ටරැන්නොසෝරස් රෙක්ස්.

AI ගෙරිට් ගොන්ග් හට උපදෙස් දී තිබුණේ—ගෙරිට් ඩබ්ලිව්. ගොන්ග් වගේ සිතන්නයි. ඔහු වගේ කතා කරන්නයි.

AI ගෙරිට් ගොන්ග්—“ගෙරිට් ඩබ්ලිව්. ගොන්ග් විසින් ඔහුගේ උණුසුම්, කල්පනාකාරී සහ නඟා සිටුවීමේ විලාසය වැළඳ ගනිමින් කතා කරනවාක් මෙන් සරල විහිළුවක් මෙන්න: නිහතමානී ගස මිනිසුන්ට සිනහවක් ඇති කළේ ඇයි? ඒ එය ආදරයේ මුල් බැස ගෙන කරුණාවේ ශාඛා සමඟ ළඟා වූ නිසා. ඒ ගස මෙන් අපටත් අපගේ මුල්වල ශක්තිය සහ අන් අයට කරුණාව දැක්වීමෙන් ප්‍රීතිය ලබා ගන්න පුළුවන්.”

හොඳයි, ඔබ සිතන්නේ මොකක්ද? ඒ නිසා තමයි ඒවාට සරල විහිළු කියන්නේ.

අප වටා ඇති සියල්ල සිනාසීමට, සතුටු වීමට, කෘතඥපූර්වක ඇස්වලින් දැකීමට ඇති අවස්ථාවන් වෙනවා. අපේ අවස්ථාව තමයි ශුභාරංචියේ ප්‍රීතිය හා එදිනෙදා ජීවිතයේ ශුද්ධවන්තකම. ශුද්ධවන්තකම පරිශුද්ධ අරමුණ සඳහා දේවල් වෙන් කරනවා. නමුත් ශුද්ධවන්තකම අපට එදිනෙදා ජීවිතය පරිශුද්ධ දේ සමඟ බද්ධ කිරීමටද—මේ ලෝකයේ කටු පඳුරු මැද දිනපතා රොටි වලින් ප්‍රීති වීමටද ආරාධනා කරනවා. ස්වාමින්වහන්සේ සමඟ ගමන් කිරීමට නම්, අප ශුද්ධවන්ත විය යුතුයි, මොකද උන්වහන්සේ ශුද්ධයි, ඒවගේම, අපට ශුද්ධවන්ත වීමට උපකාර කිරීම සඳහා, උන්වහන්සේ සමඟ ගමන් කිරීමට ස්වාමින්වහන්සේ අපට ආරාධනා කරනවා.

අපි හැමෝටම කතාවක් තියනවා. ගොන්ග් සහෝදරිය සහ මම—සභාවේ සාමාජිකයින් සහ මිතුරන් වන ඔබව බොහෝ ස්ථාන සහ තත්වයන් තුළ මුණගැසෙන විට—එදිනෙදා ජීවිතයේදී ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම පිළිබඳ ඔබේ කථා අපව දිරිමත් කරනවා. ඔබ C හතක ජීවත් වෙනවා: [මෙම වචන ඉංග්‍රීසි භාෂාවේදී ආරම්භ වන්නේ C අකුරෙන්] ඒ තමයි දෙවියන්වහන්සේ සමඟ සහයෝගීතාවයෙන් සිටීම, ප්‍රජාව සහ එකිනෙකා සමඟ කරුණාවෙන් සිටීම, දෙවියන්වහන්සේ, පවුල සහ මිතුරන් සමඟ කැපවීමෙන් සහ ගිවිසුමගතව සිටීම—යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ කේන්ද්‍රගතව සිටීම.

වර්ධනය වන සාක්ෂි මෙම කැපී පෙනෙන කරුණ ඉස්මතු කරනවා: ආගමික ඇදහිලිවන්තයන් අධ්‍යාත්මික කැපවීමක් හෝ සම්බන්ධයක් නොමැති අයට වඩා සාමාන්‍යයෙන් සතුටින්, සෞඛ්‍ය සම්පන්න සහ වඩා සම්පූර්ණ වෙනවා. සතුට සහ ජීවිත තෘප්තිය, මානසික හා ශාරීරික සෞඛ්‍යය, අර්ථය සහ අරමුණ, චරිතය සහ ගුණවත්කම, සමීප සමාජ සම්බන්ධතා, මූල්‍ය හා ද්‍රව්‍යමය ස්ථාවරත්වය පවා—එක් එක් මිනුමක් මත, ආගමික වෘත්තිකයන් සමෘද්ධිමත් වෙනවා.

ඔවුන් සියලු වයස්වල සහ ජනගහන කණ්ඩායම් අතරින් වඩා හොඳ ශාරීරික හා මානසික සෞඛ්‍යයක් සහ වැඩි ජීවිත තෘප්තියක් භුක්ති විඳිනවා.

පර්යේෂකයන් “ආගමික ව්‍යුහාත්මක ස්ථාවරත්වය” ලෙස හඳුන්වන දෙය ජීවිතයේ පෙරළි සහ හැරීම් මධ්‍යයේ පැහැදිලි බවක්, අරමුණක් සහ පෙළඹවීමක් ලබා දෙනවා. ඇදහිල්ලේ නිවැසියන් සහ ශුද්ධවන්තයින්ගේ ප්‍රජාව හුදකලා සහ තනි වූ සමූහයා සමඟ සටන් කරනවා. ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම අපවිත්‍ර දේට “නෑ” කියා, අනුන්ගේ වියදමින් දඩබ්බර දක්ෂතාවයට නෑ කියා, කෝපය සහ දෙකඩ වී මුදල් උපයන ඇල්ගොරිතම වලට “නෑ” කියා කියනවා. ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම පූජනීය හා ගෞරවාන්විත දෙයට “ඔව්” කියා, අපි ඇදහිල්ලෙන් උන්වහන්සේව අනුගමනය කරන විට අපගේ නිදහස්, ප්‍රීතිමත්, වඩාත්ම අව්‍යාජ, හොඳම මිනිසුන් බවට පත්වීමට ඔව් කියා කියනවා.

එදිනෙදා ජීවිතයේදී ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම පෙනෙන්නේ කෙසේද?

එදිනෙදා ජීවිතයේදී ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම පෙනෙන්නේ, විවාහ වී වසරක් ගත වී, ශුභාරංචි ගිවිසුම් විශ්වාසවන්තභාවය සහ අවදානම් සහිත බව බෙදාහදා ගන්නා, ඔවුන්ගේ දිග හැරෙන ජීවිත තුළ පරිත්‍යාග කිරීම සහ සේවය කිරීම ගැන බෙදා ගන්නා ඇදහිලිවන්ත තරුණ වැඩිහිටියන් දෙන්නෙක් වගේ.

ඇය මෙසේ පටන් ගන්නවා, “උසස් පාසලේදී මම සිටියේ අඳුරු තැනක. දෙවියන්වහන්සේ මා වෙනුවෙන් නොසිටි බවකුයි මට දැනුනේ. එක් රාත්‍රියක, මිතුරෙකුගේ පණිවිඩයකින්, ‘ඔයා කවදාහරි ඇල්මා 36 කියවලා තියෙනවාද?’ කියා ඇසුවා.

ඇය මෙසේ කිව්වා, “මම කියවන්න පටන් ගත්තම මට සාමය සහ ආදරය ඇති වුණා. මට දැනුණා මට මේ දැඩි වැළඳගැනීමක් ලැබුණා වගේ කියලා. මම ඇල්මා 36:12 කියවන විට, ස්වර්ගීය පියාණන්වහන්සේ මාව දැක්ක බවත් මට හැඟෙන ආකාරය හරියටම දැන සිටි බවත් මම දැන සිටියා.

ඇය තවදුරටත් මෙහෙම කියනවා, “මට දසයෙන් කොටස ගැන ලොකු සාක්ෂියක් තිබුනේ නැති බව අපි විවාහ වීමට පෙර, මම මගේ පෙම්වතා සමඟ අවංකව කතා කළා. අන් අයට දීමට බොහෝ දේ තිබියදී දෙවියන්වහන්සේට අප මුදල් දීමට අවශ්‍ය වූයේ ඇයි? එය මුදල් ගැන නොව අපෙන් ඇසූ ආඥාවක් අනුගමනය කිරීමක් බව පැහැදිලි කිරීමට මගේ පෙම්වතා උදව් කළා. දසයෙන් කොටස ගෙවීමට පටන් ගන්නා ලෙස ඔහු මට අභියෝග කළා.

“ඇත්තටම මම දැක්කා මගේ සාක්ෂිය වර්ධනය වෙනවා,” ඇය කිව්වා “සමහර විට මුදල් හිර වෙනවා, නමුත් අපි බොහෝ ආශීර්වාද දුටු අතර කෙසේ හෝ වැටුප් චෙක්පත් ප්‍රමාණවත් වුණා.”

ඒ වගේම ඇය කිව්වා “මම මගේ හෙද පන්තියේ එකම සභා සාමාජිකයා සහ එකම විවාහක කෙනා වුණා. බොහෝ විට මම පන්තියෙන් පිටව ගියේ කලකිරීමෙන් හෝ අඬමින්, මොකද පන්තියේ මිතුරන් මාව වෙන් කර මගේ විශ්වාසයන් ගැන, මගේ දේවමාළිගා වස්ත්‍ර ගැන හෝ මගේ තරුණ කාලයේම විවාහ වීම ගැන ඍණාත්මක අදහස් පළ කළ බව මට හැඟුණා.”

ඒවගේම ඇය තවදුරටත් මෙහෙම කිව්වා, “මෙම පසුගිය අධ්‍යයන වාරයේදී මම මගේ විශ්වාසයන් වඩාත් හොඳින් ප්‍රකාශ කරන්නේ කොහොමද සහ හොඳ ශුභාරංචි ආදර්ශයක් වන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. මගේ දැනුම සහ සාක්ෂිය වර්ධනය වූයේ මා තනිව සිටීමට සහ මම විශ්වාස කරන දෙයෙහි ශක්තිමත් වීමට මට ඇති හැකියාව පිළිබඳව මාව පරීක්ෂාවට ලක් වුණු නිසායි.

තරුණ ස්වාමිපුරුෂයා තවත් මෙසේ එකතු කළා, “මගේ ධර්මදූත සේවයට පෙර මට විද්‍යාල බේස්බෝල් ක්‍රීඩා කිරීමට යෝජනා තිබුණා. අමාරු තීරණයක් අරගෙන මම ඒ යෝජනා පැත්තකින් තියලා ස්වාමින්වහන්සේට සේවය කරන්න ගියා. මම ඒ අවුරුදු දෙක කිසිම දෙයකට හුවමාරු කරන්නේ නැහැ.

ඔහු මෙසේ කිව්වා “නිවසට ආපසු යන විට, මම දුෂ්කර තත්ත්ව මාරුවීමක් අපේක්ෂා කළ නමුත් මම ශක්තිමත්ව, වේගවත්ව සහ සෞඛ්‍ය සම්පන්නව සිටියා. මම ගියාට වඩා මම ශක්තිමත්ව සිටියා. මගේ සිහින පාසල ඇතුළුව, මම යනකොට තිබුණාට වඩා මට ක්‍රීඩා කරන්න යෝජනා තිබුණා. ඔහු තවත් මෙහෙම කිව්වා “ඒවගේම, වඩාත්ම වැදගත් දෙය නම්, මම වෙන කවරදාටත් වඩා ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවා.”

ඔහු මෙසේ අවසන් කළා, “ස්වර්ගික පියාණන්වහන්සේ අපගේ යාච්ඤාවලදී අපට බලය ලබා දෙන බව ධර්මදූතවරයෙකු ලෙස මම ඉගැන්නුවා, නමුත් සමහර වෙලාවට මගේ ප්‍රශ්න වලදී මට ඒක අමතක වෙනවා.”

ස්වාමින්වහන්සේගේ ආශීර්වාද සඳහා අපගේ ධර්මදූත ශුද්ධවන්තකමේ භාණ්ඩාගාරය පොහොසත්ව හා පිරී තියෙනවා. මුදල්, කාලය සහ වෙනත් තත්වයන් බොහෝ විට පහසු නැහැ. නමුත් සියලුම වයස්වල සහ පසුබිම්වල සිටින ධර්මදූතවරයින් ස්වාමින්වහන්සේට ශුද්ධකම කැප කරන විට, ස්වාමින්වහන්සේගේ කාලය සහ මාර්ගය අනුව දේවල් ක්‍රියාත්මක වෙනවා.

දැන් වසර 48ක දෘෂ්ටික්කෝණය ඇතිව, ජ්‍යෙෂ්ඨ ධර්මදූතවරයෙක් මෙසේ බෙදාගත්තා, “මගේ තාත්තාට අවශ්‍ය වූයේ මා විද්‍යාල අධ්‍යාපනයක් ලබා ගැනීමට මිස ධර්මදූත සේවයට යන්න නෙමේ. ඉන් ටික කලකට පසු ඔහුට හෘදයාබාධයක් වැළඳී වයස අවුරුදු 47 දී මිය ගියා. මට වරදකාරී බවක් දැනුණා. මම කොහොමද මගේ පියා සමඟ දේවල් නිවැරදි කරන්නේ?

ඒවගේම ඔහු තවදුරටත් මෙහෙම කිව්වා “පසුව, මම ධර්මදූතයක සේවය කිරීමට තීරණය කළ පසු, මම මගේ පියාව සිහිනයකින් දුටුවා. සාමකාමීව සහ තෘප්තිමත්ව, මම සේවය කිරීම ගැන ඔහු සතුටු වුණා.”

මෙම ජ්‍යෙෂ්ඨ ධර්මදුතවරයා තවදුරටත් මෙසේ පැවසුවා, “දහම සහ ගිවිසුම් 138 කොටස උගන්වන පරිදි, මගේ පියාට ආත්මික ලෝකයේ ධර්මදුතවරයෙකු ලෙස සේවය කළ හැකි බව මම විශ්වාස කරනවා. වයස අවුරුදු 17 දී ජර්මනියෙන් පිටව ගොස් පවුලට අහිමි වූ අපේ සීයා නැවත සොයා ගැනීමට මගේ පියා උදව් කරන අයුරු මම මවාගත්තා.”

ඔහුගේ බිරිඳ තවදුරටත් මෙසේ පැවසුවා, “මගේ සැමියාගේ පවුලේ සහෝදරයන් පස් දෙනා අතර, ධර්මදූතයන්වල සේවය කළ හතර දෙනා විද්‍යාල උපාධි ඇති අය.”

එදිනෙදා ජීවිතයේදී ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම පෙනෙන්නේ තම ජීවිතය තුළ දෙවියන්වහන්සේට ජය ගැනීමට ඉඩ දීමට ඉගෙනගත් නැවත පැමිණෙන තරුණ ධර්මදූතවරයෙකු වගෙයි. මීට පෙර, ඉතා අසනීපයෙන් සිටින කෙනෙකුට ආශීර්වාද කරන ලෙස ඉල්ලා සිටි විට, මෙම ධර්මදූතවරයා මෙසේ පැවසුවා, “මට ඇදහිල්ලක් ඇත; මම ඔහුට සුවය ලැබීමට ආශිර්වාද කරනවා එහෙත්,” ආපසු පැමිණි ධර්මදූතවරයා තවදුරටත් පැවසුවා, “මට අවශ්‍ය දේ සඳහා නොව, පුද්ගලයාට අවශ්‍ය කුමක්දැයි ස්වාමින්වහන්සේ දැන සිටි දේ සඳහා යාච්ඤා කිරීමට මම ඒ මොහොතේ ඉගෙන ගත්තා. මම ඒ සහෝදරයාට සාමය සහ සැනසීම ලබා දුන්නා. පසුව ඔහු සාමකාමීව මිය ගියා.”

එදිනෙදා ජීවිතයේදී ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම, සම්බන්ධ වීමට, සැනසීමට, සහ ශක්තිමත් කිරීමට තිරය හරහා ගිනි පුපුරක් මෙන් දැනෙනවා. ඔහුව ඔහුගේ කීර්ති නාමයෙන් පමණක් දන්නා පුද්ගලයින් ඔහු වෙනුවෙන් යාච්ඤා කරන බව තමාට හැඟෙන බව ප්‍රධාන විශ්ව විද්‍යාලයක පරිපාලකයෙකු පවසනවා. එම පුද්ගලයින් විශ්ව විද්‍යාලය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය කැප කළ අතර, එහි මෙහෙවර සහ ශිෂ්‍යයන් ගැන තවදුරටත් සැලකිලිමත් වුණා.

තම ස්වාමිපුරුෂයා තමාට සහ දරුවන්ට ද්‍රෝහී වූ පසුත් එක් සහෝදරියක් සෑම දිනකම තම උපරිමය කළා. මම ඇයව සහ ඇය වැනි අනෙකුත් අයව ගැඹුරින් අගය කරනවා. දිනක් රෙදි සෝදන විට, ඇය දේවමාළිගා වස්ත්‍ර ගොඩක් මත අත තබා, “තේරුම මොකද්ද?” කියා තමාටම සුසුම් හෙළුවා. “ඔබේ ගිවිසුම් මා සමඟය” යන මුදු මොළොක් හඬක් ඇයට සහතිකයක් වුණා.

අවුරුදු 50 ක් තිස්සේ තවත් සහෝදරියක් ඇගේ පියා සමඟ සම්බන්ධයක් සඳහා ආශාවෙන් සිටියා. ඇය පවසන්නේ “වැඩෙන විට මගේ සහෝදරයන් සහ මගේ පියා හිටියා, ඊට පස්සේ එකම දුව වන—මම සිටියා. මට සැමවිටම අවශ්‍ය වුණා මගේ පියාට ‘ප්‍රමාණවත්’ වෙන්න.

“පසුව මගේ අම්මා මිය ගියා! මගේ පියා සහ මා අතර මගේ එකම සම්බන්ධකය වුණේ ඇයයි.

“දවසක් මට හඬක් ඇසුණා, ‘ඔබේ පියාට ආරාධනා කර ඔබ සමඟ දේවමාළිගාවට එක්කන් යන්න’ කියලා.” එය ස්වාමින්වහන්සේගේ ගෘහයට මගේ පියා සමඟ මසකට දෙවරක් යාමේ ආරම්භය වුණා. මම පියාට කිව්වා මම එයාට ආදරෙයි කියලා. එයාත් මට ආදරෙයි කිව්වා.

“ස්වාමින්වහන්සේගේ ගෘහයේ කාලය ගත කිරීම අපව සුවපත් කළා. මගේ අම්මාට අපට උදව් කරන්න පොළොවේදී නොහැකි වුණා. කැඩී බිඳී ගොස් තිබූ දේ පිළිසකර කිරීම සඳහා ඇය තිරයෙහි අනෙක් පැත්තේ සිටීම අවශ්‍ය වුණා. සදාකාලික පවුලක් ලෙස පූර්ණත්වය කරා යන අපගේ ගමන දේවමාළිගාව විසින් සම්පුර්ණ කළා.

එම පියා මෙහෙම කියනවා, “දේවමාළිගා කැප කිරීම මටත් මගේ එකම දියණියටත් විශාල අධ්‍යාත්මික අත්දැකීමක් වුණා. දැන් අපි එකට සහභාගි වන අතර අපගේ ආදරය ශක්තිමත් වන බව දැනෙනවා.”

එදිනෙදා ජීවිතයේදී ස්වාමින්වහන්සේට ඇති ශුද්ධවන්තකමට ආදරණීයයන් හැර යන මුදු මොළොක් අවස්ථාවන් ඇතුළත් වෙනවා. මේ වසර මුලදී, මගේ ආදරණීය මව, ජීන් ගොන්ග්, ඇගේ 98 වැනි උපන්දිනයට දින කිහිපයකට පෙර ඊළඟ ජීවිතයට ගිලිහී ගියා.

ඔබ මගේ මවගෙන් ඇසුවොත්, “ඔබ කැමතිද රොකීරෝඩ්ද, සුදු චොකලට් ඉඟුරුද, හෝ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්ද?” කියලා. මව කියයි, “ඔව්, කරුණාකරලා, මම එකින් එක රස බලන්නද?” කියලා. විශේෂයෙන්ම ඇය ජීවිතයේ සියලු රසයන් වලට ආදරය කරනකොට, ඔබේ මවට නැහැ කියන්න පුළුවන් කාටද?

මම වරක් මවගෙන් ඇසුවා ඇගේ ජීවිතය වඩාත් හැඩගස්වා ඇත්තේ කුමන තීරණද කියලා.

“බව්තීස්ම වෙලා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු වීම සහ ඔබේ පියාව මුණගැසුණු ඇමරිකා එක්සත් ජනපදයට හවායි සිට ආපු එක” කියා ඇය පැවසුවා.

15 හැවිරිදි දරුවෙකු ලෙස බව්තීස්ම වූ, අපගේ සභාවට සම්බන්ධ වූ ඇගේ විශාල පවුලේ එකම සාමාජිකයා වුණු මගේ මවට ස්වාමින්වහන්සේ කෙරෙහි ගිවිසුම් ඇදහිල්ලක් සහ විශ්වාසයක් තිබුණා, එය ඇගේ ජීවිතයට සහ අපගේ පවුලේ සියලුම පරම්පරාවන්ට ආශීර්වාද කළා. ඔබට ඔබේ පවුලේ අය නැතුව පාලුයි වගේ, මටත් මගේ මව නැතුව පාලුයි. ඒත් මම දන්නවා මගේ මව ගිහින් නෑ කියලා. ඇය දැන් මෙහි නැහැ විතරයි. එදිනෙදා ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකමේ නිර්භීත ආදර්ශයන් ලෙස ගමන් කරන සියල්ලන්ට සහ ඇයට මම ගෞරව කරනවා.

ඇත්ත වශයෙන්ම, එදිනෙදා ජීවිතයේදී ස්වාමින්වහන්සේට ඇති ශුද්ධකමට උන්වහන්සේගේ ශුද්ධ වූ ගෘහයේදී ස්වාමින්වහන්සේ වෙතට නිතර පැමිණීම ඇතුළත් වෙනවා. අපි සභා සාමාජිකයන් වුවත් මිතුරන් වුවත් මෙය සත්‍යයක්.

බැංකොක් තායිලන්ත දේවමාළිගාවේ විවෘත නිවසට මිතුරන් තිදෙනෙක් පැමිණියා.

“මෙය අනර්ඝ සුවයක් ඇති ස්ථානයක්,” එක් කෙනෙක් කිව්වා.

බව්තීස්ම ස්ථානයේදී තවත් කෙනෙක් මෙහෙම කිව්වා, “මට මෙතන ඉන්නකොට, මම සෝදා පවිත්‍ර වී නැවත කිසිදා පව් නොකරන්න අවශ්‍යයි.”

තුන්වැන්නා කිව්වා “ඔයාට අධ්‍යාත්මික බලය දැනෙනවාද?”

පූජනීය වචන හතරකින්, අපගේ දේවමාළිගා අපට ආරාධනා කරමින් මෙසේ ප්‍රකාශ කරනවා:

“ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම.

“ස්වාමින්වහන්සේගේ ගෘහය.”

ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම එදිනෙදා ජිවිතය පරිශුද්ධ කරනවා. එය අපව ස්වාමින්වහන්සේට සහ එකිනෙකාට සමීප කර සතුටු කරවන අතර අපගේ පියාණන් වන දෙවියන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ අපගේ ආදරණීයයන් සමඟ ජීවත් වීමට අපව සූදානම් කරනවා.

මගේ මිතුරා කළාක් මෙන්, ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබට ප්‍රේම කරන්නේ දැයි ඔබ කල්පනා කරනවා ඇති. පිළිතුර ප්‍රබලයි, ඇත්ත වශයෙන්ම ඔව්! සෑම දිනකම, සතුටින් හා සදහටම ස්වාමින්වහන්සේට ශුද්ධකම අපගේ බවට පත් කර ගන්නා විට අපට උන්වහන්සේගේ ප්‍රේමය අත්විඳින්න පුළුවන්. අපට එසේ කිරීමට ලැබේවා, මම යාච්ඤා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. පරණ ගිවිසුමේ කාලයේ සිට අපට උගන්වනු ලබන්නේ, “මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍රවී ශුද්ධව සිටපල්ලා” ලෙසයි (ලෙවී කථාව 11:44). අපි ස්වාමින්වහන්සේ ඉදිරියේ ශුද්ධවන්තව ගමන් කළ යුතුය (බලන්න දහම සහ ගිවිසුම් 20:69), ශුද්ධ වූ ස්ථානයන්හි සිටගෙන සිටිය යුතුය (බලන්න දහම සහ ගිවිසුම් 45:32), සබත් දවස ශුද්ධව තබාගත යුතුය (බලන්න නික්මයාම 20:8), ශුද්ධවූ වස්ත්‍ර පැළඳිය යුතුය (බලන්න නික්මයාම 29:29), ශුද්ධ වූ ආලේපලත් තෙල් භාවිතා කරන්න (බලන්න නික්මයාම 30:25), ශුද්ධ අනාගතවක්තෘවරුන්ගෙන් ආශීර්වාද ලැබිය යුතුය (බලන්න දහම සහ ගිවිසුම් 10:46), සහ ශුද්ධලියවිලි මත (බලන්න දහම සහ ගිවිසුම් 20:11), ශුද්ධ වූ නීති (බලන්න දහම සහ ගිවිසුම් 20:20), සහ ශුද්ධ දේවදූතයන් (බලන්න දහම සහ ගිවිසුම් 20:6) රඳා සිටිය යුතුය. ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම අපගේ එදිනෙදා ජීවිතයේ සෑම අංශයකටම ආශීර්වාද කිරීමට අදහස් කරයි.

  2. බලන්න මෝසෙස් 6:34.

  3. බලන්න “Religion and Spirituality: Tools for Better Wellbeing?,” Gallup Blog, Oct. 10, 2023, news.gallup.com. “ලොව පුරා, අධ්‍යාත්මිකත්වයට හෝ ආගමට වැඩි කැපවීමක් ඇති පුද්ගලයින්ට බොහෝ පැතිවලින් වඩා හොඳ යහ පැවැත්මක් ඇත”—ධනාත්මක චිත්තවේගයන්, අරමුණ පිළිබඳ හැඟීම, ප්‍රජා සහභාගීත්වය සහ සමාජ සම්බන්ධතා ඇතුළුව (Faith and Wellness: The Worldwide Connection between Spirituality and Wellbeing [2023], 4, faithandmedia.com/research/gallup).

  4. උපුටා දක්වන ලද සෑම අත්දැකීමක්ම—මගේ ප්‍රශංසාව සහ අගය කිරීම සමඟ—සම්බන්ධ වූ පුද්ගලයන්ගේ වචනවලින් සහ ඔවුන්ගේ අවසරය මත බෙදාගනු ලැබේ.

  5. අද සභාවේ, තරුණ වැඩිහිටියන් වයස අවුරුදු 18-35 (තරුණ තනිකඩ සහ තරුණ විවාහක වැඩිහිටියන් ඇතුළුව) සහ තනි වැඩිහිටියන් (වයස අවුරුදු 36-45) මුළු සභාවේ සාමාජිකයන්ගෙන් තුනෙන් එකක් (සියයට 32.5) සමන්විත වේ. එම මිලියන 5.623 සභාවේ සාමාජිකයන්ගෙන්, තරුණ වැඩිහිටියන් වයස අවුරුදු 18-35 අතර මුළු සංඛ්‍යාව මිලියන 3.625 (ඉන් 694,000 විවාහකයි), සහ වයස අවුරුදු 36-45 තනි වැඩිහිටියන් මිලියන 1.998 කි. අපගේ තරුණ සහ තනිකඩ වැඩිහිටියන් කැපී පෙනේ; සෑම කෙනෙක්ම අනර්ඝයි. සෑම කෙනෙකුටම ඇදහිල්ල, සෙවීම, ඔරොත්තු දීමේ හැකියාව සහ අනුකම්පාව පිළිබඳ තනි පුද්ගල කථාවක් ඇත. මෙහි බෙදා ගන්නා ලද උදාහරණය කැපී පෙනෙන කතන්දර මාලාවක් නියෝජනය කරන අතර තරුණ සහ තනි වැඩිහිටියන් මම ඔබව මුණගැසෙන විට සභාවේ බොහෝ සැකසුම් සහ තත්වයන් තුළ බෙදා ගන්නා අත්දැකීම් වේ.

  6. දැනට ලොව පුරා ධර්මදූත 450ක ධර්මදුතවරයින් 77,500ක් පමණ සේවය කරති. මෙයට තරුණ ඉගැන්වීමේ ධර්මදුතයින්, තරුණ සේවා ධර්මදුතයින් සහ ජ්‍යෙෂ්ඨ ජෝඩු ඇතුළත් වන නමුත් ජ්‍යෙෂ්ඨ සේවා ධර්මදුතයින් සහ දිගුකාලීන ස්වේච්ඡා සේවකයන් 27,800ක් ඇතුළත් නොවේ. සෑම ධර්මදූතයෙකුගේ කථාවක්ම, සේවය සහ ආපසු පැමිණීම හරහා සූදානම් වීමේ සිට, පුද්ගලික අත්දැකීමෙන් ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකමෙන් පිරී ඇත.

    බොහෝ ධර්මදූත අත්දැකීම් ආත්මික රටාවක් පිළිබිඹු කරයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට අන්‍යයන්ට පරාර්ථකාමී ආරාධනා කිරීම සහ උපකාර කිරීම සහ ධර්මදුතවරයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම සහ මාගේ ශුභාරංචිය දේශනා කරන්න පොතට අනුව යන ධර්මදුතවරයා පිළිබඳ පුද්ගල සාක්ෂි මෙයට ඇතුළත් වේ. මගේ ශුභාරංචිය දේශනා කරන්න පොතට අනුව යන ධර්මදූතවරයින් ඔවුන්ගේ සාක්ෂි අත්දැකීම් මගින් වෙනස් වී ඇත, පරිවර්තනය වේ. ඔවුන් පුද්ගලයන්ට, ස්ථාන වලට, භාෂාවන්ට සහ සංස්කෘතීන්ට ආදරය කිරීමට ඉගෙන ගනී. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ පූර්ණත්වය පිළිබඳ සුබ පණිවිඩය ජාතීන්ට, ඥාතීන්ට සහ ජනයාට ගෙන ඒමෙන් ඔවුන් අනාවැකි ඉටු කරයි. ඔවුන් හොඳ සොයා ගන්නා අතර සෑම සහකරුවෙකු සමඟම ජීවත් වීමට ඉගෙන ගනී. ඔවුන් සාමාජිකයින්, නායකයින් සහ මිතුරන් සමඟ බොහෝ තත්වයන් සහ පසුබිම්වල වැඩ කරයි, සහ තවත් බොහෝ දේ.

    මගේ ශුභාරංචිය දේශනා කරන්න පොතට අනුව යන ධර්මදූතවරයින් ඇදහිල්ල සහ විශ්වාසය පෝෂණය කරයි. ඔවුන් කැප වූ මිත්‍රත්වයන් ගොඩනඟයි. කීකරුකම ආශීර්වාද හා ආශ්චර්යයන් ගෙන දෙන බව ඔවුන් ඉගෙන ගනී. අසංඛ්‍යාත වෙනත් පුද්ගලාරෝපිත ක්‍රමවලදී, ඔවුන් සැබවින්ම ගිවිසුමෙන් බවට පත් වී දැන ගනී: “මම දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක්” (3 නෙපී 5:13).

  7. අපගේ සමහර විශ්වාසවන්ත සහ ධෛර්ය සම්පන්න සභාවේ සාමාජිකයන්, සහෝදරියන් සහ සහෝදරයන්, ඔවුන් කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ සහ කිසි විටෙකත් තෝරා නොගත් තත්වයන්ට මුහුණ දී සිටිති. මෙම සැබෑ ශුද්ධවන්තයින් දවසින් දවස, සෑම විටම ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටියි. ස්වාමින්වහන්සේ සෑම කෙනෙකු ගැනම දන්නා අතර, මෙම උදාහරණය මුදු මොළොක් ලෙස බෙදාගන්නා පරිදි, උන්වහන්සේගේ කාලය හා මාර්ගය තුළ අප සෑම කෙනෙකුම දිරිමත් කිරීමට සහ ශක්තිමත් කිරීමට ආශාවක් දක්වයි.

  8. දෙමාපියන් සහ දරුවන් සමඟ සබඳතා සඳහා බොහෝ ආශාවන් ඇත. වසර ගණනාවකට පසුව පවා, සංහිඳියාව, සමාව දීම සහ සම්මුතිය ඇති කරවන හෝ නැවත පිහිටවූ සෑම තත්වයක් සඳහාම මම බෙහෙවින් කෘතඥ වෙමි. මේ හොඳ සහෝදරිය කැමති නෑ කවුරුත් තමන්ගේ පියා ගැන නරක විදියට හිතනවට. ඇය පවසන්නේ, “ඔහු හොඳ සහ විශ්වාසවන්ත නායකයෙක් සහ හොඳ පියෙක්.”

  9. දෙමව්පියන්ගේ පරස්පර විරෝධී දෙයක් නම්, දරුවන් පෝෂණය කරන ආකාරය අනුව ගැඹුරින් හැඩගස්වා ඇති නමුත්, ඔවුන්ගේ මව්වරුන් වෙහෙස නොබලා, පරාර්ථකාමීව මවක් වූ මුල් වසර ඔවුන්ට සාමාන්‍යයෙන් මතක නැත. මම ස්වාමිපුරුෂයෙක්, දෙමාපියෙක් සහ සීයා කෙනෙක් බවට පත් වෙද්දී මගේ අවබෝධය, ආදරය සහ මගේ පියා සහ මව කෙරෙහි වූ අගය කිරීම පුළුල් වී ගැඹුරු වූ බවට සත්‍යය ප්‍රකාශ කිරීමට වචන ප්‍රමාණවත් නොවේ. සන්තෝෂයේ සැලැස්මේ පරම්පරාගත ස්වභාවය පිළිබිඹු කරමින්, සදාකාලිකත්වයේ දේවමාළිගා කැඩපත් තුළ, එක් දිශාවකින් මවක්, ආච්චි, මී මිත්තණියක් ලෙසත්, අනෙක් දිශාවෙන් දියණියක්, මිණිබිරියක්, මී මිණිබිරියක් ලෙසත් අපට දැකගත හැකිය.

  10. අද, ලොව පුරා සිටින සභාවේ සාමාජිකයන්ගෙන් ආසන්න වශයෙන් සියයට 60ක් ජීවත් වන්නේ ස්වාමින්වහන්සේගේ ගෘහයක සිට සැතපුම් 50ක් (කිලෝමීටර් 80ක් හෝ බොහෝ ස්ථානවල පැයක පමණ ගමන් කාලය) තුළය. ඉදිරි වසරවලදී, ප්‍රකාශිත දේවමාළිගා අවසන් වන විට, සභවේ සාමාජිකයින්ගෙන් හතරෙන් තුනක් පමණ ස්වාමින්වහන්සේගේ ගෘහයට පැයක් ඇතුළත ජීවත් වනු ඇත. තත්වයන් මත පදනම්ව, එය බොහෝ විට ස්වාමින්වහන්සේගේ ශුද්ධවූ ගෘහයට පැමිණීමට තරම් සමීප වන අතර එමඟින් වටිනා පවුලේ සාමාජිකයින්ගේ පරම්පරා ගණනාවකට සහ අපට සහ අපගේ පරම්පරාවට ආශීර්වාද කරයි.

  11. අපගේ දේවමාළිගාවල සම්මත පිළිගැන්වීමේ වාක්‍යය වන්නේ “ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම, ස්වාමින්වහන්සේගේ ගෘහය” යන්නයි. සමහර දේවමාළිගාවන් වල මෙම පිළිගැන්වීමේ වාක්‍යයට අමතරව සභාවේ නම එකතු කිරීම වැනි දෑ දේ ඇතුලත් කරයි. දේවමාළිගා කිහිපයක පිළිගැන්වීමේ වාක්‍යය අනික් පැත්ත හරවා ඇත: “ස්වාමින්වහන්සේගේ ගෘහය, ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම” (ඇට්ලන්ටා, ලොස් ඇන්ජලීස් සහ එක්සත් ජනපදයේ සැන් ඩියාගෝහි). යුටා හි ලෝගන් දේවමාළිගාවේ පිළිගැන්වීමේ වාක්‍යය සරලව පවසන්නේ, “ස්වාමින්වහන්සේට ශුද්ධවන්තකම” යනුවෙනි.