2020–2024
කවදාවත් අමතක නොවන දින
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


14:19

කවදාවත් අමතක නොවන දින

මෙම එළඹෙන අවස්ථා සෑම තැනකම සිටින සභා සාමාජිකයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ සුබ ආරංචිය බෙදා ගැනීමට වැඩි අවස්ථාවන් ලබා දෙයි.

හැඳින්වීම

මාගේ දයාබර සහෝදර සහෝදරියනි, මෙම කාල පරිච්ඡේදයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ඉතිහාසය, ස්වාමින්වහන්සේ තම සභාවට මගපෙන්වූ ආකාරය පෙන්නුම් කරන දිව්‍යමය අත්දැකීම් වලින් විචිත්‍රවත්ව තිබෙනවා. කෙසේ වෙතත්, අපගේ ඉතිහාසයේ එක් දශකයක් තිබෙනවා, එය අන් සියල්ලටම වඩා විශිෂ්ට ලෙස නැගී සිටිනවා—ඒ තමයි 1820 සිට 1830 දක්වා දශකය. 1820 වසන්තයේ දී පූජනීය වනයේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් පියාණන් වන දෙවියන්වහන්සේව සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටු විට, ඔහුගේ එම අත්දැකීමෙන් ආරම්භ වී, 1830 අප්‍රියෙල් 6 වන දින දක්වා එම දශකය වෙනත් කිසිම දශකයකට වඩා වෙනස්ව පෙනෙනවා.

මොරෝනි රන් තහඩු බාරදෙමින්
මෙල්කිසදෙක් පූජකත්වයේ නැවත පිහිටුවීම
ඔලිවර් කවුඩ්‍රි.

මෙම කැපී පෙනෙන සිදුවීම් සලකා බලන්න! මෙම තරුණ අනාගතවක්තෘවරයා මොරෝනි දේවදූතයා සමඟ කතා කර, රන් තහඩු පරිවර්තනය කර, මොර්මොන්ගේ පොත ප්‍රකාශයට පත් කළා! ආරෝනික සහ මෙල්කිසදෙක් පූජකවරයන් නැවත පිහිටවීමට මෙවලම ඔහු වූ අතර පසුව ඔහු සභාව සංවිධානය කළා! ඔලිවර් කවුඩ්‍රි විසින් එම යුගය හොඳින් විස්තර කළේ මෙහෙමයි: “මේ දවස් කිසිදා අමතක නොවන දින විය.” ආශ්චර්යමත් සිදුවීම් එදා සිට අද දක්වාම පවතිනවා.

ශතවර්ෂ දෙකකට පමණ පෙර එම ආරම්භක දශකයේ සිට වෙනත් ඕනෑම දශකයක් තරම්ම වැදගත් බව ඔප්පු කළ හැකි දශකයක් අපි මේ වසරේ ආරම්භ කර ඇති බව යෝජනා කිරීමට තරම් මම නිර්භීත වෙනවා.

අපේ දශකය

මට පැහැදිලි කරන්න දෙන්න. දැන් 2024 සහ 2034 අතර, අපි පෙර නොවූ විරූ අවස්ථාවන්හිදී සේවය කිරීමට, සාමාජිකයින් සහ මිතුරන් සමඟ එක්සත් වීමට සහ පෙර දිනට වඩා වැඩි පිරිසකට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව හඳුන්වා දීමට සුවිශේෂී අවස්ථාවන් අත්විඳියි.

සභාපති නෙල්සන්ගේ 100 වැනි උපන්දින සැමරුම.

සභාපති රසල් එම්. නෙල්සන්ගේ 100 වැනි උපන්දිනය, අපි කෝටි ගණනක් සමඟ සමරද්දී සැබෑ ඓතිහාසික මොහොතක බලය අපි දැක්කා.

සභාපති නෙල්සන්ගේ උපන්දිනය ගැන වාර්තා කරමින්, Newsweek ඔවුන්ගේ ශීර්ෂ පාඨයක් මෙසේ ලියා තිබුණා, “ලෝකයේ වයස්ගතම ආගමික නායකයා 100 වෙනි වියට පා තබයි.” ඉන්පසු ඔවුන් ලෝකයේ වයස්ගතම ඇදහිලි නායකයන් 10 දෙනා ලැයිස්තුගත කර තිබුණා—සභාපති නෙල්සන්ව පළමුව සඳහන් කරමින් එම ලැයිස්තුවේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ දලයි ලාමා ඇතුළත් වුණා.

New York Times ලිපියක මෙම ප්‍රකාශය බොහෝ ජාත්‍යන්තර ආවරණයක් දෙමින් මෙසේ පවසනවා: “වයසට යාම සහ නායකත්වය පිළිබඳ ප්‍රශ්න මතු කරන [එක්සත් ජනපද] ජනාධිපතිවරණ චක්‍රයකදී, නෙල්සන් මහතාගේ මෙම සන්ධිස්ථානය පෙන්නුම් කරන්නේ, අවම වශයෙන් ඔහුගේ සභාවේදී, ඉලක්කම් තුනක වයසකට පත්වීම විශාල දෙයක් ලෙස නොපෙනෙන බවයි.” සභාවේ සාමාජිකයන් අතර ඔහු තවමත් ජනප්‍රිය චරිතයක් වන අතර, ඔවුන් තම සභාපතිවරයාට විධායකයෙකු ලෙස පමණක් නොව ‘අනාගතවක්තෘවරයෙකු, අනාගතය දකින්නෙකු සහ එළිදරව් කරන්නෙකු’ ලෙස සලකනවා.”

අපට කිසිදා අමතක නොවන උත්සවයක් වන සභාපති නෙල්සන්ගේ සුවිශේෂී උපන්දිනය දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකුට ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් හඳුන්වා දීමට අවස්ථාවක් ලබා දීම ගැන අපි කොතරම් කෘතඥ වෙනවාද.

නවීකරණය කරන ලද සභා කාර්යාල ගොඩනැගිලි ප්ලාසාව.

මෙම වසන්තයේ මුල් භාගයේදී, මෙම සභාව පිළිගෙන ඇති රටවල් නියෝජනය කරන ජාත්‍යන්තර ධජ ප්‍රදර්ශනයක් ඇතුළත්—දේවමාළිගා චතුරශ්‍රයේ නවීකරණය කරන ලද ප්ලාසාවක් විවෘත කළා. ප්ලාසා පිවිසුම මෙම අනාවැකිමය වදන් සහිත කළුගල් ස්මාරකයකින් සලකුණු කර තිබෙනවා: “මතු දවස් වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවන ලදුව හෙල් වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය.”

නිසැකවම ඉදිරි වසර 10 තුළ සිදුවනු ඇති ස්මාරක සිදුවීම් යෙසායාගේ මෙම අනාවැකිය ඉටු වෙමින් පවතින බවට එක් ප්‍රකාශනයක් වෙන්න පුළුවන්.

සෝල්ට් ලේක් දේවමාළිගාව.

ඉදිරි දශකය තුළ සැලසුම් කර ඇති දේවමාළිගා විවෘත කිරීම් සහ කැපකිරීම් පෙර නොවූ විරූ සංඛ්‍යාව ගැන මෙනෙහි කරන්න, එය දේවමාළිගා 164 ක් සහ ඊට වඩා වෙන්නත් පුළුවන්. ඔබ සහ ඔබේ මිතුරන් මිලියන ගණනින් ස්වාමින්වහන්සේගේ දේවමාළිගාවක් හරහා ගමන් කරන බව සිතන්න. සෝල්ට් ලේක් දේවමාළිගාව නැවත කැපකිරීම සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙම සිදුවීම්වල ප්‍රධාන අවධානය වෙයි. මේවා නිසැකවම කිසිදා අමතක නොවන දින බවට පත්වෙයි.

සභාවේ සංවිධානය.

2030 වර්ෂයේදී සභාවේ සංවිධානයේ ද්වි ශත සංවත්සරය සැමරීම සඳහා ලොව පුරා බොහෝ අවස්ථා උදා වෙයි. සභාව විසින් මෙම සන්ධිස්ථානය හඳුනා ගන්නේ කෙසේදැයි කීමට ඉක්මන් වැඩි වුවත්, එය නිසැකවම පවුලේ සාමාජිකයන්, මිතුරන්, සගයන් සහ සම්භාවනීය අමුත්තන්ට “පැමිණ බලන්න” කියා ආරාධනා කිරීමටත්, සභාවේ සාමාජිකයන්ගේ ජීවිතවලට එය ඇති කරන බලගතු බලපෑම වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමටත් අපට ඉඩ සලසයි.

2002 සෝල්ට් ලේක් නගරයේ ශීත ඍතු ඔලිම්පික්.

2034 දී, ලොව පුරා සිටින දහස් ගණන් සම්භාවනීය නිලධාරීන්, අමුත්තන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වේදිකාව වන සෝල්ට් ලේක් නගරයේ වීදිවලට ගලා එන්නට පටන් ගනී. ඔලිම්පික් ක්‍රීඩා උළෙල තුළ මූර්තිමත් වෙනවාට වඩා ලෝක ව්‍යාප්ත එකමුතුකම පිළිබඳ විශිෂ්ට ප්‍රදර්ශනයක් සමහරවිට තවත් නැති තරම්. ලෝකයේ ඇස් සභාව සහ එහි සාමාජිකයන් වෙත යොමු වෙයි, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, සේවය කිරීමට සහ කාරුණික ක්‍රියාවන් තුළින් ශුභාරංචිය බෙදා ගැනීමට අවස්ථා රාශියක් ලබා දෙයි—එය කිසිදා අමතක කළ නොහැකි සිදුවීමක් වෙයි.

මෙම එළඹෙන අවස්ථා සෑම තැනකම සිටින සභා සාමාජිකයින්ට කිසිදා අමතක නොවන දශකයක් වෙයි, ඒවගේම වචනයෙන් සහ ක්‍රියාවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ සුබ ආරංචිය බෙදා ගැනීමට වැඩි අවස්ථාවන් ලබා දෙයි.

සුභ ආරංචි

ඔහුගේ උපන්දිනයට සති කිහිපයකට පෙර පැවති රැස්වීමකදී, සභාපති නෙල්සන් “සුභ ආරංචි” යන වාක්‍ය ඛණ්ඩය අගය කිරීමට හේතුව කුමක්ද කියා බෙදා ගත්තා. මුලින්ම බැලූ බැල්මට මෙම වාක්‍ය ඛණ්ඩය ප්‍රීතිමත් හා සතුටුදායක වන බව ඔහු පෙන්වා දුන්නා. නමුත් “සුභ ආරංචි” යන වචන ඊට වඩා බොහෝ දේ ගෙනහැර දක්වනවා. මෙම වාක්‍ය ඛණ්ඩය පැමිණෙන්නේ මුල් ග්‍රීක් වචනය වන euangelion වෙතින් වන අතර එහි වචනාර්ථය වන්නේ “සුභ පුවත” හෝ “ශුභාරංචිය” බව ඔහු පැහැදිලි කළා. මේ ජීවිතයේ සහ ඊළඟ ජීවිතයේ සතුට හා ප්‍රීතිය සැමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සමඟ සම්බන්ධ වෙනවා. මේ අනුව “සුභ ආරංචි” යන මේ වාක්‍ය ඛණ්ඩය මේ ද්විත්ව අර්ථය අපූරුවට ග්‍රහණය කරනවා.

“මනුෂ්‍යන් [සහ කාන්තාවන්] පැවතෙන්නේ, එනම් ප්‍රීතිය තිබෙන පිණිසය.” ස්වර්ගීය පියාණන්වහන්සේ තම ආශිර්වාද තුළින් ප්‍රීතිය ලබා දෙන සන්තෝශයේ සැලැස්ම සපයා තිබෙනවා. පවුල් වශයෙන් සදාකාලිකව උන්වහන්සේගේ අභිමුඛයේ ජීවත්වීම මෙයට ඇතුළත්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම දෙවියන්වහන්සේගේ අපව මුදවාගැනීමේ සැලැස්මේ කේන්ද්‍රය වෙනවා. සදාකාල ජීවනය ලැබීමට නම් අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණිය යුතුමයි. අපි එසේ කරන විට, “සහ අන් අයටත් එසේ කිරීමට උපකාර කරන විට, අපි දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් කිරීමේ කාර්යයට සහභාගී වෙනවා.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ සුභ ආරංචි පිළිබඳ මෙම පණිවිඩය මිහිපිට ඇති වැදගත්ම පණිවිඩයයි. සභාවේ යෞවනයන් සහ තරුණ වැඩිහිටියන් පැමිණෙන්නේ එතැනදීයි.

යෞවනයේ ශක්තිය සඳහා

දැන්, මෙම එළඹෙන දශකය සභාවේ සෑම සාමාජිකයෙකුටම කිසිදා අමතක නොවන දිනවලින් පිරී යා හැකි වුවද, නැගී එන පරම්පරාවේ ඔබට මෙය විශේෂයෙන්ම සත්‍යයක් වෙන්න පුළුවන්. ඔබ දැන් මෙලොව සිටින්නේ ඔබව දැන් මෙහි සිටීමට තෝරාගෙන ඇති නිසයි. පෙර නොවූ විරූ ආකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වීමට ඔබට ශක්තිය හා හැකියාව තිබෙනවා.

සභාපහි ජෝර්ජ් කිව්. කැනොන් මෙසේ ඉගැන්වුවා, “ලෝකයට, … නපුරු තැනැත්තාගේ සියලු බලයන්ට මුහුණදීමට ධෛර්යය හා අධිෂ්ඨානය ඇති, අපගේ දෙවියන්වහන්සේගේ සයොනය ස්ථාපිත කිරීමටත් සියලු ප්‍රතිවිපාක ගැන බියෙන් තොරවූ දෙවියන්වහන්සේ විසින් ආත්මයන් වෙන්කර ඇත.”

ඒ සඳහා, නැගී එන පරම්පරාව ගැන ඔබට කතා කිරීමට මම කැමතියි, මෙම කිසිදා අමතක නොවන ඉදිරි දශකය, ඔබට කෙතරම් උද්යෝගිමත් විය හැකිදැයි සිතා ගැනීමට මම ඔබට ආරාධනා කරනවා. මෙම ඉදිරි දශකය තුළ ඔබව සවිබල ගැන්විය හැකි උපදෙස් සහ දිරිගැන්වීමේ සරල වචන කිහිපයක් ද මම ඉදිරිපත් කරන්නම්.

ඔබ බොහෝ දෙනෙකුට මෙන්, මා සතුවත් ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබෙනවා, එය යම් අවස්ථාවකදී කිසිඳු විමසුමකින් තොරව, මම නිශ්චිත දිනක කරමින් සිටි දේ පෙන්වන ඡායාරූප රීලයක් එකට එකතු කරනවා. වසර කිහිපයක් ඇතුළත මට සහ මගේ පවුලේ අයට කොපමණ දේවල් වෙනස් වී ඇත්දැයි බැලීම සැමවිටම පුදුම සහගත දෙයක්.

ඔබගේ දුරකථනය මෙතැන් සිට වසර 10කින් පෙන්වන ඡායාරූප ගැන සිතන්න! ඔබ උසස් පාසලෙන් හෝ විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීම, ඔබේ බලයෙන් සැරසීම ලබා ගැනීම, ධර්මදූත සේවයකට යාම, විවාහ වීම සහ ඔබේ පළමු දරුවා බිහි කිරීම ඔබට පෙනෙයි. පුද්ගලිකව ඔබට මෙය කිසිදා අමතක නොවන දශකයක් බවට පත්වෙයි. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් ඔබේ පමණක් නොව ඔබේ පවුලේ අයගේ, මිතුරන්ගේ සහ සමාජ මාධ්‍ය අනුගාමිකයින්ගේ ජීවිත පොහොසත් කිරීමට සහ වැඩිදියුණු කිරීමට හැකි වන ආකාරය පිළිබඳ ලෝකයට ආලෝකයක් වීමට ඔබ ක්‍රියාශීලීව උත්සාහ කරන්නේ නම් එය ඊටත් වඩා දෙගුණයක් වෙයි.

මෙය කරන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරනවා ඇති.

දිව්‍යමය වශයෙන් පත් කරන ලද වගකීම් ලෙස හැඳින්වෙන සරල ක්‍රියාකාරකම් හතරක් මගින් මෙය සිදු කරනු ලබන බව දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් අපට උගන්වා තිබෙනවා: පළමුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම; දෙවනුව, අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම; තෙවනුව, ශුභාරංචිය පිළිගැනීමට සැමට ආරාධනා කිරීම; සහ හතරවනුව, සදාකාලිකත්වය සඳහා පවුල් එක්සත් කිරීම. කැපී පෙනෙන ලෙස, මේ සෑම එකක්ම වඩාත් සාමාන්‍ය සහ ස්වභාවික ක්‍රම වලින් කරන්න පුළුවන්.

දිව්‍යමය වශයෙන් නියම කර ඇති වගකීම්

දිව්‍යමය වශයෙන් පත් කරන ලද මෙම වගකීම් හතර ඔබ වැළඳ ගන්නේ නම්, මෙය ඔබට කිසිදා අමතක නොවන දශකයක් වනු ඇතැයි මම ඔබට පොරොන්දු වෙනවා. මේ සඳහා ඇතුළත් වන්නේ මොනවාද කියා අපි සලකා බලමු.

දිව්‍යමය වශයෙන් පත්කළ වගකීම් හතරක්.
තරුණ ගැහැණු ළමයෙකු යාච්ඤා කරමින්

පළමුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම. අනාගතවක්තෘවරුන්ගේ වචන අධ්‍යයනය කර ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රේම කිරීමට ඉගෙන ගන්න. ඔබේ හදවත් උන්වහන්සේ වෙතට යොමු කර උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කරන්න. වැඩිහිටි උලිසෙස් සෝරෙස් විස්තර කර ඇති “ගිවිසුම් විශ්වාසය” මගින් එසවෙන්න. මෙම විශ්වාසය පැමිණෙන්නේ ගැලවුම්කරුවාණන් ඔබව ශක්තිමත් කර සහය දෙන බව දැනගෙන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඔබ ගිවිසුම් ඇති කර ගැනීමෙනුයි.

ශුභාරංචිය අනුව ජීවත්වීමේදී ඔබට දැනෙන ප්‍රීතිය ඔබේ මිතුරන්ට දැකීමට සලස්වන්න, එවිට ඔවුන්ට ලැබෙන හොඳම ශුභාරංචි පණිවිඩය ඔබ වෙයි.

දෙවනුව, අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීමට අනුකම්පාවෙන් ළඟා වන්න. ඔබේ පරම්පරාව අඩුවෙන් වාසනාවන්ත වූ පුද්ගලයින් ගැන අසාමාන්‍ය ලෙස සැලකිලිමත් වෙනවා. විපතක් සිදු වූ විට සහ සභාවේ සාමාජිකයන් සුන්බුන් ඉවත් කිරීමට සහ පීඩාවට පත් වූවන් සනසන්නට උදව් කිරීමට ඉක්මන් වන විට, “හෙල්පින්ග් හෑන්ඩ්ස්” ටී-ෂර්ට් පැළඳ සිටින බහුතරයක් නව යොවුන් වියේ පසුවන සහ වයස විසි ගණන් වල අය බව පේනවා. “එකිනෙකාගේ බර ඉසිලීම” සහ “සැනසීම අවශ්‍ය අයව සැනසවීම” ඔබේ ස්වභාවයේම තිබෙනවා. එසේ කිරීමෙන් අපි “ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව ඉටු කරනවා.”

අවශ්‍යතා ඇති අය සඳහා ජෑම් එකතු කරන දරුවන්.

කුඩා පිරිමි ළමයෙකු වූ ඉවාන් රටකජු බටර් සහ ජෙලි සැන්ඩ්විච් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එකතු කර තම දේශීය ආහාර බැංකුවට ලබා දෙමින්, තම ගිම්හාන නිවාඩුව ගත කිරීමට තෝරා ගත්තා. ඔහු මෙම ව්‍යාපෘතිය ගැන සොයාගෙන තිබුණේ JustServe වෙබ් අඩවියෙන්. මෙම කුඩා ඉවාන් ජෙලි භාජන 700 කට වඩා එකතු කිරීමට උපකාර කිරීම සඳහා ඔහුගේ මුළු පාසල් පන්තියම බඳවා ගෙන තිබුණා! ඔබ සේවය කරන මිනිසුන්ට ඔවුන් කෙරෙහි ඔබේ සැලකිල්ල මුල් බැස ඇත්තේ දෙවියන්වහන්සේට ඇති ඔබේ ප්‍රේමය තුළ සහ ඔබේ අසල්වැසියාට ඔබට මෙන්ම සැලකීමට ඔබේ ආශාව තුළ බව ඔවුන්ට දන්වන්න.

බ්‍රසීලයේ ධර්මදූතයින්

තෙවනුව, ශුභාරංචිය පිළිගැනීමට සැමට ආරාධනා කරන්න. පූර්ණ කාලීන ධර්මදූතයක සේවය කිරීමට කැමති සියලු දෙනාටම පහසුකම් සැලසීම සඳහා මෙම වසරේ අපි ලොව පුරා නව ධර්මදූතයන් 36ක් විවෘත කළා. බොහෝ යෞවනයන් විධිමත් ආගමික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී සිටින යුගයක, මෙය කැපී පෙනෙන අතර ඔබේ සාක්ෂිවල විශිෂ්ට ස්වභාවය ගැන එය මැනවින් පෙන්නුම් කරනවා. පූර්ණ කාලීනව සේවය කළත් නැතත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගවේෂණය කිරීමට ඔබේ සම වයසේ මිතුරන්ට ඔබ ආදරය කර, ඔවුන් සමඟ බෙදාගෙන සහ ඔවුන්ට ආරාධනා කරන විට, ඔවුන්ව පෙළඹවීමට ඔබට ඇති දැවැන්ත හැකියාව අවබෝධ කර ගන්න.

ප්‍රෙස්ටන් එංගලන්ත දේවමාළිගාවේ සිටින යෞවනයින්.

හතරවනුව, සදාකාලිකත්වය සඳහා පවුල් එක්සත් කරන්න. මම ලොව පුරා දේවමාළිගාවලට යන විට, බව්තීස්මය සඳහා රැඳී සිටින යෞවන පිරිස සහ නියෝග සේවකයින් ලෙස සේවය කරන තරුණ වැඩිහිටියන්ගේ සංඛ්‍යාව වැඩි වීම ගැන පුදුම වෙනවා. මෑතකදී ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ සිට 600කට අධික පිරිසක් ප්‍රෙස්ටන් එංගලන්ත දේවමාළිගාවට ගොස් නියෝග 4,000කට අධික ප්‍රමාණයක් ඉටු කළ අතර, ඉන් බොහොමයක් ඔවුන්ගේ පෞද්ගලික මියගිය මුතුන් මිත්තන් වෙනුවෙන් ඔවුන් ඉටුකර තිබුණා! පවුල් ඉතිහාසයේ නියැලෙන්න, දේවමාළිගාවේ කාලය ගත කරන්න, සහ දේවමාළිගාවේ ඔබ හා සමානවම සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සමඟ විවාහ වීමට සූදානම් පිරිමියෙකු හෝ ස්ත්‍රියක් වීමට ප්‍රවේශමෙන් සූදානම් වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. දේවමාළිගාව ඔබේ ජීවිතයේ නිත්‍ය අංගයක් බවට පත්කර ගැනීම සඳහා දැන් ඔබේ ජීවිතයේ රටාවක් ගොඩනඟා ගන්න.

අවසානය

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මගේ ආදරණීය තරුණ මිතුරනි, ඉදිරි දිනවලදී අප සෑම කෙනෙකුටම දුෂ්කරතා ඇති වෙයි. කෙසේ වෙතත්, අප මේ එළඹෙන දශකයේ පෙර නොවූ විරූ අවස්ථාවන්ට පිවිසෙන විට, ජීවත්වීම, සැලකිල්ල දැක්වීම, ආරාධනා කිරීම සහ එකමුතු වීම යන සරල ක්‍රියාකාරකම් තුළින් අපි සතුටුදායක ආරංචි බෙදා ගනිමු. අප එසේ කරන විට, ස්වාමින්වහන්සේ අපට කිසිදා අමතක නොවන අත්දැකීම් ලබා දෙයි.

අවංක හදවතකින් හා සැබෑ චේතනාවෙන් ස්වාමින්වහන්සේ වෙත ළඟා වන අයට, ඔවුන්ගේ තොල්වල ගැලවුම්කරුවාණන්ගේ නාමය සහ ඔවුන්ගේ ප්‍රාණය තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ සිටින අයට, මෙම උතුම් හා තේජාන්විත වන්දනාව ආරම්භ කරන අයට, ඔබට මහත් සෙලෙස්ටියල් ආශිර්වාද සොයා ගැනීමට සහ අත්විඳීමට සහ දෙවියන්වහන්සේ ඔබට සවන් දෙන බවටත්, ඔබව හඳුනන බවටත්, ඔබට ප්‍රේම කරන බවටත් සාක්ෂියක් ලැබීමේ ආශිර්වාදය සොයාගැනීමටත් ඔබට හැකි බව මම සාක්ෂි දරනවා. ඔබ කිසිදා අමතක නොවන දින අත්විඳිනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. බලන්න දහම සහ ගිවිසුම් 27:8, 12-13.

  2. ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:71, සටහන.

  3. බලන්න Theo Burman, “World’s Oldest Religious Leader Turns 100,” Newsweek, Sept. 9, 2024, newsweek.com.

  4. Ruth Graham, “The Leader of the Mormon Church Turns 100,” New York Times, Sept. 9, 2024, nytimes.com. ඩියුක් විශ්ව විද්‍යාලයේ ඩිවිනිටි පාසලේ නායකයෙකුව උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් ලිපියක් මෙසේ පවසා ඇත “වයස, ප්‍රඥාව සහ අධ්‍යාත්මික අධිකාරිය එකට ගමන් කරයි” (Angie Hong, in Hannah Schoenbaum and Deepa Bharath, “The Mormon Church’s Oldest-Ever President Has Turned 100,” Sept. 9, 2024, apnews.com).ned 100,” apnews.com, Sept. 2024, 2024).

  5. යෙසායා 2:2.

  6. යොහාන් 1:46.

  7. බලන්න James Strong, The New Strong’s Exhaustive Concordance of the Bible (1984), Greek dictionary section, entry 2098.

  8. 2 නෙපී 2:25.

  9. බලන්න ප්‍රධාන අත්පොත:යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 1.2, ශුභාරංචි පුස්තකාලය.

  10. Gospel Truth: Discourses and Writings of President George Q. Cannon, sel. Jerreld L. Newquist (1957), 1:21.

  11. බලන්න ප්‍රධාන අත්පොත, 1.2, ශුභාරංචි පුස්තකාලය.

  12. බලන්න උලිසෙස් සෝරෙස්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගිවිසුම් විශ්වාසය,” ලියහෝනා, මැයි 2024, 17–21.

  13. මොසායා 18:8, 9.

  14. ගලාති 6:2.

  15. බලන්න Jessica Lawrence, “Finding Joy in Donating Jelly,” Church News, June 18, 2023, thechurchnews.com.

  16. බලන්න මතෙව් 22:37-40.

  17. බලන්න Melina Myers, “Scottish and Irish Youth Perform over 4,000 Ordinances in the Preston England Temple,” Church News, June 13, 2024, thechurchnews.com.