2020–2024
යෙහෝවාවහන්සේ සමඟ සංවාදයෙහි යෙදුන මිනිසා
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:8

යෙහෝවාවහන්සේ සමඟ සංවාදයෙහි යෙදුන මිනිසා

ජෝසෆ් ස්මිත් “අවසාන කාල පරිච්ඡේදය විවෘත කිරීමට ආශීර්වාද ලත්” අතර ඔහු එය කළ නිසා අපි ආශිර්වාදිත වෙනවා.

අද සහ සෑම විටම මගේ අරමුණ වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්, ලෝකයේ මැවුම්කරුවාණන් සහ ගැලවුම්කරුවාණන්, අපගේ මුදවාගන්නා සහ මිදුම්කරුවාණන් බවට සාක්ෂි දීමයි. මක්නිසාද යත්, “අපේ ආගමේ මූලික මූලධර්ම වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව ප්‍රේරිතවරුන්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂියයි,” එක් ප්‍රධාන ප්‍රේරිතවරයෙක් සහ අනාගතවක්තෘවරයෙකුගේ ජීවිතය සහ ඉගැන්වීම් මගින් ශක්තිමත් වී ගැඹුරු වී ඇති ගැලවුම්කරුවාණන් පිළිබඳ මගේ දැනුම සහ සාක්ෂිය අද මම ඔබ සමඟ බෙදා ගන්නවා.

ප්‍රඥාවේ ආරම්භය

1820 වසන්තයේ මුල් භාගයේ සුන්දර පැහැදිලි දිනයක උදෑසන, 14 හැවිරිදි ජෝසෆ් ස්මිත් ඔහුගේ පව් ගැන යාච්ඤා කිරීමට සහ කුමන සභාවට සම්බන්ධ විය යුතුදැයි විමසීමට ඔහුගේ පවුලට අයත් නිවස අසල වනයකට ගියා. නොසැලෙන ඇදහිල්ලෙන් ඉදිරිපත් කරන ලද ඔහුගේ අවංක යාච්ඤාව, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන් ඇතුළු විශ්වයේ බලවත්ම බලවේගයන්ගේ අවධානයට ලක් වුණා. එමෙන්ම යක්ෂයාගේත් අවධානයට ලක් වුණා. මේ සෑම කෙනෙකුම එම යාච්ඤාව සහ එම පිරිමි ළමයා කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවා.

අපි දැන් පළමු දර්ශනය ලෙස හඳුන්වන මෙය, මෙම අවසාන කාල පරිච්ඡේදයේ සියලු දේ නැවත පිහිටුවීමේ ආරම්භය සනිටුහන් කළා. නමුත් ජෝසෆ්ට, එම අත්දැකීම පුද්ගලික මෙන්ම සූදානම් වීමක්ද වුණා. ඔහුට අවශ්‍ය වූයේ සමාව දීම සහ මගපෙන්වීම පමණයි. ස්වාමින්වහන්සේ ඔහුට ඒ දෙකම ලබා දුන්නා. “[කිසිම සභාවකට] සම්බන්ධ නොවිය යුතුයි]” යන උපදෙස මඟපෙන්වීමක් වුණා. “නුඹේ පව් නුඹට කමාකරනලදැයි” යන වචන සැනසීමක් වුණා.

මක්නිසාද යත්, එම පළමු දර්ශනයෙන් අපට ඉගෙන ගත හැකි සියලුම සුන්දර සත්‍යයන්, සමහර විට ජෝසෆ්ගේ ප්‍රධාන තේරුම්ගැනීම වුණේ මෙයයි, “යාකොබ්ගේ සාක්ෂිය සත්‍ය බව මට පෙනී ගියේය—එනම් ප්‍රඥාව අඩු මිනිසෙකුට දෙවියන්වහන්සේගෙන් ඉල්ලීමට හැකි අතර, එය ලබා ගත හැකිය.”

එක් විද්වතෙක් මෙසේ සඳහන් කළා: “අද පළමු දර්ශනයේ සැබෑ අනුනාදය නම් ප්‍රඥාව අඩු අයට දීම දෙවියන්වහන්සේගේ ස්වභාවය බව දැන ගැනීමයි. … පූජනීය වනාන්තරයේදි ජෝසෆ් ස්මිත්ට තමන්ව හෙළි කල දෙවියන්වහන්සේ නව යෞවනයින්ගේ ගැටලුවලට පිළිතුරු දෙන දෙවියන්වහන්සේ කෙනෙක්.”

ජෝසෆ්ගේ වනාන්තරයේ අත්දැකීම් ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා සමාව සහ මගපෙන්වීම ඉල්ලා සිටීමට ඔහුට විශ්වාසයක් ලබා දුන්නා. ඔහුගේ අත්දැකීම් මගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා සමාව සහ මගපෙන්වීම ඉල්ලා සිටීමටද මට විශ්වාසයක් ලබා දී තියෙනවා.

නිරන්තර පසුතැවීම

1823 සැප්තැම්බර් 21 වෙනිදා, ජෝසෆ් සමාව ඉල්ලා ඉතා ඕනෑකමින් යාච්ඤා කළා, වසර තුනකට පෙර එම වනයේදී ලැබුණු ඔහුගේ අත්දැකීම් නිසා, ස්වර්ගය නැවතත් ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔහු විශ්වාස කළා. ඒ වගේම එසේ සිදුවුණා. ස්වාමින්වහන්සේ ජෝසෆ්ට උපදෙස් දීමට දේවදූතයෙකු වූ මොරෝනිව එව්වේ දෙවියන්වහන්සේගේ දීමනාවෙන් සහ බලයෙන් ඔහු පසුව පරිවර්තනය කරන පුරාණ වාර්තාවක් වන—මොර්මොන්ගේ පොත ගැන ඔහුට දැනුම් දීමටයි.

ඉන් වසර 13කට පමණ පසු, ජෝසෆ් සහ ඔලිවර් කවුඩ්‍රි අලුතින් කැප කරන ලද කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ ගාම්භීර, නිහඬ යාච්ඤාවක දණ ගසා සිටියා. ඔවුන් යාච්ඤා කළේ කුමක් සඳහාදැයි අපි දන්නේ නෑ, නමුත් ඔවුන්ගේ යාච්ඤාවලට සමාව සඳහා අයැදීමක් ඇතුළත් වෙන්න පුළුවන්, මොකද, ඔවුන් නැඟිටින විට, ගැලවුම්කරුවාණන් පෙනී සිට “බලන්න, නුඹලාගේ පාපයන්ට නුඹලාට සමාව ලබාදී ඇත්තේය; නුඹලා මා ඉදිරියේ පිරිසිඳුය” කියා උන්වහන්සේ ඔවුන්ට පැවසුවා.

මෙම අත්දැකීමෙන් මාස සහ වසර කිහිපයකදී, ජෝසෆ් සහ ඔලිවර් නැවතත් පව් කරනවා. නැවතත්. නමුත් ඒ මොහොතේ, ඒ මොහොත සඳහා , ඔවුන්ගේ ආයාචනයට ප්‍රතිචාර දක්වමින් සහ සිදුවීමට නියමිත පූජකවරයේ යතුරු බලවත් ලෙස නැවත පිහිටුවීමට සූදානමක් ලෙස, යේසුස්වහන්සේ ඔවුන්ව පව් රහිත කළා.

ජෝසෆ්ගේ නිරන්තර පසුතැවිලි වීමේ ජීවිතය මට “[මා] දයාව ලැබෙන පිණිස නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවීමට” විශ්වාසය ලබා දෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඇත්තෙන්ම “සමාව දෙන ස්වභාවයක්” ඇති බව මම ඉගෙනගෙන තිබෙනවා. උන්වහන්සේගේ මෙහෙවර හෝ උන්වහන්සේගේ ස්වභාවය හෙළා දැකීම නෙමේ. උන්වහන්සේ පැමිණියේ බේරා ගන්නයි.

ස්වාමින්වහන්සේගෙන් විමසීම

පොරොන්දු වූ “සියලු දේ නැවත පිහිටුවීමේ,” කොටසක් ලෙස, ස්වාමින්වහන්සේ, ජෝසෆ් ස්මිත් හරහා, මොර්මොන්ගේ පොත සහ උන්වහන්සේගේ පූර්ණ ශුභාරංචියේ අඩංගු අනෙකුත් එළිදරව් කිරීම් ගෙන ආවා. ජෝසෆ් නැවත නැවතත් මගපෙන්වීම සඳහා ස්වාමින්වහන්සේගෙන් විමසූ විට වැදගත් සත්‍යයන්ට පැහැදිලි බවක් සහ සම්පූර්ණත්වයක් ලබා දෙනු ලැබුවා. පහත සඳහන් කරුණු සලකා බලන්න:

  1. පියාණන්වහන්සේට සහ පුත්‍රයාණන්ට මනුෂ්‍යයන්ගේ මෙන් ස්පර්ශ කළ හැකි ශරීරයක් තියෙනවා.

  2. යේසුස්වහන්සේ අපගේ පව් පමණක් නොව අපගේ ලෙඩ රෝග, පීඩා සහ දුබලතා ද තමන්වහන්සේ මතට ගත්තා .

  3. උන්වහන්සේගේ වන්දිගෙවීම කොතරම් වේදනාකාරීද යත් එය උන්වහන්සේගෙ සෑම රෝම කූපයකින්ම ලේ ගැලීමට හේතු වුණා.

  4. “අපට කළ හැකි සියල්ලෙන් පසු” අප ගැලවී සිටින්නෙ උන්වහන්සේගේ අනුග්‍රහය නිසා.

  5. ක්‍රිස්තුස්වහන්සේගේ දයාව සඳහා කොන්දේසි තියෙනවා.

  6. අපි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන විට, උන්වහන්සේ අපගේ පව්වලට සමාව දෙනවා පමණක් නෙමේ, අපගේ ස්වභාවය ද වෙනස් කරනවා, එවිට “දුෂ්ඨ දේ කිරීමට ආශාවක් තවත් නැහැ.”

  7. ක්‍රිස්තුස්වහන්සේ සැමවිටම තම සෙනඟට අණ කරන්නේ දේවමාළිගා ගොඩනඟන ලෙසයි, එහිදී උන්වහන්සේ ඔවුන්ට ප්‍රකාශ වී ඉහළින් බලය සමඟ බලයෙන් සරසනවා.

මේ සියල්ල සත්‍ය සහ අවශ්‍ය බව මම සාක්ෂි දරනවා. ඔවුන් නියෝජනය කරන්නේ ජෝසෆ්ගේ මඟ පෙන්වීම සඳහා පුනරාවර්තන ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ජෝසෆ් ස්මිත් හරහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් නැවත පිහිටුවන ලද සම්පූර්ණත්වයේ කොටසක් විතරයි.

මෙම රාජ්‍යය අඛණ්ඩව යාම

1842 දී ජෝසෆ් මේ අවසාන කාල පරිච්ඡේදයේදී සිදු වන පුදුමාකාර දේවල් ගැන ලිව්වා. ඔහු ප්‍රකාශ කළේ අපගේ දවසේදී, “ස්වර්ගයේ පූජකවරය එම උතුම් අරමුණු ඉටු කිරීම සඳහා පොළොව සමඟ එක්සත් වන බවයි; දෙවියන්වහන්සේගේ රාජ්‍යය අඛණ්ඩව ඉදිරියට යාම සඳහා අපි එක් පොදු අරමුණක් තුළ එක්සත් වී සිටින අතර, අපි ස්වර්ගීය පූජකවරය අලස නරඹන්නන් නෙමේ.”

ඔහුගේ මිතුරෙකු වන බෙන්ජමින් ජොන්සන්ට ජෝසෆ් මෙසේ පැවසුවා, “බෙන්ජමින්, [මා මිය ගියහොත්] මම ඔබෙන් දුරස් නොවෙමි, මම සිටින්නේ තිරයෙහි අනෙක් පැත්තේ නම්, මෙම රාජ්‍යය අඛණ්ඩව ඉදිරියට යාමට, අතිශයින් විශාල බලයක් ඇතුව මම තවමත් ඔබ සමඟ වැඩ කරමින් සිටිමි.”

1844 ජූනි 27, ජෝසෆ් ස්මිත්ව සහ ඔහුගේ සොහොයුරා හයිරම්ව ඝාතනය කරන ලැබුවා. ජෝසෆ්ගේ දේහය විවේකය සඳහා තැන්පත් කළ නමුත් ඔහුගේ සාක්ෂිය ලොව පුරා සහ මගේ ආත්මය තුළ දෝංකාර දෙනවා:

“මා දර්ශනයක් දුටුවෙමි; මම එය දැනසිටියෙමි, දෙවියන්වහන්සේ එය දන්නා බව මම දැනසිටියෙමි, මට එය ප්‍රතික්ෂේප කළ නොහැකි විය.”

“මම සර්ව සම්පූර්ණ බව මම ඔබට කිසිදිනෙක පැවසුවේ නැත, නමුත් මම ඉගැන්වූ එළිදරව් කිරීම් වල කිසිම වරදක් නැත.”

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන, එනම් උන්වහන්සේ මිය ගිය බව, තැන්පත් කළ බව, තුන්වන දවසේ නැවත නැගිටි බව, සහ ස්වර්ගයට ඉහළට ගිය බවට වූ ප්‍රේරිතවරුන්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂි අපේ ආගමේ මූලික ප්‍රතිපත්ති වෙනවා; අපගේ ආගමට අදාළ අනෙකුත් සියලුම දේවල් ඒවාට අනුබද්ධ දේවල් පමණයි.”

යොහාන් බෞතීස්ත ගැන පැවසූ දේ ජෝසෆ් ස්මිත් ගැනත් කියන්න පුළුවන්: “දෙවියන්වහන්සේගෙන් එවූ මිනිසෙක් සිටියේය, ඔහුගේ නම [ජෝසෆ්]. … ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂිදෙන පිණිස ආ තැනැත්තේය … ඔහු කරණකොටගෙන සියල්ලන් විසින් අදහන පිණිස.”

මම විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා සහ මම දන්නවා යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කියලා. ජීවමාන දෙවියන්වහන්සේ අපගේ ආදරණීය පියාණන් බව මම සාක්ෂි දරනවා. ජෝසෆ් ස්මිත් ඇතුළුව සහ ඔහුගෙන් පටන්ගෙන ස්වාමින්වහන්සේගේ සේවකයන්ගේ, ප්‍රේරිතවරුන්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ හඬත්, ස්වාමින්වහන්සේගේ හඬත් මට ඒ ගැන කියූ නිසා මම මේ ගැන දන්නවා.

ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවෙකු සහ සේවකයෙකු බව මම සාක්ෂි දරනවා. ඔහු “අවසාන කාල පරිච්ඡේදය විවෘත කිරීමට ආශීර්වාද ලත්” අතර ඔහු එය කළ නිසා අපිත් ආශිර්වාදිත වෙනවා.

ස්වාමින්වහන්සේ ඔලිවර්ට සහ අප සැමට අණ කළේ, “විශ්වාසවන්තව මාගේ සේවක ජෝසෆ් ළඟ සිටින්න” කියලයි. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවක ජෝසෆ් සහ ඔහු තුළින් ඇති වූ නැවත පිහිටුවීම සමඟ සිටින බවට මම සාක්ෂි දරනවා.

ජෝසෆ් ස්මිත් දැන් ඔහු කතා කළ එම ස්වර්ගීය පූජකවරයේම කොටසක්. ඔහු තම මිතුරාට පොරොන්දු වූ පරිදි, ඔහු අපෙන් දුරස් නොවන අතර, තිරයේ අනෙක් පැත්තේ, අතිශයින් විශාල බලයක් සමඟින්, මෙම රාජ්‍යය අඛණ්ඩව ඉදිරියට යාමට, ඔහු තවමත් අප සමඟ වැඩ කරනවා. ප්‍රීතියෙන් හා ස්තුති දීමෙන් මම “යෙහෝවාවහන්සේ සමඟ සංවාදයෙහි යෙදුන මිනිසාට ප්‍රශංසා කරමින්” මගේ හඬ අවදි කරනවා. ඒ සියල්ලටම වඩා, එම මිනිසා සමඟ සංවාදයෙහි යෙදුන යෙහෝවාවහන්සේට ප්‍රශංසා කරන්න! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.