2020–2024
“බලන්න නුඹලා ඔසවනු ලැබිය යුතු එම ආලෝකය මමය”
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


13:29

“බලන්න නුඹලා ඔසවනු ලැබිය යුතු එම ආලෝකය මමය”

අපි අපගේ ගිවිසුම් තදින් අල්ලාගෙන සිටින විට සහ අපගේ ජීවමාන අනාගතවක්තෘවරයාට අපි සහාය දෙන විට, අපි ස්වාමින්වහන්සේගේ ආලෝකය ඔසවාගෙන සිටිනවා.

මෙම සම්මන්ත්‍රණයේ බොහෝ සාක්ෂි වලට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවටත්, අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් බවටත්, අපගේ පියාණන්වහන්සේගේ සියලු දරුවන්ගේ මිදුම්කරුවාණන් බවටත් වූ මගේ අපෝස්තලික සාක්ෂිය මම එකතු කරනවා. ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේගේ අභිමුඛයට නැවත ගොස් අපගේ පවුල් සමඟ සදාකාලිකව සිටීමට, අප සුදුසු නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ඒ සඳහා අපට හැකියාව ලබාදෙනවා.

අපගේ ලෞකික චාරිකා වලින් ගැලවුම්කරුවාණන් ඉවත් වී නෑ. පහුගිය දවස් දෙකේ අපිට උන්වහන්සේට ළං විය හැකි ලෙස උන්වහන්සේ තෝරාගත් නායකයින් හරහා උන්වහන්සේ කතා කරන ආකාරය අපි ඇසුවා. නැවත නැවතත්, උන්වහන්සේගේ නිර්මල ප්‍රේමයෙන් සහ දයාවෙන්, අප ජීවිතයේ නාට්‍යයට මුහුණ දෙන විට උන්වහන්සේ අපව ඔසවාගෙන සිටිනවා. නෙපී මෙසේ විස්තර කළා: “මගේ දෙවියන්වහන්සේ මගේ ආධාරකයාණෝය; උන්වහන්සේ මට මගේ පීඩාවන් මධ්‍යයේ මගපෙන්වා ඇත. … උන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමයෙන් මා පුරවා ඇති සේක.”

උන්වහන්සේගේ කාර්යයේදී අපි එකිනෙකාව ස්ථීර කරන විට එම ප්‍රේමය පැහැදිලි වෙනවා.

අපි අපගේ ජීවමාන අනාගතවක්තෘවරයාව සහ පළමු සභාපතිත්වය, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය, ප්‍රධාන අධිකාරීවරුන් සහ සභාවේ නිලධාරීන්ව මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ස්ථීර කරනවා. ස්ථීර කිරීම කියන්නෙ තවත් පුද්ගලයෙකුව ඔසවා සිටීම, අපගේ අවධානය ඔවුන්ට ලබා දීම, ඔවුන්ගේ විශ්වාසයට ඇදහිලිවන්තව සිටීම, සහ ඔවුන්ගේ වචන අනුව ක්‍රියා කිරීමයි. ඔවුන් ස්වාමින්වහන්සේගේ ආනුභාවයෙන් කතා කරනවා; ඔවුන් වර්තමාන ප්‍රශ්න, සමාජයේ සදාචාරාත්මක පරිහානිය සහ පියාණන්වහන්සේගේ සැලැස්ම ව්‍යර්ථ කිරීමට විරුද්ධවාදියා වැඩි වැඩියෙන් දරන උත්සාහයන් තේරුම් ගන්නවා. අපගේ දෑත් ඔසවාගෙන සිටීමේදී, අපි ඒ මොහොත සඳහා පමණක් නොව අපගේ එදිනෙදා ජීවිතයේදී පවා අපගේ සහයෝගය ලබා දෙනවා.

මෙම ස්ථීර කිරීමට, අපගේ ස්ටේක සභාපතිවරුන්ව, සහ සභානායකවරුන්ව, ගණපූරණ සහ සංවිධාන නායකයින්ව, ගුරුවරුන්ව, සහ අපගේ කොට්ඨාශ සහ ස්ටේක වල කඳවුරු අධ්‍යක්ෂකවරුන්ව පවා ඔසවා සිටීම ඇතුළත් වෙනවා. නිවසට සමීපව, අපි අපගේ භාර්යාවන් සහ අපගේ ස්වාමිපුරුෂයන්ව, දරුවන්ව, දෙමාපියන්ව, ඥාති පවුල් සාමාජිකයින්ව සහ අසල්වැසියන්ව ඔසවාගෙන සිටිනවා. අපි එකිනෙකාව ඔසවාගෙන සිටින විට මෙහෙම කියනවා, “ඔබේ දෑත් ‘පහතට වැටෙන’ විට ඒවා ඔසවා ගැනීමට පමණක් නොවේ, නමුත් ඔබේ පැත්තේ සිට සැනසිල්ලක් සහ ශක්තියක් වීමටත්, මම ඔබ වෙනුවෙන් මෙහි සිටිනවා.”

ඔසවාගෙන සිටීමේ මෙම සංකල්පය ශුද්ධලියවිල්ලේ මුල් බැසගෙන තිබෙනවා. “එනම් ඒවා සැහැල්ලු වන පිණිස එකිනෙකාගේ බර ඉසිලීමට කැමැත්තද; … එසේය තවද සැනසිල්ල අවශ්‍යවන්නන් උදෙසා නැගීසිට සැනසීමටද, තවද සියලු කාලයන්හිද, සියලු දේවල් තුලෙහිද, තවද නුඹ සිටින්නාවූ සියලු ස්ථානයන්හි දෙවියන්වහන්සේට සාක්ෂිකරුවෙක්ව නැගීසිටීමට” මොර්මොන්ගේ ජලයේදී, අලුතින් බව්තීස්ම වූ සභා සාමාජිකයන් කැපවී සිටියා.

නෙපීවරුන්ට යේසුස්වහන්සේ මෙසේ පැවසුවා: “නුඹලාගේ ආලෝකය බබළවන පිණිස එය ලෝකය වෙතට ඔසවන්න. බලන්න නුඹලා ඔසවනු ලැබිය යුතු එම ආලෝකය මමය.” අපි අපගේ ගිවිසුම් තදින් අල්ලාගෙන සිටින විට සහ අපගේ ජීවමාන අනාගතවක්තෘවරයා දෙවියන්වහන්සේගේ වචන කථා කරන අතරේ අපි ඔහුට සහාය දෙන විට, අපි ස්වාමින්වහන්සේගේ ආලෝකය ඔසවාගෙන සිටිනවා.

සභාපති රසල් එම්. නෙල්සන්, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සේවය කරන විට මෙසේ පැවසුවා, “අපගේ අනාගතවක්තෘවරුන්ව ස්ථීර කිරීම පුද්ගලික කැපවීමක් වන අතර, ඔවුන්ගේ අනාවැකිමය ප්‍රමුඛතා ආරක්ෂා කිරීමට අපි අපගේ උපරිමය කරනවා.”

අනාගතවක්තෘවරයාව ඔසවාගෙන සිටීම ශුද්ධ වූ කාර්යයක්. අපි නිශ්ශබ්දව වාඩි වී ඉන්නේ නැතිව ක්‍රියාශීලීව ඔහුව ආරක්ෂා කරනවා, ඔහුගේ උපදෙස් පිළිපදිනවා, ඔහුගේ වචන උගන්වනවා, ඒවගේම ඔහු වෙනුවෙන් යාච්ඤා කරනවා.

මොර්මොන්ගේ පොතේ බෙන්ජමින් රජු ජනතාවට මෙසේ පැවසුවා, “එහෙත් මම නුඹලා මෙන්ම ශරීරයෙහිද, මනසෙහිද, සියලු ආකාර දුර්වලකම්වලට යටත් වූවෙක්මි, එහෙත් … මාව තෝරාගනු ලැබ, … ස්වාමින්වහන්සේගේ හස්තයෙන් අවසර ලැබුවෙමි … තවද උන්වහන්සේගේ සමකළ නොහැකි බලයෙන් ආරක්ෂා කරමින් සහ රැකගනිමින්; සියලු බලයෙන්, මනසින් සහ ශක්තියෙන් නුඹලාට සේවය කිරීමට ස්වාමින්වහන්සේ මට අවස්ථාව දුන් සේක. ”

මෝසෙස්ගේ දෑත් අල්ලාගෙන.

එලෙසම, වයස අවුරුදු 100 දී, සභාපති නෙල්සන්ව ස්වාමින්වහන්සේ විසින් තබාගෙන ආරක්ෂා කරගෙන තිබෙනවා. සභාපති හැරල්ඩ් බී. ලී, එවකට පළමු සභාපතිත්වයේ සාමාජිකයෙක් වී සිටි කාලයේ, මෝසෙස් රෙපිඩිම් හි කඳු මුදුනේ සිටගෙන සිටීමේ උදාහරණය ගෙනහැර දැක්වුවා. ඔහු මෙසේ පැවසුවා, “[සභාවේ සභාපතිවරයාගේ] දෑත් වෙහෙසට පත්වෙන්න පුළුවන්.” “ඔහුගේ භාරදූර වගකීම් නිසා ඒවා සමහර විට මැලවී යාමට ඉඩ තිබෙනවා; නමුත් අපි ඔහුගේ දෑත් අල්ලාගෙන, ඔහුගේ මගපෙන්වීම යටතේ ඔහුගේ පැත්තේ සිටගෙන නායකත්වය ලබා දෙද්දි, ඔබටත් ඉශ්‍රායෙල්වරුන්ටත් විරුද්ධව අපායේ දොරටු වලට ජයගන්නට බැහැ.” ඔබගේ සහ අපගේ ආරක්ෂාව රඳා පවතින්නේ ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සභාවේ මුලසුන දැරීමට තබා ඇති අයව අපි අනුගමනය කරනවාද නැද්ද යන්න මතයි. මෙම සභාවේ මුලසුන දැරීමට අවශ්‍ය කවුරුන්දැයි උන්වහන්සේ දන්නා අතර උන්වහන්සේ කිසිඳු අතපසුවීමක් කරන්නේ නෑ.”

සභාපති නෙල්සන් වසර ගණනාවක් ස්වාමින්වහන්සේට සේවය කරනවා. ඔහුගේ පරිණතභාවය, පුළුල් පරාසයක අත්දැකීම්, ප්‍රඥාව සහ එළිදරව් කිරීම් අඛණ්ඩව ලැබීම අපගේ දවස සඳහා විශේෂයෙන් ගැලපෙනවා. ඔහු මෙසේ කියා තිබෙනවා: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ‘ස්වාමින්වහන්සේ පිළිබඳ දැනුමෙන් පොළොව පිරී යන’ දවස සඳහා ලෝකය සූදානම් කරමින් සිටිනවා’ (යෙසායා 11:9). … වසර 200 පෙර කරන ලද දිව්‍යමය ප්‍රකාශයකින් මෙම කාර්යය බල ගැන්වෙනවා. එහි සමන්විත වන්නේ වචන හතක් පමණයි: ‘මේ මාගේ ආදරණීය පුත්‍රයාණන් ය. උන්වහන්සේට සවන්දෙන්න!’ (බලන්න ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:17).”

සභාපති නෙල්සන් මෙහෙමත් කිව්වා: “අපේ ගැලවුම්කරුවාණන් පිළිබඳ දැනුම සෑම පුද්ගල ප්‍රාණයකටම පුද්ගලිකව අත්‍යවශ්‍ය හා අදාළ වන මෙවැනි කාලයක් ලෝක ඉතිහාසයේ තිබුණේ නෑ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට හා උන්වහන්සේගේ ඉගැන්වීම් වලට කීකරු වීමට යොමුවීමට අපි සියලුදෙනාම තෝරාගත්තොත්—ලොව පුරා සිදුවන විනාශකාරී ගැටුම් සහ—අපගේ පෞද්ගලික ජීවිතයේ ගැටුම් කෙතරම් ඉක්මණින් විසඳෙනු ඇත්දැයි සිතා බලන්න.”

සහෝදර සහෝදරියනි, අපි වැඩි වැඩියෙන් ඔසවමින් මැසිවිලි නැගීම අඩුවෙන් කළ යුතුයි, ස්වාමින්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ මාර්ග සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයාගේ වදන් තව තවත් අල්ලාගෙන සිටිය යුතුයි: “අද අපට තිබෙන ලොකුම අභියෝගයක් වන්නේ දෙවියන්වහන්සේගේ සත්‍යයන් සහ සාතන්ගේ ව්‍යාජ දේවල් අතර වෙනස හඳුනාගැනීමයි. ‘[අපි] සාතන්ව ජයග්‍රහණය කරන පිණිසද, එනම් සාතන්ගේ ක්‍රියාවන් උසුලන [විරුද්ධවාදියාගේ] සේවකයන්ගේ අත් වලින් ගැලවීමටද, සැමවිටම යාච්ඤා කරන’ ලෙස ස්වාමින්වහන්සේ අපට අනතුරු ඇඟවූයේ ඒ නිසයි” [දහම සහ ගිවිසුම් 10:5; අවධාරණය කිරීම් එකතු කරන ලදි].”

යූටා හි මැන්ටි දේවමාළිගාව නැවත කැපකිරීම.

පසුගිය අප්‍රියෙල් මාසයේදී, රස්බැන්ඩ් සහෝදරියට සහ මට අපේ ආදරණීය අනාගතවක්තෘවරයා සහ නෙල්සන් සහෝදරිය සමඟ යූටා හි මැන්ටි දේවමාළිගාව නැවත කැපකිරීම සඳහා එක්වීමේ ගෞරවය හිමි වුණා.

සභාපති නෙල්සන් කාමරයට ඇතුළු වූ විට ඔහු සියල්ලන්වම පුදුමයට පත් කළා. ඔහු එන බව දැන සිටියේ අපෙන් ඉතා සුළු පිරිසක් පමණයි. ඔහු ඉදිරිපිටදී, ඔහු රැගෙන යන ආලෝකය සහ අනාවැකිමය ආවරණය මට වහාම දැනුණා. අනාගතවක්තෘවරයාව පෞද්ගලිකව දකින මිනිසුන්ගේ මුහුණුවල ඇති ප්‍රීතිය මා සමඟ සදහටම පවතියි.

කැපකිරීමේ යාච්ඤාවේදී, දේවමාළිගාවට ඇතුළු වූ සියල්ලන්වම මේ ශුද්ධ වූ ගෘහය විසින් අත්‍යවශ්‍යයෙන්ම ඔසවා ගන්නා ලෙසත්, “ඔවුන්ට පූජනීය ආශිර්වාද ලබා ගැනීමටත්, ඔවුන්ගේ ගිවිසුම් වලට සුදුසුව හා ඇදහිලිවන්තව සිටීමටත් මෙය සාමයේ ගෘහයක්, සැනසීමේ ගෘහයක් සහ මෙම දොරටු වලින් සුදුස්සන් ලෙස ඇතුළු වන සියල්ලන් සඳහා පුද්ගලික එළිදරව් ලැබීමේ ගෘහයක් වන පිණිසත්,” සභාපති නෙල්සන් ස්වාමින්වහන්සේට ආයාචනා කළා.

ලෝකය වට කර ඇති බිය, අන්ධකාරය සහ මතභේදයට එරෙහිව සටන් කිරීම සඳහා අප සියල්ලන්වම සාමය, සැනසීම සහ සියල්ලටම වඩා පුද්ගලික එළිදරව් සමඟ ස්වාමින්වහන්සේ විසින් ඔසවා තැබීම අවශ්‍ය වෙනවා.

රැස්වීම ආරම්භ කිරීමට පෙර අපි, සභාපති නෙල්සන් සහ එම සහෝදරිය සමඟ හිරු එළියේ සුන්දර පරිසරය නැරඹීමට ගියා. මෙම ප්‍රදේශයට සභාපති නෙල්සන්ගේ මුතුන් මිත්තන්ගේ බැඳීම් ගැඹුරින් දිව යනවා. ඔහුගේ ආච්චිලා සීයලා අට දෙනෙක් මෙම දේවමාළිගාව අවට නිම්නවල පදිංචි වී හිඳ තිබුණා, මගේ සමහර අයත් එහෙමයි. මගේ සීයා ඇන්ඩෘ ඇන්ඩර්සන්, පාෂාණ කඳුකරයේ තුන්වෙනි දේවමාළිගාව වුණු, මැන්ටි දේවමාළිගාව නිම කිරීමට වසර 11ක් වෙහෙස මහන්සි වූ මුල් පුරෝගාමීන්ගේ ඉදිකිරීම් කාර්ය මණ්ඩලයේ සේවය කළා.

අපි සභාපති නෙල්සන් සමඟ සිටි විට, ස්වාමින්වහන්සේගේ මෙම ශුද්ධ වූ ගෘහය නැවත කැපකිරීම සැමරීමේදී දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාව ඔසවාගෙන සිටීමට සහ ඔහුට සහාය දැක්වීමට අපට අවස්ථාව ලැබුණා. ඒක මට කවදාවත් අමතක නොවන දවසක්.

“අපි දේවමාළිගා ගොඩනගන්නේ ස්වාමින්වහන්සේට ගෞරව කිරීම සඳහා” බව සභාපති නෙල්සන් එම පූජනීය දිනයේදී පැවසුවා. “ඒවා ගොඩනගා ඇත්තේ නමස්කාරය සඳහා මිස ප්‍රදර්ශනය සඳහා නොවේ. අපි මෙම පූජනීය බිත්ති තුළ සදාකාලික වැදගත්කමකින් යුත් පූජනීය ගිවිසුම් ඇති කරගන්නවා.” අපි ඉශ්‍රායෙලය එක් රැස් කරනවා.

සභාපති නෙල්සන් සහ ඔහුට පෙර සිටි අනාගතවක්තෘවරුන් ශුද්ධ වූ දේවමාළිගා ඉතා උවමනාවෙන් රැක බලාගෙන තිබෙනවා. අද, ලොව පුරා, ක්‍රියාත්මක වන, ප්‍රකාශ කර ඇති හෝ ඉදිවෙමින් පවතින ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ ගෘහයන් 350 ක් අප සතුව තිබෙනවා. අනාගතවක්තෘවරයා ලෙස, 2018 සිට සභාපති නෙල්සන් දේවමාළිගා 168 ක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔහු මෙසේ කිව්වා “අපගේ කාලය තුළ, සියලුම කාල පරිච්ඡේද වල, යතුරු සහ බලතලවල පූර්ණ, සම්පූර්ණ හා පරිපූර්ණ එකමුතුවක් එකට බද්ධ කිරීමට නියමිතයි (බලන්න දහම සහ ගිවිසුම් 128:18). මෙම පූජනීය අරමුණු සඳහා, ශුද්ධ වූ දේවමාළිගා දැන් පොළොව පුරාම තිබෙනවා. මෙම දේවමාළිගා ඉදිකිරීමෙන් ඔබේ ජීවිතය වෙනස් නොවන නමුත්, දේවමාළිගාවේ ඔබ කරන සේවය නිසා අනිවාර්යයෙන්ම ඔබේ ජීවිත වෙනස් වනු ඇති බව මම නැවතත් අවධාරණය කරනවා.”

“ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ දහම මෙම දේවමාළිගාවේ හදවත” බව සභාපතිවරයා පවසනවා. “දේවමාළිගාවේ උගන්වන සෑම දෙයක්ම, උපදෙස් සහ ආත්මයාණන් තුළින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ අවබෝධය වැඩි කරනවා. උන්වහන්සේගේ අත්‍යවශ්‍ය නියෝගයන් පූජනීය පූජකවර ගිවිසුම් තුළින් අපව උන්වහන්සේට බැඳ තබනවා. ඉන්පසුව, අපි අපේ ගිවිසුම් තබන විට, උන්වහන්සේගේ සුවකිරීම මගින්, ශක්තිමත් කිරීමේ බලය මගින් උන්වහන්සේ අපව බලයෙන් සරසවනවා.”

“දේවමාළිගාවේ නමස්කාර කරන සියල්ලන්ටම දෙවියන්වහන්සේගේ බලය ලැබෙන බව සහ දේවදූතයන් ‘ඔවුන් කෙරෙහි භාරව සිටින’ බව” සභාපති නෙල්සන් පවසා තිබෙනවා [දහම සහ ගිවිසුම් 109:22]. දෙවියන්වහන්සේගේ බලයෙන් සන්නද්ධ වූ බලයෙන් සැරසුණු කාන්තාවක් හෝ පිරිමියෙක් [හෝ දේවමාළිගාවට සහභාගී වන යෞවනයෙකු] ලෙස ඔබට තනිව ජීවිතයට මුහුණ දිය යුතු නැති බව දැනගැනීම මගින් ඔබේ ආත්ම-විශ්වාසය කෙතරම් වැඩි කරයිද? දේවදූතයන් ඇත්තෙන්ම ඔබට උපකාර කරන බව දැනගැනීමෙන් ඔබට ලබා දෙන ධෛර්යය කුමක්ද?”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමන උයනේ නිහතමානීව දණින් වැටී සිටින විට, උන්වහන්සේව ඔසවා ගැනීමට දේවදූතයන් පැමිණීම ගැන ශුද්ධලියවිලිවල විස්තර කර තිබෙනවා. උන්වහන්සේගේ දුක් වේදනා මගින් උන්වහන්සේ ඒ අසීමිත වන්දිගෙවීම ලබා දුන්නා. සභාපති නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා, “ලේඛනගත ඉතිහාසයේ විශාලතම තනි ප්‍රේමයේ ක්‍රියාව සිදු වූයේ එහිදීයි. … එහි ගෙත්සෙමනහිදී, ස්වාමින්වහන්සේ ‘සියලු මනුෂ්‍යයන් පසුතැවිලිව උන්වහන්සේ වෙතට පැමිණෙන පිණිස, සියලු මනුෂ්‍යයන්ගේ වේදනා [වින්දා]’ [දහම සහ ගිවිසුම් 18:11].”

“මේ කුසලානය මගෙන් ඉවත් කරන්න, එහෙත් මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා” කියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉල්ලා සිටියා.

“එකල ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේව ශක්තිමත් [කළා.]”

අද අප වටා දේවදූතයන් සිටිනවා. සභාපති නෙල්සන් මෙසේ කියා තිබෙනවා, “[දේවමාළිගාවේදී,] ස්වර්ගය සහ පොළොව අතර තිරය වෙන්කරන්නේ කෙසේද කියාත්, දෙවියන්වහන්සේගේ දේවදූතයන්ට ඔබ කෙරෙහි පැමිණෙන ලෙස ඉල්ලන්නේ කෙසේද කියාත් ඔබ ඉගෙන ගනු ඇත.”

දේවදූතයන් ආලෝකය රැගෙන එනවා. ඒ දෙවියන්වහන්සේගේ ආලෝකයයි. යේසුස්වහන්සේ තම නෙපීවර ප්‍රේරිතවරුන්ට මෙසේ පැවසුවා “බලන්න නුඹලා ඔසවනු ලැබිය යුතු එම ආලෝකය මමය.” අපි අපේ අනාගතවක්තෘවරයාව ස්ථීර කරන විට, ඔහුව “ලෝකයේ ආලෝකය”වන අපගේ ගැලවුම්කරුවාණන් විසින් කැඳවනු ලැබූ බවට අපි සාක්ෂි දරනවා.

ආදරණීය නෙල්සන් සභාපතිතුමනි, ලොව පුරා ස්වාමින්වහන්සේගේ සභාවේ සාමාජිකයන් සහ මිතුරන් වෙනුවෙන්, ඔබගේ ඉගැන්වීම් ඔසවාගෙන යාමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ ආකාරයට ජීවත් වීමේ ඔබේ ආදර්ශය ඔසවා ගැනීමටත්, අප සියල්ලන්ගේ මිදුම්කරුවාණන් වන අපගේ ස්වාමින්වහන්සේ සහ අපගේ ගැලවුම්කරුවාණන් පිළිබඳ ඔබගේ උද්‍යෝගිමත් සාක්ෂිය ඔසවාගෙන සිටීමටත් අපි ආශිර්වාදිත බව අපට හැඟෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ලෝකයේ ආලෝකය” බවට මම මගේ අපෝස්තලික සාක්ෂිය දරනවා. උන්වහන්සේගේ ගෝලයන් වශයෙන් අපි සියල්ලෝම උන්වහන්සේගේ ආලෝකය “ඔසවා තබාගමු.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. බලන්න දහම සහ ගිවිසුම් 1:38.

  2. 2 නෙපී 4:20–21.

  3. බලන්න රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, “වචන වැදගත්,” ලියහෝනා, මැයි 2024, 70–76.

  4. දහම සහ ගිවිසුම් 81:5.

  5. මොසායා 18:8-9.

  6. 3 නෙපී 18:24; අවධාරණය කිරීම් සහිතයි.

  7. Russell M. Nelson, “Sustaining the Prophets,” Liahona, Nov. 2014, 75.

  8. මොසායා 2:11.

  9. බලන්න දහම සහ ගිවිසුම් 21:6; 81:5.

  10. Harold B. Lee, in Conference Report, Oct. 1970, 153.

  11. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම කිරීම: ලෝකයට ද්විශතවාර්ශික ප්‍රකාශය” තුළ මෙසේ සඳහන් වේ: “පොරොන්දු වූ නැවත පිහිටුවීම අඛණ්ඩ එළිදරව් කිරීම් තුළින් ඉදිරියට යන බව අපි සතුටින් ප්‍රකාශ කරමු. දෙවියන්වහන්සේ ‘ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ල ඒකරාශී කරන’ (එපීස 1:10) නිසාවෙන්, පොළොව නැවත කිසිදිනෙක මේ හා සමාන නොවනු ඇත.”

  12. රසල් එම්. නෙල්සන්, “සභාවේ අනාගතය: ලෝකය ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් කිරීම,” ලියහෝනා, 2020 අප්‍රි. 6–7.

  13. රසල් එම්. නෙල්සන්, “පිවිතුරු සත්‍යය, පිවිතුරු දහම, සහ පිවිතුරු එළිදරව්ව,” ලියහෝනා, නොවැ. 2021, 6.

  14. රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික ගමයතාවයේ බලය,” ලියහෝනා, මැයි 2022,99.

  15. Dedicatory Prayer, Manti Utah Temple, 21 April 2024,” ChurchofJesusChrist.org.

  16. මොර්මොන්ගේ පොතේ, මොර්මොන් අනාගතවක්තෘවරයා තම පුත්‍රයා වූ මොරෝනිව ලිපියක් මගින් සනසන්නට උත්සාහ කළේ, මොරෝනි තනිව සිටින විට සහ සතුරන් විසින් දඩයම් කරන ලද අවස්ථාවේදීය. ඔහු ලිවීය, “ක්‍රිස්තුස් වහන්සේ නුඹව උසුලන සේක්වා, තවද උන්වහන්සේගේ වේදනාව සහ මරණයද, … නුඹගේ මනසෙහි සදහටම රැඳී තිබේවා” (මොරෝනි 9:25).

  17. 1888 දී යූටා හි මැන්ටි දේවමාළිගාව කැප කිරීමට පෙර, යූටා හි තවත් දේවමාළිගා දෙකක් දැනටමත් කැප කර තිබුණි: 1877 දී යූටා හි සෙන්ට් ජෝර්ජ් දේවමාළිගාව සහ 1884 දී යූටා හි ලෝගන් දේවමාළිගාව. නැවත පිහිටුවීමේ පළමු දේවමාළිගාව ඔහයෝ, කර්ට්ලන්ඩ් හි ඉදිකරන ලද අතර 1836 දී එය කැප කරන ලදී. විශාල අධ්‍යාත්මික ප්‍රකාශනයන් මෙම රැස්වීම් සමඟ ඇති වූ අතර, මෝසෙස්, එලියා සහ එලයිජා විසින් පූජකත්ව යතුරු නැවත පිහිටුවන ලද අතර එමඟින් දේවමාළිගාවේ කාර්යය සහ ඉශ්‍රායෙලයේ එක්රැස් කිරීම දැඩි ලෙස ආරම්භ විය.

    ජෝසෆ් ස්මිත් මෙසේ වාර්තා කළේය, “එය පෙන්තකොස්ත දිනයක් සහ ඉහළින් බලයෙන් සැරසීමක් වූ අතර, එය මතක තබා ගැනීමට අවශ්‍ය විය, මක්නිසාද යත්, ශබ්දය මෙම ස්ථානයෙන් මුළු ලෝකයටම ගමන් කරනු ඇති අතර, මෙම දිනයේ සිදුවීම් පූජනීය ඉතිහාසයේ පිටු මත බෙදා හරිනු ඇත, සියලු පරම්පරාවන්, පෙන්තකොස්ත දවස මෙන්, මෙම දිනය, මහෝත්තම දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට ජුබිලි සහ ප්‍රීතිමත් කාලයක් ලෙස ගණන් කර සමරනු ලැබෙන්නේය” (Joseph Smith, Journal, 1835–1836, pp. 189–90, josephsmithpapers.org; spelling, capitalization, and punctuation modernized). නාවූ දේවමාළිගාව නිල වශයෙන් කැප කරන ලද්දේ 1846 මැයි මාසයේදී, ශුද්ධවන්තයන්ගෙන් බහුතරයක් තම නිවෙස් සහ ප්‍රජාව අත්හැර දැමීමෙන් පසුවය. බටහිරට පලා යාමට පෙර ශුද්ධවන්තයින් 6,000 කට වඩා ප්‍රමාණයක් දේවමාළිගා ගිවිසුම් ඇති කර ගත්හ. (බලන්න Church History Topics, “Nauvoo Temple,” Gospel Library.)

  18. Russell M. Nelson, in “President Nelson Rededicates Manti Utah Temple,” Apr. 21, 2024, newsroom.ChurchofJesusChrist.org.

  19. See Scott Taylor, “A By-the-Numbers Look at the 168 Temples Announced by President Nelson,” Church News, Apr. 14, 2024, thechurchnews.com.

  20. Russell M. Nelson, “The Future of the Church,” 8–9.

  21. රසල් එම්. නෙල්සන්, “දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම,” ලියහෝනා, නොවැ. 2021, 93–94.

  22. රසල් එම්. නෙල්සන්, “පූජකවර යතුරු දීමනාව ගැන ප්රීති වන්න,” ලියහෝනා, මැයි 2024, 121.

  23. Russell M. Nelson, “The Atonement,” Ensign, Nov. 1996, 35.

  24. ලූක් 22:42–43.

  25. රසල් එම්. නෙල්සන්, “දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම,” 96.

  26. 3 නෙපී 18:24.

  27. 3 නෙපී 11:11.

  28. 3 නෙපී 11:11.