ලෞකිකත්වය නිවැරදිව සිදුවෙනවා!
අප සැවොම මුහුණ දෙන අභියෝග මධ්‍යයේ වුවද, අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ අප අසාර්ථක වීමට නියමිත නොවන පරිදි මෙම ප්‍රීතියේ සැලැස්ම සැලසුම් කර තිබෙනවා.
අවුරුදු ගණනාවක් පුරාවට මගේ කොට්ඨාශයේ වැඩිහිටි සහෝදරියකට නිවාස බැහැදකිමින් උගන්වන්න මට පැවරුමක් ලැබුණා. ඇයට තිබුණේ පහසු ජීවිතයක් නොවේ. ළමා වියේදී ක්‍රීඩා පිටියේදී සිදු වූ අනතුරක් නිසා ඇයට විවිධ සෞඛ්‍ය ගැටලු තිබුණා, ඒවගේම ඇය ජීවිත කාලය පුරාම සිටියෙ වේදනාවෙන්. ඇති දැඩි කිරීමට සහ පෝෂණය කිරීමට කුඩා දරුවන් හතර දෙනෙකු සමඟ වයස අවුරුදු 32 දී දික්කසාද වී සිටි ඇය, නැවතත් වයස අවුරුදු 50 දී විවාහ වුණා. ඇයට වයස අවුරුදු 66 දී ඇයගේ දෙවන සැමියා මිය ගිය අතර, මෙම සහෝදරිය වැන්දඹුවක් ලෙස තවත් වසර 26 ක් ජීවත් වුණා.
ඇගේ ජීවිත කාලය පුරාම තිබූ අභියෝග මැද වුවද, ඇය අවසානය දක්වා ඇගේ ගිවිසුම්වලට ඇදහිලිවන්තව සිටියා. මෙම සහෝදරිය උද්යෝගිමත් පෙළපත් වේදිනියක්, දේවමාළිගා සේවිකාවක් සහ පවුල් ඉතිහාස එකතු කරන්නියක් සහ ලේඛිකාවක්. ඇයට බොහෝ දුෂ්කර පරීක්ෂාවන් තිබුණත්, නිසැකවම ඇයට විටෙක දුකක් සහ තනිකමක් දැනුණත්, ඇයට ප්‍රීතිමත් මුහුණක් සහ කරුණාවන්ත හා ප්‍රසන්න පෞරුෂයක් තිබුණා.
ඇය මිය ගොස් මාස නවයකට පසු, ඇගේ එක් පුතෙකුට දේවමාළිගාවේදී අපූරු අත්දැකීමක් ලැබුණා. ඔහුගේ මවගෙන් ඔහුට පණිවිඩයක් ඇති බව ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔහු දැනගත්තා. ඇය ඔහු සමඟ සන්නිවේදනය කළා, නමුත් ඒ දර්ශනයකින් හෝ කතා කරන වචන වලින් නොවේ. පහත සඳහන් අහම්බයක් නොවන එම පණිවිඩය ඔහුගේ මවගෙන් මේ පුතාගේ මනසට පැමිණියා: “ලෞකිකත්වය නිවැරදිව සිදුවන බව ඔබ දැනගන්නවාට මම කැමතියි, [මගේ ජීවිතයේ] සියල්ල ඒ සිදු වූ ආකාරයටම සිදු වුණේ ඇයි කියලා මට දැන් තේරෙන බව ඔබ දැනගන්නවාට මම කැමතියි—ඒ වගේම ඒ හැමදෙයක්ම හොඳයි.”
මෙම සහෝදරියගේ තත්වය සහ ඇය විඳදරාගත් සහ ජයගත් දුෂ්කරතා සලකා බලන විට මෙම පණිවිඩය වඩාත් කැපී පෙනෙන එකක් වෙනවා.
සහෝදර සහෝදරියනි, ලෞකිකත්වය නිවැරදිව සිදුවෙනවා! එය නිර්මාණය කරලා තියෙන්නෙ නිවැරදි විදියට! අප සැවොම මුහුණ දෙන අභියෝග, හිත් වේදනාවන් සහ දුෂ්කරතා මධ්‍යයේ වුවද, අපගේ ආදරණීය, ප්‍රඥාවන්ත සහ පරිපූර්ණ ස්වර්ගික පියාණන්වහන්සේ අප අසාර්ථක වීමට නියමිත නොවන පරිදි මෙම ප්‍රීතියේ සැලැස්ම සැලසුම් කර තිබෙනවා. උන්වහන්සේගේ සැලැස්ම මගින් අපගේ ලෞකික අසාර්ථකත්වයන් ඉක්මවා යාමට මාර්ගයක් සපයනවා. ස්වාමින්වහන්සේ මෙසේ කියා තිබෙනවා, “මේ මාගේ කාර්යය සහ මාගේ මහිමයයි—ඒ මනුෂ්‍යයාගේ අමරණීයභාවය සහ සදාකාල ජීවනය ගෙන ඒමයි.”
ඒ කෙසේ වුවත්, අපි ස්වාමින්වහන්සේගේ “කාර්යයේ සහ මහිමයේ” ප්‍රතිලාභීන් වීමට නම්, “අමරණීයත්වයේ සහ සදාකාල ජීවනයේ” පවා ප්‍රතිලාභීන් වීමට නම්, අප අධ්‍යාපනය ලැබීමට හා උගන්වනු ලැබීමට සහ පිරිපහදු කරන්නාගේ ගින්න හරහා—සමහර විට අපගේ සීමාවන් කරා පවා ගමන් කිරීමට අපේක්ෂා කළ යුතුයි. මෙලොව ඇති ගැටලු, අභියෝග සහ දුෂ්කරතා සම්පූර්ණයෙන් මගහරවා ගැනීම කියන්නෙ ලෞකිකත්වය නිවැරදිව සිදුවන්නට සැබවින්ම අවශ්‍ය ක්‍රියාවලිය මගහැරීමක් වෙන්න පුළුවන්.
එමනිසා දුෂ්කර කාලවල් අප වෙත පැමිණෙන විට අප පුදුම විය යුතු නෑ. අපව සහ යේසුස්වහන්සේගේ වැනි සත්‍ය ප්‍රේමය සහ ඉවසීම ප්‍රගුණ කිරීමට අපට හැකියාව ලබා දෙන අයව පරීක්ෂාවට ලක්වෙන තත්වයන්ට අපි මුහුණ දෙනවා. නමුත් අප අපගේ දුෂ්කරතා ඉවසා දරා ගත යුතු අතර ස්වාමින්වහන්සේ පැවසූ දේ මතක තබාගන්න අවශ්‍යයි:
“තවද කවරෙකු වුවද ඔහුගේ ජීවිතය මාගේ කාරණය, මාගේ නාමය උදෙසා පහත හෙලන්නේද, නැවත එය, සදාකාල ජීවිතය වුවත්, සොයාගනු ලබන්නේය.
“එසේහෙයින්, නුඹලාගේ සතුරන්ට [හෝ ඔබේ ගැටළු, අභියෝග, හෝ මේ ජීවිතයේ පරීක්ෂණ වලට] බිය නොවන්න, මක්නිසාද මම මාගේ හදවතේ නියමයක් කර ඇත්තෙමියි, ස්වාමින්වහන්සේ පවසන සේක, … නුඹලා මාගේ ගිවිසුමෙහි පවතින්නෙහුදැයි දැනගැනීම පිණිස, මම සියලු දේවලදී නුඹලාව පරීක්ෂා කර බලන්නෙමි.”
අපගේ ප්‍රශ්න ගැන කලකිරීමට හෝ කනස්සල්ලට පත්වන විට හෝ අපගේ ජීවිතයේ අපට ලැබිය යුතු දුෂ්කරතාවලට වඩා වැඩියෙන් අපට ලැබෙනවා යැයි අපට හැඟෙන විට, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පැවසූ දේ අපට මතක තබාගන්න පුළුවන්:
“නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරපන්න.”
ලෙහි ඔහුගේ පුත් යාකොබ්ට මෙසේ ඉගැන්වුවා:
“නුඹ පීඩාවන් හා බොහෝ වේදනාවන් විඳ ඇත්තෙහිය. … කෙසේවෙතත්, … [දෙවියන්වහන්සේ] නුඹගේ පීඩාවන් නුඹගේ වාසිය සඳහා කැපකරනු ඇතිසේක. … එමනිසා, නුඹගේ මිදුම්කරුවාණන්වහන්සේගේ ධර්මිෂ්ඨකම හේතුකොටගෙන නුඹ මුදනු ලැබූ බව මම දනිමි.”
මෙම ජීවිතය පරීක්‍ෂණ භූමියක් වන නිසාත්, “පීඩාවේ වලා අප වටා, සාමය වනසන්න [යන]” නිසාත්, ජීවිතයේ අභියෝග සම්බන්ධයෙන් මොසායා 23 හි සඳහන් මෙම උපදෙස සහ පොරොන්දුව මතක තබාගැනීම ප්‍රයෝජනවත්: “කෙසේවෙතත්, කවරෙකු වුවත් [ස්වාමින්වහන්සේ] කෙරෙහි විශ්වාසය තබන්නේද, එවැන්නාව අන්තිම දවසේදී ඔසවාගනු ලබන්නේය.”
වෙනත් කෙනෙකුගේ අධර්මිෂ්ඨ ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස පැමිණි දෙයක් නිසා, යෞවනයෙකු ලෙස මම පුද්ගලිකව දැඩි චිත්තවේගීය වේදනාවක් සහ ලැජ්ජාවක් අත්වින්දා, එය වසර ගණනාවක් තිස්සේ ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මගේ ආත්ම-වටිනාකමට සහ මගේ සුදුසුකම පිළිබඳ හැඟීමට බලපෑමක් වුණා. එසේ වුවත්, මෙම තාවකාලික නවාතැනේ අප ගත කරන කාලය තුළ අප අත්විඳීමට කැඳවීම් ලබා තිබෙන ඕනෑම දුෂ්කරතාවකදී ස්වාමින්වහන්සේට අපව ශක්තිමත් කිරීමටත් අපව දරා ගැනීමටත් හැකි බවට මම පෞද්ගලිකව සාක්ෂි දරනවා.
පාවුල්ගේ අත්දැකීම අපට හුරුපුරුදුයි:
“තවද [මට ලැබුණු] ඒ එළිදරව් කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි වූ උලක් මාගේ මාංසයෙහි මට දෙන ලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.
“ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන තුන්වරක් ස්වාමින්වහන්සේගෙන් ඉල්ලුවෙමි.
“උන්වහන්සේද: මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වෙන්නේ යයි මට කීසේක. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි.”
පාවුල්ගේ “මාංසයේ උල” කුමක්දැයි අපි දන්නේ නෑ. එය ශාරීරික ආබාධයක්, මානසික හෝ චිත්තවේගීය දුර්වලතාවයක් හෝ පරීක්ෂාවක්ද යන්න විස්තර කිරීමට ඔහු තීරණය කර නැහැ. නමුත් ඔහු අරගල කර උපකාරය පතා ස්වාමින්වහන්සේට බැගෑපත් වූ බව දැනගැනීමට සහ අවසානයේදී, ස්වාමින්වහන්සේගේ ශක්තිය සහ බලය ඔහුට ඒ තුළින් පිටතට පැමිණීමට උපකාර වූ බව දැනගැනීමට, එම විස්තරය ගැන දැනගැනීම අවශ්‍ය වෙන්නේ නෑ.
එය පාවුල්ට වූවාක් මෙන්, අවසානයේ මා චිත්තවේගීයව සහ අධ්‍යාත්මිකව ශක්තිමත් වුණේ ස්වාමින්වහන්සේගේ උපකාරය තුළින්, ඒවගේම මම වටිනා බව සහ ශුභාරංචියේ ආශිර්වාද වලට සැමවිටම සුදුස්සෙකුව සිටි බව වසර ගණනාවකට පසුව මම අවසානයේ හඳුනාගත්තා. මගේ නුසුදුසු යැයි දැනෙන හැඟීම් ජය ගැනීමට සහ එම වරදකරුට අවංකව සමාව දීමට ගැලවුම්කරුවාණන් මට උපකාර කළා. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම මට පුද්ගලික තෑග්ගක් බවත් මගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් මට පරිපූර්ණ ලෙස ආදරය කරන බවත් මම අවසානයේ තේරුම් ගත්තා. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම නිසා, ලෞකිකත්වය නිවැරදිව සිදුවෙනවා.
එම අත්දැකීම් තුළින් ගැලවුම්කරුවාණන් මා ගලවාගත් ආකාරය සහ මා සමඟ සිටි ආකාරය හඳුනා ගැනීමට අවසානයේ මම ආශිර්වාද ලත් අතර, මගේ නව යොවුන් වියේ සිදු වූ ඒ අවාසනාවන්ත සිදුවීම මගේ පෞද්ගලික ගමන සහ අත්දැකීම බව මට පැහැදිලිව වැටහුණා, එහි විසඳුම සහ අවසාන ප්‍රතිඵලය අනෙක් අයගේ අධර්මිෂ්ඨ හැසිරීම්වලින් පීඩා විඳි සහ දිගටම දුක් විඳිමින් සිටින අය වෙත එල්ල වෙන්නේ නෑ.
ජීවිතයේ හොඳ සහ නරක අත්දැකීම් මගින් අපට වැදගත් පාඩම් ඉගැන්විය හැකි බව මම දන්නවා. ලෞකිකත්වය නිවැරදිව සිදුවන බව මම දැන් දන්නවා සහ සාක්ෂි දරනවා! මගේ ජීවිතයේ හොඳ සහ නරක යන අත්දැකීම්වල එකතුවේ ප්‍රතිඵලයක් ලෙස තවත් කෙනෙකුගේ ක්‍රියාවන්ට ගොදුරු වූ අහිංසකයන් කෙරෙහි මට දයානුකම්පාවක් සහ පීඩිතයන් කෙරෙහි අනුකම්පාවක් තිබෙනවා කියා මම බලාපොරොත්තු වෙනවා.
මගේ ජීවිතයේ හොඳ සහ නරක අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස මම අන් අයට කාරුණික වේවි කියාත්, ගැලවුම්කරුවාණන් ලෙස අන් අයට සලකාවි කියාත්, පව්කාරයා ගැන වැඩි අවබෝධයක් ඇති වෙතැයි කියාත්, එමෙන්ම මට සම්පූර්ණ අවංක බවක් ඇති වෙතැයි කියාත් මම අවංකවම බලාපොරොත්තු වෙනවා. අපි ගැලවුම්කරුවාණන්ගේ කරුණාව මත යැපෙමින් අපගේ ගිවිසුම් රකින විට, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ දුරදිග යන බලපෑම් පිළිබඳ උදාහරණ ලෙස අපට සේවය කරන්න පුළුවන්.
ලෞකිකත්වය නිවැරදිව සිදුවන බව පෙන්වන අවසාන උදාහරණයක් මම බෙදා ගන්නම්.
වැඩිහිටි හේල්ස්ගේ නැන්දා, ලොයිස් වැන්ඩන්බෝෂ් සහ ඔහුගේ මව, ක්ලියා වැන්ඩන්බෝෂ්.
මගේ මවට ලෞකිකත්වය හරහා තිබුණේ පහසු ගමනක් නෙවෙයි. ඇයට කිසිඳු පිළිගැනීමක් හෝ ලෞකික ගෞරවයක් හෝ නොලැබුණු අතර උසස් පාසලෙන් එහාට ඇයට අධ්‍යාපන අවස්ථාවක් තිබුණේ නෑ. ඇය ළමා වියේදී පෝලියෝ රෝගයට ගොදුරු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිත කාලය පුරාවටම ඇගේ වම් කකුලේ වේදනාවක් සහ අපහසුතාවයක් ඇති වී තිබුණා. වැඩිහිටියෙකු ලෙස, ඇය බොහෝ දුෂ්කර හා අභියෝගාත්මක ශාරීරික හා මූල්‍ය තත්වයන් අත්වින්ද නමුත් ඇගේ ගිවිසුම්වලට ඇදහිලිවන්ත වූ අතර ස්වාමින්වහන්සේට ප්‍රේම කළා.
මගේ මවට වයස අවුරුදු 55 ක් වන විට, මාස අටක් වයසැති කුඩා දියණියක් වූ, මගේ සහෝදරියගේ දුවට මවක් අහිමි කරමින්, මගේ වැඩිමහල් සහෝදරිය මිය ගියා. විවිධ හේතූන් නිසා, මගේ අම්මා මගේ සහෝදරියගේ දුවව ඊළඟ අවුරුදු 17 තුළ ඇති දැඩි කළේ බොහෝ විට ඉතා දුෂ්කර තත්වයන් යටතේයි. එහෙත්, මෙම අත්දැකීම් නොතකා, ඇය සතුටින් හා කැමැත්තෙන් තම පවුලේ අයට, අසල්වාසීන්ට සහ කොට්ඨාශ සාමාජිකයින්ට සේවය කළ අතර වසර ගණනාවක් දේවමාළිගාවේ නියෝග සේවිකාවක් ලෙස සේවය කළා. ඇගේ ජීවිතයේ අවසාන වසර කිහිපය තුළ, අම්මා යම් ආකාරයක ඩිමෙන්ශියා රෝගී තත්වයකින් පීඩා වින්දා, ඇය බොහෝ විට ව්‍යාකූල වූ අතර හෙද ස්ථානයක ඇයව නැවැත්වුවා. අනපේක්ෂිත ලෙස මිය යන විට ඇය තනිව සිටීම කණගාටුවට කරුණක්.
ඇය මිය ගොස් මාස කිහිපයකට පසු, මම මට කිසිදා අමතක නොවන සිහිනයක් දුටුවා. මගේ සිහිනයේදී, මම සභාවේ පරිපාලන ගොඩනැගිල්ලේ මගේ කාර්යාලයේ වාඩි වී සිටියා. අම්මා කාර්යාලයට ඇතුළු වුණා. ඇය පැමිණියේ ආත්මික ලෝකයෙන් බව මම දැන සිටියා. මට ඒ ඇති වූ හැඟීම් මට සැමවිටම මතක තියෙයි. ඇය කිසිවක් කීවේ නෑ, නමුත් මා කිසිදා අත්විඳ නැති සහ මට විස්තර කිරීමට අපහසු අධ්‍යාත්මික සුන්දරත්වයක් ඇය විකාශනය කළා.
ඇගේ පෙනුම සහ මුහුණුවර ඇත්තෙන්ම විශ්මයජනකයි! ඇයගේ අධ්‍යාත්මික බලය සහ අලංකාරය ගැන සඳහන් කරමින් “අම්මේ ඔයා හරිම ලස්සනයි!” ලෙස මම ඇයට කී ආකාරය මට මතකයි. ඇය නැවතත් කතා නොකරම, මට ස්තූති කළා. ඇය මා කෙරෙහි දක්වන ආදරය මට දැනුණු අතර, ඇය සතුටින් සිටින බවත් ඇගේ ලෞකික සැලකිලි සහ අභියෝගවලින් ඇය සුවය ලබා ඇති බවත් “මහිමාන්විත නැවත නැගිටීමක්” උදෙසා ඇය මහත් ආශාවෙන් බලා සිටින බවත් මම දැනගත්තා. මම දන්නවා අම්මට ලෞකිකත්වය නිවැරදිව සිදුවුණා—ඒක අපිටත් නිවැරදිව සිදුවෙනවා.
දෙවියන්වහන්සේගේ කාර්යය සහ මහිමය තමයි මනුෂ්‍යයාට අමරණීයභාවය සහ සදාකාලික ජීවිතය ගෙන ඒම. මෙම ලෞකිකත්වය පිළිබඳ අත්දැකීම් අපට එම අමරණීයත්වය සහ සදාකාලික ජීවිතය කරා වර්ධනය වීමට සහ ඉදිරියට යාමට ඉඩ සලසන ගමනේ කොටසක්. අපව මෙහි එවා ඇත්තේ අසාර්ථක වීමට නොව අප වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ සැලැස්ම තුළ සාර්ථක වීමටයි.
බෙන්ජමින් රජු මෙසේ ඉගැන්වුවා: “තවද, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින අයගේ ආශිර්වාදිත හා ප්‍රීතිමත් තත්වය පිළිබඳව සලකා බැලිය යුතු යැයි මම කැමැත්තෙමි. මක්නිසාද ඔව්හු සියල්ලෙහි දී, අධ්‍යාත්මික හා ආත්මික වශයෙන් ආශීර්වාද ලද්දෝය; ඔවුන් අවසානය දක්වා විශ්වාසවන්තව සිටින්නේ නම්, ඔවුන් ස්වර්ගයට පිළිගනු ලබන අතර, එමගින් ඔවුන් සදාකාල ප්‍රීතියෙන් දෙවියන්වහන්සේ සමඟ වාසය කරති.” වෙනත් වචන වලින් කියනවානම්, ලෞකිකත්වය නිවැරදිව සිදුවෙනවා!
අප ශුභාරංචියේ නියෝග ලබාගන්නා විට, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම්වලට එළඹී, එම ගිවිසුම් රකිමින්, පසුතැවිලි වී, අන් අයට සේවය කරමින්, අවසානය දක්වා විඳදරාගන්නා විට, ලෞකිකත්වය නිවැරදිව සිදුවන බවට සහතිකයක් සහ සම්පූර්ණ විශ්වාසයක් අපටත් ලබාගත හැකි බව මම සාක්ෂි දරනවා. මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් එමෙන්ම අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ අපගේ තේජාන්විත අනාගතය ගැලවුම්කරුවාණන්ගේ කරුණාව සහ වන්දිගෙවීම මගින් යතාර්ථයක් බවට පත්වන බවත් සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.