2020–2024
දෙවියන්වහන්සේගේ පුත්‍රයින් සහ දූවරුන්
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


9:57

දෙවියන්වහන්සේගේ පුත්‍රයින් සහ දූවරුන්

අපි සැබවින් ම විශ්වාස කරනවා අපි සෑම දෙනෙක්ම ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ දරුවන් බවත්, ඒ නිසා අපට උන්වහන්සේ හා සමාන වීමට හැකියාව ඇති බව.

අද මම දෙවියන්වහන්සේ එළිදරව් කර ඇති වඩාත්මප්‍රීතිමත්, තේජාන්විත සහ බලවත් ශුභාරංචි සත්‍යයක් ගැන කතා කිරීමට කැමතියි. ඒ අතරම, එය උත්ප්‍රාසාත්මක ලෙස අප විවේචනයට ලක් වූ එකක්. මීට වසර කිහිපයකට පෙර මා ලැබූ අත්දැකීමක් මෙම ශුභාරංචි සත්‍යය කෙරෙහි මගේ අගය හෘදයංගම ලෙස ගැඹුරු කළා.

සභාව නියෝජනය කරන්නෙකු ලෙස, මට වරක් ආගමික සම්මන්ත්‍රණයකට ආරාධනා කරන ලද අතර එහිදී ප්‍රකාශ කරන ලද්දේ එම මොහොතේ සිට අනෙකුත් සියලුම ක්‍රිස්තියානි සභාවන් විසින් පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයෙන් වතුරෙන් සිදු කරනු ලබන සියලුම බව්තීස්මයන් වලංගු බව ඔවුන් පිළිගන්නවා කියලා. පසුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව විසින් සිදු කරන ලද බව්තීස්ම සඳහා මෙම ප්‍රතිපත්තිය අදාළ නොවන බව පැහැදිලි කෙරුවා.

සම්මන්ත්‍රණයෙන් පසුව, නිවේදනය කළ නායකයා සමඟ එම විරුද්ධත්වයට හේතු ගැඹුරින් සොයා බැලීමට මට හැකියාව ලැබුණා. අපි අතර අපූරු සහ ප්‍රඥාවන්ත සංවාදයක් ඇති වුණා.

කෙටියෙන් කිවහොත්, වෙනත් ක්‍රිස්තියානි නිකායන් බොහෝ විට ත්‍රිත්වය ලෙස හඳුන්වන ශුද්ධ වූ ත්‍රිත්වය, පිළිබඳ අපගේ විශේෂ විශ්වාසයන් මෙම විරුද්ධත්වයට මූලික වශයෙන් බලපෑ බව ඔහු මට පැහැදිලි කළා. ඔහුගේ විශ්වාසයන් සහ ඔහුගේ සභාවේ ප්‍රතිපත්තිය මට පැහැදිලි කිරීමට ඔහු කාලය ගත කිරීම ගැන මම මගේ කෘතඥතාව පළ කළා. අපේ සංවාදය අවසානයේ අපි වැළඳගෙන පසුව සමුගත්තා.

මම පසුව අපගේ සාකච්ඡාව ගැන කල්පනා කරන විට, මෙම නායකවරයා “ත්‍රිත්වයේ අභිරහස” ලෙස හැඳින්වූ දේ නොතේරෙන පසුදවස්වල ශුද්ධවන්තයින් ගැන පැවසූ දේ මගේ මනසේ රැඳී තිබුණා. ඔහු පැවසුවේ මොකක් ගැනද? හොඳයි, එය දෙවියන්වහන්සේගේ ස්වභාවය පිළිබඳ අපගේ අවබෝධය සමඟ සම්බන්ධ වුණා. අපි විශ්වාස කරන්නේ දෙවියන් වු පියාණන්වහන්සේ පුත්‍රයාණන් මෙන්ම බලවත් “මාංශ සහ අස්ථි සහිත මනුෂ්‍යයාගේ මෙන් ස්පර්ශ කළ හැකි ශරීරයක් ඇති” “උත්කර්ෂයට පත් වූ මිනිසෙක්” කියලා. අපි දෙවියන්වහන්සේගේ ස්වභාවය ගැන කතා කරන සෑම අවස්ථාවකම යම් ආකාරයකින්, කෙසේ හෝ, අපගේම ස්වභාවය ගැන කතා කරනවා.

මෙය සත්‍ය වන්නේ අප සියල්ලන්ම “[උන්වහන්සේගේ] ස්වරූපයෙන් [උන්වහන්සේගේ] ස්වරූපයට අනුව” සාදන ලද නිසා පමණක් නොව, ගීතිකාකරු වාර්තා කළ පරිදි, දෙවියන්වහන්සේ “තෙපි දෙවිවරුය, තෙපි සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝයයි” පැවසු නිසයි. මෙය අපට නැවත පිහිටුවීම ඇතිවීමත් සමඟ දැන් නැවත ලැබුනු වූ වටිනා දහමක්. සාරාංශයක් ලෙස එය අපගේ ධර්මදූතයින්ගේ පළමු පාඩම, පළමු ඡේදය, පළමු පේළිය ලෙස උගන්වන: “දෙවියන්වහන්සේ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේයි, සහ අප සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දරුවන්.”

දැන් ඔබට කියන්න පුළුවන්, “නමුත් අපි දෙවියන්වහන්සේගේ දරුවෝ කියලා ගොඩක් අය විශ්වාස කරනවා” කියලා. ඔව්, එය සත්‍යක්, නමුත්, ඔවුන්ගේ අවබෝධය අප තහවුරු කරන එහි ගැඹුරු අර්ථයේ ඇඟවුමට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. පසුදවස්වල ශුද්ධවන්තයින් සඳහා, මෙම ඉගැන්වීම රූපකයක් නෙමේ. ඒ වෙනුවට, අපි සියලු දෙනාම ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ දරුවන් බව අපි සැබවින්ම විශ්වාස කරනවා. උන්වහන්සේ “[අපගේ] ආත්මයන්ගේ පියා” වන අතර, ඒ නිසා අපට උන්වහන්සේ හා සමාන වීමට හැකියාව තිබෙනවා, එය සමහරුන්ට සිතාගත නොහැකි බව පේනවා.

පළමු දර්ශනය නැවත පිහිටුවීමට දොරටු විවර කර දැන් වසර 200 කට වැඩි කාලයක් ගෙවිලා ගිහින්. එකල තරුණ ජෝසෆ් ස්මිත් කුමන සභාවකට සම්බන්ධ විය යුතුද යන්න දැන ගැනීමට ස්වර්ගයේ සිට මගපෙන්වීමක් බලාපොරොත්තු වුණා. එදින තමාට ලැබුණු එළිදරව්ව තුළින් සහ පසුව ඔහුට ලබා දුන් එළිදරව් කිරීම් තුළින් අනාගතවක්තෘ ජෝසෆ් දෙවියන්වහන්සේගේ ස්වභාවය සහ උන්වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේ සමඟ ඇති සම්බන්ධය පිළිබඳ දැනුම ලබා ගත්තා.

ඒ නිසාම, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ මෙම අගනා දහම මුල සිටම උගන්වා ඇති බව අපි වඩාත් පැහැදිලිව ඉගෙන ගන්නවා. මෙය නිදර්ශනය කිරීම සඳහා ශුද්ධලියවිලි වලින් අවම වශයෙන් වාර්ථා දෙකක් උපුටා දැක්වීමට මට ඉඩ දෙන්න.

අනගි මුතු ඇටයේ වාර්තා කර ඇති පරිදි දෙවියන්වහන්සේ මෝසෙස්ට දුන් උපදෙස් ඔබට මතක ඇති.

“තවද දෙවියන්වහන්සේ මෝසෙස්ට කතාකර, මෙසේ කී සේක: බලන්න, මම ස්වාමින් වන සර්වබලධාරී දෙවියන්වහන්සේ වෙමි, තවද අනන්තය යනු මාගේ නාමය වේ;” කියා අපි කියවනවා. වෙනත් වචන වලින් කිවහොත්, මෝසෙස්, මම කවුදැයි ඔබ දැන ගැනීමට මට අවශ්‍යයි. එවිට උන්වහන්සේ මෙසේ කිව්වා, “බලන්න, මාගේ පුත්‍රයා ය.” පසුව උන්වහන්සේ මෙසේ කිව්වා, “තවද නුඹ මගින් කරවාගැනීමට මා හට කාර්යයක් ඇත, මෝසෙස්, මාගේ පුත්‍රය; තවද නුඹ මාගේ ඒකජාතක පුත්‍රයාණන්ට සමානකම් ඇත්තෙක්.” ඊට පස්සේ අවසාන වශයෙන්, උන්වහන්සේ අවසන් කළේ, “තවද දැන්, බලන්න, මේ එක් දෙයක් මම නුඹට පෙන්වමි, මෝසෙස්, මාගේ පුත්‍රය” කියායි.

අඩුම තරමින් එක පාඩමක්වත් මෝසෙස්ට ඉගැන්වීමට දෙවියන්වහන්සේ අධිෂ්ඨාන කරගෙන සිටි බව පෙනී යනවා: “ඔබ මගේ දරුවා,” එය උන්වහන්සේ අවම වශයෙන් තුන් වතාවක් නැවත නැවතත් කිව්වා. ඔහු උන්වහන්සේගේ පුත්‍රයා බව ඒ එක්කම එකතු නොකර මෝසෙස්ගේ නම පවා සඳහන් කිරීමට උන්වහන්සේට නොහැකි වුණා.

කෙසේ වෙතත්, මෝසෙස් තනි වූ පසු, ඔහු තවදුරටත් දෙවියන්වහන්සේගේ ඉදිරියෙහි නොසිටි නිසා ඔහුට දුර්වල බවක් දැනුණා. සාතන් ඔහුව පොළඹවා ගැනීමට ආවේ එතකොටයි. ඔබට මෙහි රටාවක් දකින්න පුළුවන්ද? ඔහු මුලින්ම කිව්ව දේ තමා, “මෝසෙස්, මනුෂ්‍ය ප්‍රත්‍රය, මට නමස්කර කරව.”

මෙම සන්දර්භය තුළ තුළ, ඔහුට නමස්කාර කිරීමට සාතන් කළ ඉල්ලීම අවධානය වෙනතකට යොමු කිරීමක් පමණක් වෙන්න පුළුවන්. එම දුර්වලතාවයේ මොහොතේදී මෝසෙස්ට සැලකිය යුතු පරීක්ෂාවක් වූයේ ව්‍යාකූලත්වයට පත් වී ඔහු දෙවියන්වහන්සේගේ දරුවෙකුට වඩා “මනුෂ්‍ය පුත්‍රයෙකු,” පමණක් බව විශ්වාස කිරීමයි.

“තවද එය මෙසේ සිදුවිය එනම් මෝසෙස් සාතන් දෙස බලා මෙසේ කීවේය: නුඹ කවරෙක්ද? මක්නිසාද බලන්න, මම දෙවියන්වහන්සේගේ ඒකජාතකයාණන්ගේ සාමානත්වයෙන් යුත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් වෙමි.” වාසනාවකට මෙන්, මෝසෙස් ව්‍යාකූල නොවූ අතර අවධානය වෙනතකට යොමු කිරීමට ඉඩ දුන්නේ නැහැ. ඔහු ඇත්තටම ඔහු කවුද කියන පාඩම ඉගෙනගෙන තිබුණා.

ඊළඟ වාර්ථාව මතෙව් 4හි දක්නට ලැබෙනවා. විද්වතුන් මෙය “යේසුස්වහන්සේගේ පරීක්ෂාවන් තුන” ලෙස නම් කර ඇත්තේ ස්වාමින්වහන්සේ තුන් වතාවක් පමණක් පරීක්ෂාවට ලක් වූවාක් මෙනි, ඇත්ත වශයෙන්ම එය එසේ නෙමේ.

මෙම පෙළඹවීම්වල අර්ථය සහ අන්තර්ගතය පැහැදිලි කිරීම සඳහා තීන්ත ගැලුම් සිය ගණනක් භාවිතා කරලා තියෙනවා. අප දන්නා පරිදි, පරිච්ඡේදය ආරම්භ වන්නේ යේසුස්වහන්සේ කාන්තාරයට ගිය බව පැහැදිලි කිරීමෙන්, “උන්වහන්සේ දවල් හතළිහක් සහ රාත්‍රී හතළිහක් නිරාහාරව සිටිමින් පසුව උන්වහන්සේ බඩගිනි වෙලා හිටියා.”

සාතන්ගේ පළමු පෙළඹවීම සිදුවන්නට ඇත්තේ ස්වාමින්වහන්සේගේ ශාරීරික අවශ්‍යතා තෘප්තිමත් කිරීම පිළිබඳ පමණක් බව පෙනෙනවා. “මේ ගල් රොටි වෙන්ට අණකරපන්නැයි” කියා ඔහු ගැලවුම්කරුවාණන්ට අභියෝග කළා.

දෙවන පෙළඹවීම දෙවියන්වහන්සේ පරීක්ෂාවට ලක් කිරීම වෙන්න පුළුවන්: “පහතට පනින්න; කුමක් හෙයින්ද උන්වහන්සේ තමන් දූතයන්ට නුඹ ගැන අණදෙනසේක කියා ලියා තිබේයයි.”

අවසාන වශයෙන්, සාතන්ගේ තුන්වන පරීක්ෂාව ලෝකයේ අභිලාෂයන් සහ මහිමය ගැන සඳහන් කළා. ලෝකයේ සියලු රාජ්‍යයන් යේසුස් වහන්සේට පෙන්වා [සාතන්] උන්වහන්සේට කතා කරලා මෙසේ කිව්වා, ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමියි.”

සත්‍යවශයෙන්ම, සාතන්ගේ අවසාන පරීක්ෂාවට එම විශේෂිත ප්‍රකෝප කිරීම් තුන සමඟ අඩු සම්බන්ධයක් තිබිය හැකි අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යමය ස්වභාවය ප්‍රශ්න කිරීමට උන්වහසේව පොළඹවා ගැනීම සමඟ එය ඊට වඩා සම්බන්ධ වෙන්න පුළුවන්. සාතන්ගේ පෙළඹවීමට පෙරාතුව අවම වශයෙන් දෙවතාවක් පමණ: “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්”—ඔබ එය සැබවින්ම විශ්වාස කරන්නේ නම්, මෙය හෝ එය කරන්න කියා අභියෝගාත්මකව චෝදනා කරනවා.

යේසුස්වහන්සේ නිරාහාරව සිට යාච්ඤා කිරීමට කාන්තාරයට යාමට පෙර සිදු වූ දේ කරුණාකර බලන්න: අපිට ඒක ක්‍රිස්තුස්වහන්සේගේ බව්තීස්මය පිළිබඳ වාර්තාවෙන් හමු වෙනවා. උන්වහන්සේ වතුරෙන් ගොඩට පැමිණි විට, “තවද:මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි” කියා ස්වර්ගයෙන් හඬක් නික්මුණා.

අපි සම්බන්ධතාවය දකිනවාද? අපිට මෙතන රටාවක් හඳුනාගන්න පුළුවන්ද?

අපගේ දිව්‍යමය ස්වභාවය සහ ඉරණම පිළිබඳව අපට උගන්වන සෑම අවස්ථාවකම, සියලු ධර්මිෂ්ඨකමේ විරුද්ධවාදියා ඒවා ප්‍රශ්න කිරීමට අපව පොළඹවා ගැනීම පුදුමයක් නෙමේ.

අපි ඇත්තටම කවුද කියලා දැනගත්තොත් අපේ තීරණ කොච්චර වෙනස් වෙයිද?

අපි ජීවත් වන්නේ අභියෝගාත්මක ලෝකයක, කලබලකාරී බව වැඩිවන ලෝකයක, ගෞරවනීය මිනිසුන් අවම වශයෙන් අපගේ මානව ගරුත්වය අවධාරණය කිරීමට උත්සාහ කරන අතර, අපි සභාවකට අයත් වන අතර අපගේ දැක්ම ඔසවා දිව්‍යමයභාවය වෙතට අපට ආරාධනා කරන ශුභාරංචියක් වැළඳ ගනිමු.

“ස්වර්ගයේ සිටින [අපගේ] පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන්” පරිපූර්ණ වීමට යේසුස්වහන්සේගේ ආඥාව උන්වහන්සේගේ ඉහළ අපේක්ෂාවන් සහ අපගේ සදාකාලික හැකියාවන් පිළිබඳ පැහැදිලි පිළිබිඹුවක්. දැන්, මේ කිසිවක් එක රැයකින් සිද්ධ වෙන්නෙ නැහැ. සභාපති ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්ගේ වචනවලින් එය “අවසානයේ” සිදුවෙයි. නමුත් පොරොන්දුව නම් අපි “ක්‍රිස්තුස්වහන්සේ වෙතට” පැමිණියහොත්, අප “උන්වහන්සේ තුළ පරිපූර්ණ” වෙන බවයි. ඒ සඳහා විශාල වැඩක් කරන්න අවශ්‍ය වෙනවා—නිකම්ම කාර්යයක් නෙමේ, දිව්යමය කාර්යයක්. ඒ තමයි උන්වහන්සේගේ කාර්යය!

දැන්, සුභ පණිවිඩය තමයි, නියත වශයෙන්ම ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේයි, “මක්නිසාද බලන්න, මේ මාගේ කාර්යය සහ මාගේ මහිමයයි—එනම් මනුෂ්‍යයාගේ අමරණීයත්වය සහ සදාකාල ජීවනය ගෙන ඒමයි” ලෙස පැවසීම.

සභාපති රසල් එම්. නෙල්සන්ගේ ආරාධනය “සෙලෙස්ටියල් ලෙස සිතන්න” යන්නෙන් අදහස් කරන්නේ අපගේ දිව්‍යමය ස්වභාවය, සම්භවය සහ විභව ගමනාන්තය පිළිබඳ අපූරු සිහිගැන්වීමක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළින් අපට සෙලෙස්ටියල් මහිමය ලබාගන්න පුළුවන්.

සමහරවිට සාතන් යේසුස්වහන්සේගේ පොළොවේ දේවසේවයේ ආරම්භයේ සිට අවසානය දක්වාම එකම පරීක්ෂාවකින් උන්වහන්සේව පොළඹවා ගත්තේ ඒ නිසා වෙන්න පුළුවන්. යේසුස්වහන්සේ කුරුසියේ එල්ලී සිටියදී, “මග යන්නෝ උන්වහන්සේට නින්දාකරමින්, … නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැසපන්නැයි”කී බව මතෙව් වාර්තා කළා. දෙවියන්වහන්සේට මහිමය වේවා, උන්වහන්සේ සවන් නොදුන් නමුත් ඒ වෙනුවට අපට සියලු සෙලෙස්ටියල් ආශීර්වාද ලබා ගැනීමට මාර්ගය ලබා දුන්නා.

අපේ සතුට වෙනුවෙන් විශාල මිලක් ගෙවා ඇති බව, අපි නිතරම මතක තබා ගමු.

ප්‍රේරිතවර පාවුල් සමඟ මමත් මෙසේ සාක්ෂි දරනවා “අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමග හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමග දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.