“නුඹලා මාගේ මිත්‍රයන්ය”
“නුඹලා මගේ මිතුරන් ය” යන ගැලවුම්කරුවාණන්ගේ ප්‍රකාශය දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් අතර උසස් හා ශුද්ධ සබඳතා ගොඩනගා ගැනීමට කරන ලද පැහැදිලි කැඳවීමකි.
සිවිල් කතිකාවන් විනිශ්චයෙන් සහ උපහාසයෙන් ප්‍රතිස්ථාපනය කර ඇති, මිත්‍රත්වය තමන්ට සමාන ගති පැවතුම් ඇති අය සමඟ පමණක් නිර්වචනය වී ඇති, මතභේද සහ බෙදීම්වලින් පිරුණු ලෝකයක, සමගිය, ආදරය සහ අයිතිය සඳහා අපට පැහැදිලි, සරල හා දිව්‍යමය ආදර්ශයක් ඇති බව මම දැනගත්තා. ඒ ආදර්ශය තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ. ශ්‍රේෂ්ඨ එකමුතු කරන්නා උන්වහන්සේ බව මම සාක්ෂි දරනවා.
අපි උන්වහන්සේගේ මිතුරන්
සභාවේ සංවිධානයෙන් පසු, 1832 දෙසැම්බරයේදී, වෙන කවරදාකවත් තිබුණාට වඩා “ජාතීන් අතර කරදර ඇතිවීම” “වඩා දෘශ්‍යමාන” වෙමින් පැවතීමත් සමඟ, ඔහයෝ කර්ට්ලන්ඩ් හි, පසුදවස්වල ශුද්ධවන්ත නායකයින් සම්මන්ත්‍රණයක් සඳහා රැස් වුණා. ඔවුන් “[ඔවුන්ට] උන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කරන ලෙස ස්වාමින්වහන්සේට වෙන වෙනම සහ හඬ නඟා” යාච්ඤා කළා. දැඩි කරදර කාලවලදී මෙම ඇදහිලිවන්ත සාමාජිකයින්ගේ යාච්ඤාවන් පිළිගැනීමේදී, ස්වාමින්වහන්සේ ඔවුන්ව සනසමින්, “මගේ මිත්‍රවරුනි”—යන බලවත් වචන දෙකකින් මෙම ශුද්ධවන්තයින්ට තුන් වරක් ආමන්ත්‍රණය කළා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බොහෝ කලක සිට තම ඇදහිලිවන්ත අනුගාමිකයන්ව හැඳින්වුවේ තම මිතුරන් ලෙසයි. ගැලවුම්කරුවාණන් පරිශුද්ධ සහ ආදරණීය සම්බන්ධතාවයක් නිර්වචනය කිරීම සඳහා දහම සහ ගිවිසුම් තුළ දහහතර වතාවක් මිතුරා යන යෙදුම භාවිතා කර තිබෙනවා. සමාජ මාධ්‍ය අනුගාමිකයින්ට හෝ “කැමැත්ත දැක්වීම්” වලට යටත්ව—ලෝකය එය නිර්වචනය කරන පරිදි මිතුරා යන වචනය ගැන නොවෙයි මම කතා කරන්නෙ. එය Instagram හෝ X හි හෑෂ් ටැග් එකකින් හෝ අංකයකින් ග්‍රහණය කරගන්නට බැහැ.
යොවුන් වියේදී බිය උපදවන සංවාදවල “මේ අපිට මිතුරන් පමණක් වෙන්න පුළුවන්ද” නැතිනම් “අපි මිතුරු කලාපයේ රැඳී සිටිමු” යන වේදනාකාරී වචන මට මතක් වෙනවා. ශුද්ධලියවිල්ලේ කොතැනකවත්, “ඔබ මගේ මිතුරන් පමණයි” කියා උන්වහන්සේ පවසන ආකාරයක් අපට ඇසෙන්නේ නෑ. ඒ වෙනුවට උන්වහන්සේ ඉගැන්වුවේ මෙහෙමයි “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.” ඒවගේම “නුඹලා දෙවියන්වහන්සේ විසින් මා හට දුන් ඔවුන්ය; නුඹලා මාගේ මිත්‍රයන්ය.”
මේ හැඟීම පැහැදිලියි: ගැලවුම්කරුවාණන් අප සෑම කෙනෙකුම ගණන් කර අප දෙස බලා සිටිනවා. මෙම රැකබලාගැනීමේ සත්කාරය නොවැදගත් හෝ සුළුපටු නෑ. ඒ වෙනුවට, එය උත්කර්ෂවත්, උසස් සහ සදාකාලික යි. “නුඹලා මගේ මිතුරන් ය” යන ගැලවුම්කරුවාණන්ගේ ප්‍රකාශය මම දකින්නේ දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් අතර “අපට ඒකත්වයක් විය හැකි වීම” සඳහා උසස් හා ශුද්ධ සබඳතා ගොඩනගා ගැනීමට කරන ලද පැහැදිලි කැඳවීමක් ලෙසයි. අපි මෙය කරන්නේ එක්සත් වීමට ඇති අවස්ථා සහ සියල්ලන්ටම අයත් වීමේ හැඟීම යන දෙකම සොයමින් අපි එකට එකතු වන විටයි.
අපි උන්වහන්සේ තුළ ඒකත්වයක් වෙනවා
“එන්න, මා අනුගමනය කරන්න” යන ගැලවුම්කරුවාණන්ගේ කැඳවීමේදී උන්වහන්සේ මෙය ඉතා අලංකාර ලෙස පෙන්නුම් කළා. දීමනා සහ එකිනෙකට වෙනස් පුද්ගල ගුණාංග ඇති විවිධ අනුගාමිකයින් පිරිසකගෙන් තෝරාගත් අයව උන්වහන්සේ තම ප්‍රේරිතවරුන් ලෙස හැඳින්වුවා. උන්වහන්සේ ධීවරයන්ව, ජ්වලිතයන්ව, ගර්ජනාවේ පුත්‍රයෝය යන අර්ථය සහිත ශක්තිමත් පෞරුෂය සඳහා ප්‍රසිද්ධ සහෝදරයන්ව සහ බදු එකතු කරන්නෙකුව පවා කැඳවනු ලැබුවා. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔවුන් තුළ තිබූ විශ්වාසය සහ උන්වහන්සේ වෙතට ඇදී ඒමට ඇති ඔවුන්ගේ ආශාව ඔවුන්ව එක්සත් කළා. ඔවුන් උන්වහන්සේ දෙස බලා, උන්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ දැක, “එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව [ගියා].”
උසස් හා පරිශුද්ධ සබඳතා ගොඩනගා ගැනීම අපව ඒකත්වයක් ලෙස එකට ගෙන එන ආකාරය මම ද දැක තිබෙනවා. මගේ බිරිඳ ජෙනිෆර් සහ මම නිව් යෝර්ක් නගරයේ අපේ දරුවන් පස්දෙනාව ඇති දැඩි කිරීමට ආශිර්වාද ලැබුවා. එම කාර්යබහුල අගනගරයේ, අපි අසල්වැසියන්, පාසල් මිතුරන්, ව්‍යාපාරික හවුල්කාරයන්, ඇදහිලි නායකයන් සහ සෙසු ශුද්ධවන්තයන් සමඟ වටිනා හා පරිශුද්ධ සබඳතා ගොඩනගා ගත්තා.
2020 මැයි මාසයේදී, ගෝලීය වසංගතයක් පැතිරීම සමඟ ලෝකය පොරබදමින් සිටියදී, නිව් යෝර්ක් නගරයේ ආගමික නායකයින්ගේ කොමිසමේ සාමාජිකයින් හදිසියේ කැඳවන ලද රැස්වීමකදී අන්තර්ජාලය හරහා හමුවුණා. ඒ සඳහා න්‍යාය පත්‍රයක් තිබුණේ නැහැ. විශේෂ අමුත්තන් සිටියේ නෑ. එය ඇදහිලි නායකයන් ලෙස අප සියල්ලන්ම මුහුණ දෙන අභියෝග ගැන එකට එකතු වී සාකච්ඡා කරන ලෙස ඉල්ලීමක් පමණයි. එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගතයේ කේන්ද්‍රස්ථානය අපේ නගරය බව රෝග පාලන මධ්‍යස්ථානය වාර්තා කර තිබුණා. මෙයින් අදහස් කළේ තවත් එක් රැස්වීම් නොමැති බවයි. තවත් එකතු වීම් නැහැ.
මෙම ආගමික නායකයන්ට, පෞද්ගලික දේවසේවය, සභා රැස්වීම සහ සතිපතා නමස්කාරය ඉවත් කිරීම විනාශකාරී පහරක් වුණා. කාදිනල්වරයෙක්, පූජකවරයෙක්, රබ්බිවරයෙක්, ඉමාම්වරයෙක්, දේවගැතිවරයෙක්, දේවසේවකයෙක් සහ වැඩිහිටියෙකු ඇතුළත් වුණු—අපගේ කුඩා කණ්ඩායම එකිනෙකාට සවන් දී, සනසමින්, සහයෝගය දැක්වුවා. අපගේ වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, අපට පොදු වූ දේ අපි දැක්කා. අපි හැකියාවන් සහ පසුව සම්භාවිතාවන් ගැන කතා කළා. අපි එකතු වී ඇදහිල්ල සහ අනාගතය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු ප්‍රතිචාර දැක්වුවා. ඊට පස්සේ අපි යාච්ඤා කළා. ඇත්තෙන්ම, අපි කෙතරම් යාච්ඤා කළාද.
සංකීර්ණත්වයෙන් හා ගැටෙන සංස්කෘතීන්ගෙන් පිරුණු පොහොසත් විවිධත්වයකින් යුත් නගරයක, අපි එකම හඬකින්, එකම අරමුණකින් සහ එකම යාච්ඤාවකින් මිතුරන් ලෙස එකට එකතු වූ විට අපගේ වෙනස්කම් පහව යන ආකාරය අපි දැක්කා.
අපි තවදුරටත් මේසය හරහා එකිනෙකා දෙස බැලුවේ නෑ, නමුත් අපි එකිනෙකා සමඟ ස්වර්ගය දෙස බලා සිටියා. අපි පසුව එන සෑම රැස්වීමකින්ම වඩාත් එකමුතු වී අපගේ “උදැල්ල” රැගෙන වැඩට යාමට සූදානම්ව සිටියා. එහි ප්‍රතිඵලය වූ සහයෝගීතාවය සහ නිව් යෝර්ක් වැසියන් දහස් ගණනකට කරන ලද සේවය මට ඉගැන්වූයේ බෙදීම, දුරස්ථභාවය සහ වෙන්වීම ඉල්ලා සිටින ලෝකයක, අපව බෙදීමට වඩා අපව එක්සත් කරන බොහෝ දේ සෑම විටම ඇති බවයි. ගැලවුම්කරුවාණන් මෙසේ අයැද සිටියා; “ඒකත්වයක් වන්න; තවද නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය.”
සහෝදර සහෝදරියනි, අපි බෙදීමට හේතු සෙවීම නතර කර ඒවෙනුවට “ඒකත්වයක් වීමට” අවස්ථා සෙවිය යුතුයි. එකිනෙකාගෙන් ඉගෙනීමට සහ පෞද්ගලික වර්ධනයට ආරාධනා කරන අද්විතීය දීමනා සහ ගුණාංග වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කර තිබෙනවා. මම මගේ විශ්වවිද්‍යාල සිසුන්ට නිතර කියපු දෙයක් තමයි; මම ඔබ කරන දේත්, ඔබ මා කරන දේත් කරනවා නම් අපට එකිනෙකා අවශ්‍ය වෙන්නෙ නෑ. නමුත් ඔබ මා කරන දේ නොකරන නිසාත් ඔබ කරන දේ මම නොකරන නිසාත් අපට එකිනෙකා අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය අපිව එකතු කරනවා. බෙදීම සහ ජයගැනීම; මිත්‍රත්වය, පවුල් සහ ඇදහිල්ල විනාශ කිරීමට වූ සතුරාගේ සැලැස්මක්. එකමුතු කරන්නේ ගැලවුම්කරුවාණන්.
අපි අයිති උන්වහන්සේටයි
“ඒකත්වයක් වීම” නිසා ලැබෙනවා යැයි පොරොන්දු වූ ආශිර්වාදවලින් එකක් තමයි ඇතුළත් බවක් දැනීමේ බලවත් හැඟීම. වැඩිහිටි ක්වින්ටින් එල්. කුක් මෙසේ ඉගැන්වුවා “සැබවින්ම අයිති වීමේ නියම තත්වය වන්නේ ක්‍රිස්තුස්වහන්සේ සමඟ එක් වීමයි.”
මගේ පවුලේ අය සමඟ බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාවට මෑතකදී ගිය සංචාරයකදී, මම එහි තිබූ දේශීය චාරිත්‍රයකට ඇලුම් කළා. සභාවකට හෝ නිවසකට පැමිණෙන විට, “ඔබව සාදරයෙන් පිළිගනිමු” යන වචනවලින් අපව පිළිගත්තා. ආහාර පිළිගන්වන විට, අපගේ සත්කාරකයා විසින් “ඔබට ආරාධනා කරනවා” යනුවෙන් නිවේදනය කරනවා. මෙම සරල සුබපැතුම් අරමුණක් සහිතව සහ චේතනාන්විතව ඉදිරිපත් කරනවා. ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබට ආරාධනා කරනවා.
අපි අපගේ රැස්වීම් ශාලාවේ දොරවල් මත ඒ හා සමාන පූජනීය ප්‍රකාශයන් තබනවා. නමුත් අමුත්තන් සාදරයෙන් පිළිගනිමු යන ලකුණ ප්‍රමාණවත් නෑ. දොරවල් හරහා එන සියල්ලන්වම අපි සාදරයෙන් පිළිගන්නවාද? සහෝදර සහෝදරියනි, ආසන පෙළක වාඩිවීම පමණක් ප්‍රමාණවත් නෑ. දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් සමඟ උසස් හා ශුද්ධ වූ සබඳතා ගොඩනගා ගැනීමට ගැලවුම්කරුවාණන්ගේ කැඳවීමට අපි අවනත විය යුතුයි. අපි අපේ ඇදහිල්ල අනුව ජීවත් විය යුතුයි! ගරාජයක නවතා තැබීමෙන් ඔබට මෝටර් රථයක් වෙනවාට වඩා, ඉරිදා දින ඔහේ බංකු පේළියක වාඩි වීමෙන් ඔබ හොඳ කිතුනුවකු බවට පත් නොවන බව මගේ පියා මට නිතර මතක් කළා.
ලෝකය අපව නොදැක නමුත් අප තුළින් උන්වහන්සේව දකින පරිදි අප අපගේ ජීවිතය ගත කළ යුතුයි. මෙය ඉරිදා පමණක් සිදුවිය යුතු දෙයක් නොවේ. එය සිල්ලර සාප්පුවේ, ගෑස් ලබාගන්නා තැන, පාසල් රැස්වීමේ, අසල්වැසියන් එකතු වීමේ, බව්තීස්ම වූ සහ බව්තීස්ම නොවූ—අපගේ පවුලේ සාමාජිකයන් වැඩ කරන සහ ජීවත් වන සියලුම ස්ථානවල සිදු වෙනවා.
අපට එකිනෙකාට අවශ්‍ය බවත් අපට එකට එක්ව උන්වහන්සේව අවශ්‍ය බවත් මතක් කිරීමක් වශයෙන් මම ඉරිදා නමස්කාරයට සහභාගී වෙනවා. ලෞකික ලෝකයක අපව වෙනස් කරන අපගේ අද්විතීය ත්‍යාග සහ දක්ෂතා අපව පූජනීය අවකාශයක එක්සත් කරනවා. එකිනෙකාට උපකාර කිරීමට, එකිනෙකාව ඔසවන්නට සහ එකිනෙකාව දියුණු කිරීමට ගැලවුම්කරුවාණන් අපගෙන් ඉල්ලා තිබෙනවා. ලේ ප්‍රශ්නයෙන් සිටි ස්ත්‍රිය සුව කළ විටත්, උන්වහන්සේගේ දයාව ඉල්ලා සිටි ලාදුරු රෝගියාව පවිත්‍ර කළ විටත්, තව කුමක් කළ හැකිදැයි ඇසූ තරුණ කුමාරයාට උපදෙස් දුන් විටත්, දන්නා නමුත් ඇදහිල්ලෙන් හීන වූ නිකදේමුස්ට ප්‍රේම කළ විටත්, ඒ දවස් වල චාරිත්‍ර වලට නොගැලපෙන නමුත් ළිඳ අසල එම කාන්තාව සමඟ වාඩි වී උන්වහන්සේ එම කාන්තාවට තම මෙසියානු ධර්මදූතය ප්‍රකාශ කළ විටත්, උන්වහන්සේ කළේ එයයි. සභාව කියන්නෙ මට මේකයි—එය රැස්වීමේ සහ ප්‍රකෘතිමත් වීමේ, අලුත්වැඩියා කිරීමේ සහ නැවත අවධානය යොමු කිරීමේ ස්ථානයක්. සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා ඇති පරිදි: “ශුභාරංචි දැල යනු ලොව විශාලතම දැලයි. දෙවියන්වහන්සේ සියලු දෙනාට උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. … එහි සෑම කෙනෙකුටම ඉඩ තිබෙනවා.”
ඔබ අයිති නැති බව ඔබට හැඟෙන අත්දැකීම් සමහරුන්ට තිබෙන්න පුළුවන්. ඔබටත් මටත් ගැලවුම්කරුවාණන්ගේ පණිවිඩය එකයි: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපට සුදුසුම ස්ථානයයි. සභාවට පැමිණීම මගින් වඩා හොඳ දවස් පිළිබඳ බලාපොරොත්තුව, ඔබ තනියම නොවේ යන පොරොන්දුව සහ අපට අවශ්‍ය තරම් අපවත් අවශ්‍ය පවුලක් අපට ලබා දෙනවා. වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් එය මෙසේ තහවුරු කරනවා “පියාණන්වහන්සේ, පුත්‍රයාණන්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ සමඟ එක් වීම නිසැකවම අයිති වීමේ වැදගත්ම දෙයයි.” ඉවත්ව ගොස් නැවත පැමිණීමට අවස්ථාවක් සොයන ඕනෑම කෙනෙකුට මම සදාකාලික සත්‍යයක් සහ ආරාධනයක් පිරිනමනවා: ඔබ අයිතියි. ආපසු එන්න. එයට කාලය හරි.
මතභේදාත්මක හා බෙදුණු ලෝකයක, ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ශ්‍රේෂ්ඨ එක්සත් කරන්නා බවට මම සාක්ෂි දෙනවා. “ඒකත්වයක් වීමටත්” එමෙන්ම “නුඹලා මාගේ මිතුරෝ ය” කියා උන්වහන්සේ මෙන් නිර්භීතව ප්‍රකාශ කිරීමටත් වූ ගැලවුම්කරුවාණන්ගේ ආරාධනයට සුදුසු වෙන ලෙස මම අප එකිනෙකාට ආරාධනා කරන්න කැමතියි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.