2020–2024
යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බැඳී: පොළොවේ ලුණු බවට පත්වීම
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:49

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බැඳී: පොළොවේ ලුණු බවට පත්වීම

අප ස්වාමින්වහන්සේට බැඳී සිටින විට, අපගේ ජීවිත ස්වභාවිකවම උන්වහන්සේගේ ආලෝකය පරාවර්තනය කරනවා, ඒවගේම අපි පොළොවේ ලුණු බවට පත්වෙනවා.

“තවද සදාකාලික ගිවිසුමක් සමඟ, [උන්වහන්සේගේ] සදාකාලික ශුභාරංචියට සහ ගිවිසුමට [අපව] කැඳවන විට, පොළොවේ ලුණු මෙන් [අපව] ගණන්ගනු ලබන” බව ගැලවුම්කරුවාණන් ඉගැන්වුවා. ලුණු සෑදී ඇත්තේ එකට බැඳී ඇති මූලද්‍රව්‍ය දෙකකින්. අපිට අපි විසින්ම ලුණු බවට පත්වෙන්න බැහැ; අපි පොළොවේ ලුණු බවට පත්වීමට නම්, අප ස්වාමින්වහන්සේට බැඳී සිටිය යුතුයි, ඒවගේම ලොව පුරා සිටින සභා සාමාජිකයන් සමඟ මා ඇසුරු කරන විට මා දකින්නේ එයයි—සභාවේ ඇදහිලිවන්ත සාමාජිකයන් ස්වාමින්වහන්සේට බැඳී, අන් අයට සේවය කිරීමට සහ පොළොවේ ලුණු වීමට ඔවුන්ගේ උත්සාහය තුළ කැපවී සිටින ආකාරය මම දකිනවා.

ඔබගේ නොසැලෙන කැපවීම දිදුලන ආදර්ශයක්. ඔබගේ සේවය අගය කරන අතර ඒ ගැන සතුටු වෙනවා.

අපේ යෞවනයන් කැපී පෙනෙන ධෛර්යයක් සහ භක්තියක් පෙන්නුම් කර තිබෙනවා. ඔවුන් පවුල් ඉතිහාසයේ කාර්යය උද්යෝගයෙන් වැලඳගෙන ඇති අතර, ඔවුන් නිතර නිතර ස්වාමින්වහන්සේගේ ගෘහයට පැමිණීම ඔවුන්ගේ කැපවීම පිළිබඳ සාක්ෂියක්. ලොව පුරා ධර්මදූත සේවය කිරීම සඳහා කාලය හා ශක්තිය කැප කිරීමට ඔවුන්ගේ කැමැත්ත මගින් ගැඹුරු සහ ස්ථිර ඇදහිල්ලක් පිළිබිඹු කරනවා. ඔවුන් නිකම්ම සහභාගී නොවී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බැඳී සිටින ගෝලයන් බවට පත්වෙමින් නායකත්වය ගන්නවා. ඔවුන්ගේ සේවය මගින් අසංඛ්‍යාත ජීවිත ස්පර්ශ කරමින් ආලෝකය සහ බලාපොරොත්තුව විහිදුවනවා. සභාවේ යෞවනයනි, ඔබගේ ප්‍රබෝධමත් සේවාවට අපගේ හෘදයාංගම ස්තූතිය අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ සභාවේ අනාගතය පමණක් නොව එහි වර්තමානයද ඔබයි. ඒවගේම ඔබ ඇත්තෙන්ම පොළොවේ ලුණුයි!

මම ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ප්‍රේම කරන අතර ස්වාමින්වහන්සේගේ සභාවේ ඔබ සමඟ සේවය කිරීමට ඇති අවස්ථාවෙන් මම ආශිර්වාදිත බව මට හැඟෙනවා. අපගේ හවුල් ඇදහිල්ල මත පදනම් වූ අපගේ එකමුතුකම සහ ශක්තිය, මෙම ගමනේදී අප කිසි විටෙකත් තනි නොවන බව අපට සහතික කර දෙනවා. අපට එකට එක්ව, සේවය, ප්‍රේමය සහ නොසැලෙන ඇදහිල්ල තුළ මුල් බැසගත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීම දිගටම කරගෙන යන්න පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගලීල මුහුද අසලදී ඉගැන්වූ විට, ගැඹුරු අධ්‍යාත්මික සත්‍යයන් ප්‍රකාශ කිරීම සඳහා උන්වහන්සේ බොහෝ විට තම සෙනඟ වෙනුවෙන් එදිනෙදා කතාවෙන හුරුපුරුදු දේවල් භාවිතා කළා. එවැනි එක් දෙයක් තමයි ලුණු. යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “[නුඹලා] පොළොවේ ලුණු ය” එම ප්‍රකාශය, විශේෂයෙන්ම ලුණුවල බහුවිධ වටිනාකම අවබෝධ කරගත් උන්වහන්සේගේ කාලයේ මිනිසුන් සඳහා, අර්ථයෙන් සහ වැදගත්කමෙන් පොහොසත් ප්‍රකාශයක්.

මගේ මව් රට වන පෘතුගාලයේ දකුණු ප්‍රදේශය වන ඇල්ගාර්වේ ලුණු අස්වැන්න ලබාගැනීමේ මෙම පැරණි ශිල්පය, රෝම අධිරාජ්‍යයේ යුගය දක්වා වසර දහස් ගණනක් ඈතට දිවයනවා. මාර්නෝටෝස් ලෙස හඳුන්වන ලුණු කම්කරුවන් විසින් භාවිතා කරන ලද ක්‍රම එතැන් සිට සුළු වශයෙන් වෙනස් වී තිබීම කැපී පෙනෙනවා. ඔවුන්ගේ කාර්යය සම්පූර්ණයෙන්ම තම අත් වලින් ඉටු කරමින්, සියවස් ගණනාවක් පුරා පැවත එන උරුමයක් පවත්වා ගනිමින්, මෙම කැපවූ ශිල්පීන් සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම භාවිතා කරනවා.

මෙම පුරාණ ක්‍රමය මගින් “ලුණු මල්” ලෙස හඳුන්වන අස්වැන්න නෙළා ගන්නවා. ලුණු මල් අස්වැන්න නෙළීමේ සංකීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අගය කිරීමට, එය නිපදවන පරිසරය ගැන තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ඇල්ගාර්වේ වෙරළබඩ ලුණු වගුරු බිම් ලුණු නිෂ්පාදනය සඳහා කදිම පසුබිමක් සපයනවා. මුහුදු ජලය ලුණු ලේවා ලෙස හඳුන්වන නොගැඹුරු පොකුණු වෙත යොමු කරනු ලබන අතර, එය දැඩි හිරු රශ්මිය යටතේ වාෂ්ප වීමට ඉඩ හරිනවා. ජලය වාෂ්ප වන විට, ලුණු මල් ලුණු භාජනවල මතුපිට සියුම් කැට හදනවා. මෙම කැට ඇදහිය නොහැකි තරම් පිරිසිඳු වන අතර එයට අද්විතීය, කැඩෙන සුළු ස්වභාවයක් තිබෙනවා. මාර්නෝටෝස් පුද්ගලයින් විසින් විශේෂ මෙවලම් භාවිතයෙන් ජල මතුපිටින් ඇති කැට ඉතා පරිස්සමින් ඉවත් කරනවා, මෙම ක්‍රියාවලියට විශාල කුසලතා සහ නිරවද්‍යතාවයක් අවශ්‍යයි. පෘතුගාලයේ, මෙම සියුම් ගුණයෙන් යුත් ලුණු “ලුණු යොදය” ලෙස හඳුන්වනු ලබන්නේ එය කිරි මුදුනට නැගෙන යොදය මෙන් මෘදු ලෙස ඉවත් කළ හැකි නිසයි. එය සූපශාස්ත්‍ර කලාවේ වටිනා අමුද්‍රව්‍යයක් බවට පත්කරමින්, මෙම සියුම් ලුණු එහි සංශුද්ධතාවය සහ සුවිශේෂී රසය සඳහා අගය කරනු ලැබෙනවා.

මාර්නෝටෝස් පුද්ගලයින් විසින් ඉහළම තත්ත්වයේ ලුණු අස්වැන්න සහතික කිරීමට මහත් පරිශ්‍රමයක් දරන්නා සේම, ස්වාමින්වහන්සේගේ ගිවිසුම් සෙනඟ වශයෙන් අප සැමවිටම අපගේ ප්‍රේමය සහ ආදර්ශය හැකිතාක් දුරට අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පිරිසිඳු පිළිබිඹුවක් වන පරිදි අපගේ උපරිමය කළ යුතුයි.

පුරාණ ලෝකයේ ලුණු රසකාරකයකට වඩා වැඩි දෙයක් වුණා—එය අත්‍යවශ්‍ය කල් තබා ගන්නා ද්‍රව්‍යයක් වූ අතර පිරිසිඳුකමේ සහ ගිවිසුමේ සංකේතයක්. ආහාර කල් තබා ගැනීමට සහ රසය වැඩි කිරීමට ලුණු අත්‍යවශ්‍ය බව මිනිසුන් දැන සිටියා. ලුණු දූෂණය වීමෙන් හෝ තනුක වීමෙන් එහි ලවණතාව හෝ රසය නැති වී යාමේ බරපතල කාරණාව ගැනත් ඔවුන් තේරුම් ගෙන සිටියා.

ලුණුවල සාරය නැති විය හැකි සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල අක්‍රමවත් වුවහොත් අපගේ අධ්‍යාත්මික ජීව ශක්තියද අපට අහිමි වෙන්න පුළුවන්. පිටතින් අපේ කිසිඳු වෙනසක් නොපෙනෙනවා වෙන්න පුළුවන්, ඒත් දැඩි අභ්‍යන්තර ඇදහිල්ලක් නොමැතිව, ලෝකයේ වෙනසක් කිරීමට සහ අප අවට සිටින අයගේ හොඳම දේ ඉස්මතු කිරීමට ඇති හැකියාව අපට අහිමි වී යනවා.

එසේනම්, අද ලෝකයට අවශ්‍ය වෙනස කිරීමට සහ වෙනස් වීමට අපට අපගේ ශක්තිය සහ උත්සාහයන් යොමු කරන්න පුළුවන් කොහොමද? අපට අනුගාමිකත්වය රැකගෙන දිගටම ධනාත්මක බලපෑමක් වෙන්න පුළුවන් කොහොමද?

අපගේ ආදරණීය අනාගතවක්තෘවරයාගේ වචන තවමත් මගේ මනසෙහි දෝංකාර දෙනවා: “දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප එකට එක්ව වැඩ කර එකිනෙකාට උපකාර කිරීමයි. උන්වහන්සේ අපව පවුල් වශයෙන් පොළොවට එවා අපව කොට්ඨාශ හා ස්ටේක ලෙස සංවිධානය කරන්නේ එබැවිනුයි. එකිනෙකාට සේවය කිරීමට හා දේවසේවය කිරීමට උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ එබැවිනුයි. ලෝකයේ ජීවත් වන්නටත්, නමුත් ලෝකයෙන් නොවන්නටත්, උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ එබැවිනුයි.”

අපගේ ජීවිත අරමුණෙන් සහ සේවයෙන් පිරී ඇති විට, අපි අධ්‍යාත්මික උදාසීනත්වය වළක්වා ගන්නවා; අනෙක් අතට, අපගේ ජීවිතයේ දිව්‍යමය අරමුණු, අන්‍යයන්ට ලබාදෙන අර්ථවත් සේවය සහ මෙනෙහි කිරීමට සහ නැවත ආවර්ජනය කිරීමට ඇති පූජනීය අවස්ථාවන් අහිමි වූ විට, අපි ක්‍රමක්‍රමයෙන් අපගේම ක්‍රියාකාරකම් සහ ආත්මාර්ථකාමීත්වය නිසා හුස්ම හිර වී අපගේ රසය නැති කර ගැනීමේ අවදානමකට ලක් වෙනවා. මෙයට එරෙහි ප්‍රතිවිරෝධය තමයි—ඉතා උවමනාවෙන් යහපත් වැඩවල නිරත වෙමින් සහ අපගේ සහ අප ජීවත් වන සමාජයේ අභිවෘද්ධිය තකා වැඩ කිරීමෙන්, නොකඩවා සේවයේ නිරත වීම.

මාගේ දයාබර සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට අයත් වීමටත්, උන්වහන්සේගේ සභාවෙහි සේවය කිරීමට අවස්ථාව ලැබීමත්, අද අප සැමට මොනතරම් ආශිර්වාදයක්ද? අපගේ තත්වයන් වෙනස් වෙන්න පුළුවන්, නමුත් අප සියල්ලන්ටම වෙනසක් කරන්න පුළුවන්.

මාර්නෝටෝස් යන ලුණු කම්කරුවන්ව මතක තබාගන්න; ඔවුන් හොඳම කැට, හොඳම ලුණු අස්වැන්න නෙලාගැනීම සඳහා භාවිතා කරන්නේ සරල මෙවලම්! කුඩා හා අර්ථාන්විත ක්‍රියාවන්හි නිරතුරු වෑයමක් දැරීමෙන්, අපගේ අනුගාමිකත්වය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති කැපවීම ගැඹුරු කළ හැකි සරල දේවල් අපටත් කරන්න පුළුවන්. පොළොවේ ලුණු වීමට අපට උත්සාහ කළ හැකි සරල නමුත් ගැඹුරු ක්‍රම හතරක් මෙන්න:

  1. ස්වාමින්වහන්සේගේ ගෘහය අපගේ භක්තියේ කේන්ද්‍රස්ථානය ලෙස තබාගැනීම. දැන් දේවමාළිගා වෙන කවරදාකටත් වඩා සමීප නිසා, ස්වාමින්වහන්සේගේ ගෘහයේ නිතිපතා නමස්කාරයට ප්‍රමුඛත්වය දීම අපට වඩාත් වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කිරීමට සහ අපගේ ජීවිත ක්‍රිස්තුස්වහන්සේ තුළ කේන්ද්‍රගතව තබා ගැනීමට උදව් වෙයි. දේවමාළිගාවේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලේ හදවත සහ උන්වහන්සේ කෙරෙහි අපගේ භක්තියේ ආත්මය අපට හමුවෙනවා.

  2. එකට එකතු වී ශුභාරංචිය අනුව ජීවත් වීමෙන් අන් අයව ශක්තිමත් කිරීමට අපගේ උත්සාහයන් තුළ ඕනෑකමින්ම ඇලී සිටීම. අපගේ ජීවිතවලට සහ අපගේ නිවෙස්වලට ශුභාරංචි ප්‍රතිපත්ති ගෙන ඒම සඳහා අප ගන්නා අඛණ්ඩ සහ චේතනාන්විත උත්සාහයන් තුළින් අපට අපගේ පවුල් ශක්තිමත් කරන්න පුළුවන්.

  3. කැඳවීමක් පිළිගෙන සභාවේ සේවය කිරීමට කැමැත්තෙන් සිටීම. අපේ ප්‍රදේශවල ඇති සභාවන් තුළ සේවය කිරීමෙන් එකිනෙකාට සහයෝගය දැක්වීමට සහ එකට වර්ධනය වීමට අපට ඉඩ සලසනවා. සේවය කිරීම සැමවිටම පහසු නොවන නමුත්, එය සැමවිටම හොඳ ප්‍රතිඵල ලබා දෙනවා.

  4. අවසාන වශයෙන්, ඩිජිටල් සන්නිවේදන මෙවලම් අරමුණක් ඇතිව භාවිතා කිරීම. අද ඩිජිටල් සන්නිවේදන මෙවලම් අපට පෙර නොවූ විරූ ලෙස සම්බන්ධ වීමට ඉඩ සලසනවා. ඔබ බොහෝ දෙනෙක් මෙන්, මම සභාවේ සහෝදර සහෝදරියන් සමඟ සහ මගේ පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධ වීමට මෙම මෙවලම් භාවිතා කරනවා. මම ඔවුන් සමඟ සම්බන්ධ වන විට, මට ඔවුන්ට සමීප බවක් දැනෙනවා; අපට භෞතිකව පෙනී සිටිය නොහැකි විට අවශ්‍ය අවස්ථාවලදී එය භාවිතයෙන් අපට එකිනෙකාට දේවසේවය කරන්න පුළුවන්. මෙම මෙවලම් නිසැකවම ආශිර්වාදයක්, නමුත් ඒවාට අපව අර්ථවත් අන්තර්ක්‍රියාවල ගැඹුරෙන් අපව ඉවතට ඇද දමා, අවසානයේ අඩු අරමුණු සහිත ක්‍රියාකාරකම්වල අපගේ කාලය නාස්ති කරන පුරුදුවලට අපව ඇද දමන්න පුළුවන්. පොළොවේ ලුණු බවට පත්වීමට උත්සාහ කිරීමට, අඟල් හයක (15 සෙ.මී) තිරයක් මත නිමක් නැති රීල් අනුචලනයකට වඩා බොහෝ දේ ඇතුළත්.

අප අපගේ ජීවිතයේ ස්වාමින්වහන්සේගේ ගෘහය කේන්ද්‍රගතව තබා ගනිමින්, ශුභාරංචිය අනුව ජීවත් වීමෙන් ඉතා උවමනාවෙන් අනෙක් අයව ශක්තිමත් කරන විට, සේවය කිරීමට කැඳවීම් පිළිගන්නා විට සහ අරමුණක් ඇතිව ඩිජිටල් මෙවලම් භාවිතා කරන විට, අපට අපගේ අධ්‍යාත්මික ජීව ගුණය රැකගන්න පුළුවන්. ලුණු එහි පිරිසිඳු ස්වරූපයෙන් ඇති විට එයට රසය වැඩි කිරීමට හා කල් තබාගැනීමට බලය තිබෙනවා වගේම, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල පෝෂණය කරන විට සහ ක්‍රිස්තුස්වහන්සේ මෙන් සේවය කිරීමට සහ ආදරය කිරීමට කැපවීම මගින් එය ආරක්ෂා වන විට, අපේ ඇදහිල්ලත් එම ලුණු මෙන් වෙනවා.

අප ස්වාමින්වහන්සේට බැඳී සිටින විට, අපගේ ජීවිත ස්වභාවිකවම උන්වහන්සේගේ ආලෝකය පරාවර්තනය කරනවා, ඒවගේම අපි පොළොවේ ලුණු බවට පත්වෙනවා. මෙම ප්‍රයත්නය තුළ අපි අපේ ජීවිතය පොහොසත් කරනවා පමණක් නොව අපගේ පවුල් සහ අපගේ ප්‍රජාවන් ද ශක්තිමත් කරනවා. ස්වාමින්වහන්සේ සමඟ ඇති මෙම බැඳීම පවත්වා ගැනීමටත්, කිසි විටෙකත් අපගේ රසය නැති කර නොගෙන, ස්වාමින්වහන්සේට අවශ්‍ය පුංචි, කුඩා ලුණු කැට වීමටත් අපි උත්සාහ කරමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.