2020–2024
අපේ කැරැල්ලේ ආයුධ සම්පූර්ණයෙන්ම වළලා දැමීම
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


13:12

අපේ කැරැල්ලේ ආයුධ සම්පූර්ණයෙන්ම වළලා දැමීම

අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට එරෙහි කැරැල්ලේ ඕනෑම අංගයක්—ඉතා ගැඹුරින්, ඉතාමත්ම ගැඹුරින්—අපි වළලමු, ඒ වෙනුවට කැමැත්තෙන් යුතු හදවතක් හා කැමැත්තෙන් යුතු මනසක් ඇති කරගනිමු.

ක්‍රිස්තුස්වහන්සේගේ උපතට, ආසන්න වශයෙන් වසර 90 කට පමණ පෙර, මොසායා රජුගේ පුත්‍රයන් විසින් ලාමන්වරුන් වෙත යන වසර 14ක ධර්මදූතයක් දියත් කළ බව මොර්මොන්ගේ පොත වාර්තා කරනවා. ලාමන්වර ජනයාට ක්‍රිස්තුස්වහන්සේගේ දහම කෙරෙහි විශ්වාසයක් ඇති කිරීමට පරම්පරා ගණනාවක් තිස්සේ අසාර්ථක උත්සාහයන් ගෙන තිබුණා. කෙසේවෙතත්, මෙවර, ශුද්ධාත්මයාණන්වහන්සේගේ ආශ්චර්යමත් මැදිහත්වීම් හරහා, දහස් ගණනක් ලාමන්වරුන් හැරී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් බවට පත් වුණා.

අපි මෙහෙම කියවනවා, “තවද ස්වාමින්වහන්සේ ජීවත් වීම සත්‍යයක් මෙන්ම, ඉතා ස්ථීරයෙන් බොහොමයක් විශ්වාස කළහ, හෝ බොහෝ දෙනෙකුව සත්‍යයේ දැනගැන්මට ගෙන එනු ලැබුවෝය, අම්මොන් සහ ඔහුගේ සහෝදරයන්ගේ දේශනාවන් තුළින් ආත්මයේ එළිදරව් වීම සහ අනාවැකියට අනුව තවද දෙවියන්වහන්සේගේ බලය ඔවුන් තුළ හාස්කම් කරමින්—එසේය, මම නුඹට කියමි, ස්වාමින්වහන්සේ ජීවත් වන්නාක් මෙන්ම ලාමන්වරුන්ගෙන් බොහෝ අය ඔවුන්ගේ දේශනාවන් විශ්වාස කරමින් කිසි දිනයක ඇදහිල්ලෙන් නොවැටීමටද, ස්වාමින්වහන්සේ වෙතට හරවනු ලැබුවෝය.”

මෙම සෙනඟගේ කල් පවතින පරිවර්තනයේ ප්‍රධාන හේතුව ඊළඟ පදයේ සඳහන් වෙනවා: “මක්නිසාද ඔව්හු ධර්මිෂ්ඨ ජනතාවක් වූහ; ඔවුහු ඔවුන්ගේ කැරලිකාර ආයුධ පහතට දැමුවෝය, එනම් ඔවුහු තවදුරටත් දෙවියන්වහන්සේට විරුද්ධවද ඔවුන්ගේ කිසිම සහෝදරයෙකුට විරුද්ධවද සටන් නොකළහ.”

“කැරලිකාර ආයුධ” ගැන මෙම සඳහන වචනානුසාරයෙන් මෙන්ම සංකේතාත්මකද වුණා. එයින් අදහස් කළේ ඔවුන්ගේ කඩු සහ වෙනත් යුද ආයුධ පමණක් නොව දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ ආඥාවලට තිබූ ඔවුන්ගේ අකීකරුකම ගැනයි.

මෙම පරිවර්තනය වූ ලාමන්වරුන්ගේ රජ ඒ ගැන ප්‍රකාශ කළේ මේ ආකාරයටයි: “තවද දැන් බලන්න මාගේ සහෝදරයෙනි, අපට කළ හැකි සියල්ල එය වූයේය, එනම් අපගේ සියලු පාපයන්ට පසුතැවිලි වීමද, අප විසින් කරන ලද බොහෝ මිනීමැරීම් ද අපගේ හදවත් වෙතින් ඒවා ඉවතට ගැනීමට දෙවියන්වහන්සේට ඉඩ දීමය, මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියේ සෑහෙන ලෙස පසුතැවිලි වීමට එනම් උන්වහන්සේ අපගේ පැල්ලම ඉවතට ගැනීමට අපට කළ හැකි සියල්ල එයයි.”

රජුගේ එම වචන සැලකිල්ලට ගන්න—ඔවුන්ගේ අවංක පසුතැවිල්ල ඔවුන්ගේ පව්වලට සමාව දීමට පමණක් නොවේ, නමුත් දෙවියන්වහන්සේ එම පාපවල පැල්ලම සහ ඔවුන්ගේ හදවත්වලින් පව් කිරීමට ඇති ආශාව පවා ඉවත් කළා. ඔබ දන්නා පරිදි, දෙවියන්වහන්සේට එරෙහි ඔවුන්ගේ පෙර කැරලිකාරී තත්වයට ආපසු පැමිණීමේ අවදානමට වැටෙනවාට වඩා, ඔවුන් ඔවුන්ගේ කඩු වළ දැම්මා. ඔවුන් වෙනස් වූ හදවත් සමඟ ඔවුන්ගේ භෞතික ආයුධ වළලන විට, ඔවුන් පාපයට නැඹුරු වීමේ හැකියාවද වළලා දැම්මා.

මෙම රටාව අනුගමනය කිරීමට, ඒවා මොනවා වුණත් “[අපගේ] කැරලිකාර ආයුධ බිම තැබීමට” සහ පාපයේ පැල්ලම සහ පාපයට ඇති ආශාව අපගේ හදවත් වලින් ඉවත් වී, අප කිසි විටෙකත් නොවැටෙන පිණිස “ස්වාමින්වහන්සේ වෙතට හැරීමට” අපට කළ හැක්කේ කුමක්දැයි අපට අපගෙන්ම අසාගන්න පුළුවන්.

කැරැල්ල ක්‍රියාකාරී හෝ උදාසීන වෙන්න පුළුවන්. චේතනාන්විත කැරැල්ලේ සම්භාව්‍ය උදාහරණය වනුයේ ලුසිෆර්, ඔහු පෙර ආත්මික ලෝකයේදී, පියාණන්වහන්සේගේ මිදීමේ සැලැස්මට විරුද්ධ වූ අතර, ඊට විරුද්ධ වීමට අන් අය ද පෙළගස්වාගත් නිසා, “බොහෝ දෙනෙක් ඔහු පසුපස ගියා.” අපේ කාලයේ ඔහුගේ අඛණ්ඩ කැරැල්ලේ බලපෑම වටහා ගැනීම අපහසු නෑ.

මොර්මොන්ගේ පොතේ අශුද්ධ ක්‍රිස්තු-විරෝධී ත්‍රිත්වය වන—ෂෙරම්, නෙහෝර් සහ කොරිහෝර්—දෙවියන්වහන්සේට එරෙහි ක්‍රියාකාරී කැරැල්ල පිළිබඳ සම්භාව්‍ය අධ්‍යයනයක් සපයනවා. නෙහෝර් සහ කොරිහෝර්ගේ මූලික ප්‍රවාදය වුණේ පාපයක් නැති බවයි; එබැවින් පසුතැවිලි වීමට අවශ්‍ය නෑ, එවගේම ගැලවුම්කරුවෙක් නෑ. “සියලු මනුෂ්‍යයෝ ඔහුගේ බුද්ධි ප්‍රභාව අනුව සමෘධිමත් වන්නේය, තවද එනම් සියලු මනුෂ්‍යයෝ ඔහුගේ ශක්තියට අනුව ජයග්‍රහණය කරන්නෝය, තවද මනුෂ්‍යයා කරන කවරාකාර දෙයක් වුවත් වරදක් නොවන්නේය.” නියෝග සහ ගිවිසුම් යනු “පැරණි පූජකයින් විසින් ඔවුන් වෙත බලය සහ අධිකාරිය පවරා ගැනීමට” ඉදිරිපත් කරන දේවල් යැයි කියමින්, මෙම ක්‍රිස්තුස් විරෝධීන් ආගමික අධිකාරිය ප්‍රතික්ෂේප කරනවා.

විලියම් ඩබ්. ෆෙල්ප්ස්

ප්‍රීතිමත් අවසානයක් සහිත කැමැත්තෙන්ම කළ කැරැල්ලක පසුදවස්වල උදාහරණයක් තමයි විලියම් ඩබ්ලිව්. ෆෙල්ප්ස්ගේ කතාව. ෆෙල්ප්ස් 1831 දී සභාවට සම්බන්ධ වූ අතර ඔහුව සභාවේ මුද්‍රණකරු ලෙස පත්කරනු ලැබුවා. ඔහු සභාවේ මුල් ප්‍රකාශන කිහිපයක් සංස්කරණය කළා, ගීතිකා රාශියක් ලිව්වා, ඒවගේම ජෝසෆ් ස්මිත්ට ලියන්නෙකු ලෙස සේවය කළා. අවාසනාවකට මෙන්, ඔහු සභාවට සහ අනාගතවක්තෘවරයාට එරෙහිව හැරී, මිසුරි උසාවියක් තුළ ජෝසෆ් ස්මිත්ට එරෙහිව බොරු සාක්ෂි දී, අනාගතවක්තෘවරයාව එහි සිරගත කිරීමට පවා දායක වුණා.

පසුව, ෆෙල්ප්ස් සමාව ඉල්ලමින් ජෝසෆ්ට ලිව්වා. “මම මගේ තත්වය දන්නවා, ඔබ එය දන්නවා, දෙවියන්වහන්සේ එය දන්නවා, මගේ මිතුරන් මට උදව් කරනවා නම් මට ගැලවීමට අවශ්‍යයි.”

ඔහුගේ පිළිතුරෙහි අනාගතවක්තෘවරයා මෙසේ ප්‍රකාශ කළා: “ඔබගේ හැසිරීම නිසා අපි බොහෝ දුක් විඳ ඇති බව ඇත්ත. … කෙසේ වෙතත්, කුසලානය පානය කර තිබෙනවා, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ කැමැත්ත ඉටු වී තිබෙනවා, ඒවගේම අපි තවමත් ජීවතුන් අතර සිටිනවා. … යුද්ධය අවසන් වී ඇති නිසාත්, මුලින් මිතුරන් නැවතත් අවසානයේ මිතුරන් වෙන නිසාත්, එන්න, ආදරණීය සහෝදරයා.”

අවංක පසුතැවිල්ලකින්, විලියම් ෆෙල්ප්ස් ඔහුගේ “කැරලිකාර ආයුධ” වළලනු ලැබුවා, ඒවගේම නැවත කිසි දිනෙක නොවැටෙන ලෙස පූර්ණ අනුගාමිකත්වය නැවත වරක් ලබා ගත්තා.

කෙසේවෙතත්, සමහර විට දෙවියන්වහන්සේට එරෙහි කැරැල්ලේ වඩාත් ද්‍රෝහී ස්වරූපය වන්නේ නිෂ්ක්‍රීය අනුවාදයයි—ඒ කියන්නේ අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ කැමැත්ත නොසලකා හැරීමයි. සක්‍රීය කැරැල්ලක් ගැන කිසිදා නොසලකන බොහෝ දෙනෙක්, දිව්‍යමය මගපෙන්වීම් නොසලකා තමන්ගේම මාර්ගයක් අනුගමනය කරමින් දෙවියන්වහන්සේගේ කැමැත්තට සහ වචනයට විරුද්ධව යන්න පුළුවන්. වසර ගණනාවකට පෙර ගායක ෆ්‍රෑන්ක් සිනාත්‍රා විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ගීතයේ හොඳින් මතකයේ රැඳෙන පාඨයක් වන “මම එය මගේ ආකාරයෙන් කළා” යන පාඨය මට මතක් වෙනවා. නිසැකවම ජීවිතයේ පුද්ගලික මනාපයන් සහ පුද්ගල තේරීම් සඳහා ඕනෑ තරම් ඉඩ තිබෙනවා, නමුත් ගැලවීම සහ සදාකාල ජීවනය පිළිබඳ කාරණා සම්බන්ධයෙන්, අපගේ තේමා ගීතය විය යුත්තේ, “මම එය කළේ දෙවියන්වහන්සේගේ මාර්ගයෙන්” කියන පදයයි, මොකද ඇත්ත වශයෙන්ම එහි වෙනත් මාර්ගයක් නැහැ.

උදාහරණයක් ලෙස, බව්තීස්මය සම්බන්ධයෙන් ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය ගන්න. උන්වහන්සේ බව්තීස්මයට යටත් වුණේ පියාණන්වහන්සේට පක්ෂපාතීත්වය පෙන්වීමක් ලෙස සහ අපට ආදර්ශයක් ලෙසයි:

“උන්වහන්සේ ශුද්ධව සිටියත් තවද මාංශයට අනුව තමාව පියාණන්වහන්සේ ඉදිරියෙහි යටහත් කරන බවත්, උන්වහන්සේ පියාණන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙහි උන්වහන්සේ කීකරු වනු ඇති බවත් උන්වහන්සේ පෙන්වනු ලැබූසේක. …

“තවද උන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ට කතා කරමින්: ඔබ මා අනුගමනය කරන්නැයි කීසේක. එසේහෙයින්, මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, අපි පියාණන්වහන්සේගේ ආඥා පිළිපැදීමට කැමැත්තෙන් සිටීම මගින් හැර අපට යේසුස්වහන්සේව අනුගමනය කළ හැකිද?”

අපි ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරනවා නම් “මගේ මාර්ගය” කියා එකක් නැහැ. ස්වර්ගය කරා යාමට වෙනස් මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ කිරීම කියන්නෙ, ක්‍රිස්තුස්වහන්සේ දෙස සහ උන්වහන්සේගේ ගැලවීම දෙස බලා සිටීමට වඩා බාබෙල් කුළුණ මත වැඩ කිරීමේ නිෂ්ඵල භාවය වගේ එකක්.

පරිවර්තනය වූ ලාමන්වරුන් විසින් වළලන ලද කඩු සහ වෙනත් ආයුධ කැරලිකාර ආයුධ වුණා, එසේ වුණේ ඒවා ඔවුන් භාවිතා කළ ආකාරය නිසයි. ඔවුන්ගේ පුතුන් අත තිබූ එම වර්ගයේම ආයුධ, පවුල සහ නිදහස ආරක්ෂා කිරීම සඳහා භාවිතා කළ ඒවා වූ නිසා, ඒවා කිසිවිටෙකත් දෙවියන්වහන්සේට විරුද්ධව කැරලිගැසීමේ ආයුධ වුණේ නෑ. නෙපීවරුන් අත තිබූ එවැනි ආයුධ සම්බන්ධයෙන්ද මෙය සත්‍යයක් වුණා: “ඔවුහු රාජ්‍යයක් හෝ බලයක් සඳහා සටන් නොකළහ එහෙත් ඔවුන් ඔවුන්ගේ නිවෙස් සහ ඔවුන්ගේ නිදහසද, ඔවුන්ගේ භාර්යාවන් සහ ඔවුන්ගේ දරුවන් සඳහාද, තවද ඔවුන්ගේ සියල්ල සඳහාද, එසේය, ඔවුන්ගේ නමස්කාරයේ අයිතිය සහ ඔවුන්ගේ සභාව සඳහාද කළහ.”

මේ ආකාරයෙන්ම, අපගේ ජීවිතයේ මධ්‍යස්ථ හෝ සහජයෙන්ම හොඳ දේවල් තිබෙන්නට පුළුවන් වුණත්, ඒවා වැරදි ආකාරයෙන් භාවිතා කළොත් ඒවා “කැරලිකාර ආයුධ” බවට පත්වෙන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, අපගේ කතාවට කෙනෙක්ව ධෛර්යවත් කිරීමට හෝ පහත හෙළන්නට පුළුවන්. යාකොබ් මෙහෙම කිව්වා:

“නුමුත් දිව [පෙනෙන ලෙස] දමනය කරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. ඒක කැරළිකාර වූ, මරණීය විෂයෙන් පූර්ණ වූ, නපුරු දෙයක්ය.

“එයින් ස්වාමි වූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසා කරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවන ලද මනුෂ්‍යයන්ට අපි ශාප කරමුව.

“ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.”

අද ප්‍රසිද්ධියේ සහ පුද්ගලික කතිකාවන් තුළ ද්වේෂසහගත සහ නීච වූ බොහෝ දේ තිබෙනවා. යෞවනයන් අතර පවා අසභ්‍ය හා අපකීර්තිමත් සංවාද තිබෙනවා. මේ ආකාරයේ කතා, දෙවියන්වහන්සේට එරෙහිව “මාරාන්තික විෂවලින් පිරී ඇති” “කැරලිකාර ආයුධ” වෙනවා.

අත්‍යවශ්‍යයෙන්ම හොඳ දෙයක් වන නමුත් එය දිව්‍යමය මගපෙන්වීම් වලට එරෙහිව හැරවිය හැකි පුද්ගලයෙකුගේ වෘත්තියක් වැනි උදාහරණයක් ගැන සලකා බලන්න. කෙනෙකුට වෘත්තියක, රැකියාවක හෝ සේවාවක් තුළ සැබෑ තෘප්තියක් ලබා ගත හැකි අතර, බොහෝ ක්ෂේත්‍රවල කැපවී සිටින සහ දක්ෂ පුද්ගලයින් විසින් ඉටු කර ඇති සහ නිර්මාණය කර ඇති දේවල්වලින් අප සැමට ප්‍රතිලාභ ලැබෙනවා.

කෙසේ වෙතත්, වෘත්තිය සඳහා කැපවීම කෙනෙකුගේ ජීවිතයේ ප්‍රධාන අවධානය යොමු කරන දෙය බවට පත්වෙන්න පුළුවන්. එවිට ගැලවුම්කරුවාණන් කෙනෙකුගේ කාලය සහ දක්ෂතාවය මත කළ හැකි ඕනෑම හිමිකම් පෑමක් ඇතුළුව, අනෙක් සියල්ල දෙවනි කොට සැලකෙනවා. පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටත්, විවාහයට ඇති නීත්‍යානුකූල අවස්ථාවන්, තම සහකරු හෝ සහකාරියට නොගැලපීම සහ ඔවුනොවුන්ව ඔසවා තැබීමට අපොහොසත් වීම, තම දරුවන් පෝෂණය කිරීමට අපොහොසත් වීම, හෝ වෘත්තීය දියුණුව සඳහා පමණක් දරුවන් ඇති දැඩි කිරීමේ ආශිර්වාදය සහ වගකීම හිතාමතාම මගහැරීම යන දේවල් මගින්, ප්‍රශංසනීය ජයග්‍රහණයක් යම් ආකාරයක කැරැල්ලක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්.

තවත් උදාහරණයක් අපගේ භෞතික පැවැත්මට අදාළ වෙනවා. අප ශරීරයෙන් හා ආත්මයෙන් දෙවියන්වහන්සේව මහිමයට පත් කළ යුතු බව සහ මෙම ශරීරය ශුද්ධාත්මයාණන්ගේ දේවමාළිගාව බවත්, “එය දෙවියන්වහන්සේගෙන් ලැබූ [බවත්], නුඹලා නුඹලාටම අයිති නැති [බවත්]” පාවුල් අපට මතක් කර දෙනවා. මේ අනුව, අපට හැකි උපරිමයෙන් අපගේ ශරීරය රැකබලා ගැනීම සඳහා කාලය ගත කිරීමට අපට සැබවින්ම උනන්දුවක් තිබිය යුතුයි. ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ තුළ මෑතක දී අප දුටු කාර්ය සාධනයේ උච්චතම ස්ථානයට අපෙන් ස්වල්ප දෙනෙක් ළඟා වෙයි, ඒවගේම අපගෙන් සමහරක් වයසේ ප්‍රතිවිපාක අත්විඳිමින් සිටිමින් ඇති, නැතහොත් සභාපති එම්. රසල් බැලර්ඩ් විසින් හැඳින්වූ “රිවට් ගැලවී යන” ආකාරයට පත්වෙමින් ඇති.

එසේ වුවද, අපගේ මැවුම්කරුවාණන්ගේ පුදුමාකාර තෑග්ගක් වන භෞතික ශරීරය පිළිබඳ සැලකිලිමත් වීමට අප අපගේ උපරිමය කරන විට උන්වහන්සේ ඒ ගැන සතුටු වන බව මම විශ්වාස කරනවා. කෙනෙකුගේ ශරීරය විරූපී කිරීම හෝ අපවිත්‍ර කිරීම හෝ එය අපයෝජනය කිරීම හෝ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම සඳහා කළ හැකි දේ කිරීමට අපොහොසත් වීම එම කැරැල්ලේ ලකුණක්. ඒ අතරම, නිෂ්ඵලකම සහ කෙනෙකුගේ ශරීරය, පෙනුම හෝ ඇඳුම සම්බන්ධයෙන් අගෝභන වීම අනෙක් අන්තයේ කැරැල්ලේ ආකාරයක් විය හැකි අතර, එමගින් දෙවියන්වහන්සේට නමස්කාර කරනවා වෙනුවට දෙවියන්වහන්සේගේ තෑග්ගට නමස්කාර කිරීමට යමෙකුව යොමු කරන්න පුළුවන්.

අවසානයේදී, දෙවියන්වහන්සේට එරෙහි අපගේ කැරලිකාර ආයුධ වළලා දැමීම යන්නෙන් අදහස් කරන්නේ, ශුද්ධාත්මයාණන්ගේ පොළඹවා ගැනීමට යටත් වෙමින්, ස්වභාවික මිනිසා පසෙකට කර, “ස්වාමින් වූ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ශුද්ධවන්තයෙකු” වීමයි. එයින් අදහස් කරන්නේ පළමු ආඥාවට අපගේ ජීවිතයේ මුල් තැන දීමයි. එහි තේරුම දෙවියන්වහන්සේට ජය ගැනීමට ඉඩ දීමයි. දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය සහ අපගේ මුළු ශක්තියෙන්, මනසින් සහ බලයෙන් උන්වහන්සේට සේවය කිරීමට ඇති අපගේ අධිෂ්ඨානය, අප සියල්ල විනිශ්චය කර අපගේ සියලු තීරණ ගන්නා උරගල බවට පත් වුවහොත්, එයින් අදහස් වන්නේ අපි අපගේ කැරලිකාර ආයුධ වළලා දමා ඇති බවයි. ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන්, දෙවියන්වහන්සේ අපගේ අතීත පාප සහ කැරලි වලට සමාව දෙන අතර අපගේ හදවතේ ඇති එම පාප සහ කැරලි වල පැල්ලම ඉවත් කරයි. කාලයාගේ ඇවෑමෙන්, උන්වහන්සේ අතීතයේ සිටි ආගමට හැරුණු ලාමන්වරුන් සමඟ කළාක් මෙන්, නපුර සඳහා ඇති ඕනෑම ආශාවක් පවා දුරු කරයි. ඊට පස්සේ, අපිත් “කවදාවත් වැටෙන එකක් නැහැ.”

අපගේ කැරැල්ලේ ආයුධ වළලා දැමීම අද්විතීය ප්‍රීතියකට මග පාදනවා. ස්වාමින්වහන්සේ වෙතට හැරී ඇති සියල්ලන් සමඟ, අපි “[ප්‍රේමය මුදවා ගැනීමේ ගීතය] ගායනා කිරීමට ගෙන එනු ලැබෙයි.” අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන, අපගේ මිදුම්කරුවාවණන්, ඉතාමත් ගැඹුරු ප්‍රේමය සහ පරිත්‍යාගය තුළින් අපගේ අවසාන සතුට සඳහා උන්වහන්සේලාගේ නොනවතින කැපවීම තහවුරු කර තිබෙනවා. උන්වහන්සේලාගේ ප්‍රේමය අපි දිනපතා අත්විඳිනවා. නිසැකවම අපට අපගේම ආදරය හා පක්ෂපාතීත්වය සමඟ ප්‍රතිඋපකාර කරන්න පුළුවන්. අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට එරෙහි කැරැල්ලේ ඕනෑම අංගයක්—ඉතා ගැඹුරින්, ඉතාමත්ම ගැඹුරින්—අපි වළලමු, ඒ වෙනුවට කැමැත්තෙන් යුතු හදවතක් හා කැමැත්තෙන් යුතු මනසක් ඇති කරගනිමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.