ඔබ පවිත්‍ර වෙන්න
දිනපතා පසුතැවිලි වීම ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම වටහා ගැනීමට අපට ඉඩ සලසනවා.
මට වයස අවුරුදු පහේදී විතර, මම කෝට් ඩි අයිවෝර් හි මගේ කුඩා ගම්මානයේ සභාව පිටුපස මගේ මිතුරන් සමඟ පාපන්දු සෙල්ලම් කරමින් සිටියා. ගැලවුම්කරුවාණන්ගේ පැමිණීම සඳහා සූදානම් වීම සඳහා ඔවුන්ගේ ඇඳුම් පිරිසිඳු කරගන්නා ලෙස දේශකයා තම සමූහයට කළ කැඳවීම මට හොඳට මතකයි. කුඩා වියේදී, මම මෙම කැඳවීම වචනාර්ථයෙන් ගත්තා. මම මගේ පුංචි කකුල් දෙකට මාව උසුලාගෙන යන්න පුළුවන් තරම් වේගයෙන් ගෙදර දුවගෙන ඇවිත් මගේ ඇඳුම් ටික පිරිසිඳු කර දෙන්න කියා මගේ අම්මාට කන්නලව් කළා, එවිට මට නොකැළැල්ව ඉන්නට සහ ඊළඟ දවසේ ගැලවුම්කරුවාණන්ගේ පැමිණීමට සූදානම් වෙන්න පුළුවන්. ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම ළඟදීම සිදුවීම ගැන මගේ මව සැකයෙන් සිටියා වුවත්, ඇය මගේ හොඳම ඇඳුම සේදුවා.
පසුදා උදෑසන, මම තරමක් තෙත්ව තිබූ ඇඳුම් ඇඳගෙන, ගැලවුම්කරුවාණන්ගේ පැමිණීම පිළිබඳ නිවේදනය එනතෙක් ආශාවෙන් බලා සිටියා. දවස ගෙවී ගොස් කිසිවක් සිදු නොවූ නිසා මම රැස්වීම් ශාලාවට යාමට තීරණය කළා. සභාව හිස් බව සහ ගැලවුම්කරුවාණන් පැමිණ නැති බව දැකීමෙන් මම දැඩි කලකිරීමට පත් වුණා. මම හෙමින් හෙමින් ගෙදර යනකොට මගේ හැඟීම් ඔබට හිතාගන්න පුළුවන්.
වසර ගණනාවකට පසු, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට සම්බන්ධ වීමට සූදානම් වීමේ ධර්මදූත පාඩම් ලබමින් සිටියදී, මම පහත සඳහන් දේ කියෙව්වා: “තවද අපවිත්‍ර දෙයක් උන්වහන්සේගේ රාජ්‍යය තුළට ඇතුළත් වීමට නොහැකිය; එසේහෙයින් එම ඔවුන්ගේ වස්ත්‍රයෙන් මාගේ රුධිරයෙන් සෝදගත්තවුන්ද, ඔවුන්ගේ ඇදහිල්ලද ඔවුන්ගේ සියලු පාපයන්ට පසුතැවිල්ලද, අවසානය දක්වා ඔවුන්ගේ ඇදහිලිවන්තභාවය නිසා මිස උන්වහන්සේගේ විශ්‍රාමට කිසිවෙක් ඇතුල් නොවන්නෝය.”
වසර ගණනාවකට පෙර මගේ කුඩා මනසට මගහැරී ගිය වැදගත් සත්‍යය අවබෝධ කර ගැනීමට එකල මා ලද පැහැදිලි කිරීම් මට උපකාර වුණා. එදා එම දේශකයාගේ පණිවිඩය කේන්ද්‍රගත වූයේ ආත්මික පවිත්‍රත්වයේ වැදගත්කම මතයි. පසුතැවීම සොයන ලෙසත්, ඔවුන්ගේ ජීවිතවල වෙනස්කම් සිදු කරන ලෙසත්, ගැලවීම සඳහා ගැලවුම්කරුවාණන් වෙත හැරෙන ලෙසත් ඔහු සමුහයාගෙන් ඉල්ලා සිටියා.
අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ අපගේ ලෞකික ගමන සහ අපගේ ජීවිතයේ පාපය නොවැළැක්විය හැකි බව තේරුම් ගෙන තියෙනවා. අපගේ වැරදි වලට සමාව දීම සඳහා උන්වහන්සේ ගැලවුම්කරුවාණන්ව ලබා දීම ගැන මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ගැලවුම්කරුවාණන්ගේ මිදීමේ පරිත්‍යාගය තුළින්, අප සෑම කෙනෙකුටම පසුතැවිලි වී සමාව ඉල්ලා පවිත්‍ර වෙන්න පුළුවන්. ශුභාරංචියේ මූලික ප්‍රතිපත්තියක් වන පසුතැවීම, අපගේ අධ්‍යාත්මික සංවර්ධනයට සහ ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන විට ඔරොත්තු දීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා.
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය අතරතුර, සභාපති රසල් එම්. නෙල්සන් සභාවේ සෑම සාමාජිකයෙකුටම දිනපතා පසුතැවීමේ ප්‍රීතිය අත්විඳීමට ආරාධනා කළා. ඔහු මෙසේ පැවසුවා:
“කරුණාකර පසුතැවිලි වීමට බය වෙන්න එපා, ඒවගේම එය ප්‍රමාද කරන්න එපා. සාතන් ඔබේ දුක්ඛිත තත්වය ගැන සතුටු වෙනවා. එය කෙටි කරන්න. ඔහුගේ බලපෑම ඔබේ ජීවිතයෙන් ඉවතට විසි කරන්න! ස්වභාවික මිනිසාව ඉවත් කිරීමේ සතුට අත්විඳීමට අදම ආරම්භ කරන්න. ගැලවුම්කරුවාණන් සැමවිටම අපට ප්‍රේම කරන නමුත් විශේෂයෙන්ම අප පසුතැවිලි වන විට අපට ප්‍රේම කරනවා. …
“ඔබ ගිවිසුම් මාර්ගයෙන් පිටතට බොහෝ දුර ගොස් හෝ බොහෝ ඈතට ගොස් ඇති බවත්, නැවත පැමිණීමට මාර්ගයක් නොමැති බවත් ඔබට හැඟේ නම්, එය සරලවම ඇත්තක් නොවේ.”
ඔබ සම්පූර්ණයෙන් පසුතැවිලි නොවූ දෙයක් තිබේ නම්, ඔබේ පසුතැවීම කල් නොදැමීමට සභාපති නෙල්සන්ගේ ඉල්ලීමට අවනත වන ලෙස මම ඔබව දිරිමත් කරනවා. මෙම ක්‍රියාවලියේ නිරත වීමට යම් ධෛර්යයක් අවශ්‍ය වෙන්න පුළුවන්; කෙසේ වෙතත්, සැබෑ පසුතැවිල්ලෙන් උපදින ප්‍රීතිය, අවබෝධය අභිබවා යන බව මට සහතික වෙන්න පුළුවන්. පසුතැවීම තුළින්, අපගේ වරදකාරි බර ඉවත් කර සාමය සහ සන්සුන් භාවය පිළිබඳ හැඟීමක් සමඟ එය ප්‍රතිස්ථාපනය වෙනවා. අපි දැඩි ලෙස පසුතැවිලි වන විට, අපිව ගැලවුම්කරුවාණන්ගේ රුධිරය තුළින් පාරිශුද්ධ කරනු ලබන අතර, ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙළඹවීම සහ බලපෑම් කෙරෙහි අපගේ සංවේදීතාව වැඩි කරනවා.
මගේ සදාකාලික සහකාරිය උපත ලැබුවේ ශ්‍රවණාබාධයකින් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රවණාධාර පළඳින්න ඕනේ. දූවිලි හා දහඩිය මෙම උපාංගවල ක්‍රියාකාරීත්වයට බලපෑ හැකි අතර, ඒ නිසා සෑම උදෑසනකම ඇය ආධාරක පැළඳීමට පෙර සම්බන්ධක නල ඉතා උනන්දුවෙන් පිරිසිඳු කරන ආකාරය මම නිරීක්ෂණය කරනවා. මෙම සරල නමුත් ස්ථාවර චර්යාව ඕනෑම අපිරිසිඳුකමක්, තෙතමනයක් හෝ ඝනීභවනයක් ඉවත් කරනවා, එමගින් ඇයගේ ශ්‍රවණය සහ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව වැඩි දියුණු කරනවා. ඇය මෙම දෛනික චාරිත්‍රය නොසලකා හරින විට, ඇගේ ඇසීමේ හැකියාව දවස පුරා අඩාල වෙනවා; කතා කරන වචන ටිකෙන් ටික වියැකී ගොස් අවසානයේ ඇහෙන්නෙ නැතුව යනවා. ඇයගේ දෛනික ශ්‍රවණාධාර පිරිසිඳු කිරීම ඇයට පැහැදිලිව ඇසීමට ඉඩ සලසන ආකාරයටම, දිනපතා පසුතැවිලි වීම ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම වටහා ගැනීමට අපට ඉඩ සලසනවා.
ස්වාමින්වහන්සේගේ ලෞකික දේවසේවයේ අවසානයට ආසන්නව සහ ගෙත්සෙමන උයනට පිටත්ව යාමට පෙර, එළඹෙන පරීක්ෂාවන්ට මුහුණ දීමට උන්වහන්සේ තම ගෝලයන්ව සූදානම් කළා. උන්වහන්සේ ඔවුන්ට සහතික වෙමින් මෙසේ කිව්වා. “නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවන සේක.”
ශුද්ධාත්මයාණන්වහන්සේගේ අත්‍යවශ්‍ය කර්තව්‍යයන්ගෙන් එකක් වන්නේ එම මෘදු, අභ්‍යන්තර කටහඬට සවන් දෙන සෑම පුද්ගලයෙකුටම අවවාද කිරීම, මෙහෙයවීම සහ මගපෙන්වීමයි. ශ්‍රවණාධාරකයේ අවහිර වූ සන්නිවේදන නල නිසි ක්‍රියාකාරීත්වයට බාධාවක් විය හැකි සේම, භයානක වැරදි වැටහීම්වලට හෝ උන්වහන්සේගේ උපදෙස් නොඇසීමට මගපාදමින් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ අපගේ අධ්‍යාත්මික සම්බන්ධයද දුර්වල වෙන්න පුළුවන්. අන්තර්ජාලයේ පැමිණීම වෙන කවරදාටත් වඩා තොරතුරු වෙත ප්‍රවේශ වීම වඩාත් පහසු කරා. මගපෙන්වීම ලබාගැනීම සඳහා ,දෙවියන්වහන්සේ වෙතට වඩා, ලෝකය දෙසට හැරීමට මෙය අපට මගපාදනවා. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූවා, “එලඹෙන දිනයන්හිදී, මගපෙන්වීම, මෙහෙයවීම, සැනසීම සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ නිසැක ආනුභාවයෙන් තොරව ආත්මිකව බේරෙන්නට අපහසු වනු ඇත.
අපගේ ස්ථිර කිරීමේ අවස්ථාවේදී අප සෑම කෙනෙකුටම ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබීමට හැකිවීම ගැන මම කෘතඥ වෙනවා. කෙසේ වෙතත්, සභපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ අනතුරු ඇඟෙව්වා “ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව තුළින් ලබා ගත හැකි ආශීර්වාද යෝග්‍යතාවය මත පදනම් වේ [සහ] ‘ස්වාමින්වහන්සේගේ ආත්මය අශුද්ධ දේවමාළිගාවල පදිංචි වන්නේ නෑ’ [හිලමන් 4:24].”
අනාගතවක්තෘවරුන්ගේ සහ ප්‍රේරිතවරුන්ගේ මගපෙන්වීම් අනුගමනය කිරීමට අපි දැනුවත්ව තෝරා ගන්නා විට, ශුද්ධාත්මයාණන්වහන්සේව නිරන්තර සහකරුවෙකු ලෙස ලබා ගැනීමට අපගේ හැකියාව වර්ධනය වෙනවා. ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අපට අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ කැමැත්තට අනුකූල වන තීරණ ගැනීම සඳහා, ඉක්මන් සිතුවිලි සහ හැඟීම් පිළිබඳ පැහැදිලි බවක් ලබා දෙනවා. අපගේ අධ්‍යාත්මික වර්ධනය සඳහා ශුද්ධාත්මයාණන්වහන්සේ නිරන්තර සහකරුවෙකු ලෙස සිටීම ඉතා වැදගත් වෙනවා.
මට මෑතකදී යූටා හි සෝල්ට් ලේක් ග්‍රේන්ජර් වෙස්ට් ස්ටේකයේ ස්ටේක සම්මන්ත්‍රණයක මුලසුන දැරීමට පැවරුණා. මෙම රැස්වීම අතරතුර, ධර්මිෂ්ඨ ජීවිතයක් හා දෛනික පසුතැවිල්ලක් තුළින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙළඹවීම් අවබෝධ කරගැනීමේ හැකියාව උද්‍යෝගයෙන් වර්ධනය කරගත් ස්ටේක සභාපතිවරයෙකු මට හමුවුණා. අපගේ දේවසේවයේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, අපි නිවාස තුනකට සංචාර සම්බන්ධීකරණය කළා. අපගේ අවසාන සංචාරය නිම කිරීමෙන් පසු, අපගේ මීළඟ හමුවට මිනිත්තු 30ක් පමණ ඉතිරිව ඇති බව අපි දැක්කා. අප නැවත ස්ටේක මධ්‍යස්ථානය වෙත ගමන් කරන විට, සභාපති චෙස්නට් හට තවත් එක් පවුලක් බැලීමට යන්න හැඟීමක් ඇති වුණා. අපි දෙදෙනාම මෙම හැඟීම අනුගමනය කිරීමට එකඟ වුණා.
අපි ජෝන්ස් පවුල බැලීමට ගියා, එහිදී ජෝන්ස් සහෝදරිය අසනීප නිසා ඇඳට වී සිටින බව අපි දැකගත්තා. ඇයට පූජකවර ආශිර්වාදයක් අවශ්‍ය බව පෙනෙන්නට තිබුණා. ඇයගේ අවසරය ඇතිව අපි ඇයට එය ලබා දුන්නා. අපි පිටත් වෙන්න සූදානම් වෙද්දී, ජෝන්ස් සහෝදරිය ඇහුවා ඇයට ආශීර්වාදයක් අවශ්‍ය බව අපි දන්නේ කොහොමද කියලා. සත්‍ය තමයි, අපි දැනගෙන හිටියේ නැහැ. කෙසේ වෙතත්, ඇගේ අවශ්‍යතා ගැන දැන සිටි අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ, සභාපති චෙස්නට්ව ඇගේ නිවසට පැමිණීමට පොළඹවනු ලැබුවා. නිසල, කුඩා හඬේ මගපෙන්වීමට අප ප්‍රතිචාර දක්වන විට, අවශ්‍යතා ඇති අයට වඩාත් ඵලදායි ලෙස දේවසේවය කිරීමට අපි වඩා හොඳින් සන්නද්ධ වෙනවා.
කාරුණික හා ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ ගැන මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සැබෑ බවත්, අප ශුද්ධාත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම අනුගමනය කිරීමට ඉගෙන ගන්නා විට, පසුතැවිලි වීමටත්, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ බලය අපගේ ජීවිත තුළ භාවිතා කිරීමටත් උන්වහන්සේ අපව යොමු කරන බවට මම සාක්ෂි දරනවා. සභාපති රසල් එම්. නෙල්සන් අද පොළොවේ ඇති සියලුම පූජකවර යතුරු සහිත ස්වාමින්වහන්සේගේ සැබෑ සහ ජීවමාන අනාගතවක්තෘවරයායි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.