යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම සරලයි
ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සරල දහම ඉගැන්වීමේ පරිශුද්ධ කාර්යය ගැන මම සාක්ෂි දරනවා.
දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ව දුක්ඛිත තත්වයට පත්කරන විනාශ කරන්නා වන සාතන්ගේ නිරන්තර බලවේගයන් විසින් පරීක්ෂාවට ලක්වන සහ අභියෝගයට ලක්වන, අප ආදරය කරන පවුලේ සාමාජිකයන් අප සැමටම ඉන්නවා. අප බොහෝ දෙනෙකුට නිදි නැති රාත්‍රීන් තිබී ඇති. අවදානමට ලක්ව සිටින ජනතාවව, යහපත සඳහා සෑම බලවේගයකින්ම වට කිරීමට අපි උත්සාහ කර තිබෙනවා. අපි ඔවුන් වෙනුවෙන් යාච්ඤාවෙන් අයැද තිබෙනවා. අපි ඔවුන්ට ආදරය කර තිබෙනවා. අපි දෙන්න පුළුවන් හොඳම ආදර්ශය දීලා තිබෙනවා.
පුරාණ කාලයේ සිටම නැණවත් අනාගතවක්තෘවරයෙකු වූ ඇල්මා එවැනිම පරීක්ෂාවන්ට මුහුණ දුන්නා. ඔහු නායකත්වය දුන් සහ ආදරය කළ මිනිසුන් දරුණු සතුරෙකුගේ ප්‍රහාරයට නිතර ලක් වූ නමුත්, ඔවුන් තවමත් දුෂ්ට ලෝකයක ධර්මිෂ්ඨ දරුවන් ඇති දැඩි කිරීමට උත්සාහ කරමින් සිටියා. ඇල්මාට හැඟුණේ ජයග්‍රහණය පිළිබඳ ඔහුගේ එකම බලාපොරොත්තුව සමහර විට අප අවතක්සේරු කළ හැකි දෙයක් සහ බොහෝ විට ඉතා අඩුවෙන් භාවිතා වෙන බලවේගයක් බවයි. ඔහු දෙවියන්වහන්සේගේ උපකාරය ඉල්ලා සිටියා.
දෙවියන්වහන්සේගේ උපකාරය ලැබීම සඳහා ඔහු නායකත්වය දුන් අය මෙන්ම ඔහුගේ විරුද්ධවාදීන් ද පසුතැවිලි විය යුතු බව ඇල්මා දැන සිටියා. එබැවින් ඔහු සටනට වෙනස් ප්‍රවේශයක් තෝරා ගත්තා.
මොර්මොන්ගේ පොත එය මේ ආකාරයෙන් විස්තර කරනවා: “දැන්, වචනය දේශනා කිරීම මගින් මිනිසුන්ව සාධාරණ දේ කිරීමට පෙළඹවීම සඳහා විශාල ප්‍රවණතාවක් ඇති බැවින්, ඔව්, එය කඩුවට හෝ වෙනත් දෙයකට වඩා ජනතාවගේ මනස කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර තිබේ. එය ඔවුන්ට සිදු විය. එබැවින් ඇල්මා සිතුවේ ඔවුන් දේවවචනයේ ගුණාංගය උත්සාහ කිරීම සුදුසු බවය.”
දෙවියන්වහන්සේගේ වචනය කියන්නෙ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් විසින් ඉගැන්වූ දහමයි. මෙම දහමේ වචනවලට විශාල බලයක් ඇති බව ඇල්මා දැන සිටියා.
දහම සහ ගිවිසුම් 18 වන කොටසෙහි, ස්වාමින්වහන්සේ තම දහමේ පදනම එළිදරව් කරනවා:
“මක්නිසාද, බලන්න, මම සැමතැනම සිටින සියලු මනුෂ්‍යයන් හට පසුතැවිල්ලට ආඥා කරන්නෙමි. …
“මක්නිසාද, බලන්න, නුඹගේ ස්වාමින් වූ මිදුම්කරුවාණන්, මාංශයෙන් යුතුව මරණය වින්ද සේක; එසේහෙයින් උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ වේදනා වින්ද සේක, එනම් සියලු මනුෂ්‍යයන් පසුතැවිලිව උන්වහන්සේ වෙතට පැමිණෙන පිණිසය.
“තවද උන්වහන්සේ නැවතත් මරණය වෙතින් නැවත නැගිටි සේක, එනම් සියලු මනුෂ්‍යයන්, පසුතැවිල්ලේ කොන්දේසිය මත, උන්වහන්සේ වෙතට ගෙන එන පිණිසය.”
“තවද නුඹලා බිම වැටී පියාණන්වහන්සේට මාගේ නාමයෙන් නමස්කාර කළ යුතුවන්නෝය.
“… යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, නුඹලා පසුතැවිලි වී, බව්තීස්ම වෙයල්ලා.”
“නුඹලාට ලැබෙන්නේ යැයි විශ්වාස කරමින්, ඇදහිල්ල සහිතව, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඉල්ලන්න, තවද … ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලාට ලැබෙන්නේය.”
“තවද දැන්, නුඹලා මෙය ලබාගත් පසුව, නුඹලා මාගේ ආඥාවන් සියලු දේවලදී පිළිපැදිය යුතු වන්නෝය.”
“නුඹ මත ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගන්න, තවද සත්‍යය සන්සුන්ව කතා කරන්න.
“තවද පසුතැවිලි වී, යේසුස් ක්‍රිස්තුස් වන මාගේ නාමයෙන් බව්තීස්ම වන සියල්ලෝම, අවසානය දක්වා දරාගන්නේද, ඔවුහු ගැලවීම ලබාගන්නෝය.”
එම ඡේද කිහිපය තුළ, ගැලවුම්කරුවාණන්ගේ දහම ඉගැන්විය යුතු ආකාරය පිළිබඳ උන්වහන්සේ අපට එම කදිම ආදර්ශය ලබා දෙනවා. මෙම දහම තමයි ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලබා ගැනීම සහ අවසානය දක්වා විඳදරාගැනීම දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ආශිර්වාද කරන බව.
අප ආදරය කරන අයට මෙම ප්‍රතිපත්ති උගන්වන විට, සත්‍යය දැන ගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උපකාර කරනවා. අපට ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙළඹවීම් අවශ්‍ය වන බැවින්, සත්‍ය දහම ඉගැන්වීමෙන් ඔබ්බට ගිය සමපේක්ෂන හෝ පුද්ගලික අර්ථකථනයෙන් අප වැළකිය යුතුයි.
ඔබ පෙළඹවීමට උත්සාහ කරන පුද්ගලයාට ඔබ ආදරය කරන විට එය කිරීමට අපහසු වෙන්න පුළුවන්. ඔහු හෝ ඇය, එම උගන්වා ඇති දහම නොසලකා හැර තිබෙනවා වෙන්න පුළුවන්. අලුත් හෝ සංවේදී දෙයක් උත්සාහ කිරීම පෙළඹෙන සුළු දෙයක්. නමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ සත්‍යයේ ආත්මය එළිදරව් කරනු ඇත්තේ, අප ප්‍රවේශම් සහගතව සහ සත්‍ය දහමෙන් ඔබ්බට නොයෑමට ප්‍රවේශම් වන විට පමණයි. අසත්‍ය ඉගැන්වීම්වලට ළංවීම පවා වළක්වා ගත හැකි ස්ථිරම ක්‍රමයක් තමයි අපගේ ඉගැන්වීමේදී සරල බව තෝරා ගැනීම. ඒ සරල බව නිසා ආරක්‍ෂාව ලැබෙනවා, ඒවගේම අවදානම අඩු වී යනවා.
දරුවන් පසුව ඔවුන් කරා පැමිණෙන රැවටිලිකාරයාගේ පෙළඹවීම්වලට හසු නොවෙන්නට කලින්, ඔවුන් ඉගෙන ගත යුතු සත්‍යයන් සමාජ මාධ්‍ය ඝෝෂාවෙන්, සම වයසේ මිතුරන් සහ ඔවුන්ගේම පුද්ගලික අරගල වල ගිලී යාමට බොහෝ කලකට පෙර, මේ ගැන සරලව ඉගැන්වීමෙන් මෙම ගැලවීමේ දහම ඔවුන්ට වේලාසනින්ම බෙදා ගැනීමට ඉඩ සලසනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් දරුවන් සමඟ බෙදාගැනීමට අපි සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුයි. ප්‍රතිවිරුද්ධ බලවේගවල නොපසුබස්නා උත්සාහයට සාපේක්ෂව මෙම ඉගැන්වීමේ අවස්ථා ඉතා වටිනවා. දරුවෙකුගේ ජීවිතයට දහම ඇතුල් කිරීමට ගත කරන සෑම පැයකටම, ඒ ගැලවීමේ සත්‍යයන්ට අභියෝග කරන හෝ ඒවා නොසලකා හරින පණිවිඩ සහ රූපවලින් පිරුණු ගණන් කළ නොහැකි තරමේ පැය ගණනාවක විරුද්ධවාදිකම් තිබෙනවා.
විනෝද වීම තුළින් ඔබේ දරුවන්ව ඔබට සමීප කරගැනීම වඩා හොඳ දැයි ඔබගෙන් සමහරෙකුට සිතිය හැකිය, නැතහොත් ඔබේ ඉගැන්වීම් නිසා දරුවා වෙහෙසට පත් විය හැකිදැයි ඔබ සිතන්නට පුළුවන්. ඒ වෙනුවට, අපි මෙසේ සලකා බැලිය යුතුයි, “මෙතරම් සුළු කාලයක් සහ ඉතා සුළු අවස්ථාවන් සමඟ, ඔවුන්ගේ ඇදහිල්ලට ඇති නොවැළැක්විය හැකි අභියෝගවලට එරෙහිව ඔවුන්ව ශක්තිමත් කිරීමට මට බෙදාගත හැකි දහමේ වචන මොනවාද?” ඔබ අද බෙදාගන්නා වචන ඔවුන් ඔවුන් සමඟ රැගෙන යන වචන විය හැකි අතර, අද දිනය ඉක්මනින් ගෙවී යයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම බෙදා ගැනීමට මගේ මිත්තණිය වූ මේරි බොම්මේලිගේ භක්තිය මම සැමවිටම අගය කරනවා. ඇයට වයස අවුරුදු 24 දී ස්විට්සර්ලන්තයේ ධර්මදුතයින් විසින් ඇයගේ පවුලට උගන්වා තිබුණා.
බව්තීස්ම වීමෙන් පසු, මේරි ඇමරිකාවේ ශුද්ධවන්තයින් හා සම්බන්ධ වීමට කැමති වූ අතර, ඇය ස්විට්සර්ලන්තයේ සිට බර්ලිනයට ගිය අතර පවුලේ ඇඳුම් සඳහා රෙදි විවීමට ඇයව යොදවා ගත් කාන්තාවක් සමඟ රැකියාවක් සොයා ගත්තා. මේරි සේවකයකු සඳහා තිබූ කාමරයක ජීවත් වූ අතර නිවසේ සාලයේ ඇගේ රෙදි වියනය සකස් කර ගත්තා.
එකල, බර්ලිනයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ දහම ඉගැන්වීම නීති විරෝධීයි. නමුත් ඇය ඉගෙනගත් දේවල් බෙදාගැනීමෙන් ඇයට වැළකී සිටිය නොහැකි බව මේරිට තේරුණා. මේරි උගන්වන දේ ඇසීමට එම නිවසේ කාන්තාව සහ ඇගේ මිතුරන් රෙදි වියනය වටේට රැස් වුණා. ඇය ජෝසෆ් ස්මිත්ට ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දර්ශනය වීම, දේවදූතයන්ගේ පැමිණීම සහ මොර්මොන්ගේ පොත ගැන කතා කළා. ඇල්මාගේ වාර්තා සිහිපත් කරමින් ඇය නැවත නැගිටීමේ මූලධර්මය ගැන ඉගැන්වූවා. සෙලෙස්ටියල් රාජ්‍යයේදී පවුල් නැවත එක්විය හැකි බවට ඇය සාක්ෂි දුන්නා.
නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිබඳ දහම බෙදා ගැනීමට මේරිගේ උද්යෝගය ඉක්මනින්ම ඇයට කරදර ඇති කළා. වැඩි කල් යන්නට මත්තෙන් පොලිසිය මේරිව බන්ධනාගාරගත කළා. අතරමගදී ඇය පොලිස් නිලධාරියාගෙන් පසුදා උදෑසන පෙනී සිටීමට නියමිත විනිසුරුවරයාගේ නම ඉල්ලා සිටියා. ඇය ඔහුගේ පවුල ගැනත් ඔහු හොඳ පියෙක් සහ ස්වාමිපුරුෂයෙක් ද කියාත් ඔහුගෙන් විමසුවා. පොලිස් නිලධාරියා විසින් එම විනිසුරුවරයාව ලෝකයේ මිනිසෙකු ලෙස හැඳින්වුවා.
සිරගෙදරදී, මේරි පැන්සලක් සහ කඩදාසියක් ඉල්ලා සිටියා. මොර්මොන්ගේ පොතේ විස්තර කර ඇති පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම ගැන සාක්ෂි දෙමින්, ආත්මික ලෝකය ගැන සාකච්ඡා කරමින් සහ පසුතැවිලි වීම පැහැදිලි කරමින්, ඇය විනිසුරුවරයාට ලිපියක් ලිවීමට ඒ රාත්‍රිය ගත කළා. අවසාන විනිශ්චයට මුහුණ දීමට පෙර විනිසුරුවරයාට ඔහුගේ ජීවිතය ගැන මෙනෙහි කිරීමට කාලය අවශ්‍ය බව ඇය යෝජනා කළා. ඔහුට පසුතැවිලි වීමට බොහෝ දේ ඇති බව ඇය දන්නා බවත්, එය ඔහුගේ පවුල දැඩි ලෙස ශෝකයට පත් කරන අතර ඔහුට මහත් ශෝකයක් ගෙන දෙන බවත් ඇය ලිවුවා. උදෑසන, ඇය තම ලිපිය අවසන් කළ පසු එය පොලිස් නිලධාරියාට දී එය විනිසුරුවරයාට භාර දෙන ලෙස ඉල්ලා සිටියා, එමෙන්ම ඔහු එය කිරීමට එකඟ වුණා.
පසුව විනිසුරුවරයා විසින් පොලිස් නිලධාරියාව තම කාර්යාලයට කැඳවා තිබුණා. මේරි ලියා තිබූ ලිපිය, ඇය නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිබඳ දහම උගන්වමින් සිටි බවටත්, එසේ කිරීමෙන් නීතිය කඩ කරන බවටත් ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂියක් වුණා. කෙසේ වෙතත්, පොලිස් නිලධාරියා නැවත මේරි සිටි සිර මැදිරියට පැමිණීමට වැඩි වේලාවක් ගත වුණේ නෑ. සියලු චෝදනා ඉවත දැමූ බවත් ඇයට යාමට නිදහස ඇති බවත් ඔහු ඇයට පැවසුවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිබඳ ඉගැන්වීම ඇයව සිරගත කිරීමට හේතු වුණා. ඇය පසුතැවිලි වීමේ මූලධර්මය විනිසුරුවරයාට ප්‍රකාශ කිරීම නිසා ඇයව සිරෙන් එළියට දැම්මා.
මේරි බොම්මේලිගේ ඉගැන්වීම ඇයව නිදහස් කිරීමෙන් අවසන් වුණේ නෑ. ඇයගේ වචනවල වාර්තාව තවමත් නූපන් පරම්පරාවන් හරහා වුවත් සත්‍ය දහම රැගෙන ගියා. ආගමට අලුතින් හැරී ආ අයෙකුට පවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඉගැන්විය හැකි බවට වූ ඇයගේ විශ්වාසය නිසා ඇගේ පරම්පරාව ඔවුන්ගේම සටන්වලදී ශක්තිමත් වනු ඇති බව සහතිකයක් වුණා.
අපි ආදරය කරන අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම ගැන ඉගැන්වීමට අපි අපේ උපරිමය කරන විට, සමහරු තවමත් ප්‍රතිචාර නොදක්වන්න පුළුවන්. ඔබේ සිතට සැකය පහළ වෙන්න පුළුවන්. ගැලවුම්කරුවාණන්ගේ දහම ඵලදායි ලෙස ඉගැන්වීමට තරම් ඔබ එය දන්නේදැයි ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරගන්නවා වෙන්න පුළුවන්. ඔබ දැනටමත් එය ඉගැන්වීමට උත්සාහ කර ඇත්නම්, ධනාත්මක බලපෑම් වඩාත් දෘශ්‍යමාන නොවන්නේ මන්දැයි ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන්. එම සැකයන් වලට ඉඩ දෙන්න එපා. උපකාරය සඳහා දෙවියන්වහන්සේ වෙත හැරෙන්න.
“එසේය, නුඹේ සියලු උපකාරයන් සඳහා දෙවියන්වහන්සේ වෙතට මොරගසන්න; … නුඹගේ හදවතේ ආදරය සදාකාලයටම ස්වාමින්වහන්සේ වෙත තබන්න.”
“තවද දැන් එනම් නුඹලා යටහත් වනවාට මම කැමැත්තෙමි, තවද යටහත් පහත් සහ මෘදු, ආයාචනාවට නැඹුරු වෙමින්; ඉවසිලිවන්තකමින් සම්පූර්ණවද දිගුකලක් දරා සිටිමින්; සියලු දේවල් කෙරෙහි මධ්‍යස්ථව; සියලු අවස්ථාවන් වලදී දෙවියන්වහන්සේගේ ආඥාවන් පැවැත්වීමෙහි උද්‍යෝගිමත්ව; කවරාකාර වුවත් නුඹට අවශ්‍ය වන්නාවූ දෙයක් ඉල්ලනන්නාවූ, ආත්මික සහ ලෞකික දෙකෙන්ම; නිතරම නුඹලාට ලැබෙන කවරාකාර දෙයක් ගැන වුවත් දෙවියන්වහන්සේට ස්තූතිවන්තකම නැවත ලබාදෙන්න.”
ඔබ යාච්ඤා කරන්නේ නම්, ඔබ දෙවියන්වහන්සේට කතා කරන්නේ නම්, ඔබ ඔබේ ආදරණීයයා වෙනුවෙන් උන්වහන්සේගේ උපකාරය අයැද සිටින්නේ නම්, සහ උපකාරය සඳහා පමණක් නොව, ඔබ ආශා කරන සියල්ල වහාම හෝ සමහර විට කිසිදා නොලැබීමෙන් ලැබෙන ඉවසීම සහ මෘදුකම ගැන ඔබ උන්වහන්සේට ස්තූති කරන්නේ නම්, එවිට උන්වහන්සේ වෙත ඔබ සමීප වන බවට මම ඔබට පොරොන්දු වෙනවා. ඔබ උත්සහවන්ත හා බොහෝ ඉවසිලිවන්ත වෙනවා. එවිට ඔබ ආදරය කරන අයට සහ ඔබ යාච්ඤා කරන අයව වෙනතකට යොමු කිරීමට සාතන් ගෙන ඇති උත්සහයන් තුළින් ඔවුන්ට උදව් කිරීමට ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබ කර ඇති බව ඔබට දැනගන්න පුළුවන්.
“නුමුත් ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.”
පවුල් පිළිබඳ ශුද්ධලියවිලිමය වාර්තාවෙන් ඔබට බලාපොරොත්තුව සොයාගන්න පුළුවන්. තමන්ට ඉගැන්වූ දෙයින් ඉවත් වූ හෝ සමාව සඳහා දෙවියන්වහන්සේ සමඟ පොරබදමින් සිටි බාල ඇල්මා, මොසායාගේ පුත්‍රයින් සහ ඊනොස් වැනි අය ගැන අපි කියවනවා. ඔවුන්ගේ අර්බුදකාරී අවස්ථාවන්හිදී, ඔවුන් තම දෙමාපියන්ගේ වචන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහමේ වචන සිහිපත් කළා. මතක තබාගැනීම ඔවුන්ව බේරුවා. එම පූජනීය දහම පිළිබඳ ඔබේ ඉගැන්වීම මතකයේ රැඳෙයි.
ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සරල දහම ඉගැන්වීමේ පරිශුද්ධ කාර්යය ගැන මම සාක්ෂි දරනවා, එය අපට අධ්‍යාත්මිකව පවිත්‍ර වීමට සහ දෙවියන්වහන්සේ සමඟ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් සමඟ සදහටම මහිමයෙන් පවුල් ලෙස ජීවත් වීමට, අවසානයේ උන්වහන්සේගේ අභිමුඛයට අපව පිළිගැනීමට ඉඩ සලසනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.