2020–2024
පූජනීය ශුද්ධලියවිලි—ඇදහිල්ලේ පදනම
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


14:7

පූජනීය ශුද්ධලියවිලි—ඇදහිල්ලේ පදනම

හැරීමේදී සහ ශුභාරංචිය තුළ ඇදහිලිවන්තව සිටීමේදී ශුද්ධලියවිලිවල ඇති වැදගත්කම අපට අවතක්සේරු කරන්නට බැහැ.

මගේ බිරිඳ, මේරි සහ මම මෑතකදී පොතක පින්තූරයක් සහිත ටී ෂර්ට් එකක් දැක්කා, එහි ඉදිරිපස මෙහෙම පණිවිඩයක් තිබුණා, “පොත්: අතේ ගෙන යා හැකි වූ මුල්ම උපාංගය.”

“පොත්: අතේ ගෙන යා හැකි වූ මුල්ම උපාංගය” ලෙස ලියා ඇති කමිසය

මෙම සිත්ගන්නා පණිවිඩය සහ සියලු වර්ගවල අතේ ගෙන යා හැකි උපාංග කෙතරම් වැදගත් වී තිබෙනවාද කියා මම සිතුවා. තවදුරටත් මෙනෙහි කිරීමේදී, ඕනෑම උපකරණයක් හෝ කෘතිම බුද්ධිය සහිත එකක් පවා දිව්‍යමය එළිදරව්වෙන් ලැබෙන අධ්‍යාත්මික මගපෙන්වීම තරම් වැදගත් හෝ සුවිශේෂී නොවන බව මට වැටහුණා.

අතේ ගෙන යා හැකි හෝ ඩිජිටල් හෝ වේවා, ශුද්ධ වූ බයිබලය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් වන මොර්මොන්ගේ පොත මගින් ලෝකයේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අධ්‍යාත්මික මගපෙන්වීම සහ ඉගැන්වීම් සපයනවා. පුරාණ අනාගතවක්තෘවරුන්ට සහ පුද්ගලයින්ට ලැබෙන දෙවියන්වහන්සේගේ මගපෙන්වීම් ලේඛනගත කිරීමේදී සහ අපගේ පෞද්ගලික ජීවිතය සඳහා ඒවා සපයන මගපෙන්වීම් ලේඛනගත කිරීමේදී මෙම පොත් වෙනුවෙන් සහ ඒවායේ ගැඹුරු කාර්යභාරය වෙනුවෙන් අපි මෙම පොත් අගය කරනවා.

ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් සමඟ ඒකාබද්ධව, මෙම පූජනීය ශුද්ධලියවිලි අද ලෝකයේ අපට මූලධර්මාත්මක මගපෙන්වීමක් සපයනවා. ස්වාමින්වහන්සේගෙන් මගපෙන්වීම් සොයන පුද්ගලයන්ට සහ පවුල්වලට උපදෙස්, නිවැරදි කිරීම්, සැනසීම සහ අස්වැසිල්ල ලබා දෙන විට මෙම ශුද්ධලියවිලි වඩාත් බලවත් වෙනවා.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ ආධ්‍යාත්මික ආනුභාවය සමඟ ඒකාබද්ධ වූ ශුද්ධලියවිලි, බිඳුණු හදවත් සහ පසුතැවිලි වූ ආත්මයන් ඇති සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ආශාව ඇති අයගේ හැරීමට පහසුකම් සපයන මූලික මූලාශ්‍රය ලෙස දිගටම පවතිනවා. ඇදහිල්ල අඩපණ කිරීමට විරුද්ධවාදියාගේ නිරන්තර උත්සාහයන්ට ඔරොත්තු දිය හැකි පදනමක් ගොඩනගා ගැනීමට ශුද්ධලියවිලි උපකාර කරනවා.

අලුතින් හැරී ආ අය සභාවේ ඉතිහාසය පුරාවටම ආශිර්වාදිත වී එහි ජීවනාලිය වී තිබෙනවා. එක් උදාහරණයක් මට විශේෂයෙන් වටිනවා. මම තරුණ සභානායකවරයෙකු වී සිටියදී, අද්විතීය ධර්මදූත සහෝදරියන් දෙදෙනෙක් විලියම් එඩ්වඩ් මුස්මන් පවුලට උගන්වමින් සිටියා. ඉතා දක්ෂ නීතිඥයකු වූ ඒ පියා, ප්‍රධාන සංස්ථාවක සාමාන්‍ය උපදේශකයෙක්. ඔහුගේ කැප වූ බිරිඳ ජැනට් තව තවත් ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ජීවිතයක් ගත කිරීමට එම පවුලට උපකාර කරමින් සිටියා.

වයස 20 ගණන්වල මුල් භාගයේ සිටි ඔවුන්ගේ සුවිශේෂී පුතා සහ දියණියද ඉගෙනගනිමින් සිටියා. මෙම හතර දෙනාම පාඩම් ලබාගෙන සභාවට සහභාගී වෙමින් සිටියා. මෙම ධර්මදූත සහෝදරියන් විසින් මොර්මොන්ගේ පොත කියවීම ගැන සහ එම පූජනීය ශුද්ධලියවිල්ල ගැන සාක්ෂියක් ඉල්ලා යාච්ඤා කිරීම ගැන අවධාරණය කර තිබුණා. පුදුමයට කරුණක් තමයි, මේ පවුලේ අය කෙටි කාලයක් තුළ මුළු මොර්මොන්ගේ පොතම යාච්ඤාවෙන් යුතුව කියෙව්වා.

කලින් ස්ටේක සහන සමිති සභාපතිනියන් වී සිටි කොට්ඨාශ ධර්මදූතවරුන් දෙදෙනෙක්, සක්‍රමේන්තු රැස්වීම්වලට ඔවුන් සමඟ සහභාගී වුණා.

මෙම පවුල බව්තීස්ම වීමට ආසන්න වෙද්දි, සභාව විවේචනය කරන පොත්පත් තොගයක් ඔවුන්ට ලැබුණා. මෙය සිදුවුණේ අන්තර්ජාලයට තිබීමට කලින්, නමුත් මේ පොත් විශාල කාඩ්බෝඩ් පෙට්ටියක් පුරවලා තිබුණා.

ඔවුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු දීමට උපකාර කිරීමට, මෑතකදී කැඳවනු ලැබූ 34 හැවිරිදි සභානායකවරයෙකු වූ මට මෙම ධර්මදූත සහෝදරියන් ආරාධනා කළා. අපි ඔවුන්ගේ සාලයට රැස් වූ විට, සභාව විවේචනය කරන විශාල පත්‍රිකා පෙට්ටිය කාමරය මැද තිබුණා. මම මේ පැවරුමට ප්‍රවේශ වුණේ යාච්ඤාවෙන් යුතුවයි. ආරම්භක යාච්ඤාව අතරතුර, ආත්මයාණන් මට රහසින් මෙසේ කෙඳුරුවා, “එය සත්‍ය බව ඔහු දැනටමත් දන්නවා.” මෙය ඉතා වැදගත් වුණා! පවුලේ අනෙක් අයට දැනටමත් සාක්ෂියක් තිබෙන බව මෙම සහෝදරියන් විශ්වාස කළා. ඔවුන්ට පියා ගැන අවිනිශ්චිතතාවයක් තිබුණා.

ඔහුට දැනටමත් සාක්ෂියක් ඇති බවට ආත්මයාණන් මට පෙළඹවීමක් ලබා දුන් බව මම වහාම ඔහුට දන්වා සිටියා. “ඒක ඇත්තක්ද?” ආත්මයාණන්වහන්සේ මොර්මොන්ගේ පොතේ සහ සභාවේ සත්‍යතාව ඔහුට තහවුරු කළ බව, ඔහු මා දෙස ඕනෑකමින් බලමින් කිව්වා.

ඔවුන්ට දැනටමත් අධ්‍යාත්මික තහවුරු කිරීමක් ලැබී තිබෙනවා නම්, එම පත්‍රිකා සමාලෝචනය කිරීම අවශ්‍යද කියා එවිට මම ඇසුවා.

එය අවශ්‍ය නොවන බව පියා පිළිතුරු දුන්නා. පවුලේ අනෙක් අය ඔහුගේ පිළිතුරට එකඟ වුණා.

ඔහුට සැලකිය යුතු ප්‍රශ්නයක් ඇති බව ඔහු පැවසුවා: සභාවට විරුද්ධ වන බොහෝ පොත්පත් ඔවුන්ට ලැබී ඇති එක් හේතුවක් තමයි ඔවුන් වෙනත් ඇදහිල්ලක සාමාජිකයන් වීම. ඊට අමතරව, එම ඇදහිල්ල සඳහා නව දේවස්ථානයක් ගොඩනැගීමට උපකාර කිරීමට ඔහු විශාල මුදලක් ලබාදීමට පොරොන්දු වී තිබුණා. දසයෙන් කොටස දීමේ වැදගත්කම ගැන ධර්මදූත සහෝදරියන් විසින් ඔහුට උගන්වා ඇති බව ඔහු මට දන්වා සිටියා, ඔහු එය කෘතවේදීව පිළිගෙන තිබුණා, නමුත් ඔහු කලින් දුන් පොරොන්දුවටත් ගරු කිරීම වැරදි දැයි ඔහු කල්පනා කළා. පොරොන්දු වූ පරිදි එම ගෙවීම කිරීම ගෞරවනීය මෙන්ම යෝග්‍ය වන බවට මම ඔහුට සහතික වුණා.

මුස්මන් පවුල.

මුස්මන් පවුල ඔවුන්ගේ පුතා, ලේලිය සහ දියණිය සමඟ.

මේ මුළු පවුලම බව්තීස්ම වුණා. වසරකට පසුව ඔවුන් කැලිෆෝනියා ඕක්ලන්ඩ් දේවමාළිගාවේ පවුලක් ලෙස මුද්‍රා වුණා. එයට සහභාගී වීම මට මහත් වරප්‍රසාදයක්. එම පුතා නීති විද්‍යාලය සම්පූර්ණ කර, කැලිෆෝනියා නීතිඥ විභාගය සමත් වූ අතර, එසැණින්ම ජපානයේ ධර්මදූතයක ඇදහිලිවන්තව සේවය කළා. ඔවුන්ගේ පසු පරම්පරාවන් ශුභාරංචියට ඇදහිලිවන්තව සිටින ආකාරය මම වසර ගණනාවක් පුරා බලා හිඳ තිබෙනවා. ඔවුන්ගේ එක් මිණිබිරියකගේ මුද්‍රා තැබීමේ කටයුතු සිදු කිරීමට මට වරප්‍රසාදය ලැබුණා.

අපේ කාලයේ සිදුවෙමින් පවතින පරිවර්තනයන් ඒ හා සමානව කැපී පෙනෙනවා. පසුගිය ජුනි මාසයේදී, කන්සාස් නගරයේ ප්‍රධානීන්ගේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු ඇන්ඩි රීඩ් සහ මම, අපගේ ඇදහිල්ල සහ අනෙකුත් ඇදහිලි නියෝජනය කරන අනෙකුත් අය සමඟ නිව් යෝර්ක් නගරයේ රිවර්සයිඩ් සභාවේ බහු ආගමික උත්සවයකදී කතා කළා. පුහුණුකරු රීඩ් දෙවන අවස්ථා වලට සහ ආරාධනා සහ අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම ගැන අවධාරණය කළා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙන් කියවෙන්නේ එයයි. ඊළඟ දවසේ උදේ, අපේ භාර්යාවන් වන ටැමි රීඩ් සහ මේරි සමඟ අපි මෑන්හැටන් දෙවන කොට්ඨාශයේ සක්‍රමේන්තු රැස්වීමට සහභාගි වුණා. එය ආධ්‍යාත්මික රැස්වීමක්. එම සභා සමූහය තුළ හැරුණු අලුත් අය බොහෝ දෙනෙක් සිටියා. මෑතකදී බව්තීස්ම වූ සාමාජිකයින් පස්දෙනෙකු, ඒ කියන්නෙ පිරිමින් හතර දෙනෙකු සහ එක් තරුණ පිරිමි ළමයෙක්, සක්‍රමේන්තුව බෙදා දෙන ආරෝනික පූජකත්ව සාමාජිකයන් අතර සිටියා. ඒ හා සමාන නව සාමාජිකයින්ගේ පැමිණීමක් සභාව පුරා සිදුවන බව මම සතුටින් වාර්තා කරන්න කැමතියි.

පරිශුද්ධ ආරාධනාවලට ප්‍රතිචාර දක්වන, ඔවුන්ගේ ජීවිත වෙනස් කරගන්නා, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඇති අවස්ථාව පිළිගන්නා අයගේ කැපී පෙනෙන වැඩිවීම ගැන අපි කෘතඥ වෙනවා. ශුද්ධ වූ බයිබලයේ සහ මොර්මොන්ගේ පොතේ උගන්වන පරිදි ඔවුන් ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය සහ තහවුරු කිරීම තුළින් ගිවිසුම් මාර්ගයට ඇතුල් වෙනවා.

හැරීමේදී සහ ශුභාරංචිය තුළ ඇදහිලිවන්තව සිටීමේදී ශුද්ධලියවිලිවල ඇති වැදගත්කම අපට අවතක්සේරු කරන්නට බැහැ. මොර්මොන්ගේ පොතේ විස්තර කර ඇති පුරාණ අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙවර ගැන දැන සිටි අතර උන්වහන්සේගේ ශුභාරංචිය ඉගැන්වුවා. අපි ඉගෙන ගන්නා විට, තේරුම් ගන්නා විට සහ මොර්මොන්ගේ පොතේ ඉගැන්වීම් ක්‍රියාවට නංවන විට දෙවියන්වහන්සේට සමීප වීමට එය අපට උපකාර කරනවා. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වුවා, “වෙනත් ඕනෑම පොතකට වඩා [මෙම පොතෙහි] නියමයන් පිළිපැදීමෙන්, පිරිමියෙකු [හෝ ගැහැණියක්] දෙවියන්වහන්සේට සමීප වෙනවා.”

මොර්මොන්ගේ පොත දෙවියන්වහන්සේගේ වචනය බව දැන ගැනීමට, අප එය කියවා, මෙනෙහි කර, ඒ ගැන යාච්ඤා කළ යුතු අතර පසුව එහි ආඥා අනුව ක්‍රියා කළ යුතුයි. අපි අවංක හදවතකින්, සැබෑ චේතනාවෙන් සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් යාච්ඤා කරන විට දෙවියන්වහන්සේ අපට මොර්මොන්ගේ පොතේ සත්‍යය හෙළි කරන බවට මොරෝනි අනාගතවක්තෘවරයා පොරොන්දු වී තිබෙනවා. කල්පවත්නා හැරීම සඳහා මොර්මොන්ගේ පොත අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි.

බයිබලය සහ මොර්මොන්ගේ පොත අතර ඇති සම්බන්ධය අතේ ගෙන යා හැකි උපාංග ලෙස අප කල්පනා කරන විට, කෙනෙකුට ප්‍රශ්නයක් අසන්න පුළුවන්. පොත් දෙකක් එකට එකතු වී සහ “ඔබේ අතේ එකක් බවට පත් වන” බව ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළහොත් ඒවා කොතරම් ප්‍රයෝජනවත් සහ අනුපූරක වනු ඇතැයි ඔබ සිතනවාද? බයිබලය නම් වූ “යුදාගේ සැරයටිය,” සහ මොර්මොන්ගේ පොත නම් වූ “යෝසෙප්ගේ සැරයටිය” සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළේ මෙයයි.

බොහෝ වැදගත් පැතිවලින්, මොර්මොන්ගේ පොත මගින් බයිබලය උසස් කරන සහ ගොඩනගන මූලික මූලධර්ම සපයනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ මූලධර්මය මේ සඳහා ගැඹුරු උදාහරණයක්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සහ මරණයෙන් නැවත නැගිටීම ඇතුළුව උන්වහන්සේගේ ලෞකික මෙහෙය පිළිබඳ නිවැරදි වාර්තාවක් බයිබලය සපයනවා. මොර්මොන්ගේ පොතෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයට පෙර අනාගතවක්තෘවරුන් විස්තරාත්මකව විස්තර කර ඇති උන්වහන්සේගේ වන්දිගෙවීම ගැන වඩාත් පැහැදිලිව විස්තර කරනවා.

ඇල්මා 42 පරිච්ඡේද ශීර්ෂය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ මූලධර්මාත්මක වැදගත්කම පිළිබිඹු කරනවා.

එහි මෙසේ කියනවා: “මැරෙන සුළු ස්වභාවය මනුෂ්‍යයාට පසුතැවීමට සහ දෙවියන්වහන්සේට සේවය කිරීමට හැකියාවේ පරිවාස කාලයකි—වැටීම සියලු මනුෂ්‍ය සංහතිය මත ලෞකික සහ ආත්මික මරණය පැමිණවූයේය—පසුතැවිල්ල තුළින් මිදීම පැමිණෙන්නේය—දෙවියන්වහන්සේ තමන්වහන්සේවම ලෝකයේ පාපය උදෙසා වන්දිගෙවන සේක—පසුතැවිලි වූ අය සඳහා කරුණාවන්ත වන්නේය—අනෙක් සියල්ලෝම දෙවියන්වහන්සේගේ සාධාරණත්වයට යටත් ය—කරුණාව පැමිණෙන්නේ වන්දිගෙවීම නිසාය—සත්‍යයෙන්ම පසුතැවිලි වන්නන් පමණක් ගලවනු ලබන්නේය.”

සභාපති රසල් එම්. නෙල්සන් මෙලෙස පැවසුවා: “ඔබ සෑම දිනකම, මොර්මොන්ගේ පොත යාච්ඤාශීලීව අධ්‍යයනය කරන විට, ඔබ සෑම දිනකම—වඩා හොඳ තීරණ ගනු ඇති බවට මම පොරොන්දු වෙනවා. ඔහු මෙසේත් පොරොන්දු වුණා “ඔබ දිනපතා මොර්මොන්ගේ පොතෙහි ගිලී සිටින විට, දවසේ නපුරට, එරෙහිව එමගින් ඔබට ප්‍රතිශක්තීකරණය ලබාදිය හැකිය.”

මා සඳහන් කළ පරිදි, මුලින්ම අතේ ගෙන යා හැකි උපකරණය වන පොතක් පිළිබඳ සංකල්පය ගැන මා විස්මිත වුණා. කෙසේ වෙතත්, අද ලෝකයේ අන්තර්ජාලයේ ඇදහිය නොහැකි වැදගත්කම මම හඳුනා ගන්නවා. එක් නවීන අතේ ගෙන යා හැකි උපාංගයකින්, ඓතිහාසිකව ප්‍රධාන පුස්තකාලයක් පුරවා ඇති තොරතුරු සපයා දෙන්න පුළුවන්. මේ වගේ කාලයක ජීවත් වීම ගැන අපි කෘතඥ වෙනවා. පූජනීය පොත් සහ සභාවේ ද්‍රව්‍ය ඩිජිටල් ලෙස ලබා ගැනීමට එමගින් ඉඩ සලසා දීම ගැන මම විශේෂයෙන් කෘතඥ වෙනවා. අන්තර්ජාලය කියන්නෙ ශුභාරංචිය අධ්‍යයනය කිරීම සඳහා ප්‍රබල මෙවලමක්. අද බොහෝ අය තාක්‍ෂණය භාවිත කරමින් මිතුරන් සමඟ ශුද්ධලියවිලි බෙදා ගන්නවා. උදාහරණයක් ලෙස, මොර්මොන්ගේ පොතේ යෙදුම, මොර්මොන්ගේ පොත මිතුරන්ට හඳුන්වා දීමට අපූරු ක්‍රමයක් වන අතර ඔබ කොතැනක සිටියත් සාමාන්‍ය සහ ස්වභාවික ආකාරයෙන් පහසුවෙන් එය බෙදාගන්න පුළුවන්.

මොර්මොන්ගේ පොතේ යෙදුම

අන්තර්ජාලය බොහෝ ආශිර්වාද සපයනවා වගේම, අවාසනාවකට වගේ, මා කලින් විස්තර කළ සභාව විවේචනය කරන ලිඛිත පත්‍රිකා මෙන්, එය සැකයක් ඇති කිරීමට සහ වටිනා ශුභාරංචි මූලධර්ම කෙරෙහි ඇදහිල්ල අඩපණ කිරීමට ද භාවිතා වෙනවා. එය සභාපති නෙල්සන් සඳහන් කළ “දවසේ නපුරේ” කොටසක් වෙන්න පුළුවන්.

විරුද්ධවාදියා සහ ඔහුට සහය වන්නන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව, මා කලින් විස්තර කළ සභාව විවේචනය කරන ලිඛිත කරුණු වලින් පිරුණු පෙට්ටියට සමාන දෙයක් අන්තර්ජාලයේ නිර්මාණය කර තිබෙනවා, එය ඇත්තේ ඔබව දෙවියන්වහන්සේගේ සත්‍යයෙන් ඈත් කිරීමටයි.

වසර ගණනාවක් පුරා සැකයක් ඇති කිරීම සඳහා මතු කරන ලද ගැටළු කැපී පෙනෙන ලෙස එක හා සමාන වී තිබෙනවා. ඔබ අපේ දවස 1960 ගණන් සමඟ, ඒ කියන්නෙ මම මගේ 20 ගණන්වල සිටි කාලය සමඟ සංසන්දනය කරන විට මෙය විශේෂයෙන් සත්‍යයක්.

සෑම දෙයකදීම විනිශ්චය භාවිතා කිරීමටත් ප්‍රඥාවන්ත වීමටත් ශුද්ධලියවිලි අපට උගන්වනවා. අන්තර්ජාලය ධනාත්මක ආකාරයකින් හෝ විනාශකාරී ආකාරයකින් භාවිතා කරන්න පුළුවන්.

දිගුකාලීන සාමාජිකයන් සහ අලුතින් ශුභාරංචිය අධ්‍යයනය කරන අය යන දෙපාර්ශවයම, ඔවුන් බලන දේ ගැන චේතනාන්විත විය යුතුයි. දුරාචාර, වංක හෝ අධර්මිෂ්ඨ දේවල් රසවිඳින්න එපා. ඔබ එසේ කරන්නේ නම්, ඇල්ගොරිතම මගින් ඔබව ඇදහිල්ල විනාශ කරන සහ ඔබේ සදාකාලික ප්‍රගතිය අඩාල කරන මාවතකට ගෙන යන්න පුළුවන්. ඔබට ධනාත්මක හෝ ඍණාත්මක බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ධර්මිෂ්ඨකම සොයන්න ඒවගේම අඳුරු අන්තර්ජාල ඇබ්බැහි වීම් වලින් සහ ඔබට භීතියක් ඇති කරන දේවල් නැවත නැවත නැරඹීමෙන් වළකින්න. ධනාත්මක, ධර්මිෂ්ඨ අදහස් වලින් ඔබේ ජීවිතය පුරවන්න, ප්‍රීති වන්න; විනෝද වන්න; නමුත් බොළඳකමින් වළකින්න. එහි වෙනසක් තියෙනවා. ඇදහිල්ලේ කරුණු දහතුන් වන වගන්තිය ඒ සඳහා පුදුමාකාර මාර්ගෝපදේශයක්. මේ සියල්ලටත් වඩා, මොර්මොන්ගේ පොතෙහි නිරතුරුවම ගිලී සිටින්න, එමගින් ඔබගේ ජීවිතයට ආත්මයාණන්ව ආකර්ෂණය කරගන්නා අතර වරදින් සත්‍යය වටහා ගැනීමට එය ඔබට උපකාර කරයි.

ගිවිසුම් මාර්ගයෙන් යම් ආකාරයකින් බැහැර වූ අය සඳහා මගේ උපදෙස තමයි ශුද්ධලියවිලි, අනාවැකිමය මගපෙන්වීම, නිවස තුළ ආගමික පිළිපැදීම සහ ඇදහිල්ලේ සංගීතය වෙත නැවත පැමිණෙන්න. සෑම ප්‍රාණයක්ම ස්වාමින්වහන්සේට වටිනවා. අපිට ඔබව අවශ්‍යයි! ස්වාමින්වහන්සේට ඔබව අවශ්‍යයි, ඔබට උන්වහන්සේව අවශ්‍යයි! ඔබව සැම විටම සාදරයෙන් පිළිගනු ලැබෙනවා. මගේ වසර ගණනාවක සභා සේවය තුළදී, ගිවිසුම් මාර්ගයට නැවත පැමිණ, ඔවුන් ආදරය කළ හෝ ඔවුන් සමඟ සම්බන්ධ වූ සෑම කෙනෙකුටම සේවය කර ආශිර්වාද ලබාදුන් අපූරු මිනිසුන්ව මම අගය කර තිබෙනවා.

ප්‍රේමණීය ස්වර්ගීය පියෙකු තම සියලු දරුවන්ට උන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම ලබා දෙන ප්‍රධාන මාර්ගයක් තමයි, පූජනීය ශුද්ධලියවිලි සහ ජීවමාන අනාගතවක්තෘවරුන්.

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යත්වය සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ යථාර්තය ගැන මගේ ස්ථීර සාක්ෂිය දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. බලන්න 2 තිමොති 3:16.

  2. බලන්න මගේ ශුභාරංචිය දේශනා කරන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීම සඳහා මාර්ගෝපදේශයක් (2023), 28; තවත් බලන්න 2 නෙපී 2:7; 3 නෙපී 12:19; දහම සහ ගිවිසුම් 20:37; Ezra Taft Benson, “A Mighty Change of Heart,” Ensign, Oct. 1989, 2–5.

  3. එම ධර්මදූත සහෝදරියන් වුණේ බෙවර්ලි බ්‍රිජ් සහ චෙරිල් මෝගන් සහෝදරියන් ය.

  4. එම පුතා, විලියම් ඊ. මුස්මන් III, ස්ටැන්ඩ්ෆොර්ඩ් වෙතින් උපාධිය ලබා ඇති අතර, සැන් ෆ්‍රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේය. ඔහුගේ සොහොයුරිය, ඇන් සී. මුස්මන්, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙමින් සිටියාය.

  5. එලිනෝර් මෙහර් සහ ලුයිස් ජොන්සන් යන සහෝදරියන් ස්ටේක ධර්මදූතවරුන් විය.

  6. නිව් යෝර්ක් පසුදවස්වල ශුද්ධවන්තයින්ගේ වෘත්තීය සංගමය (NYLDSPA) විසින් පූජ්‍ය ආර්. බර්නාඩ් සහ පුහුණුකරු ඇන්ඩෘ “ඇන්ඩි” ඩබ්. මෑන්හැටන් හි ඓතිහාසික අන්තර් නිකාය රිවර්සයිඩ් සභාවේ රීඩ්. පෙර ගෞරවනීය රබ්බි ජෝසෆ් පොටස්නික් ඇතුළුව අපගේ ඇදහිල්ලෙන් සහ වෙනත් බොහෝ ඇදහිලිවලින් සභා නායකයින් ද පැමිණ සිටියහ.

  7. බලන්න Tad Walch, “How Andy Reid’s Beliefs in Jesus Christ and a Second Chance for Michael Vick Guide the Kansas City Chiefs,” Deseret News, July 3, 2024, deseret.com.

  8. 2024 ජනවාරි 1 සිට 2024 අගෝස්තු 30 දක්වා කාලය තුළ නව හැරී ආ පුද්ගලයින් 198,000කට අධික පිරිසක් බව්තීස්ම වී ඇත (ධර්මදූත අංශය විසින් සපයන ලද තොරතුරු).

  9. මොර්මොන්ගේ පොත අපගේ ආගමේ මූලික ගල වන්නේ ඇයි කියා මගේ ශුභාරංචිය දේශනා කරන්න 5 වන පරිච්ඡේදයේ විස්තර කරයි.

  10. මොර්මොන්ගේ පොතේ හැඳින්වීම.

  11. වෙනත් ඕනෑම පොතකට වඩා මොර්මොන්ගේ පොතේ උගන්වන ආඥා පිළිපැදීමෙන් මනුෂ්‍යයෙකු දෙවියන්වහන්සේට සමීප වන බව ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා සාක්ෂි දැරුවේය (බලන්න “මොර්මොන්ගේ පොතේ හැඳින්වීම”).

  12. බලන්න මොරෝනි 10:4.

  13. බලන්න එසකියෙල් 37:15–17; තවත් බලන්න 2 නෙපී 3:12.

  14. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ගැන සඳහන් වන වන්දිගෙවීම යන වචනය අලුත් ගිවිසුමේ සඳහන් වන්නේ එක් වරක් පමණි (බලන්න රෝම 5:11). මොර්මොන්ගේ පොතේ, වන්දිගෙවීම යන වචනය 24 වතාවක් සඳහන් කර ඇත. 2 නෙපී 2:10, වන්දිගෙවීම හරහා ලැබෙන “එම ප්‍රීතිය” විස්තර කරයි (තවත් බලන්න index to the Book of Mormon, “Jesus Christ, Atonement through”).

  15. රසල් එම්. නෙල්සන්, “මොර්මොන්ගේ පොත: එය නොමැතිව ඔබේ ජීවිතය කෙබඳු වේවිද?,” ලියහෝනා, 2017 නොවැ., 62.

  16. අපි සෑම සතියකම අන්තර්ජාලය ඔස්සේ එන්න මා අනුගමනය කරන්න අධ්‍යයනය කරන විට අපි කොතරම් ආශිර්වාද ලත්දැයි සිතන්න.

  17. සමහර ප්‍රශ්න සරලවම අසත්‍යයි. සමහර ඒවා මගින් ඓතිහාසික කරුණු සන්දර්භයෙන් බැහැර කරයි. සමහර ඒවා බයිබලය සහ මොර්මොන්ගේ පොත යන දෙකටම නොගැලපෙන සමාජ ගැටලු වෙනුවෙන් පෙනී සිටියි. සමහර ඒවා ස්වාමින්වහන්සේ තවමත් එළිදරව් කර නොමැති ගැටළු මත රඳා පවතී.

  18. ඩූම්ස්ක්‍රෝල් කිරීම යනු සමාජ මාධ්‍ය හෝ ප්‍රවෘත්ති සංග්‍රහවල සෘණාත්මක හෝ මානසික අවපීඩන පුවත් සඳහා පුරුද්දක් ලෙස සහ උමතු ලෙස සෙවීමේ ක්‍රියාවකි (බලන්න Merriam-Webster.com Dictionary, “doomscroll”).

  19. මෑත වසරවලදී සභාව සැලකිය යුතු වර්ධනයක් සහ පැමිණීමේ වැඩිවීමක් අත්විඳ ඇත. සභාව හැර යන ප්‍රතිශතය අතීතයට වඩා අඩුය, නමුත් අපට සෑම සාමාජිකයෙකුම අවශ්‍ය වේ.