අපගේ පියාණන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම
බොහෝ වැදගත් තීරණ ගැනීමට දෙවියන්වහන්සේ අපව විශ්වාස කරන අතර සියලු කාරණාවලදී උන්වහන්සේව විශ්වාස කරන ලෙස උන්වහන්සේව අපෙන් ඉල්ලා සිටිනවා.
1843 ජුනි 1 වන දින, ඇඩිසන් ප්‍රැට්, ඔහුගේ බිරිඳ ලුයිසා බාර්න්ස් ප්‍රැට්ට ඔවුන්ගේ තරුණ පවුල රැකබලා ගැනීමට පවරමින්, ඉලිනොයිස් හි නාවූ සිට හවායි දූපත් වල ශුභාරංචිය දේශනා කිරීම සඳහා පිටත්ව ගියා.
නාවූ හි පීඩා උත්සන්න වූ විට, ශුද්ධවන්තයින්ට පිටව යාමට බල කෙරුණු අතර, පසුව ශීත කාර්තුවේදී ඔවුන් සෝල්ට් ලේක් නිම්නය වෙත සංක්‍රමණය වීමට සූදානම් වන විට, ලුයිසා මෙම ගමන යනවාද නැද්ද යන තීරණයට මුහුණ දුන්නා. තනිව ගමන් කරනවාට වඩා ඇඩිසන් නැවත පැමිණෙන තෙක් රැඳී සිටීම පහසු වේවී.
අවස්ථා දෙකේදීම, ඇයව යාමට දිරිමත් කළ අනාගතවක්තෘ බ්‍රිගම් යන්ග් වෙතින් ඇය මගපෙන්වීම ලබා ගත්තා. දැඩි දුෂ්කරතා සහ ඇගේ පෞද්ගලික අකමැත්ත මධ්‍යයේ වුවද, ඇය සෑම අවස්ථාවකදීම සාර්ථකව මෙම ගමන කළා.
මුලදී, ලුයිසාට මෙම ගමනෙන් සතුටක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත්, ඇය ඉක්මනින්ම හරිත තණකොළ, වර්ණවත් කැළෑ මල් සහ ගං ඉවුර දිගේ බිම් කැබලි පිළිගැනීමට පටන් ගත්තා. “මගේ සිතේ තිබූ අඳුර ක්‍රමයෙන් පහව ගිය අතර, ඊට වඩා ප්‍රීතිමත් කාන්තාවක් මුළු සමූහය තුළම සිටියේ නැහැ” යනුවෙන් ඇය සටහන් කළා.
ලුයිසාගේ කතාව මට ගැඹුරින් පෙළඹවීමක් ලබා දුන්නා. ඇයගේ පෞද්ගලික මනාපයන් පසෙකට දැමීමට ඇය දැක්වූ කැමැත්ත, දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට ඇයට ඇති හැකියාව සහ ඇගේ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමෙන් එම තත්වය වෙනස් ලෙස දැකීමට ඇයට උපකාර කළ ආකාරය මම අගය කරනවා.
අප කොතැනක සිටියත් අපව රැකබලා ගන්නා ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ සිටින බවත්, අන් කිසිවෙකුට හෝ ඕනෑම දෙයකට වඩා අපට උන්වහන්සේව විශ්වාස කළ හැකි බවත් ඇය මට මතක් කරලා දුන්නා.
සත්‍යයේ මූලාශ්‍රය
බොහෝ වැදගත් තීරණ ගැනීමට දෙවියන්වහන්සේ අපව විශ්වාස කරන අතර සියලු කාරණාවලදී උන්වහන්සේව විශ්වාස කරන ලෙස උන්වහන්සේව අපෙන් ඉල්ලා සිටිනවා. අපගේ විනිශ්චය හෝ මහජන මතය, උන්වහන්සේගේ දරුවන් සඳහා උන්වහන්සේගේ කැමැත්තට වඩා වෙනස් වූ විට මෙය විශේෂයෙන් දුෂ්කරයි.
සමහරු යෝජනා කරන්නේ, එම සත්‍යය සාපේක්ෂ බවත්, යථාර්ථය ස්වයං-නිර්වචනය කර ඇති බවත් හෝ දෙවියන්වහන්සේ අප කරන දේ සැබවින්ම ගණන් නොගන්නා තරමට ත්‍යාගශීලී බවත් නිසා අපි හරි දේ සහ වැරදි දේ අතර රේඛා නැවත ඇඳිය යුතු බවයි.
අපි දෙවියන්වහන්සේගේ කැමැත්ත තේරුම් ගැනීමට සහ පිළිගැනීමට උත්සාහ කරන විට, හරි වැරැද්ද අතර මායිම් නිර්වචනය කිරීමට අපට නොහැකි බව මතක තබා ගැනීම උදව් වෙනවා. අපගේ ප්‍රයෝජනය සහ ආශිර්වාදය සඳහා සදාකාලික සත්‍යයන් මත පදනම්ව දෙවියන්වහන්සේ මෙම සීමාවන් උන්වහන්සේ විසින්ම ස්ථාපිත කරලා තියෙනවා.
දෙවියන්වහන්සේගේ සදාකාලික සත්‍යය වෙනස් කිරීමට ඇති ආශාවට දිග ඉතිහාසයක් තියෙනවා. එය ආරම්භ වූයේ ලෝකය ආරම්භ වීමට පෙර, සාතන් දෙවියන්වහන්සේගේ සැලැස්මට එරෙහිව කැරලි ගසමින්, ආත්මාර්ථකාමී ලෙස මිනිසාගේ තෝරා ගැනීමේ නිදහස විනාශ කරන්න උත්සාහ කළ විටයි. ඇදහිල්ල අනුවණ බවත්, එළිදරව්ව අදාළ නොවන බවත්, අප කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් නිවැරදි බවත් මෙම රටාව අනුගමනය කරමින්, ෂෙරම්, නෙහෝර් සහ කොරිහෝර් වැනි අය තර්ක කරලා තියෙනවා. කණගාටුවට කරුණක් තමයි, බොහෝ විට, මෙම දෙවියන්වහන්සේගේ සත්‍යයෙන් බැහැර වීම මහත් ශෝකයකට තුඩු දෙනවා.
සමහර දේවල් සන්දර්භය මත රඳා පැවතිය හැකි නමුත්, හැම දෙයක්ම එහෙම නැහැ. සභාපති රසල් එම්. නෙල්සන් දෙවියන්වහන්සේගේ ගැලවීමේ සත්‍යයන් නිරපේක්ෂ, ස්වාධීන සහ දෙවියන්වහන්සේ විසින්ම නිර්වචනය කරන බව නිරන්තරයෙන් උගන්වනවා.
අපගේ තේරීම
අප විශ්වාස කිරීමට තෝරා ගන්නේ කාවද කියන එක ජීවිතයේ වැදගත් තීරණවලින් එකක්. බෙන්ජමින් රජු තම සෙනඟට මෙසේ උපදෙස් දුන්නා, “දෙවියන්වහන්සේ තුළ විශ්වාස කරන්න; එනම් උන්වහන්සේ සිටින බව විශ්වාස කරන්න … ; උන්වහන්සේට සියලු ප්‍රඥාව ඇති බව විශ්වාස කරන්න … ; ස්වමින්වහන්සේට තේරුම් ගත හැකි සියලු දේ මනුෂ්‍යයාට තේරුම් ගත නොහැකි බව විශ්වාස කරන්න.”
වාසනාවකට මෙන්, දෙවියන්වහන්සේගේ සත්‍යය අවබෝධ කර ගැනීමට අපට උපකාර කිරීම සඳහා ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ශුද්ධලියවිලි සහ මගපෙන්වීම් අප සතුව තියෙනවා. අප සතුව ඇති දෙය ඉක්මවා පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, දෙවියන්වහන්සේ එය උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් හරහා සපයනවා. ඒවගේම අප තවමත් සම්පූර්ණයෙන් අගය නොකරන සත්‍යයන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන විට උන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් අපගේ අවංක යාච්ඤාවලට ප්‍රතිචාර දක්වයි.
වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් වරක් මෙසේ ඉගැන්වුවා “ඇතැම් විටක ඔබගේ පෞද්ගලික අදහස් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාගේ ඉගැන්විම් හා සමඟ එකඟතාවයක නොමැති නම් පුදුමයට පත්වන්නට එපා. අප දණ නවා යාච්ඤා කරන විට, අප නිහතමානීකම ගැන ඉගෙනගන්නා මොහෙතවල් මේවා බව ඔහු පැවසුවා. කාලයත් සමග අපට තව තවත් දෙවියන්වහන්සේගේ ආධ්‍යාත්මික පැහැදිලි කිරීම් ලැබෙන බව අප දන්නා නිසා දෙවියන්වහන්සේව විශ්වාස කරමින් අපි ඇදහිල්ලෙන් ඉදිරියට පා තබනවා.”
සෑම විටම, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය ලබා දෙන්නේ අප කැපකරන අවධානය සහ උත්සාහය අනුව බව ඇල්මාගේ ඉගැන්වීම මතක තබාගැනීම ප්‍රයෝජනවත්. අපි දෙවියන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දුන්නොත්, අපට තවත් ලැබෙයි; අපි උන්වහන්සේගේ උපදෙස් නොසලකා හරිනවා නම්, අපට කිසිවක් නැති වන තුරු අපට අඩුවෙන් ලැබෙයි. මෙම දැනුම නැතිවීම යනු එම සත්‍යය වැරදි බව නොවේ; ඒ වෙනුවට, එය අපට තේරුම් ගැනීමට ඇති හැකියාව නැති වී ඇති බව පෙන්වනවා.
ගැලවුම්කරුවාණන් දෙස බලන්න
කපර්ණවුමේදී, ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේගේ අනන්‍යතාවය සහ මෙහෙවර ගැන ඉගැන්නුවා. බොහෝදෙනෙකුට උන්වහන්සේගේ වචන ඇසීමට අපහසු වූ අතර, “බොහෝ දෙනෙක් පසුබට වී, උන්වහන්සේ සමග තවත් නොහැසුරුනා.”
ඔවුන් ඉවත්ව ගියේ ඇයි?
මොකද, ඒ උන්වහන්සේ කී දේට ඔවුන් අකමැති වූ නිසයි. එබැවින්, ඔවුන්ගේම විනිශ්චය විශ්වාස කරමින්, ඔවුන් ඉවත්ව ගියේ, ඔවුන් රැඳී සිටියා නම් ලැබෙන්නට තිබූ ආශීර්වාද ප්‍රතික්ෂේප කරලයි.
අපගේ උඩඟුකමට, අප සහ සදාකාලික සත්‍යය අතරට පැමිණීම පහසුයි. අපට නොතේරෙන විට, අපි නැවතී, අපගේ හැඟීම් සමථයකට පත් කර, ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය තෝරාගන්න පුළුවන්. ගැලවුම්කරුවාණන් අපෙන් මෙසේ ඉල්ලුවා “හැම සිතුවිල්ලකදීම [උන්වහන්සේ] දෙස බලන්න, සැක නොසිතන්න, බිය නොවන්න.” අපි ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කරන විට, අපගේ ඇදහිල්ල අපි කරදරෙන් සිටින දේවල් පරදවන්න පටන් ගන්නවා.
සභාපති ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් අපව මෙසේ දිරිමත් කළා, “කරුණාකර, ඔබ ඔබේ ඇදහිල්ල සැක කිරීමට පෙර ඔබේ සැකයන් සැක කරන්න. ස්වාමීන්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල තුළින් ලැබෙන දිව්‍යමය ප්‍රේමය, සාමය, සහ ත්‍යාගවලින් අපව ඈත් කිරීමටත් අපව සිරකරුවන් ලෙස තැබීමටත් කිසිවිටෙක සැකයට ඉඩ දිය යුතු නැහැ.”
නැවතී සිටින අයට ආශීර්වාද පැමිණෙනවා
එදින අනුගාමිකයින් ගැලවුම්කරුවාණන්ගෙන් ඉවත්ව යන විට, උන්වහන්සේ දොළොස්දෙනාගෙන් මෙසේ ඇසුවා, “නුඹලාත් අහක්ව යන්ට කැමතිද?”
පේත්‍රැස් පිළිතුරු දෙමින්:
“ස්වාමිනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.
“අපිද ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනන්වහන්සේ බව විශ්වාසකරගෙන දැනගෙන සිටිමුයයි” කිව්වා.
දැන්, මෙම ප්‍රේරිතවරුන් ඉවත්ව ගිය අනුගාමිකයින් සමඟ එකම ලෝකයේ ජීවත් වූ අතර සමාන සමාජ පීඩනයන්ට මුහුණ දුන්නා. කොහොම වුනත්, මේ මොහොතේ, රැඳී සිටින අයට දෙවියන්වහන්සේ දෙන ආශීර්වාද රැකගනිමින් ඔවුන් ඔවුන්ගේ ඇදහිල්ල තෝරාගෙන දෙවියන්වහන්සේව විශ්වාස කළා.
සමහර විට ඔබත්, මා මෙන්ම, සමහර වෙලාවට මෙම තීරණයේ දෙපැත්තේම සිටින බව පෙනෙයි. දෙවියන්වහන්සේගේ කැමැත්ත තේරුම් ගැනීමට හෝ වැලඳ ගැනීමට අපට අපහසු වූ විට, අප කොතැනක සිටියත් අපි කොහොම සිටියත් උන්වහන්සේ අපට ප්‍රේම කරන බව මතක තබා ගැනීම සැනසිල්ලක්. ඒවගේම උන්වහන්සේ සතුව අප වෙනුවෙන් වඩා හොඳ දෙයක් තියෙනවා. අපි උන්වහන්සේ වෙත ළඟා වුවහොත්, උන්වහන්සේ අපට උදව් කරනවා.
උන්වහන්සේ වෙත ළඟා වීම දුෂ්කර විය හැකි අතර, තම පුතාට සුවය සෙවූ පියාට ගැලවුම්කරුවාණන් විසින් “විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි” කියා පැවසූ ආකාරයටම අපගේ දුෂ්කර අවස්ථා වලදී, “අපගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනවයි” කියා අපටද කෑ ගසන්නට පුළුවන්.
අපගේ කැමැත්ත උන්වහන්සේට ඉදිරිපත් කිරීම
වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් වරක් මෙසේ ඉගැන්වූවා “දෙවියන්වහන්සේගේ පූජාසනය මත තැබිය යුතු එකම අද්විතීය පෞද්ගලික දෙය කෙනෙකුගේ කැමැත්ත ඉදිරිපත් කිරීමයි.” බෙන්ජමින් රජු ඔහුගේ සෙනඟ “දරුවෙකු මෙන් අවනත, නිහතමානී, යටහත්, ඉවසිලිවන්ත, ප්‍රේමයෙන් පූර්ණව දරුවකු ඔහුගේ පියාණන්ට කීකරුවන්නාක් මෙන් පැමීණිමට මහත් ආශා වීම” පුදුමයක් නෙමේ.
සෑම විටම මෙන්, ගැලවුම්කරුවාණන් අපට කදිම ආදර්ශයක් වුණා. ශක්තිමත් හදවතකින් සහ උන්වහන්සේට කිරීමට සිදු වූ වේදනාකාරී කාර්යය දැන, උන්වහන්සේ තම පියාණන්වහන්සේගේ කැමැත්තට යටත් වී, උන්වහන්සේගේ මෙසියානුකාර මෙහෙවර ඉටු කරමින් ඔබටත් මටත් සදාකාලික පොරොන්දුව විවෘත කළා.
අපගේ කැමැත්ත දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් කිරීමේ තෝරාගැනීම අපගේ අනුගාමිකත්ව හදවතේ ඇති ඇදහිල්ලේ ක්‍රියාවක්. එම තේරීම සිදු කිරීමේදී, අපගේ තෝරා ගැනීමේ නිදහස අඩු නොවන බව අපට පෙනී යනවා; ඒ වෙනුවට, වෙනත් තැනක අපට සොයාගත නොහැකි අරමුණ, ප්‍රීතිය, සාමය සහ බලාපොරොත්තුව ගෙන එන ශුද්ධාත්මයාණන්වහන්සේගේ අභිමුඛයෙදී බලවත් වී යහපත් ඵල ගෙන එනවා.
මාස කිහිපයකට පෙර, ස්ටේක සභාපතිවරයෙක් සහ මම ඔහුගේ ස්ටේකයේ සිටි සහෝදරියක්ව සහ ඇගේ වැඩිහිටි පුතාව බලන්න ගියා. වසර ගණනාවකට පසු සභාවෙන් ඈත් වී දුෂ්කර හා මිත්‍රශීලී නොවන මාර්ගවල ඇවිදිමින් ඇය ආපසු පැමිණ තිබුණා. අපේ සංචාරයේදී අපි ඇගෙන් ඇහුවා ඇයි ආපහු ආවේ කියලා.
“මම මගේ ජීවිතය අවුල් කර ගත්තා, මම සිටිය යුතු තැන මම දැනගෙන හිටියා” කියලා ඇය කිව්වා.
ඊට පස්සේ මම ඇගෙන් ඇහුවා ඒ ගමනේදී මොනවද ඉගෙන ගත්තේ කියලා.
නොපැමිණීමේ පුරුද්දෙන් මිදීමට සෑහෙන කාලයක් සභාවට යාමට අවශ්‍ය බවත්, තමාට අවශ්‍ය තැන එය වනතෙක් රැඳී සිටීමට අවශ්‍ය බවත් ඇය දැනගත් බව හැඟීම්බරව ඇය බෙදා ගත්තා. ඇගේ නැවත පැමිණීම පහසු වී තිබුණේ නෑ, නමුත් ඇය පියාණන්වහන්සේගේ සැලැස්ම කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට, ආත්මයාණන්ගේ නැවත පැමිණීම ඇයට දැනුණා.
ඉන්පසු ඇය තවදුරටත් මෙසේ කිව්වා: “දෙවියන්වහන්සේ යහපත් බවත් උන්වහන්සේගේ මාර්ග මට වඩා යහපත් බවත් මම මා විසින්ම ඉගෙන ගත්තා.”
අපට ප්‍රේම කරන අපගේ සදාකාලික පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ගැනත්, අපව ගලවාගත් උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් මම සාක්ෂි දරනවා. අපේ දුක සහ අභියෝග ගැන උන්වහන්සේලා දන්නවා. උන්වහන්සේලා කිසි විටෙකත් අපව අත් නොහරින අතර අපට උපකාර කරන්නේ කොහොමද කියලා හොඳින්ම දන්නවා. ඕනෑම කෙනෙකුට හෝ වෙනත් ඕනෑම දෙයකට වඩා අපි උන්වහන්සේලාව විශ්වාස කරන විට අපට හොඳ ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.