2020–2024
බලාපොරොත්තුවේ ජයග්‍රහණය
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


13:32

බලාපොරොත්තුවේ ජයග්‍රහණය

බලාපොරොත්තුව කියන්නෙ ජීවමාන තෑග්ගක්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල වැඩි කරගන්නා විට වර්ධනය වන තෑග්ගක්.

ලොව පුරා සිටින මගේ දයාබර සහෝදර සහෝදරියනි, අපි ප්‍රධාන සම්මන්ත්‍රණයේ මෙම සුවිශේෂී කාලය ආරම්භ කරන විට, ස්වර්ගයේ ඇස් නිසැකවම අප වෙත යොමු වෙනවා. අපි උන්වහන්සේගේ සේවකයන් හරහා ස්වාමින්වහන්සේගේ හඬ අසනවා; ශුද්ධාත්මයාණන්ගේ “මගපෙන්වීමේ, මෙහෙයවීමේ සහ සැනසීමේ” බලපෑම අපට දැනෙනවා, ඒවගේම අපගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා.

වසර තුනකට පෙර, සභාපති රසල් එම්. නෙල්සන් මෙම වචන සමගින් ප්‍රධාන සම්මන්ත්‍රණය ආරම්භ කළා: “ඔබේ හදවතේ ඇති ප්‍රශ්න සඳහා පිවිතුරු එළිදරව් මෙම සම්මන්ත්‍රණය ප්‍රතිඵල ලබාදෙන හා අමතක නොවන එකක් කරනවා. මේ දින දෙක තුළ ඔබ අසනවාට ස්වාමින්වහන්සේ කැමති දේ ඇසෙන ලෙස ශුද්ධාත්මයාණන්ගේ දේවසේවය ලබාගැනීමට ඔබ තවමත් උත්සාහ කර නැත්නම්, දැන් එය කිරීමට මම ඔබට ආරාධනා කරනවා. කරුණාකර මෙම සම්මන්ත්‍රණය ස්වාමින්වහන්සේගේ සේවකයන් තුළින් ලබාදෙන පණිවිඩ භුක්ති විඳින මංගල්‍යයක් බවට පත්කරගන්න.”

ශුද්ධලියවිලි මගින් වචන තුනක් බලවත් ලෙස එකට සම්බන්ධ කරනවා: ඒ තමයි ඇදහිල්ල, බලාපොරොත්තුව, පිවිතුරු ප්‍රේමය. බලාපොරොත්තුව නමැති ත්‍යාගය දෙවියන්වහන්සේගෙන් ලද මිල කළ නොහැකි දායාදයක්.

බලාපොරොත්තුව යන වචනය අපට සිදුවීමට අවශ්‍ය බොහෝ දේ සඳහා භාවිතා වෙනවා. උදාහරණයක් ලෙස, “වහින්නෙ නැති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා” නැත්නම් “අපේ කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.” මගේ අභිප්‍රාය තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සහ නැවත පිහිටුවන ලද ශුභාරංචිය කේන්ද්‍ර කරගත් අපගේ පරිශුද්ධ සහ සදාකාලික බලාපොරොත්තු සහ “ධර්මිෂ්ඨකමේ පොරොන්දු වූ ආශිර්වාද පිළිබඳ විශ්වාසනීය අපේක්ෂාව[න්]” ගැන කතා කිරීම.

සදාකාල ජීවනය සඳහා අපගේ බලාපොරොත්තුව

අපගේ සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුව ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව සහ අපගේම තේරීම් තුළින් සහතික කර ඇති අතර, එමගින් අපගේ ස්වර්ගිය පියාණන්වහන්සේ සමඟත් උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් සමඟත්, අපගේ ඇදහිලිවන්ත පවුල සහ වටිනා මිතුරන් සමඟත්, එමෙන්ම සෑම මහද්වීපයකම සහ සෑම සියවසකම ධර්මිෂ්ඨ පිරිමි සහ කාන්තාවන් සමඟත් අපගේ ස්වර්ගික නිවසට නැවත යාමේ අති විශිෂ්ට ආශිර්වාදයට අපට ඉඩ ලබාදෙනවා.

මේ පොළොවේ අපව පරීක්ෂා කරමින් අභියෝගයට ලක් කරන විට, අපි ප්‍රීතිය සහ ශෝකය අත්විඳිනවා. අපගේ පව්, දුෂ්කරතා, පරීක්ෂාවන්, අසාධාරණකම් සහ අපි මෙම ලෞකික ජීවිතයේ අභියෝග ජය ගන්නා විට, අපගේ ජයග්‍රහණය පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල මගිනුයි.

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගද්දි, අපගේ අරගලවලින් ඔබ්බට සදාකාලික ආශිර්වාද සහ පොරොන්දු අපි දකිනවා. දීප්තිය වැඩෙන ආලෝකයක් මෙන්, බලාපොරොත්තුව මගින් අඳුරු වූ ලෝකය දීප්තිමත් කරනවා, ඒවගේම අපි අපගේ තේජාන්විත අනාගතය දකිනවා.

බලාපොරොත්තුව දෙවියන්වහන්සේගෙන් පැමිණේ

ආරම්භයේ සිටම, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් ඉතා උනන්දුවෙන් ධර්මිෂ්ඨයන්ට බලාපොරොත්තුව නමැති වටිනා තෑග්ග ලබා දී තිබෙනවා.

උයනෙන් පිටව ගිය පසු, දේවදූතයෙකු ආදම් සහ ඒවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පොරොන්දුව ගැන ඉගැන්වුවා. බලාපොරොත්තුවේ එම දීමනාව ඔවුන්ගේ ජීවිත ආලෝකවත් කළා. ආදම් මෙසේ ප්‍රකාශ කළා, “මගේ ඇස් විවෘත වී ඇති අතර, මේ ජීවිතයේ දී මට ප්‍රීතිය ලැබෙනු ඇත.” “[ඔවුන්ගේ] මිදීමේ ප්‍රීතිය සහ දෙවියන්වහන්සේ විසින් කීකරු වන සියල්ලන්ට දෙන සදාකාල ජීවනය”ගැන ඒව කතා කළා.

ශුද්ධාත්මයාණන්වහන්සේ ආදම්ට බලාපොරොත්තුවක් ගෙනාවා වගේම, සදාකාල ජීවනයේ යථාර්ථය ආලෝකවත් කරමින්, ස්වාමින්වහන්සේගේ ආත්මයේ බලය අද ඇදහිලිවන්තයන්ව ආලෝකමත් කරනවා.

ඇදහිල්ල, බලාපොරොත්තුව සහ “ලෝකයා දෙන්නාක් මෙන් නොවන” සාමය ගෙන එන සහකරුවෙක් වන සැනසිලිදායකයෙකු, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේව ගැලවුම්කරුවාණන් අප වෙත එවනවා.

ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා, “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙයල්ලා [බලාපොරොත්තුවේ දීප්තිය තබාගන්න]; මම ලෝකයෙන් ජයගතිමි.”

දුෂ්කර කාලවලදී, අපි ඇදහිල්ලෙන් යුතුව ස්වාමින්වහන්සේව විශ්වාස කිරීමට තෝරා ගන්නවා. “මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා” කියා අපි නිහඬව යාච්ඤා කරනවා. අපගේ නිහතමානී කැමැත්ත සඳහා ස්වාමින්වහන්සේගේ අනුමැතිය අපට දැනෙන අතර, ස්වාමින්වහන්සේ විසින් තෝරාගත් කාලය තුළ එවන පොරොන්දු වූ සාමය අපි බලා සිටිනවා.

ප්‍රේරිත පාවුල් මෙසේ ඉගැන්වුවා, “නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණ [කරන සේක],” “ඉදින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන්” “බලාපොරොත්තුවෙහි ප්‍රීතිවෙයල්ලා; දුකේදී ඉවසිලිවන්තව සිටපල්ලා.”

බලාපොරොත්තුවේ පාඩමක්

පීඩා වලදී ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් තබා ගැනීම ගැන මොරෝනි අනාගතවක්තෘවරයා මුල සිටම දැන සිටියා. ඔහු තම දුක්ඛිත තත්වය මෙසේ පැහැදිලි කළා:

“මම තනිව සිටිමි. … මට යාමට තැනක් නොමැත.”

“ඔවුන් මාව විනාශ කරන්නේ යැයි බියව, මාව දැනගැනීමට මම ඔවුන්ට නොසැලැස්සුවෙමි.”

මෙම අඳුරු සහ හුදකලා පැයේදී, මොරෝනි තම පියාගේ බලාපොරොත්තුවේ වචන වාර්තා කළා:

“මනුෂ්‍යයෙකුට ඇදහිල්ල ඇත්නම්, ඔහුට බලාපොරොත්තුව තිබීම අවශ්‍ය වන්නේය; මක්නිසාද ඇදහිල්ල නැතිව එහි කිසි බලාපොරොත්තුවක් නොවන්නේය.”

“නුඹලා කුමක් උදෙසා බලාපොරොත්තු වන්නෙහුද? … “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයෙන්, සදාතන ජීවනයට නැගිටීමට නුඹලාට බලාපොරොත්තුව ලැබෙන්නේය.”

මගේ සහෝදර සහෝදරියනි, බලාපොරොත්තුව කියන්නෙ ජීවමාන තෑග්ගක්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල වැඩි කරගන්නා විට වර්ධනය වන තෑග්ගක්. “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල හරයයි.” අපි යාච්ඤාවෙන්, දේවමාළිගාවේ ගිවිසුම් මගින්, ආඥා පිළිපැදීමෙන්, ශුද්ධලියවිලි සහ නූතන අනාගතවක්තෘවරුන්ගේ වචන මත අඛණ්ඩව පෝෂණය වීමෙන්, සක්‍රමේන්තුව ගැනීමෙන් සහ අපගේ සෙසු ශුද්ධවන්තයන් සමඟ සතිපතා නමස්කාර කිරීමෙන්, මෙම හරය වන අපගේ ඇදහිල්ලේ සාක්ෂි කුට්ටි අපි ගොඩනගා ගන්නවා.

බලාපොරොත්තුවේ නිවසක්

දුෂ්ටකම වැඩි වන කාලයක අපගේ බලාපොරොත්තුව ශක්තිමත් කරගැනීම සඳහා, ස්වාමින්වහන්සේ තම අනාගතවක්තෘවරයාට උන්වහන්සේගේ දේවමාළිගා වලින් පොළොව පුරවන ලෙස මගපෙන්වා තිබෙනවා.

අපි ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුල් වන විට, අපගේ බලාපොරොත්තුව තහවුරු කරමින් දෙවියන්වහන්සේගේ ආත්මය අපට දැනෙනවා.

දේවමාළිගාව හිස් සොහොන ගැන සහ තිරයෙන් ඔබ්බට, සෑම කෙනෙකුටම ජීවිතය දිගටම පවතිනු ඇති බව සාක්ෂි දරනවා.

සදාකාලික සහකරුවෙකු නොමැති අයට, සෑම ධර්මිෂ්ඨ පුද්ගලයෙකුටම පොරොන්දු වූ සෑම ආශිර්වාදයක්ම ලැබෙන බව නියෝග මගින් බලවත් ලෙස තහවුරු කරනවා.

මේ කාලය සඳහා පමණක් නොව සදාකාලයටම මුද්‍රා වීම සඳහා තරුණ යුවළක් පූජාසනය හරහා දණ ගසන විට එහි උත්තරීතර බලාපොරොත්තුවක් තිබෙනවා.

අපගේ පරපුරට ඔවුන්ගේ වර්තමාන තත්ත්වය කුමක් වුවත්, ඔවුන්ට ලබා දී ඇති පොරොන්දු තුළ අපට අපමණ බලාපොරොත්තුවක් තිබෙනවා.

ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ දෙවියන්වහන්සේ සමඟ අපි අපගේ ගිවිසුම් තදින් අල්ලාගෙන සිටිද්දි, කිසිම වේදනාවක්, අසනීපයක්, අයුක්තියක්, දුක් විඳීමක් නෑ, අප විශ්වාස කරන පරිදි අපගේ බලාපොරොත්තුව අඳුරු කළ හැකි කිසිවක් නෑ. එය ආලෝකයේ ගෘහයක්, බලාපොරොත්තුවේ ගෘහයක්.

බලාපොරොත්තුව ඉවතලන විට

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් නැති අයගේ දුක සහ බලාපොරොත්තු සුන්වීම දකින විට අපි දුක් කඳුළු හෙළනවා.

වරක් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබූ නමුත් පසුව ඔවුන්ගේ විශ්වාසය ඉවත දැමීමට තීරණය කළ යුවළක් මම මෑතකදී දුර සිට නිරීක්ෂණය කළා. ඔවුන් ලෝකයේ සාර්ථක වූ අතර, ඔවුන් ඔවුන්ගේ බුද්ධිය තුළ සහ ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රතික්ෂේප කිරීම තුළ සතුටක් ලැබුවා.

තවමත් තරුණව හා ජවසම්පන්නව සිටි ස්වාමිපුරුෂයා හදිසියේම රෝගාතුර වී මිය යන තෙක් සියල්ල හොඳින් පෙනෙන්නට තිබුණා. සූර්යග්‍රහණයක් මෙන් ඔවුන් පුත්‍රයාණන්වහන්සේගේ ආලෝකය අවහිර කර තිබූ අතර එහි ප්‍රතිඵලය වූයේ බලාපොරොත්තුවේ අන්ධකාරයක් ඇතිවීමයි. මෙම භාර්යාව, ඇගේ අවිශ්වාසයෙන්, දැන් තම දරුවන් සනසන්නට නොහැකිව, වේදනාකාරීව සූදානම් නැතිව, අවුල් සහගත බවකින් සිටියා. හදිසියේම ඇයට හෙටක් නොපෙනෙන තුරු ඇගේ ජීවිතය පරිපූර්ණ පිළිවෙළකට තිබූ බව ඇගේ බුද්ධිය ඇයට පවසා තිබුණා. ඇගේ බලාපොරොත්තු සුන්වීම අන්ධකාරය හා ව්‍යාකූලත්වය ගෙන ආවා.

හද කම්පා කරවන ඛේදවාචක තුළ බලාපොරොත්තුව

හද කම්පා කරවන කාලයකදී ක්‍රිස්තුස්වහන්සේගේ බලාපොරොත්තුව සමඟ සිටි පවුලක් සමඟ ඇගේ වේදනාකාරී බලාපොරොත්තු සුන්වීම සසඳන්නට මට ඉඩ දෙන්න.

වසර විසි එකකට පෙර මගේ බෑණනුවන් වන බෙන් ඇන්ඩර්සන්ගේ අලුත උපන් පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ රොබී ඔවුන්ගේ අයිඩහෝ ගොවි ප්‍රජාවේ සිට සෝල්ට් ලේක් නගරය වෙත ජීවිතයක් බේරාගැනීම සඳහා පියාසර කළා. මම රෝහලට ගිය අතර, බෙන් ඔවුන්ගේ දරුවාගේ හදවතේ ඇති දරුණු, ජීවිතයට තර්ජනයක් වන සංකූලතා විස්තර කළා. අපි ට්‍රේගේ කුඩා හිස මත අපේ අත් තැබුවා. තවත් ජීවත් වීමට ස්වාමින්වහන්සේ ඔහුට ආශිර්වාද කළා.

ට්‍රේට ඔහුගේ ජීවිතයේ පළමු සතියේදී හෘද සැත්කමක් හරහා යන්නට සිදු වූ අතර ඉන් පසුව තවත් සැත්කම් සිදු වුණා. වසර ගණනාවක් ගත වූ පසු, ට්‍රේ හට හදවතක් බද්ධ කිරීමට අවශ්‍ය බව පෙනී ගියා. ඔහුගේ ශාරීරික ක්‍රියාකාරකම් සීමිත වුවද, ඔහුගේ ඇදහිල්ල පුළුල් වුණා. ඔහු මෙහෙම ලිව්වා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමේ වැදගත්කම සහ ගැලවීමේ සැලැස්ම ගැන සාක්ෂියක් තිබීමේ වැදගත්කම මම සැමවිටම දැන සිටි නිසා මට මා ගැන කිසිදාක අනුකම්පාවක් දැනුණේ නෑ.”

ට්‍රේ ඇන්ඩර්සන්

සභාපති නෙල්සන්ගේ මෙම ප්‍රසිද්ධ උපුටා දැක්වීම ට්‍රේ ඔහුගේ දුරකථනයේ තබා ගත්තා: “අපට දැනෙන ප්‍රීතියට අපගේ ජීවිතයේ තත්වයන් හා අපගේ ජීවිතයේ කේන්ද්‍රය සමග එතරම් සම්බන්ධයක් නෑ.”

ට්‍රේ ඇන්ඩර්සන්

ට්‍රේ මෙහෙම ලිව්වා: “මම සැමවිටම පූර්ණ කාලීන ධර්මදූතයක් කිරීමට බලාපොරොත්තු වුණා, නමුත්… මගේ බද්ධ කිරීමෙන් අවම වශයෙන් වසරකට පසුවවත් මගේ වෛද්‍යවරු මට ධර්මදූතයක සේවය කිරීමට ඉඩ දෙන්නෙ නෑ. … මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ල තබා තිබෙනවා.”

මෙම අධ්‍යයන වාරය ආරම්භයේදී BYU හි ගණකාධිකරණ අංශයේ ඉගෙනීමට තේරීමෙන් ට්‍රේ උද්යෝගිමත් වූ නමුත්, ජූලි අගදී ඔහුගේ හදවත බද්ධ කිරීම සඳහා රෝහලට පැමිණෙන්නට කියා ලබාදෙන, එම අපේක්ෂා කළ දුරකථන ඇමතුම ලැබුණු විට ඔහු ඊටත් වඩා සතුටට පත්වුණා.

ට්‍රේ මෙහෙම කිව්වා, “එක් අවුරුද්දකින්, මම මගේ ධර්මදූත සේවයේ යෙදෙනවා.”

ඔහු ශල්‍යාගාරයට ඇතුළු වන විට, විශාල බලාපොරොත්තු ඇති වුණා. කෙසේ වෙතත්, ශල්‍යකර්මයේදී විනාශකාරී සංකූලතා ඇති වූ අතර ට්‍රේට කිසි දිනෙක සිහිය ලැබුණේ නෑ.

ඔහුගේ මව වන රොබී මෙසේ පැවසුවා: “සිකුරාදා වඩාත් හද කම්පා කරවන දිනයක් වුණා, අපේ මනස ඒක වටහාගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. සියල්ල තේරුම් ගැනීමට උත්සාහ කරමින් මම බොහෝ රෑ වන තුරු අවදියෙන් සිටියා. … නමුත් සෙනසුරාදා මම නිරපේක්ෂ ප්‍රීතියේ හැඟීමකින් අවදි වුණා. එය සාමය පමණක් නොවේ; එය ප්‍රතික්ෂේප කිරීමකුත් නොවේ. මට මගේ පුතා ගැන සතුටක් දැනුණා, ඒවගේම ඔහුගේ මව ලෙස මට සතුටක් දැනුණා. … බෙන් මට වඩා බොහෝ වේලාවකට පෙර නැගිටලා තිබුණා, අවසානයේ අපට කතා කිරීමට අවස්ථාවක් ලැබුණු විට, බෙන් අවදි වෙලා තියෙන්නෙත් මට තිබුණු හැඟීමම ඇතිවයි.”

රොබී සහ බෙන් ඇන්ඩර්සන්

බෙන් මෙහෙම පැහැදිලි කළා: “දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මට ඉගැන්වූ විට මගේ ප්‍රාණයට පැහැදිලිකම පැමිණියා. මම පාන්දර 4.00 ට අවදි වූ අතර විස්තර කළ නොහැකි සාමයෙන් හා ප්‍රීතියෙන් පිරී ගියා. මේක වෙන්න පුළුවන් කොහොමද? … ට්‍රේගේ අභාවය ඉතා වේදනාකාරීයි ඒවගේම මට ඔහු නැතුව හරිම පාලුයි. නමුත් ස්වාමින්වහන්සේ අපව අසරණ කරන්නේ නෑ. … මම ප්‍රීතිමත් නැවත හමුවීමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

බලාපොරොත්තුවේ පොරොන්දුව

ට්‍රේ ඔහුගේ දිනපොතේ සභාපති නෙල්සන්ගේ ප්‍රධාන සම්මන්ත්‍රණ කතාවේ මෙම වචන සටහන් කර තිබුණා: “නිදසුනක් වශයෙන්, ඔබේ දරුවා සුව කළ නොහැකි රෝගාබාධයකින් පෙළෙන විට හෝ ඔබේ රැකියාව අහිමි වූ විට හෝ ඔබේ සහකරු හෝ සහකාරිය ඔබව රවටන විට හෝ සතුටක් දැනිය නොහැකි බව පෙනෙනවා. එහෙත් ගැලවුම්කරුවාණන් පිරිනමන ප්‍රීතිය එයයි. උන්වහසේගේ ප්‍රීතිය නියතයි, අපගේ ‘පීඩා සුළු මොහොතක්’ [දහම සහ ගිවිසුම් 121:7] සඳහා පමණක් බව සහ අපගේ ප්‍රයෝජනය සඳහා කැපවනු ඇති බවට අපට එය සහතිකයක් වෙනවා.”

සහෝදර සහෝදරියනි, ඔබ සොයන සාමය ඔබ කැමති තරම් ඉක්මනින් පැමිණෙන එකක් නැහැ, නමුත් ඔබ ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට උන්වහන්සේගේ සාමය පැමිණෙන බව මම ඔබට පොරොන්දු වෙනවා.

බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියකින් ඉදිරියට යමින්, අපි අපගේ වටිනා ඇදහිල්ල පෝෂණය කරගනිමු. අපගේ බලාපොරොත්තුව අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේ තුළින් අපගේ සියලු ධර්මිෂ්ඨ සිහින සැබෑ වෙයි. ඔහු බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේයි—බලාපොරොත්තුවේ ජයග්‍රහණයයි. උන්වහන්සේ ජීවමානයි ඒවගේම උන්වහන්සේ ඔබට ආදරෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. රසල් එම්. නෙල්සන්, “සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා, මැයි 2018, 96.

  2. රසල් එම්. නෙල්සන්, “පිවිතුරු සත්‍යය, පිවිතුරු දහම, සහ පිවිතුරු එළිදරව්ව,” ලියහෝනා, නොවැ. 2021, 6–7.

  3. “ශුද්ධලියවිලිවල බලාපොරොත්තුව තනිව තිබෙන්නේ කලාතුරකින් බව ඔබ දැක තිබේද? බලාපොරොත්තුව බොහෝ විට ඇදහිල්ල සමඟ සම්බන්ධ වී තිබෙනවා. බලාපොරොත්තුව සහ ඇදහිල්ල පොදුවේ පිවිතුරු ප්‍රේමයට සම්බන්ධයි. ඒ ඇයි? මොකද ඇදහිල්ලට බලාපොරොත්තුව අත්‍යවශ්‍යයි; බලාපොරොත්තුවට ඇදහිල්ල අත්‍යවශ්‍යයි; ඇදහිල්ල සහ බලාපොරොත්තුව පිවිතුරු ප්‍රේමය සඳහා අත්‍යවශ්‍යයි (බලන්න 1 කොරින්ති 13:13, ඇල්මා 7:24, ඊතර් 12:28, දහම සහ ගිවිසුම් 4:5). ඔවුන් කකුල් තුනේ පුටුවක කකුල් මෙන් එකිනෙකාට ආධාර කරනවා. මේ තුනම අපේ මිදුම්කරුවාණන්ට සම්බන්ධයි.

    ඇදහිල්ල [මුල් මුල් බැස ඇත්තේ] යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළයි. බලාපොරොත්තුව උන්වහන්සේගේ වන්දිගෙවීම තුළ කේන්ද්‍රගත වේ. ‘ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමය’ තුළින් පිවිතුරු ප්‍රේමය ප්‍රකාශ වේ (බලන්න මොරෝනි 7:47). මෙම ගුණාංග තුන කේබලයක නූල් මෙන් එකට බැඳී ඇති අතර සෑම විටම නිශ්චිතව වෙන්කර හඳුනාගත නොහැක. එක්ව, ඒවා සෙලෙස්ටියල් රාජ්‍යයට අපගේ බැඳීම බවට පත්වෙනවා” (Russell M. Nelson, “A More Excellent Hope” [Brigham Young University devotional, Jan. 8, 1995], 3, speeches.byu.edu).

  4. Gospel Topics, “Hope,” Gospel Library.

  5. “එසේහෙයින්, කවරෙකුවූවත් දෙවියන්වහන්සේව විශ්වාස කර සැබවින් යහපත් ලෝකයක් උදෙසා, එසේය, දෙවියන් වහන්සේගේ දකුණු භාගයේ ස්ථානයක් උදෙසා පවා බලාපොරොත්තු තබන්නේද, එම බලාපොරොත්තු පැමිණෙන්නේ ඇදහිල්ල මගින් ය, එය මනුෂ්‍යයන්ගේ ප්‍රාණයන්ට නැංගුරමක් සාදන්නේය, ඔවුන්ට සහතික [කරමින්] සහ ස්ථිර [කරන්නේය]” (ඊතර් 12:4).

  6. වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් මෙසේ පැවසීය, “අපි ප්‍රීතිය සොයා ගන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමට පෙර, මානසික අවපීඩනය සහ වෙනත් දුෂ්කර මානසික හා චිත්තවේගීය අභියෝග සැබෑ බව පිළිගැනීමට මට ඉඩ දෙන්න, පිළිතුර සරලව නොවේ, “සතුටින් සිටීමට උත්සාහ කරන්න” යන්න නොවේ. අද මගේ අරමුණ මානසික සෞඛ්‍ය ගැටලු අඩු කිරීම හෝ සුළු කිරීම නොවේ. ඔබ එවැනි අභියෝගවලට මුහුණ දෙන්නේ නම්, මම ඔබ සමඟ ශෝක වන අතර, මම ඔබ අසල සිටිමි. සමහර පුද්ගලයින් සඳහා, ප්‍රීතිය සොයා ගැනීම සඳහා ඔවුන්ගේ ඉතා වැදගත් කලාව ප්‍රගුණ කිරීම සඳහා තම ජීවිතය කැප කරන පුහුණු මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් උපකාර පැතීම ඇතුළත් විය හැකිය. එවැනි උපකාර සඳහා අපි ස්තුතිවන්ත විය යුතුයි” (“උසස් ප්‍රීතියක්,” ලියහෝනා, මැයි 2024, 66).

  7. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ උන්වහන්සේගේ කාර්යය සහ මහිමය අපගේ සදාකාල ජීවනය ගෙන ඒම බවයි (බලන්න මෝසෙස් 1:39).

  8. බලන්න මෝසෙස් 5.

  9. මෝසෙස් 5:10.

  10. මෝසෙස් 5:11.

  11. බලන්න මෝසෙස් 5:9.

  12. යොහාන් 14:27.

  13. යොහාන් 16:33

  14. බලන්න ලූක් 22:42.

  15. රෝම 15:13.

  16. රෝම 12:12.

  17. රෝම 15:13.

  18. මොර්මොන් 8:5.

  19. මොරෝනි 1:1.

  20. මොරෝනි 7:42.

  21. මොරෝනි 7:41.

  22. හෙබ්‍රෙව් 11:1. ජෝසෆ් ස්මිත් පරිවර්තනයේ මෙසේ කියවෙනවා, “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය ය, නොපෙනෙන දේ පිළිබඳ සාක්ෂිය ය” (in the Bible appendix). ස්වාමින්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් රකින අයට ලැබෙන ආශිර්වාද තුළ අපගේ ඇදහිල්ලේ සහතිකය අපි දකිමු.

  23. Russell M. Nelson, “Joy and Spiritual Survival,” Liahona, Nov. 2016, 82.

  24. 2024 අගෝස්තු 12, ඇගේ පුත් ට්‍රේ ඇන්ඩර්සන්ගේ අවමංගල්‍ය උත්සවයේදී රොබී ඇන්ඩර්සන් විසින් කරන ලද කතාව. ට්‍රේට ඔහුගේ ශල්‍යකර්මය 2024 ජූලි 31 දින සිදු කරන ලදී. ඔහු 2024 අගෝස්තු 3 වැනි දින මේ ජීවිතයෙන් සමුගත්තේය.

  25. 2024 අගෝස්තු 12, ඔහුගේ පුත් ට්‍රේ ඇන්ඩර්සන්ගේ අවමංගල්‍ය උත්සවයේදී බෙන් ඇන්ඩර්සන් විසින් කරන ලද කතාව.

  26. Russell M. Nelson, “Joy and Spiritual Survival,” 82.

  27. බලන්න 2 නෙපී 31:20. නෙපී කතා කරන බලාපොරොත්තුව පරිපූර්ණ හා දීප්තිමත් වන්නේ එය ක්‍රිස්තුස්වහන්සේ තුළ කේන්ද්‍රගත වී ඇති බැවිනි. උන්වහන්සේ පරිපූර්ණ වන අතර මෙම දීප්තිමත් බලාපොරොත්තුව ලබා දෙන උන්වහන්සේගේ වන්දිගෙවීමද පරිපූර්ණ වේ.