2020–2024
අහෝ උතුම් ජන්ම උරුමය හිමි යෞවනයෙනි
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


12:32

අහෝ උතුම් ජන්ම උරුමය හිමි යෞවනයෙනි

උන්වහන්සේගේ සියලුම දරුවන්ව ආරක්ෂිතව උන්වහන්සේ කරා නිවසට ගෙන ඒමේ උන්වහන්සේගේ කාර්යයට සහය වෙන්නට උන්වහන්සේ ඔබව විශ්වාස කරනවා.

වැඩිහිටි ස්ටීවන්සන්, මෙය කිසිදා අමතක නොවන සම්මන්ත්‍රණයක්.

අපේ පවුලේ අය හැම විටම, ළමුන් විසින් දෙවියන්වහන්සේට ලියූ ලිපි නමින් වූ කුඩා පොතක් තබාගනිමින් සතුටු වුණා. මෙන්න ඒවායින් කිහිපයක්:

“ආදරණීය දෙවියන්වහන්ස, මිනිසුන්ට මැරෙන්නට ඉඩ දී අලුත් අය ඉපදීම සිදුවෙනවා වෙනුවට, ඔබට දැනට ඉන්න අයව පමණක් රඳවා තබා නොගන්නේ ඇයි?”

“අපේ පාසලේ නීති මිලියන ගණනක් තිබෙනකොට, ඔබට නීති දහයක් පමණක් තිබෙන්නේ ඇයි?”

“ඔබ නැවත සෙම්ගෙඩි පිටතට ගැනීමට යන්නේ නම් ඔබ ඒවා නිර්මාණය කළේ ඇයි?”

අද මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දීමට කාලයක් නෑ, නමුත් මම ආමන්ත්‍රණය කිරීමට කැමති යෞවනයින්ගෙන් මට නිතර අසන්නට ලැබෙන තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මොංගෝලියාවේ උලාන්බාටර්ගේ සිට අයිඩහෝ හි තෝමස් දක්වා එම ප්‍රශ්නය සමානයි: “ඇයි? පසුදවස්වල ශුද්ධවන්තයින් අන් අයට වඩා වෙනස් ලෙස ජීවත් විය යුතුම වන්නේ ඇයි?

විශේෂයෙන් ඔබ යෞවන වියේ පසුවන විට සහ අනෙක් අය ඔබට කැමති වීම, ඔබට දැඩි ලෙස අවශ්‍ය වූ විට—වෙනස් වීම අපහසු බව මම දන්නවා. සෑම කෙනෙකුටම අනෙක් අය සමඟ ගැලපෙන්නට අවශ්‍යයි, ඒවගේම එම ආශාව සමාජ මාධ්‍ය සහ සයිබර් හිරිහැර කිරීම්වලින් පිරුණු වර්තමාන ඩිජිටල් ලෝකයේ විශාල ලෙස පැතිරී තිබෙනවා.

ඉතින්, එම සියලු පීඩන සමඟ, පසුදවස්වල ශුද්ධවන්තයින් මෙතරම් වෙනස් ලෙස ජීවත් වන්නේ ඇයි? හොඳ පිළිතුරු බොහොමයක් තිබෙනවා: ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙක් නිසා. ඔබව අවසාන දවස්වල ජීවත් වීමට තෝරාගෙන ඇති නිසා. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක් නිසා.

නමුත් එම පිළිතුරු සෑම විටම ඔබව වෙනස් කෙනෙක් ලෙස පෙන්නුම් කරන්නේ නෑ. හැම කෙනෙක්ම දෙවියන්වහන්සේගේ දරුවෙක්. දැන් මිහිපිට සිටින සියල්ලන්වම එවා තිබෙන්නේ මේ අවසාන දවස්වලදීයි. එහෙත් සෑම කෙනෙකුම ඔබ උත්සාහ කරන ආකාරයට ප්‍රඥාවේ වචනය හෝ නිර්මලකමේ නීතිය අනුව ජීවත් වන්නේ නෑ. මෙම සභාවේ සාමාජිකයන් නොවන ක්‍රිස්තුස්වහන්සේගේ නිර්භීත ගෝලයන් බොහෝ දෙනෙක් සිටිනවා. නමුත් ඔවුන් ඔබ වගේ ධර්මදූතයන් වල සේවය කරන්නේවත්, මුතුන්මිත්තන් වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ ගෘහයන්වල නියෝග ඉටු කරන්නේවත් නැහැ. මීට වඩා වැඩි පිළිතුරක් ඒ සඳහා තිබිය යුතුමයි—ඒවගේම එහෙම එකක් තිබෙනවා.

මගේ ජීවිතයේ අර්ථවත් වූ එක් අතිරේක හේතුවක් ගැන අවධානය යොමු කරන්න අද මම කැමතියි. 1988 දී රසල් එම්. නෙල්සන් නම් තරුණ ප්‍රේරිතවරයා බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේදී “ගිවිසුමට ස්තූතියි” යනුවෙන් කතාවක් කළා. දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගැනීමට සහ තබා ගැනීමට අපි අපගේ සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහස භාවිතා කරන විට, දෙවියන්වහන්සේ අපගේ පූර්වගාමීන් සමඟ සෑම යුගයකම ඇති කරගෙන ඇති සදාකාලික ගිවිසුමේ උරුමක්කාරයන් බවට අප පත්වන බව එවකට වැඩිහිටි නෙල්සන් එම කතාවේදී පැහැදිලි කළා. තවත් ආකාරයකින් කියනවා නම්, අපි “ගිවිසුමේ දරුවන්” බවට පත් වෙනවා. එය අපව වෙන් කර පෙන්නුම් කරනවා. එමගින් අපට ජන්ම උරුමයක් ඇතුළුව, අපේ මුතුන් මිත්තන්ට ලැබුණු ආශීර්වාදවලට ප්‍රවේශය ලබාදෙනවා.

ජන්ම උරුමය! ඔබ එම වචනය අසා ඇති. අපි ඒ ගැන ගීතිකා පවා ගායනා කරනවා: “අහෝ උතුම් ජන්ම උරුමය හිමි යෞවනයෙනි, ඉදිරියටම යන්න, ඉදිරියටම යන්න, ඉදිරියටම යන්න!” එය ඉතා බලගතු වචනයක්. නමුත් එයින් අදහස් කරන්නේ කුමක්ද?

පැරණි ගිවිසුමේ කාලවලදී කියන ආකාරයට පියෙකු මිය ගියහොත්, ඔහුගේ ජන්ම උරුමය හිමි පුත්‍රයා ඔහුගේ මව සහ සහෝදරියන් රැකබලා ගැනීම සඳහා වගකිව යුතු වෙනවා. ඔහුගේ සොහොයුරන් ඔවුන්ගේ උරුමය ලබාගෙන ලෝකයේ ඔවුන්ට කැමති ආකාරයට ජීවත් වෙන්නට පිටත්ව ගිය නමුත්, ජන්ම උරුමය හිමි පුත්‍රයා කොහේවත් ගියේ නෑ. ඔහු විවාහ වී ඔහුගේම පවුලක් හදාගනියි, නමුත් ඔහු තම පියාගේ වත්තේ කටයුතු පාලනය කිරීම සඳහා ඔහුගේ දවස් අවසන් වන තුරුම රැඳී සිටිනවා. මෙම අමතර වගකීම නිසා, ඔහුට එම උරුමයේ වැඩි කොටසක් ලබදෙනවා. අනෙක් අයට නායකත්වය දීමට සහ සැලකිල්ලක් දැක්වීමට ඉල්ලා සිටීම ඕනාවට වැඩීද? ඔහුට ලබා දුන් අතිරේක උරුමය ගැන ඔබ සලකා බලන විට ඒක එහෙම නැහැ.

අද අපි කතා කරන්නේ ලෞකික පවුල්වල ඔබේ උපත් අනුපිළිවෙල ගැන හෝ පැරණි ගිවිසුමේ ස්ත්‍රී පුරුෂ භාවයට හිමි වගකීම් ගැන නොවේ. අපි කතා කරන්නේ ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ සහ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්වහන්සේ සමඟ ඇතුල් වීමට තෝරාගෙන ඇති ගිවිසුම් සම්බන්ධතාවය නිසා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබට ලැබෙන උරුමය ගැනයි. ඔබට ඉතාමත් හොඳින් දෙවියන්වහන්සේගේ අනෙකුත් දරුවන්ට නායකත්වය දීමට සහ සේවය කිරීමට හැකි වන පරිදි, ඔවුන්ට වඩා වෙනස් ලෙස ඔබ ජීවත් වනු ඇතැයි දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වීම ඕනෑවට වඩා වැඩිද? ඔබට ලබා දී ඇති ලෞකික හා අධ්‍යාත්මික ආශිර්වාද ගැන සලකා බලන විට එය ඕනෑවට වැඩි නැහැ.

ඔබේ ජන්ම උරුමය මගින් අදහස් කරන්නේ ඔබ අන් අයට වඩා හොඳයි කියාද? නැහැ, නමුත් එයින් අදහස් වන්නේ අන් අයට තව තවත් හොඳ වීමට ඔබ උපකාර කළ යුතුයි කියා ඔබෙන් බලාපොරොත්තු වෙනවා කියලයි. ඔබේ ජන්ම උරුමයෙන් අදහස් වෙන්නේ ඔබව තෝරාගෙන ඇති බව ද? ඔව්, නමුත් ඔබව තෝරාගෙන තිබෙන්නේ අනෙක් අයව පාලනය කිරීමට නොවේ; ඔබව තෝරාගෙන තිබෙන්නේ ඔවුන්ට සේවය කිරීමටයි. ඔබගේ ජන්ම උරුමය දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ සාක්ෂියක්ද? ඔව්, නමුත් වඩා වැදගත් වන්නේ, එය උන්වහන්සේගේ විශ්වාසය පිළිබඳ සාක්ෂියක් වීමයි.

ආදරය ලැබීම කියන්නෙ එක් දෙයක් සහ සම්පූර්ණයෙන්ම විශ්වාසය දිනාගැනීම කියන්නෙ තවත් දෙයක්. යෞවනයේ ශක්තිය සඳහා මාර්ගෝපදේශයේ, අපි මෙහෙම කියවනවා: “ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්වහන්සේ ඔබව විශ්වාස කරනවා. ඔබව උන්වහන්සේට සම්බන්ධ කරන සහ ඔබේ ජීවිතය තුළ උන්වහන්සේගේ බලය ගෙන එන, ශුභාරංචියේ පූර්ණත්වය සහ පරිශුද්ධ නියෝග සහ ගිවිසුම් ඇතුළුව උන්වහන්සේ ඔබට විශාල ආශිර්වාද ලබා දී තිබෙනවා. එම ආශිර්වාද පැමිණෙන්නේ අමතර වගකීමක් ද සමඟයි. ඔබට ලෝකයේ වෙනසක් කළ හැකි බව උන්වහන්සේ දන්නවා, ඒවගේම ඒ සඳහා බොහෝ අවස්ථාවලදී ලෝකයට වඩා වෙනස් වීම අවශ්‍ය වෙනවා.”

දෙවියන්වහන්සේ තම දරුවන්ව එක් වෙරළක සිට තවත් වෙරළකට යවන විශාල නෞකාවකට, අපගේ මේ ලෞකික අත්දැකීම සසඳන්න පුළුවන්. මෙම මුහුදු ගමන ඉගෙනීමට, වර්ධනය වීමට, සතුටින් සිටීමට සහ දියුණු වීමට අවස්ථාවන්ගෙන් පිරී තිබෙනවා, නමුත් එය අන්තරායන්ගෙන්ද පිරී තිබෙනවා. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සියලුම දරුවන්ට ආදරය කරනවා වගේම ඔවුන්ගේ සුභසාධනය ගැන සැලකිලිමත් වෙනවා. ඔවුන්ගෙන් කිසිවෙක් අහිමි වෙනවාට උන්වහන්සේ කැමති නැහැ, ඒනිසා උන්වහන්සේගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වීමට කැමති අයට—ඒ කියන්නේ ඔබට, උන්වහන්සේ ආරාධනා කරනවා. ගිවිසුම් ඇති කරගැනීමට සහ ඒවා තබාගැනීමට ඔබ තෝරාගත් නිසා, උන්වහන්සේ ඔබට උන්වහන්සේගේ විශ්වාසය පිරිනමනවා. උන්වහන්සේ ඔබව විශ්වාස කරමින් ඔබට ලබා දී ඇති වැදගත් කාර්යය නිසා, ඔබට වෙනස් ලෙස සිටීමට, සුවිශේෂී වීමට සහ වෙන් වී සිටීමට උන්වහන්සේ ඔබ කෙරෙහි විශ්වාසය තබනවා.

ඒ ගැන සිතන්න! උන්වහන්සේගේ සියලුම දරුවන්ව ආරක්ෂිතව උන්වහන්සේ කරා නිවසට ගෙන ඒමේ උන්වහන්සේගේ කාර්යයට සහය වෙන්නට, පොළොවේ සිටින සියලුම මිනිසුන් අතරින්—උන්වහන්සේගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ව—එනම් ගිවිසුමේ දරුවන්ව, එනම් ඔබව උන්වහන්සේ විශ්වාස කරනවා. “ස්වර්ගයේ සිටින සියලුම දේවදූතයන් මේ කුඩා අතලොස්ස දෙස බලා සිටින” බව සභාපති බ්‍රිගම් යන්ග් විසින් වරක් පැවසීම පුදුමයක් නොවේ.

ඔබ මේ පොළොව නැමති නෞකාවේ වටපිට බලන විට, වෙනත් පුද්ගලයින් විවේකාගාර පුටුවල වාඩි වී මත්පැන් පානය කරමින්, කැසිනෝ සූදුවල යෙදෙමින්, ඇඟ පෙනෙන ඇඳුම් ඇඳගෙන, ජංගම දුරකථනවල නිමක් නැතිව එහා මෙහා යමින්, ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා කරමින් කාලය නාස්ති කරන ආකාරය ඔබට දැකගන්න පුළුවන්. නමුත් “ඇයි මට ඒක කරන්න බැරි?” කියමින් පුදුම වෙනවා වෙනුවට, ඔබ සාමාන්‍ය මගියෙකු නොවන බව ඔබට මතක තබාගන්න පුළුවන්. ඔබ එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක්. මගීන්ට නැති වගකීම් ඔබට තිබෙනවා. ආර්ඩෙත් කැප් සහෝදරිය වරක් පැවසූ පරිදි, “වෙරළේ සිටින අනෙකුත් සියලුම පිහිනුම් ක්‍රීඩකයින් මෙන් ඔබ පෙනී සිටියොත්, ඔබට ජීවිත [ආරක්ෂකයෙකු] වෙන්නට බැහැ.”

ඔබ මෙම සියලු අමතර වගකීම් වලින් අධෛර්යමත් වීමට පෙර, කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අනෙකුත් මගීන්ට නොලැබෙන දෙයක් ලැබෙන බව මතක තබා ගන්න: ඒ තමයි දීමනා. වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් මෙසේ කියා තිබෙනවා, “වැඩි සහතිකයක්, වැඩි තහවුරු කිරීමක් සහ වැඩි විශ්වාසයක්” ඇතුළුව, “ධර්මිෂ්ඨයන් සඳහා දීමනා ලැබීමේ අධ්‍යාත්මික බලයක් තිබෙනවා.” පුරාණයේ සිටි ආබ්‍රහම් මෙන්, ඔබටත් වැඩි සතුටක් හා සමාදානයක්, මහත් ධර්මිෂ්ඨකමක් සහ වැඩි දැනුමක් ලැබෙනවා. ඔබට ලැබෙන දීමනාව ස්වර්ගයේ මන්දිරයක් හා රත්තරන් වීදි වලට වඩා වැඩි දෙයක්. ස්වර්ගික පියාණන්වහන්සේට තමන් සතු සියල්ල සරලව ඔබට ලබාදීම පහසුයි. සියලුම ආකාරයෙන් උන්වහන්සේ වගේ වීමට ඔබට උපකාර කිරීම තමයි උන්වහන්සේගේ ආශාව. මේ අනුව, ඔබේ කැපවීම් ඔබගෙන් වැඩි යමක් ඉල්ලා සිටිනවා, මොකද දෙවියන්වහන්සේ ඔබව ඔබට විය හැකි කෙනා බවට පත්කරන්නෙ එහෙමයි.

එය “ඕනෑම අයෙකුගෙන් බලාපොරොත්තු වන්නට තරම් විශාල දෙයක්, නමුත් ඔබ ඕනෑම අයෙක් නොවේ”! ඔබ උතුම් ජන්ම උරුමයක් ඇති යෞවනයෙක්. දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති ඔබගේ ගිවිසුම් සම්බන්ධය ප්‍රේමයේ සහ විශ්වාසයේ සම්බන්ධතාවයක් වන අතර, උන්වහන්සේලාගේ දිව්‍යමය උපකාරය, ශක්තියේ බලයෙන් සැරසීමට සහ බලය ලබාගැනීම යන—උන්වහන්සේලාගේ දයාවේ වැඩි ප්‍රමාණයකට ඔබට ප්‍රවේශය තිබෙනවා. එම බලය හුදු ප්‍රාර්ථනාවක්, වාසනාවන්ත චමත්කාරයක් හෝ ඉබේ ඉටුවන අනාවැකියක් නොවේ. එය සැබෑවක්.

ඔබ ඔබේ ජන්ම උරුමයේ වගකීම් ඉටු කරන විට, ඔබ කිසි විටෙකත් තනි වන්නේ නෑ. මිදිවත්තේ ස්වාමියා ඔබ සමඟ වැඩ කරනවා. ඔබ වැඩ කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අත්වැල් බැඳගෙනයි. සෑම නව ගිවිසුමක් සමඟම—සහ උන්වහන්සේ සමඟ ඔබේ සබඳතාව ගැඹුරු වන විට—ඔබ එකිනෙකා සමඟ හොඳින් සම්බන්ධ වන තුරු එකිනෙකාව තදින් අල්ලාගෙන සිටින්න. උන්වහන්සේගේ කරුණාවේ එම පූජනීය සංකේතය තුළ, ගැලවුම්කරුවාණන් ජීවත් වූ ආකාරයට—එනම් ලෝකයට වඩා වෙනස්ව ජීවත් වීමට ආශාව සහ ශක්තිය යන දෙකම ඔබට සොයාගන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සමඟ සිටින නිසා ඔබට මෙය කරන්න පුළුවන්!

2 නෙපී 2:6 හි අපි මෙහෙම කියවනවා, “එබැවින්, මිදීම පැමිණෙන්නේ ශුද්ධ වූ මෙසියස්වහන්සේ තුළින් ය; මක්නිසාද උන්වහන්සේ කරුණාවෙන් හා සත්‍යයෙන් පූර්ණය.” උන්වහන්සේ සත්‍යයෙන් පිරී ඇති නිසා, උන්වහන්සේ ඔබව සැබෑ ලෙසම දකිනවා—ඔබේ අඩුපාඩු, දුර්වලතා, පසුතැවීම් සහ සියල්ල දකිනවා. උන්වහන්සේ කරුණාවෙන් පිරී ඇති නිසා, ඔබට සැබවින්ම විය හැක්කේ කවුරුන්ද කියා උන්වහන්සේ දකිනවා. ඔබ සිටින තැන උන්වහන්සේ තේරුම් ගන්නා අතර පසුතැවිලි වීමට සහ වැඩිදියුණු වීමට, ජය ගැනීමට සහ පත්වීමට උන්වහන්සේ ඔබට උදව් කරනවා.

“අහෝ උතුම් ජන්ම උරුමය හිමි යෞවනයෙනි, ඉදිරියටම යන්න, ඉදිරියටම යන්න, ඉදිරියටම යන්න!” අදත්, වසර 20 කින් පසුත්, සදහටමත් ඔබට ආදරය ලැබෙන බවත්—ඔබට විශ්වාස ලැබෙන බවත් මම සාක්ෂි දරනවා. ඔබේ ජන්ම උරුමය කොල්ලු ව්‍යංජනයකට විකුණන්න එපා. කිසිවක් නොලැබීම සඳහා සෑම දෙයක්ම විකුණා දමන්න එපා. ඔබ ලෝකය වෙනස් කිරීමට උපන් විට, ලෝකයට ඔබව වෙනස් කිරීමට ඉඩ දෙන්න එපා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. In Stuart Hample and Eric Marshall, Children’s Letters to God (1991).

  2. බලන්න Russell M. Nelson, “Thanks for the Covenant” (Brigham Young University devotional, Nov. 22, 1988), speeches.byu.edu.

  3. 3 නෙපී 20:26; තවත් බලන්න Russell M. Nelson, “Choices for Eternity” (worldwide devotional for young adults, May 15, 2022), Gospel Library; Russell M. Nelson, “Children of the Covenant,” Ensign, May 1995, 32–35.

  4. බලන්න 3 නෙපී 20:25; තවත් බලන්න Guide to the Scriptures, “Abrahamic Covenant,” Gospel Library”; තවත් බලන්න ආබ්‍රහම් 2:6 (පොරොන්දු වූ දේශය: ස්වර්ගීය මහිමය, සදාකාලික පවුල්), උත්පත්ති 13:16 සහ දහම සහ ගිවිසුම් 132:30–31 (පරම්පරාව: සදාකාලික වර්ධනය), සහ ආබ්‍රහම් 1:18; 2:11 (පූජකත්වය: අධිකාරිය, යතුරු, නියෝග, ගිවිසුම් සහ දිව්‍ය බලය; තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “පූජකවර යතුරු දීමනාව ගැන ප්රීති වන්න,” ලියහෝනා, මැයි 2024, 119–23.

  5. “Carry On,” Hymns, no. 255.

  6. බලන්න Russell M. Nelson, “Youth of the Noble Birthright: What Will You Choose?” (Church Educational System devotional for young adults, Sept. 6, 2013), Gospel Library; see also Russell M. Nelson, “Thanks for the Covenant,” speeches.byu.edu; Guide to the Scriptures, “Firstborn,” Gospel Library.

  7. බලන්න ලූක් 12:42; 17:7–10.

  8. බලන්න රෝම 8:17; තවත් බලන්න දහම සහ ගිවිසුම් 76:54–55; 88:107.

  9. ස්වාමින්වහන්සේ මෙසේ පැවසූසේක, “එය ඉතා සුළු දෙයක් ය” (1 නෙපී 21:6).

  10. බලන්න 1 පේත්‍රැස් 2:9.

  11. ස්වාමින්වහන්සේ මෙසේ පැවසූසේක, “අහෝ ඉශ්‍රායෙල් නුඹ මගේ මෙහෙකරුවා ය” (1 නෙපී 21:3).

  12. බලන්න නික්මයාම 2:25.

  13. යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීමට මාර්ගෝපදේශයක් (2022), 4; තවත් බලන්න දහම සහ ගිවිසුම් 84:18–25; 107:18–21; Russell M. Nelson, “Youth of the Noble Birthright: What Will You Choose?

  14. බලන්න දහම සහ ගිවිසුම් 20:77.

  15. බලන්න 1 පේත්‍රැස් 2:9.

  16. බලන්න මෝසෙස් 1:6; තවත් බලන්න “Aaronic Priesthood Quorum Theme,” Gospel Library.

  17. Teachings of Presidents of the Church: Brigham Young (1997), 309.

  18. Ardeth Greene Kapp, I Walk by Faith (1987), 97.

  19. බලන්න මොසායා 2:22, 41; දහම සහ ගිවිසුම් 59:23.

  20. Neil L. Andersen, “A Compensatory Spiritual Power for the Righteous” (Brigham Young University devotional, Aug. 18, 2015), 3, speeches.byu.edu.

  21. බලන්න ආබ්‍රහම් 1:2.

  22. බලන්න Dallin H. Oaks, With Full Purpose of Heart (2002), 38.

  23. Kenneth Cope, “The Best for Last,” Voices (album, 1991).

  24. බලන්න ඇල්මා 53:20; 57:27.

  25. බලන්න Dieter F. Uchtdorf, “The Gift of Grace,” Liahona, May 2015, 107; see also Guide to the Scriptures, “Grace,” Gospel Library. දෙවියන්වහන්සේගේ බලය පිළිබඳ ශුද්ධලියවිලිවල දක්නට ඇති බොහෝ විස්තර මගින් මම ව්‍යාකූල වී සිටියෙමි. ඔවුන් කරුණාව ගැන කතා කරන්නේ බලය ලබාගැනීම ලෙසයි (බලන්න පිලිප්පි 4:13) නමුත් බලය ගැන කියන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය ලෙසයි (බලන්න දහම සහ ගිවිසුම් 88:13). ඇදහිල්ලේ බලය ගැන (බලන්න ඇල්මා 18:35), ශුද්ධාත්මයාණන්ගේ බලය ගැන (බලන්න මොරෝනි 10:7), සහ දේවමාළිගාවලදී ලැබෙන පොරොන්දු වූ ඉහළින් බලය ගැන අපි කියවනවා (බලන්න දහම සහ ගිවිසුම් 38:32; 105:11). පූජකත්වයේ බලය ගැනද ශුද්ධලියවිලිවල උගන්වයි (බලන්න දහම සහ ගිවිසුම් 113:8). එකක් අවසන් වන්නේ කොතනින්ද සහ අනෙක් ඒවා ආරම්භ වන්නේ කොතැනින්දැයි මට සිතාගත නොහැකි විය. අන්තිමට මට තේරුණා “දෙවියන්වහන්සේගේ බලය හැරෙන්නට වෙනත් බලයක් නොමැත්තේය” යන බව (දහම සහ ගිවිසුම් 8:7; තවත් බලන්න රෝම 13:1). දෙවියන්වහන්සේගේ බලය සඳහා විවිධ ලේබල් විස්තර කරන්නේ විවිධ බලයන් නොව, එකම බලයේ විවිධ ප්‍රමාණ, භාවිතයන් සහ අංගයන්ය.

  26. බලන්න යාකොබ් 5:72.

  27. බලන්න යාකොබ් 6:5.

  28. බලන්න 3 නෙපී 22:17.

  29. Hymns, no. 255.

  30. බලන්න උත්පත්ති 25:29–34.

  31. බලන්න 3 නෙපී 2:25; තවත් බලන්න යෙසායා 55:2.