2020–2024
දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සියලු දරුවන්ට ආදරෙයි
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


9:37

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සියලු දරුවන්ට ආදරෙයි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිතරම අපට අඬගසනවා, ඒවගේම උන්වහන්සේ තම දරුවන්ව උන්වහන්සේ වෙත ගෙන ඒමට උපකාර කිරීම සඳහා උන්වහන්සේගේ සාමාන්‍ය සේවකයන් වන අපව භාවිතා කරනවා.

අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔබ ඔබේ පෙර ආත්මික ලෝකයේ ජීවත් වන විට, ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබේ මේ පොළොවේ ජීවිතය සඳහා ඔබව සූදානම් කරමින් සිටි බව ඔබට තේරෙනවාද? යෞවනයන් සමඟ කතා කරමින්, සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවා, “අපගේ ස්වර්ගික පියාණන් උන්වහන්සේගේ උතුම් ආත්මයන් බොහෝමයක්—සමහරවිට, උන්වහන්සේගේ හොඳම කණ්ඩායම—මෙම අවසාන අදියර සඳහා වෙන්කර තිබෙනවා.” අපිව මේ අවසාන දවස් සඳහා වෙන් කර ඇති නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වීමට ඉගෙනගැනීම ඉතා වැදගත්.

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යහපත් එඬේරාණන් වන අතර උන්වහන්සේ උන්වහන්සේගේ රැළ හඳුනනවා, “උන්වහන්සේ තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬගසන නිසා” එම රැළද එඬේරාව දන්නවා. උන්වහන්සේ නිතරම අපට අඬගසනවා, ඒවගේම උන්වහන්සේ තම දරුවන්ව උන්වහන්සේ වෙත ගෙන ඒමට උපකාර කිරීම සඳහා උන්වහන්සේගේ සාමාන්‍ය සේවකයන් වන අපව භාවිතා කරනවා.

ටික කාලයකට පෙර, ස්ටේක සභාපතිවරයෙකු සහ මම එක් දේශීය ප්‍රදේශයක සභා සාමාජිකයන් බැහැදකිමින් සිටියා. අපි ඒ නියමිත බැහැදැකීම අවසන් කළාට පස්සේ, අපිට තව එක පවුලක් බලන්න යන්න පුළුවන්ද කියලා ස්ටේක සභාපතිවරයා මගෙන් ඇහුවා. අපි ඔවුන් සමඟ කතා කළ යුතු බව ඔහුට දැනුණා.

අපි දොරට තට්ටු කළා, ඉන්පසු සහෝදරියක් දොර ඇරියා. ඇය මා දෙස බැලුවා, නමුත් මා කවුදැයි ඇය නොදැන සිටි නිසා ඇය බොහෝ දේ ප්‍රකාශ කළේ නෑ. මම ස්ටේක සභාපතිවරයා දෙසට අත දිගු කළා, ඔහු ඇයගේ නම කියමින් ඇයට ආචාර කළා. ඇයට ඔහුව ඇසී ඉන්පසු ඔහුව දුටු විගස ඇය ප්‍රීති වුණා. එතන දොර ගාව හිටගෙන ඒ දෙදෙනා වළඳගනිමින් එකට එක් වී හැඬුවා. මෙය අපගේ බැහැදැකීම සඳහා වටපිටාව සකස් කළා. මෙම සහෝදරියට කලින් දවසේ කිමෝතෙරපි කරලා තිබෙන බව අපි දැනගෙන හිටියේ නැහැ. ඇයගේ වැඩිහිටි පුතාව බලාගන්න බැරි තරම් දුර්වලකමක් ඇයට දැනී තිබුණා. ඉතින් ඇගේ පුතාට ඇඳුම් අන්දවන්නට මම ස්ටේක සභාපතිවරයාට උදව් කළා, ඉන්පසු අපි ඔහුව ඔහුගේ රෝද පුටුවට දැම්මා. කොට්ඨාශයේ සිටි තවත් සොඳුරු සහෝදරියක් ඊට කලින් ගෙනත් දී තිබුණු ආහාර අපි ඔහුට කැව්වා, ඒවගේම අපි අනෙක් වැඩ වලටත් උදව් වුණා. අපි එයාලගේ ගෙදරින් යන්න කලින්, අපිට එයාලට ආශිර්වාද ලබාදෙන්න පුළුවන් වුණා.

මෙම බැහැදැකීමේදී මගේ මනස හරහා ගමන් කළේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට ගැඹුරින් ආදරය කරන බවට තහවුරු කිරීමක්. උන්වහන්සේ ඔවුන්ව තේරුම් ගන්නා අතර ඔවුන්ගේ එම වෙනස් තත්වයේ වේදනාව උන්වහන්සේ පෞද්ගලිකව දන්නවා. මෙම මුළු බැහැදැකීමම පාහේ සිදුවුණේ නිහඬවයි. මෙම අවස්ථාවේදී අපි විශාල දේශනාවක් හෝ අපගේ ප්‍රියතම ශුද්ධලියවිල්ල බෙදා ගත්තේ නෑ, නමුත් ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ආත්මයෙන් අපට බහුල ලෙස ආශිර්වාද කළා.

ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ මේ අවස්ථාවේදී ඔබව මෙහි එවීමට ඇති ලොකුම හේතුව තමයි, ඔබට ඔබගේ සම්පූර්ණ හැකියාවන් අවබෝධ කර ගැනීමට හැකියාව ලබාදීම. මාගේ ශුභාරංචිය දේශනා කරන්න පොතේ අපට උගන්වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන් අප අපව එකිනෙකා සමඟ සැසඳීමෙන් වැළකී සිටිය යුතු බවයි. ඔබේ අධ්‍යාත්මික හැකියාවන් අද්විතීයයි, පුද්ගලිකයි සහ ස්වභාවිකයි, ඒවගේම ඔබේ ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ ඒවා වර්ධනය කරගැනීමට ඔබට උපකාර කිරීමටයි. ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ආදරය දැනීමට ඔබට උපකාර කළ හැකි කෙනෙකු සැමවිටම සිටිනවා. ඔබේ හැකියාව දිව්‍යමය එකක්. මෙම තරඟකාරී ලෝකය තුළ සාර්ථක වීමට ඔබව සූදානම් කරගැනීම නිසැකවම වැදගත් වන අතර, ඔබේ ජීවිත කාලය පුරාම ඔබගේ තීරණාත්මක මෙහෙවරක් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම සහ ආත්මයාණන්ගේ හැඟීම් අනුගමනය කිරීමයි. ඔබ මෙය කරන විට, දෙවියන්වහන්සේ ඔබේ ජීවිතයට ආශිර්වාද කරනවා, උන්වහන්සේ ඔබේ වර්තමාන හෝ අනාගත පවුලට ආශිර්වාද කරනවා, ඒවගේම ඔබට හමුවන උන්වහන්සේගේ දරුවන්ගේ ජීවිතවලට උන්වහන්සේ ආශිර්වාද කරනවා.

අප ජීවත් වන්නේ ඉතා හොඳ අවස්ථාවන් ඇති කාලයකයි. අප බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමය අන් අයට දැනීමට උපකාර කිරීම සඳහා ඒවා එහි කොටසක් ලෙස තිබෙන බව මම දන්නවා. සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වුවා: “ඉදිරි දිනවලදී, ලෝකය මෙතෙක් දැක ඇති ගැලවුම්කරුවාණන්ගේ බලයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශනයන් අපි දකිනවා.” උදව්වක්, වැලඳගැනීමක්, සැනසීමක් අවශ්‍ය අය හෝ සරලවම ඔවුන් සමඟ නිශ්ශබ්දව සිටීමට අවශ්‍ය පුද්ගලයන් ගැන සලකා බැලීමේ වරප්‍රසාදය අපට තිබෙනවා. මොහොතකට හෝ ඔවුන්ගේ බර සැහැල්ලු කිරීමට අපට උපකාර කළ හැකි නම්, ඔවුන්ගේ ජීවිතවල ගැලවුම්කරුවාණන්ගේ බලයේ විශිෂ්ට ප්‍රකාශනයන් අපට දැකගන්න පුළුවන් වෙයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, පසුදවස්වල ශුද්ධවන්තයන්ට ලෝකයේ ධනාත්මක වෙනසක් කරන්න පුළුවන්. අපගේ පෙනුමෙන් පිළිබිඹු වන ප්‍රීතියේ හැඟීමක්, ප්‍රේමයේ වචන සහ කරුණාවන්ත ක්‍රියාවන් සමඟ අප බෙදා ගන්නා ප්‍රීතියක්, අපට ලබාදෙන්න පුළුවන්. අපි හොඳ අසල්වැසියන්, හොඳ සේවා යෝජකයින්, හොඳ සේවකයින් වෙමු. අපි සෑම විටම යහපත් කිතුනුවන් වීමට උත්සාහ කරමු.

අපව ස්වර්ගික පියාණන්වහන්සේට බැඳ තබන සියලුම පොරොන්දු උන්වහන්සේගේ දරුවන්ට ලබාගත හැකිවන පරිදි, ස්වාමින්වහන්සේ විසින් එම අත්‍යවශ්‍ය නියෝග සමඟ උන්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවා තිබෙනවා. අපගේ සහෝදරියන්ට සහ සහෝදරයින්ට ඔවුන්ගේ දෛනික අභියෝගවලට උපකාර කිරීමෙන්, අපි ඔවුන්ගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ මෙම ශුද්ධ වූ පොරොන්දු ඇතිකර ගැනීමටත් ඒවා තබාගැනීමටත් ඔවුන්ට උදව් කරන්නට මතක තබාගනිමු, එවිට උන්වහන්සේට ඔවුන් සඳහා මේ ජීවිතය සඳහාත් සදාකාලය සඳහාත් පොහොසත්ම ආශිර්වාද ඔවුන්ට පොරොන්දු වෙන්න පුළුවන්. මෙම පොරොන්දු ලබා ගත හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීමෙන් සහ උන්වහන්සේගේ පූජකත්ව යතුරු හරහා පමණයි.

වෙනත් වචන වලින් කියනවා නම්, ගිවිසුම් මාර්ගයේ රැඳී සිටීමට අපට අන් අයට උදව් කරන්න පුළුවන්. අපගෙන් සමහරෙක් වරින් වර මෙම මාර්ගයෙන් බැහැර වෙනවා, එබැවින් අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ පැත්තෙන් බලන විට, නැවත පැමිණීමේ හැකියාව සැමවිටම අපට ඇති බව අප මතක තබා ගත යුතුයි. අපගේ ක්‍රියාමාර්ගය වඩාත්ම පරිපූර්ණ නොවූවත්, ගැලවුම්කරුවාණන් අපට නිතරම මෙසේ මතක් කර දෙනවා “[අප පසුතැවිලි වී], සැබෑ චේතනාවෙන් සමාව [ඉල්ලා සිටින] විට, [අපට] සමාව ලැබිය හැකියි.”

අපට වෙනස් වීමට ක්‍රමයක් නොමැති බව හෝ අපට තවදුරටත් බලාපොරොත්තුවක් නොමැති බව සිතීමට හා විශ්වාස කිරීමට අපව පෙලඹවීම, අද විරුද්ධවාදියාගේ එක් ශිල්පයක්. මෙම විනාශකාරී චින්තනය අපගෙන් බොහෝ දෙනෙකුට උත්සාහ කිරීම නැවැත්වීමට හේතු වෙනවා. මෙවැනි මොහොතවල් වලදී අපගේ ආදරය, අපගේ දිරිගැන්වීමේ සහ සහයෝගයේ වචන, අපගේ කාලය සහ අපගේ උපකාරය මගින් යමෙකුට නැවත වරක් උත්සාහ කිරීමට ප්‍රමාණවත් බලාපොරොත්තුවක් ලබා දෙන්න පුළුවන්.

සමහර විට ඔබ මෙහෙම සිතනවා ඇති “හරි, නමුත් මට දේවසේවය කරන්නේ කවුද?” අපගේ සහෝදර සහෝදරියන්ගේ ජීවිතවලට ගොස් ආශිර්වාද කිරීමෙන්, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් අපගේ ජීවිතය පුරවන සාක්ෂි අපි රැස්කර ගන්නවා. මෙම සාක්ෂි අපට නැවත වරක් උත්සාහ කිරීමට ශක්තිය ලබා දෙනවා. ශුද්ධාත්මයාණන්වහන්සේ අපව ශක්තිමත් කරන අතර අපගේම දුෂ්කරතා සහ පුද්ගලික පරීක්ෂාවන් සමඟ ඉදිරියට යාමට අලුත් සාක්ෂි සමඟ අපට උපකාර කරනවා. අප අනෙක් අයගේ ජීවිතවලට ආශිර්වාද කිරීමට උත්සාහ කරන සෑම විටම, ස්වාමින්වහන්සේ අපට වැඩි වැඩියෙන් දයාව ලබා දෙනවා; උන්වහන්සේ අපව ශක්තිමත් කරන අතර අපගේ ජීවිතයේදී අපට උදව් කරනවා.

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබගේ ගැලවුම්කරුවාණන් බවත් උන්වහන්සේ ඔබව පෞද්ගලිකව තේරුම් ගන්නා බවත් කරුණාකර මතක තබාගන්න. දෙවියන්වහන්සේගේ දරුවන්ට උපකාර කිරීම සඳහා කැඳවීමක් ඉටු කිරීම සහ දේවල් අත්හැරීම යනු කුමක්දැයි උන්වහන්සේ දන්නවා. ඔබ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේ නම් සහ සැක නොකරන්නේ නම්, සෑම දෙයකදීම ඔබට ආශිර්වාද කිරීමට උන්වහන්සේට බලය තිබෙනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපේ න්‍යාය පත්‍රයේ නොතිබූ මවක් සහ පුතෙකු බැහැදැකීමට පූජකවර නායකයෙකුට පෙළඹවීමක් දැනුණු විට, ඔවුන්ට අපව අවශ්‍යව තිබූ බව දෙවියන්වහන්සේ දැන සිටි බව මම ප්‍රකාශ කරනවා. ඒවගේම අන්තිමේදී, දේවසේවය ලැබුණු කෙනා වුණේ මමයි. එදින, ගැලවුම්කරුවාණන් අප කෙරෙහි දක්වන ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම පාඩම් වලින් එකක් මට ලැබුණා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් බවත්, උන්වහන්සේ ජීවමාන බවත්, උන්වහන්සේ ඔබ සහ මා වෙනුවෙන් ජීවත් වූ බවත්, මිය ගිය බවත්, දැනටමත් තිරයේ අනෙක් පැත්තේ සිටින අපේ අය සමඟ ප්‍රීතියෙන් පිරුණු සෙලෙස්ටියල් නැවත එක්වීම් අපේක්ෂා කළ හැකි වන පිණිස, උන්වහන්සේ ඔබ සහ මා වෙනුවෙන් මරණයෙන් නැවත නැගිටි බවත්, මම සාක්ෂි දරනවා. උන්වහන්සේ ඔබව සහ මාව හොඳින් වටහාගෙන සිටින බව මම දන්නවා. අපගේ සෑම දුෂ්කර මොහොතක්ම උන්වහන්සේ තේරුම් ගන්නා අතර, අප වඩාත් අවදානමට ලක්විය හැකි යැයි හැඟෙන එම අවස්ථාවන්හිදී අපට උපකාර කිරීමට උන්වහන්සේට බලය තිබෙනවා. මේ කාලයේදී ශුභාරංචිය නැවත පිහිටුවීම සඳහා ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ජෝසෆ් ස්මිත්ට දර්ශනය වූ බව මම දන්නවා. අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්, ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු බව මම දන්නවා, මම මේ දේවල් ගැන සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), Gospel Library.

  2. බලන්න යොහාන් 10:2-4.

  3. “ඔබව වෙනත් ධර්මදූතවරුන් සමඟ සංසන්දනය කිරීමෙන් වළකින්න සහ ඔවුන්ගේ උත්සාහයන් සමඟ ඔබේ උත්සාහයේ බාහිර ප්‍රතිඵල මැනීමෙන් වළකින්න” (මගේ ශුභාරංචිය දේශනා කරන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීම සඳහා මාර්ගෝපදේශයක් [2023], 13).

  4. රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන සහනය සොයා ගන්න,” ලියහෝනා, නොවැ. 2022, 95.

  5. මොරෝනි 6:8.

  6. බලන්න ඇල්මා 56:47; 57:26.