2020–2024
උන්වහන්සේගේ කැමැත්ත සමඟ අපගේ කැමැත්ත පෙළගැස්වීම
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


15:20

උන්වහන්සේගේ කැමැත්ත සමඟ අපගේ කැමැත්ත පෙළගැස්වීම

අපගේ ජීවිතයේ ස්වාමින්වහන්සේගේ කැමැත්ත අනුගමනය කිරීමෙන් ලෝකයේ වටිනාම මුතු ඇටය වන—ස්වර්ග රාජ්‍යය සොයා ගැනීමට අපට හැකි වෙනවා.

එක්තරා අවස්ථාවක, යේසුස්වහන්සේ “හොඳ මුතු” සොයමින් සිටි වෙළෙන්දෙකු ගැන කතා කළා. වෙළෙන්දාගේ මෙම සෝදිසි කිරීම අතරතුර, ඔහුට “ඉතා මිල අධික” එකක් හමු වුණා. කෙසේවෙතත්, මෙම විශ්මය ජනක මුතු ඇටය ලබා ගැනීම සඳහා, මෙම මිනිසාට ඔහුගේ සියලු දේපළ විකිණීමට සිදු වූ අතර, ඔහු ඉක්මනින් හා සතුටින් එය කළා.

ස්වර්ග රාජ්‍යය මිල කළ නොහැකි මුතු ඇටයකට සමාන කර ඇති බවත්, සැබවින්ම අන් සියල්ලටම වඩා ප්‍රාර්ථනා කළ යුතු වටිනාම වස්තුව එය බවන බවත්, මෙම කෙටි හා කල්පනාකාරී උපමාව තුළින් ගැලවුම්කරුවාණන් ඉතා අලංකාර ලෙස ඉගැන්වූවා. එම වටිනා මුතු ඇටය ලබා ගැනීම සඳහා වෙළෙන්දා ඔහුගේ සියලු දේපළ ක්ෂණිකව විකුණා දැමීමෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ අප අපගේ මනස හා ආශාවන් ස්වාමින්වහන්සේගේ කැමැත්තට පෙළගැස්විය විය යුතු බව සහ අපගේ ලෞකික ගමනේදී දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සදාකාලික ආශිර්වාද ලබා ගැනීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කැමැත්තෙන් කළ යුතු බවයි.

මෙම ශ්‍රේෂ්ඨ ත්‍යාගය ලැබීමට සුදුස්සෙකු වීමට නම්, වෙනත් දේ අතර, සියලු ආත්මාර්ථකාමී ලුහුබැඳීම් පසෙකට දැමීමටත්, ස්වාමින්වහන්සේට සහ උන්වහන්සේගේ උසස් හා ශුද්ධ වූ මාර්ගවලට පූර්ණ කැපවීමෙන් අපව වළක්වන ඕනෑම පැටලීමක් අත්හැරීමටත් අපගේ උපරිම උත්සාහය දැරීම අවශ්‍ය වෙනවා. ප්‍රේරිත පාවුල් මෙම පාරිශුද්ධකරණයේ ලුහුබැඳීම් හඳුන්වන්නේ “ක්‍රිස්තුස්වහන්සේගේ සිත [ඇතිකරගැනීම]” ලෙසයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ආදර්ශමත්ව පෙන්වා ඇති පරිදි, මෙයින් අදහස් කරන්නේ අපගේ ජීවිතවල “[ස්වාමින්වහන්සේට] ප්‍රසන්න වූ දේවල් නිතරම [කිරීමයි]”, නැතහොත් වර්තමානයේ සමහර අය පවසන පරිදි, මෙය “ස්වාමින්වහන්සේට හරියන දේ කිරීමයි.”

ශුභාරංචිය අර්ථයෙන් ගත් කල, “[ස්වාමින්වහන්සේව] සතුටු වන දේවල් සැමවිටම [කිරීම]” යනු අපගේ කැමැත්ත උන්වහන්සේගේ කැමැත්තට යටත් කිරීම හා සම්බන්ධ වෙනවා. ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ට උපදෙස් දෙමින් මෙම මූලධර්මයේ වැදගත්කම කල්පනාකාරීව ඉගැන්වූවා.

“මක්නිසාද මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය.

“මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලෙන් කිසිවක් නැතිවෙන්ට නෑර මා විසින් අන්තිම දවසේදී එය නැඟිටුවීමය.

“මක්නිසාද මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නම්, පුත්‍රයාණන් බලා, ඔහු කෙරෙහි අදහන්නාවූ සෑමදෙනම සදාකාල ජීවනය ලැබීමය; මමද අන්තිම දවසේදී ඔහු නැඟිටුවන්නෙමියි කී සේක.”

ගැලවුම්කරුවාණන් පියාණන්වහන්සේගේ කැමැත්තට උන්වහන්සේගේ කැමැත්ත ගිල ගැනීමට ඉඩ දීමෙන් පියාණන්වහන්සේට අවනත වීමේ පරිපූර්ණ හා දිව්‍යමය තත්වයක් ලබා ගත්තා. උන්වහන්සේ වරක් මෙසේ පැවසුවා, “මා එවූ තැනන්වහන්සේ මා සමග සිටිනසේක; උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරියසේක; මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමි.” වන්දි ගෙවීමේ වේදනාව සහ දුක් වේදනා ගැන අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට ඉගැන්වීමේදී ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවා:

“මක්නිසාද බලන්න, දෙවියන්වහන්සේ වන මම, සියල්ලන් උදෙසා මෙම දේවල් විඳෙව්වෙමි, එනම් ඔවුන් පසුතැවිලි වන්නේ නම් ඔවුන් පීඩා නොවිඳින පිණිසය; …

“මා, සියල්ලන්ගෙන්ම ශ්‍රේෂ්ඨ වූ දෙවියන් වුවත්, වේදනාව නිසා වෙව්ලීමට, සෑම රෝම කූපයකින්ම ලේ ගැලීමට, ශාරීරිකව සහ ආත්මික දෙයාකාරයෙන්ම, වේදනා විඳීමට සැලැස්වූ එම වේදනාව—තවද එනම් මා තිත්ත කුසලානෙන් බී, පසුබට නොවන පිණිසය—

“එසේවුවද, මහිමය පියාණන්වහන්සේට වේවා, එමෙන්ම මම සහභාගි වී මනුෂ්‍ය දරුවන් වෙනුවෙන් මාගේ සූදානම අවසන් කළෙමි.”

අපගේ ලෞකික තාවකාලික නැවතුම තුළ, ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් සැබවින්ම දන්නා දේ, සදාකාලිකව හොඳම දේ සහ උන්වහන්සේගේ සැලැස්ම තුළ උන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් නියත වශයෙන්ම හරියන දේ තේරුම් ගැනීමට ප්‍රතිවිරුද්ධව, අප බොහෝ විට අප දන්නා දේ, අප හොඳම යැයි සිතන දේ සහ අපට හරියන දේ සමඟ පොරබදිනවා. විශේෂයෙන් අපගේ කාලය සඳහා ශුද්ධලියවිලිවල අඩංගු අනාවැකි සලකා බැලීමේදී වැටහෙන පරිදි, මෙම මහා පොරබැදීම ඉතා සංකීර්ණ විය හැකියි: “මෙය දැනගනින්න, අන්තිම දවස්වලදී … මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, … දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව.”

මිනිසුන් තමන් ගැනම සිතමින්, නිරන්තරයෙන්, “මොනවා වුණත්, මම මගේම සත්‍යයක් අනුව ජීවත් වනවා හෝ මම මට හරියන දේ කරනවා” කියා කියාගනිමින් බොහෝ දෙනා විසින් අනුගමනය කරනු ලබන ලෝකයේ වර්ධනය වන මෙම ප්‍රවණතාවය, මෙම අනාවැකියේ ඉටුවීම පෙන්නුම් කරන එක් ලකුණක් වෙනවා. ප්‍රේරිත පාවුල් පැවසූ පරිදි, ඔවුන් සොයන්නේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා නොව තම තමුන්ගේම කාරණා[යි].” මෙම සිතීමේ ක්‍රමය බොහෝ විට “අව්‍යාජ” ලෙස සාධාරණීකරණය කරනු ලබන්නේ ආත්මාර්ථකාමී ලුහුබැඳීම්, පුද්ගලික මනාපයන් හෝ දෙවියන්වහන්සේගේ ප්‍රේමනීය සැලැස්මට සහ ඔවුන් සඳහා වූ උන්වහන්සේගේ කැමැත්තට නිතර නොගැලපෙන ඇතැම් හැසිරීම් සාධාරණීකරණය කිරීමට කැමති අය විසිනුයි. අපගේ හදවතට සහ මනසට මෙම සිතීමේ ක්‍රමය වැලඳ ගැනීමට ඉඩ දුන්නොත්, දෙවියන්වහන්සේ තම දරුවන් සඳහා ආදරයෙන් සූදානම් කර ඇති මිල කළ නොහැකි මුතු ඇටය වන—සදාකාල ජීවනය ලබා ගැනීමට අපට සැලකිය යුතු බාධාවක් එමගින් ඇතිවෙන්න පුළුවන්.

අපගේ හදවත් සහ මනස ක්‍රිස්තුස් වන යේසුස්වහන්සේ කෙරෙහි කේන්ද්‍රගතව තබා ගැනීමට උත්සාහ කරමින්, අප සෑම කෙනෙකුම ගිවිසුම් මාවතේ තනි තනිව යන අනුගාමික ගමනක ගමන් කරන බව සත්‍යයක් වුවත්, මෙවැනි ලෞකික දර්ශනයක් අනුගමනය කිරීමේ පරික්ෂාවට වැටීමෙන් වැලකී සිටීමට අප ප්‍රවේශම් විය යුතුයි, ඒවගේම නිතරම සුපරීක්ෂාකාරී විය යුතුයි. වැඩිහිටි ක්වින්ටින් එල්. කුක් මෙසේ පැවසුවා “අවංකවම ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීම, අව්‍යාජ වීමට වඩා වැදගත් ඉලක්කයකි.”

මගේ හිතවත් මිත්‍රවරුනි, අපගේ ආත්මාර්ථකාමී ලුහුබැඳීම් අභිබවා, අපගේ ජීවිතයේ වඩාත්ම බලගතු බලපෑම දෙවියන්වහන්සේ වීමට ඉඩ දීමට අප තෝරා ගත් විට, අපට අපගේ ගෝලත්වයේ ප්‍රගතියක් ලබා ගත හැකි අතර අපගේ මනස සහ හදවත ගැලවුම්කරුවාණන් සමඟ ඒකාබද්ධ කිරීමට අපගේ හැකියාව වැඩි කරගන්න පුළුවන්. අනෙක් අතට, දෙවියන්වහන්සේගේ මාර්ගය අපගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වීමට අප ඉඩ නොදෙන විට, අපට ඉතිරි වන්නේ අපවම වන අතර, ස්වාමින්වහන්සේගේ ආනුභාව ලත් මගපෙන්වීමෙන් තොරව, අප කරන හෝ නොකරන ඕනෑම දෙයක් සාධාරණීකරණය කරගන්න අපට පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස “මම දේවල් කරන්නේ මගේ ක්‍රමයට විතරයි” කියමින්, අපගේම ආකාරයෙන් දේවල් කිරීමෙන් අපට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.

එක් අවස්ථාවක, ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ දහම ප්‍රකාශ කරන අතරතුර, සමහර මිනිසුන්, විශේෂයෙන්ම තමන් ධර්මිෂ්ඨ යැයි සිතා සිටි පරිසිවරු, උන්වහන්සේගේ පණිවිඩය ප්‍රතික්ෂේප කර, ඔවුන්ගේ පෙළපත දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙන බව අඟවමින්, ඔවුන් ආබ්‍රහම්ගේ දරුවන් බව නිර්භීතව ප්‍රකාශ කළා. එම මානසිකත්වය ඔවුන්ගේම අවබෝධයට නැඹුරු වීමට සහ ගැලවුම්කරුවාණන් උගන්වන දේ විශ්වාස නොකිරීමට ඔවුන්ව පෙළඹුවා. යේසුස්වහන්සේ කෙරෙහි පරිසිවරුන්ගේ ප්‍රතිචාරයෙන් පැහැදිලිව සාක්ෂාත් වුණේ, ඔවුන්ගේ උඩඟු ආකල්පය ගැලවුම්කරුවාණන්ගේ වචන සහ දෙවියන්වහන්සේගේ මාර්ගය සඳහා ඔවුන්ගේ හදවත් තුළ කිසිඳු ස්ථානයක් ඉතිරි නොකළ බවයි. එයට ප්‍රතිචාරයක් වශයෙන්, යේසුස්වහන්සේ ඥානවන්තව සහ නිර්භීතව ප්‍රකාශ කළේ ඔවුන් ආබ්‍රහම්ගේ සැබෑ ගිවිසුම් දරුවන් නම්, විශේෂයෙන් “ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ” ඔවුන් ඉදිරියෙහි සිටිමින් ඒ මොහොතේම ඔවුන්ට සත්‍යය උගන්වමින් සිටින බව සැලකිල්ලට ගනිමින්, ඔවුන් ආබ්‍රහම්ගේ කාර්යයන් කළ යුතුව ඇති බවයි.

සහෝදර සහෝදරියනි, ඔබට පෙනෙන පරිදි, “ස්වාමින්වහන්සේව සැමවිටම සතුටු කරන දේ” කිරීම නොතකා “මට හරියන දේ” යන මෙම මානසික සරඹ ක්‍රීඩාව මත ක්‍රියා කිරීම අපගේ කාලයට පමණක් ආවේණික වූ නව ප්‍රවණතාවක් නොවේ. එය ශතවර්ෂ ගණනාවක් ඉක්ම ගිය සහ බොහෝ විට තම තමන්ගේම ඇස් අන්ධ කරන සහ දෙවියන්වහන්සේගේ බොහෝ දරුවන්ව ව්‍යාකූල කර වෙහෙසට පත් කරන වයස්ගත මානසිකත්වයක්. මෙම මානසිකත්වය, ඇත්ත වශයෙන්ම, විරුද්ධවාදියාගේ පැරණි උපක්‍රමයක්; එය සැබෑ සහ ඇදහිලිවන්ත ගිවිසුම් මාර්ගයෙන් දෙවියන්වහන්සේගේ දරුවන්ව පරෙස්සමෙන් ඈත් කරන රැවටිලිකාර මාර්ගයක්. ජාන, භූගෝලය සහ ශාරීරික හා මානසික අභියෝග වැනි පුද්ගලික තත්වයන් අපගේ ගමනට බලපාන අතර, සැබවින්ම වැදගත් වන දේවලදී, ස්වාමින්වහන්සේ විසින් අපේ ජීවිත සඳහා සකස් කර ඇති රටාව අනුගමනය කිරීමට අප තීරණය කරනවාද නැද්ද යන්න තෝරා ගැනීමට නිදහස ඇති අභ්‍යන්තර අවකාශයක් අපට තිබෙනවා. ඇත්තවශයෙන්ම, “උන්වහන්සේ මාර්ගය සලකුණු කර මගපෙන්වමින්, සෑම දෙයක්ම [නිර්වචනය කර තිබෙනවා].”

ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, උන්වහන්සේගේ ලෞකික දේවසේවයේදී උන්වහන්සේ අපට සලකුණු කළ මාර්ගයේ ගමන් කිරීමට අපි කැමැත්තෙන් සිටිනවා. අපි උන්වහන්සේගේ කැමැත්ත කිරීමට සහ උන්වහන්සේව සතුටු කරන සියල්ල කිරීමට පමණක් නොව උන්වහන්සේව අනුකරණය කිරීමටත් අපි ආශා විය යුතුයි. අප ඇතුල් වී ඇති සෑම ගිවිසුමකටම සත්‍යවන්ත වීමටත්, “දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලට” අනුව ජීවත් වීමටත් අප උත්සාහ කරන විට, ලෝකයේ පව්වලට හා වැරදිවලට ගොදුරු වීමෙන්— අපව එම වටිනාම මුතු වලින් ඈත් කරනු ලබන දර්ශනවල සහ දහමේ වැරදිවලට ගොදුරු වීමෙන් අපි ආරක්ෂා වෙනවා.

ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්ත ගෝලයන් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි නිවැරදි සහ ප්‍රසන්න දේවල් කිරීමට තෝරාගන්නා විට, දෙවියන්වහන්සේ කෙරෙහි ඇති එවැනි ආධ්‍යාත්මික යටහත් බව ඔවුන්ගේ ජීවිත වලට බලපා ඇති ආකාරය ගැන මම පුද්ගලිකව අවබෝධයක් ලබාගෙන තිබෙනවා. සභාවේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඔහුගේ පෞද්ගලික සාක්ෂිය සහ ඔහු ධර්මදූතවරයෙකු ලෙස සේවය කිරීමේ පූජනීය අත්දැකීම බෙදාගත් විට එයට සවන් දීමෙන් පසු, ධර්මදූත සේවයකට ගොස් ස්වාමින්වහන්සේට සේවය කිරීමට පෙළඹවීමක් ඇති වූ නමුත්, ධර්මදූත සේවයක නිරත වීම ගැන හරි තීරණයකට එළඹීම ගැන කල්පනා කරමින් සිටි තරුණයෙකුව මම දන්නවා.

දැන් ධර්මදූත සේවය අවසන් කර පැමිණ සිටින මෙම තරුණයා ඔහුගේම වචනවලින් මෙසේ පැවසුවා: “ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකුගේ එම සාක්ෂියට මම සවන් දුන් විට, දෙවියන්වහන්සේ මා කෙරෙහි දක්වන ප්‍රේමය මට දැනුණා, ඒවගේම අන් අය සමඟ එම ප්‍රේමය බෙදාගැනීමට මට ආශාවක් ඇති වුණා. මගේ බිය, සැකයන් සහ ගැටළු නොතකා මම ධර්මදූත සේවයක නිරත විය යුතු බව ඒ මොහොතේ මම දැනගත්තා. දෙවියන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ ලබාදෙන ආශිර්වාද සහ පොරොන්දු ගැන මට සම්පූර්ණ විශ්වාසයක් දැනුණා. අද මම අලුත් කෙනෙක්; මෙම ශුභාරංචිය සත්‍ය බවටත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව මිහිපිට නැවත පිහිටුවා ඇති බවටත් මට සාක්ෂියක් තිබෙනවා.” මෙම තරුණයා ස්වාමින්වහන්සේගේ මාර්ගය තෝරාගෙන සෑම අංශයකින්ම සැබෑ ගෝලයෙකු බවට පත් වුණා.

ඇදහිලිවන්ත තරුණියකගෙන් ඇය සේවය කළ විලාසිතා ආයතනයේ ව්‍යාපාරික අංශයට සරිලන පරිදි අවිනීත ලෙස අඳින පළඳින ලෙස ඉල්ලා සිටි විට, ඇයගේ ප්‍රමිතියට බාධා ඇති කර නොගැනීමට ඇය තීරණයක් ගත්තා. ඇගේ ශරීරය අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගෙන් ලද පරිශුද්ධ තෑග්ගක් බවත් ආත්මයාණන්ට වාසය කළ හැකි ස්ථානයක් බවත් වටහාගත් ඇය ලෝකයට වඩා උසස් ප්‍රමිතියකින් ජීවත් වීමට පෙලඹුණා. ඇය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සත්‍යයට අනුව ජීවත් වන බව දුටු අයගේ විශ්වාසය ඇය දිනා ගත්තා පමණක් නොව, මොහොතකට අනතුරට පත් වූ තම රැකියාවද ඇය ආරක්ෂා කරගත්තා. ලෝකයට හරියන දේ කරනවාට වඩා ස්වාමින්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දේ කිරීමට ඇගේ කැමැත්ත, දුෂ්කර තේරීම් මධ්‍යයේ ඇය තබාගත් ගිවිසුමට ආත්ම-විශ්වාසයක් ලබා දුන්නා.

සහෝදර සහෝදරියනි, අපගේ දෛනික ගමනේදී අපට නිරන්තරයෙන් ඒ හා සමාන තීරණවලට මුහුණ දීමට සිදුවෙනවා. දෙවියන්වහන්සේට යටත් වීමට අපට ඇති හැකියාවට සහ අවසාන වශයෙන් අපගේ මාර්ගයට වඩා උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කිරීමේ තීරණයට බාධාවක් විය හැකි දුර්වලතා අපගේ ජීවිතයේ මාංශයේ ඇති බව පිළිගැනීම සඳහා මදකට නැවතී අවංක සහ නිහතමානී ස්වයං විමර්ශනයක් කරගැනීමට, ධෛර්ය සම්පන්න සහ කැමැත්තෙන් යුත් හදවතක් අවශ්‍ය වෙනවා. අපගේ අනුගාමිකත්වයේ අවසාන පරීක්ෂණය හමු වන්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්ත අපගේ කැමැත්ත බවට පත්වන පිණිස, අපගේ පැරණි පුද්ගලයාව අතහැරීමට සහ නැති කරගැනීමට අපගේ කැමැත්ත තුළ සහ අපගේ හදවත සහ මුළු ප්‍රාණයම උන්වහන්සේට භාර දීම තුළයි.

“ස්වාමින්වහන්සේට හරියන සහ උන්වහන්සේව සතුටු කරන” සහ “අපට හරියන දේ” එක හා සමාන වන සෑම විටම ලැබෙන ප්‍රීතිය අප සොයා ගන්නා විට, ලෞකිකත්වයේ වඩාත්ම තේජාන්විත අවස්ථාවන් ඇතිවෙනවා! තීරණාත්මක ලෙස සහ ප්‍රශ්න කිරීමකින් තොරව ස්වාමින්වහන්සේගේ කැමැත්ත අපගේම කර ගැනීමට නම්, ශ්‍රේෂ්ඨ සහ වීරෝදාර ගෝලයන් අවශ්‍ය වෙනවා! එම උත්කෘෂ්ට මොහොතේ, අපි ස්වාමින්වහන්සේට කැපවී, අපි අපගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම උන්වහන්සේට භාර දෙනවා. එවැනි ආධ්‍යාත්මික යටහත් පහත්කම ගැන කතා කරනවානම්, එය ලස්සන, බලවත් සහ පරිවර්තනීය එකක්.

අපගේ ජීවිතයේ ස්වාමින්වහන්සේගේ කැමැත්ත අනුගමනය කිරීමෙන් ලෝකයේ වටිනාම මුතු ඇටය වන—ස්වර්ග රාජ්‍යය සොයා ගැනීමට අපට හැකි වන බව මම ඔබට සාක්ෂි දරනවා. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේට සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට “ඔබවහන්සේට හරියන දේ මට හරි යනවා” කියමින් ගිවිසුම් ආත්ම-විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කිරීමට අප සෑම කෙනෙකුටම අපගේ කාලයේදී හා අපගේ වාරයේදී හැකි වේවායි මම යාච්ඤා කරනවා. මම මේ දේවල් කියන්නේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න මතෙව් 13:45–46.

  2. බලන්න Guide to the Scriptures, “Kingdom of God or Kingdom of Heaven” and “Eternal Life,” Gospel Library.

  3. බලන්න දහම සහ ගිවිසුම් 68:4.

  4. බලන්න Guide to the Scriptures, “Endure,” Gospel Library.

  5. 1 කොරින්ති 2:16; තවත් බලන්න පිලිප්පි 4:1.

  6. යොහාන් 8:29; තවත් බලන්න 1 යොහාන් 3:22.

  7. යොහාන් 6:38–40.

  8. බලන්න මොසායා 15:7.

  9. යොහාන් 8:29.

  10. දහම සහ ගිවිසුම් 19:16, 18–19.

  11. 2 තිමොති 3:1–2, 4.

  12. පිලිප්පි 2:21.

  13. බලන්න Guide to the Scriptures, “Eternal Life,” Gospel Library.

  14. බලන්න පිලිප්පි 4:7; දහම සහ ගිවිසුම් 43:34.

  15. බලන්න Guide to the Scriptures, “Tempt, Temptation,” Gospel Library.

  16. Quentin L. Cook, “‘Fear Not … in Me Your Joy Is Full’ (D&C 101:36)” (worldwide devotional for young adults, Sept. 11, 2016), Gospel Library.

  17. බලන්න හිතෝපදේශ 3:5; යොහන් 8:33-42; ආබ්‍රහම්ගේ ක්‍රියා ද බලන්න: ආබ්‍රහම් අන් අයව ශුභාරංචියට හරවා ගත්තේය: (උත්පත්ති 12:5); ඔහු ආරවුල්වලින් වැළකුණේ ය: (උත්පත්ති 13:7–9); ඔහු දෙවියන්වහන්සේට කීකරු විය: (උත්පත්ති 12:1–9; 15:1–6; 22:1–19); ඔහු ස්වර්ගීය පණිවිඩකරුවන් පිළිගත්තේය: (උත්පත්ති 18:1–8); සහ ඔහු ඉමහත් ඇදහිල්ලක් පැවැත්වීය: (උත්පත්ති 22:1–19).

  18. බලන්න හිතෝපදේශ 3:5–7.

  19. බලන්න 2 නෙපී 28:21–23, 26.

  20. බලන්න Guide to the Scriptures, “Agency,” Gospel Library.

  21. “How Great the Wisdom and the Love,” Hymns, no. 195.

  22. මතෙව් 4:4.

  23. බලන්න Guide to the Scriptures, “Consecrate, Law of Consecration,” Gospel Library.