2020–2024
ක්‍රිස්තුස්වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ වචන අපව සත්‍යය කරා ගෙන යනු ඇත
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:6

ක්‍රිස්තුස්වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ වචන අපව සත්‍යය කරා ගෙන යනු ඇත

මෙම ඇදහිය නොහැකි සැලැස්ම දැන ගැනීමෙන් අප දෙවියන්වහන්සේගේ දරුවන් බවත්, අපට උන්වහන්සේ හා සමාන විය හැකි බවත් දැන ගැනීමට උදව් වෙනවා.

දෙවියන්වහන්සේ තමයි අපගේ ස්වර්ගික පියාණන්. අපි උන්වහන්සේගේ ආත්මීය දරුවන් වන අතර, අපව මවනු ලබා තිබෙන්නේ උන්වහන්සේගේ ස්වරූපයෙන්. එමනිසා, දෙවියන්වහන්සේගේ දරුවෙකු වශයෙන්, අප සෑම කෙනෙකුටම, උන්වහන්සේ හා සමාන වීමට දිව්‍යමය හැකියාවක් තිබෙනවා.

අපි මේ පොළොවට පැමිණීමට පෙර ආත්මයන් ලෙස උන්වහන්සේ සමඟ ජීවත් වුණා. අපගේ ආත්මික මාපියෙකු වශයෙන්, ස්වර්ගීය පියාණන්වහන්සේ, අපට ප්‍රේම කරන අතර, අපට හොඳම දේ දීමට උන්වහන්සේට අවශ්‍යයි, ඒ නිසා අපට අමරණීයභාවය සහ සදාකාල ජීවනය වන උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ආශිර්වාද ලබාගැනීමට උන්වහන්සේ සැලැස්මක් සකස් කළා. ඒ සැලැස්මට අනුව, ආත්මික දරුවන් ලෙස අපට උන්වහන්සේගේ සැලැස්ම තෝරා ගැනීමට තෝරාගැනීමේ නිදහස ලැබෙනවා. මේ පොළොවට පැමිණීමෙන්, අපි දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් ඉවත්ව, අපගේ පෙර ආත්මික ජීවිතය අමතක කර, මාංශ හා ඇටකටු සහිත ශරීර ලබාගෙන, අපගේම අත්දැකීම් ලබා ගන්නවා, ඒවගේම ඇදහිල්ල වර්ධනය කරගන්නවා. අපගේ මාංශ හා ඇටකටු සහිත ශරීර සමඟ, ස්වාභාවික මනුෂ්‍යයන් ලෙස, අපි පරීක්ෂාවට යටත් වෙන්න පුළුවන්, අපවිත්‍ර වී දෙවියන්වහන්සේගෙන් ඈත් වී, උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයට ආපසු යාමට නොහැකි වෙන්න පුළුවන්. අපි වෙනුවෙන් වූ ස්වර්ගික පියාණන්වහන්සේගේ අපරිමිත ප්‍රේමය නිසා, උන්වහන්සේ තම කුලුඳුල් පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ ගැලවුම්කරුවාණන් ලෙස එවුවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළින් අපට අපගේ පාපයෙන් මිදීමටත්, මරණයෙන් නැවත නැගිටීමටත්, ඒවගේම සදාකාල ජීවනය ලැබීමටත් හැකියාව ලබාදුන්නා.

අපි පියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම ලෙස, උන්වහන්සේගේ කරුණාවේ සැලැස්ම, නැතහොත් උන්වහන්සේගේ ප්‍රීතියේ ශ්‍රේෂ්ඨ සැලැස්ම ලෙස හඳුන්වන—මෙම මහිමාන්විත සත්‍යයන් සඳහා මම අතිශයින් කෘතඥ වෙනවා. මෙම වැදගත් සත්‍යයන් ඉගෙන ගැනීම මගේ සැබෑ අනන්‍යතාවය සහ දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර ඇති උත්කර්ෂවත් වීමේ සහ සදාකාල ජීවනයේ මහත් ආශිර්වාද ගැන දැන ගැනීමට මට උපකාර වී තිබෙනවා. අනාගතවක්තෘ නෙපී අපට ඒ මාර්ගය මෙසේ කියා දුන්නා: “එසේහෙයින්, … ක්‍රිස්තුස්වහන්සේගේ වචනය භුක්ති විඳපන්න; මක්නිසාද බලන්න, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා කළ යුතු සියල්ල නුඹලාට කියනු ලබන්නේය.” ඔහු තවත් මෙහෙම එකතු කළා, “නුඹලා මාර්ගයෙන් ඇතුළත් වී, තවද ශුද්ධාත්මයාණන්වහන්සේව ලැබුවා නම්, එය නුඹලා කළ යුතු සියලු දේ නුඹලාට පෙන්වනු ලබන්නේය. මම මගේ යොවුන් වියේ මුල් අවදියේ සිටිද්දී මෙම වැදගත් සත්‍යයන් සොයා ගැනීමට ක්‍රිස්තුස්වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ වචන මට උපකාර කළ ආකාරය බෙදා ගැනීමට අද මම කැමතියි.

ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා කළ යුතු සියල්ල නුඹලාට කියනු ලබන්නේය

නෙපී විසින් 1 නෙපී පොතේ ආරම්භක පදයේ සඳහන් කළාක් මෙන්, මමත් “හොඳ දෙමාපියන්ගෙන් උපත ලැබු[වා].” මම හැදී වැඩුණේ ජපානයේ නගානෝ හි අවංකකම, උද්‍යෝගය සහ නිහතමානිකම දැඩි ලෙස දිරිමත් කරන ලද සහ පැරණි සිරිත් විරිත්වලට අනුකූලව දැඩි ලෙස ඒවා අනුගමනය කළ නිවසකයි. මගේ තාත්තා ආගමට දහමට ගොඩක් ලැදි කෙනෙක්. ඔහු සෑම උදෑසනකම සහ සෑම රාත්‍රියකම ෂින්ටෝ සහ බුද්ධ පූජාසන ඉදිරිපිට යාච්ඤා කරන අයුරු මම බලා සිටියා. ඔහු යාච්ඤා කරන්නේ කාටද සහ ඔහු යාච්ඤා කරන්නේ කුමක් සඳහාද කියා මට අදහසක් නොතිබුණත්, අප අවංකව යාච්ඤා කළහොත්, යම් අදෘශ්‍යමාන බලයක් හෝ දෙවියන්, “ගලවා ගැනීමට බලවත්” වන බව හෝ අපට උපකාර කරන බව මම විශ්වාස කළා.

අනෙක් යෞවනයන් මෙන් මමත් බොහෝ දුෂ්කරතා අත්වින්දා. ජීවිතේ අසාධාරණ බවත්, හැලහැප්පීම් ගොඩක් තියෙන බවත් හිතමින් මම වෙහෙසට පත්වුණා. මගේ ජීවිතයේ දිශානතිය පිළිබඳ හැඟීමක් නැතිව මට මංමුලා වී ඇති බවක් දැනුණා. මම මිය ගිය විට ජීවිතය අවසන් වන බැවින්, ජීවිතය ඉතා ක්ෂණික බවක් පෙනෙන්නට තිබුණා. ගැලවීමේ සැලැස්ම නොදැන සිටි ජීවිතය අවුල් සහගතයි.

මම කනිෂ්ඨ උසස් පාසලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් අරන් වැඩි කල් යන්න කලින්, අපේ ඉස්කෝලේ සියලුම සිසුන්ට අලුත් ගිවිසුමේ පිටපතක් ලැබුණා. අපි යන්තම් ඉංග්‍රීසි ඉගෙනීම ආරම්භ කර තිබුණත්, එය කියවා ඉංග්‍රීසි ඉගෙන ගත යුතු බව අපගේ ගුරුවරයා අපට පැවසුවා. මම එය විවෘත කර එහි අන්තර්ගතය සමාලෝචනය කළා. අලුත් ගිවිසුමේ වචන මට අතිශයින් දුෂ්කර වුණා. ජපන් භාෂාවේ වචනත් ඒ හා සමානව දුෂ්කරයි. කෙසේ වෙතත්, මෙම ගිඩියොන් බයිබලයේ බයිබල් පද වලට කලින් පිටුවල එහි ඇතුළත් කර තිබූ ආත්මය පිළිබඳ ප්‍රකාශ සහ ප්‍රශ්න ලැයිස්තුවකට මාව ඇදී ගියා—ඒවා තනිකම දැනීම, ආත්ම-විශ්වාසය අඩුවීම, ව්‍යාකූලත්වය, ජීවිතයේ පරීක්ෂාවන්ට මුහුණ දීම සහ යනාදිය පිළිබඳ ප්‍රශ්න. එම ලැයිස්තුවේ තිබෙන සෑම අයිතමයක්ම අලුත් ගිවිසුමේ පද සහ පිටු වෙත යොමු කිරීමක් සමඟ තිබුණා. “ඔබ වෙහෙසට පත් වූ විට” යන ප්‍රකාශයට මම විශේෂයෙන් ඇදී ගියා. මෙම යොමුව මතෙව් 11:28–30 විවෘත කිරීමට මාව පෙලඹවූ අතර, එහි යේසුස්වහන්සේ තම ගෝලයන්ට මෙසේ පැවසුවා:

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”

මට මතක තිබෙන විදියට මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචන කියවූ පළමු අවස්ථාව මෙයයි. උන්වහන්සේ කියපු සියලු වචන මට නොතේරුණත්, උන්වහන්සේගේ ඒ වචන මාව සැනසුවා, මගේ ආත්මය ඔසවා තැබුවා ඒවගේම මට බලාපොරොත්තුවක් දුන්නා. උන්වහන්සේගේ වචන කියවන තරමටම උන්වහන්සේගේ වචනවල ගුණය අත්හදා බැලිය යුතු යැයි මට සිතුණා. එදා මට දැනුන විදියට මට කවදාවත් දැනිලා තිබුනේ නෑ. මට ආදරය ලැබෙන බව මට දැනුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නෙ මා දන්නා කෙනෙකු බව මට හැඟුණා.

මම දිගටම අධ්‍යයනය කරගෙන යද්දි, උන්වහන්සේ මෙසේ පැවසූ විට මට දැනුණෙ උන්වහන්සේ මට කෙලින්ම කතා කරන බවයි, “ධර්මිෂ්ඨකම් කිරීමට සා පිපාසා වන සියල්ලෝ ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුහු පුරවනු ලබන්නෝය.”

ඒ වෙලාවෙ මට දැනුන හැඟීම් මට හරියට විස්තර කරන්න බැරි උනත් උන්වහන්සේගේ වචන වලින් මගේ හිත පිරී ගියා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියවස් ගණනාවකට පෙර ජීවත් වූයේ මට නුහුරු දේශයක වුනත්, මගේ මුළු හදවතින්ම උන්වහන්සේගේ වචන මට විශ්වාස කරන්න පුළුවන් බව මට දැනුණා. අනාගතයේ යම් දිනක මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන තවත් ඉගෙන ගනු ඇතැයි මම බලාපොරොත්තු වුණා.

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කළ යුතු සියල්ල ඔබට පෙන්වනු ඇත

වසර කිහිපයකට පමණක් පසු එම දිනය පැමිණියා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ඉතා කැපවූ, තරුණ, පූර්ණ කාලීන ධර්මදූතවරුන්ව මට මුණගැසුණා. ඒ වගේම මට ඉක්මනින්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කරන පසුදවස්වල ශුද්ධවන්තයන්ගේ කාරුණික හා ප්‍රීතිමත් කුඩා කණ්ඩායමක් මුණගැසුණා. ඔවුන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමට මට ටික කාලයක් ගත වුනත්, මම අලුත් ගිවිසුම අධ්‍යයනය කරන විට—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචන සහ ඒවාගෙන් ලැබෙන බලාපොරොත්තුව සහ සාමය වන මා ආශා කළ දේ, මෙම නැවත පිහිටුවන ලද ශුභාරංචිය තුළ දැක ගැනීමට මට පුළුවන් වුණා.

විශේෂයෙන්ම පරිශුද්ධ අත්දැකීමක් ඇති වුණේ ධර්මදූතයින් මට යාච්ඤා කිරීමට ඉගැන්වූ විටයි. අපි දෙවියන්වහන්සේව නමින් ආමන්ත්‍රණය කළ යුතු බව මම ඉගෙන ගත්තා. අප යාච්ඤා කරන විට, අපි අපගේ හදවත් වලින් කතා කළ යුතුයි, අපගේ කෘතඥතාව පළ කළ යුතුයි, ඒවගේම අපගේ බලාපොරොත්තු සහ ආශාවන් බෙදාහදා ගත යුතුයි. අපට පැවසීමට අවශ්‍ය සියල්ල පැවසූ පසු, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්” කියා අපගේ යාච්ඤාව අවසන් කරනවා. අපි එසේ කරන්නේ යේසුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන ලෙස උන්වහන්සේ අපට ආඥා කළ නිසයි. ස්වර්ගීය පියාණන්වහන්සේට යාච්ඤා කිරීම මගින්, උන්වහන්සේ කවුදැයි දැනගැනීමටත්, උන්වහන්සේ සමඟ මගේ සම්බන්ධතාවය—ඒ කියන්නෙ මම උන්වහන්සේගේ ආදරණීය ආත්මික පුත්‍රයා බව දැනගැනීමටත් මට උදව් වුණා. ස්වර්ගීය පියාණන්වහන්සේ මාව දන්නා නිසාත් මට ප්‍රේම කරන නිසාත්, උන්වහන්සේ මට පෞද්ගලිකව, අද්විතීයව සහ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින්, ඒවගේම මට තේරුම් ගත හැකි ආකාරයෙන් කථා කරන බව මම ඉගෙන ගත්තා.

මට ඇත්තටම ශුද්ධාත්මයාණන්වහන්සේව හඳුනාගන්න බැරි කාලයක් තිබුණා. මට කරන්න තියෙන්නේ යාච්ඤාවේ පියවර අනුගමනය කිරීමෙන් පසු නාට්‍යාකාර දෙයක් සිදුවන තෙක් බලාසිටීම පමණයි බව සිතමින්, මම ඒ ගැන තේරුම් අරන් තිබුණෙ වැරදියට. දවසක්, මෙම ධර්මදූතයින් සමඟ පාඩමක් අතරතුර, මම විවේකයක් ගැනීමට පාඩමෙන් ඉවත් වුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචිය සැබවින්ම සත්‍ය නම් මගේ ජීවිතය සමඟ මා කුමක් කළ යුතුද යන්න පිළිබඳව මම ඒ වෙනකොට උන්නෙ ව්‍යාකූලවයි.

මම මේ ධර්මදූතයින් රැඳී සිටි කාමරයට ආපසු යාමට සූදානම් වන විට, එක් ධර්මදූතවරයෙකුගේ කටහඬ මට ඇහුණා. මට මගේ නම ඇහුණා. මම දොර අරිනවා වෙනුවට දොරෙන් එහා පැත්තේ තියෙන කටහඬට ඇහුම්කන් දුන්නා. මම තුෂ්නිම්භූත වුණා. ඔවුන් සිටියෙ ස්වර්ගික පියාණන්වහන්සේට යාච්ඤා කරමින්. දෙවියන්වහන්සේට මගේ යාච්ඤාවට සවන් දෙන ලෙස කන්නලව් කරමින් ඒ යාච්ඤාව කියූ තැනැත්තා උන්වහන්සේට ආයාචනා කළා. ඔහුගේ ජපන් භාෂාව චතුර නොවුනත්, ඔහුගේ අවංක යාච්ඤාව ඇසීමෙන් මගේ හදවත මෘදු වුණා. ඔවුන් මා ගැන මෙතරම් සැලකිල්ලක් දක්වන්නේ මන්දැයි මම කල්පනා කළා. මා වෙනුවෙන් ඔවුන් කළ යාච්ඤාව ස්වර්ගීය පියාණන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් මා කෙරෙහි දක්වන ප්‍රේමයේ පිළිබිඹුවක් බව මට ඉන්පසු වැටහුණා. එම ආදරය මට බලාපොරොත්තුවක් ලබා දුන්නා, පසුව, මම ඇදහිල්ලෙන් හා සැබෑ චේතනාවෙන් දෙවියන්වහන්සේගෙන් ඇසුවා. මම එසේ කළ විට, මම සැබවින්ම දෙවියන්වහන්සේගේ දරුවෙකු බවටත්, මට දිව්‍යමය හැකියාවක් සහ ඉරණමක් ඇති බවටත්, ප්‍රීතිමත් සහ සාමකාමී හැඟීමක් මට දැනුණා. ගැලවීමේ සැලැස්ම මගේ හදවතේ ගැඹුරට කිඳා බැස්සා.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ කියා තිබෙනවා, “ඔබ කවුරුන්ද යන්න ගැන ඔබ සිතන ආකාරය … ඔබ ගන්නා සෑම තීරණයකටම බලපානවා.” එය මට ඇත්තටම සත්‍යයක්. බව්තීස්ම වී ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබීමෙන් ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ගත් තීරණය මා සිතුවාට වඩා මගේ ජීවිතයට ආශීර්වාද කළා. අපි දෙවියන්වහන්සේ සමඟ බව්තීස්ම ගිවිසුමට ඇතුල් වෙද්දි, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගැනීමටත්, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමටත්, අපගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා උන්වහන්සේට සේවය කිරීමටත් කැමැත්තෙන් සිටින බවට පොරොන්දු වෙනවා. ඒ වෙනුවට, අපට සැමවිටම උන්වහන්සේගේ ආත්මය අප සමඟ තබන බවට—ඒ කියන්නෙ ශුද්ධාත්මයාණන්වහන්සේගේ අඛණ්ඩ මගපෙන්වීම ලබාදෙන බවට අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ අපට පොරොන්දු වෙනවා.

ක්‍රිස්තුස්වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන්ගේ වචන “[ඔබ] කළයුතු සියල්ල” වෙත ඔබට මගපෙන්වන බවට නෙපී අපට ඉගැන්වූ පණිවිඩය කෙරෙහි විශ්වාසය තබන ලෙස මම ඔබට ආරාධනා කරනවා. සියල්ල! මෙය දෙවියන්වහන්සේගෙන් ලැබෙන ඇදහිය නොහැකි තෑග්ගක්.

සහෝදර සහෝදරියනි, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම ගැන මම කෘතඥ වෙනවා. උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා, උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් උන්වහන්සේගේ අභිමුඛයට නැවත පැමිණීමට මාර්ගය උන්වහන්සේ සකස් කර දුන්නා. මෙම ඇදහිය නොහැකි සැලැස්ම දැන ගැනීමෙන් අප දෙවියන්වහන්සේගේ දරුවන් බවත්, අපට උන්වහන්සේ හා සමාන විය හැකි බවත් දැන ගැනීමට උදව් වෙනවා. මෙම වැදගත් සත්‍යය සඳහා මම කෘතඥ වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ වචන සදාකාල ජීවනය ලබාගැනීම සඳහා අපව ගෙන යන බවට මාගේ සාක්ෂිය මම ඔබ සමඟ බෙදාගන්නවා. මම දන්නවා මේ දේවල් ඇත්ත කියලා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නා මයෙන්, ආමෙන්.