2020–2024
මුල් පෝෂණය කරන්න, ඉන්පසු අතු වර්ධනය වෙයි
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


14:31

මුල් පෝෂණය කරන්න, ඉන්පසු අතු වර්ධනය වෙයි

ඔබගේ සාක්ෂියේ අතු, ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් කෙරෙහි ඔබගේ ගැඹුරු ඇදහිල්ලෙන් ශක්තිය ලබා ගනී.

ස්විකාවු හි පැරණි දේවස්ථානයක්

2024 වසර මට සන්ධිස්ථානයක් වන වසරක් වුණා. ජර්මනියේ ස්විකාවු හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු ලෙස බව්තීස්ම වී සහ තහවුරු කර මෙම වසරට වසර 75 ක් සනිටුහන් කළා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ මගේ සාමාජිකත්වය මට ඉතාමත් වටිනවා. මගේ සහෝදර සහෝදරියනි, ඔබ සමඟ දෙවියන්වහන්සේගේ ගිවිසුම් සෙනඟ අතරට ගණන් ගනු ලැබීම මට මගේ ජීවිතයේ ලැබුණු ලොකුම ගෞරවනීය දේවල් වලින් එකක්.

මම මගේ පෞද්ගලික අනුගාමිකත්වයේ ගමන ගැන සිතද්දි, මගේ මනස බොහෝ විට ස්විකාවු හි පැරණි බංගලාවක් වෙත දිව යනවා, මම කුඩා දරුවෙක් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සක්‍රමේන්තු රැස්වීම්වලට සහභාගී වීමේ මට තිබෙන මතකයන් මම අගය කරනවා. මගේ සාක්ෂියේ බීජයට මුල්ම පෝෂණය ලැබුණේ එහිදීයි.

මෙම දේවස්ථානයේ වාතයෙන් ධාවනය වන පැරණි ඕගනයක් තිබුණා. මෙම ඕගනය ක්‍රියා කිරීම සඳහා බෙලෝස් ක්‍රියාත්මක කරන ශක්තිමත් ලීවරය ඉහළට හා පහළට තල්ලු කිරීමට සෑම ඉරිදාවකම එක් තරුණයෙකුට පැවරුණා. මේ වැදගත් කර්තව්‍යයට සහය වීමේ මහඟු වරප්‍රසාදය මට විටෙක හිමි වුණා.

සභාව විසින් අපේ ආදරණීය ගීතිකා ගායනා කරන අතරේ, මම මගේ මුළු ශක්තියෙන් පොම්ප කළේ මෙම ඕගනයට සුළඟ මදි වී නතර නොවීමටයි. බෙලෝස් ක්‍රියාකරු අසුනේ සිට, මට විශ්මයජනක පැල්ලම් සහිත වීදුරු ජනේල කිහිපයක් දැකගත හැකි වුණා, එකක් ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වුණු අතර තවත් එකක් පූජනීය වනයේ ජෝසෆ් ස්මිත්ව නිරූපණය කළා.

ශුද්ධවන්තයන්ගේ සාක්ෂිවලට සවන් දෙමින් සහ සයොනයේ ගීතිකා ගායනා කරන අතරතුර, හිරු එළියෙන් ආලෝකමත් වූ එම කවුළු දෙස බැලූ විට මා තුළ ඇති වූ පූජනීය හැඟීම් මට තවමත් මතකයි.

එම ශුද්ධ වූ ස්ථානයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් බවත්, එය සත්‍යයක් බවත්, දෙවියන්වහන්සේගේ ආත්මය මගේ මනසට සහ හදවතට සාක්ෂි දැරුවා. මෙය උන්වහන්සේගේ සභාවයි. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් පියාණන් වන දෙවියන්වහන්සේව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටු අතර උන්වහන්සේලාගේ හඬ ඔහුට ඇසුණා.

මේ වසර මුලදී, යුරෝපයේ පැවරුමක යෙදී සිටියදී, මට නැවත ස්විකාවු වෙත යාමට අවස්ථාව ලැබුණා. කණගාටුවට කරුණක් තමයි, එම ආදරණීය පැරණි දේවස්ථානය දැන් එහි නැහැ. එය වසර ගණනාවකට පෙර විශාල මහල් ගොඩනැගිල්ලක් සඳහා ඉඩ සැලසීමට බිමට සමතලා කර තිබුණා.

සදාකාලික දේවල් මොනවාද සහ එසේ නොවන්නේ මොනවාද?

කුඩා කල සිටම මට ආදරණීය වූ මෙම ගොඩනැගිල්ල දැන් මතකයක් පමණක් බව දැන ගැනීම කණගාටුදායක බව මම පිළිගන්නවා. එය මට පූජනීය ගොඩනැගිල්ලක්. නමුත් එය ගොඩනැගිල්ලක් පමණයි.

ඊට වෙනස්ව, වසර ගණනාවකට පෙර ශුද්ධාත්මයාණන්ගෙන් මා ලබාගත් ආත්මික සාක්ෂිය පහව ගොස් නැහැ. ඇත්ත වශයෙන්ම, එය තවත් ශක්තිමත් වී තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලික ප්‍රතිපත්ති ගැන මම මගේ යෞවන කාලයේ ඉගෙන ගත් දේවල් මගේ ජීවිත කාලය පුරාම මගේ ස්ථිර පදනම වී තිබෙනවා. ස්විකාවු දේවස්ථානය කඩා ඉවත් කර පැල්ලම් සහිත වීදුරු ජනේල නැති වී බොහෝ කලකට පසුවත්—මගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් සමඟ මා ඇති කරගත් ගිවිසුම් සම්බන්ධය මා සමඟ දැනටත් පවතිනවා.

යේසුස්වහන්සේ මෙසේ පැවසුවා, “අහසත් පොළොවත් පහව යනු ඇත; එහෙත් මාගේ වචන පහව යන්නේ නැත.”

“කඳු පහවයන්නේය, හෙල්ද සොල්වනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොල්වනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.”

මේ ජීවිතයේ අපට ඉගෙන ගත හැකි වැදගත්ම දේවල් වලින් එකක් තමයි සදාකාලික හා සදාකාලික නොවන දේ අතර වෙනස. අපි එය තේරුම් ගත් පසු, සියල්ල වෙනස් වෙනවා—අපගේ සබඳතා, අප කරන තේරීම්, අප මිනිසුන්ට සලකන ආකාරය.

සදාකාලික වන්නේ සහ නොවන්නේ කුමක්දැයි දැනගැනීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ සභාව පිළිබඳ සාක්ෂියක් වර්ධනය කරගැනීමට ප්‍රධාන වෙනවා.

මුල් කියා අතු වලට රැවටෙන්න එපා

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඉගැන්වූ පරිදි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය, “සත්‍යයේ සියල්ල සහ සෑම අයිතමයක්ම වැලඳගන්නවා.” නමුත් සෑම සත්‍යයක්ම සමාන වටිනාකමක් ඇති බව මින් අදහස් වෙන්නේ නෑ. සමහර සත්‍යයන්, අපගේ ඇදහිල්ලේ මුල් සඳහා මූලික සහ අත්‍යවශ්‍ය වෙනවා. අනෙක් ඒවා අනුබද්ධයන් හෝ අතුයි—ඒවා වටින්නේ මූලික කරුණුවලට සම්බන්ධ වූ විට පමණයි.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ පැවසුවා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන, එනම් උන්වහන්සේ මිය ගිය බව, තැන්පත් කළ බව, තුන්වන දවසේ නැවත නැගිටි බව, සහ ස්වර්ගයට ඉහළට ගිය බවට වූ ප්‍රේරිතවරුන්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂි අපේ ආගමේ මූලික ප්‍රතිපත්ති වෙනවා; අපගේ ආගමට අදාළ අනෙකුත් සියලුම දේවල් ඒවාට අනුබද්ධ දේවල් පමණයි.”

වෙනත් වචන වලින් කියනවා නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය තමයි අපගේ සාක්ෂියේ මුල්. අනෙක් සියල්ල අතු.

මින් අදහස් වෙන්නේ අතු වැදගත් නොවන බව නොවේ. ගසකට අතු අවශ්‍යයි. නමුත් ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ට පැවසූ පරිදි, “අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම් ඵල දරන්ට නුඹලාට බැරිය.” ගැලවුම්කරුවාණන්ට, එනම් මුල්වල ඇති පෝෂණයට සම්බන්ධයක් නොමැතිව, අතු වියළෙමින් මිය යනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂි පෝෂණය කිරීමේදී, අපි සමහර විට අතු මුල් ලෙස වරදවා වටහා ගන්නවාදැයි මට සිතෙනවා. යේසුස්වහන්සේ උන්වහන්සේගේ කාලයේ සිටි පරිසිවරුන් තුළ නිරීක්ෂණය කළ වරද මෙයයි. ඔවුන් නීතියේ සාපේක්ෂ වශයෙන් සුළු තොරතුරු කෙරෙහි කොතරම් අවධානයක් යොමු කළාද කියනවා නම්, ගැලවුම්කරුවාණන් විසින් “වඩා වැදගත් කාරණා” ලෙස හැඳින්වූ “යුක්තියත් දයාවත් විශ්වාසකමත්” වැනි මූලික ප්‍රතිපත්ති නොසලකා හැරීමට ඔවුන්ට එය හේතුවක් වුණා.

ඔබට ගසක් පෝෂණය කිරීමට අවශ්‍ය නම්, ඔබ අතු මත වතුර ඉසින්නේ නෑ. ඔබ වතුර දමන්නේ මුල්වලටයි. ඒ හා සමානව, ඔබේ සාක්ෂියේ අතු වර්ධනය වී පල දැරීම ඔබට අවශ්‍ය නම්, මුල් පෝෂණය කරන්න. සභා ඉතිහාසයේ යම් මූලධර්මයක් හෝ භාවිතයක් හෝ අංගයක් ගැන ඔබට අවිනිශ්චිත නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පැහැදිලිකම සොයන්න. ඔබ වෙනුවෙන් උන්වහන්සේගේ කැපකිරීම, ඔබ වෙනුවෙන් උන්වහන්සේගේ ආදරය, ඔබ වෙනුවෙන් උන්වහන්සේගේ කැමැත්ත තේරුම් ගැනීමට උත්සාහ කරන්න. නිහතමානීව උන්වහන්සේව අනුගමනය කරන්න. ඔබගේ සාක්ෂියේ අතු, ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් කෙරෙහි ඔබගේ ගැඹුරු ඇදහිල්ලෙන් ශක්තිය ලබා ගනී.

නිදසුනක් වශයෙන්, ඔබට මොර්මොන්ගේ පොත ගැන ශක්තිමත් සාක්ෂියක් අවශ්‍ය නම්, එහි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය කෙරෙහි අවධානය යොමු කරන්න. මොර්මොන්ගේ පොත උන්වහන්සේ ගැන සාක්ෂි දෙන ආකාරය, උන්වහන්සේ ගැන උගන්වන දේ සහ උන්වහන්සේ වෙතට පැමිණීමට එය ඔබට ආරාධනා කරන්නේ කෙසේද කියා සැලකිල්ලට ගන්න.

ඔබ සභාවේ රැස්වීම්වලදී හෝ දේවමාළිගාවේදී වඩාත් අර්ථවත් අත්දැකීමක් සොයන්නේ නම්, එහිදී අපට ලැබෙන පූජනීය නියෝග තුළ ගැලවුම්කරුවාණන්ව සෙවීමට උත්සාහ කරන්න. ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ ගෘහයේ උන්වහන්සේව සොයාගන්න.

ඔබේ සභා කැඳවීම නිසා ඔබට කවදා හෝ පීඩනයක් හෝ වෙහෙසක් දැනේ නම්, ඔබේ සේවය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි නැවත යොමු කිරීමට උත්සාහ කරන්න. එය උන්වහන්සේ කෙරෙහි ඔබේ ප්‍රේමයේ ප්‍රකාශනයක් කරගන්න.

මුල් පෝෂණය කරන්න, එවිට අතු වර්ධනය වෙයි. ඒවගේම කාලයාගේ ඇවෑමෙන් ඒවා පල දරයි.

උන්වහන්සේ තුළ මුල් බැසගෙන ගොඩනැගෙන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් එක රැයකින් ඇති වෙන්නේ නෑ. නෑ, මේ ලෞකික ලෝකයේ, ඉබේ වර්ධනය වෙන්නේ සැකයේ කටු සහ ගොකටුයි. ඇදහිල්ලේ නිරෝගී, ඵල දරන වෘක්ෂය සඳහා චේතනාන්විත උත්සාහයක් අවශ්‍යයි. එම උත්සාහයේ වැදගත් කොටසක් තමයි අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව මුල් බැස ඇති බවට වග බලා ගැනීම.

උදාහරණයක් විදියට: මුලදී, මිත්‍රශීලී සාමාජිකයන් හෝ කරුණාවන්ත සභානායකවරයා හෝ දේවස්ථානයේ පිරිසිඳු පෙනුම අපේ සිත් ඇදගන්නා නිසා අපි ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය හා සභාව වෙත ඇදී යනවා වෙන්න පුළුවන්. සභාවේ වර්ධනය සඳහා මෙම තත්වයන් නිසැකවම වැදගත්.

එසේ වුවත්, අපගේ සාක්ෂියේ මුල් කිසි විටෙකත් ඊට වඩා ගැඹුරට වර්ධනය නොවන්නේ නම්, එතරම් මිත්‍රශීලී නොවන සාමාජිකයින් සමඟ අඩු ආකර්ෂණීය ගොඩනැගිල්ලක හමු වන කොට්ඨාශයකට අප ගිය විට සහ සභානායකවරයා අපට රිදවන දෙයක් පැවසුවහොත් කුමක් සිදුවේද?

තවත් උදාහරණයක්: අපි ආඥා පිළිපදිනවා නම් සහ දේවමාළිගාවේ මුද්‍රා වී ඇත්නම්, සෑම දෙනාම සභාවේ ක්‍රියාකාරී, ධර්මදූතවල සේවය කරන, කොට්ඨාශ ගීතිකා කණ්ඩායමේ ගායනා කරන, සෑම සෙනසුරාදා උදෑසනකම රැස්වීම් ශාලාව පිරිසිඳු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන, කීකරු දරුවන්ගෙන් පිරි, විශාල ප්‍රීතිමත් පවුලක් මගින් ආශිර්වාද ලැබීම ගැන බලාපොරොත්තු තැබීම සාධාරණ යැයි පෙනෙන්නේ නැද්ද?

අපි හැමෝම අපේ ජීවිත තුළ මෙය දකිනු ඇතැයි මම නිසැකවම බලාපොරොත්තු වෙනවා. නමුත් එය එසේ වෙන්නේ නැති නම්? තත්වයන් නොතකා අපි ගැලවුම්කරුවාණන්ට බැඳී සිටීද—උන්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ වේලාව කෙරෙහි විශ්වාසය තබයිද?

අප අපෙන්ම මෙසේ අසාගත යුතුයි: මගේ සාක්ෂිය පදනම් වී ඇත්තේ මගේ ජීවිතයේ සිදුවෙනවාට මම බලාපොරොත්තු වන දේවල් මතද? එය අන් අයගේ ක්‍රියාවන් හෝ ආකල්ප මත රඳා පවතිනවාද? එසේත් නැතිනම් එය ජීවිතයේ වෙනස් වන තත්වයන් නොසලකා, “උන්වහන්සේ තුළ මුල් ඇද ගොඩනගන ලදුව” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත ස්ථිරව පිහිටුවා තිබේද?

සම්ප්‍රදායන්, පුරුදු සහ ඇදහිල්ල

“දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමේදී දැඩිව සිටි” සෙනඟක් ගැන මොර්මොන්ගේ පොත පවසනවා. නමුත් පසුව කොරිහෝර් නම් සංශයවාදියෙක් පැමිණ, ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය සමච්චල් කරමින්, එය “මෝඩ” සහ “ඔවුන්ගේ පියවරුන්ගේ මෝඩ සම්ප්‍රදායන්” බව හඳුන්වනවා. කොරිහෝර් “බොහෝ දෙනෙකුගේ හදවත් ඉවතට ගෙන, ඔවුන්ගේ දුෂ්ටකම්වලින් ඔවුහු උඩඟු වීමට” සැලැස්සුවා. නමුත් ඔහුට අන් අයව රැවටීමට නොහැකි වුණා, මොකද ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්ප්‍රදායකට වඩා බොහෝ සෙයින් වැඩි දෙයක් වුණා.

ඇදහිල්ල ශක්තිමත් වන්නේ එය අපගේ සම්ප්‍රදායන් හෝ අන් අය කියන හෝ කරන දේවලින් ස්වාධීන වූ පුද්ගලික අත්දැකීම් තුළ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පුද්ගලික කැපවීම තුළ ගැඹුරු මුල් ඇතිකරගත් විටයි.

අපගේ සාක්ෂිය පරීක්ෂා කර අභියෝගයට ලක් කරනු ලැබෙනවා. කිසිවිටෙකත් පරීක්ෂා කරනු ලැබුවේ නැත්නම් ඇදහිල්ල ඇදහිල්ලක් නොවේ. කිසිවිටෙකත් විරුද්ධත්වයක් නැත්නම් ඇදහිල්ල ශක්තිමත් වෙන්නේ නෑ. එබැවින් ඔබට ඇදහිල්ලේ පරීක්ෂාවන් හෝ පිළිතුරු නොමැති ප්‍රශ්න තිබේ නම් බලාපොරොත්තු සුන් කරගන්න එපා.

අපි ක්‍රියා කිරීමට පෙර සියල්ල තේරුම් ගැනීමට අපි බලාපොරොත්තු නොවිය යුතුයි. ඒ ඇදහිල්ල නොවේ. ඇල්මා ඉගැන්වූ පරිදි, “ඇදහිල්ල යනු දේවල් පිළිබඳ පරිපූර්ණ දැනුමක් නොතිබීමයි.” අපගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන තෙක් අපි ක්‍රියා කිරීමට බලා සිටියහොත්, අපට ලඟා කරගත හැකි යහපත අපි දැඩි ලෙස සීමා කරගන්නා අතර අපගේ ඇදහිල්ලේ බලයත් සීමා කරගන්නවා.

ඇදහිල්ල සුන්දර වන්නේ බලාපොරොත්තු වූ පරිදි ආශිර්වාද නොලැබෙන විට පවා එය පවතින නිසයි. අපට අනාගතය පෙනෙන්නේ නෑ, අපි සියලු පිළිතුරු දන්නේ නෑ, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන බැවින් අපි ඉදිරියට සහ ඉහළට ගමන් කරන විට අපට උන්වහන්සේව විශ්වාස කරන්න පුළුවන්.

ඇදහිල්ල ජීවිතයේ පරීක්ෂාවන් සහ අවිනිශ්චිතතාවයන් විඳදරාගන්නේ එය ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ දහම තුළ තදින් මුල් බැස ඇති නිසයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේව එවූ ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ කියන්නෙ අපගේ විශ්වාසයේ නොසැලෙන, පරිපූර්ණ විශ්වාසනීය වස්තුවයි.

සාක්ෂියක් යනු ඔබ වරක් ගොඩනගාගෙන ඉන්පසු එය සදහටම පැවතෙන දෙයක් නොවේ. එය ඔබ නිරන්තරයෙන් පෝෂණය කරන ගසක් වගෙයි. දෙවියන්වහන්සේගේ වචනය ඔබේ හදවතේ සිටුවීම එහි පළමු පියවර පමණයි. ඔබේ සාක්ෂිය වර්ධනය වීමට පටන් ගත් පසු තමයි සැබෑ කාර්යය ආරම්භ වෙන්නෙ! එවිට ඔබ “බලවත් සැලකිල්ලකින් පෝෂණය කරන්නේ නම්, එයට මුල් ඇදෙනු ඇත, තවද වර්ධනය වෙමින් තවද ඵලයන් පෙරට ගෙන එන්නේය.” ඒ සඳහා “උද්‍යෝගය” සහ “ඉවසිල්ල සමඟ වචනය” අවශ්‍ය වෙනවා. නමුත් ස්වාමින්වහන්සේගේ පොරොන්දු නිසැකයි: “නුඹලාගේ උද්‍යෝගයෙන්, තවද ඉවසිල්ලෙන්, සහ දිගු දරාගැනීමෙන් බලා සිටි නුඹලාගේ විපාක නුඹලා නෙලාගන්නෙහුය.”

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මගේ ආදරණීය මිතුරනි, පැරණි ස්විකාවු දේවස්ථානය සහ එහි පැල්ලම් සහිත වීදුරු ජනේල මගහැරී ගිය හැඟීමක් මා තුළ තිබෙනවා. නමුත් පසුගිය වසර 75 තුළ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා කිසිදා සිතූ නැති තරමේ විශ්මයජනක ජීවිතයක් හරහා මට මගපෙන්වා තිබෙනවා. උන්වහන්සේ මගේ දුක් වේදනාවලදී මාව සනසවා, මගේ දුර්වලකම් හඳුනා ගැනීමට මට උපකාර කර, මගේ ආත්මික තුවාල සුව කර, මගේ වැඩෙන ඇදහිල්ලෙන් මාව පෝෂණය කළා.

ගැලවුම්කරුවාණන් කෙරෙහි අපේ ඇදහිල්ල තුළ, උන්වහන්සේගේ දහම තුළ සහ උන්වහන්සේගේ සභාව තුළ මුල් අපි නිරතුරුවම පෝෂණය කරගමු, මේ මාගේ අවංක යාච්ඤාව සහ ආශිර්වාදයයි. මම මේ ගැන සාක්ෂි දරන්නේ, අපගේ ගැලවුම්කරුවාණන් වූද, අපගේ මිදුම්කරුවාණන් වූද, අපගේ ස්වාමියාගේ ශුද්ධ වූ නාමයෙන්—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. 2024 වසරට ප්‍රධාන අධිකාරීවරයෙකු ලෙස මා කැඳවා වසර 30ක් සපිරෙන අතර එම කැඳවීමේ ප්‍රතිඵලයක් ලෙස අපේ පවුලට ජර්මනියේ සිට එක්සත් ජනපදයට යාමට සිදුවී වසර 25ක් සපිරේ. හරියටම මීට වසර 20කට පමණ පෙර—2004 ඔක්තෝබර් 2 වන දින—ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයෙකු ලෙසත්, “මුළු ලෝකයේම ක්‍රිස්තුස්වහන්සේගේ නාමය” පිළිබඳ විශේෂ සාක්ෂිකරුවෙකු ලෙසත් මාව ස්ථීර කරන ලදි (දහම සහ ගිවිසුම් 107:23).

  2. යම් ආකාරයකින්, එම ගොඩනැඟිල්ල ගැන මගේ හැඟීම්, මොර්මොන් ජලය ගැන ඇල්මාගේ මිනිසුන්ට හැඟුණු දේ වැනි ය—එය ඔවුන්ට සුන්දර ස්ථානයක් විය, මන්ද “[ඔවුන්] ඔවුන්ගේ මිදුම්කරුවාණන්ගේ දැනගැන්මට පැමිණියේ එහිදී ය” (මොසායා 18:30).

  3. මතෙව් 24:35; තවත් බලන්න Joseph Smith—Matthew 1:35.

  4. යෙසායා 54:10; තවත් බලන්න 3 නෙපී 22:10.

  5. සභාපති තෝමස් එස්. මොන්සන් මෙම වදන් සමඟම මෙම සත්‍යය ඉගැන්වූයේය: “මෙම කෙටි මිහිමතෙහි නවාතැන් ගැනීමේදී අපට ඉගෙන ගත යුතු ශ්‍රේෂ්ඨතම පාඩම් අතර වැදගත් හා වැදගත් නොවන දේ අතර වෙනස හඳුනාගැනීමට උපකාර වන පාඩම් ඇති බව මම විශ්වාස කරමි. මම ඔබෙන් ඉල්ලා සිටින්නේ එම වැදගත්ම දේ ඔබ පසුකර යාමට ඉඩ නොදෙන ලෙසයි” (“Finding Joy in the Journey,” Liahona, Nov. 2008, 85). ඒ හා සමානව, සභාපති රසල් එම්. නෙල්සන් මෑතකදී “උත්කර්ශවත්ව සිතන්න” අපව දිරිමත් කළ විට ඔහු පැවසුවේ, “ලෞකික ජීවිතය යනු ශ්‍රේෂ්ඨතම සදාකාලික ආනයනයේ දේවල් තෝරාගැනීම් ඉගෙනගැනීමට ඇති විශේෂ පන්තියක්” බවයි (“උත්කර්ශවත්ව සිතන්න!,” ලියහෝනා, නොවැ. 2023, 118).

  6. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 264; තවත් බලන්න Teachings of Presidents of the Church: Brigham Young (1997), 16–18.

  7. Teachings: Joseph Smith, 49.

  8. යොහාන් 15:4.

  9. මතෙව් 23:23, නව සංශෝධිත සම්මත අනුවාදය.

  10. පුරාණ ඇමරිකානු සංස්කෘතීන් සහ මොර්මොන්ගේ පොතේ ජනයා අතර පුරාවිද්‍යාත්මක සමානකම් සටහන් කිරීම සිත්ගන්නාසුළුද? එය එසේ විය හැකියි. ජෝසෆ් ස්මිත් මොර්මොන්ගේ පොත පරිවර්තනය කළ ආකාරය පිළිබඳ විස්තර ලියන්නන්ගේ සහ වෙනත් අයගේ වාර්තාවලින් ඉගෙනගැනීම ප්‍රයෝජනවත්ද? එය සමහරුන්ට එසේ විය හැකියි. නමුත් මේ කිසිවක් මොර්මොන්ගේ පොත දෙවියන්වහන්සේගේ වචනය බවට සදාකාලික සාක්ෂියක් නොවේ. ඒ සඳහා, ඔබ ගැලවුම්කරුවාණන්ගේ හඬ ඔබට කතා කරනවා ඇසීමට, මොර්මොන්ගේ පොත තුළ උන්වහන්සේව සොයා ගත යුතුය. මෙය සිදු වූ පසු, පැරණි සරහෙම්ලා නගරය සැබවින්ම පිහිටා තිබුණේ කොතැනද යන්න හෝ උරිම් සහ තුම්මිම් යන ඒවායෙහි පෙනුම කෙබඳුද යන්න ඔබට වැදගත් නොවේ. ඒවා අවශ්‍ය නම් ඔබේ ගසෙන් කපා දැමිය හැකි අතු වේ, නමුත් ගස පවතිනු ඇත.

  11. බලන්න දහම සහ ගිවිසුම් 84:19–20.

  12. බලන්න ජෝයි ඩී. ජෝන්ස්, “උන්වහන්සේ වෙනුවෙන්,” ලියහෝනා, නොවැ. 2018, 50–52.

  13. බලන්න උත්පත්ති 3:18.

  14. සභාපති නෙල්සන් අප සැමට ආරාධනා කර ඇත්තේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ [අපේ] සාක්ෂියේ වගකීම භාර ගන්නා ලෙසයි. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එය වර්ධනය වන පරිදි එය පෝෂණය කරන්න (“ලෝකය ජයගෙන විවේකය සොයාගන්න,” ලියහෝනා, නොවැ. 2022, 97).

  15. කොලොස්සි 2:7.

  16. ඇල්මා 30:3.

  17. බලන්න ඇල්මා 30:12–16, 31.

  18. ඇල්මා 30:18.

  19. කුතුහලය දනවන කරුණ නම්, කොරිහෝර්ගේ තර්ක, තම පියවරුන්ගේ සම්ප්‍රදාය නිසා ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය නොකළ, අම්මොන්වරුන්ගේ (බලන්න ඇල්මා 30:19-20) මෑතකදී හැරී ආ ලාමන්වරුන් අතර සම්පූර්ණයෙන්ම විශ්වාස කළ නොහැකි ඒවා බවට පත්විය.

    ඊට හාත්පසින්ම වෙනස්ව, “ඔවුන් තම පියවරුන්ගේ සම්ප්‍රදාය විශ්වාස නොකළ” නිසා ස්වාමින්වහන්සේගේ සභාවෙන් වෙන් වූ තරුණ පරම්පරාවක් ගැන ද මොර්මොන්ගේ පොත කියයි (බලන්න මොසායා 26:1–4). ධර්මිෂ්ඨ සම්ප්‍රදායන් ස්ථාපිත කිරීම පවුල් සඳහා හොඳය. නමුත් එම සම්ප්‍රදායන් පිටුපස ඇති ඇයි යන ප්‍රශ්නය, පැහැදිලිව අවබෝධ කර ගැනීම පවුල්වලට වැදගත්ය. අපි හැමදාම උදේ හවස යාච්ඤා කරන්නේ ඇයි? අපට පවුල් ශුද්ධලියවිලි අධ්‍යනයක් තිබෙන්නේ ඇයි? අපි සතිපතා නිවාස සන්ධ්‍යාව, පවුලේ ක්‍රියාකාරකම් සහ සේවා ව්‍යාපෘති ආදිය පවත්වන්නේ ඇයි? මෙම සම්ප්‍රදායන් අපව ස්වර්ගීය පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප කරන්නේ කෙසේදැයි අපගේ දරුවන් තේරුම් ගන්නේ නම්, ඔවුන් ඔවුන්ගේම පවුල්වල ඒවා දිගටම කරගෙන යාමට සහ ඒවා වැඩිදියුණු කිරීමට වැඩි ඉඩක් ඇත.

  20. ඇල්මා 32:21. ඇදහිල්ල බලවත් වන්නේ එය දන්නා දේ නිසා නොව එය කරන දේ නිසාය.

  21. බලන්න හෙබ්‍රෙව් 10:23.

  22. ඇල්මා 32:37, 41-43.