2020–2024
ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


13:31

ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම

ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් වශයෙන්, අපගේ පරිපූර්ණ ආදර්ශය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අපි උගන්වනවා ඒවගේම සාක්ෂි දරනවා. ඉතින් අපි සිදුවෙමින් පවතින වාද විවාද ඉවත දමමින් උන්වහන්සේව අනුගමනය කරමු.

“එන්න, මා අනුගමනය කරන්න” යන ගැලවුම්කරුවාණන්ගේ ආරාධනයෙන් හඳුන්වනු ලබන ශුභාරංචි අධ්‍යයන සැලැස්ම මගින් මිලියන ගණනාවක් පිරිස මෙම වසර තුළ පෙළඹවීම් ලබා තිබෙනවා. ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම සාමාන්‍යයෙන් හෝ ඉඳහිට සිදු කරන ක්‍රියාවක් නොවේ. එය සෑම අවස්ථාවකදීම සහ සෑම තැනකදීම අපට මගපෙන්විය යුතු අඛණ්ඩ කැපවීමක් සහ ජීවන මාර්ගයක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් සහ උන්වහන්සේගේ ආදර්ශය උන්වහන්සේගේ සෑම ගෝලයෙකුටම මාර්ගය පෙන්වා දෙනවා. ඒවගේම සියලු දෙනාටම මෙම මාර්ගයට ආරාධනා කර තිබෙනවා, මොකද උන්වහන්සේ සියලු දෙනාටම තමන් වෙතට පැමිණෙන ලෙස ආරාධනා කරනවා, “කළු සහ සුදු, වහල්ලා හෝ නිදහස් තැනැත්තා, පිරිමි සහ ගැහැණු; … සියල්ලෝම දෙවියන්වහන්සේට සමානයි.”

I.

ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමේ පළමු පියවර වන්නේ “නීතියේ ඇති ශ්‍රේෂ්ඨ ආඥාව” ලෙස උන්වහන්සේ නිර්වචනය කළ දෙයට කීකරු වීමයි:

“ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු ආත්මයෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද, ඔබේ දෙවිවූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව.

“මේක උතුම් වූ පළමුවෙනි වූ ආඥාවය.

“මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරව.

“මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක.”

පියෙකු සහ පුතෙකු සරුංගලයක් යවමින්.

දෙවියන්වහන්සේගේ ආඥා අපගේ ජීවිතයට මගපෙන්වන්වමින් ස්ථාවර බලය සපයනවා. ලෞකිකත්වය පිළිබඳ අපගේ අත්දැකීම් කුඩා දරුවෙක් සහ ඔහුගේ පියා සුළං සහිත දිනයක සරුංගලයක් යවනවා වගෙයි. සරුංගලය ඉහළට නැඟුණු විට, සුළඟ නිසා එය කුඩා දරුවාගේ අතේ සම්බන්ධක නූල මත විශාල ඇදීමක් ලබාදෙනවා. ලෞකික සුළඟේ බලය පිළිබඳ අත්දැකීම් නොමැති ඔහු සරුංගලය ඉහළට නැඟීමට හැකි වන පරිදි නූල කපන්නැයි ඉල්ලා සිටියා. සරුංගලය මෙම ලෞකික සුළඟට එරෙහිව තබාගන්නේ නූල බව පැහැදිලි කරමින්, එය කරන්නට එපා යැයි ඔහුගේ නැණවත් පියා උපදෙස් දුන්නා. නූලෙන් අල්ලගෙන ඉන්න එක නැති උනොත්, සරුංගලය ඉහළට නගින්නෙ නෑ. එය මෙම සුළං මගින් ගසාගෙන යන අතර අනිවාර්යයෙන්ම පොළොවට කඩා වැටෙයි.

එම අත්‍යවශ්‍ය තන්තුව නියෝජනය කරන්නේ අපගේ ස්වර්ගික පියාණන් වන දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපව සම්බන්ධ කරන ගිවිසුම්. උන්වහන්සේලාගේ ආඥා පිළිපැදීමෙන් සහ උන්වහන්සේලාගේ මිදීමේ සැලැස්ම අනුගමනය කිරීමෙන් අපි එම ගිවිසුම්වලට ගරු කරන විට, උන්වහන්සේලාගේ පොරොන්දු වූ ආශිර්වාද අපට සෙලෙස්ටියල් උසකට නැගීමට හැකියාව ලබාදෙනවා.

ක්‍රිස්තුස්වහන්සේ “ලෝකයේ ආලෝකය” බව මොර්මොන්ගේ පොත නිතරම ප්‍රකාශ කරනවා. ස්වාමින්වහන්සේ නෙපීවරුන්ට පෙනී සිටි අවස්ථාවේදී, මරණයෙන් නැවත නැගිටි ස්වාමින්වහන්සේ එම ඉගැන්වීම මෙසේ පැහැදිලි කළා: “මම ඔබට ආදර්ශයක් තැබුවෙමි.” “නුඹලා එම ඔසවන්නාවූ ආලෝකය මමය—එනම් මා විසින් කරනවා නුඹලා දුටු දේවල්ය.” උන්වහන්සේ තමයි අපේ ආදර්ශය. සභාපති රසල් එම්. නෙල්සන් අපෙන් ඉල්ලා ඇති පරිදි ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමෙන් සහ අනාවැකිමය ඉගැන්වීම් අනුගමනය කිරීමෙන් උන්වහන්සේ පැවසූ සහ කර ඇති දේවල් ගැන අපි ඉගෙන ගන්නවා. සක්‍රමේන්තු නියෝගය තුළ, අපි සෑම සබත් දිනකම “උන්වහන්සේව නිතරම සිහිකර උන්වහන්සේගේ ආඥා පිළිපදින” බවට ගිවිසුමක් ඇති කරගන්නවා.

II.

මොර්මොන්ගේ පොතේ, ස්වාමින්වහන්සේ විසින් “ක්‍රිස්තුස්වහන්සේගේ දහම” ලෙස හැඳින්වූ දෙයෙහි මූලික කරුණු උන්වහන්සේ අපට ලබා දුන්නා. ඒවා තමයි ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලබා ගැනීම, අවසානය දක්වා විඳදරාගැනීම සහ කුඩා දරුවෙකු බවට පත්වීම, ඒ කියන්නෙ ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින සියල්ලට යටත් වීම.

ස්වාමින්වහන්සේගේ ආඥා වර්ග දෙකයි: ඒ තමයි ක්‍රිස්තුස්වහන්සේගේ දහම මෙන් ස්ථිර ඒවා සහ තාවකාලික ඒවා. තාවකාලික ආඥා කියන්නෙ ස්වාමින්වහන්සේගේ සභාවේ හෝ තාවකාලික තත්වයන් තුළ ඇදහිලිවන්තයන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය වන නමුත් අවශ්‍යතාවය පහව ගිය විට පසෙකට දැමිය යුතු ආඥායි. තාවකාලික ආඥා සඳහා උදාහරණයක් තමයි ශුද්ධවන්තයින්ව නිව් යෝර්ක් සිට ඔහයෝ වෙත, මිසුරි වෙත, ඉලිනොයිස් වෙත ගෙන යාමට සහ අවසානයේ බටහිර ඉන්ටර්මවුන්ටන් වෙත පුරෝගාමීන්ට නික්මයාමට නායකත්වය දෙන ලෙස සභාවේ මුල් නායකත්වයට ස්වාමින්වහන්සේ දුන් උපදෙස්. තාවකාලික වුවත්, එවකට ඒවා ක්‍රියාත්මක වන විට මෙම ආඥා දෙන ලද්දේ කීකරු වීමටයි.

සමහර ස්ථිර ආඥා පිළිපැදීමට සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් ගත වී තිබෙනවා. නිදසුනක් වශයෙන්, සභාපති ලොරෙන්සෝ ස්නෝගේ දසයෙන් කොටසේ නීතිය පිළිබඳ සුප්‍රසිද්ධ දේශනාවේදී, කලින් දෙන ලද ආඥාවක් වුවත් තවමත් සභා සාමාජිකයන් විසින් සාමාන්‍යයෙන් පිළිපදින්නේ නැති ආඥාවක් ගැන ඔහු අවධාරණය කළා. එවකට සභාව සහ එහි සාමාජිකයන් මුහුණ දුන් තත්වයන් තුළ එය නැවත අවධාරණය කිරීමට අවශ්‍ය වුණා. පසුදවස්වල ශුද්ධවන්තයන් හෝ සභාව මුහුණ දෙන වත්මන් තත්වයන් නිසා නැවත අවධාරණය කිරීම සඳහා වඩාත් මෑත උදාහරණත් අවශ්‍ය වී තිබෙනවා. ඒවාට ඇතුළත් වන්නේ පරම්පරාවකට පෙර සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි විසින් නිකුත් කළ පවුල පිළිබඳ ප්‍රකාශය සහ සභාපති රසල් එම්. නෙල්සන්ගේ මෑතකාලීන ආරාධනාව වූ, සභාව එහි එළිදරව් කරන ලද නම වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙස හැඳින්වීමයි.

III.

අපගේ ගැලවුම්කරුවාණන්ගේ තවත් ඉගැන්වීමක්, අපගේ දවසේ තත්වයන් තුළ නැවත අවධාරණය කිරීමට අවශ්‍ය බව පෙනෙනවා.

මෙය පොදු සන්නිවේදනයේ සහ සමහර විට අපගේ පවුල්වල පවා දරුණු හා රිදවන වචන රාශියක් ඇති කාලයක්. රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් ඇති තියුණු වෙනස්කම් බොහෝ විට පොදු සහ පුද්ගලික සබඳතා තුළ සතුරුකමේ—වෛරයේ ක්‍රියාවන්ට පවා—හේතු වෙනවා. බොහෝ පුරවැසියන් මහජන යහපත සඳහා යම් ක්‍රියාමාර්ගයක හදිසි අවශ්‍යතාවයක් දකින විටදී, මෙම සතුරු වාතාවරණය සමහර විට වැදගත් කාරණා සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ හැකියාව පවා අඩාල කරනවා.

මෙම විෂ සහිත සන්නිවේදනයේ කාලය තුළ ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ඉගැන්විය යුත්තේ සහ කළ යුත්තේ මොනවාද? උන්වහන්සේගේ ඉගැන්වීම් සහ ආදර්ශ මොනවාද?

ගැලවුම්කරුවාණන් නෙපීවරුන්ට උගන්වමින්.

යේසුස්වහන්සේ නෙපීවරුන්ට දර්ශනය වූ විට ඉගැන්වූ පළමු ප්‍රතිපත්ති අතර මතභේදයෙන් වැළකී සිටීම සැලකිය යුතු කරුණක්. උනවහන්සේ මෙය ඉගැන්වූයේ ආගමික ඉගැන්වීම් පිළිබඳ ආරවුල් මධ්‍යයේ වන අතර, උන්වහන්සේ දුන් හේතු පැහැදිලිවම දේශපාලනය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ පවුල් සබඳතා තුළ සන්නිවේදනය සහ සබඳතා සඳහා අදාළ වෙනවා. යේසුස්වහන්සේ මෙසේ ඉගැන්වූවා:

“එනම් විවාදයේ ආත්මය ඇත්තා මා කෙරෙන් නොවන්නේය, එහෙත් යක්ෂයාගෙන් වන්නේය, ඔහු විවාදයේ පියාය, තවද ඔහු එකෙක් අනෙකා සමග කෝපයෙන් විවාද වීමට මනුෂ්‍යයන්ගේ හදවත් කළඹවන්නේය.

“බලන්න, එකෙක් අනෙකා සමඟ කෝපයෙන් විරුද්ධ වීමට මනුෂ්‍යයන්ගේ හදවත් කැළඹවීම, මෙය මාගේ දහම නොවන්නේය; එහෙත් මාගේ දහම වන්නේ එවැනි දේ ඉවත් කළ යුතු බවයි.”

නෙපීවරුන් අතර කළ දේවසේවයේ ඉතිරි කාලයේදී, යේසුස්වහන්සේ මතභේද තහනම් කිරීමට සමීපව ඒ හා සම්බන්ධ වෙනත් ආඥාද ඉගැන්වුවා. උන්වහන්සේ මීට පෙර මේ සෑම එකක්ම උන්වහන්සේගේ කන්ද උඩ දේශනාවේ උගන්වා තිබුණ බව අපි බයිබලයේ දැක තිබෙනවා, උන්වහන්සේ පසුව නෙපීවරුන්ට ඉගැන්වීමට භාවිතා කළේ එම භාෂාවමයි. මම හුරුපුරුදු බයිබල් භාෂාවෙන් එය උපුටා දක්වන්නම්:

ගැලවුම්කරුවාණන් යෙරුසලමේ උගන්වමින්.

“නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා, නුඹලාට ශාප කරන්නන් උදෙසා ආශිර්වාද කරපල්ලා, නුඹලාට වෛර කරන්නන් උදෙසා යහපත කරපල්ලා, නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරපල්ලා.”

මෙය ක්‍රිස්තුස්වහන්සේගේ වඩාත් ප්‍රසිද්ධ ආඥා වලින් එකක්—එය වඩාත්ම විප්ලවීය සහ අනුගමනය කිරීමට අපහසුම එකක්. එහෙත් එය සියලු දෙනාටම උන්වහන්සේව අනුගමනය කරන ලෙස උන්වහන්සේගේ ආරාධනයේ මූලිකම කොටසක්. සභාපති ඩේවිඩ් ඕ. මැකේ මෙසේ ඉගැන්වුවා, “දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ප්‍රකාශ කිරීම සඳහා, තම සෙසු මිනිසුන්ට පරාර්ථකාමී ප්‍රේමයක් පෙන්වීමට වඩා වෙනත් හොඳ ක්‍රමයක් නොමැත.”

භාවනා කරන විරුද්ධවාදී කණ්ඩායම්.

අපගේ ආදර්ශය වන උන්වහන්සේගේ තවත් මූලික ඉගැන්වීමක් මෙන්න: “සාමය ඇතිකරන්නෝ ආශිර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.”

සාමය ඇතිකරන්නෝ! ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් ඔවුන්ගේ සියලු සන්නිවේදනයන් වලදී රළු සහ රිදවන වචන ප්‍රතික්ෂේප කළහොත් එය පුද්ගලික සබඳතා කෙසේ වෙනස් කරයිද?

පසුගිය වසරේ ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, සභාපති රසල් එම්. නෙල්සන් අපට මෙම අභියෝග ලබා දුන්නා:

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකු හඳුනා ගැනීමට ඇති පහසුම ක්‍රමයක් තමයි, එම පුද්ගලයා අනෙක් මිනිසුන්ට කෙතරම් දයානුකම්පිතව සලකනවාද කියා බැලීම. …

“… යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් තමයි සාමය ඇති කරන්නන්.

“… අපට ගැලවුම්කරුවාණන්ට ගෞරව කළ හැකි හොඳම ක්‍රමයක් තමයි සාමය ඇති කරන්නෙකු වීම.”

ඔහුගේ ඉගැන්වීම් අවසන් කරමින් ඔහු මෙසේ කියනවා: “ගැටුම තේරීමකි. සාමය ඇති කිරීම යනු තේරීමක්. විවාදය හෝ සමාදානවීම තෝරා ගැනීමට ඔබට ඔබේ තෝරාගැනීමේ නිදහස තිබෙනවා. දැන් සහ සෑම විටම සාමය ඇති කරන්නෙකු වීමට තෝරා ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.”

විභව විරුද්ධවාදීන් සියලු දෙනා එකඟ වන පොදු පදනමක් හඳුනා ගැනීමෙන් ඔවුන්ගේ සාකච්ඡා ආරම්භ කළ යුතුයි.

අපගේ පරිපූර්ණ ආදර්ශමත් තැනැන්වහන්සේව සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීම සඳහා, අපි ස්වර්ණමය රීතිය ලෙස ජනප්‍රියව හඳුන්වනු ලබන ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.” අපි හැමෝටම ආදරය කරන්න ඕනේ, යහපත කරන්න ඕනේ. අපි මතභේදයන් වලින් වැළකී අපගේ සියලු සන්නිවේදනයන්හිදී සාමය ඇති කරන්නන් විය යුතුයි. මෙයින් අදහස් කරන්නේ අපගේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා නැති කරගැනීම නොවේ නමුත් අන් අයට ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් දරුණු ලෙස පහර දීම නැවැත්වීමයි. උන්වහන්සේගේ දේවසේවයේදී අපගේ පරිපූර්ණ ආදර්ශමත් තැනැන්වහන්සේ කළේ එයයි. උන්වහන්සේව අනුගමනය කිරීමට අපට ආරාධනා කරමින්, උන්වහන්සේ අපට තැබූ ආදර්ශය එයයි.

වසර හතරකට පෙර මෙම සම්මන්ත්‍රණයේදී, සභාපති නෙල්සන් අපගේම දවස සඳහා අනාවැකිමය අභියෝගයක් අපට ලබා දුන්නා:

“ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීමට ඔබ කැමතිද? ඔබේ ජීවිතයේ වැදගත්ම බලපෑම දෙවියන්වහන්සේ වීමට සැලැස්වීමට ඔබ කැමතිද? උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ ආඥා, සහ උන්වහන්සේගේ ගිවිසුම් වලට ඔබ දිනපතා කරන දෙයට බලපෑම් කිරීමට ඔබ ඉඩදෙනවාද? උන්වහන්සේගේ හඬට වෙනත් ඕනෑම දෙයකට වඩා ප්‍රමුඛතාවය ලබාදීමට ඔබ ඉඩදෙනවාද?”

ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ.

ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් වශයෙන්, අපගේ පරිපූර්ණ ආදර්ශය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අපි උගන්වනවා ඒවගේම සාක්ෂි දරනවා. ඉතින් අපි සිදුවෙමින් පවතින වාද විවාද ඉවත දමමින් උන්වහන්සේව අනුගමනය කරමු. පොදු ක්‍රියාවන් වලදී අප කැමති ප්‍රතිපත්ති අනුගමනය කරන විට, සාමය ඇති කරන්නන්ගේ භාෂාව සහ ක්‍රම භාවිතා කරමින් උන්වහන්සේගේ ආශිර්වාද සඳහා අපි සුදුසුකම් ලබා ගනිමු. අපගේ පවුල්වල සහ වෙනත් පෞද්ගලික සබඳතාවලදී රළු සහ ද්වේෂ සහගත දේවලින් වැළකී සිටිමු. අපගේ ගැලවුම්කරුවාණන් මෙන් ශුද්ධ වීමට අපි උත්සාහ කරමු, මම සාක්ෂි දරන්නේ සහ අපට ශුද්ධවන්තයින් වීමට උදව් කරන ලෙස ආශිර්වාද ඉල්ලා සිටින්නේ උන්වහන්සේගේ නාමයෙන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.