2020–2024
පසුතැවිලි වීමේ ස්වාමින්වහන්සේගේ ත්‍යාගය වැළඳ ගන්න
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:35

පසුතැවිලි වීමේ ස්වාමින්වහන්සේගේ ත්‍යාගය වැළඳ ගන්න

දෙවියන්වහන්සේ වෙත හැරීම සඳහා දේවල් දුෂ්කර වන තෙක් අපි බලා නොසිටිමු. සැබෑ ලෙස පසුතැවිලි වීමට අපි අපගේ ලෞකික ජීවිතයේ අවසානය තෙක් බලා නොසිටිමු.

ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ ගැන මම සාක්ෂි දරනවා. 2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, හැත්තෑවරුන්ගේ ප්‍රධාන අධිකාරීවරයෙකු ලෙස මගේ නව වගකීමෙහි තහවුරු වී මොහොතකට පසු, ගීතිකා කණ්ඩායම විසින් “I Stand All Amazed” ගීතිකාව ගායනා කළා, එය මගේ හදවත සහ ආත්මය පාසාරු කරගෙන ගියා.

උන්වහන්සේ සිය දිව්‍ය සිංහාසනයෙන් බැස එනු ඇතැයි මම පුදුම වෙනවා

උඩඟු මුරණ්ඩු ප්‍රාණ මිදීම සඳහා,

දෙව් ප්‍රිය කරන්න තරම් පෙම් වැගිරෙව්වා,

පුදුමයි සමිඳු යුක්තියෙන් මා ගැලෙව්වා.

ඒ වචන ටික ඇහුන ගමන් මම ඇත්තෙන්ම පුදුම වුණා. මගේ දුර්වලතා සහ අඩුපාඩු තිබියදීත්, “උන්වහන්සේගේ ශක්තියෙන් මට සියල්ල කළ හැකි” බව දැන ගැනීමට ස්වාමින්වහන්සේ මට ආශිර්වාද කළ බව මට හැඟුණා.

අප්‍රමාණවත් බව, දුර්වලකම හෝ නුසුදුසුකම වැනි පොදු හැඟීම් අපගෙන් බොහෝ දෙනෙක් සමහර විට අරගල කරන දේවල්. මම තවමත් මේවා සමඟ අරගල කරනවා; මට ඒ කැඳවීම ලැබුණු දවසෙ මට ඒක දැනුණා. මට එය බොහෝ වාරයක් දැනී තිබෙනවා, ඒවගේම තවමත් ඔබ සමඟ කතා කරන විට එය මට දැනෙනවා. කෙසේ වෙතත්, මෙම හැඟීම් සමඟ මා තනිව නැති බව මම ඉගෙන ගත්තා. ඇත්ත වශයෙන්ම, මේ හා සමාන හැඟීම් ඇති බව පෙනෙන අයගේ වාර්තා බොහොමයක් ශුද්ධලියවිලිවල තිබෙනවා. නිදසුනක් වශයෙන්, අපිට නෙපීව මතක තියෙන්නෙ ස්වාමින්වහන්සේගේ ඇදහිලිවන්ත සහ නිර්භීත සේවකයෙකු ලෙසයි. සමහර අවස්ථාවලදී, ඔහු පවා නුසුදුසුකම, දුර්වලකම සහ ප්‍රමාණවත් නොවීම වැනි හැඟීම් සමඟ පොරබැදුවා.

ඔහු මෙහෙම කිව්වා, “කෙසේවෙතත්, උන්වහන්සේගේ බලවත් හා ආශ්චර්යවත් වැඩ මට පෙන්වීටම තරම් වූ ස්වාමින්වහන්සේගේ බලවත් යහපත්කම තිබියදීත් මගේ හදවත මෙසේ කියාපායි: අහෝ කාලකණ්නි මිනිසා වන මම! එසේය, මාගේ මාංසය නිසා මගේ හිත දුක්වෙයි; මගේ අයුතුකම් නිසා මගේ ප්‍රාණය ශෝක වෙයි.”

ඔහුගේ යෞවන කාලයේදී, “[ඔහුගේ] දුර්වලකම් සහ අසම්පූර්ණත්වය” නිසා බොහෝවිට ඔහුව “හෙළාදැමීමට” ලක්වීම ගැන ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා කතා කළා. නමුත් ජෝසෆ්ගේ ප්‍රමාණවත් නොවීම සහ කනස්සල්ල පිළිබඳ හැඟීම් ඔහුව මෙනෙහි කිරීමට, අධ්‍යයනය කිරීමට, ඉගෙනීමට සහ යාච්ඤා කිරීමට පෙලඹවූ හේතු වලින් කොටසක් වෙනවා. ඔබට මතක ඇති පරිදි, ඔහු සත්‍යය, සාමය සහ සමාව සොයාගැනීම සඳහා යාච්ඤා කිරීමට ඔහුගේ නිවස අසල පිහිටි වනයට ගියා. ස්වාමින්වහන්සේ මෙසේ කියනු ඔහුට ඇසුණා: “ජෝසෆ්, මාගේ පුත්‍රය, ඔබේ පව් ඔබට කමා කරන ලදී. නුඹේ මග යන්න, මාගේ ව්‍යවස්ථාව අනුව ගමන් කර මාගේ ආඥා පවත්වන්න. බලන්න, මම මහිමයේ අධිපතියාණන් වෙමි. මාගේ නාමය විශ්වාස කරන සියල්ලන්ට සදාකාල ජීවනය ලැබෙන පිණිස, මා ලෝකය උදෙසා කුරුසියේ ඇණ ගසනු ලැබුවෙමි.”

පසුතැවිලි වී තම ආත්මයේ ගැලවීම සෙවීමට වූ ජෝසෆ්ගේ අවංක ආශාව ඔහුට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණ ඔහුගේ පව්වලට සමාව ලබා ගැනීමට උපකාර වුණා. මෙම අඛණ්ඩ උත්සාහය මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අඛණ්ඩව නැවත පිහිටුවීමට දොර විවර කළා.

දුර්වලකම සහ ප්‍රමාණවත් නොවීම පිළිබඳ හැඟීම් මගින් අපගේ වැටී ඇති ස්වභාවය හඳුනා ගැනීමට උපකාරී වන ආකාරය අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ මෙම විශිෂ්ට අත්දැකීම පෙන්නුම් කරනවා. අප නිහතමානී නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත අපගේ යැපීම හඳුනා ගැනීමටත්, ගැලවුම්කරුවාණන් වෙත හැරී අපගේ පව් ගැන පසුතැවිලි වීමටත් අපගේ හදවත් තුළ අවංක ආශාවක් ඇති කරගැනීමටත් මෙය අපට උපකාර කරයි.

මගේ මිත්‍රවරුනි, පසුතැවීම කියන්නෙ ප්‍රීතියක්! මිහිරි පසුතැවිලි වීම කියන්නෙ “පේළියෙන් පේළිය, ආඥාවෙන් ආඥාව,” සිදුවන දෛනික ක්‍රියාවලියක කොටසක්, එමඟින් ස්වාමින්වහන්සේ අපට උන්වහන්සේගේ ඉගැන්වීම් කේන්ද්‍ර කරගත් ජීවිතයක් ගත කිරීමට උගන්වනවා. ජෝසෆ් සහ නෙපී මෙන් අපටත් “කරුණාව උදෙසා [දෙවියන්වහන්සේට] මොරගැසීමට පුළුවන; මක්නිසාද උන්වහන්සේ ගලවාගැනීමට බලවත් සේක.” උන්වහන්සේට ඕනෑම ධර්මිෂ්ඨ ආශාවක් හෝ බලාපොරොත්තුවක් ඉටු කළ හැකි අතර අපගේ ජීවිතයේ ඕනෑම තුවාලයක් සුව කරන්න පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් වන මොර්මොන්ගේ පොතෙහි, අවංක පසුතැවිල්ලකින් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ආකාරය ඉගෙනගත් පුද්ගලයන්ගේ ගණන් කළ නොහැකි වාර්තා ඔබටත් මටත් සොයාගන්න පුළුවන්.

මගේ ආදරණීය නිජබිම වන පුවර්ටෝ රිකෝ දූපතේ සිදු වූ අත්දැකීමක් තුළින් ස්වාමින්වහන්සේගේ මුදු මොළොක් දයාව පිළිබඳ උදාහරණයක් ඔබ සමඟ බෙදා ගැනීමට මම කැමතියි.

මගේ උපන් ගම වන පොන්ස් හි සභාවේ සහෝදරියක් වන සීලියා කෲස් අයාලා, ඇය මොර්මොන්ගේ පොතක් මිතුරෙකුට දිය යුතු බව තීරණය කළා. ඇය එය ඔතා දියමන්ති හෝ මැණික්වලට වඩා ඇයට වටිනා මෙම තෑග්ග ලබා දීමට පිටත්ව ගියා. ඇය යන අතරමගදී සොරෙකු ඇය අසලට පැමිණ ඇගේ බෑගය උදුරා ගෙන එහි තිබූ විශේෂ තෑග්ග රැගෙන පලා ගියා.

සභාවේදී ඇය මේ කතාව පැවසූ විට ඇගේ මිතුරිය පැවසුවේ “කවුද දන්නේ? සමහරවිට ශුභාරංචිය බෙදාගැනීමට මෙය ඔබට අවස්ථාවක් වෙන්න පුළුවන්!”

හොඳයි, දින කිහිපයකට පසු, සිදු වූ දේ ඔබ දන්නවාද? සීලියාට ලිපියක් ලැබුණා. සීලියා මා සමඟ බෙදාගත් එම ලිපිය අද මම මගේ අතේ තබාගෙන ඉන්නවා. එහි මෙසේ සඳහන් වෙනවා:

“කෲස් මහත්මිය, මහත්මිය:

“මට සමාවෙන්න, මට සමාවෙන්න. ඔබට පහර දීම ගැන මම කොතරම් කණගාටු වෙනවාද කියා ඔබ කිසි විටෙකත් වටහා ගන්න එකක් නෑ. ඒත් ඒක නිසා මගේ ජීවිතය වෙනස් වෙලා, ඒවගේම ඉදිරියටත් වෙනස් වෙමින් තිබෙනවා.

“ඒ පොත [මොර්මොන්ගේ පොත] මගේ ජීවිතයට මට උපකාර කර තිබෙනවා. ඒ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සිහිනය මාව සසල කළා. … මම ඔබේ [ඩොලර්] පහ ආපසු එවනවා, මට ඒවා වියදම් කරන්නට බැහැ. ඔබ දීප්තිමත් පුද්ගලයෙක් බව ඔබ දැනගන්නවාට මම කැමතියි. එම ආලෝකය මා [ඔබට හානි කිරීමෙන් වළක්වන බවක් පෙනෙන්නට තිබුණා, එබැවින්] මම ඒ වෙනුවට පලා ගියා.

“ඔබ නැවතත් මාව දකින බව ඔබ දැනගන්නවාට මම කැමතියි, නමුත් ඔබ මාව දකිද්දි, ඔබ මාව හඳුනාගන්න එකක් නෑ, මොකද මම ඔබේ සහෝදරයෙක් විදියට ඉඳී. … මම ජීවත් වන ප්‍රදේශයේ, මම ස්වාමින්වහන්සේව සොයාගෙන ඔබ අයත් සභාවට මම යා යුතුයි.

“ඒ පොතේ ඔයා ලියපු පණිවිඩය කියවීමෙන් මගේ ඇස්වලට කඳුළු ආවා. බදාදා රෑ ඉඳන් මට ඒක කියවන එක නවත්තගන්න බැරි වුණා. මම යාච්ඤා කරමින් මට සමාව දෙන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියා, [ඒවගේම] මට සමාව දෙන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. … මම හිතුවේ ඔයාගේ ඔතපු තෑග්ග මට විකුණන්න පුළුවන් දෙයක් වෙයි කියලා. [ඒ වෙනුවට,] එය මට මගේ ජීවිතය [වෙනස් කරගැනීමේ] අවශ්‍යතාවය ලබා දුන්නා. මට සමාව දෙන්න, මට සමාව දෙන්න, මම ඔබෙන් අයදිනවා.

“ඔබ නොදන්නා ඔබගේ මිතුරා.”

සහෝදර සහෝදරියනි, අපගේ තත්වයන් මොනවා වුවත් ගැලවුම්කරුවාණන්ගේ ආලෝකයට අප සැම වෙතම ළඟා වෙන්න පුළුවන්. “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ අසීමිත ආලෝකය තුළ බැබළෙනවාට වඩා පහතට ගිලෙන්නට ඔබට නොහැක” කියා සභාපති ජෙෆ්රි ආර්. හොලන්ඩ් පැවසුවා.

සීලියාගේ තෑග්ග වන මොර්මොන්ගේ පොත අනපේක්ෂිත ලෙස ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් කියනවා නම්, මෙම සහෝදරයා ස්වාමින්වහන්සේගේ දයාව වැඩි වැඩියෙන් දැකීමට ගියා. මෙම සහෝදරයාට තමාටම සමාව දීමට කාලය ගත වුවද, ඔහු පසුතැවිලි වීමෙන් සතුටක් ලැබුවා. එය කෙතරම් නම් ප්‍රාතිහාර්යක්ද! එක් ඇදහිලිවන්ත සහෝදරියක්, එක් මොර්මොන්ගේ පොතක්, අවංක පසුතැවිල්ලක් සහ ගැලවුම්කරුවාණන්ගේ බලය හරහා ස්වාමින්වහන්සේගේ ශුභාරංචියේ සහ උන්වහන්සේගේ ගෘහයේ පරිශුද්ධ ගිවිසුම්වල පූර්ණ ආශිර්වාදය භුක්ති විඳීමට කෙනෙකුට එය හේතු වුණා. අනෙකුත් පවුලේ සාමාජිකයන් පූර්ණ කාලීන ධර්මදූත සේවය ඇතුළුව ස්වාමින්වහන්සේගේ මිදිවත්තේ පරිශුද්ධ වගකීම් අනුගමනය කළ අතර පිළිගත්තා.

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන විට, අපගේ අවංක පසුතැවිල්ලේ මාර්ගය අවසානයේදී අපව ගැලවුම්කරුවාණන්ගේ ශුද්ධ වූ දේවමාළිගාවට ගෙන යනවා.

ශුද්ධ වූ දේවමාළිගාවේ ගිවිසුම් තුළින් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් විසින් කළ හැකි ආශීර්වාදවල පූර්ණත්වයට සුදුස්සෙකු වීම—පවිත්‍ර වීමට වෑයම් කිරීම, කොතරම් ධර්මිෂ්ඨ චේතනාවක්ද! ස්වාමින්වහන්සේගේ දේවමාළිගාවේ නිතිපතා සේවය කිරීම සහ එහි දී අප කරන පරිශුද්ධ ගිවිසුම් පවත්වා ගැනීමට උත්සාහ කිරීම මගින්, අපගේ ගැලවුම්කරුවාණන් හා සමාන වීමට අපට අවශ්‍ය හදවත, ශක්තිය, මනස සහ ප්‍රාණයේ වෙනස අත්විඳීමට අපගේ ආශාව සහ හැකියාව යන දෙකම වැඩි කරනවා. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ සාක්‍ෂි දී තිබෙනවා: “[දේවමාළිගාවේ නමස්කාර කිරීමට] වඩා වෙනත් කිසිවක් ස්වර්ගය විවෘත නොකරනු ඇත. වෙනත් කිසිවක් එය නොකරනු ඇත!”

මගේ හිතවත් මිත්‍රවරුනි, ඔබට ප්‍රමාණවත් නොවන බවක් දැනෙනවාද? ඔබ නුසුදුසු යැයි හැඟෙනවාද? ඔබ ඔබගේම තීරණ ගැන ප්‍රශ්න කරනවාද? සමහර විට ඔබ කනස්සල්ලට පත්ව මෙසේ අසනවා වෙන්න පුළුවන්: මම ප්‍රමාණවත්ද? මට පරක්කු වැඩිද? මම මගේ උපරිමයෙන් උත්සාහ කරන විට මම අසාර්ථක වන්නේ ඇයි?

සහෝදර සහෝදරියනි, නිසැකවම අපගේ ජීවිතවල අපේ අතින් වැරදි සිදුවෙනවා. නමුත් කරුණාකර මතක තබා ගන්න, වැඩිහිටි ගෙරිට් ඩබ්. ගොන්ග් ඉගැන්වූ පරිදි: “අපගේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම අසීමිත සහ සදාකාලිකයි. අපි හැමෝම වෙනත් මාර්ග වල යනවා ඒවගේම වැරදි කරනවා. අපිට ටික කාලෙකට යන එන මං නැති වෙන්න පුළුවන්. අප කොතැනක සිටියත් කුමක් කළත් නැවත පැමිණීමට නොහැකි වීමක් නැති බව දෙවියන්වහන්සේ ප්‍රේමණීය ලෙස අපට සහතික කරනවා. උන්වහන්සේ අපව වැළඳගැනීමට සූදානම්ව සිටිනවා.”

මගේ ආදරණීය බිරිඳ, කැරි ලූ ද මට උගන්වා ඇති පරිදි, අපි සියල්ලෝම පසුතැවිලි වී, ආපසු හැරීමට සහ සෑම දිනකම “ශුන්‍ය වේලාවට” කාලය නැවත සකස් කළ යුතුයි.

බාධා පැමිණෙයි. දෙවියන්වහන්සේ වෙත හැරීමට පෙර දේවල් දුෂ්කර වන තෙක් අපි බලන් ඉන්නේ නැහැ. සැබෑ ලෙස පසුතැවිලි වීමට අපි අපගේ ලෞකික ජීවිතයේ අවසානය තෙක් බලා නොසිටිමු. ඒ වෙනුවට, අපි දැන්, ගිවිසුම් මාවතේ අපි කුමන කොටසක සිටියත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ බලය කෙරෙහි සහ අප ස්වර්ගික පියාණන්වහන්සේ වෙතට නැවත පැමිණෙනවාට උන්වහන්සේගේ ආශාව කෙරෙහි අවධානය යොමු කරමු.

ස්වාමින්වහන්සේගේ ගෘහය, උන්වහන්සේගේ ශුද්ධලියවිලි, උන්වහන්සේගේ ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් ක්‍රිස්තුස්වහන්සේගේ දහම තුළින් පුද්ගලික ශුද්ධකම කරා අපව පොලඹවනවා.

ඒවගේම නෙපී මෙසේ කිව්වා: “තවද දැන් බලන්න, මගේ ආදරණීය සහෝදරවරුනි, මාර්ගය මෙයයි; තවද දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි මනුෂ්‍යයාට ගැලවිය හැකි වෙනත් මාර්ගයක් හෝ ස්වර්ගයට යටින් දෙන වෙනත් නාමයක් නොමැත්තේය. තවද දැන්, බලන්න, මෙය ක්‍රිස්තුස්වහන්සේගේ දහම වේ, තවද පියාණන්වහන්සේගේද, පුත්‍රයාණන්වහන්සේගේද ශුද්ධාත්මයාණන්වහන්සේගේද එකම හා සැබෑ දහම වේ.”

දෙවියන්වහන්සේ සමඟ “එක්කෙනෙක් වීමේ” අපගේ ක්‍රියාවලිය අභියෝගාත්මක වෙන්න පුළුවන්. නමුත් ඔබටත් මටත් විරාමයක් ගෙන, නිශ්චලව, ගැලවුම්කරුවාණන් දෙස බලා, අප වෙනස් කිරීමට අවශ්‍ය දේ සොයා ගැනීමට සහ ඒ අනුව ක්‍රියා කිරීමට උත්සාහ කරන්න පුළුවන්. අපි සම්පූර්ණ චේතනාවෙන් එය කරන්නේ නම්, අපි උන්වහන්සේගේ සුවය සාක්ෂාත් කර ගනියි. ඒවගේම අපි ස්වාමින්වහන්සේගේ පසුතැවිල්ල නමැති ත්‍යාගය වැලඳ ගන්නා විට අපගේ අනාගත පරපුර ආශිර්වාද ලබන්නේ කෙසේදැයි සිතා බලන්න!

එය අසීරු වුවත්, මගේ පියාණන්ට ඉගැන්වූ ප්‍රධාන කුඹල්කරු අපව හැඩගස්වා පිරිපහදු කරයි. එසේ වුවද, ප්‍රධාන සුව කරන්නා අපව පවිත්‍ර කරයි. මම එම සුව කිරීමේ බලය අත්විඳ තිබෙනවා ඒවගේම අත්විඳිමින් ඉන්නවා. එය පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සහ දිනපතා පසුතැවිලි වීමෙන් බව මම සාක්ෂි දරනවා.

අහෝ, ඔහු මා ගැන සැලකිලිමත් වීම පුදුම සහගතය

මා වෙනුවෙන් දිවි පිදීමට ප්‍රමාණවත්ය!

දෙවියන්වහන්සේගේ ආදරය සහ උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ වන්දිගෙවීමේ අසීමිත බලය ගැන මම සාක්ෂි දරනවා. අපි අවංකව සහ මුළු හදවතින්ම පසුතැවිලි වන විට අපට එය ගැඹුරින් දැනෙනවා.

මගේ මිත්‍රවරුනි, මම අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හරහා ශුභාරංචිය නැවත පිහිටුවීමේ සහ ගැලවුම්කරුවාණන්ගේ අනාගතවක්තෘවරයා සහ මුඛය වන සභාපති රසල් එම්. නෙල්සන් හරහා ලැබෙන උන්වහන්සේගේ වර්තමාන දිව්‍යමය මගපෙන්වීම පිළිබඳ සාක්ෂිකරුවෙක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වන බවත් උන්වහන්සේ අපගේ ප්‍රාණයන් හි ප්‍රධාන සුව කරන්නා බවත් මම දන්නවා. මේ දේවල් සත්‍ය බව මම දන්නවා ඒවගේම මම සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. “I Stand All Amazed,” Hymns, no. 193.

  2. ඇල්මා 26:12.

  3. 2 නෙපී 4:17; තවත් බලන්න 18:-19 පද.

  4. ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:29.

  5. Joseph Smith, “History, circa Summer 1832,” 3, josephsmithpapers.org; spelling and punctuation standardized.

  6. බලන්න මොසායා 4:11-12.

  7. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූවා: “අපි පසුතැවිලි වීමට තෝරාගත් විට, අපි වෙනස් වීමට තෝරාගනිමු! අපගේ හොඳම පිටපත වීමට අපිව වෙනස් කරන්නට අපි ගැලවුම්කරුවාණන්ට ඉඩදෙනවා. ආත්මිකව වර්ධනය වීමට සහ—උන්වහන්සේගේ මිදීම තුළ වූ ප්‍රීතිය ලබාගැනීමට අපි තෝරාගන්නවා. පසුතැවීමට අපි තෝරාගත්විට, අපි තව තවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට තෝරාගන්නවා! (“අපට හොඳින් කළ හැකිය එමෙන්ම හොඳ විය හැකිය,” ලියහෝනා, මැයි 2019, 67).

  8. 2 නෙපී 28:30.

  9. ඇල්මා 34:18.

  10. “මගේ සහෝදර සහෝදරියනි, මොර්මොන්ගේ පොත ඔබට කොතරම් වටිනවා? ඔබට දියමන්ති හෝ මැණික් හෝ මොර්මොන්ගේ පොත ලබාදුන්නොත් ඔබ තෝරාගන්නේ කුමක්ද? අවංකවම, ඔබට වඩා වටිනාම දේ කුමක්ද?” (රසල් එම්. නෙල්සන්, “මෝර්මොන්ගේ පොත: එය නොමැතිව ඔබේ ජීවිතය කෙබඳු වේවිද?,” ලියහෝනා, 2017 නොවැ., 61).

  11. In F. Burton Howard, “Missionary Moments: ‘My Life Has Changed,’” Church News, Jan. 6, 1996, thechurchnews.com; see also Saints: The Story of the Church of Jesus Christ in the Latter Days, vol. 4, Sounded in Every Ear, 1955–2020 (2024), 472–74, 477–79.

  12. ජෙෆ්රි ආර් හොලන්ඩ්, “මිදි වත්තේ කම්කරුවන්,” ලියාහෝනා, 2012 මැයි 33.

  13. එක තත්පරයක් නැවතිලා අපේ අනාගත පරපුර ගැන හිතමුද? අපගේ දුර නොපෙනෙන දෘෂ්ටිය නිසා, අපට එය දැන් නොපෙනේ, නමුත් හදවතේ සම්පූර්ණ අරමුණ ඇතිව ස්වාමින්වහන්සේ වෙත හැරීමට අපගේ කැමැත්ත වෙනස් කිරීමට; පසුතැවිලි වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වැලඳගැනීමෙන් පරම්පරාවන් වලට බලපෑම් ඇතිකළ හැකිය! වඩාත් අපහසු තත්වයන් යටතේ පවා එක් ආත්මයක නිහතමානීකම, යටහත්පහත් බව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පිපෙන අමතර ආශිර්වාද ගැන සිතා බලන්න!

  14. මෙම විස්තර 2024 සැප්තැම්බර් 10 වන දින වැඩිහිටි ජෝර්ජ් අල්වරාඩෝ සමඟ පෞද්ගලික සංවාදයකදී සහෝදරිය සීලියා කෲස් විසින් විස්තර කරන ලදී.

  15. රසල් එම්. නෙල්සන්, “පූජකවර යතුරු දීමනාව ගැන ප්රීති වන්න,” ලියහෝනා, මැයි 2024, 122.

  16. මෙවැනි ප්‍රශ්න අප අපෙන්ම අසන විට, ප්‍රේරිත පාවුල්ගේ වචන මතක තබා ගැනීම වැදගත්ය:

    “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භික්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද? …

    “නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජයගන්නෝ වමුව.

    “මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්,

    “උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි” (රෝම 8:35, 37–39).

  17. ගෙරිට් ඩබ්. ගොන්ග්, “ඇදහිල්ලේ අපගේ කූඩාරම,” ලියහෝනා, නොවැ. 2018, 41.

  18. නෙපී මේ සඳහා හොඳ උදාහරණයක්. ඔහු මෙසේ ප්‍රකාශ කළා:

    “මාගේ ආත්මය, පිබිදෙව්! තවදුරටත් පාපයේ ගිලෙන්නේ නැත. මාගේ හදවත, ප්‍රීති වන්න, මාගේ ආත්මයේ සතුරාට තවත් ඉඩ නොදෙන්න. …

    “ස්වාමිනි, ඔබ මාගේ ආත්මය මුදවාගන්නෙහිද? ඔබ මාගේ සතුරන්ගේ අතින් මා මුදාගන්නෙහිද? පාපයේ පෙනුමෙන් මා කම්පා කරවන පිණිස ඔබ මා සලස්වන්නෙහිද?” (2 නෙපී 4:28, 31).

  19. සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වූවේය: “යමෙකු පසුතැවිලි වීමේ ක්‍රියාවලිය හරහා ගිය විට, ගැලවුම්කරුවාණන් එම පුද්ගලයා පාපයෙන් පවිත්‍ර කිරීමට වඩා වැඩි යමක් කරයි. උන්වහන්සේ ඔහුට හෝ ඇයට නව ශක්තියක් ද ලබා දෙයි. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙත නැවත පැමිණීම වන පවිත්‍ර කිරීමේ අරමුණ අවබෝධ කර ගැනීමට එම ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. උන්වහන්සේගේ අභිමුඛයට ඇතුල් වීමට නම්, අප පිරිසිඳු වීමට වඩා වැඩි දෙයක් කළ යුතුයි. පව් කළ සදාචාරමය වශයෙන් දුර්වල පුද්ගලයෙකුගෙන් අපව වෙනස් කළ යුතු අතර, දෙවියන්වහන්සේ ඉදිරියෙහි වාසය කිරීමට අධ්‍යාත්මික මට්ටම් ඇති ශක්තිමත් පුද්ගලයෙකු බවට අපව පත් කරගත යුතුය” (“The Atonement and Faith,” Ensign, Apr. 2010, 33–34).

  20. 2 නෙපී 31:21.

  21. පසුතැවීම වැලඳගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කිරීමෙන් අපි අපගේ පවුලට සහ ස්වර්ගික පියාණන්වහන්සේට ගෞරව කරමු.

  22. Hymns, no. 193.