බොහෝ වසර කාල පරිච්ඡේදයකින් නොවේ
අප ඇදහිලිවන්ත සහ කීකරු නොවන්නේ නම්, දෙවියන්වහන්සේ විසින් දෙන ලද සෞභාග්‍යයේ ආශීර්වාදය අපව වෙනතකට යොමු කරන සහ අවධානය වෙනතකට යොමු කරන උඩඟු ශාපයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්.
මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අද වේදිකාවේ ඉඳගෙන, මම මේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය කොවිඩ් වලින් පස්සේ ප්‍රථම වතාවට තුන් පාරක් පිරෙනවා බලලා තියෙනවා. ඔබ ඉගෙනීමට ආශාවෙන් සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කැපවූ ගෝලයන්. ඔබගේ විශ්වාසවන්තකම ගැන මම ඔබට ප්‍රශංසා කරනවා. සහ මම ඔබට ආදරෙයි.
එස්රා ටෆ්ට් බෙන්සන් 1985 නොවැම්බර් සිට 1994 මැයි දක්වා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සභාපති ලෙස සේවය කළා. සභාපති බෙන්සන් සභාවේ සභාපති වන විට මට වයස අවුරුදු 33 ක් වූ අතර ඔහු මිය යන විට මගේ වයස 42 ක් වුණා. ඔහුගේ ඉගැන්වීම් සහ සාක්ෂිය මට ගැඹුරු සහ බලවත් ආකාරවලින් බලපානු ලැබුවා.
සභාපති බෙන්සන්ගේ දේවසේවයේ එක් ලක්ෂණයක් වුණේ මොර්මොන්ගේ පොතේ අරමුණ සහ වැදගත්කම කෙරෙහි ඔහු අවධානය යොමු කිරීමයි. මොර්මොන්ගේ පොත “අපගේ ආගමේ මුල්ගල—අපගේ සාක්ෂියේ මුල්ගල, අපගේ දහමේ මුල්ගල සහ අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන්ගේ සාක්ෂියේ මුල්ගල” බව ඔහු නැවත නැවතත් අවධාරණය කළා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙම පසුදවස්වල ගිවිසුමේ තිබෙන උඩඟුකමේ පාපය ගැන ඉගැන්වීම් සහ අනතුරු ඇඟවීම් ඔහු නිතරම අවධාරණය කළා.
සභාපති බෙන්සන්ගේ විශේෂ ඉගැන්වීමක් මට බෙහෙවින් බලපෑ අතර මොර්මොන්ගේ පොත පිළිබඳ මගේ අධ්‍යයනයට එය දිගටම බලපාමින් තිබෙනවා. ඔහු මෙසේ පැවසුවා:
“මොර්මොන්ගේ පොත … ලියා තිබෙන්නේ අපේ දවස සඳහායි. නෙපීවරුන්ට එම පොත තිබුණේ නැහැ; අතීතයේ සිටි ලාමන්වරුන්ටද එසේ තිබුණේ නැහැ. එය අප වෙනුවෙන්ම තිබෙන එකක්. මොර්මොන් එය ලියා ඇත්තේ නෙපී ශිෂ්ටාචාරයේ අවසානය ආසන්නයේදීයි. ආරම්භයේ සිටම සියල්ල දකින දෙවියන්වහන්සේගේ පෙලඹවීමෙන්, මොර්මොන් විසින් සියවස් ගණනක වාර්තා සංක්ෂිප්ත කර, අපට වඩාත් ප්‍රයෝජනවත් වන කතාන්දර, කථා සහ සිදුවීම් තෝරා ගත්තා.
සභාපති බෙන්සන් තවදුරටත් මෙසේ පැවසුවා. “මොර්මොන්ගේ පොතේ සෑම ප්‍රධාන රචකයෙක්ම සාක්ෂි දුන්නේ ඔහු අනාගත පරම්පරාවන් සඳහා ලියන බවයි. … ඔවුන් අපේ දවස දැකලා අපිට වටිනාම දේවල් තෝරා ගත්තා නම්, අප මොර්මොන්ගේ පොත අධ්‍යයනය කළ යුත්තේ එලෙස නොවේද? අප නිතරම අපෙන්ම මෙසේ අසාගත යුතුයි, ‘[මෙම ගිණුම] ඔහුගේ වාර්තාවට ඇතුළත් කිරීමට ස්වාමින්වහන්සේ මොර්මොන්ව පෙලඹුවේ ඇයි? මේ කාලයේ ජීවත් වීමට මට උපකාර කිරීමට [මෙම අවවාදයෙන්] මට ඉගෙන ගත හැකි පාඩම කුමක්ද?’”
මොර්මොන්ගේ පොත මූලික වශයෙන් අතීතය දෙස බලන ඓතිහාසික වාර්තාවක් නොවන බව තේරුම් ගැනීමට සභාපති බෙන්සන්ගේ ප්‍රකාශ අපට උපකාර කරනවා. ඒ වෙනුවට, මෙම ශුද්ධලියවිලි ග්‍රන්ථය අනාගතය දෙස බලන අතර, අපගේ දවසේ තත්වයන් සහ අභියෝග සඳහා අරමුණු කර ඇති වැදගත් මුලධර්ම, අනතුරු ඇඟවීම් සහ පාඩම් එහි අඩංගු වෙනවා. එබැවින්, මොර්මොන්ගේ පොත අපගේ අනාගතය සහ අප දැන් කරන සහ තවමත් ජීවත් වන කාලය පිළිබඳ පොතක්.
මොර්මොන්ගේ පොතේ හිලමන්ගේ පොතෙන් අපට අදාළ පාඩම් ගැන අද මම සලකා බලන විට ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරය ඉල්ලා මම යාච්ඤා කරනවා.
නෙපීවරුන් සහ ලාමන්වරුන්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත අපේක්ෂාවෙන් සිටි ජනතාවක් ගැන හිලමන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ වාර්තාව විස්තර කරනවා. මෙම ශුද්ධලියවිලිමය වාර්තාවේ සඳහන් කර ඇති අර්ධ ශතකය, ලාමන්වරුන්ගේ පරිවර්තනය සහ ධර්මිෂ්ඨකම සහ නෙපීවරුන්ගේ දුෂ්ටකම, ඇදහිල්ලෙන් වැටීම සහ පිළිකුල්කම් ඉස්මතු කරනවා.
මෙම පුරාණ වාර්තාවෙන් නෙපීවරුන් සහ ලාමන්වරුන් අතර සැසඳීම් සහ ප්‍රතිවිරෝධතා මාලාවක් අද අපට වඩාත් උපදේශාත්මක වෙනවා.
“තවද ලාමන්වරුන් ඔවුහූ වැඩිදෙනෙකු, ධර්මිෂ්ඨ ජනතාවක් බවට පත්වූහ, එපමණකින් ඔවුන්ගේ ඇදහිල්ලේ ස්ථීරත්වය සහ නොසැලීම නිසා, එනම් ඔවුන්ගේ ධර්මිෂ්ඨකම එනම් නෙපීවරුන්ට වඩා වැඩිවිය.
“මක්නිසාද බලන්න, එහි මුරණ්ඩු සහ පසුතැවිලි නොවන්නන් සහ දරුණු නපුරන්වූ නෙපීවරු බොහොමයක් වූහ, එපමණකින් තවද එය ඔවුන් අතරට පැමිණි, දෙවියන්වහන්සේගේ වචනයද ඔවුහූ සියලු දේශනා සහ අනාවැකි කීම්ද ප්‍රතික්ෂේප කළහ.”
“තවද මෙසේ නෙපීවරුන් විශ්වාසයෙන් ක්‍රමයෙන් හීන වී යාමටද, නපුරුකමින් සහ පිළිකුල්කම් වල වර්ධනය වූ අතර ලාමන්වරුන් ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ දැනගැනීමෙහි බෙහෙවින් වර්ධනය වීමට පටන්ගත් බව අපි දකිමු; එසේය, ඔව්හු උන්වහන්සේගේ නියෝගයන් සහ ආඥාවන් තැබීමට පටන් ගත්තෝය, තවද සත්‍යයේ ඇවිදිමින් තවද උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව සිටියෝය.
“තවද මෙසේ එනම් නපුරුකම සහ ඔවුන්ගේ හදවත් වල දැඩිභාවය නිසා ස්වාමින්වහන්සේගේ ආත්මය නෙපීවරුන්ගෙන් ඉවත්වීම පටන් ගන්නවා අපි දුටුවෙමු.
“තවද මෙසේ උන්වහන්සේගේ වචනය විශ්වාස කිරීමට ඔවුන්ගේ සරල බව සහ උවමනාව නිසා ලාමන්වරුන් මත ස්වාමින්වහන්සේ තමන්වහන්සේගේ ආත්මය වැගිරවීමට පටන්ගන්නවා අපි දුටුවෙමු.”
සමහර විට නෙපීවරුන්ගේ ඇදහිල්ලෙන් වැටීමේ මෙම පරිහානියේ වඩාත්ම විස්මිත හා සන්සුන් අංගය තමයි, “මෙම සියලුම අයුතුකම් ඔවුන් වෙත පැමිණියේ බොහෝ වසර සහිත කාල පරිච්ඡේදයකින් නොවේ” යන බව.
නෙපීවරුන් දෙවියන්වහන්සේගෙන් ඉවතට හැරුණා
වරක් ධර්මිෂ්ඨව සිටි මිනිසුන් මෙතරම් කෙටි කාලයක් තුළ දැඩි හා දුෂ්ට බවට පත් වූයේ කොහොමද? මිනිසුන්ට මෙතරම් ආශීර්වාද කළ දෙවියන්වහන්සේව මෙතරම් ඉක්මනින් අමතක කළ හැක්කේ කොහොමද?
බලවත් හා ගැඹුරු ආකාරයකින්, නෙපීවරුන්ගේ නිෂේධාත්මක ආදර්ශය අද අපට උපදේශාත්මක වෙනවා.
“දෙවියන්වහන්සේගේ සභාවට අයිතියයි ප්‍රකාශ කළා වූ ජනතාවගේ හදවත් තුළට … ආඩම්බරය ඇතුල් වීමට පටන් [ගත්තේය] … එය ඔවුන්ගේ බෙහෙවින් වූ බලවත් පොහොසත්කම සහ ඔවුන්ගේ දේශයේ සමෘධිය නිසාය.”
“[ඔවුන් ඔවුන්ගේ] හදවත් ධනය සහ මෙම ලෝකයේ නිෂ්ඵල දේවල් මත තබා ඇත්තෙහුය” “එය [ඔවුන්] උඩඟුකම [ඔවුන්ගේ] හදවත් වලට ඇතුල්වීමට ඉඩදී ඇති නිසාය, එය [ඔවුන්ගේ] බෙහෙවින් වූ පොහොසත්කම් නිසා යහපත්කම අභිබවා [ඔවුන්ව] ඔසවා ඇත්තෙහුය!”
මෙම සදාකාලික පාඩම ඉගෙන ගන්නා ලෙස දූවිල්ලෙන් නැගෙන පැරැණි හඬ අද අපෙන් අයැද සිටිනවා: සෞභාග්‍යය, දේපළ සහ පහසුව යනු ධර්මිෂ්ඨයන්ව පවා උඩඟුකමේ අධ්‍යාත්මික වස පානය කිරීමට පෙළඹවිය හැකි ප්‍රබල මිශ්‍රණයක්.
උඩඟුකම අපගේ හදවත් තුළට ඇතුළු වීමට ඉඩ දීම මගින්, අපට එම ශුද්ධ වූ දේවල් හාස්‍යට ලක් කිරීමටත්, අනාවැකි ආත්මය තුළ සහ එළිදරව් වීමේ ආත්මය තුළ අවිශ්වාස කිරීමට පටන් ගැනීමටත්, දෙවියන්වහන්සේගේ ආඥා අපගේ දෙපා යටින් පාගා දැමීමටත්, දෙවියන්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කිරීමටත්, අනාගතවක්තෘවරුන්ට නින්දා කර නෙරපා හැර, හාස්‍යට ලක් කිරීමටත්, අපගේ ස්වමීන් වූ දෙවියන්වහන්සේව අමතක කිරීමටත්, එමෙන්ම “[අපව] මැවූ [අපගේ] දෙවියන්වහන්සේ [අපව] පාලනය කර රජවිය යුතු වීමට ආශා නොවීමටත්,” හේතු වෙන්න පුළුවන්.
එබැවින්, අප ඇදහිලිවන්ත හා කීකරු නොවන්නේ නම්, දෙවියන්වහන්සේ විසින් දෙන ලද සෞභාග්‍යයේ ආශීර්වාදය, සදාකාලික සත්‍යයන් සහ අත්‍යවශ්‍ය අධ්‍යාත්මික ප්‍රමුඛතාවලින් අපව වෙනතකට කරන සහ අවධානය වෙනතකට යොමු කරන සාඩම්බර ශාපයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. අපි හැමවිටම ආත්ම-වැදගත්කම පිළිබඳ උඩඟු සහ අතිශයෝක්තියට පත් වූ හැඟීමකින්, අපගේම ස්වයංපෝෂිතභාවය පිළිබඳ වැරදි තක්සේරුවකින් සහ අන් අයට සේවය කිරීම වෙනුවට තමන්වම සෙවීමෙන් ආරක්ෂා විය යුතු වෙනවා.
අප උඩඟුවෙන් අප ගැනම අවධානය යොමු කරන විට, අපි ද අධ්‍යාත්මික අන්ධභාවයෙන් පීඩා විඳිමින් සිටින අතර අප තුළ සහ අවට සිදුවන බොහෝ දේ බොහෝමයක් හෝ සමහර විට සියල්ල පවා මගහැරෙනවා. අපට අපව පමණක් පෙනෙනවා නම්, “ලකුණ” ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බලා අවධානය යොමු කළ නොහැකි වෙනවා.
එවන් ආධ්‍යාත්මික අන්ධභාවය නිසා අප ධර්මිෂ්ඨකමේ මාර්ගයෙන් ඉවත් වීමටත්, තහනම් මාර්ගවලට වැටීමටත්, අතරමං වීමටත් හේතු වෙන්න පුළුවන්. අපි අන්ධ ලෙස “[අපේ] මාර්ගවලට හැරී” විනාශකාරී මාර්ග අනුගමනය කරන විට, අපි අපගේම අවබෝධය මත රඳා සිටීමටත්, අපගේම ශක්තියෙන් පාරට්ටු කර ගැනීමටත්, අපගේම ප්‍රඥාව මත යැපීමටත් නැඹුරු වෙනවා.
නෙපීවරුන් විසින් දෙවියන්වහන්සේගෙන් ඈත් වීම ලාමන්වරයෙකු වූ සාමුවෙල් කෙටියෙන් සාරාංශ කළා: “මක්නිසාද නුඹලා නුඹලාගේ ජිවිතයේ සෑම දවසකම නුඹලාට ලබාගත නොහැකි එම දේ සෙව්වේහුය; තවද නුඹලා අයුතුකම් කරමින් සතුට සෙව්වෙහුය, එම දේ එය අපගේ ශ්‍රේෂ්ඨ සහ සදාතන හිසෙහි ධර්මිෂ්ඨකමේ ස්වාභාවයට විරුද්ධවය.”
අනාගතවක්තෘ මොර්මොන් මෙසේ නිරීක්ෂණය කළා “ජනතාවගෙන් වඩාත් කොටසක් ඔවුන්ගේ උඩඟුවෙන් සහ නපුරුකමින් පැවතියේය, තවද කුඩා කොටසක් දෙවියන්වහන්සේ ඉදිරියේ වඩාත් සුපරික්ෂාකාරීව ගමන් කළේය.”
ලාමන්වරුන් දෙවියන්වහන්සේ වෙත හැරුණා
හිලමන්ගේ පොතේ, ලාමන්වරුන්ගේ වැඩිවන ධර්මිෂ්ඨකම, නෙපීවරුන්ගේ වේගවත් අධ්‍යාත්මික පරිහානියට හාත්පසින්ම වෙනස්.
ලාමන්වරුන් දෙවියන්වහන්සේ වෙත හැරී, ශුද්ධලියවිලි සහ අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් විශ්වාස කිරීමෙන්, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ක්‍රියා කිරීමෙන්, ඔවුන්ගේ පව් ගැන පසුතැවිලි වීමෙන් සහ හදවතේ බලවත් වෙනසක් අත්විඳීමෙන් සත්‍යය පිළිබඳ දැනුමක් ලබාගත්තා.
“එසේහෙයින්, නුඹලා මෙයට පැමිණි බොහෝ දෙනෙකු ඇදහිල්ල තුළ නොවෙනස්ව සහ ස්ථිරව සිටින්නේයයි නුඹලාම දන්නේය, එය විසින් ඔවුන්ව නිදහස් කර ඇත්තේය.”
“[ලාමන්වරුන්ගෙන්] වැඩි කොටසක් තම යුතුකමේ මාවතේ සිටින බවත්, ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි සුපරික්ෂාවෙන් ගමන් කරන බවත්, උන්වහන්සේගේ ආඥාද, උන්වහන්සේගේ නීතිද, විනිශ්චයද රක්ෂා කරන බවත් ඔබ දැකිය යුතුය. …
“… තවද එනම් ඔවුන් ඔවුන්ගේ ඉතිරි වූ සහෝදරයන්ව සත්‍යයේ දැනගැනීමට ගෙන එන පිණිස වෙහෙස නොවන්නාවූ උද්‍යෝගයක් සමඟ පරිශ්‍රම දරන්නෝය.”
එහි ප්‍රතිඵලයක් වශයෙන්, “ඔවුන්ගේ ස්ථීරත්වය සහ නොසැලීම නිසා එනම් ඔවුන්ගේ ධර්මිෂ්ඨකම එනම් නෙපීවරුන්ගේ ධර්මිෂ්ඨකමට වඩා වැඩි විය.”
අනතුරු ඇඟවීමක් සහ පොරොන්දුවක්
මොරෝනි මෙසේ ප්‍රකාශ කළා: “බලන්න, ස්වාමින්වහන්සේ මා හට ඉක්මණීන් පැමිණිය යුතු වූ බලවත් සහ පුදුමාකාර එම දේවල් සම්බන්ධව පෙන්වා ඇති සේක, එම දවසේදී මෙම දේවල් නුඹලා අතරෙන් ඉදිරියට පැමිණෙන්නේය.
“බලන්න, නුඹලා මෙහි සිටින්නාක් මෙන් මම නුඹලා හට කතා කරන්නෙමි, තවද එනමුත් නුඹලා නොමැත්තහුය. එහෙත් බලන්න, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා හට නුඹලාව පෙන්වා ඇතිසේක, තවද මම නුඹලාගේ ක්‍රියාවන් දන්නෙමි.”
මොර්මොන්ගේ පොත අනාගතය දෙස බලා සිටින අතර අපගේ දවසේ තත්වයන් සහ අභියෝගවලදී මට සහ ඔබ සඳහා අදහස් කරන වැදගත් මූලධර්ම, අනතුරු ඇඟවීම් සහ පාඩම් අඩංගු බව කරුණාකර මතක තබා ගන්න.
ඇදහිල්ලෙන් වැටීම මූලික මට්ටම් දෙකකින් සිදුවෙන්න පුළුවන්—ආයතනික සහ පුද්ගල ආකාරයෙන්. ආයතනික මට්ටමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව ඇදහිල්ලෙන් වැටීමකින් හෝ පොළොවෙන් ඉවතට ගනු ලබන්නේ නෑ.
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ ප්‍රකාශ කළා: “සත්‍යයේ ප්‍රමිතිය ගොඩනඟා ඇත; කිසිඳු හස්තයකට මෙම කාර්යය ඉදිරියට යාම වැළැක්විය නොහැක; … නමුත් එය සෑම මහාද්වීපයකටම විනිවිද යන තෙක්, සෑම දේශගුණයකටම ගොස්, සෑම රටක්ම අතුගා දමා, සෑම කනටම හඬ නගන තුරු, දෙවියන්වහන්සේගේ අරමුණු ඉටුවන තුරු, දෙවියන්වහන්සේගේ සත්‍යය නිර්භීතව, උදාරව, හා ස්වාධීනව ඉදිරියට යනු ඇත, එවිට එම කාර්යය අවසාන බව ශ්‍රේෂ්ඨ යොහෝවාවහන්සේ පවසනු ඇත.”
තනිපුද්ගල මට්ටමින්, අප සෑම කෙනෙකුම “[අපි] පුරාණයේ නෙපීවරුන් මෙන් නොවෙන පිණිස උඩඟුකමෙන් පරෙස්සම් විය යුතු වෙනවා.”
උඩඟුකමේ අහංකාරය මගහරවා ගැනීමට අප ප්‍රමාණවත් තරම් ශක්තිමත් සහ නිර්භීත යැයි ඔබ හෝ මම විශ්වාස කරන්නේ නම්, සමහර විට අපි දැනටමත් මෙම මාරාන්තික අධ්‍යාත්මික රෝගයෙන් පෙළෙන බව මම යෝජනා කරනවා. සරලව කිවහොත්, ඔබ හෝ මම උඩඟුකමෙන් පීඩාවට පත් විය හැකි යැයි විශ්වාස නොකරන්නේ නම්, අපි අවදානමට ලක්විය හැකි අතර අධ්‍යාත්මික අනතුරක සිටිනවා. දින, සති, මාස හෝ අවුරුදු ගණනක කාල පරිච්ඡේදයක් තුළ, අපි අපේ අධ්‍යාත්මික ජන්ම අයිතිය පාගා දැමීමකට වඩා අඩු මුදලකට අහිමි වෙන්න පුළුවන්.
කෙසේ වෙතත්, ඔබ හෝ මම ආඩම්බරයෙන් පීඩාවට පත් විය හැකි යැයි විශ්වාස කරන්නේ නම්, අපි “කුඩා දරුවෙකු ලෙස, යටහත් පහත්, විනීත, නිහතමානී, ඉවසිලිවන්ත, ප්‍රේමයෙන් පිරුණු” බවට පත්වීමට උපකාර වන සහ ස්වාමින්වහන්සේ [අපට] පැනවීමට සුදුසු යැයි සිතන සෑම දෙයකටම යටත් වීමට කැමැත්තෙන් සිටිමින්,” කුඩා හා සරල දේවල් නිරන්තරයෙන් කළ යුතුයි. “නිහතමානී වීමට බල නොකර තමන්වම යටහත් පහත් කර ගන්නා අය භාග්‍යවන්තයෝය.”
අපි සභාපති බෙන්සන්ගේ උපදෙස් අනුගමනය කරන විට සහ මොර්මොන් විසින් කරන ලද වාර්තා, අවවාද සහ අනතුරු ඇඟවීම් ඔහුගේ හිලමන් පොතේ සංක්ෂිප්තයට ඇතුළත් කිරීමට ස්වාමින්වහන්සේ ඔහුව පෙලඹවූයේ මන්දැයි අපෙන්ම අසන විට, අද දින අපගේ පෞද්ගලික ජීවිතවල සහ පවුල්වල නිශ්චිත තත්වයන් සඳහා මෙම ඉගැන්වීම්වල අදාළත්වය අපට වටහාගැනීමට හැකි වන බවට මම පොරොන්දු වෙනවා. අප මෙම පෙලඹවීම් ලත් වාර්තාව අධ්‍යයනය කර මෙනෙහි කරන විට, “[අප] පරීක්ෂාවට නොපැමිණෙන ලෙස” උඩඟුකමෙන් පරෙස්සම් වීමට ඉගෙන ගත යුතු පාඩම් බැලීමට ඇස්, ඇසීමට කන්, තේරුම් ගැනීමට මනස සහ හදවත් වලින් අපි ආශිර්වාද ලබනවා.
සදාකාල පියාණන් වන දෙවියන්වහන්සේ අපගේ පියාණන් බව මම ප්‍රීතියෙන් සාක්ෂි දෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ එකම සහ ජීවමාන පුත්‍රයාණන්. උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් ඒවගේම අපි ස්වාමින්වහන්සේගේ ආත්මයේ නිහතමානීව ගමන් කරන විට, අපි උඩඟුකමෙන් වැළකී, ජයගෙන උන්වහන්සේ තුළ සමාදානය ඇතිකර ගන්නා බවට මම සාක්ෂි දරනවා. මම සාක්ෂි දරන්නේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.