2020–2024
සුළඟ හැමීම කිසිවිටෙකත් නොනැවතුනි
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


9:46

සුළඟ හැමීම කිසිවිටෙකත් නොනැවතුනි

දෙවියන්වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා අනෙක් අයගේ ගමනේ දියුණුවට අපිට ඔවුන්ට උපකාර කරන්න පුළුවන්.

2015 දී, බ්‍රසීලයේ පර්නැම්බුකෝ ප්‍රාන්තයේ, ජේ. රූබන් ක්ලාක් නීති සංගමයෙහි සාමාජිකයින් 62 දෙනෙක් විවිධ සාත්තු නිවාස හතරක පදිංචිකරුවන්ගේ නීතිමය අභියෝග විමර්ශනය කිරීමේදී රජයේ අභිචෝදක කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කළා. එක් සෙනසුරාදා දිනක පැය පහක් පුරා, මෙම නීතිඥවරු, සමාජය විසින් ක්‍රියාකාරීව අමතක කර දමා තිබූ, පදිංචිකරුවන් 200කට වඩා පිරිසක්ව එකිනෙකා බැගින් සම්මුඛ සාකච්ඡාවට ලක් කළා.

ඔවුන්ගේ සම්මුඛ සාකච්ඡා වලදී, වයෝවෘද්ධ නිවැසියන්ට එරෙහිව සිදු කර ඇති අතහැර දැමීම, අනිසි ලෙස සැලකීම සහ අරමුදල් අනිසි ලෙස පරිහරණය කිරීම වැනි අපරාධ කිහිපයක් ඔවුන් සොයා ගත්තා. මෙම නීති සමාජයේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ දුප්පතුන් සහ අවශ්‍යතා ඇති අයව රැකබලා ගන්න එක. ඉන් මාස දෙකකට පසුව, පැමිණිල්ල මෙහෙයවන්නා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව චෝදනා ගොනු කළා.

ඔවුන්ගේ උපකාරය “එනම් නුඹලා නුඹලාගේ සහෝදර මනුෂ්‍යන්ගේ සේවයෙහි යෙදී සිටින විට නුඹලා සත්‍යයෙන්ම යෙදී සිටින්නේ ඔබේ දෙවියන්වහන්සෙගේ සේවයේය”යන බෙන්ජමින් රජුගේ ඉගැන්වීමේ කදිම නිදසුනක්.

ප්‍රෝ බොනෝ ව්‍යාපෘතිය අතරතුර එක් පදිංචිකරුවෙකු වූ ලුසියා නම් කාරුණික 93 හැවිරිදි කාන්තාවක්ව මා පෞද්ගලිකව සම්මුඛ සාකච්ඡාවට ලක් කළා. අපගේ සේවයට කෘතඥ වූ ඇය, “මාව විවාහ කර ගන්න!” කියා විහිළුවට මෙන් පැවසුවා.

පුදුමයට පත් වූ මම මෙසේ පිළිතුරු දුන්නා: “ඔන්න බලන්න අර ලස්සන තරුණිය දිහා! ඇය මගේ බිරිඳ සහ රජයේ පැමිණිල්ල මෙහෙයවන්නා.”

ඇය ඉක්මනින් ආපසු කිව්වා: “ඉතින් මොකක්ද? ඇය තරුණ, ලස්සන, සහ පහසුවෙන් නැවත විවාහ වෙන්න පුළුවන් කෙනෙක්. මට තියෙන එකම දේ ඔයා විතරයි!”

එදා ඒ අපූරු නිවැසියන්ට ඔවුන්ගේ සියලු ගැටලු විසඳී තිබුණේ නැහැ. “මක්නිසාද රැලි කඳු මෙන් ඔවුන් මත බිඳී මුහුදේ ගැඹුර තුළ ඔවුන් ගිලගනු ලැබූ” පොරොන්දු දේශයට යන අභියෝගාත්මක ගමනේදී ඔවුන්ගේ බෝට්ටුවල යාරෙද්වරුන් මෙන් ඔවුන් විටින් විට දුෂ්කරතා අත්විඳ ඇති බවට සැකයක් නැහැ.

නමුත් එම සෙනසුරාදා, සාත්තු නිවාසයේ පදිංචිකරුවන් දැන ගත්තා ඔවුන්ගේ භූමික නිර්නාමිකභාවය නොතකා, සරල යාච්ඤාවලට පවා ප්‍රතිචාර දක්වන ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ ඔවුන්ව පෞද්ගලිකව දන්නවා කියලා.

ස්වාමිවරුන්ගේ ස්වාමියා පොරොන්දු වූ ආශීර්වාද කරා යාරෙද්වරුන්ට “දරුණු සුළඟක්” ඇති කළා. ඒ හා සමානව, ස්වාමින්වහන්සේගේ හස්තයේ නිහතමානී සුළඟක් ලෙස සේවය කිරීමට අපට තීරණය කරන්න පුළුවන්. යාරෙද්වරුන්ට පොරොන්දු දේශය දෙසට “සුළඟ හැමීම කිසි විටෙකත් නොනැවතුනාක්” මෙන්, දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ගමනේ දියුණුවට අන් අයට උපකාර කරන්න අපිට පුළුවන්.

වසර කිහිපයකට පෙර, ක්‍රිස්, මගේ ආදරණීය බිරිඳ සහ මා සභානායකවරයෙකු ලෙස මා කැඳවීම සඳහා සම්මුඛ සාකච්ඡාවකට ලක් වූ විට, උපදේශකයින් ලෙස නිර්දේශ කිරීමට නම් ගැන යාච්ඤාවෙන් සලකා බලන ලෙස අපගේ ස්ටේක සභාපතිවරයා මගෙන් ඉල්ලා සිටියා. මා නිර්දේශ කළ නම් අහලා ඔහු කිව්වා එක් සහෝදරයෙක් ගැන මම කරුණු කිහිපයක් දැනගත යුතුයි කියලා.

පළමුවෙන්ම මෙම සහෝදරයාට කියවන්න බැහැ . දෙවනුව, සාමාජිකයින් බැලීමට ඔහුට භාවිතා කළ හැකි මෝටර් රථයක් නැහැ. තෙවනුව, ඔහු සෑම විටම—සෑම විටම—සභාව ඇතුලේ අව් කණ්ණාඩි පැළඳ සිටිනවා. සභාපතිවරයාගේ අවංක සැලකිල්ල නොතකා, මගේ උපදේශකයා ලෙස මම තවමත් ඔහුව නිර්දේශ කළ යුතු බව මට දැඩි ලෙස හැඟී ගිය අතර ස්ටේක සභාපතිවරයා මට එයට සහාය දුන්නා.

ඉරිදා දින මගේ උපදේශකයින්ව සහ මාව සක්‍රමේන්තු මෙහෙයේදී නියම කළ අතර, සාමාජිකයින්ගේ මුහුණුවල පුදුමය පැහැදිලිවම තිබුණා. මේ ආදරණීය සහෝදරයා හෙමින් හෙමින් වේදිකාවට නැග්ගා, එහිදී ඉහළ විදුලි පහන් ඔහුගේ අව් කණ්ණාඩි හරහා දීප්තිමත් ලෙස පරාවර්තනය වුණා.

ඔහු මගේ පැත්තෙන් වාඩි වී සිටින විට මම ඔහුගෙන් ඇසුවා, “සහෝදරයා, ඔබට පෙනීමේ ගැටළුවක් තියෙනවද?” කියලා.

“නැහැ,” ඔහු කිව්වා.

“එහෙනම් ඇයි ඔයා සභාව ඇතුලෙ අව් කණ්ණාඩි පාවිච්චි කරන්නේ?” කියා මම ඇසුවා “මගේ මිත්‍රයා, සාමාජිකයින්ට ඔබේ ඇස් දැකීමට අවශ්‍යයි, ඔබටත් ඔවුන්ව වඩා හොඳින් දැකීමට හැකි වෙන්න ඕනේ.”

ඒ මොහොතේ ඔහු තම අව් කණ්ණාඩි ගලවා දැමූ අතර නැවත කිසි දිනෙක සභාව ඇතුලෙදි ඒවා භාවිතා කළේ නැහැ.

මේ ආදරණීය සහෝදරයා මම සභානායකවරයෙකු ලෙස නිදහස් වනතුරුම මා සමඟ සේවය කළා. අද ඔහු සභාවේ ඇදහිලිවන්තව සේවය කරන අතර ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කැපවීම සහ පොරොන්දුව පිළිබඳ ආදර්ශයක් වී ඉන්නවා. එහෙත්, වසර ගණනාවකට පෙර, ඔහු සභාවේ ආසනවල ඉඳුරාම අමතක වූ අව් කණ්ණාඩි පළඳින නොදන්නා අයෙක්. මම නිතරම කල්පනා කරනවා, විශ්වාසවන්ත සහෝදර සහෝදරියන් කී දෙනෙක් අද අපි අතරේ අමතක වෙලා ඉන්නවද?

අප හොඳින් දන්න හෝ අමතක වෙච්ච කෙනෙක් උනත්, අප සෑම කෙනෙකුටම අනිවාර්යයෙන්ම පරීක්ෂාවන් පැමිණෙනවා. අපි ගැලවුම්කරුවාණන් වෙත හැරෙන විට, උන්වහන්සේට “[අපගේ] පීඩා [අපගේ] ප්‍රයෝජන සඳහා කැප කිරීමට” සහ අපගේ අධ්‍යාත්මික ප්‍රගතියට පහසුකම් සලසන ආකාරයෙන් අපගේ පරීක්ෂාවන්ට ප්‍රතිචාර දැක්වීමට අපට උපකාර කරන්න පුළුවන්. සාත්තු නිවාසවල පදිංචිකරුවන්ට, වැරදි ලෙස විනිශ්චය කරන ලද සභාවේ සාමාජිකයෙකුට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට, අපට බලාපොරොත්තුවක් ගෙන ඒම සහ ගිවිසුම් මාවතට අන් අයව යොමු කරමින් “කිසි විටෙකත් හැමීම නොනැවතුන සුළඟ” වෙන්න පුළුවන්.

අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්, යෞවනයින්ට උද්වේගකර සහ ආශ්වාදජනක ආරාධනයක් කළා: “සෑම වටිනා, දක්ෂ තරුණ පිරිමි ළමයෙකුම ධර්මදූත සේවය සඳහා සූදානම් වීමට සහ සේවය කිරීමට ස්වාමින්වහන්සේ ඉල්ලා ඇති බව මම තරයේ තහවුරු කරනවා. පසුදවස්වල ශුද්ධවන්ත තරුණයන් සඳහා, ධර්මදූත සේවය පූජකවරයේ වගකීමකි. … තරුණ සහ දක්ෂ සහෝදරියන් වන ඔබ සඳහා, ධර්මදූතයක් යනු බලවත්, නමුත් විකල්ප අවස්ථාවකි.”

සෑම දිනකම දහස් ගණන් තරුණ ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් ධර්මදූතයින් ලෙස සේවය කරමින් ස්වාමින්වහන්සේගේ අනාවැකිමය කැඳවීමට පිළිතුරු දෙනවා. ඔබ දක්ෂයි, සභාපති නෙල්සන් පවසා ඇති පරිදි, ඔබට “පෙර පරම්පරාවට වඩා ලෝකයට වැඩි බලපෑමක් කරන්න පුළුවන්!” ඇත්ත වශයෙන්ම, ඔබ ධර්මදූත පුහුණු මධ්‍යස්ථානයට පා තැබූ මොහොතේම ඔබ ඔබේ හොඳම අනුවාදය වෙන බව එයින් අදහස් වෙන්නෙ නැහැ.

ඒ වෙනුවට, “[ඔබ] කළ යුතු දේ කලින් නොදැන ආත්මයාණන්වහන්සේගෙන් මගපෙන්වනු ලැබූ” නෙපී ලෙස ඔබට හැඟෙයි. කෙසේ වෙතත් [ඔබ] ඉදිරියටම ගියා.”

සමහරවිට ඔබට යෙරෙමියා මෙන් අනාරක්ෂිත බවක් දැනෙන අතර, “මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මියි” කියා පැවසීමට අවශ්‍ය වෙන්න පුළුවන්.

ඔබට ඔබේ පෞද්ගලික අඩුපාඩු දැකීමටත්, මෝසෙස් කළාක් මෙන්: “අහෝ මාගේ ස්වාමීනි, මම ව්‍යක්තයෙක් නොවෙමි: මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි” කියා කෑගැසීමට පවා ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්.

ප්‍රේමණීය, බලසම්පන්න තරුණ ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් අතරින් යමෙකුට මේ මොහොතේ මෙවැනි සිතුවිල්ලක් ඇත්නම්, “නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට යන්න” කියා ස්වාමින්වහන්සේ පිළිතුරු දී ඇති බව මතක තබා ගන්න. “එබැවින් දැන් යව, මම නුඹේ මුඛය සමග සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමියි” කියා උන්වහන්සේ පොරොන්දු වෙනවා.

ධර්මදූත සේවයේදී දිනපතා පසුතැවිලි වීම, ඇදහිල්ල, නියම කීකරුකම සහ “නොකඩවා සොයා ගැනීමට, පසුතැවිලි වීමට ඉගැන්වීමට සහ ආගමට හැරෙන්නන් බව්තීස්ම කිරීමට” වෙහෙස මහන්සි වී වැඩ කරමින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සේවය කිරීමට ඔබ උනන්දුවෙන් උත්සාහ කරන විට, ඔබේ ස්වාභාවික තත්වයේ සිට අධ්‍යාත්මික ආත්මය දක්වා ඔබේ පරිවර්තනය “පේලියෙන් පේලියට, ආඥාවෙන් ආඥාවට” සිදු වෙයි.

ඔබ නාම හැඳුනුම්පතක් පැළඳ සිටියද, සමහර විට ඔබට හඳුනා නොගත් හෝ අමතක වූ බවක් දැනෙන්නට පුළුවන්. කෙසේ වෙතත්, ඔබ පෞද්ගලිකව ඔබව හඳුනන පරිපූර්ණ ස්වර්ගික පියාණන්වහන්සේ කෙනෙක් සහ ඔබට ආදරය කරන ගැලවුම්කරුවාණන් කෙනෙක් සිටින බව ඔබ දැනගන්න ඕනේ. ඔවුන්ගේ අසම්පූර්ණකම් තිබියදීත්, ඔබේ පුද්ගලික පරිවර්තනයේ ගමනේදී ඔබට මගපෙන්වීම සඳහා “කිසි විටෙකත් හැමීම නොනැවතුන සුළඟ” ලෙස ඔබට සේවය කරන ධර්මදූත නායකයින් ඔබට සිටිනවා.

“කිරි හා මීපැණි ගලායන්නාවූ දේශයක” ඔබ ඔබේ ධර්මදුත සේවය කරනු ඇත, ඔබ ආධ්‍යාත්මිකව නැවත ඉපදෙන අතර ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ළං වන විට ජීවිත කාලය පුරාම උන්වහන්සේගේ ගෝලයෙකු බවට පත් වෙයි. ඔබව කිසිදා අමතක නොවන බව ඔබට දැනගන්න පුළුවන්.

ඔවුන්ට තවමත් උපකාර කළ හැකි “කිසිවෙක් නැති” නිසා සමහරුන් සහනයක් සඳහා “බොහෝ කලක්” බලා සිටියත්, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උගන්වා ඇත්තේ උන්වහන්සේට කිසිවෙක් කිසිදා අමතක නොවන බවයි. ඊට පටහැනිව, උන්වහන්සේ උන්වහන්සේගේ ලෞකික දේවසේවයේ සෑම මොහොතකම එක්කෙනෙකු සොයා යාමේ කදිම නිදසුනක්.

අප සෑම කෙනෙකුටම—සහ අප අවට සිටින අයට,—අපගේම විරුද්ධවාදි කුණාටු සහ දිනපතා අපව යටපත් කරන පරීක්ෂණ රැළි වලට මුහුණ දෙන්න වෙනවා. නමුත් “පොරොන්දු වූ දේශය දෙසට සුළඟ [හැමීම කිසි විටෙකත් නොනැවතුනි] මෙසේ [අපිවද] සුළඟ ඉදිරියෙන් පෙරට ගෙන යනු ලබයි.”

අප සෑම කෙනෙකුටම මෙම සුළඟේ කොටසක් වෙන්න පුළුවන්—යාරෙද්වරුන්ට ඔවුන්ගේ ගමනේදී ආශීර්වාද කළ එකම සුළඟ සහ අපගේ උදව්වෙන් නොදන්නා සහ අමතක වූවන්ට ඔවුන්ගේම පොරොන්දු වූ දේශවලට ළඟා වීමට ආශීර්වාද කරන එකම සුළඟේ කොටසක් වෙන්න පුළුවන්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේ සමඟ අපගේ උපදේශකයා බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේ කෙනෙක් වන අතර ගිවිසුම් මාර්ගය ඔස්සේ සැමවිටම අපට මඟපෙන්වන තද සුළඟක් ලෙස ක්‍රියා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. ජේ. රූබන් ක්ලාක් නීති සංගමය යනු නීතිඥයින් සහ නීති සිසුන් විසින් පිහිටුවන ලද ලාභ නොලබන සංගමයක් වන අතර ලෝකය පුරා පරිච්ඡේද 100 කට වඩා සංවිධානය කර ඇත. එය නම් කරන ලද්දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ පළමු සභාපතිත්වයේ උපදේශකයෙකු ලෙස වසර ගණනාවක් සේවය කළ කනිෂ්ථ ජෝෂුවා රූබන් ක්ලාක්ට ගෞරවයක් වශයෙනි.

  2. මොසායා 2:17.

  3. Pro bono යනු “මහජන යහපත සඳහා” හෝ “මහජන ප්‍රතිලාභය සඳහා” යන අර්ථය ඇති ලතින් pro bono publico යන වාක්‍ය ඛණ්ඩයේ කෙටි ආකාරයයි. මෙය සාම්ප්‍රදායික ස්වේච්ඡා සේවය මෙන් නොව වැටුප් නොලබන නමුත් වෘත්තීය සුදුසුකම් අවශ්‍ය වන ස්වේච්ඡා වැඩ ආකාරයකි.

  4. ඊතර් 6:6.

  5. ඊතර් 6:5.

  6. බලන්න 2 නෙපී 2:14, 16.

  7. ඊතර් 6:8.

  8. බලන්න දහම සහ ගිවිසුම් 84:106.

  9. බලන්න ආබ්‍රහම් 3:25.

  10. 2 නෙපී 2:2; තවත් බලන්න; දහම සහ ගිවිසුම් 122:7.

  11. රසල් එම්. නෙල්සන්, “සාමයේ ශුභාරංචිය දේශනා කිරීම,” ලියහෝනා, මැයි 2022, 6.

  12. Russel M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), Gospel Library.

  13. 1 නෙපී 4:6-7.

  14. යෙරමියා 1:6.

  15. නික්මයාම 4:10.

  16. යෙරමියා 1:7.

  17. නික්මයාම 4:12.

  18. බලන්න මොසායා 3:19.

  19. 2 නෙපී 28:30.

  20. බලන්න ඇල්මා 26:22.

  21. Neil L. Andersen, “The Faith to Find and Baptize Converts,” 2016 seminar for new mission presidents, June 25, 2016), 6.

  22. බලන්න ද්විතීය කතාව 11:8-9.

  23. බලන්න “Becoming Lifelong Disciples of Jesus Christ,” Preach My Gospel: A Guide to Sharing the Gospel of Jesus Christ (2023), 76–100.

  24. යොහාන් 5:6-7.

  25. බලන්න ලූක් 10:29.

  26. ඊතර් 6:8.

  27. සෝල්ට් ලේක් සිටි හි සභාවේ පරිපාලන ගොඩනැගිල්ලේ ඔහුගේ කාර්යාලයේ එල්ලා ඇති අමතක වූ මිනිසා නමින් මේනාඩ් ඩික්සන්ගේ සිතුවමක් සභපති ඩැලින් එච්. ඕක්ස් සඳහන් කළේය: “ඔහුගේ හිස මත හිරු බබළන බව ඔබට පෙනේ. ඔහුගේ ස්වර්ගික පියාණන්වහන්සේ ඔහු එහි සිටින බව දනී. පසුකර යන පිරිසට ඔහුව අමතක වී ඇත, නමුත් ඔහුගේ අරගල වලදී, ඔහුගේ ස්වර්ගික පියාණන්වහන්සේ ඔහු එහි සිටින බව දනී. මම එම චිත්‍රය සමඟ වසර 40කට ආසන්න කාලයක් සිට ඇති අතර, එය මට කථා කරන අතර මා මතක තබා ගත යුතු දේවල් මට මතක් කර දෙයි” (in Sarah Jane Weaver, “What I Learned from President Oaks about the ‘Forgotten Man,’” Church News, Sept. 18, 2022, thechurchnews.com).