උන්වහන්සේගේ ත්‍යාගය ලබාගන්න
ඔබ දෙවියන්වහන්සේගේ ආදරණීය දියණියකි, ඔබ දෙවියන්වහන්සේගේ වටිනා පුත්‍රයෙකි, එමෙන්ම උන්වහන්සේ තම පරිපූර්ණ ශුද්ධ වූ පුත්‍රයාණන්වහන්සේව ඔබට තෑගි කර තිබෙනවා.
ත්‍යාග ලබාදීම
ත්‍යාග දීම කියන්නෙ සියලුම සංස්කෘතීන්, ශිෂ්ටාචාර සහ සහස්‍ර ගණනාවක් පුරා පැතිරී තිබෙන සමාජ සිරිතක්. හැම කාලයකම වගේ, පුද්ගලයින් සබඳතා ශක්තිමත් කිරීමට, ආදරය හා කෘතඥතාව පළ කිරීමට සහ විවාහ මංගල්‍යයන්, උපන් දින සහ නිවාඩු දින වැනි වැදගත් සිදුවීම් සනිටුහන් කිරීමට එකිනෙකාට ත්‍යාග ලබා දී තිබෙනවා. එමෙන්ම දෙවියන්වහන්සේගේ මැවිලි අතරින් එකිනෙකාට ත්‍යාග දෙන්නේ මිනිසුන් පමණක් නොවේ! අපට පෙන්වා දිය හැකි තවත් බොහෝ උදාහරණ අතර, පෙන්ගුයින් සත්වයො තම අනාගත සහකරුවන්ට දිලිසෙන ගල් කැට ලබා දෙනවා, ඒවගේම බොනොබෝස් (චිම්පන්සියාගේ ඥාති සහෝදරයන්) තම මිත්‍රත්ව කවය පුළුල් කර ගැනීම සඳහා එකිනෙකාට පලතුරු ලබාදෙනවා.
ඔබ දී තිබෙන තෑගි මොනවද? ඔබ ආදරය කරන කෙනෙකුට පරිපූර්ණ තෑග්ගක් සොයාගත්—හෝ සෑදූ—අවස්ථාවක් ගැන සිතන්න. ඔබ දැනගෙන ඉන්න ඇති ඒ තෑග්ග මේ ආදරණීයයාට ඕන කරපු දේම කියලා, ඒ වගේම එයාලා ඒක ගොඩක් අගය කරයි කියලා. ඒ තෑග්ග මොකක්ද? ඒක ඔයාගෙ අම්මට ද? මිතුරෙක්ට ද? ඔබේ දරුවාට ද? ඔබේ ගුරුවරයාට ද? ඔබේ සීයාට ද? මේ තෑග්ග හම්බුනාම ඔබට මොකද හිතුනේ? ඔබ ආදරය කරන මේ පුද්ගලයා ඒ තෑග්ග විවෘත කරන එක ගැන ඔබට දැනුණේ කොහොමද? ඒ හා සමානවම, කවුරුහරි ඔබට පරිපූර්ණ තෑග්ගක් දුන්නේ කවදාද, ඒක ලැබීම මොන වගේ ද?
මගේ පියාගෙන් මට ලැබුණු තෑග්ග
මට වයස අවුරුදු හතක් විතර වෙනකොට, මගේ දෙමව්පියන් එක්ක මම අරාබියේ ජීවත් වෙනකොට, චිට්ටි චිට්ටි බෑන්ග් බෑන්ග් කියලා ළමා චිත්‍රපටයක් නිකුත් වුණා. මේ චිත්‍රපටියෙ තිබුණේ පුද්ගලයෙන් නැතුව පැදවෙන, වතුර මත පාවෙන, පියාඹන්න පවා පුළුවන් මැජික් කාර් එකක් ගැන! මම දැනගෙන හිටියා ගෙදර, ඒ කියන්නෙ එංගලන්තයේ චිට්ටි චිට්ටි බෑන්ග් බෑන්ග් වගේ පොඩි සෙල්ලම් කාර් එකක් හදලා තියනවා කියලා, අනේ, මට කොච්චර එකක් ඕන වුණාද! ඔබ ලීවරයක් ඇද්දම, ඒ සෙල්ලම් කාර් එකේ පියාපත් එළියට එනවා! මගේ තාත්තා ව්‍යාපාරික කටයුත්තක් සඳහා එංගලන්තයට ගියා, ඔහු මගෙන් ඇහුවා මට මොනවා හරි ගේන්න ඕනද කියලා, ඉතින් මම කිව්වා ඒ චිට්ටි චිට්ටි බෑන්ග් බෑන්ග් කාර් එකකට මම කොච්චර ආසද කියලා.
ඔහු ඔහුගේ ගමන අවසන් කරලා ආපසු ආවා, ඒත් කිසි මෝටර් රථයක් පෙනෙන්නට තිබුණේ නෑ. මම හිටියෙ ගොඩක් දුකෙන්, එයාට ඒක අමතක වෙලා ඇති කියලා මම හිතුවා. ඒත් දවස් 10 කට පමණ පසු මගේ උපන්දිනය තිබුණා, ඒවගේම ලස්සනට ඔතා තිබුණු කුඩා පැකේජයක්, මං වෙනුවෙන් තියලා තිබුණා. මහත් අපේක්ෂාවෙන්, නමුත් ඕනෑවට වඩා බලාපොරොත්තු වීමට එඩිතර නොවී, මම තෑග්ග විවෘත කර මගේ මෝටර් රථය සොයා ගත්තා. මට කොච්චර සතුටුද කියනවා නම් මට ඇඬුණා. මම ලීවරය ඇද්දා, තටු එළියට ආවා, හරියට චිත්‍රපටියේ තියෙන කාර් එක වගේ! මේ වටිනාම තෑග්ගට මම මගේ පියාට කොතරම් ස්තූති කළාද! මම ඒ කාර් එකත් එක්ක අවුරුදු ගාණක් සෙල්ලම් කළා, තවත් ගොඩක් කාලයක් ඒක තියාගත්තා. මම ඒ කාර් එක ගන්න ආස කරපු තරමටම, මගේ තාත්තා මට ඒ කාර් එක දෙන්න ආස කළා කියලා මම හිතනවා.
දීම, පිළිගැනීම සහ විවෘත කිරීම සහ ලැබීම
තෑගි දීමට කොටස් තුනක් ඇති බව අපට හිතන්න පුළුවන්:
-
තෑග්ග දීම, එහිදී දෙන්නා විසින් තෑග්ග තෝරාගෙන, සාදා හෝ සූදානම් කර, එය ආදරණීයයාට පිළිගැන්වීම සිදු කරනවා. අර්ථවත් දෙයක් දීමට ලබා දෙන්නාගේ පැත්තෙන් කල්පනාකාරී චේතනාව මෙයට ඇතුළත් වෙනවා.
-
ඒ තෑග්ග පිළිගැනීම සහ විවෘත කිරීම; ලබන්නා තෑග්ග ලබා දෙන තැනැත්තාගෙන් තෑග්ග ලබා ගන්නා විට, බොහෝ විට එය විවෘත කරන්න කලින් පුදුමය, කෘතඥතාව සහ උද්යෝගය ප්‍රකාශ කරනවා, ඊටපස්සෙ බෝ එක ලිහලා පැකේජය දිග හරිමින් තෑග්ග කුමක්දැයි සොයාගන්නවා.
-
ඊට පස්සේ, සමහර විට වැදගත්ම කොටස තියෙනවා, ඒ තමයි, තෑග්ග ලැබීම. අවංකව දෙන ලද තෑග්ගක් ලැබීම කියන්නේ, එය පිළිගෙන විවෘත කිරීමට වඩා බොහෝ සෙයින් වැඩි දෙයක්. එය තෑග්ගේ වටිනාකම හඳුනාගෙන එය දෙන්නාට ස්තූතිය පළ කිරීමට වඩා වැඩි දෙයක්. තෑග්ගක් සැබවින්ම ලැබීමට නම්, අපි එය අපටම අගය කිරීමටත්, එය අපගේ ජීවිතවලට උපරිමයෙන් භාවිතා කිරීමටත්, එය ලබා දුන් තැනැත්තාව අපි කෘතඥතාවයෙන් සිහිපත් කිරීමටත් පටන් ගන්නවා.
තෑග්ගක් ලැබීම නිෂ්ක්‍රීය ක්‍රියාවලියක් නොවේ, එය පැකේජයක් විවෘත කිරීමට වඩා බොහෝ දුර ගොස් හිතාමතා කෙරෙන අර්ථවත් ක්‍රියාවලියක්. ලැබීම කියන්නෙ, තෑග්ග ලබාදෙන්නා සහ ලබන්නා අතර ඇති බැඳීම් ශක්තිමත් වන ආකාරයෙන්, ඒ තෑග්ග සහ ලබාදෙන්නාගේ හදවත යන දෙකම අගය කිරීම සහ සම්බන්ධ කිරීමයි. ඒ සෙල්ලම් කාර් එක ගැන හිතනකොට මට ආයෙත් ස්වර්ණමය මතකයන් ගොඩක් මතක් වෙනවා, ඒ තෑග්ගෙන් නියෝජනය වෙන මගේ තාත්තාගේ ගැඹුරු ආදරය සහ සැලකිල්ල මට දැනෙනවා.
අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ තෑගි
අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ, උන්වහන්සේගේ වටිනා දරුවන් වන අප සෑම කෙනෙකු මතම වැගිරීමට අසංඛ්‍යාත තෑගි, එනම් ආලෝකයේ සහ සත්‍යයේ තෑගි සූදානම් කරගෙන ඉන්නවා. ඒවා අපගේ ත්‍යාගශීලී දායකයාගෙන්, උන්වහන්සේගේ කරුණාවන්ත හදවතින්, වනාන්තරයේ උල්පතක් මෙන් ගලා එනවා. “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැති වූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.” පියාණන්වහන්සේ සමඟ අපගේ ගිවිසුම් බැඳීමේදී, උන්වහන්සේ සැමවිටම ලබාදෙන්නා වන අතර, අපි තමයි නිහතමානී ලබන්නන්.
අන් සියල්ල ගලා යන පියාණන්වහන්සේගේ සියලු ත්‍යාග අතරින් ශ්‍රේෂ්ඨතම ත්‍යාගය
නමුත් පියාණන්වහන්සේගේ සියලු ත්‍යාග අතරින් ශ්‍රේෂ්ඨතම ත්‍යාගය වන උන්වහන්සේගේ ප්‍රේමණීය බැටළු පැටවා වන උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නොමැතිව අපට කිසිවක් ලබාගන්න බැහැ. අපේ පියාණන්වහන්සේගේ සියලු දීමනා ක්‍රියාවට නැංවෙන්නේ ගෙත්සෙමනෙහි සහ කුරුසියේදී ගැලවුම්කරුවාණන් කැමැත්තෙන්ම කළ පූජාවෙන් සහ උන්වහන්සේගේ ජයග්‍රාහී මරණයෙන් නැවත නැගිටීම තුළිනුයි. අපගේ දයාවන්ත මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අපගේ ආලෝකවල පියාණන්වහන්සේගෙන් ලැබුණු උත්තරීතර ත්‍යාගයයි. “උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ දීමනාව තුළ, දෙවියන්වහන්සේ [අපට] වඩාත් විශිෂ්ට මාර්ගයක් පිළියෙළ කර තිබෙනවා.”
සදාකාලික සත්‍යයේ සර්ව සම්පූර්ණ ත්‍යාගයක්
අපගේ පියාණන්වහන්සේ අපට ලබා දීමට කැමති අනෙක් සියල්ල ලබා ගැනීමේ හැකියාවට පාදක වන සදාකාලික සත්‍යයේ සර්ව සම්පූර්ණ ත්‍යාගයක් ගැන මම හිතන්නට කැමතියි—ආත්මයේ ගැඹුරින් පිළිගෙන ලබා ගත් විට, එය අපේ ජීවිතයේ ප්‍රීතිය හා දුෂ්කරතා සහ අපගේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න සන්දර්භගත කරන තෑග්ගක්: ඒ තමයි අපි සැබවින්ම දෙවියන්වහන්සේගේ දරුවන් වීම. ඒ සත්‍යය හරිම පුදුම සහගතයි! විශ්මයජනකයි! ඒවගේම එය සංකේතාත්මක එකක් නොවේ.
ඔබ මෙය පළමු වරට අසනවා යැයි සිතන්න! ඔබ සැබවින්ම උන්වහන්සේගේ ආදරණීය දියණියයි. ඔබ සැබවින්ම උන්වහන්සේගේ වටිනා පුත්‍රයායි. ඔබ දැන් සිටින මාර්ගය තමයි උන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම. උන්වහන්සේගේ සර්වඥ ප්‍රේමයෙන්, ඔබව පොළොවට එවීමට පෙර ඔබ කවුදැයි කියාත්, ඔබේ ලෞකික ජීවිතයේ මෙතෙක් ඔබ අත්විඳ ඇති දේත්, උන්වහන්සේ හරියටම දන්නවා, ඒවගේම උන්වහන්සේ ඔබේ සෑම හෙට දවසක්ම දයානුකම්පිතව සැලසුම් කර තිබෙනවා. ඒ වගේම, උන්වහන්සේගේ සියලු සුන්දර ත්‍යාගවල උත්තරීතර අභිප්‍රාය වන උන්වහන්සේ සමඟ සදාකාලික ජීවිතය ලබා ගැනීමට, ඔබ උන්වහන්සේ වෙත නැවත පැමිණෙන දිනය එන තෙක් උන්වහන්සේ කොතරම් ආශාවෙන් ඉන්නවාද.
ප්‍රශ්නය වන්නේ මෙම සත්‍යයේ ත්‍යාගය සැබෑද කියන එක නෙවේ, ඒත් අප එය සොයාගෙන ලබා ගනීවිද කියන එකයි. එම ත්‍යාගය දැනටමත් පියාණන්වහන්සේ විසින් අප මත ලබා දී තිබෙනවා. මෙම ත්‍යාගයේ අවසාන අරමුණ සඳහා මිල දැනටමත් ගැලවුම්කරුවාණන් විසින් ගෙවා තිබෙනවා. නමුත් ඔබට මෙම සත්‍යය වසර ගණනාවක් තිස්සේ උගන්වා තිබුණත්, එමෙන්ම ඒ ගැන ගායනා කර තිබුණත්, සමහර විට එහි ඇති විශ්මයජනක ආශ්චර්යය බොහෝ කලකට පෙර මැකී ගිහින්, එහි බලය සහ සාමය ඔබට තවදුරටත් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්.
අවබෝධයේ මෙම මිල කළ නොහැකි ත්‍යාගය—සහ එයින් ගලා එන සියලු යහපත්කම, සාමය සහ බලාපොරොත්තුව—නොපිළිගෙන, විවෘත නොකර සහ නොලබා ඉතිරි වුවහොත්, එය මොනතරම් භයානක නාස්තියක්ද! ලබාදෙන තැනැත්තාට එය මොනතරම් දුකක්ද! “මක්නිසාද මනුෂ්‍යයාට ඔහු මත ත්‍යාගයක් ප්‍රදානය කරනු ලැබ, තවද ඔහු එම ත්‍යාගය නොලබන්නේ නම් එයින් කුමන ප්‍රයොජනයක් වන්නේද? බලන්න, ඔහු එනම් ඔහු හට දුන් දෙය තුළ ප්‍රීති ප්‍රමුදිත නොවන්නේය, එමෙන්ම ඔහුට ත්‍යාගය දෙන්නාවූ තැනැත්තා කෙරෙහිද ප්‍රීති ප්‍රමුදිත නොවන්නේය.”
ඔබ සැබවින්ම දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවා බව පළමු වතාවට හෝ වෙන කවරදාටත් වඩා විශාල වශයෙන් දැන තේරුම් ගැනීමට මම ඔබට ආරාධනා කරනවා. ඔබ බෝ එක ලිහලා, ඔතන කඩදාසිය ඉරලා, පෙට්ටිය විවෘත කරලා, මෙම මූලික සත්‍යය පිළිබඳ සැබෑ, පිරිසිඳු අවබෝධයක් සිතූතිවන්තව හා නිහතමානීව ක්‍රියාකාරීව පිළිගත යුතුයි. ඔබ සැබවින්ම මහෝත්තමයාණන්ගේ දරුවෙකු බව ශුද්ධාත්මයාණන්ට ඔබේ හදවතට සාක්ෂි දරන්න පුළුවන්.
ඔබ මෙම මහිමාන්විත යථාර්ථය ඔබේ ආත්මයටම පිළිගෙන එහි සැනසීම සහ ප්‍රීතිය යන දෙකම අත්විඳින විට, ඔබේ මුළු සුසමාදර්ශයම වෙනස් වෙනවා! ඔබේ ජීවිතයේ කුමක් සිදුවෙමින් පැවතුනත්, සිදු නොවුනත්, ඔබට උන්වහන්සේගේ ප්‍රේමය දැනෙන්නට, උන්වහන්සේගේ හඬ ඇසීමට සහ උන්වහන්සේගේ හස්තය හඳුනා ගැනීමට පුළුවන්. ඔබ ඔබව සහ අන් අයව දකින ආකාරය නැවත අර්ථ දක්වන්න පුළුවන්. ඔබේ ගැලවුම්කරුවාණන් සමඟ ඇති ඔබේ ගිවිසුම් බැඳීම තවත් ශක්තිමත් වෙනවා, ඒවගේම මෙම මිහිරි ත්‍යාගයේ කාචය හරහා ජීවිතය නව දීප්තිය, අලංකාරය සහ බලාපොරොත්තුව ලබා ගන්නවා.
කරුණාකර, ඔබ මෙම පරිවර්තනීය දැනුම ඔබේ ආත්මයේ ගැඹුරටම ලබාගන්නවාද කියා තේරුම් ගැනීමට ඔබ යාච්ඤා කරනවාද? කරුණාකරලා ඔබ මේ තෑග්ග පිළිගන්නවද? ඔබ එය පෙර කිසිදා නොතිබූ තරම් ගැඹුරින්, නිදහසේ, බහුල ලෙස එය කරනවාද——එසේ කිරීමෙන් ඒ සමඟ එන අනෙකුත් සියලුම තෑගි වලින් පිරී ඉතිරී යනවාද?
සදාකාලික සත්‍යයේ මෙම ත්‍යාගය ලැබීම
“දෙවියන්වහන්සේගෙන් මේ තෑග්ග ලබා ගැනීමට මා කළ යුත්තේ කුමක්ද?” කියා ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන්. හොඳයි, ඇත්තටම, කිසිවක් නැහැ. එය ලබාදෙන්නාගෙන් ලැබුණු තෑග්ගක්. ඒක සරලවම නියතයක්. එයට පැමිණෙන්නට ඉඩදෙන්න. ඔබ උන්වහන්සේගේ දරුවා යි. ඔබ උන්වහන්සේගෙන් ආදරය ලබනවා. එය සංකීර්ණ කරගන්න එපා. කෙසේ හෝ ඔබ නුසුදුසුයි කියා සිතමින් මෙම තෑග්ග ලැබීම අවහිර කරගන්න එපා. යථාර්ථය තමයි, අපෙන් කිසිවෙකු සුදුස්සන් නොවේ—පියාණන්වහන්සේගේ සියලු දීමනා ලැබෙන්නේ ශුද්ධ වූ මෙසියස්වහන්සේගේ බලය, දයාව සහ කරුණාව තුළින් පමණයි, නමුත් උන්වහන්සේගේ සෑම දරුවෙකුම ඒවා ලබාගන්නවා බලන්න උන්වහන්සේගේ ත්‍යාගශීලි හදවත කොයි තරම් නම් ආශා වෙනවාද. ඉන්පසු, ඔබේ නව හෝ අලුත් අවබෝධය ඔබ තුළට උදාවන විට, මෙම ත්‍යාගය දුන් තැනැත්තාට ස්තූති කිරීමෙන් ප්‍රීති වන්න.
මගේ වයස අවුරුදු 20 ගණන් වල මැදදී මගේ ඇදහිල්ල සොයාගත් දා සිට, මම සැබවින්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙකු බව අවබෝධ කරගත්තා. මම මේ තෑග්ග සම්පූර්ණයෙන්ම අභ්‍යන්තරීකරණය කරන තරමට, මම කවුද කියලා සහ මට කොච්චර සම්පූර්ණ ආදරයක් ලැබෙනවද කියලා මම වඩාත් තියුණු ලෙස දන්නවා. අවබෝධයෙන් වර්ධනය වීමට මට උපකාර වූ සමහර දේවල් තමයි ශුද්ධලියවිල්ලේ වචන, මගේ ආදිපීතෘ ආශිර්වාදය, දේවමාළිගා නමස්කාරය, අන් අයට සේවය කිරීම, ස්තූතිය පෙන්වීම සහ මගේ පියාණන්වහන්සේ සමඟ මම කරන යාච්ඤාව. මේ සුන්දර සත්‍යය මා දැන සිටියා නම්, මගේ ජීවිතයේ පෙර දුක, වේදනාව සහ ශෝකය නැවත සකස් කර, සන්සුන් කර, එයින් බොහෝ දේ ජය ගැනීමට කොහොම නම් ඉඩ තිබුණාද කියා මම පුදුම වෙනවා.
ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ ලබාගන්න
“දෙවියන්වහන්සේගේ දීමනා ප්‍රතික්ෂේප නොකර” “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, සෑම යහපත් දීමනාවක්ම ලබාගන්න” කියමින් මොරෝනි අපට අවවාද කරනවා. ඔබට ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමනීය කරුණාව කෙරෙහි විශ්වාසයෙන් යුතුව උන්වහන්සේ වෙතට පැමිණ, ඔබේ හිස ඉහළට ඔසවා, දෑත් දිගු කර, පිළිගැනීමට සූදානම්ව දෑත් විවෘතව තබාගෙන—ප්‍රීතිය, සාමය, බලාපොරොත්තුව, ආලෝකය, සත්‍යය, එළිදරව්ව, දැනුම සහ ප්‍රඥාව—යන උන්වහන්සේගේ සියලු ත්‍යාග ලබාගන්න පුළුවන්. ඒවගේම ඔබ දෙවියන්වහන්සේගේ ආදරණීය දියණියක් බවත්, ඔබ දෙවියන්වහන්සේගේ වටිනා පුත්‍රයෙක් බවත්, ඔබව මුදවා ගැනීමට, ඔබව යුක්තිසහගත කිරීමට සහ ඔබව පරිශුද්ධ කිරීමට උන්වහන්සේ තම පරිපූර්ණ ශුද්ධ වූ පුත්‍රයාණන්වහන්සේව ඔබට තෑගි කර ඇති බවත් යන දැනුමෙන් ඔබ සුරක්ෂිත වී ඇති නිසා සහ ඔබ ඒ මත පදනම් වී ඇති නිසා, ඔබට මෙම ත්‍යාග ලබාගන්න පුළුවන්.
ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙක්. මේක අපි ගායනා කරන ලස්සන ගීතයක් විතරක් නෙවෙයි. කරුණාකර ඔබ උන්වහන්සේගෙන් මෙම දැනුමේ සහ අවබෝධයේ ත්‍යාගය පිළිගෙන, විවෘත කර, ලබා ගන්නවාද? එය වටිනා වස්තුවක් ලෙස ඔබ එය ළඟ තබා ගන්නවාද? මෙම තෑග්ග නැවත ලබා ගන්න, එහෙම නැත්නම් සමහරවිට එය සැබවින්ම පළමු වරට ලබාගෙන, එයට ඔබේ ජීවිතයේ සෑම අංශයක්ම පරිවර්තනය කිරීමට ඉඩ දෙන්න. දෙවියන්වහන්සේ තම පුත්‍රයාණන් වන ත්‍යාගය තුළින් ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති වඩාත් විශිෂ්ට මාර්ගය මෙයයි. ඔබ ඇත්තෙන්ම පැවතෙන්නේ ප්‍රීතිය ලබනු පිණිසයි! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.