ප්‍රධාන සම්මන්ත්‍රණය
තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමු
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


14:26

තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමු

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්, ඒවගේම උන්වහන්සේගේ ආලෝකය ලබා ගැනීමට සහ බෙදා ගැනීමට අපි උත්සාහ කරනවා.

හැඳින්වීම

විදේශ රටකදී කරන්නට යෙදිලා තිබුණු පැවරුමක අවසානයේ, මගේ බිරිඳ ලෙසා සහ මම ගෙදර යාමට මධ්‍යම රාත්‍රියේ යෙදී තිබුණු තවත් එක් ගුවන් ගමනක් සඳහා සූදානම් වීමට ගුවන් තොටුපළ පර්යන්තයකට පිවිසුණා. දිගු පෝලිම්වල පියවරෙන් පියවර ඉදිරියට යමින් සිටි තවත් බොහෝ දෙනෙකු සමඟ අපි හිටගෙන ඉද්දි, ගුවන්යානා වලට වේලාවට ගොඩ වීමට, විදේශ ගමන් බලපත්‍ර සහ වීසා සමාලෝචන සමත් වීමට සහ ආරක්ෂක පරීක්ෂාවන් සාර්ථකව සිදු කිරීම ගැන කනස්සල්ලට පත්ව සිටින සෙසු සංචාරකයින්ගේ වැඩිවෙමින් ඇති උද්වේගය අපට දැනුණා.

අවසානයේ අපි රේගු නිලධාරියෙකු වාඩි වී සිටි ස්ථානයකට ළඟා වුණා, ඇය ඒ ස්ථානයේ තිබූ අධික ආතතිය හා උද්වේගය නිසා කිසිඳු බලපෑමකට ලක් නොවූ බවක් පෙනෙන්නට තිබුණා. ඇය කිසිඳු ඇස ගැටීමකින් තොරව, යාන්ත්‍රිකව වගේ මගේ ලියකියවිලි සඳහා අත දිගු කර, මගේ පින්තූරය තහවුරු කර, පිටු එකින් එක පෙරළා, අවසානයේ මගේ විදේශ ගමන් බලපත්‍රයට මුද්‍රා තැබුවා.

ඉන්පසු ඇය ලෙසාගේ ලිපි ලේඛන සඳහා අත දිගු කළා. හැඟීම් විරහිතව, හිස පහත් කර තම කාර්යය කෙරෙහි අවධානය යොමු කළ ඇය, තමා ඉදිරිපිට ඇති ලේඛනවල විස්තර කෙරෙහි අවධානය යොමු කරමින්, විශේෂඥ ඇසකින් ක්‍රමානුකූලව ඒ පිටු හරහා ගියා. ඇය හදිසියේම නතර වී, හිස ඔසවා, හිතාමතාම උණුසුම් හා ඉහළ බැල්මකින් ලෙසා දෙස නෙත් යොමු කළ විට අපි තරමක් පුදුමයට පත්වුණා. මෘදු සිනහවකින් යුතුව, ඇය ලෙසාගේ විදේශ ගමන් බලපත්‍රයට සියුම් ලෙස මුද්‍රාවක් තැබූ පසු ඒ ලියකියවිලි ඇයට ආපසු ලබා දුන්නා. මගේ බිරිඳ ඊට ප්‍රතිචාර වශයෙන් සිනාසී, ලියකියවිලි පිළිගෙන, උණුසුම් සමුගැනීමේ වචන හුවමාරු කරගත්තා.

මොකක්ද ඒ උනේ?” මම සැකයෙන් වගේ ඇහුවා.

ඉන්පසු ලෙසා ඒ නියෝජිතයා දැක තිබුණු දේ මට පෙන්නුවා—ගැලවුම්කරුවාණන්ගේ රූපය සහිත කුඩා කාඩ්පතක්. එය අහම්බෙන් ඇගේ පසුම්බියේ සිට ලෙසාගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටු අතරට ලිස්සා ගොස් තිබුණා. රේගු නිලධාරිනිය සොයාගෙන තිබුණේ මෙයයි. ඇගේ මුළු හැසිරීමම වෙනස් කළේ මෙයයි.

විදේශ ගමන් බලපත්‍රයක් තුළ ඇති ගැලවුම්කරුවාණන්ගේ රූපය.

සයිමන් ඩිවි විසින්, Grace and Truth [කරුණාව සහ සත්‍යය] altusfineart.com අනුග්‍රහයෙනි, © 2025, අවසරය ඇතිව භාවිතා කර ඇත.

යම් ආකාරයකින් විසන්ධි වූ ආගන්තුකයන් දෙදෙනෙකුගේ හදවත්, ගැලවුම්කරුවාණන්ගේ මෙම කුඩා පින්තූරය මගින් සම්බන්ධ කර තිබුණා. එය අපුද්ගලිකත්වය පුද්ගලික බවට පරිවර්තනය කළා, ඒවගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයේ සුන්දරත්වය, ආශ්චර්යය සහ යථාර්ථය ග්‍රහණය කර ගත්තා. ඒ දවසේ ඉතිරි කාලය තුළ සහ බොහෝ විට එතැන් සිට, මම ඒ මිහිරි, සරල මොහොත ගැන විස්මයෙන් මෙනෙහි කර තිබෙනවා, ඒවගේම දෙවියන්වහන්සේගේ දරුවන් කෙරෙහි ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයේ තේජාන්විත බලපෑම ගැන ප්‍රීති වී තිබෙනවා.

අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමු

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්, ඒවගේම උන්වහන්සේගේ ආලෝකය ලබා ගැනීමට සහ බෙදා ගැනීමට අපි උත්සාහ කරනවා. සභාවේ නමෙන්ම පෙන්වන්නේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේම ප්‍රධාන මුල් ගල” වන අපගේ දහම ගැනයි. පුරාණ හා ජීවමාන අනාගතවක්තෘවරුන් තුළින්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපට “උන්වහන්සේට සවන් දෙන්න!” කියා සහ “ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන්න” කියා අණ කර තිබෙනවා. “අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රීති වන්නෙමු, [සහ] අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන්නෙමු.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවත්, උන්වහන්සේගේ ලෞකික දේවසේවය අතරතුර, යේසුස්වහන්සේ උන්වහන්සේගේ ශුභාරංචිය ඉගැන්වූ අතර උන්වහන්සේගේ සභාව ස්ථාපිත කළ බව අපි උගන්වනවා.

යේසුස්වහන්සේගේ ජීවිතයේ අවසානයේ ගෙත්සෙමන උයනේදී දුක් විඳිමින් අපගේ පාපවලට වන්දි ගෙවූ බවත්, කුරුසියේ ඇණ ගසනු ලැබූ බවත්, පසුව මරණයෙන් නැවත නැගිටි බවත් අපි සාක්ෂි දරනවා.

ගැලවුම්කරුවාණන්ගේ වන්දි ගෙවීමේ පූජාව නිසා, අපි පසුතැවිලි වන විට අපට සමාව ලබාගෙන අපගේ පාපවලින් පවිත්‍ර විය හැකි නිසා අපි ප්‍රීති වෙනවා. මෙය අපට සාමය සහ බලාපොරොත්තුව ගෙන දෙන අතර දෙවියන්වහන්සේගේ අභිමුඛයට නැවත ගොස් ප්‍රීතියේ පූර්ණත්වය ලබාගැනීමට අපට හැකියාව ලබා දෙනවා.

ක්‍රිස්තුවහන්සේ සහ මරියා සොහොන් ගෙය අසල

යේසුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම නිසා මරණය අවසානය නොව වැදගත් ඉදිරි පියවරක් බව අපි දේශනා කරනවා. “අප සියල්ලෝම මරණයෙන් පසු නැවත නැගිටිනවා. මෙයින් අදහස් කරන්නේ සෑම පුද්ගලයෙකුගේම ආත්මය සහ ශරීරය නැවත එක්සත් වී සදාකාලිකව ජීවත් වන බවයි.”

ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න.

අපට ඉගැන්වීමට සහ මගපෙන්වීමට දෙවියන්වහන්සේගෙන් එළිදරව් ලබා ගන්නා—අපේ කාලයේ ජීවමාන අනාගතවක්තෘවරුන්—අපට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස තව තවත් ආරාධනා කරනවා. අපගේ හදවත්, කන් සහ ඇස් උන්වහන්සේ කෙරෙහි වඩාත් කේන්ද්‍රගත කිරීමට ඔවුන් අපට උපකාර කරනවා. පළමු සභාපතිත්වය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගැලපීම් සහ වැඩිදියුණු කිරීම් පිළිබඳ උදාහරණ රාශියක් අපට සඳහන් කරන්න පුළුවන්, ඒවගේම ඒවා නිර්මාණය කර ඇත්තේ අපගේ අවධානය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි යොමු කරවීමටයි. මේවාට ඇතුළත් සමහරක් තමයි:

  • “මොර්මොන් සභාව” යන නාමය අවසන් කර, නිවැරදි නාමය වන “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව” යන නාමය සමඟ එය වෙනස් කිරීමට ගත් තීරණය.

  • රැස්වීම් ශාලා තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා නව, දේවානුභාවයෙන් යුත් ක්‍රිස්තුස්වහන්සේව තේමා කරගත් චිත්‍ර ලබාදීම.

  • “මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙක් වෙමි” සහ “ක්‍රිස්තුස්වහන්සේ දෙස බලන්න” වැනි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කළ තරුණ ගැහැණු ළමුන් සහ පූජකවර ගණපූරණය සඳහා ඇති තේමාවන් සහ සංගීත.

  • ඉතිහාසයේ වඩාත්ම තේජාන්විත සිදුවීම් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ වචනාර්ථයෙන්ම මරණයෙන් නැවත නැගිටීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.

  • පාස්කු සැමරීම එක් දිනයක් පමණක් ලෙස නොව, නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධාරණය කරමින් සමයක් පුරා කරන සැමරීමක් බවට පත්කිරීම.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ දෘශ්‍ය හඳුනාගැනීමේ සංකේතය සහ එහි සංකේතාත්මක ස්වභාවය හඳුන්වාදීම.

මේවායින් කිහිපයක බලපෑම දෙස අපි සමීපව බලමු. පළමුව, සභාවේ සංකේතය.

සභාවේ සංකේතය

සභා සංකේතය

2020 දී, සභාපති රසල් එම්. නෙල්සන් සභාව සඳහා නව දෘශ්‍ය සංකේතයක් හඳුන්වා දුන්නා. ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ සභාවේ කේන්ද්‍රයේ සිටින බවත් අපගේ ජීවිතවල කේන්ද්‍රයේ සිටිය යුතු බවත් මෙම සංකේතය තුළින් පිළිබිඹු වෙනවා. දැන් අපට මෙම හුරුපුරුදු සංකේතය දේවමාළිගා නිර්දේශවල, සභාවේ වෙබ් අඩවිවල සහ සඟරා වල, ශුභාරංචි පුස්තකාල යෙදුමේ නිරූපකය ලෙස සහ සන්නද්ධ හමුදාවන්හි සේවය කරන සභාවේ බොහෝ සාමාජිකයින් සඳහා ඇති හමුදා හැඳුනුම්පත් ටැග් වල පවා දකින්න පුළුවන්. මෙම සංකේතයට මුල්ගලක් තුළ අඩංගු සභාවේ නම ඇතුළත් වන අතර, එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු ප්‍රධාන මුල්ගල බව මතක් කර දෙනවා, ඒවගේම එය කාම්බෝජ භාෂාවෙන් මෙහි පෙන්වා ඇති අතර භාෂා 145 කින් භාවිතයේ පවතිනවා.

කාම්බෝජයේ සභා සංකේතය.

මේ සංකේතයේ කේන්ද්‍රය බර්ටෙල් තෝර්වල්ඩ්සන්ගේ ආදරණීය කිරිගරුඬ Christus [ක්‍රිස්තුස්] ප්‍රතිමාවේ නිරූපණයක්, එය සභාව සමඟ පුළුල් ලෙස සම්බන්ධ වී ඇති අතර ලොව පුරා අමුත්තන්ගේ මධ්‍යස්ථානවල සහ දේවමාළිගා භූමිවල එය දක්නට ලැබෙනවා. සභාවේ ඒ සංකේතය තුළ එහි ප්‍රමුඛතාවයෙන් ඇඟවෙන්නේ අප කරන සෑම දෙයකම කේන්ද්‍රස්ථානය ක්‍රිස්තුස්වහන්සේ විය යුතු බවයි. ඒ හා සමානව, ගැලවුම්කරුවාණන්ගේ දිගු කළ දෑත්, උන්වහන්සේ වෙතට පැමිණෙන සියල්ලන්ව වැළඳ ගැනීමට උන්වහන්සේ දුන් පොරොන්දුව පෙන්නුම් කරනවා. මෙම සංකේතය ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ දෘශ්‍ය නිරූපණයක් වන අතර ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ නිරන්තර මතක් කිරීමක්.

යේසුස්වහන්සේ සොහොන් ගෙයින් එළියට එමින්.

කුතුහලය නිසා, මේ සභා සංකේතයේ එක් වැදගත් අංගයක් පිළිබඳව මම බොහෝ පවුල් සාමාජිකයන්ගෙන් සහ මිතුරන්ගෙන් විමසා තිබෙනවා. පුදුමයට කරුණක් තමයි, එය මූර්තිමත් කරන ශුද්ධ වූ ලක්ෂණයක් ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හිටගෙන ඉන්නේ ආරුක්කුව යට. මෙය සොහොනෙන් නැගිටුණු ගැලවුම්කරුවාණන්ව නිරූපණය කරනවා. සභාවේ මේ සංකේතය භාවිතා කිරීමේදී පවා අපි සැබවින්ම මරණයෙන් නැවත නැගිටි, ජීවමාන ක්‍රිස්තුස්වහන්සේව සමරනවා.

උසස් සහ ශුද්ධ වූ පාස්කු උත්සවය

දැන් අපි පාස්කු ඉරිදා වැදගත්කම ගැන මෙනෙහි කරමු. පාස්කු ඉරිදා සම්බන්ධ පළමු සභාපතිත්වයේ මෑත කාලීන පණිවිඩ වලදී, අපට මෙසේ අභියෝග කර තිබෙනවා, “අපගේ ජීවමාන ගැලවුම්කරුවාණන්ගේ උත්ථානය අප සැමරිය යුත්තේ උන්වහන්සේගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමෙන් සහ සමස්තයක් වශයෙන් අපගේ සමාජය තුළ, විශේෂයෙන් අපගේම පවුල් තුළ පාස්කු සම්ප්‍රදායන් ස්ථාපිත කිරීමට උදව් කිරීමෙනුයි.” කෙටියෙන් කියනවානම්, පාස්කු උත්සවය වඩාත් උසස් හා ශුද්ධ වූ ලෙස සැමරීමට අපව දිරිමත් කර තිබෙනවා.

පාස්කු උත්සවය සම්බන්ධයෙන් අඛණ්ඩව ලැබෙන එළිදරව් කිරීම් වලට මම ප්‍රිය කරනවා, ඒවගේම පාස්කු උත්සවය පූජනීය හා ශුද්ධ අවස්ථාවක් බවට පත්කිරීමට ඔබ දරන බොහෝ උත්සාහයන් ගැන මම සතුටු වෙනවා. පාස්කු ඉරිදා පැයක සක්‍රමේන්තු රැස්වීමක් පැවැත්වීමට අමතරව, වටිනා ක්‍රියාකාරකම් සඳහා වෙනත් උදාහරණ අතරට කොට්ඨාශ සහ ස්ටේක දේශනා සහ පාම් ඉරිදා මෙන්ම ශුද්ධ වූ සතිය තුළ කරන ක්‍රියාකාරකම් ඇතුළත්. මෙම අනුස්මරණවලට ළමුන්, යෞවනයින් සමඟ කරන ක්‍රියාකාරකම් ඇතුළත් වන අතර බොහෝ විට අන්තර් ආගමික ගායනා කණ්ඩායම් ද ඇතුළත් වෙනවා. තවත් සමහරු සාමාජිකයන් සහ මිතුරන් සඳහා “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” නමින් විවෘත නිවාස පවත්වා ඇති අතර බහු නිකායික ප්‍රජා පාස්කු උත්සව වලට සහභාගී වෙලා තිබෙනවා.

එවැනි ක්‍රියාකාරකම් මගින් ජෙරුසලම් නගරයේ ගැලවුම්කරුවාණන්ගේ ජයග්‍රාහී ප්‍රවේශයේදී උන්වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා එකට එකතු වූ හඬවල් පිළිබිඹු කරනවා. මෙම වැදගත්ම සිදුවීම සැමරීම සඳහා පවුල් වශයෙන් නිවසේ සිට නමස්කාර කිරීමට පළමු සභාපතිත්වයේ ආරාධනයට ඔබගේ ප්‍රතිචාර පිළිබඳ වාර්තා ද ඒ හා සමානව ආකර්ෂණීයයි.

පාස්කු උත්සවය වටා ඇති පවුලේ නමස්කාරය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මම විශ්වාස කරනවා. අපි පාස්කු උත්සවයට ගෞරව කරන ආකාරය වැඩිදියුණු කිරීමට අපේ පවුලේ අයගේ අධිෂ්ඨානය ගැන අවුරුදු දෙකකට පෙර මම කතා කළා. ඇත්ත වශයෙන්ම, මෙය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින කාර්යයක්. අපි සෑම විටම විශේෂ පාස්කු ඉරිදා ආහාර වේලක්, පාස්කු කූඩ සහ පාස්කු බිත්තර සෙවීමක් භුක්ති වින්දා, අපි තවමත් එහෙම කරනවා. කෙසේ වෙතත්, අපගේ සැමරුමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි අවධානය යොමු කරන චේතනාන්විත අධ්‍යාත්මික මානයක් එක් කිරීම, මෙම සියලු සිදුවීම් අතරින් අති ශුද්ධ වූ අපගේ සැමරුමට මිහිරි සමබරතාවයක් ගෙනැවිත් තිබෙනවා.

ස්ටීවන්සන් පවුලේ පාස්කු දින නාට්‍යය.

මෙම වසරේ පාස්කු උත්සවය, ක්‍රිස්තුවහන්සේට තව තවත් එය කේන්ද්‍රීයව තබාගැනීමට අප ගන්නා තුන්වන උත්සාහයි. නත්තල් උපත් කතාව වගේම, අපේ පවුලේ පාස්කු දින නාට්‍යයටත් යම් ඇඳුම් පැළඳුම්, අලුත් ගිවිසුමේ සහ මොර්මොන්ගේ පොතේ ශුද්ධලියවිලි කියවීම, සංගීතය, පාස්කු පින්තූර, තල් අතු සහ මම සම්පූර්ණයෙන්ම අවංක ලෙස කියනවා නම් සුළු අවුල් සහගත තත්වයන් ද ඇතුළත් වෙනවා. “හෝසන්නා … ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාට ආශීර්වාද ලැබේවා; ඉතා උසස් තැනක හෝසන්නා” සහ “මේ ගලීලයේ යේසුස්වහන්සේය …” යන පාම් ඉරිදා ප්‍රශංසා කියවීම සහ කඩපාඩම් දීම, නත්තල් සමයේදී “පොළොවේ සාමය, මිනිසුන්ට යහපත් කැමැත්ත” යන පදය තරම්ම අදාළ බව පෙනෙනවා.

අපි දැන් සැරසිලි මිශ්‍රණයක් භුක්ති විඳිනවා. කලකට පෙර හා පැටවුන් සහ පාස්කු බිත්තර පමණක් වූ සැරසිලි දැන් Christus [ක්‍රිස්තුස්] සහ හිස් සොහොන් ගෙයෙහි රූප, සොහොනෙන් පිටත උයනේ පෙනී සිටින මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් සහ ගැලවුම්කරුවාණන් නීෆායිවරුන්ට දර්ශනය වීම සම්බන්ධ රූප වලින් සමතුලිත වී තිබෙනවා. අපි පාස්කු උත්සවය හුදෙක් දිනයක් බවට පත් නොකර සමයක් බවට පත් කිරීමට ද උත්සාහ කරනවා. පාම් ඉරිදා සහ මහා සිකුරාදා සහ ශුද්ධ වූ සතිය පුරා සිදු වූ පූජනීය සිදුවීම් පිළිබඳව අපි වඩාත් සංවාදශීලී, කල්පනාකාරී වී එය සැමරීමට උත්සාහ කරනවා.

පාස්කු උත්සවය අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙනීමේ පරිත්‍යාගය සහ උන්වහන්සේගේ සැබෑ හා ප්‍රීතිමත් මරණයෙන් නැවත නැගිටීම යන දෙකටම ගෞරව කිරීමට ඉඩ සලසනවා. ගැලවුම්කරුවාණන් ඒ උයනේදී සහ කල්වාරි කන්දේදී විඳින දුක් වේදනා සිතින් මවා ගන්නා විට අපගේ හදවත් බර වෙනවා, නමුත් හිස් සොහොන සහ “උන්වහන්සේ මරණයෙන් නැවතත් නැගිට ඇත!” යන ස්වර්ගීය ප්‍රකාශය සිතින් මවා ගන්නා විට අපගේ හදවත් ප්‍රීති වෙනවා.

මරණයෙන් සැබෑ ලෙස නැවත නැගිටීමක්

“මනුෂ්‍ය වර්ගයාට ලැබෙන සියලුම පණිවිඩ අතරින් වඩාත්ම තේජාන්විත පණිවිඩය වන—පාස්කු උත්සවය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම බලාපොරොත්තුවෙන් සිටින්න” යන මෑතකදී පළමු සභාපතිත්වය විසින් අපව දිරිමත් කළ, දිරිගන්වනසුලු වචන මෙම සමයේ විශාලත්වය ඉස්මතු කර පෙන්වනවා. විවිධ ක්‍රිස්තියානි දේවධර්මාචාර්යවරුන් අතර මෙම මරණයෙන් නැවත නැගිටීම උපමාකාරව හා සංකේතාත්මක ආකාරයෙන් දැකීමේ ප්‍රවණතාවක් වර්ධනය වන බවක් පෙනෙන්නට තිබුණත්, “මරණයෙන් නැවත නැගිටීම යන්නෙන් අදහස් කරන්නේ මෙතෙක් ජීවත් වූ සියල්ලන්ම මරණයෙන් නැවත නැගිටින බවත්, මරණයෙන් නැවත නැගිටීම සැබවින්ම සිදුවන බවත්” වන අපගේ මූලධර්මය අපි තහවුරු කරනවා. “මක්නිසාද, ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන්ම, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවත්කරනු ලබන්නෝය.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සෑම ජීවමාන ප්‍රාණයක් සඳහාම මරණයේ බැඳුම් බිඳ දැමූ සේක.

යේසුස්වහන්සේ අපට පිරිනමන දයාව ගැන අපි සැබවින්ම පුදුම වෙනවා. “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත” යන උන්වහන්සේගේ වචන අපි වැළඳ ගනිමු.

සී.එස්. ලුවිස් මෙහෙම ප්‍රකාශ කළා “[ප්‍රේරිතවරුන්ට] ක්‍රිස්තියානි දහම දේශනා කිරීම යනු ප්‍රධාන වශයෙන් මරණයෙන් නැවත නැගිටීම දේශනා කිරීමයි. … ක්‍රියා පොතේ වාර්තා වන සෑම කිතුනු දේශනාවකම කේන්ද්‍රීය තේමාව වන්නේ මරණයෙන් නැවත නැගිටීමයි. මරණයෙන් නැවත නැගිටීම සහ එහි ප්‍රතිවිපාක, ක්‍රිස්තියානීන් ගෙනා ‘ශුභාරංචිය’ හෙවත් සුභ පණිවිඩයයි.”

මම මෙසේ ප්‍රකාශ කරනවා “එහි නැවත නැගිටීමක් වන්නේය, එසේහෙයින් සොහොනට ජයග්‍රහණයක් නොවන්නේය, තවද මරණයේ කටුව ක්‍රිස්තුස්වහන්සේ තුළ ගිලගනු ලබන සේක.”

අවසානය සහ සාක්ෂිය

අවසාන වශයෙන්, අපගේ ජීවමාන අනාගතවක්තෘවරයාගෙන් සහ ඔහුගේ උපදේශකයින්ගෙන් ලැබෙන ආරාධනා පිළිගන්නා සියල්ලන්ම පාස්කු උත්සවය නියෝජනය කරන ශුද්ධ සිදුවීම් වඩාත් හිතාමතාම සැමරීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති බැඳීම දිනෙන් දින ශක්තිමත් කරගන්නා බව මම සාක්ෂි දරනවා.

දින කිහිපයකට පෙර, සොහොන් ගෙය, සොහොන් ගෙය ආවරණය කළ ගල, යේසුස්වහන්සේ, මරියා, ගෝලයන් සහ දේවදූතයාගේ සරල රූප භාවිතා කරමින් ඇගේ සිව් හැවිරිදි මුනුපුරා සමඟ පාස්කු කතාව පෙරහුරු කළ ආච්චි කෙනෙක් ගැන මම දැනගත්තා. මේ කුඩා පිරිමි ළමයාගේ ආච්චි ඒ භූමදානය කිරීම, සොහොන් ගෙය වැසීම සහ විවෘත කිරීම සහ මරණයෙන් නැවත නැගිටීමේ උද්‍යාන දර්ශනය බෙදා ගන්නා විට ඔහු ඒ දෙස බලා සිටි අතර හොඳින් සවන් දී තිබුණා. ඉන්පසු ඔහු තමා වටා ඇති රූප චලනය කරමින් ඒ කතාව පුදුම සහගත ලෙස ප්‍රවේශමෙන් ඔහුගේ දෙමාපියන්ට නැවත පවසා තිබුණා. මේ මිහිරි මොහොතෙන් පසු, අපට පාස්කු උත්සවය තිබෙන හේතුව ඔහු දන්නවාදැයි ඔහුගෙන් විමසා තිබුණා. මේ පිරිමි ළමයා උඩ බලාගෙන පොඩි ළමයෙක් ආකාරයට තර්ක කරලා මෙහෙම උත්තර දුන්නා, “මොකද එයා ජීවත් වෙනවා.”

පාස්කු කතාව කියන කුඩා පිරිමි ළමයෙක්.

උන්වහන්සේගේත්, ඔබගේත්, දේවදූතයන්ගේත්, අනාගතවක්තෘවරුන්ගේත් සාක්ෂියට මම මගේ සාක්ෂිය එකතු කරනවා, උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට තිබෙනවා, උන්වහන්සේ ජීවත් වෙනවා, මම මෙසේ සාක්ෂි දරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.