“මා වෙතට ලඟාවන්න”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සෑම කෙනෙකුටම ප්‍රේම කරනවා. උන්වහන්සේට ළං වීමට උන්වහන්සේ අපට අවස්ථාව ලබා දෙනවා.
මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයට ඔබ සමග එක්වීමට ලැබීම මට ප්‍රීතියක්. මෙය උන්වහන්සේගේ සභාවයි. අපි උන්වහන්සේගේ නාමයෙන් ලොව පුරා ගොඩනැගිලි සහ නිවාසවල රැස්ව සිටිනවා.
ගිවිසුම් මගින් අපි උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වූ විට අපි උන්වහන්සේගේ නාමය අප මතට ගන්නවා. උන්වහන්සේ තමයි මරණයෙන් නැවත නැගිටි සහ මහිමයට පත් වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්. අපි තමයි පාපයට හා මරණයට යටත් වෙන, ලෞකික මිනිසුන්. ඒත්, අපි හැම කෙනෙක්ටම උන්වහන්සේගේ ප්‍රේමය තුළ, උන්වහන්සේ වෙතට ළං වීමට ගැලවුම්කරුවාණන් අපට ආරාධනා කරනවා.
උන්වහන්සේ අපට කරන ආරාධනය මෙයයි: “මා නුඹලා වෙතට ලඟාවන්නාක් මෙන් මා වෙතට ලඟාවන්න; මා උද්යෝගයෙන් සොයන්න තවද නුඹලාට මා හමුවන්නේය; ඉල්ලන්න, තවද නුඹලාට ලැබෙන්නේය; තට්ටු කරන්න තවද එය නුඹලාට විවෘතකර දෙනු ලබන්නේය”
අපට ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප බවක් දැනෙන වෙලාවල් තියෙනවා. එමෙන්ම, සමහර විට අපගේ ලෞකික පරීක්ෂාවන් අතරතුර, අපට උන්වහන්සේගෙන් යම් දුරස් බවක් දැනෙන්න පුළුවන්, ඒවගේම උන්වහන්සේ අපගේ හදවත් තුළ ඇති දේ දන්නා බවත්, පුද්ගලයන් වශයෙන් අපට ප්‍රේම කරන බවත් සහතිකයක් ලබා ගැනීමට අපි ප්‍රාර්ථනා කරනවා.
ගැලවුම්කරුවාණන්ගේ ආරාධනයට එම සහතිකය දැනීමේ මාර්ගය ඇතුළත්. සැමවිටම උන්වහන්සේව සිහිපත් කිරීමෙන් උන්වහන්සේට ළං වන්න. ශුද්ධලියවිලි අධ්‍යයනය තුළින් ඉතා උද්‍යෝගයෙන් උන්වහන්සේව සොයන්න. උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ට සමීප වන ලෙස හෘදයාංගම යාච්ඤාව තුළින් ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඉල්ලන්න.
ඒ ගැන සිතීමට සරල ක්‍රමයක් තියෙනවා. ඔබ ඔබේ ආදරණීය මිතුරන්ගෙන් ටික කලකට වෙන් වුවහොත් ඔබ කරන්නේ එයයි. ඔබ ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමට ක්‍රමයක් සොයා ගනියි, ඔවුන්ගෙන් ඔබට ලැබෙන ඕනෑම පණිවිඩයක් ඔබ අගය කරයි, ඒවගේම ඔවුන්ට උපකාර කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම ඔබ කරයි.
එය වැඩි වැඩියෙන් සිදු වන තරමට, එය දිගු කල් පවතින තරමට, සෙනෙහසේ බැඳීම ගැඹුරු වන අතර, ඔබ වඩ වඩාත් සමීප වන බවක් ඔබට දැනෙයි. ආදරණීය සන්නිවේදනය සහ එකිනෙකාට උපකාර කිරීමට අවස්ථාවක් නොමැතිව බොහෝ කාලයක් ගත වුවහොත්, බැඳීම දුර්වල වී යයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සෑම කෙනෙකුටම ප්‍රේම කරනවා. උන්වහන්සේට සමීප වීමට උන්වහන්සේ එම අවස්ථාව ලබා දෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ස්වර්ගික පියාණන්වහන්සේට යාච්ඤා කිරීම තුළින් සන්නිවේදනය කිරීමෙන්, ආදරණීය ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම් වලට සවන් දීමෙන් සහ ඉන්පසු ගැලවුම්කරුවාණන් වෙනුවෙන් සතුටු සිතින් අන් අයට සේවය කිරීමෙන්, ප්‍රේමණීය මිතුරෙකු සමග මෙන්, ඔබත් එය බොහෝ දුරට ඒ ආකාරයෙන්ම කරයි. උන්වහන්සේ වෙත සමීප වීමේ ආශිර්වාදය ඉක්මනින්ම ඔබට දැනෙයි.
මගේ කුඩා අවධියේදී, ගැලවුම්කරුවාණන් වෙත සමීප වීමේ ප්‍රීතිය—සහ ආඥාවලට කීකරු වීමේ සරල ක්‍රියාවන් තුළින්—උන්වහන්සේ මා වෙත සමීප වීම මම අත්වින්ඳා. මම කුඩා කාලේ, සක්‍රමේන්තුව ලබා දුන්නේ සවස රැස්වීමකදී. අවුරුදු 75කට පෙර, එළිය අඳුරු සහ සීතල වූ එක් නිශ්චිත රාත්‍රියක් මට තවමත් මතකයි. සක්‍රමේන්තුවට සහභාගී වීම සඳහා ශුද්ධවන්තයන් සමඟ එක්රැස් වීමේ ආඥාව මා පිළිපැද්ද බවත්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ පුත්‍රයාණන් සැමවිටම සිහිපත් කර උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට ගිවිසුමක් ඇති කරගත් බවත් මට වැටහුණු විට, ආලෝකය සහ උණුසුම දැනුණු බව මට මතකයි.
එදින රාත්‍රියේ රැස්වීම අවසානයේදී අපි “අහෝ ගැලවුම්කරුවාණෙනි, මේ රාත්‍රියේ මා සමඟ රැඳී සිටින්න” යන අමතක නොවන වචන සමඟින් “Abide with Me; ’Tis Eventide” යන ගීතිකාව ගායනා කළා.
කුඩා පිරිමි ළමයෙකු ලෙස උනත් මෙම වචන මට ආත්මයාණන් පිළිබඳ අතිමහත් හැඟීමක් ගෙන ආවා. ඒ සන්ධ්‍යාවේ මට ශුද්ධාත්මයාණන්ගේ සැනසීම තුළින් ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය හා සමීපභාවය දැනුණා.
වසර ගණනාවකට පසු, මගේ තරුණ කාලයේ එම සක්‍රමේන්තු රැස්වීමේදී මට ස්වාමින්වහන්සේ සමඟ දැනුණු සමීපභාවය සහ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය පිළිබඳ හැඟීම නැවත ඇති කරගැනීමට මට අවශ්‍ය වුණා. ඒ නිසා මම ශුද්ධලියවිලි සොයා බැලිය යුතුය කියන තවත් සරල ආඥාවක් පැවැත්වුවා.
ලූක්ගේ පොතේ, උන්වහන්සේගේ කුරුසියේ ඇණ ගසා භූමදානය කිරීමෙන් පසු තුන්වන දින, ඇදහිලිවන්ත සේවකයන් ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති ප්‍රේමය නිසා උන්වහන්සේගේ ශරීරය ආලේප කිරීමට පැමිණි ආකාරය ගැන මම කියෙව්වා. ඔවුන් පැමිණි විට, සොහොන් ගෙයින් ගල ඉවතට පෙරළා තිබෙනු දුටුවා, ඒවගේම උන්වහන්සේගේ දේහය එහි තිබුණේ නැහැ.
දේවදූතයන් දෙදෙනෙක් ළඟින් සිටගෙන ඔවුන් බිය වන්නේ ඇයි කියලා ඇසුවා:
“ජීවත්ව සිටින තැනැත්තා මළවුන් අතරේ නුඹලා සොයන්නේ මක්නිසාද?”
“උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගුටුණුසේක.
“මනුෂ්‍ය පුත්‍රයා පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්ටත් කුරුසියෙහි ඇණගසනු ලබන්ටත් තුන්වෙනිදා නැවත නැගිටින්ටත් ඕනෑය කියා ඔවුන්ට කීවෝය.”
එදින සවස් වරුවේ, ගෝලයන් දෙදෙනෙක් යෙරුසලමේ සිට එම්මාවුස් වෙත යන මාර්ගයේ ඇවිද ගිය අතර, මරණයෙන් නැවත නැගිටි ස්වාමීන්වහන්සේ ඔවුන්ට දර්ශනය වී ඔවුන් සමඟ ඇවිද ගියා.
ලූක්ගේ පොත අපට ඔවුන් සමඟ එදින සවස ඇවිදින්නට ඉඩ සලස්වනවා:
“තවද ඔවුන් කථාකරමින් විචාරමින් සිටියදී යේසුස්වහන්සේම ඔවුන් ළඟට පැමිණ ඔවුන් සමග ගියසේක.
“නුමුත් ඔවුන් උන්වහන්සේ නාඳුනන ලෙස ඔවුන්ගේ ඇස් බැඳී තිබුණේය.
“උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කථාකරකර යන්නාවූ මේ කාරණා මොනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු දුක්ඛිත මුහුණුවලින් යුක්තව නැවතුණෝය.
ඔවුන්ගෙන් ක්ලෙයෝපස් නම් එක්කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින්: මේ දවස්වලදී යෙරුසලමෙහි විදේශීව සිටිමින්, එහි සිදුවූ කාරණා නොදන්නේ නුඹ පමණක්දැයි උන්වහන්සේට කීවේය?”
යේසුස්වහන්සේ ඊශ්‍රායෙලයේ මිදුම්කරුවාණන් වන බව විශ්වාස කළ, ඔහු මිය ගිය බව දැනගත් ඔවුහු තම දුක උන්වහන්සේට කිව්වා.
මෙම ශෝකජනක හා වැලපෙන ගෝලයන් දෙදෙනාට කතා කරන විට මරණයෙන් නැවත නැගිටි ස්වාමීන්වහන්සේගේ හඬෙහි සෙනෙහසක් තියෙන්න ඇති.
මම කියවගෙන යනකොට, මට පොඩි කාලේ දැනුණු විදියටම, මගේ හදවත උණුසුම් කළ මෙම වචන ආවා:
“ඔව්හු යන්ට ගිය ගමට ළංවූවෝය. උන්වහන්සේ වනාහි වඩා දුර යන්නාක්මෙන් දැක්වූසේක.
“නුමුත් ඔව්හු: දවස බොහෝ ගතවී, සවස්වේගන එන බැවින්, අප සමග නැවතුණ මැනව කියා උන්වහන්සේට උදක්ම පෙරැත්ත කළෝය. උන්වහන්සේ ඔවුන් සමග නවතින්ට ඇතුළට ගියසේක.”
එදින රාත්‍රියේ ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ගේ නිවසට ඇතුළු වීමට ලැබුණු ආරාධනය පිළිගත්තා. ඔහු ඔවුන් සමඟ කෑමට වාඩි වුණා. උන්වහන්සේ රොටි ගෙන, ආශීර්වාද කර, කඩා, ඔවුන්ට දුන්නා. ඔවුන්ගේ ඇස් ඇරුණා, ඔව්හු උන්වහන්සේව හඳුනාගත්තා. එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියා.
එම ආශිර්වාද ලත් ගෝලයන්ගේ හැඟීම් ලූක් අප වෙනුවෙන් මෙහෙම වාර්තා කළා: “එකල ඔව්හු: උන්වහන්සේ අප සමග මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කථා කරගත්තෝය?”
ඉන්පසු ගෝලයන් දෙදෙනා සිදු වූ දේ ප්‍රේරිතවරුන් එකොළොස් දෙනාට පැවසීමට යෙරුසලමට ආපසු ගියා. ඔවුන් තම අත්දැකීම් බෙදා ගනිමින් සිටියදී, ගැලවුම්කරුවාණන් නැවතත් දර්ශනය වුණා.
උන්වහන්සේ ඔවුන් මැද සිටගෙන “නුඹලාට සමාදානය වේවයි” කියා ඔවුන්ට පැවසුවා. ඉන්පසු උන්වහන්සේ තම පියාණන්වහන්සේගේ සියලු දරුවන්ගේ පාපවලට සමාව ලබා ගැනීමට සහ මරණයේ බැඳීම් බිඳ දැමීමට උන්වහන්සේගේ ධර්මදූතය පිළිබඳ අනාවැකි සමාලෝචනය කළා.
“එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා, ඔවුන්ට කියන සේක්: මෙසේ ක්‍රිස්තුස්වහන්සේ වධ විඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්,
“යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.
“නුඹලා මේ දේවලට සාක්ෂිකාරයෝය.”
උන්වහන්සේගේ ආදරණීය ගෝලයන් මෙන්, බව්තීස්මයේ දොරටුවෙන් ඇතුළු වීමට තෝරාගෙන ඇති ස්වර්ගික පියාණන්වහන්සේගේ සෑම දරුවෙකුම ගැලවුම්කරුවාණන්ගේ සාක්ෂිකරුවෙකු වීමට සහ අපගේ ලෞකික ජීවිත කාලය පුරාම අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීමට ගිවිසුමක් යටතේ ඉන්නවා. මෙම කැපවීම සියවස් ගණනාවකට පෙර මොර්මොන්ගේ ජලයේදී ශ්‍රේෂ්ඨ මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘ ඇල්මා විසින් අපට පැහැදිලි කරනු ලැබුවා:
“තවද දැන් නුඹලා රැල තුළට පැමිණීමට ආශාවන්නෙහුය, තවද උන්වහන්සේගේ ජනතාව ලෙස නම් කරනු ලැබීමටද, එනම් ඒවා සැහැල්ලු වන පිණිස එකිනෙකාගේ බර ඉසිලීමට කැමැත්තද;
“එසේය, ශෝකවන්නන් සමග එනම් ශෝකවීමට කැමැත්තද; එසේය තවද සැනසිල්ල අවශ්‍යවන්නන් උදෙසා නැගීසිට සැනසීමටද, තවද සියලු කාලයන්හිද, සියලු දේවල් තුලෙහිද, තවද නුඹ සිටින්නාවූ සියලු ස්ථානයන්හි … , මරණය දක්වා වුවත්, දෙවියන්වහන්සේට සාක්ෂියක්ව නැගී සිටීමටද, එනම් නුඹලා දෙවියන්වහන්සේ විසින් මුදනු ලැබීමටද, … එනම් නුඹලාට සදාකාල ජීවිතය ලබා ගැනීමටය.”
ඔබ මෙම පොරොන්දු වලට ඇදහිලිවන්තව සිටින විට, ඔබේ සේවයේදී ඔබ සමඟ එකමුතුව සිටීමටත්, ඔබේ බර සැහැල්ලු කිරීමටත් ස්වාමීන්වහන්සේ දුන් එම පොරොන්දුව උන්වහන්සේ ඉටු කරන බව ඔබට පෙනෙයි. ඔබ ගැලවුම්කරුවාණන්ව දැන හඳුනා ගනී, කාලයත් සමඟ ඔබ උන්වහන්සේ හා සමාන වී “උන්වහන්සේ තුළ පරිපූර්ණ වෙයි.” ගැලවුම්කරුවාණන් වෙනුවෙන් අන් අයට උපකාර කිරීමෙන්, ඔබ උන්වහන්සේට සමීප වන බව ඔබට පෙනෙයි.
ඔබගෙන් බොහෝ දෙනෙකුට සදාකාල ජීවනයට යන මාර්ගයෙන් ඉවතට යන ආදරණීයයන් ඉන්නවා. ඔවුන්ව නැවත ගෙන ඒමට ඔබට තවත් කුමක් කළ හැකිදැයි ඔබ කල්පනා කරනවා. ඔබ ඇදහිල්ලෙන් උන්වහන්සේට සේවය කරන විට, ඔවුන්ට සමීප වීමට ඔබට ස්වාමීන්වහන්සේ මත විශ්වාසය තියන්න පුළුවන්.
ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන් උන්වහන්සේගේ රාජකාරි සඳහා ඔවුන්ගේ පවුල්වලින් ඈත්ව සිටියදී ස්වාමින්වහන්සේ දුන් පොරොන්දුව ඔබට මතක ඇති: “මාගේ මිත්‍රයන් වූ සිඩ්නි සහ ජෝසෆ්, නුඹලාගේ පවුල් හොඳින්ය; ඔවුන් මාගේ හස්තයෙහි පවතින්නෝය, තවද මම මට යහපත් ලෙස ඔවුන් සමඟ ක්‍රියාකරන්නෙමි; මක්නිසාද මා තුළ සියලු බලය ඇත්තේය.”
අවශ්‍යතා ඇති අයගේ තුවාල ඔබ බඳින විට, ස්වාමීන්වහන්සේගේ බලය ඔබව අනුමත කරනවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට උපකාර කිරීමට සහ ආශිර්වාද කිරීමට උන්වහන්සේගේ දෑත් ඔබගේ දෑත් සමඟ දිගු කරනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සෑම ගිවිසුම් සේවකයෙකුම උන්වහන්සේ වෙනුවෙන් අන් අයට ආශිර්වාද කර සේවය කරන විට, ඔවුන්ට ශුද්ධාත්මයාණන් තුළින් උන්වහන්සේගේ මගපෙන්වීම ලැබෙනවා. එවිට ඔවුන්ට ශුද්ධාත්මයාණන්ගේ ප්‍රේමය දැනෙනු ඇති අතර උන්වහන්සේ වෙතට ළං වීමෙන් ප්‍රීතිය ලැබෙනවා.
මම හරියටම එම්මාවුස් පාරේ නිවසේ ගෝලයන් දෙදෙනා සමඟ එහි සිටියාක් මෙන් ස්වාමීන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ සාක්ෂිකරුවෙක්. උන්වහන්සේ ජීවත් වන බව මම දන්නවා.
මෙය උන්වහන්සේගේ සැබෑ සභාවයි - යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවයි. විනිශ්චය දිනයේදී, අපි ගැලවුම්කරුවාණන් ඉදිරියේ මුහුණට මුහුණලා පෙනී සිටිනවා. මේ ජීවිතයේ දී, උන්වහන්සේගේ සේවය තුළ උන්වහන්සේට සමීප වී ඇති සහ උන්වහන්සේගේ වචන අසන්නට උනන්දුවෙන් අපේක්ෂා කළ හැකි අයට එය මහත් ප්‍රීතිමත් කාලයක් වෙයි: “යහපත්වූ විශ්වාසවූ දාසය, ඒ යහපත ය.”
මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් සහ අපගේ මිදුම්කරුවාණන් පිළිබඳ සාක්ෂිකරුවෙකු ලෙස මම සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.