ගිවිසුම්ගත අනුගාමිකත්වය මගින් ලැබෙන ප්‍රීතිය
ගිවිසුම්ගත අනුගාමිකයන් ලෙස ක්‍රියා කිරීමට අප බැඳී සිටින විට, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය පොහොසත් වෙනවා, අපගේ ප්‍රීතිය වැඩි දියුණු වෙනවා, සහ අපගේ සදාකාලික දෘෂ්ටිකෝණය පුළුල් වෙනවා.
2023 එක දවසක, මොන්ගෝලියානු ධර්මදූත සභාපතිවරයා ඇගේ සේවා ස්ථානයට ඇතුළු වන විට උයන්ගා අල්ටන්සුක් උතුරු මොන්ගෝලියානු නගරයක් වන ඩාර්කාන් හි රැකියාවක නිරතව සිටියා. ඇගේ වචනෙන්:
“මම ඔහුව දැකලා හිතුවා ඔහුගේ මුහුණේ මේ දීප්තිමත් ආලෝකය තියෙනවා කියලා. ඔහු වටේ ඉන්න අයට ඉතා කරුණාවන්ත කෙනෙක් හා විනෝදජනක කෙනෙක් වූ අතර මට උණුසුමක් දැනුණා. ඔහු පිටත් වෙන්නට පෙර මම ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. දවස් කිහිපයකට පස්සේ, ඔහු නැවතත් මගේ රැකියා ස්ථානයට ඇවිත් මට ඔහුගේ සභාවට සහභාගි වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මම හිතුවා එය උදව්වක් වෙයි කියලා. සමාජය ආතතිය හා අඳුරෙන් පිරී තිබෙන බවක් පෙනෙන්නට තිබූ නිසා, මම මගෙ දරුවන්ගේ අනාගතය ගැන කනස්සල්ලට පත්වෙලා හිටියා. මට අවශ්‍ය වුණේ ඔවුන් වටා සිටින අන් අයට ප්‍රීතිය පතුරමින් මගේ දරුවන්ගෙත් මේ මිනිසා වගේ මුහුණේ ආලෝකයක් තියෙනවා දකින්න.
එක දවසක් ධර්මදූතයන් අපිට දසයෙන් කොටස ගැන නීතිය ඉගැන්නුවා. මගේ දරුවෝ උද්යෝගයෙන් මෙහෙම කිව්වා, ‘අම්මේ අපි අපේ දසයෙන් කොටස ගෙවන්න ඕනේ.’ මගේ දරුවන්ගේ ඇදහිල්ල මට ඒ මොහොතෙදී දකින්න පුළුවන් වුණා. මම සභාවට සම්බන්ධ වෙන්න කලින්, මම ප්‍රධාන සම්මන්ත්‍රණය නැරඹුවා, සභාපති රසල් එම්. නෙල්සන් කතා කරනවාට සවන් දුන්නා. ඔහු ලොව පුරා නව දේවමාළිගා නිවේදනය කළ අතර මොන්ගෝලියාවේ උලාන්බාතර් හි නව දේවමාළිගාවක් ඉදිකරන බව පැවසුවා. ඒ ඇයි කියලා මට තේරුණේ නැති වුණත් මම සතුටට පත් වෙලා කඳුළු සැලුවා. මේ ප්‍රීතිය සමගින් මගේ ඇදහිල්ල සහ සාක්ෂිය වර්ධනය වෙමින් ඇති බව මට වැටහුණා.”
උයන්ගා, මිලියන ගණනක් අනික් අය වගේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට සූදානම් වීම සඳහා ශ්‍රේෂ්ඨ ඊශ්‍රායෙලය එක් රැස් කිරීමේ කොටසක්. ඇය ගිවිසුම් මාවත ඔස්සේ ඇගේ ගමන ආරම්භ කර ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු බවට පත්වුණා. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ගෝලයා යන වචනයට ජපන් භාෂාවෙන් තිබෙන වචනය මම අගය කරනවා—ඒ තමයි ඩෙශි—ඩෙ කියන්නෙ බාල සහෝදරයා, ඒවගේම ශි කියන්නෙ දරුවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “මම ආරම්භයේදී පියාණන්වහන්සේ සමඟ වූයෙමි, තවද මම කුළුඳුලාණෝය.” උන්වහන්සේ කවුද කියා අප දන්නා නිසා සහ උන්වහන්සේ කර ඇති දේ නිසා, අපි උන්වහන්සේට නමස්කාර කරනවා, උන්වහන්සේට ගරු කරනවා, උන්වහන්සේට මහිමය දෙනවා, උන්වහන්සේව අනුගමනය කරනවා. ක්‍රිස්තුස්වහන්සේ අපව මුදවාගෙන ඇති අතර, උන්වහන්සේගේ අසීමිත හා වන්දිගෙවීමේ පරිත්‍යාගයට අපි සදහටම කෘතඥ වෙනවා.
අපට ස්වර්ගික පියාණන්වහන්සේ සිටින අතර, උන්වහන්සේ අපට උන්වහන්සේගේ දරුවන් ලෙස ප්‍රේම කරනවා. උන්වහන්සේ අප වෙත දක්වන ප්‍රේමය පරිපූර්ණයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ මෙහෙවර දෙවියන්වහන්සේ අප වෙත දක්වන ප්‍රේමය නිරූපණය කරනවා. යොහන් ලියූ ආකාරයට, “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක, එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමකෙනෙකුම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”
අප දන්නේ නැති දේවල් තේරුම් ගැනීමේ අපගේ ගවේෂණයේදී, අපි සමහර විට අපගේ හුරුපුරුදු ලෞකික අත්දැකීම් හෝ අප දන්නා දේවල් මත විශ්වාසය තියන්න පුළුවන්. උදාහරණයක් ලෙස, අපගේම දෙමාපියභාවය සහ ලෞකික පවුල් සබඳතා තුළින් අපට පියාණන් වන දෙවියන්වහන්සේ ගැන යම් ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන්. කෙසේ වෙතත්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේව තේරුම් ගැනීමට අප දරන උත්සාහයේදී මෙම සැසඳීම් ඕනෑවට වඩා යෙදීමේදී අප ප්‍රවේශම් විය යුතු වෙනවා. දෙවියන් වන පියාණන්වහන්සේගේ ගුණාංග, වැටුණු මිනිසෙකුගේ ඕනෑම පරිපූර්ණත්වයෙන් අඩු ගුණාංගයක් ඉක්මවා යනවා. දෙවියන් වන පියාණන්වහන්සේ පරිපූර්ණ පියෙක්. උන්වහන්සේ පරිපූර්ණ ලෙස ප්‍රේමණීය, කරුණාවන්ත, ඉවසිලිවන්ත, සහ අවබෝධයෙන් යුත් සහ පරිපූර්ණ ලෙස තේජාන්විතයි. අපට උන්වහන්සේව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන්. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය පියාණන් වන දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කරන අතර එම ප්‍රේමයේ නිරූපණයක් වෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආදර්ශය සහ මාධ්‍යය යන දෙකම වෙනවා. ක්‍රිස්තුස්වහන්සේ තුළ, අපට පියාණන්වහන්සේගේ පරිපූර්ණ ගුණාංග සහ උන්වහන්සේගේ සැලැස්ම වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන්. ක්‍රිස්තුස්වහන්සේ තුළින්, අපට ස්වභාවික පුරුෂයන් සහ කාන්තාවන්ගේ ප්‍රවණතා ජය ගැනීමට හැකිවන බලය ලබා දී ඇති අතර එමඟින් අපට පියාණන්වහන්සේ හා සමාන වෙන්න පුළුවන්.
අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වගේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේද පරිපූර්ණ ලෙස දයානුකම්පිත හා යුක්තිසහගතයි. යුක්තිය සහ දයාව යන මෙම දිව්‍යමය ගුණාංග එකිනෙකට ප්‍රතිවිරුද්ධ නැහැ. ඒවා අනුපූරක යි. යුක්තිය සහ දයාව යන දෙකම දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් කෙරෙහි දක්වන පරිපූර්ණ ප්‍රේමය නිරූපණය කරනවා. අපට පියාණන් වන දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කළ හැක්කේ ඔවුන් අප සැමට සාධාරණ හා අවංක හින්දයි.
පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අරමුණ හා ප්‍රේමය තුළ පරිපූර්ණ ලෙස පෙළ ගැසී සිටිනවා. දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කරන නිසා, සැබෑ අනුගාමිකයන් ලෙස උන්වහන්සේලා සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට අපට අවස්ථාව සහ වරප්‍රසාදය ලබා දී තිබෙනවා. එසේ කිරීමෙන් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය පුළුල් වෙනවා, “තවද දැන් නුඹලා විසින් කළාවූ ගිවිසුම නිසා නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්, උන්වහන්සේගේ පුත්‍රයන්, තවද උන්වහන්සේගේ දූවරුන් යයි නම්කරනු ලබන්නෝය; මක්නිසාද බලන්න, මේ දවසේ උන්වහන්සේ නුඹලාව ආත්මිකව ඉපිදවූ සේක; මක්නිසාද නුඹලාගේ හදවත් වෙනස් වූයේ උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ලෙන් බව නුඹලා කියන්නෝය; එසේහෙයින්, නුඹලා උන්වහන්සේගෙන් ඉපිද තවද උන්වහන්සේගේ පුත්‍රයන් සහ උන්වහන්සේගේ දූවරුන් වී සිටින්නෝය.”
අනුගාමිකයන් වශයෙන්, අපි පරිශුද්ධ ගිවිසුම් ඇති කරගෙන ඒවා පිළිපදින විට, අපව අධ්‍යාත්මික බලයෙන් ආශිර්වාදමත් වෙනවා. අපි ක්‍රිස්තුස්වහන්සේ හා පියාණන් වන දෙවියන්වහන්සේ සමඟ විශේෂ සම්බන්ධතාවයකින් බැඳී සිටින අතර ගිවිසුම් ඇති කරගෙන ඒවා පිළිපැද්ද අයට පමණක් වෙන් කර ඇති ප්‍රමාණයකින් උන්වහන්සේලාගේ ප්‍රේමය හා ප්‍රීතිය අත්විඳින්න පුළුවන්. දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ සම්පූර්ණ ප්‍රමාණයක් දැනීමට හෝ උන්වහන්සේගේ ප්‍රේමය තුළ නොකඩවා සිටීමට අපට ඇති හැකියාව රඳා පවතින්නේ අපගේ ධර්මිෂ්ඨ ආශාවන් සහ ක්‍රියාවන් අනුවයි.
යොහන් 15 වන පරිච්ඡේදයේ 9 වන පදයේ අපි මෙසේ කියවනවා, “පියාණන්වහන්සේ මට ප්‍රේම කළාක් මෙන්ම මමත් නුඹලාට ප්‍රේම කෙළෙමි.” ඉන්පසු අපට ආරාධනාවක් ලැබෙනවා, “මාගේ ප්‍රේමයෙහි පැවතියල්ලා.”
ඊළඟ පදයේ, උන්වහන්සේගේ ප්‍රේමයේ දිගටම සිටීමට මාර්ගය අපට ලබා දී තියෙනවා: “මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම ඔබ සැමත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.”
ඉන්පසු 11 වන පදයේ ආඥා පිළිපැදීමේ අරමුණ අපට පෙනෙනවා: “මාගේ ප්‍රීතිය ඔබ සැම තුළෙහි පවතින පිණිසද ඔබ සැමගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් ඔබ සැමට කීවෙමි.”
සැබෑ ගිවිසුම් අනුගාමිකයෙක් වීමෙන්, අපට දෙවියන්වහන්සේගේ ස්වභාවය සහ උන්වහන්සේගේ සියලු දරුවන් අත්විඳීමට කැමති ප්‍රීතිය වඩා හොඳින් තේරුම් ගැනීමට පටන් ගන්න පුළුවන්. මුලදී ව්‍යාකූල බවක් පෙනෙන්නට තිබුණු සමහර මූලධර්ම අපට තේරුම් යන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන්, දෙවියන්වහන්සේගේ සමහර දරුවන් මෙතරම් දුක් විඳින විට, දෙවියන්වහන්සේට පූර්ණ ප්‍රීතියක් ලැබෙන්නේ කොහොමද? පිළිතුර තියෙන්නේ දෙවියන්වහන්සේගේ පරිපූර්ණ දෘෂ්ටිකෝණය සහ උන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම තුළයි. උන්වහන්සේ අපව ආරම්භයේ සිට අපගේ තේජාන්විත දියුණු කළහැකි අනාගතය දක්වා දකිනවා. උන්වහන්සේගේ දරුවන් වන අප සැමට, අපගේ ලෞකික වේදනාවන්, දුක් වේදනා, පාප, වරදකාරිත්වය සහ තනිකම ජය ගැනීමට මාර්ගයක් උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්, සපයලා තියෙනවා. දෙවියන්වහන්සේ අපට මාර්ගය සහ තේරීම සපයලා තියෙනවා.
අනුගාමිකත්වය තුළින් ප්‍රීතිය අත්විඳ ඇති අයගේ උදාහරණ මෙම සංකල්පය වඩා හොඳින් තේරුම් ගැනීමට අපට උපකාරී වෙන්න පුළුවන්. අපි සතුටින් සිටින්නේ අපේ අසතුටින් සිටින දරුවා තරම්ම පමණයි යන වාක්‍ය ඛණ්ඩය ඔබ සමහරවිට අහලා ඇති. මෙය එසේ විය යුතු නැති බව මම දැකලා තියෙනවා. මගේ 94 හැවිරිදි මවගේ පරම්පරාවෙන් පැවත එන්නන් 200කට වඩා සිටිනවා. ඕනෑම අවස්ථාවක, අවම වශයෙන් 200 දෙනාගෙන් එක් කෙනෙක් හෝ අසතුටින් සිටිනවා. මේ ප්‍රකාශය සත්‍ය නම්, මගේ මව නිරන්තරවම අසතුටින් සිටිනු ඇත, ඇය එහෙම නැහැ. ඇයව දන්න අය දන්නවා ඇය කොච්චර සතුටින්ද ඉන්නෙ කියලා.
දැන් මම තවත් අත්දැකීමක් බෙදාගන්න කැමතියි. 2019 ජනවාරි මාසයේදී, මගේ බිරිඳ ඩෙබීට සහ මට සභාපති නෙල්සන්ගේ කාර්යාලයට ආරාධනයක් ලැබුණා. ඔහු අපට සමීපව පුටුවක් තබා තිබූ අතර, අපි දණහිසට දණහිසට ළංව වාඩි වී සිටියා. අපගේ පවතින කැඳවීම අපට ලබා දීමෙන් පසු, සභාපති නෙල්සන් ඩෙබී දෙසට හැරී ඇය කෙරෙහි අවධානය යොමු කළා. ඔහු පරිපූර්ණ පියෙකු හෝ සීයා කෙනෙකු මෙන් කරුණාවන්ත, ආදරණීය, මෘදු සහ ප්‍රීතියෙන් පිරී සිටියා. ඔහු ඩෙබීගේ අත අල්ලාගෙන එයට තට්ටු කරමින්, සියල්ල හොඳින් සිදුවන බවත්, අපේ පවුලට ආශීර්වාද ලැබෙන බවත් ඇයට සහතික කළා. ඒ මොහොතේ අපි ඔහුට වඩාත්ම වැදගත් පුද්ගලයන් බවත්, ඔහු ලෝකයේ සියලුම වෙලාව අප වෙනුවෙන් වෙන් කරලා වගේ අපිට පෙනුණා. ඒ සිකුරාදා දහවල් අපි ඔහුගේ කාර්යාලයෙන් සහතිකයක්, ආදරයක් සහ ප්‍රීතියක් දැනෙමින් පිටව ගියා.
සඳුදා අපි ප්‍රවෘත්ති දැක්කා. සභාපති නෙල්සන් අප සමඟ ගත කළ දිනයේම, ඔහුගේ දියණියක් පිළිකාවෙන් මිය ගිහින්. අපි තුෂ්නිම්භූත වුණා. ඔහු සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් ශෝකයෙන් අපගේ හදවත් පිරී තිබුණා. වේදනා විඳින ඔහුගේ දියණිය වෙනුවෙන් ශෝක වන අතරතුර, ඔහු අප කෙරෙහි දැක්වූ ක්‍රිස්තුස්වහන්සේගේ සැලකිල්ල ගැන අපගේ හදවත් කෘතඥතාවයෙන් පිරී තිබුණා.
අපි මේ අත්දැකීම ගැන මෙනෙහි කරන විට, අපි අපෙන්ම මෙසේ අසා ගත්තා, “මෙතරම් දුෂ්කර වේලාවකදී ඔහු මෙතරම් කරුණාවන්ත, ප්‍රේමණීය සහ ප්‍රීතිමත් වන්නේ කෙසේද?” පිළිතුර වන්නේ මොකද ඔහු දන්නවා. ක්‍රිස්තුස්වහන්සේ ජයග්‍රහණය කර ඇති බව ඔහු දන්නවා. ඔහු දන්නවා ඔහු ආයෙත් එයාගේ දුව එක්ක ඉන්නවා කියලා, එයා එක්ක සදාකාලිකත්වය ගත කරනවා කියලා. ගිවිසුම් ඇති කර ගැනීමෙන් සහ ඒවා තබා ගැනීමෙන් සහ ක්‍රිස්තුස්වහන්සේ වැනි අනුගාමිකයෙකු වීමෙන් ගැලවුම්කරුවාණන් වෙත බැඳී සිටීම තුළින් ප්‍රීතිය හා සදාකාලික දෘෂ්ටිකෝණය පැමිණෙනවා.
සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා: “ගැලවුම්කරුවාණන් ‘සියලු අවබෝධය ඉක්මවා යන’ සාමය ලබා දෙනවා සේම [පිලිප්පි 4:7], උන්වහන්සේ මනුෂ්‍ය තර්කනය හෝ ලෞකික අවබෝධය ප්‍රතික්ෂේප කරන ප්‍රීතියේ තීව්‍රතාවයක්, ගැඹුරක් සහ පළලක් ද පිරිනමනවා. උදාහරණයක් වශයෙන්, ඔබේ දරුවා සුව කළ නොහැකි රෝගාබාධයකින් පෙළෙන විට හෝ ඔබේ රැකියාව අහිමි වූ විට හෝ ඔබේ සහකරු හෝ සහකාරිය ඔබව පාවා දෙන විට සතුටක් දැනිය නොහැකි බව පෙනෙන්න පුළුවන්. එහෙත් ගැලවුම්කරුවාණන් පිරිනමන ප්‍රීතිය එයයි.
අපි ගිවිසුම් ඇති කරගෙන ඒවා පිළිපදින විට, අපි ස්වභාවයෙන්ම පිටතට හැරී අපගේ ගිවිසුම් සබඳතාවලදී අපට දැනෙන ප්‍රීතිය හා ප්‍රේමයේ මිනුම අන් අයට දැනීමට උපකාර කිරීමට ආශාවක් ඇති කර ගන්නවා. අද පොළොවේ ඇති ශ්‍රේෂ්ඨතම හේතුව වන—ඊශ්‍රායෙලයේ එක්රැස් කිරීමේ කොටස්කරුවෙකු වීමට අපිට පුළුවන්. දෙවියන්වහන්සේගේ දරුවන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමට අපට උදව් කරන්න පුළුවන්. අනාගතවක්තෘ යාකොබ් ඉගැන්වූ ලෙස, “තවද නුඹලා ආශිර්වාද ලද්දෙහුය; මක්නිසාද මා සමග මාගේ මිදිවත්තේ උද්‍යෝගයෙන් වෙහෙසවූ නිසාය, තවද මාගේ ආඥාවන්ට කීකරු වෙමින් මා වෙතට නැවත ස්වාභාවික ඵල ගෙන ආවේය, … බලන්න නුඹලාට මාගේ මිදිවත්තේ ඵල නිසා මා සමග ප්‍රීතිය වන්නේය.”
ගිවිසුම්ගත අනුගාමිකයන් ලෙස ක්‍රියා කිරීමට අප බැඳී සිටින විට, අපගේ ධාරිතාවය කුමක් වුවත්, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන් සමඟ අපගේ සම්බන්ධතාවය පොහොසත් වෙනවා, අපගේ ප්‍රීතිය වැඩි දියුණු වෙනවා, සහ අපගේ සදාකාලික දෘෂ්ටිකෝණය පුළුල් වෙනවා. එවිට අප බලයෙන් සැරසෙන අතර දෙවියන්වහන්සේගේ සැබෑ ගිවිසුම් අනුගාමිකයන් සඳහා වෙන් කර ඇති ප්‍රමාණයකින් අපට ප්‍රීති වෙන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.