ප්‍රධාන සම්මන්ත්‍රණය
කරුණාවේ සැලැස්ම
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:5

කරුණාවේ සැලැස්ම

ස්වාමින්වහන්සේ දයානුකම්පිතයි ඒවගේම අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම සැබවින්ම දයාවේ සැලැස්මක්.

අනාගතවක්තෘවරයෙකුගේ ආරාධනය

පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ, සභාව විසින් කර්ට්ලන්ඩ් දේවමාළිගාව අත්කරගත් බවට ලබාදුන් ප්‍රීතිමත් පුවත ලැබීමෙන් ටික කාලයකට පස්සෙ, සභාපති රසල් එම්. නෙල්සන් අපට දහම සහ ගිවිසුම් පොතේ 109 වන කොටසේ වාර්තා කරලා තිබෙන කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ කැපකිරීමේ යාච්ඤාව අධ්‍යයනය කිරීමට ආරාධනා කළා. සභාපති නෙල්සන් පැවසූ ආකාරයට, මේ කැපකිරීමේ යාච්ඤාව, “මෙම අවසාන දිනවලදී ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට මේ දේවමාළිගාව ඔබටත් මටත් අධ්‍යාත්මිකව ශක්තිය ලබා දෙන ආකාරය පිළිබඳ පාඩමක්.”

ඔබ 109 වෙනි කොටස අධ්‍යයනය කරද්දී, ඔබට ආශිර්වාද කළ අවබෝධයක් ලැබුණු බව මට විශ්වාසයි. අපගේ අනාගතවක්තෘවරයාගේ ආරාධනය අනුගමනය කිරීම මගින් මා ඉගෙනගත් දේවල් කිහිපයක් මම මේ සන්ධ්‍යාවේ බෙදා ගන්නම්. ස්වාමින්වහන්සේ කරුණාවන්ත බව සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම සැබවින්ම කරුණාවේ සැලැස්මක් බව, මගේ අධ්‍යයනයෙන් මට ලැබුණු සාමය ලබා දෙන මාවත ගැන මට මතක් කර දුන්නා.

දේවමාළිගාවේ සේවය කරන අලුතින් කැඳවන ලද ධර්මදූතවරුන්

ඔබ දන්නා පරිදි, “අලුතින් කැඳවනු ලබන ධර්මදූතවරුන්ට, හැකි ඉක්මනින් දේවමාළිගාවේ බලයෙන් සැරසීම ලබා ගැනීමටත්, අවස්ථාවන් ඉඩ දෙන සෑම විටම දේවමාළිගාවට පැමිණීමටත් දිරිගන්වනු ලැබෙනවා.” බලයෙන් සැරසීම ලබාගත්තට පස්සෙ, ඔවුන්ට “ධර්මදූත සේවය ආරම්භ කරන්න කලින් දේවමාළිගාවේ සේවකයින් විදියටත් සේවය කරන්න පුළුවන්.”

ධර්මදූත පුහුණු මධ්‍යස්ථානයට (MTC) ඇතුළු වීමට පෙර දේවමාළිගාවේ ගත කරන කාලය තුළ, නව ධර්මදූතයින් දේවමාළිගා ගිවිසුම් ගැන වැඩි විස්තර ඉගෙන ගද්දි, එම ගිවිසුම්වල ආශීර්වාද ලෝකය සමඟ බෙදාගැනීම ඔවුන්ට අපූරු ආශිර්වාදයක් වෙන්න පුළුවන්.

නමුත් 109 වන කොටස අධ්‍යයනය කරද්දි, දෙවියන්වහන්සේ නව ධර්මදූතයින්ව—ඇත්ත වශයෙන්ම, අපි හැමෝවම—අතිරේක, පරිශුද්ධ ආකාරයකින් බලගන්වන බව මම ඉගෙනගත්තා. එළිදරව් මගින් දෙන ලද කැපකිරීමේ යාච්ඤාවේදී, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙහෙම යාච්ඤා කළා “ඔබවහන්සේගේ නාමයෙන් සාක්ෂි දැරීමට, ඔබවහන්සේගේ සේවකයන් ඔබවහන්සේගේ ගෘහයෙන් පිටතට යන විට,” “සියලු මිනිසුන්ගේ” “හදවත්” මෘදු කළ මැනව—“පොළොවේ ශ්‍රේෂ්ඨ අයවළුන්ව” සහ “සියලු දුප්පතුන්ද, අවශ්‍යතා ඇත්තන්ද, තවද පොළොවේ පීඩා ලද්දවුන්වද මෘදු කළ මැනව.” “ඔවුන්ගේ මතය සත්‍ය ඉදිරියේ නැතිවී යන පිණිසත්, තවද ඔබවහන්සේගේ ජනතාව සියල්ලන් ඉදිරියේම ප්‍රසාදය හිමිකරගන්නා පිණිසත්; පොළොවේ සියලු කෙළවරවල්, ඔබවහන්සේගේ සේවකයින් වන අප, ඔබවහන්සේගේ හඬ අසා ඇති බවත්, තවද ඔබවහන්සේ අපව එවා ඇති බවත් පොළොවේ සියලු අන්තයන් දැනගන්නා පිණිසත්” ඔහු යාච්ඤා කළා.

“ඔවුන්ගේ මතය සත්‍ය ඉදිරියේ නැතිවී යන පිණිස”, “සියල්ලන් ඉදිරියේම ප්‍රසාදය හිමිකරගන්නා පිණිස” සහ ඔවුන් ස්වාමින්වහන්සේ විසින් එවන ලද බව ලෝකයට දැන ගැනීමට සැලැස්වීම—අලුතින් කැඳවන ලද ධර්මදූතයෙකුට ලැබෙන ලස්සන පොරොන්දුවක්. අපි හැමෝටම මේ ආශිර්වාදම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අසල්වැසියන් සහ රැකියා සගයන් සමඟ කටයුතු කරද්දි හදවත් මෘදු වීම මොනතරම් ආශිර්වාදයක් වෙයිද. මේ කැපකිරීමේ යාච්ඤාව දේවමාළිගාවේ අපගේ කාලය අන් අයගේ හදවත් මෘදු කරන්නේ කොහොමද කියලා හරියටම පැහැදිලි කරන්නේ නෑ, නමුත් ස්වාමින්වහන්සේගේ ගෘහයේ කාලය ගතකිරීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත සහ උන්වහන්සේගේ දයාව මත අපව කේන්ද්‍රගත කිරීමෙන්, අපගේම හදවත් මෘදු කරන ආකාරය මත එය බැඳී ඇති බව මට තේරිලා තිබෙනවා.

කරුණාව ඉල්ලා කළ ජෝසෆ් ස්මිත්ගේ ආයාචනයට ස්වාමින්වහන්සේ පිළිතුරු දෙන සේක

මම කර්ට්ලන්ඩ් දේවමාළිගාව කැපකිරීමේ යාච්ඤාව අධ්‍යයනය කරද්දි,—සභාවේ සාමාජිකයන් වෙනුවෙන්, සභාවේ සතුරන් වෙනුවෙන්, රටේ නායකයින් වෙනුවෙන්, පොළොවේ ජාතීන් වෙනුවෙන් අයැද සිටිමින්—ජෝසෆ් නැවත නැවතත් කරුණාව ඉල්ලා ආයාචනා කළ ආකාරය මාව පුදුමයට පත්කළා. එමෙන්ම, ඉතා පෞද්ගලිකව, ඔහු ස්වාමින්වහන්සේට තමාව සිහිපත් කර ඔහුගේ ආදරණීය එමා සහ ඔවුන්ගේ දරුවන්ට කරුණාව ඉල්ලා ආයාචනා කළා.

සතියකට පසු, 1836 අප්‍රියෙල් 3 වන දින පාස්කු ඉරිදා දිනයේ, කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී, ගැලවුම්කරුවාණන් ඔහුට සහ ඔලිවර් කවුඩ්‍රිට දර්ශනය වෙලා, දහම සහ ගිවිසුම් පොතේ 110 වෙනි කොටසේ වාර්තා කර ඇති ආකාරයට, පැවසූ විට ජෝසෆ්ට කොහොම දැනෙන්න ඇත්ද, “මක්නිසාද බලන්න, මම මෙම ගෘහය පිළිගන්නෙමි, තවද මාගේ නාමය මෙහිය; තවද මම මාගේ ජනතාවට මෙම ගෘහයේදී මම කරුණාවෙන් ප්‍රකාශ වන්නෙමි.” කරුණාවේ මෙම පොරොන්දුව මගින් ජෝසෆ්ට විශේෂ අර්ථයක් ලැබෙන්නට ඇති. සභාපති නෙල්සන් පසුගිය අප්‍රියෙල් මාසයේදී ඉගැන්නුවා වගේ, මේ පොරොන්දුව “කැපකර ඇති සෑම දේවමාළිගාවකටම අද අදාළ වෙනවා.”

ස්වාමින්වහන්සේගේ ගෘහයේ කරුණාව සොයා ගැනීම

අපි සෑම කෙනෙකුටම ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ කරුණාව සොයාගත හැකි ක්‍රම බොහොමයක් තිබෙනවා. ස්වාමින්වහන්සේ විසින් ඊශ්‍රායෙලයට, මණ්ඩපයක් ගොඩනඟා එහි මධ්‍යයේ “කරුණාවේ ආසනය” තබන ලෙස මුලින්ම ආඥා කළ දා සිටම මෙය සත්‍යයක් වී තිබෙනවා. දේවමාළිගාවේදී, අප කරන ගිවිසුම් තුළින් අපිට කරුණාව හොයාගන්න පුළුවන්. බෞතීස්ම ගිවිසුමට අමතරව, එම ගිවිසුම් අපව පියාණන්වහන්සේට සහ පුත්‍රයාණන්වහන්සේට බැඳ තබනවා, ඒවගේම සභාපති නෙල්සන් ඉගැන්වූ, “හෙබ්‍රෙව් භාෂාවෙන් හෙසෙඩ් ලෙස හඳුන්වන විශේෂ ප්‍රේමයක් සහ කරුණාවක්” කෙරෙහි වැඩි ප්‍රවේශයක් අපට ලබාදෙනවා.

අපගේ පවුල්වලට සදාකාලිකවම මුද්‍රා වීමේ අවස්ථාව තුළ අපට කරුණාව ලැබෙනවා. දේවමාළිගාවේදී, ඒවගේම මැවීම, වැටීම, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පූජාව සහ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ අභිමුඛයට නැවත ඇතුළු වීමට අපට ඇති හැකියාව—ගැලවීමේ සැලැස්මේ සෑම කොටසක්ම—කරුණාවේ ප්‍රකාශනයන් බව අපි වඩාත් පැහැදිලි ලෙස තේරුම් ගන්නවා. එය ගැලවීමේ සැලැස්ම සතුටේ සැලැස්මක් බව පැවසිය හැක්කේ එය “කරුණාවේ සැලැස්මක්” නිසාමයි.

සමාව සෙවීම ශුද්ධාත්මයාණන්ට දොර විවර කරයි

ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ දේවමාළිගාවල කරුණාවෙන් යුතුව උන්වහන්සේව ප්‍රකාශ කරන බවට 110 වෙනි කොටසේ ලබා දීලා තියෙන ලස්සන පොරොන්දුවට මම ස්තූතිවන්ත වෙනවා. ජෝසෆ් වගේ අපිත් කරුණාව ඉල්ලන සෑම අවස්ථාවකම ස්වාමින්වහන්සේ කරුණාවෙන් යුතුව උන්වහන්සේව ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව එයින් හෙළි වන දේ ගැන මම ස්තූතිවන්ත වෙනවා.

109 වෙනි කොටසේ ජෝසෆ් ස්මිත්ගේ කරුණාව සඳහා වූ ආයාචනය, ඔහුගේ කරුණාව සඳහා වූ ආයාචනා මගින් එළිදරව් ලබාගත් පළමු අවස්ථාව නෙවෙයි. පූජනීය වනයේදී, තරුණ ජෝසෆ් යාච්ඤා කළේ කුමන සභාව සත්‍යදැයි දැන ගැනීමට පමණක් නොවේ, නමුත් ඔහු මෙහෙමත් කිව්වා, “මම ස්වාමින්වහන්සේගෙන් කරුණාව ඉල්ලා මොරගැසුවෙමි, මක්නිසාද මට කරුණාව ලබා ගැනීමට යා හැකි වෙනත් කිසිවෙක් සිටියේ නැත.” කෙසේ හෝ ස්වාමින්වහන්සේට පමණක් ලබා දිය හැකි කරුණාව ඔහුට අවශ්‍ය බව ඔහු හඳුනා ගැනීම ස්වර්ගයේ කවුළු විවෘත කිරීමට උදව්වක් වුණා. අවුරුදු තුනකට පසු “මාගේ සියලු පාපයන්ට සහ අඥාන ක්‍රියාවන්ට කමාව පිණිස, සර්වබලධාරී දෙවියන්වහන්සේට කළ යාච්ඤාවෙන් සහ ආයාචනාවෙන්” මොරෝනි දේවදූතයා පෙනී සිටිය බව ජෝසෆ් පැවසුවා.

කරුණාව සඳහා කරන ලද ආයාචනයකින් පසු මෙම එළිදරව් කිරීමේ රටාව ශුද්ධලියවිලිවල ඇති හුරුපුරුදු එකක්. ඊනොස්ට ස්වාමින්වහන්සේගේ හඬ ඇසුණේ, ඔහු සමාව ඉල්ලා යාච්ඤා කිරීමෙන් පසුව පමණයි. ලමෝනි රජුගේ පියාගේ හැරීම ආරම්භ වන්නේ ඔහුගේ යාච්ඤාවෙනුයි, “මාගේ සියලුම පාපයන් ඔබවහන්සේව දැනගැනීම පිණිස මම අත්හරින්නෙමි.” මේ වගේ නාට්‍යමය අත්දැකීම් වලින් අපටත් ආශිර්වාද නොලැබෙන්න පුළුවන්, නමුත් සමහර විට යාච්ඤාවට පිළිතුරු දැනීමට අරගල කරන අයට, ස්වාමින්වහන්සේගේ කරුණාව සෙවීම කියන්නෙ ශුද්ධාත්මයාණන්ගේ සාක්ෂිය දැනීමට ඇති බලවත්ම ක්‍රමවලින් එකක්.

දෙවියන්වහන්සේගේ කරුණාව මෙනෙහි කිරීම මගින් මොර්මොන්ගේ පොත ගැන සාක්ෂියක් ලබාගැනීමට දොර විවර කරයි

මොරෝනි 10:3–5 තුළ ඒ හා සමානම මූලධර්මයක් ඉතා අලංකාර ලෙස උගන්වනවා. අවංක යාච්ඤාව තුළින්, මොර්මොන්ගේ පොත සත්‍යද කියා අපට ඉගෙන ගත හැකි බව ඉගැන්වීමට, අපි බොහෝ විට මේ පද කෙටි කරනවා. නමුත් මේ කෙටි කිරීම මගින් කරුණාවේ වැදගත් කාර්යභාරය නොසලකා හැරී යන්න පුළුවන්. මොරෝනි ඔහුගේ ආයාචනය ආරම්භ කරන ආකාරයට සවන් දෙන්න: “බලන්න, මම නුඹලාට අවවාද කිරීමට කැමැත්තෙමි, එනම් නුඹලා මෙම දේවල් කියවන විට … මනුෂ්‍ය දරුවන් හට ආදම්ගේ මැවීමේ සිට මෙම දේවල් නුඹ ලබාගන්නා කාලය දක්වා වුවත් ස්වාමින්වහන්සේ කෙතරම් කරුණාවන්තදැයි සිහිකරන්න, තවද එය නුඹගේ හදවත තුළ මෙනෙහි කරන්න.”

මොරෝනි අපෙන් ඉල්ලා සිටින්නේ—ඔහු මුද්‍රා තැබීමට යන මේ වාර්තා—කියවීමට පමණක් නොවේ නමුත් “ස්වාමින්වහන්සේ මනුෂ්‍ය දරුවන්ට කෙතරම් කරුණාවන්ත වී ඇත්ද” කියා මොර්මොන්ගේ පොත හෙළි කරන දේ අපගේ හදවත් තුළ මෙනෙහි කරන ලෙස ඔහු අපෙන් ඉල්ලා සිටිනවා. ඒ තමයි “මේ දේවල් සත්‍ය නොවේදැයි ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේගෙන් ඇසීම” මගින් අපව සූදානම් කරන ස්වාමින්වහන්සේගේ කරුණාව ගැන මෙනෙහි කිරීම.

අපි මොර්මොන්ගේ පොත ගැන මෙනෙහි කරද්දි, අපිට මෙහෙම අහන්න පුළුවන්: ඇල්මා ඉගැන්වූ පරිදි, දෙවියන්වහන්සේගේ කරුණාවේ සැලැස්ම මගින් මේ පොළොවේ ජීවත් වූ සෑම පුද්ගලයෙකුම මරණයෙන් නැවත නැගිටින බවත්, ඔවුන් ඔවුන්ගේ පරිපූර්ණ රාමුවට නැවත පැමිණෙන බවත් සැබවින්ම ඇත්තක් ද‍? අමුලෙක් හරිද—ගැලවුම්කරුවාණන්ගේ දයාව යුක්තියේ කටුක සැබෑ ඉල්ලීම් සියල්ලම සෑහීමකට පත් කරන අතර ඒ වෙනුවට “අපව වටකරන දෑතින් අපව වටකර ගැනීමට” බැඳී සිටිනවාද?

ඇල්මා සාක්ෂි දුන් පරිදි, ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාපයන් සඳහා පමණක් නොව, නමුත් “උන්වහන්සේගේ සෙනඟගේ දුර්වලතා අනුව ඔවුන්ට උපකාර කරන්නේ කෙසේදැයි” දැනගන්නා පිණිස, අපේ “වේදනා සහ කරදර” වෙනුවෙනුත් දුක් වින්ද බව ඇත්තද? “ඔවුන් වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත කුමක්දැයි නොදැන මරණයට පත්වූවන්, හෝ නොදැනුවත්ව පාප කළ අය උදෙසා” ස්වාමින්වහන්සේ නොමිලේ ත්‍යාගයක් ලෙස වන්දි ගෙවූ බවට වූ බෙන්ජමින් රජුගේ ඉගැන්වීම අනුව ස්වාමින්වහන්සේ එතරම්ම දයාන්විත ද?

ලීහායි පැවසූ ලෙස, “ආදම් වැටුනේ මනුෂ්‍යයන් පවතිනු පිණිසය, තවද, මනුෂ්‍යයන් පැවතෙන්නේ එනම් ප්‍රීතිය ලබනු පිණිසය” යන කියමන සත්‍යයද? යෙසායාව උපුටා දක්වමින්, අබිනාදි සාක්ෂි දුන් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ”තුවාල ලැබුවේ අපගේ අපරාධ නිසාය, උන්වහන්සේ පොඩි කරනු ලැබුවේ අපගේ අයුතුකම් නිසාය, අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිනුණේය; තවද උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ” යන කියමන සත්‍යයද?

ඒ සියල්ලේ එකතුවක් ලෙස, මොර්මොන්ගේ පොතේ උගන්වා ඇති ලෙස පියාණන්වහන්සේගේ සැලැස්ම මෙතරම් දයාන්විත ද? එය එසේ බවත්, මොර්මොන්ගේ පොත තුළ සාමය ලබා දෙන සහ කරුණාව පිළිබඳ බලාපොරොත්තු සහගත ඉගැන්වීම් සත්‍ය බවත් මම සාක්ෂි දරනවා.

තවමත්, ඔබේ විශ්වාසවන්ත කියවීම් සහ යාච්ඤාවන් නොතකා, ස්වර්ගික පියාණන්වහන්සේ “ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් එහි සත්‍යය ඔබට ප්‍රකාශ කරන” බවට මොරෝනි දුන් පොරොන්දුව සාක්ෂාත් කර ගැනීමට සමහරු අරගල කරනවා ඇති කියලා මම හිතනවා. මම මේ අරගලය දන්නවා, මොකද මට ඒක දැනුණා, අවුරුදු ගණනාවකට කලින්, මොර්මොන්ගේ පොත මුලින්ම කියෙව්වම මගේ යාච්ඤාවලට ක්ෂණික හා පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ.

ඔබ අරගල කරන්නේ නම්, “ස්වාමින්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දයානුකම්පිත වී ඇති ආකාරය” ගැන මොර්මොන්ගේ පොත මගින් උගන්වන බොහෝ ආකාර ගැන මෙනෙහි කරන්නට මොරෝනි ලබාදුන් උපදේශය අනුගමනය කරන්නට මට ඔබට ආරාධනා කරන්න පුළුවන් ද? මගේ අත්දැකීම් මත පදනම්ව, ඔබ එහෙම කරද්දි, ශුද්ධාත්මයාණන්ගේ සාමය ඔබේ හදවතට ඇතුළු වේවා කියාත්, මොර්මොන්ගේ පොත සහ එය උගන්වන කරුණාවේ සැලැස්ම සත්‍ය බව ඔබට දැන ගැනීමට, විශ්වාස කිරීමට සහ දැනෙන්නට හැකි වේවා කියාත් මම බලාපොරොත්තු වෙනවා.

පියාණන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කරුණාවේ සැලැස්මට සහ එය ක්‍රියාත්මක කිරීමට ගැලවුම්කරුවාණන් දක්වන කැමැත්තට මම මගේ ස්තූතිය පුද කරනවා. අපි උන්වහන්සේව සොයනවා නම්, උන්වහන්සේගේ ශුද්ධ වූ දේවමාළිගාවේදී සහ අපගේ ජීවිතයේ සෑම කොටසකදීම උන්වහන්සේ කරුණාවෙන් යුතුව ප්‍රකාශ වන බව මම දන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. බලන්න රසල් එම්. නෙල්සන්, “පූජකවර යතුරු දීමනාව ගැන ප්‍රීති වන්න,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2024.

  2. රසල් එම්. නෙල්සන්, “පූජකවර යතුරු දීමනාව ගැන ප්‍රීති වන්න.”

  3. ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 24.5.1, ශුභාරංචි පුස්තකාලය.

  4. සියලුම දේවමාළිගා ආශිර්වාද මෙන්ම, දෙවියන්වහන්සේගේ මෙම ආශිර්වාද ලබා දීම රඳා පවතින්නේ අප දේවමාළිගාවේදී කරන ගිවිසුම් පිළිපැදීම මතයි. බලන්න රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන සහනය සොයා ගන්න,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2022: “දේවමාළිගාවල ගිවිසුම් ඇති කරගෙන—ඒවා තබාගන්නා—සෑම පුද්ගලයෙකුටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයට වැඩි ප්‍රවේශය තිබෙනවා.”

    තවත් උදාහරණයක් ලෙස, දේවමාළිගාවේ වස්ත්‍ර ඇඳීම පිළිබඳ පළමු සභාපතිත්වයේ ප්‍රකාශය සලකා බලන්න: “සුදානම් කිරීමේ නියෝගවල උපදෙස් දී ඇති පරිදි දේවමාළිගා වස්ත්‍රය ඇඳීමේ ශුද්ධ වූ වරප්‍රසාදය ඇතුළුව ඔබ ඔබේ ගිවිසුම් රකින විට, ඔබට ගැලවුම්කරුවාණන්ගේ කරුණාව, ආරක්ෂාව, ශක්තිය සහ බලය සඳහා වැඩි ප්‍රවේශයක් ලැබෙනු ඇත” (ප්‍රධාන අත්පොත, 26.3.3.2, අවධාරණය කිරීම් එකතු කර ඇත).

  5. දහම සහ ගිවිසුම් 109:55–57.

  6. බලන්න රසල් එම්. නෙල්සන්, “ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙනු ඇත,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2024: “මෙන්න මම ඔබට දුන් පොරොන්දුව: යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අවංකව සොයන සෑම කෙනෙක්ම උන්වහන්සේව දේවමාළිගාව තුළදී සොයාගනු ඇත. ඔබට උන්වහන්සේගේ දයාව දැනෙයි.”

  7. බලන්න දහම සහ ගිවිසුම් 109:34: “මෙම ජනතාව මත දයාව දක්වනු මැනව, තවද සියලු මනුෂ්‍යයන් පාපයන් කරන්නාක් මෙන්, ඔබවහන්සේගේ ජනතාවගේ වරද වලට සමාවදෙනු මැනව, තවද ඒවා සදාකාලයටම මකාදමනු මැනව.”

  8. බලන්න දහම සහ ගිවිසුම් 109:50.

  9. බලන්න දහම සහ ගිවිසුම් 109:54. “යාකොබ්ගේ දරුවන් මත දයාව දක්වන මෙන් ද, එනම් යෙරුසලම, මෙම පැයෙහි සිටම, මුදවාගැනීම ආරම්භ කරන පිණිස ද; තවද දාවිත්ගේ නිවසින් වහල්භාවයේ වියගහ බිඳදැමීම ආරම්භ වන පිණිස ද; තවද යුදාගේ දරුවන්, ඔබවහන්සේ විසින් ඔවුන්ගේ පියාණන් වූ, ආබ්‍රහම්ට දෙනු ලැබූ දේශයට හැරී ඒම ආරම්භ වන පිණිස ද” ජෝසෆ් ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටියේය (දහම සහ ගිවිසුම් 109:62–64).

  10. බලන්න දහම සහ ගිවිසුම් 109:68.

  11. බලන්න දහම සහ ගිවිසුම් 109:69. ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය කරුණාව අර්ථ දක්වන්නේ “බල රහිත තත්වයක සිටින පුද්ගලයෙකුට දක්වන අනුකම්පාව සහ අනුකම්පාව” ලෙසයි (“mercy,” oed.com). කරුණාව මෙන් දයාව ද දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ සහ කරුණාවේ ප්‍රකාශනයකි-උන්වහන්සේගේ හෙසෙඩ් ය. දයාව යනු අපට ලැබිය යුතු දඬුවමක් වළක්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන අතර, කරුණාව යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ අපට ලැබිය යුතු නැති ආශිර්වාද සහ කුසලතා ඒ ගැන නොසලකා අපට ලබා දීමයි.

  12. දහම සහ ගිවිසුම් 110:7.

  13. පුද්ගලාරෝපිත දයාවේ ප්‍රකාශනයක දී, ජෝසෆ් සහ ඔලිවර්ට මෙසේ කියන ලදී, “බලන්න, නුඹලාගේ පාපයන්ට සමාව දී ඇත්තෙමි; නුඹලා මා ඉදිරියේ පිරිසිඳුය; එසේහෙයින්, නුඹලාගේ හිස ඔසවා තවද ප්‍රීති ප්‍රමෝදිත වෙන්න” (දහම සහ ගිවිසුම් 110:5).

  14. රසල් එම්. නෙල්සන්, “පූජකවර යතුරු දීමනාව ගැන ප්‍රීති වන්න.” සභාපති නෙල්සන් මෙසේ පැවසුවේය, “ස්වාමින්වහන්සේගේ පොරොන්දුව ඔබට පෞද්ගලිකව අදහස් කරන්නේ කුමක්දැයි මෙනෙහි කිරීමට මම ඔබට ආරාධනා කරමි.”

  15. බලන්න Bible Dictionary, “Tabernacle”: “අතිශුද්ධස්ථානයේ තිබුණේ එක් ගෘහ භාණ්ඩයක් පමණි: එනම් ගිවිසුම් පෙට්ටිය යි. … පූජාසනය මත සහ පියන සාදමින් කරුණාසනය තිබීය. එය සේවය කළේ, යටින් ඇති පෙට්ටිය සමඟ, එය යුදෙව් නීතියට අනුව ඉහළම පව් කමාව ලබා දුන් පූජාසනයක් ලෙසය. ඒ මත සමඟි කිරීමේ දිනයේ පාප පූජාවේ ලේ ඉසින ලදී (ලෙවී කථාව 16:14–15). කරුණාසනය දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කිරීමේ ස්ථානය විය (නික්. 25:22).”

  16. රසල් එම් නෙල්සන්, “සදාකාලික ගිවිසුම,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2022. සභාපති නෙල්සන් පෙන්වා දෙන පරිදි, හෙසෙඩ් යන වචනයට නිශ්චිත ඉංග්‍රීසි සමාන පදයක් නොමැත, නමුත් පැරණි ගිවිසුමේ එහි වඩාත් පොදු පරිවර්තනය වන්නේ කරුණාවයි. පරණ ගිවිසුමේ කිං ජේම්ස් අනුවාදයේ හෙසෙඩ් යන වචනය 248 වතාවක් දක්නට ලැබෙන අතර, ඉන් 149 වතාවක් කරුණාව ලෙස, 40 වතාවක් කරුණාවන්ත බව ලෙස සහ 30 වතාවක් ප්‍රේමනීය කරුණාව ලෙස භාවිතා කර ඇත (බලන්න Blue Letter Bible, blueletterbible.org/lexicon/h2617/kjv/wlc/0-1/).

  17. බලන්න ප්‍රධාන අත්පොත, 27.2. උන්වහන්සේ තුළින් මිස අපෙන් කිසිවෙකුට පියාණන්වහන්සේ වෙතට පැමිණිය නොහැකි බව ගැලවුම්කරුවාණන් අපට උගන්වයි (බලන්න යොහන් 14:6). දහම සහ ගිවිසුම් හි, ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් දයාව ඉල්ලමින් කරන උන්වහන්සේගේ ආයාචනය පිළිබඳ සුන්දර විස්තරය:

    “පියාණන්වහන්සේ සමඟ මැදහත්කරුවාණන් වූ උන්වහන්සේ හට සවන්දෙන්න, පියාණන් ඉදිරියේ නුඹලාගේ කාරණය උන්වහන්සේ ආයාචනා කරන සේක—

    “මෙසේ කියන්නේය: පියාණෙනි, ඔබවහන්සේ ඉතා ප්‍රසන්න වූ, පව් නොකලා වූ ඔහුගේ විඳවීම සහ මරණය බලන්න; ඔබවහන්සේ මහිමයට පත්වන පිණිස දෙනු ලැබූ උන්වහන්සේගේ රුධිරය, ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ වැගිරූ රුධිරය බලන්න;

    “එසේහෙයින්, පියාණෙනි, එනම් මාගේ නාමය විශ්වාස කළ මාගේ මෙම සහෝදරයන් [එමෙන්ම මගේ සහෝදරියන්] බේරාගන්න, එනම් ඔවුන් මා වෙතට පැමිණ තවද සදාකාල ජීවනය ලබාගන්නා පිණිසය” (දහම සහ ගිවිසුම් 45:3–5).

  18. සභාපති ජෙෆ්රි ආර්. හොලන්ඩ් වරක් මෙසේ පැවසීය: “විශේෂයෙන් එය අපේක්ෂා නොකරන සහ බොහෝ විට තමන් එයට සුදුසු නැතැයි හැඟෙන අයට, දෙවියන්වහන්සේ දෙවියන් වීම ගැන වඩාත්ම භුක්ති විඳින දෙය නම් දයානුකම්පිත වීමේ ප්‍රීතියයි” (“The Laborers in the Vineyard,” Liahona, May 2012, 33). දහම සහ ගිවිසුම් 128:19 ද බලන්න: “දැන්, අපට ලැබී ඇති ශුභාරංචියේ අපට අසන්නට ලැබෙන්නේ කුමක්ද? ප්‍රීතියේ හඬක්! ස්වර්ගයෙන් එන දයාවේ හඬක්; පොළොවෙන් පිටවන සත්‍යයේ හඬක්; මළවුන්ට ශුභ ආරංචියක්; ජීවත්ව සිටින අයට සහ මළවුන්ට ප්‍රීතිමත් හඬක්; මහත් ප්‍රීතියක යහපත් ආරංචියක්.”

  19. ඇල්මා 42:15. කරුණාව සැමවිටම ගැලවීමේ සැලැස්මේ කේන්ද්‍රස්ථානය වී ඇත. මෙම ශුද්ධලියවිලි තුන නිදර්ශනාත්මකයි. නීෆායි මොර්මොන්ගේ පොතේ පළමු පරිච්ඡේදය අවසන් කරන්නේ මෙසේ පවසමින් “ස්වාමීන්වහන්සේගේ මෘදු කරුණාව උන්වහන්සේ විසින් තෝරාගත් සෑම අයවලුන් මත ඇති බවද, ඔවුන්ගේ ඇදහිල්ල කරණකොටගෙන, ඔවුන්ට මුදාගැනීමේ බලය දක්වා බලවත් කරන බවට, මම, නීෆායි, නුඹලාට පෙන්වන්නෙමි” (1 ­නීෆායි 1:20).

    නික්මයාම 34:6 හි, ස්වාමින්වහන්සේ මෝසෙස්ට තම නාමය ප්‍රකාශ කරන්නේ “ස්වාමීන්වහන්සේය, ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස්වීමට ප්‍රමාදවන්නා වූ අධිකතර කරුණාව සහ සැබෑකම ද ඇත්තා වූ දෙවි කෙනෙක්” ලෙසයි. පරණ ගිවිසුමේ වෙනත් ඕනෑම පදයකට වඩා පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරුන් විසින් මෙම පදය නැවත නැවත භාවිතා කර ඇති බව සමහරු යෝජනා කර ඇත (උදාහරණයක් ලෙස බලන්න, Bible Project, “The Most Quoted Verse in the Bible,” bibleproject.com/podcast/most-quoted-verse-bible/).

    අලුත් ගිවිසුමේ, ලූක්ගේ පොතේ, එලිසබෙත් මහලු වියේදී යොහාන් බව්තීස්ත නම්, පුතෙකු බිහි කරන බවට දේවදූතයා දුන් පොරොන්දුව සැක කළ විට සෙකරියාස් “කථාකරන්ට නොහැකිව නිශ්ශබ්ද” වූ බව සත්‍යයකි (ලූක් 1:20). සෙකරියාස්ගේ හඬ අවසානයේ ලිහිල් වූ විට, ඔහු “ශුද්ධාත්මයෙන් පිරී” සිටි අතර, මෙසියස්වහන්සේ සඳහා කාලය අවසානයේ පැමිණ ඇති බවට පළමු ප්‍රසිද්ධ ප්‍රකාශයේදී, ඔහු “අපගේ පියවරුන්ට පොරොන්දු වූ කරුණාව ඉටු කිරීමටත්, උන්වහන්සේගේ ශුද්ධ ගිවිසුම සිහි කිරීමටත්, උන්වහන්සේ අපගේ පිය ආබ්‍රහම්ට දිවුරුම් දුන් දිවුරුම සිහි කිරීමටත්” ස්වාමීන්වහන්සේ පැමිණෙන බව “අනාවැකි කීවේය” (ලූක් 1:67–73; අවධාරණය කිරීම් එකතු කරන ලදී).

  20. Gospel Topics Essays, “First Vision Accounts,” Gospel Library; see especially the 1832 account.

  21. ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:29. මෙම බලවත් දර්ශන දෙකෙහි පසුතැවිල්ලේ කාර්යභාරය පිළිබඳ තවත් විස්තරයක් දහම සහ ගිවිසුම් 20:5–6 සපයයි. ජෝසෆ් පැවසුවේ “මා ඉතා උග්‍ර පාප වලට වරදකරුවෙකු යැයි කිසිවෙකු සිතීමට වුවමනා නැත” කියායි, ​​නමුත් ඔහු “වරද සහගත වන, අනේක පෙළඹවීම් වලට භාජනය වූ බව කීමට කණගාටු” වූ අතර ඒ සඳහා සමාව අවශ්‍ය විය (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:28, 29).

  22. බලන්න ඊනෝස් 1:1-8.

  23. ඇල්මා 22:18. “අහෝ යේසුනි, දෙවියන්වහන්සේගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනව” යන ඇල්මාගේ යාච්ඤාව ආලෝකයේ ගංවතුරකට සහ වේදනාවෙන් සහනයකට මඟ පාදයි (බලන්න ඇල්මා 36:17–20). සභාපති ජෙෆ්රි ආර්. හොලන්ඩ් වරක් ඇල්මාගේ ආයාචනය ගැන මෙසේ පැවසීය: “සමහර විට එවැනි යාච්ඤාවක් කෙටියෙන් වුවද, වැටුණු ලෝකයක පැවසිය හැකි වැදගත්ම යාච්ඤාව විය හැකිය. අපි වෙනත් කුමන යාච්ඤාවන් ඉදිරිපත් කළත්, අපට ඇති වෙනත් අවශ්‍යතා කුමක් වුවත්, සියල්ල නැවත පැමිණෙන්නේ එම ආයාචනයටයි: ‘අහෝ යේසුනි, දෙවියන්වහන්සේගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනව’” (Our Day Star Rising: Exploring the New Testament with Jeffrey R. Holland [2022], 170–71).

  24. වැඩිහිටි කයිල් එස්. මැකේ එය ලස්සනට ඉගැන්නුවා, “ජෝසෆ්ගේ නිරන්තර පසුතැවිලි වීමේ ජීවිතය මට ‘[මා] දයාව ලැබෙන පිණිස නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවීමට’ විශ්වාසය ලබා දෙනවා” (“යෙහෝවාවහන්සේ සමඟ සංවාදයෙහි යෙදුන මිනිසා,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, ඔක්. 2024).

  25. මොරෝනි 10:3.

  26. මොරෝනිගේ ආයාචනය මොර්මොන්ගේ පොතේ ආරම්භයේදීම නීෆායිගේ ප්‍රකාශයට අවසානයක් වන අතර, එහිදී ඔහු තහඩු මත ලිවීමේදී තමාගේම අරමුණ සඳහන් කරයි: “ස්වාමීන්වහන්සේගේ මෘදු කරුණාව උන්වහන්සේ විසින් තෝරාගත් සෑම අයවලුන් මත ඇති බවද, ඔවුන්ගේ ඇදහිල්ල කරණකොටගෙන, ඔවුන්ට මුදාගැනීමේ බලය දක්වා බලවත් කරන බවට, මම, නීෆායි, නුඹලාට පෙන්වන්නෙමි” (1 ­නීෆායි 1:20).

  27. මොරෝනි 10:4.

  28. බලන්න මොර්මොන් 9.13.

  29. ඇල්මා 40:23: “ප්‍රාණය ශරීරයටද, තවද ශරීරය ප්‍රාණයටද නැවත පිහිටවනු ලබන්නෙය; එසේය, තවද සියලු අවයවයන් සහ සන්ධි එහි ශරීරයට නැවත පිහිටවනු ලබන්නේය; එසේය හිසෙහි කෙස් ගසක්වත් නැති නොවන්නේය; එහෙත් සියලු දේවල් ඒවායේ නිසි සහ පරිපූර්ණ ස්වභාවයට නැවත පිහිටවනු ලබන්නේය.”

  30. ඇල්මා 34:16. ස්වාමින්වහන්සේ කෙතරම් දයානුකම්පිතද යන්න සලකා බලන විට, යුක්තියෙන් කරුණාව විසන්ධි කිරීමට—අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමණීය කරුණාවට පමණක් යුක්තිය ජය ගත හැකි යැයි සිතීමට අප පෙළඹෙනු ඇත. නමුත් ඇල්මා ඉගැන්වූ පරිදි, “තවද දැන්, වන්දිගෙවීමකින් තොරව දයාවේ සැලැස්මක් ගෙන ඒමට නොහැකි වන්නේය; දයාවේ සැලැස්ම ගෙන ඒමට සහ සාධාරණත්වයේ ඉල්ලීම තෘප්තිමත් කිරීමට දෙවියන්වහන්සේ ලෝකයේ පාපය උදෙසා තමන්වහන්සේම වන්දිගෙවන සේක, එනම් දෙවියන්වහන්සේ පරිපූර්ණ, සාධාරණ දෙවියන්වහන්සේ, තවද එසේම කරුණාවන්ත දෙවියන්වහන්සේ වන පිණිසය” (ඇල්මා 42:15; අවධාරණය කිරීම් එකතු කර ඇත).

    අප කෙරෙහි ඇති ගැලවුම්කරුවාණන්ගේ මුළු කරුණාවන්ත ප්‍රේමයටම අපව ගලවා ගැනීමට නොහැකිය. ඒ වෙනුවට, අපව ගලවා ගන්නේ යුක්තියේ සැබෑ හා වේදනාකාරී ඉල්ලීම් පිණිස උන්වහන්සේගේ දුක් විඳීමයි. ඇත්ත වශයෙන්ම මෙය උන්වහන්සේගේ ප්‍රේමයේ වැදගත්කම අඩු නොකරයි. නිසැකවම, උන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය—සහ අපට ප්‍රේම කරන පියාණන්වහන්සේගේ කැමැත්ත කිරීමට උන්වහන්සේ තුළ ඇති ආශාව—උන්වහන්සේ දුක් විඳීමට කැමැත්තෙන් සිටීමට හේතු විය (බලන්න යොහාන් 3:16; දහම සහ ගිවිසුම් 34:3). නමුත් ප්‍රේමයට පමණක් ක්‍රියාත්මක විය නොහැකි විය.

    සමහර විට අපි සිටින ආකාරයෙන්ම උන්වහන්සේගේ ප්‍රේමය කෙරෙහි අපි බොහෝ සෙයින් අවධානය යොමු කළ හැකි අතර, අප සිටින ආකාරය—එනම් ස්වාභාවික පිරිමින් සහ කාන්තාවන් ලෙස—ආඥා පිළිපැදීමට අනිවාර්යයෙන්ම අපොහොසත් වන හැසිරීම්—යුක්තිය තෘප්තිමත් කළ යුතු බව ඉල්ලා සිටින බව අපට නොපෙනී යයි. අපි උන්වහන්සේගේ ප්‍රේමය යුක්තියේ ඉල්ලීම් අහෝසි කිරීමක් ලෙස වරදවා වටහාගෙන සලකන්නේ නම්, අපි උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාවේ ත්‍යාගය සහ යුක්තියේ භයානක මිල ගෙවීමට උන්වහන්සේ කළ දුක් වේදනා සුළු කොට සලකයි. උන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව අනවශ්‍ය දෙයක් ලෙස වටහා ගන්නේ නම් එය අධෛර්යමත් කරවන තරම් උත්ප්‍රාසාත්මක වනු ඇත. යුක්තියේ සම්පූර්ණ ඉල්ලීම් දෙස සෘජුව බැලීම සහ අප වෙනුවෙන් එම සැබෑ ඉල්ලීම් දරා ගැනීමට උන්වහන්සේ අපට ප්‍රේම කිරීම ගැන කෘතඥ වීම කොතරම් හොඳද.

  31. ඇල්මා 7:11–12

  32. මොසායා 3:11.

  33. 2 නීෆායි 2:25.

  34. මොසායා 14:5.

  35. මොරෝනි 10:4.

  36. මොරෝනි 10:3.

  37. “ඔබ දන්නා සහ විශ්වාස කරන දේ සහ ඔබට හැඟෙන දේ” පිළිබඳ සාක්ෂි දරන ලෙස සභාපති එම්. රසල් බැලර්ඩ් අපව දිරිමත් කළේය (“වඩාත්ම වැදගත් දේ මතක තබා ගන්න,” ප්‍රධාන සම්මන්ත්‍රණ පුස්තකාලය, අප්‍රි. 2023).

  38. මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේදී, මොර්මොන්ගේ පොතේ හෝ ශුභාරංචියේ සත්‍යතාව පිළිබඳ සාක්ෂියක් සඳහා ආදේශක “සූත්‍රයක්” ඉදිරිපත් කිරීමට මම අදහස් නොකරමි. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් උගන්වා ඇති පරිදි, එළිදරව්ව “අඳුරු කාමරයක දැල්වූ ආලෝකයක්” මෙන් පැමිණිය හැකි අතර, එහිදී එළිදරව්ව “ඉක්මනින්, සම්පූර්ණයෙන්ම සහ එකවර” ලැබෙනු ඇත. එය “නැගී එන සූර්යයාගෙන් විහිදෙන ආලෝකයේ ක්‍රමයෙන් වැඩිවීම මෙන්, … පේළියෙන් පේළියට, ආඥාවෙන් ආඥාවට ද පැමිණිය හැකිය (2 නීෆායි 28:30). … ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ලැබෙන එවැනි සන්නිවේදනයන් ක්‍රමයෙන් හා මෘදු ලෙස ‘[අපගේ ප්‍රාණයන්] මත ස්වර්ගයෙන් පිනි මෙන් වැගිරෙයි’ [දහම සහ ගිවිසුම් 121:45]. මෙම එළිදරව් කිරීමේ රටාව දුර්ලභ ඒවාට වඩා බහුලව දක්නට ලැබේ” (“The Spirit of Revelation,” Liahona, May 2011, 88).