ප්‍රධාන සම්මන්ත්‍රණය
අපේ දෙමාපියන් ආදරයෙන් වැළඳගත් ඇදහිල්ලට විශ්වාසවන්තව සිටීම
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


11:0

අපේ දෙමාපියන් ආදරයෙන් වැළඳගත් ඇදහිල්ලට විශ්වාසවන්තව සිටීම

කරුණාකර ඔබට පෙර සිටි අයගේ ඇදහිල්ලෙන් සහ සාක්ෂිවලින් ඉගෙන ගෙන ශක්තිය ලබා ගන්න.

මම නැෂ්විල් ටෙනසි ​​දේවමාළිගාවට දේවමාළිගා සමාලෝචනයක් සඳහා ගිය අතරතුර, මෙම පැවරුමේ කොටසක් ලෙස ස්වාමීන්වහන්සේගේ මෙම අලංකාර ගෘහය සමාලෝචනය කරමින් එහි ඇවිද ගොස් පරීක්ෂා කිරීමේ වරප්‍රසාදය මට ලැබුණා. දේවමාළිගා සහයක කාර්යාලයේ බිත්තියේ එල්ලා තිබූ මේරි වැන්ලස්ගේ Carry On [දිගටම කරගෙන යන්න] නම් සිතුවම ගැන මට විශේෂයෙන් පැහැදීමක් ඇති වුණා.

සිතුවම පිටුපස ඇති කතාව මෙයයි:

“1862 දී මිසුරි හිදී, 14 හැවිරිදි මේරි වැන්ලස්ගේ ආබාධිත පියා සහ ඇගේ බාල සහෝදර සහෝදරියන් සිව්දෙනා සෝල්ට් ලේක් නිම්නයට පැමිණෙන බවට ඇය සහතික වන බව, ඇගේ මිය යමින් සිටි කුඩම්මාට ඇය පොරොන්දු වුණා. … මේරිගේ පියා වැතිරී සිටි කරත්තය ඇදගෙන ගිය ගොනුන් සහ කිරි එළදෙනුන්ව ඇය විසින් පදවාගෙන ගිය අතර, ඇය ඇගේ … සහෝදර සහෝදරියන්වද රැකබලා ගත්තා. සෑම දිනකම කළ ගමනෙන් පසු ඇය ආහාරයට ගත හැකි ශාක, මල් සහ බෙරි වර්ග සොයා ගැනීමෙන් ඒ පවුල පෝෂණය කළා. ඇගේ එකම මාලිමා යන්ත්‍රය වුණේ, වලාකුළු කඳු බවට පත් වන තුරු බටහිර දෙසට ගමන් කරන ලෙස ඇයට ලැබුණු උපදෙස් පමණයි.

“වසන්ත හා ගිම්හානය පුරාම ගමන් කර, සැප්තැම්බර් මාසයේදී ඔවුන් යූටා නිම්නයට ළඟා වුණා. මේ පවුල යූටා ප්‍රාන්තයේ පදිංචි වී වැඩි කල් නොගොස් ඇගේ පියා මිය ගිය අතර, පසුව මේරි විවාහ වී ඇගේම පවුලක් ගොඩනැඟුවා.”

මෙය අද අප සෑම කෙනෙකුටම “දිගටම කරගෙන යාමට” උපකාර කළ හැකි 14 හැවිරිදි තරුණ ගැහැණු ළමයෙකුගේ ඇදහිල්ල සහ ශක්තිය පිළිබඳ විශ්මිත කතාවක්.

“ඉදිරියටම යන්න” නැතිනම් මගේ මව් භාෂාව වන ලන්දේසි භාෂාවෙන් හුවෝන් දූර්හන් කියන්නෙ, මගේ අම්මාට සහ තාත්තාට ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පැවති ආදර්ශ පාඨයක්.

මගේ දෙමව්පියන් සහ නැන්දම්මා සහ මාමණ්ඩි තමයි අපේ පවුලේ පුරෝගාමීන්. සෑම දිනකම ස්වාමීන්වහන්සේගේ රැළට පැමිණෙන සියලු දෙනා මෙන් ඔවුන්ද තමන්ගේම “තැනිතලා” තරණය කර තිබෙනවා. ඔවුන්ගේ කතා ගොනුන් සහ ගැල් සමඟ එතරම් සම්බන්ධයක් නෑ, නමුත් අනාගත පරම්පරාවන්ට ඔවුන්ගෙන් ලබාගත හැකි ඒ හා සමානම බලපෑමක් තිබෙනවා.

ඔවුන් ශුභාරංචිය වැළඳගෙන තරුණ වියේදී බෞතීස්ම වී තිබුණා. මගේ දෙමව්පියන් දෙදෙනාටම තිබිලා තියෙන්නෙ දුෂ්කර ළමා කාලයක්. මගේ පියා හැදී වැඩුණේ ඉන්දුනීසියාවේ ජාවා දූපතේ. දෙවන ලෝක යුද්ධ සමයේදී, ඔහුව බලහත්කාරයෙන් තම පවුලෙන් වෙන් කර ගාල් කඳවුරක සිර කර තිබුණා, ඒවගේම එහිදී ඔහු කිව නොහැකි දුෂ්කරතාවන්ට ඔහුගේ බාල කාලයේ මුහුණ දී තිබුණා.

මගේ මව බිඳුණු නිවසක හැදී වැඩී තිබුණා, ඒවගේම දෙවන ලෝක යුද්ධයේ කුසගින්නෙන් හා දුෂ්කරතාවන්ගෙන් ද පීඩා විඳ තිබුණා. සමහර අවස්ථාවලදී ඇයට ටියුලිප් මල් පොහොට්ටු කෑමට පවා සිදු වී තිබුණා. ඇගේ පියාගේ ක්‍රියාවන් සහ පසුව ඔහු ඇගේ මවගෙන් දික්කසාද වීම නිසා, ස්වර්ගික පියාණන්වහන්සේව ප්‍රේමණීය පියෙකු ලෙස දැකීම ඇයට සමහර අවස්ථා වලදී දුෂ්කර වුණා.

මගේ දෙමව්පියන් සභාවේ ක්‍රියාකාරකමකදී මුණගැසී තිබුණා, ඒවගේම ඉන් ටික කලකට පසු ඔවුන් විවාහ වී ස්විට්සර්ලන්තයේ බර්න් දේවමාළිගාවේ මුද්‍රා වීමට තීරණය කළා. දුම්රිය ස්ථානයේ රැඳී සිටිමින්, දේවමාළිගාවට යන ගමන සඳහා තමන් ඉතිරි කරගත් සුළු මුදලින් අන්තිම කොටස වියදම් කළ පසු, ඔවුන් ජීවිතය ගැට ගසා ගන්නේ කෙසේදැයි කල්පනා කළ නමුත් සියල්ල සාර්ථක වනු ඇතැයි විශ්වාස කළා. ඒ වගේම එසේ සිදුවුණා!

ඔවුන් තම පවුල ගොඩනැඟීමට පටන් ගත්තේ ඇම්ස්ටර්ඩෑම් හි මධ්‍යයේ තිබුණු ඉතා නිහතමානී, තනි අට්ටාල කාමරයක් සහිත මහල් නිවාසයකින්. වසර ගණනාවක් පුරාවට අතින් ඇඳුම් සේදීමෙන් පසු, අවසානයේ ඔවුන් රෙදි සෝදන යන්ත්‍රයක් මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගෙන තිබුණා. ඔවුන් එය මිලදී ගැනීමට ටික වේලාවකට පෙර, සභානායකවරයා ඔවුන්ව බැලීමට ගොස්, ඇම්ස්ටර්ඩෑම්හි රැස්වීම් ශාලාව ඉදිකිරීම සඳහා දායකත්වයක් ඉල්ලා සිටියා. රෙදි සෝදන යන්ත්‍රය සඳහා ඉතිරි කර ගත් සියල්ල දීමට ඔවුන් තීරණය කළා, ඒවගේම ඔවුන් අතින් රෙදි සේදීම දිගටම කරගෙන ගියා.

පවුලක් විදිහට අපිත් අනිත් පවුල් වගේම දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. ඇල්මා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා සෑම ආකාරයකම පරීක්ෂාවන් සහ කරදර යටතේ ඔහුට සහාය ලැබුණු බව පවසමින් ඇල්මා ඔහුගේ පුත්‍රයා වන හිලමන් සමඟ බෙදාගත් කතාව වගේම, මේවා අපව ශක්තිමත් කර තිබෙනවා, ඒවගේම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ගැඹුරු කර තිබෙනවා.

බාල වියේදී මෙතරම් පරීක්ෂාවන්ට මුහුණ දුන් දෙදෙනෙකු මට කවදා හෝ ප්‍රාර්ථනා කළ හැකි හොඳම දෙමාපියන් වුණේ කොහොමද? පිළිතුර සරලයි: ඔවුන් ශුභාරංචිය සම්පූර්ණයෙන්ම වැළඳගෙන අද දක්වාම ඔවුන්ගේ ගිවිසුම් අනුව ජීවත් වෙනවා!

විවාහයෙන් වසර 65කට වැඩි කාලයකට පසු, ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳි මගේ මව පෙබරවාරි මාසයේදී මිය ගියා. වයස අවුරුදු 92 ක් වන මගේ පියා තවමත් නිවසේ ජීවත් වෙනවා, ඒවගේම ඇය මිය යන තුරුම හැකි සෑම විටම ඇයව බැලීමට ඔහු ගියා. ඇය මෙම භයානක රෝගයෙන් අසනීප වී නරක අතට හැරුණු විට සහ ඇගේ ප්‍රාථමික ප්‍රතිකාර අන් අයට භාර දීමට සිදු වූ අතර, තවදුරටත් ඇය අසල සිටිය නොහැකි වූ අවාසනාවන්ත දිනය සඳහාත්, වසර ගණනාවක් ඉවසිලිවන්තව තම බිරිඳ රැකබලා ගැනීමටත්, ඔහුව සූදානම් කළේ දෙවන ලෝක යුද්ධ සමයේදී ඉන්දුනීසියාවේ කඳවුරේ ඇති වූ භයානක අත්දැකීම් බව, කලකට පෙර ඔහු මගේ බාල සහෝදර සහෝදරියන්ට පවසා තිබුණා. ඔවුන්ගේ ආදර්ශ පාඨය වී ඇත්තේ සහ තවමත් ඔවුන්ගේ ආදර්ශ පාඨය වන්නේ, අවසාන දවසේදී මරණයෙන් නැගිටීමට සහ උන්වහන්සේ සමඟ සදහටම මහිමයෙන් වාසය කිරීමට ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ බලාපොරොත්තුවක් ඇතුව “ඉදිරියටම යන්න” කියන එකයි.

ඔවුන්ගේ ඇදහිල්ල සහ සාක්ෂි ඔවුන්ගෙන් පසු පරම්පරාවන්ට විශාල ශක්තියක් වී තිබෙනවා.

මගේ බිරිඳ හැදී වැඩුණු ගමේ, සභාවට යන යහපත් අය වූ ඇගේ දෙමාපියන්, තරුණ විවාහක යුවළක් ලෙස, මගේ බිරිඳ ඔවුන්ගේ අවුරුදු දෙකක දියණිය සහ ඒ වන විට එකම දියණිය වූ ඒ කාලයේ, ශුභාරංචිය වැළඳ ගෙන තිබුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් වීමට ඔවුන් ගත් තීරණය හේතුවෙන් ගම්වැසියන් සහ ඔවුන්ගේ පවුලේ අය විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කර තිබූ නිසා, ඔවුන්ගේ ජීවිතවලට එය විශාල බලපෑමක් ඇති කළා. පවුලේ සාමාජිකයන්ට ප්‍රේමණීය ලියුම් ලිවීමෙන් සහ ඒ ප්‍රජාවේ සේවය කිරීම මගින් ඔවුන්ව අවසානයේ පිළිගනු ලැබීමට වසර ගණනාවක් ගත වී තිබුණා.

මගේ බිරිඳගේ පියා සභානායකවරයෙකු ලෙස සේවය කරමින් සිටි එක් අවස්ථාවක, ඔහුට යම් දෙයක් සම්බන්ධයෙන් බොරු චෝදනාවක් එල්ල කර වහාම ඔහුගේ කැඳවීමෙන් නිදහස් කර තිබුණා. මගේ නැන්දම්මාට කොච්චර රිදුනාද කියනවා නම් එයා එයාගේ මහත්තයාගෙන් ඇහුවා දිගටම සභාවට යන්න ඕනෙද කියලා. මෙය මිනිසුන්ගේ සභාවක් නොවේ නමුත්, මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නිසා ඔවුන් දිගටම සභාවට යා යුතු බව ඔහු පිළිතුරු දුන්නා.

සත්‍යය හෙළිදරව් වී සමාව අයැදීමට යම් කාලයක් ගත වුණා. ඔවුන්ගේ බිඳවැටීමේ හේතුව විය හැකිව තිබූ දෙයක්, ඔවුන්ගේ ශක්තිය සහ විශ්වාසය තවත් වැඩි කළා.

අපගේ දෙමව්පියන් සියලු දුෂ්කරතා මධ්‍යයේ විශ්වාසවන්තව සිටි ඇදහිල්ල සහ සාක්ෂි, අපගෙන් සමහරක් අය සුළු කොට සලකන්නේ ඇයි? අපි හිතන්නේ එයාලට දේවල් ගැන පැහැදිලි අවබෝධයක් නැහැ කියලද? ඔවුන් රැවටී සිටියේ නෑ, ඒවගේම දැනුත් රැවටිලා නෑ! ඔවුන්ට ආත්මයාණන්වහන්සේ සමඟ ඕනෑවටත් වඩා අත්දැකීම් ලැබී තිබෙනවා, ඒවගේම අනාගතවක්තෘ ජෝසෆ් සමඟ “මම එය දැන සිටියෙමි, … මට එය ප්‍රතික්ෂේප කළ නොහැකි විය” යනුවෙන් ඔවුන්ට කියන්න පුළුවන්.

ළමා ගීත පොතේ තියෙන හිලමන්ගේ හමුදාව ගැන ගීතයට ඔබ කැමතියි නේද?

සමිඳුන්ට ප්‍රේම කරනා,

නීෆායි මෙන් හොඳ මව්පියන් ලබා.

තේරුම් ගනිමු, නැණ වඩා,

තබා දෙවිඳුන්ගේ මේ ආඥා.

මගේ අම්මා කුඩා කාලයේ අත්විඳි පරිදි, මෙය එසේ නොවූවත්, ඔබට “ස්වාමීන්වහන්සේට ප්‍රේම කරන යහපත් දෙමාපියන්” බවට පත්වෙලා අන් අයට ධර්මිෂ්ඨ ආදර්ශයක් ලබාදෙන්න පුළුවන්.

අපි එය ගායනා කරන විට මෙය නියත වශයෙන්ම සත්‍ය බව අපට හැඟෙනවාද? ඔබ “හිලමන්ගේ හමුදාවක්” බවත්, ඔබ “ලෝකයට උන්වහන්සේගේ සත්‍යය ගෙන ඒමට ස්වාමින්වහන්සේගේ ධර්මදූතයින් වනු ඇති” බවත් ඔබට හැඟෙනවාද? FSY පසුබිම් කිහිපයක සහ අනෙකුත් යෞවන රැස්වීම්වලදී මෙම ගීතය ගායනා කරන අතරතුර මට එය බොහෝ අවස්ථාවලදී දැනී තිබෙනවා.

එහෙමත් නැත්නම් “True to the Faith” ගීතිකාව ගායනා කරන විට අපට හැඟෙන්නේ කොහොමද?

සත්‍යය සහ යහපත ආරක්ෂා කිරීමේදී,

සියොන් හි යෞවනයන් පසුබට වේද?

සතුරා පහර දෙන අතරතුර,

අපි හැකිළෙමුද නැත්නම් සටනෙන් වළකිමුද? නෑ!

අපේ දෙමාපියන් ආදරයෙන් වැළඳගත් ඇදහිල්ලට විශ්වාසවන්තව අපි සිටිනවා.

නැගී එන පරම්පරාවේ ඔබ, ඔබ කොතැනක සිටියත්, කුමන තත්වයක සිටියත්, කරුණාකර ඔබට පෙර සිටි අයගේ ඇදහිල්ලෙන් සහ සාක්ෂිවලින් ඉගෙන ගෙන ශක්තිය ලබා ගන්න. සාක්ෂියක් ලබා ගැනීමට හෝ වර්ධනය වීමට නම්, කැපකිරීම් කළ යුතු බවත්, “පරිත්‍යාගයන් ස්වර්ගයේ ආශිර්වාද ගෙන එන” බව තේරුම් ගැනීමටත් එය ඔබට උපකාරී වෙයි.

ඔබේ ජීවිතයට සැබවින්ම ආශිර්වාද කරන කැපකිරීමක් ගැන සිතමින්, “සෑම වටිනා, දක්ෂ තරුණයෙකුටම ධර්මදූත සේවයක් සඳහා සූදානම් වී සේවය කරන” ලෙස අපගේ ආදරණීය අනාගතවක්තෘ සභාපති නෙල්සන් කළ ආරාධනය සලකා බලා ඒ ගැන යාච්ඤා කරන්න. පසුදවස්වල ශුද්ධවන්ත තරුණයන් සඳහා, ධර්මදූත සේවය පූජකවරයේ වගකීමක්. …

“තරුණ සහ දක්ෂ සහෝදරියන් … සඳහා, ධර්මදූතයක් යනු බලවත්, නමුත් විකල්ප අවස්ථාවක්.”

ඔබට සේවා හෝ ඉගැන්වීමේ ධර්මදූතයෙක් ලෙස කැඳවීමක් ලැබෙන්න පුළුවන්. මේ දෙයාකාරයේම ධර්මදූතයින්, තමන්ගේම අද්විතීය හා බලවත් ආකාරයකින් ප්‍රාණයන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමේ එකම ඉලක්කයට දායක වෙනවා.

මෙම සේවාවන් ආකාර දෙකෙහිම, ඔබ ස්වාමීන්වහන්සේට ප්‍රේම කරන බවත්, උන්වහන්සේව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට ඔබට අවශ්‍ය බවත් පෙන්වයි. මතක තබාගන්න, “මක්නිසාද මනුෂ්‍යයෙකු ඔහු විසින් සේවය නොකරන ලද; තවද ඔහුට ආගන්තුකයෙකු වූ ස්වාමියෙකු කෙසේ දැනගන්නේද, තවද එය ඔහුගේ හදවතේ සිතිවිලි සහ අභිප්‍රාය වෙතින් බොහෝ දුරස් ය.”

අපි හැමෝම, අපි ශුභාරංචියේ පළමු පරම්පරාව හෝ පස්වන පරම්පරාව වුනත්, ඊළඟ පරම්පරාවට මම ලබාදෙන්නේ ඇදහිල්ල, ශක්තිය සහ ස්වර්ගික කැපවීම ගැන මොන වගේ කතාවක්ද කියා අපෙන්ම අසාගත යුතුයි.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව වඩා හොඳින් දැන හඳුනා ගැනීමටත්, උන්වහන්සේ අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය කර ගැනීමටත් අපි සියලු දෙනාම අපගේ උත්සාහයන් දිගටම කරගෙන යමු. දුෂ්කර කාලවලදී අපට ස්ථිරව සිටීමට හැකි වන පරිදි අපි අපිවම ගොඩනගා ගත යුතු පර්වතය උන්වහන්සේයි.

අපි “අපගේ දෙමව්පියන් ආදරයෙන් රැකබලා ගත් ඇදහිල්ලට, දිවි පිදූවන් මිය ගිය සත්‍යයට, දෙවියන්වහන්සේගේ අණට, ආත්මයට, හදවතට සහ හස්තයට විශ්වාසවන්ත වෙමු, අපි සැමවිටම ඇදහිලිවන්තව හා සත්‍යවාදීව සිටිමු.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.